යුක්ති ගරුක දැහැමි සමාජයක අවශ්‍යතාවය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අද අප සමාජයේ යුක්තිය හා සාධාර්ණය ඉල්ලා නඟන හඩෙහි තීව්රතාවය දිනෙන් දින වර්ධනය වෙමින් ඇත. අයුක්තිය අසාධාර්ණය මේ රටේ රජකරනවාදෝ? යැයි සිතෙන තරමට සමස්ථ ශ්‍රි ලාංකීය සමාජයම එය වෙලාගනිමින් ඇත. අද යුක්තිය හා සාධාර්ණය වෙනුවෙන් පෙනීසිටින ගුණවත් මිනිස්සු මේ රටේ ඉන්නේ FB ඇතුළු සමාජ ජාල තුල පමණක්දෝ? යැයි සිතෙන තරමට සාධාර්ණ ගුණවත් මිනිසුන් සමාජය තුල විරල වී ඇත.

මෙයට සරල සමීපතම නිදසුන වන්නේ වත්මන් තෙල් පෝලිමයි – රටේ සාමාන්‍ය ජනයාගේ පටන් උගතුන්, ධනවතුන්, ආරක්ෂක කේෂත්‍රය ඇතුළු විවිධ කේෂත්‍රවල නිළධාරීන්, පුජකවරුන්, බුද්ධිමතුන්, දේශපාලඥයින්… යනාදී සෑම සියළු කේෂත්‍ර නියෝජනය කරන පිරිස් තරඟෙට අයුක්තිසහගතව සහ අසාධාර්ණව සමාජය තුල කටයුතු කරන ආකාරය දිනපතා විවිධ මාධ්‍යයන් තුලින් සුලබව අසන්නට හා දකින්නට ලැබේ.

මෙවන් විකෘති සමාජයක් තුල හිඳ අද අප රටේ ’සිස්ටම් චේන්ජ්’ සහ ‘සාධාර්ණ සමාජයක්’ වැනි බරපතල මාතෘකා පිලිබදව කථා පවත්වන්නෙමු. නමුත් සමාජය තුල ආකල්ප වෙනසක් සිදු නොවී මේ සියල්ල කෙසේ නම් ප්‍රායෝගික වනු ඇත්ද?.

මෙතැනදී ආකල්ප වෙනස සමාජය තුල ගොඩනැඟිමයි මුලින්ම සිදුවිය යුත්තේ. එය කල හැක්කේ ආගම දහම තුලින් පමණි. ඒ සදහා මුලින්ම මේ සමාජය දැහැමි සමාජයක් ලෙස පරිවර්ථනය කලයුතුව ඇත. එතැනදී මුලික වගකීම ඇත්තේ රජය ඇතුළු ආගමික නායකයින්හටය. නමුත් අවාසනාවකට පසුගිය කාලවල මේ රටේ සිදු වුයේ කුමක්ද?.

රටේ නායකයින් සහ ආගමික නායකයන් දැහැමි සමාජයක් මේ පොළොව මත ගොඩනඟනවා වෙනුවට සිදුකලේ ආගම් අතර වෛරය වපුරවමින් සමාජය භේද කොට දේශපාලඥයින්ගේ අරාජික පාලනයට මංපෙත් තැනීමයි. එහි අවසාන ප්‍රථිපලය වුයේ, තම ආගම දහම පිලිනොපදින නමුත් තම ආගම දහම ආරක්ෂා කරනවා යයි පවසමින් අනිකුත් ආගම් ගරහන්නත්. විනාශ කරන්නත් ක්‍රියා කරන විකෘති මනසින් යුතු සමාජයක් නිර්මාණය වීමයි.

මෙයට අන්තර්ජාලයෙන් උපුටාගත් පහත විඩියෝව සහ පිංතුරය හොදම නිදසුනකි.

https://m.facebook.com/story.php?story_fbid=2208887496108420&id=100009615725283

FB වීඩියෝව මෙහි click කොට නරඹන්න (එහි හඩට සවන්දෙන්න)

මේ අවාසනාවන්ත විකෘති තත්වය සමාජය තුල ගොඩනඟු සැම සියළුදෙනාටම එය නිවැරදි කිරීමේ වගකීම ද ඇත. විශේෂයෙන් මේ තත්වයෙන් රට ගොඩ ඒමට නම්, රටේ නායකයින් සහ ආගමික නායකයින් තම වගකීම් නිසිලෙස අවබෝධ කොට කටයුතු කලයුතුව ඇත. ඒ රටේ ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් සපුරාලමින් ජනතා පීඩනය අවම කිරීමට රටේ නායකයින් කටයුතු කරන අතරේ දැහැමි සමාජයක් ගොඩනැඟීමට ආගමික නායකත්වය ලබාදෙමින් දැහැමි සමාජයක් කරා ඔවුන්ව මෙහෙයවීමයි.

මෙතැනදී රටේ පුරවැසියන් ලෙස පිලිගතයුතු තිත්ත වූ ඇත්තක් ඇත. එනම්, රටක, ජාතියක. සමාජයක මෙවන් අවාසනාවන්ත පරිහානියක් විකෘතියක් සිදුවිමට සෘජුව හා වක්‍රව අප හේතු වී තිබෙනවා යන්නයි. අනුවණක්කාරව හෝ අවස්ථාවාදීව අප ගත් සමහරක් තීන්දු තීරණ අද අපටම පාරාවළල්ලක් වී රට මෙවැනි තැනකට ඇදදමා ඇත යන්නයි. රටක සමාජයක වගකීම් පිලිබදව තීන්දු තීරණ ගැනිමේදී යුක්තියසහගත නොවිම සහ අවංක නොවීම රටකට ඉතා භයානක ප්‍රථිපල ගෙනදෙන ක්‍රියාවක් යන්න අද ශ්‍රි ලාංකීය සමාජය රටටත් ලෝකයටත් ඔප්පු කොට පෙන්වා ඇත.

මේ හේතුව නිසයි සමාජයක කුමන තත්වයකදී වූවද රුකිය යුතු අනිවාර්‍ය අංගයක් ලෙස ‘යුක්තිය’ හා ‘සාධාර්ණය’ පිලිබදව ඉස්ලාම් දහම කථා කරන්නේ. එවැනි අල්කුර්ආන් වාක්‍යයක් වෙත ඔබේ අවදානය මෙතැනදී යොමු කරන්නේ නම්,

   විශ්වාසවන්තයිනි!, නුඹලා යුක්තිය වෙනුවෙන් පෙනීසිටින්න. තවද නුඹලාට, නොඑසේනම් (නුඹලාගේ) දෙමාපියන්ට, නොඑසේනම් සමීපතම ඥාතීන්ට එරෙහිව වුවද, දෙවියන් වෙනුවෙන් (සාධාර්ණයට) සාක්ෂිකරුවන් ලෙසත් සිටින්න. (නුඹලා කවුරුන් වෙනුවෙන් සාක්ෂි පවසන්නේද) ඔවුන් ධනවතුන් වූවද, දුගියන් වූවද කම් නැත (සත්‍යය ම පවසන්න). මන්ද ඔවුන් දෙපාර්ශවයම ආරක්ෂා කිරීමට දෙවියන් ශක්තිසම්පන්නය. එමනිසා යුක්තිය පසිඳලීමේහි ස්වමතය අනුගමනය නොකරන්න. තවද නුඹලා (සාක්ෂි) වෙනස් කොට පැවසුවද, නොඑසේනම් (සාක්ෂි පැවසීම) ප්‍රතික්ෂේප කලද නියත වශයෙන්ම දෙවියන් නුඹල කරන සියල්ල හොදින් දන්නේය.

අල්කුර්ආන් 4 -135

ඔබ බුද්ධිමත්ව ඉහත වාක්‍යය වෙත මොහොතක් අවදානය යොමු කරන්න. එහි අවදාරණය කරන්නේ තමන්ට, තම මාපියන්ට හෝ තම ඥාතීන්ට අවාසිසහගත තත්වයන් ඇති වුවත් යුක්තිය හා සාධාර්ණය වෙනුවෙන් පෙනීසිටීම අත්‍යඅවශ්‍ය බවයි. එපමණක් නොව එහිදී පුද්ගල තරාතිරම එනම්, දුප්පත්ද, පොහොසත්ද යන්නත් කිසිසේත් අදාල නොවන බව එහි තවදුරටත් පවසයි. ඉහත වාක්‍යයෙන් අවදාරණය කරන ප්‍රතිපදාව මේ සමාජය තුල කොතරම් දුරට ප්‍රායෝගිකව තිබෙනවාද? එයයි අද විමසා බැලිය යුතු පැනය.

මානව හිතවාදී එම ප්‍රතිපදාව වෙනුවට අපට අප සමජයේ දකින්නට හා අසන්නට ඇත්තේ කුමක්ද?. පවුල් සංග්‍රහය… ඥාති සංග්‍රහය… ගජමිතුරු සංග්‍රහය… නිළධාරීවාදීය… ජාතිවාදය… කුලවාදය…ආගම්වාදය… යනාදී විකෘතීන් රාශියක් පමණි. මෙය රටේ මහා විනාශයක පෙරනිමිත්තක් බව අප දැන්වත් අවබෝධකර නොගන්නේ නම් එය රටේ ම අවාසනාවක් යන්න දැඩිව අවදාරණය කරමින් මේ සටහන අවසන් කරන්නේ මේ සමාජය යහමග ගැන්වීමට මේ රටේ නායකයින්ට සහ ආගමික නායකයින්ට නුවණැස පෑදේවා! යන ප්‍රාර්ථනාව කරමිනි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/10/24

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම