යේසූස් ඔබ කැදවයි - ඒකදේව සංකල්පය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ලොවපුරා වෙසෙන කිතුණු භක්තිකයන් යේසුස් (ඊසා (අලෛ)) තුමාගේ උපත සමරමින් ප්‍රීති වන මේ ‍සමයේ ‍ඒ කිතුණූ භක්තිකයන් හැරුණූ කල එතුමාණන් පිලිබදව දැඩි ගෞරවයෙන් කථා කිරීමට වඩාත් සුදුසුම පාර්ශවය වන්නේ මුස්ලීම්වරුන්ය. ඒ ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව එතුමාණන් දේව වක්තෘවරයෙක් වන නිසාම පමණක් නොව, අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට සමීපතම වක්තෘවරයෙක් මෙන්ම ලෝක විනාශයේ පෙර නිමිත්තක් ලෙස එතුමාගේ පහල වීම සිදුවන බවට මුස්ලීම්වරුන් වන අප ද විශ්වාස කරන නිසාය.

ආරම්භ මිනිසාගේ පටන් අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් දක්වා ලක්ෂයකට අධික දේව වක්තෘවරුන් මේ මිහිමත තෝරා පත් කලා යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. මේ සියළු වක්තෘවරුන් අතුරින් ශුද්ධ වූ කුර්ආනයේ වැඩියෙන්ම නම සදහන් එසේම වැඩියෙන් කථා කරන දේව වක්තෘවරයෙකු වේ නම්, ඒ මරියම් (මේරි)ගේ පුත් (යේසූස් හෙවත්) ඊසා (අලෛ) තුමාණන්ය. එතුමාණන්ගේ උපත සිදුවූයේ කෙසේද?, එතුමාණන්ගේ කුඩා අවදිය කෙසේ වී ද?, එතුමාණන්ගේ තරුණ අවධිය කවරේද?, දේව වක්තෘවරයෙකු ලෙස එතුමාණන්ට තිබූ අභියෝග මොනවාද?, එතුමාණන් ඒවාට මුහුණ දුන්නේ කෙසේද?, එතුමාණන් මුහුණපෑ අනිකුත් කරදර හා හිරිහැර මොනවාද?, එතුමාණන් මෙලොවින් සමුගත්තේ කෙසෙ‍්ද?, දැන් එතුමාණන්ගේ තත්වය කුමක්ද?, එතුමාණන් ලෝක අවසාන කාලයේ පෙරනිමිත්තක් වන්නේ කෙසේද?… යනාදී වශයෙන් බොහෝ කරුණූ කාරණා ඉස්ලාමීය මූලාශ්‍රයන් තුලින් මුස්ලීම් සමාජයට සවිස්තරව කරුණූ ගෙනහැර දක්වයි. එවැනි කරුණු දැක්වීම් අතුරින් එක් නිදසුනක් ඔබේ දැනගැනීම පිණිස ඉස්ලාම් එතුමාණන් පිලිබදව ස්ථාවරය කුමක් ද? යන්න පිලිබදව දළ අවබෝධයක් ලබා ගැනීම පිණිස ශුද්ධ වූ කුර්ආනයේ ‘අන්නිසා’ පරිච්චේදයෙන් උපුටා දක්වන්නේ නම්,

ඔහුව (යේසූස් (ඊසා)ව) ඔවුන් ඝාතනය කලේ නැත. ඔහුව (යේසූස් (ඊසා)ව) ඔවුන් කුරුසයේ ඇණ ගැසුවේ ද නැත. ඔහු වෙනුවට (ඔහුගේ හැඩරුවින්) වෙනත් කෙනෙකු යොදවා ඔවුන් මුලා කරන ලදී. (මේ නිසා) ඔවුන් සැකයේ හා පරස්පර විරෝදී මතවල ගැලී ගියහ. ඔවුන් උපකල්පනයන් අනුමානයන් අනුගමනය කරන්නන් මිස මේ පිලිබදව ඥානය ඔවුනට නැත. (යේසූස් (ඊසා) වන) ඔහුව නියතවම ඔවුන් ඝාතනය කලේ නැත. එහිදී ඔහුව අල්ලාහ් (දෙවි) තමා වෙත ඔසවා ගත්තේය. අල්ලාහ් (දෙවි) එයට බලසම්පන්න ද ඥානවනසම්පන්න ද වන්නේය. ධර්මය හිමි අය ඔහු (යේසූස් නැවත පැමිණ) මරණයට පත්වීමට පෙර ඔහුව විශ්වාස නොකල නොහරින්නේය. (ලෝක විනාශ) පරමාන්ත දිනයේ ඔහු ඔවුනට එරෙහිව සාක්ෂියක් වන්නේය.

ඉහතින් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් මෙහි ගෙනහැර දැක්වීම තුලින් ඔබට අවධාරණය කොට ඇත්තේ යේසූස් හෙවත් ඊසා (අලෛ) තුමාණන් පිලිබදව ඉස්ලාමීය ස්ථාවර කුමක් ද? යන්නයි. එතුමා පිලිබදව ඉස්ලාමීය මූලාශ්‍රයන් තුල කථා කරන කරුණූ මෙවැනි ලිපියකින් හෝ ලිපි කිහිපයකින් නිමාකල හැකි එකක් නම් නොවේ. එතුමාණන් පිලිබදව ඉස්ලාමීය මූලාශ්‍රයන් කථා කරන කරුණූ කාරණා සමඟ ඉහත කාරණය සංසන්දනය කරන විට එය එතුමාණන් පිලිබදව වූ සරල විග්‍රහයක් පමණි. නමුත් මෙම ලිපියේ මාතෘකාවට අදාලව එය ප්‍රමාණවත් විග්‍රහයක් වන නිසාත්, මෙතුමා පිලිබදව පෙර කිහිප අවස්ථාවක මෙම අඩවිය තුල දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇති නිසාත් එම හදුන්වාදීම එතැකින් නතර කොට ලිපියේ ප්‍රධාන මාතෘකාව වන ‘ඒකදේව සංකල්පය වෙත යේසූස් ඔබ කැඳවයි!’ යන්න වෙත දැන් මා ඔබව කැඳවමි.

මෙම ලිපිය තුලින් දේව විශ්වාසය පිලිබදව කථා කිරීමට අදහස් කරන නිසා ඒ සදහා ඌනපූර්ණයක් ලෙස ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් ඔබේ අවධානයට ප්‍රථමයෙන් ගෙන එන්නට අදහස් කරමි. මා ඉහතින් සදහන් කලාසේ මේ මිනිස් සමාජය යහමඟ ගැන්වීම සදහා විශාල ප්‍රමාණයක් දේව වක්තෘවරුන් කලින් කලට මේ මිහිමත තොරාපත් කල දෙවියන් ඒ සියළු වක්තෘවරුන්ට නියම කොට තිබූ පොදු මෙහෙවරක් තිබුණි. ඒ පිලිබදව ශුද්ධ වූ කුර්ආනය පහත ආකාරයට පවසයි‍.

‘අල්ලාහ් පමණයි මාගේ මෙන්ම හා ඔබලාගේ ද එකම දෙවියා වන්නේ. එමනිසා ඔහුට පමණක් වන්දනා මාන කරන්න. මෙයයි යහමඟ වන්නේ’

ශුද්ධ වු කුර්ආනයේ 3-51

ලොව පහල වූ ප්‍රථම දේව වක්තෘවරයාණන්ගේ පටන් අවසාන දේව වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් දක්වා සෑම නබි (වක්තෘ)වරයෙකුටම පැවරී තිබූ පොදු හා මුඛ්‍ය මෙහෙවරක් වේ නම්, ඒ මේ මිහිමත ‘ඒකදේව’ සංකල්පය ස්ථාපනය කිරීම හා ඒ වෙත ඔවුන් කැඳවීමයි. මිනිසා ගස්, ගල්, හිරු, සඳු… යනාදී වශයෙන් විවිධ දෑ දේවත්වයෙන් ඇදහූ ඉතිහාසය අපට අලුත් එකක් නොවේ. කාලයත් සමඟ ඒවා බහුදේව සංකල්ප ලෙසත්, ඒ මත ගොඩනැඟුණු විවිධ මිත්‍යා ඇදහිලි ලෙසත් විකාශනය විය. (මේ පිලිබදව දීර්ඝ ලෙස මෙම අඩවිය තුල මීට ඉහත ලිපි ගණනාවකින්ම සාකච්චා කොට ඇත) ඒ අනුව මෙහිදී විමසා බලන්නේ ඉහත 3-51 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයේ අවදාරණය කරන ආකාරයට යේසුස් වහන්සේ (ඊසා (අලෛ)) තුමා මෙම වගකීම කොතරම් දුරකට නිවරුදිව ඉටුකලා ද යන්න පිලිබදවයි. මෙම විෂය මෙහි සංවාදයට ගැනීමට මූලික හේතුවක් ද? ඇත. ඒ යේසුස් තුමාගේ උපත මූලික කරගෙන කිතුණූ සමාජය දැඩි භක්තියෙන් එතුමාණන් සමරණ මේ මොහොතේ එතුමාණන්ගේ ඉ‍ගෙන්වීමන් මේ කිතුණූ සමාජයට කොතරම් බලපෑමක් ඇති කොට තිබෙනවාද? යන්න විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි. මන්ද එතුමාණන්ගේ උපත ලෝකවාසී ජනතාවට සුවිශේෂී වන්නේ එතුමාගේ උප‍ත සිදුවූ ආකාරය නිසා හෝ එතුමාගේ පවුල් පසුබිම නිසා නොවේ. එතුමාණන් ලෝකයාට පෙන්වාදුන් අවවාද අනුශාසනා හා ආදර්ශය අසමසම මඟපෙන්වීම් වූ නිසාය. එසේ නම් ඒ මඟපෙන්වීම වර්ථමාන කිතුණූ සමාජයට ඇති කොට ඇති බලපෑම් කුමක්ද? යන්න දැන් විමසා බලමු.

මෙහිදී දේව සංකල්පය මූලික කරගෙන කරුණූ සාකච්චා කරන නිසා ආරම්භයේ සදහන් කලයුතු කාරණයක් ඇත. එනම් ලොව සෑම දහමක්ම ගොදුරු වූ අවාසනාවන්ත ඉරණමක් වන ‘දහම තුල බෙදීම‘ යන තත්වයට කිතුණූ දහම ද ගොදුරු වුවා යන්න සත්‍ය යයි. ඒ බෙදීම් අතුරින් ‘යෙහෝවා සාක්ෂිකරුවන්’ යන පාර්ශවය හැර අනිකුත් බහුතර පාර්ශවයන් බහුදේව සංකල්පය කිතුණූ දහම තුල ආරූඪ කොටගෙන දෙවියන්ට අමතරව මරියම් තුමිය, යේසුස් තුමා, ගේබ්‍රියෙල් නම් ශූද්ධාත්මය… දේවත්වයෙන් සලකා කටයුතු කිරීම ප්‍රසිද්ධ කාරණයකි. මෙවන් පසුබිමක මේ පිලිබදව ඉස්ලාම් කුමක් පවසනවාද? යන්න කථා කරනවාට වඩා කිතුණු සමාජය දේව පුස්තකය ලෙස සලකන ‘බයිබලය’ තුල කුමක් සදහන් වී තිබෙනවාද? යන්න ප්‍රථමයෙන් විමසා බලන්නේ නම්,

එකම සැබෑ දෙවියන් වන ඔබ ද, ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් කිතුණු වහන්සේ ද දැන ගැනීමය. ඔබ වහන්සේ විසින් මට භාරදුන් මෙහෙය සම්පූර්ණ කරමින්…

යොවාන් 17-3,4

සකල ලෝ මැවූ පොළොව නිර්මාණය කොට එය නිම කල පාළු ඉඩමක් ලෙස නොව විසුමට පුළුවන් තැනක් ලෙස පොළොව මැවූ එකම දෙවි වන සමිදාණෝ මෙලෙස වදාරණ සේක, ‘මම සමිඳුන් වෙමි හුදෙක් මා හැර අන් දෙවි කෙනෙක් නැත

යෙසායා 45-18

මා පමණක් දෙවිඳාණන් බව, මා හා සමාන අන් කිසිවකු නැති බව පිලිගන්න

යෙසායා 46-9

ඉහතින් මා ඉදිරිපත් කොට ඇත්තේ ඒකදේව වාදය අවධාරණය කරන බයිබල් වාක්‍ය 03ක් පමණි. මීට අමතරව තවත් බොහෝ බයිබල් වාක්‍යයන් ඒකදේව වාදය දැඩිව අවධාරණය කරන බව බයිබලය හොදින් විශ්ලේෂණය කලේනම් ඔබට පහසුවෙන් දැකගත හැකි වේ. අද කිතුණූ දහම තුල බහුදේව සංකල්ප ආරූඪ කොට ඒ ඔස්සේ ක්‍රියා කරමින් සිටින කිතුණූ සමාජය මේ පිලිබදව බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතුය. මෙය තවදුරටත් අවබෝධ කර ගැනීම පහසු කිරීම පිණිස බයිබලය තුල ඒකදේව සංකල්පය කථා කරන අවස්ථාවන්ට අමතරව දෙවියන් සතුව පැවතිය යුතු ගුණාංග ලෙස බයිබලයේ සදහන් දේව ගුණාංග කිහිපයක් කෙටියෙන් උපුටා දැක්වීමට අදහස් කරමි. එය මෙසේය,

  • පියවී ඇසට දෘෂ්‍ය වීම දෙවියන් සතු ගුණාංගයක් නොවේ.
  • දෙවියන් යනු ආත්මයකි ඔහුට මනුෂ්‍යයන් මෙන් ශරීර කූඩුවක් නොමැත.
  • වැරදි නිගමනයන්ට එළඹීම දෙවියන් සතු ගුණාංගයක් නොවේ.
  • සර්වකාලීන වීම දෙවියන් සතු ගුණාංගයකි.
  • වධ හිංසනයට හෝ ඝාතනයට ලක්වීම දෙවියන් සතු ගුණාංගයක් නොවේ.
  • දුකක් වේදනාවක් දෙවියන්ට ඇති නොවේ.
  • දෙවියන් වැරදි කරන්නේ නැත.
  • දෙවියන් අනවබෝධයෙන් ක්‍රියා කරන්නෙකු නොවේ.
  • දෙවියන්ට සුළු හා ගැඹූරු නින්දක් ඇති වන්නේ නැත.
  • දෙවියන් වැරදි කරන්නෙකු නොවේ.
  • දෙවියන්ට කුසගින්න හෝ පිපාසය ඇති වන්නේ නැත.
  • දෙවියන්ට බියක් ඇති වන්නේ නැත.
  • දෙවියන්ට මවක්, පියෙක් හෝ පරම්පරාවක් නැත.
  • දෙවියන්ට මනුෂ්‍යයන් මෙන් (කුඩා කල සිට මහළු විය දක්වා) විවිධ වූ (වර්ධන) අවදීන් නැත.
  • දෙවියන්ට ආශාවන් නැත.

මා මෙහි ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ ශුද්ධ වූ කුර්ආනය අවධාරණය කරන දේව ගුණාංග නම් නොවේ. මෙය කිතුණුවන් දේව පුස්තකය ලෙස සලකන බයිබලයේ සදහන් දේව ගුණාංගයන්ය. එසේම මෙහි ඉදිරිපත් කොට ඇත්තේ බයිබලයේ සදහන් සමස්ථ දේව ගුණාංගයන් අතුරින් කිහිපයක් පමණි. මෙවැනි ගුණාංග ගණනාවක් බයිබලයේ දක්නට තිබුණත් මෙලෙස දේව ගුණාංග කිහිපය ඉදිරිපත් කිරීම තුලින් කාරණා දෙකක් ඔබේ බුද්ධිමත් අවධානයට ගෙන එන්නට අදහස් කරමි. එනම්,

  • වර්ථමාන කිතුණු සමාජය ඉහතින් සදහන් ගුණාංග නිවරුදිව දෙවියන්ට ආරූඪ කොට දෙවියන් විශ්වාස කරනවාද?
  • ඉහත ගුණාංගයන් නොමැති මනුෂ්‍යයෙකු දේවත්වයෙන් බැලීම නිවැරදි දේව විශ්වාසයක් ද?

ඉහත පැනයන්ට නිවරුදි පිලිතුර කිතුණුවකු බයිබලය තුලින් සොයන්නේ නම් සැබෑ ඒකදේව සංකල්පය නිවරුදිව අවබෝධ කරගැනීම ඔහුට අපහසු නොවේ. ඒ සදහා කිතුණූ ලෝකයට නුවණැස පෑදේවා!, යනුවෙන් ‘යහමඟ’ ප්‍රාර්ථනා කරන අතර ඒ අවංක ප්‍රාර්ථනය සමඟ මා දැන් යොමු වන්නේ තවත් සුවිශේෂි බයිබල් වාක්‍යයකට හා ඊට සමාන්තරව කරුණූ සාකච්චා කරන ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයකටයි. එම වාක්‍යයන් විවෘත මනසින් බැලීමට ඔබට සමිඳාණන් වහන්සේ (හෙවත් අල්ලාහ් (දෙවි))ගේ ආශිර්වාදය හිමිවේවා!, යයි නැවතත් ප්‍රාර්ථනයක් කරමින් එය මෙසේ ඉදිරිපත් කරමි.

ස්වර්ගයේ වැඩ වසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට ‘ස්වාමිණි…!, ස්වාමිණි…!’ යයි කියන පිරිස ස්වර්ගයට ඇතුල් වන්නේ නැත. ඒ දවසේ (පරමාන්ත (විනිශ්චය) දිනයේ) දී බොහෝ දෙනෙක් ‘ස්වාමිණි… ස්වාමිණි… අපි ඔබේ නාමයෙන් දිවැස් වැකි නොකීවෙමු ද?. අපි ඔබේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමු ද?. අපි ඔබේ නාමයෙන් නොයෙක් ප්‍රබල ක්‍රියා නොකෙළෙමු ද?’ යයි මට පවසනු ඇත. එවිට (යේසූස් වන) ‘මම කිසි කලක ඔබ නොහැදින්නෙමි. දුදනෙනි! මා වෙතින් ඉවත්ව යන්නැයි ඔවුනට කියන්නෙමි.’
‘එහෙයින් යමෙක් මාගේ වචන අසා ඒවා පිලිපදී ද ඔහු පර්වතය මත තමාගේ නිවස තනාගත් නැණවතෙකුට සමානය. වර්ෂාව වැස, ජලය ගලා, සුළඟ හමා, ඒ ගෙට වැදුණ ද එය පර්වතය මත පිහිටී බැවින් බිඳ නොවැටෙනු ඇත. නමුත් යමෙක් මාගේ මේ වචන අසා ඒවා නොපිලිපදී ද ඔහු වැලි මත නිවස තනාගත් අනුවණක්කාර මනුෂ්‍යයෙකුට සමානය. වර්ෂාව වැස, ජලය ගලා, සුළඟ හමා, ඒ ගෙට වැදුණ විට එය බිඳී ගොස් එහි තත්වය භයංකාර ද වනු ඇත.

මතෙව් 7-21 සිට 27

ඉහතින් මා උපුටා දක්වා ඇති බයිබල් වාක්‍යය සමස්ථ කිතුණූ සමාජයේ දැඩි අවදානයට යොමු වියයුතු යන්න ‘යහමඟ’ අපේක්ෂාවයි. සාමාන්‍ය දැනුමක් ඇති කෙනෙකුට පවා ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයට සරලව කරුණූ විග්‍රහ කරන, එපමණක් නොවේ මේ වර්ථමාන සමාජය දෙස බලගෙන අද ඊයේ පැවසූවා සේ කිතුණු සමාජයේ මිත්‍යා ඇදහිලිවලට අවවාද කරන මේ බයිබල් වාක්‍යය බුද්ධිමත් සමාජය දැන්වත් බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතු නොවේද?. මා මේ ලිපිය ආරම්භයේ සදහන් කලාසේ (යේසූස් හෙවත්) ඊසා (අලෛ) තුමාණන් සම්බන්ධයෙන් දැඩි වගකීමක් ඉස්ලාම් දහමටත් ඇත. මේ හේතුව නිසාම ඉහත බයිබල් වාක්‍යය තුලින් අවධාරණය කරන කාරණය තවදුරටත් ඉතා හොදින් අවබෝධ කරගැනීම පිණිස දිව්‍යමය පුස්තකය වන ශුද්ධ වූ කුර්ආනය තුලින් ඉහත විෂය පිලිබදව කථා කරන වාක්‍යයක් දැන් විමසා බලන්නේ නම්, එහිදී අල්ලාහ් (දෙවි) හා (යේසුස් හෙවත්) ඊසා (අලෛ) තුමාණන් අතර පරමාන්ත දිනයේ සිදුවන සංවාදයක් ‘අල්-මායිදා’ නම් ශුද්ධ වූ කුර්ආන් පරිච්චේදයේ ඉතා පැහැදිලි ලෙස පහත ආකාරයට කරුණු ගෙනහැර දක්වයි. එය මෙසේය,

(ශුද්ධ වූ කුර්ආනයේ බොහෝ තැන්වල (ඊසා අලෛ) තුමා දෙවියන් ආමන්ත්‍රණය කරන්නේ) ‘මරියම් (මේරි)ගේ පුත් ඊසා!, ඔබ අල්ලාහ් (දෙවි) හැර (යේසුස් වන) මාව ද (මරියම් වන) මාගේ මව ද දෙවිවරුන් දෙදෙනෙකු ලෙස අරගනු!,  යයි මිනිසුන්ට පැවසුවේ ද?’ යයි (අල්ලාහ් (දෙවි) ඊසා තුමාගෙන්) විමසනු ඇත. එයට ඔහු මෙසේ පවසන්නේය. ‘ඔබ ඉතා පාරිශුද්ධවන්තයෙකි!. මා හට නොසුදුසු කිසිවක් මා කිසිවිටෙක පැවසුවේ නැත!. එසේ පැවසුවේ නම් නියත වශයෙන්ම ඔබ දන්නේය!, මාගේ සිතේ ඇති දැය ඔබ හොදින් දන්නේය!, (දෙවියන් වන) ඔබේ සිතේ ඇති දැය මා නොදන්නෙමි!, නියත වශයෙන්ම ඔබමය ගුප්ත දෑ සියල්ලම හොදින් දන්නා කෙනෙකු වන්නේ!,
‘(තවද) ඔබ මා හට අණකල අන්දමට ම මා (ඔවුනට) ‘මට ද, ඔබට ද දෙවියන් වන අල්ලාහ් (දෙවි)ව නමදිනු!’ යයි පැවසුවා මිස මා වෙන කිසිවක් පැවසුවේ නැත. මා ඔවුන් සමඟ සිටින තාක් කල් ඔවුන්ගේ වැඩ කටයුතු අධීක්ෂණය කරමින් සිටියෙමි. ඔබ මාව අත්පත් කර ගත්තායින් පසු ඔබම ඔවුන්ව අවධානය කරන්නෙකු වශයෙන් සිටී අතර  සියල්ලට (දෙවියන් වන) ඔබම සාක්ෂි දරන්නෙහිය’
ඔවුන්ව ඔබ දඬුවම් කළහොත් නියත වශයෙන්ම ඔවුන් ඔබගේ වහලුන්ය! (ඔබගේ වහලුන්ව ඔබ කැමැති දැයක් කිරීමට ඔබට අයිතියක් ඇත), තවද ඔවුනට ඔබ සමාන දුන්නේ නම්, (එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකිය. මන්දයත්) නියත වශයෙන්ම ඔබම (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නෙහිය” (යයි පවසනු ඇත)

ශුද්ධ වූ කුර්ආනය 5-116 සිට 118 දක්වා

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ඉහතින් සදහන් ‘මතෙව්’ 7-21 සිට 27 දක්වා වූ බයිබල් වාක්‍යයන්, මෙන්ම ශුද්ධ වූ කුර්ආනයේ ‘අල්-මායිදා’ පරිච්චේදයේ 5-116 සිට 118 දක්වා වූ වාක්‍යයන් බුද්ධිමත් සමාජය විවෘත මනසින් විමසා බැලිය යුතුය. වර්ථමාන කිතුණු සමාජයේ බහුතරය කොතරම් මුලාවක හා වැරදි ඇදහිලිවලට ගොදුරු වී සිටිනවා ද යන්න අවබෝධ කර ගැනීමට ඉහත වාක්‍යයන් ප්‍රමාණවත් නිදසුනකි. යේසූස් තුමාගේ උපත සමරණ මේ සමයේ එතුමාණන්ගේ අවවාද, අනුශාසනා ජීවිතයට ගලපා නොගෙන, එපමණක් නොව එතුමාණන් වැලැක් වූ අංගයන් දහමට ගලපාගෙන ‘අප සෑබෑ කිතුණූවන් එසේත් නැත්නම්, අප යේසූස් තුමාණන්ගේ සැදැහැවතුන්’ යයි ලෝකයාට හදුන්වාදීමේ ඇති පලය කුමක් ද?. දහමක මූලික අංගය වන දේව විශ්වාසය නිසි ලෙස අවබෝධ කර නොගෙන තම සිතුවිලි හෝ වැරදි මඟපෙන්වීම් ඔස්සේ කටයුතු කොට පරමාන්ත (විනිශ්චය) දිනයේ ඉහතින් සදහන් ආකාරයට දෙවියන් හමුවේ පෙනී සිටින්නේ කෙසේද?. යේසූස් තුමාගේ උපත සමරණ බුද්ධිමත් ප්‍රජාව මෙයයි අද දවසේ අවබෝධ කරගත යුතු සත්‍යය වන්නේ. එම සත්‍යය අවබෝධ කරගැනීමට ඔවුන්ගේ මනස විවෘත වේවා!, යන ප්‍රාර්ථනය අවසාන වශයෙන් නැවතත් තබමින් මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/19

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම