රටක උද්ධමනයක් හමුවේ ඉස්ලාම් දහමේ මඟපෙන්වීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මේ දිනවල රටේ තොටේ නිතර ඇසෙන වචනයක් වේ නම් ඒ ‘උද්ධමනය’ යන්නයි. ඇත්තටම උද්ධමනය යනු කුමක්ද? යන්න සරල පවසනවා නම්, රටක පවතින භාණ්ඩ හා සේවාවල මිල වැඩි වීම සහ ඊට සාපේෂව කාලයත් සමඟ අපගේ මුදල් හි සැබෑ වටිනාකම අවම වී යාමේ ක්‍රියාවලියයි. ඇත්ත වශයෙන්ම, මෙයින් අදහස් කරන්නේ අපගේ මුදල්වලන් මිලදී ගැනීමේ ශක්තිය වසරින් වසර අඩු වනවා යන්නයි.

මෙය සරල නිදසුනකින් පැහැදිලි කරනවා නම්, මේ වර්ෂයේ රටක උද්ධමනය 10% නම්, එයින් අදහස් කරන්නේ පසුගිය වසරේ රුපියල් 100.00 ක් වැය කොට මිලදීගත් සිල්ලර භාණ්ඩයක් මේ වසරේ දී මිලදී ගැනීමේදී ඒ සදහා රුපියල් 110.00 ක් වැය කිරීමට සිදුවනවා යන්නයි. එසේනම් අප රටේ වත්මන් උද්ධමන ප්‍රතිශතය වෙත අවදානය යොමු කලේනම්,

  • 2022/ අගෝස්තු මසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය 84.6% කි.
  • 2022/ සැප්තැම්බර් මාසයේ එය 85.8 % කි.

මේ අනුව 2021/ සැප්තැම්බර් මාසයේ රුපියල් 100.00 වැය කොට මිලදී ගත් භාණ්ඩයක් මේ වසරේ (2022) සැප්තැම්බර් මාසයේ මිලදී ගැනීමේ දී ඒ සදහා 185.80 ක් වැය කිරීමට සිදුවනවා යන්නයි. මෙලෙස භාණ්ඩවල මිල වැඩිවීමට සාපේකෂව ආදායම වැඩි නොවීමත්, තිබෙන මුදලේ වටිනාකම අඩුවීමත් වැනි උද්රධමන තත්වය සමඟ රටේ අර්බුද ගණනාවක් නිර්මාණය වේ. එයින් ආහාර අර්බුදය යන්න ප්‍රධාන තැනක් ගනී. (මේ පිලිබදව ‘යහමග’ අඩවිය තුලින් මීට ඉහත ‘ආහාර අර්බුදය විමසුම‘ යන මාතෘකාව යටතේ ලිපි කිහිපයකින් සාකච්චා කොට ඇත.)

රටක උද්ධමනය ඇතිවීම ප්‍රධාන ආකාර දෙකකින් සිදුවිය හැක. එනම්,

  • ස්වභාවික හේතූන් මත – උදාහර්ණයකට කොවිඩ්-19 වැනි වසංගත රෝග සහ ආපදා තත්වයන් රටපුරා පැතිරීම හේතුවෙන් නිෂ්පාදන සහ සේවා සැපයීම් හි අඩුවක් දීර්ඝ කාලීනව පැවතීම තුල උද්ධමන තත්වයන් නිර්මාණය විම.
  • මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් – මෙම තත්වයට කදිම හා සමීපතම උදාහර්ණය අප රටයි. අක්‍රමවත් සහ අවස්ථාවදී පාලකයන්ගේ ක්‍රියාකලාපයන් හා පොදු දේපල මහා පරිමාණයෙන් සොරකම් කිරීමේ ප්‍රථිපලය ලෙස අද අප රට තුල විදේශ විනිමය නැති වීමෙන් දැඩි උද්ධමන තත්වයක් නිර්මාණය වීම.

මෙහි පලමු කාරණය වන ‘ස්වභාවිකව ඇති වන තත්වයන් තුල සිදුවන උද්ධමනය’ යන්න අපට ක්ෂණිකව පාලනය කල හැකි තත්වයක් නොවේ. එම තත්වයෙන් මීදීමට දීර්ඝ කාලීන සැලැස්මකට අනුව කටයුතු කිරීමට සිදුවේ. නමුත් දෙවන කාරණය එසේ නොවේ. එය සම්පූර්ණයෙන් මිනිස් ක්‍රියාකාරකම් මත එනම්,

  • නිසි කළමනාකරණයකින් තොර මුදල් පරිහර්නය,
  • වැඩි ලාභ අපේක්ෂාවෙන් භාණ්ඩ වසන් කිරීම සහ වැඩි මිලට අලෙවි කිරීම,
  • සොරකම් වංචා සිදුකිරීම,
  • පොලී ක්‍රියාවලියට සමාජ බහුතරයක් බිලිවීම,

යනාදී කාරණයන් මත පදනම් වන තත්වයකි. මෙම තත්වයෙන් රටක්, සමාජයක් මිදෙන්නට නම්, සමාජයේ පහලම තලයේ සිට ඉහලම තලය දක්වා සෑම සියළුදෙනාගේම ආකල්පමය වෙනසක් සහ ක්‍රියාකාරී යහපත් මැදිහත්වීමක් අත්‍යඅවශය වේ. එසේ නොමැතිව එම තත්වයෙන් මිදීම පහසු නොවේ. මේ හේතුව නිසාම එවැනි අවාසනාවන්ත තත්වයක් රටක් සමාජයක් තුල නිර්මාණය නොවීමට අවශ්‍ය අවවාදාත්මක මඟපෙන්වීම ඉස්ලාම් දහම සිදු කරයි. මීට වසර 1400 කට පෙර පහල වූ ඉස්ලාම් දහම ලෝකයාට සිදුකොට ඇති එවැනි ඉගැන්වීමන් කිහිපයක් ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නේ නම්,

නිසි කළමනාකරණයකින් තොර මුදල් පරිහර්නය,

පන්දලම් (නොහොත් මැස්ස) මත විහිදුවා ඇති වැල්වලින්ද, පන්දලම් (නොහොත් මැස්ස) රහිත පැලවලින්ද, ඉඳිගස්වලින්ද සමන්විත උයන්ද, රසවිඳීමට හැකි ලෙස විවිධ රසයන්ගෙන් යුත් පලදාවද,  ඔලිව් (රට වෙරළු) හා දෙළුම්ද ඵල දරන විට එහි ඵලයෙන් අනුභව කරනු. එය (ඵල) නෙළන දින ඔහුගේ (අල්ලාහ් වෙනුවෙන් දිය යුතු (සzකාත්)) කොටස දෙනු. නාස්ති නොකරනු. නියත වශයෙන්ම (අල්ලාහ් (දෙවි))ඔහු නාස්ති කරන්නන් ප්‍රිය නොකරයි.

අල්කුර්ආන් 6-141

නියතවශයෙන් නාස්තිකාරයින් ෂෙයිතාන්ගේ සහෝදරයෝ වෙති. ෂෙයිතාන් ඔහුගේ රබ්(පරමාධිපති)ට අකෘතඥය.

අල්කුර්ආන් 17-27

වැඩි ලාභ අපේක්ෂාවෙන් භාණ්ඩ වසන් කිරීම සහ වැඩි මිලට අලෙවි කිරීම,

“(භාණ්ඩ මිල ඉහළ නැංවීමේ අරමුණින්) ආහාර සඟවා තබන තැනැත්තා නියත වශයෙන්ම වරදක් කර ඇත!”

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

“කිසිවකු (නිෂ්පාදනවල) මිල වැඩි කිරීමට උත්සාහ කරයිද, උත්තරීතර අල්ලාහ් (දෙවි), නැවත නැඟිටීමේ දිනයේදී ඔහුව (අපාය) ගින්නෙහි මධ්‍යයේ අසුන් ගන්වනු ඇත.”

මූලාශ්‍ර ග්‍රන්ථය – අහ්මද්

“(භාණ්ඩ) වසන් කරන්නා මොනතරම් නපුරු පුද්ගලයෙක්ද!, (භාණ්ඩ) මිල අල්ලාහ් (දෙවි), පහත වැටීමට සැලසූ විට ඔහු දුක් වන අතර එහි මිල ඉහල නැංවීමට සලස්වන්නේ නම්, ඔහු (සතුටින්) උද්යෝගිමත් වනු ඇත.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බයිහකී

සොරකම් වංචා සිදුකිරීම,

තමන් උපයන දෑ හරාම්ද? හලාල්ද? යන්න පිලිබදව සැලකිලීමත් නොවන කාලයක් (අනගතයේ දී) උදාවනු ඇත.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

අරාබි දේශයේ විවිධ වූ රට ඉදි වර්ග (එනම් මිල වැඩි හා මිල අඩු වර්ග) හැදෙන අතර එම අස්වැන්න එකට මිශ්‍ර කොට අලෙවි කරන ක්‍රමවේදයක් එහි පැවතුණි. මෙය දුටූ නබිතුමාණන් එසේ නොකරන ලෙසත් ඒ ඒ වර්ගය වෙන වෙනම තබා අලෙවි කරන ලෙසත් අවවාද කරන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

(වර්ෂා සමයක) නබිතුමාණන් වෙළද පොළක් අසලින් ගමන් කරන විට වියලි ධාන්‍ය ගොඩක් දැක එය තුලට තම අත යවා බැලූවිට එහි පතුලේ තෙත් වූ ධාන්‍ය තිබෙනු දැකගන්නට ලැබුණි. මේ මොනවාද? යන්න විමසා වියලි හා තෙත් ධාන්‍ය වෙන් වෙන් වශයෙන් පාරිභෝගිකයන් හට පහසුවෙන් හදුනාගත හැකි ආකාරයට තබන ලෙස අවවාද කරන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

පොලී ක්‍රියාවලියට සමාජ බහුතරයක් බිලිවීම,

අල්ලාහ් (දෙවි) වෙළදාම හලාල් (අනුමත) කොට ‘පොලී’ හරාම් (තහනම්) කර ඇත. දෙවියන්ගෙන් පැමිණි (‘පොලී නොගත යුතුයි’ යන) අවවාදයට අනුව (එය අත්හැර දමා) ඈත් වුවහොත්, (එයට පෙර ඔහු ලබාගත්) කළින් දැය ඔහුටම අයත්ය. මීට පෙර පොලී ලබාගත් ඔහුගේ කාරණාව අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඇත්තේය. තවද කවුරුන් හෝ (මෙම නියෝගය ලැබුණු) පසුවද (පොළිය ගැනීමට) ඉදිරිපත් වුවහොත්, ඔවුන් අපාවාසීන්ය!, එහි ඔවුන් සදා රුදී සිටිනු ඇත.

ශුද්ධ වූ කුර්ආනය 2-275

පොලිය මඟින් අනුභව කරන්නන්ද, පොලී ‍ගන්නාද, එයට සහය වන්නාද, එයට සාක්ෂි දරණ දෙදෙනාද… යන පිරිසට නබිතුමාණන් ශාප කරන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

ඉහත ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් එහි මූලාශ්‍රයන් වන අල්කුර්ආනය හා අල්හදීසය තුලින් ගෙනහැර දක්වා ඇත. මෙම ඉගෙන්වීමන් අනුව රටක් සමාජයක් ක්‍රියා කරයි නම්, එවැනි සමාජයක් තුල උද්ධමනයට කිසිදු ඉඩක් නොමැති බව සහතිකය.

නමුත් අවාසනාවකට විවිධ කාලවල අප රට පාලනය කල පාලකයින්ගේ නොහැකියාවත්, සොරකම් හා දූෂණය මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වීමත් හේතුකොට ගෙන දිනෙන් දින උද්ධමනය ඉහල යමින් රටම සීඝ්‍රයෙන් කඩා වැටෙන මාවතකට අද යොමුව ඇත. මේ තත්වයෙන් අප රට මුදවාගන්නට නම්,

  • පාලකයින් සහ බලධාරීන් ඉහතින් සදහන් කාරණයන් වෙත කඩිනමින් අවදානය යොමු කොට ක්‍රියාකාරී වැඩ පිලිවෙලක් සකස් කිරීම කලයුතුව ඇත.
  • එසේම රටේ ව්‍යාපාරික ප්‍රජාව ද අධික ලාභ අපේක්ෂාවෙන් ජනයා පීඩාවට පත් නොකොට කිසියම් සහනදායි ක්‍රියාවලියකට යොමු වියයුතුව ඇත.
  • එසේම පොදු ජනයා අනවශ්‍ය වියදම් සහ නාස්තිය අවම කරගනිමින් රටේ වත්මන් තත්වය පාලනය කිරීමට අවශ්‍ය සහය දැක්විය යුතුව ඇත.

ඒ සදහා ඉහත සියළු පාර්ශවයන්ට නුවණැස පෑදේවා! යනුවෙන් ප්‍රාර්ථනා කරන අතර මුස්ලීම් සමාජයට ද මෙහිදී දැඩිව අවදාරණය කලයුතු කාරණයක් ඇත. එනම්, මෙවැනි අර්බුදකාරී තත්වයන් හමුවේ මුස්ලීම්වරුන් වන අප ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන්ට අවනතව කටයුතු කිරීම අත්‍යඅවශ්‍යය. මෙවැනි තත්වයන් මුස්ලීම් සමාජය තුල ඇතිවීම, දෙවියන් විසින් මුස්ලීම්වරුන් වන අප කොතරම් දෙවියන්ට අවනතව ක්‍රියා කරනවාද? යන්න පිරික්සනු පිණිස ද වියහැක. එමනිසා වත්මන් ආර්ථික අර්බුදය තුල දහමේ ඉගෙන්වීමන්ට අවනතව සීමාවන් නොඉක්මවා කටයුතු කිරීමට ද අප පරිස්සම් වියයුතුය.

එනම්,

  • සියල්ල සිදුවන්නේ අල්ලාහ්(දෙවි)ගේ පෙර නියම (කර්මය) අනුව බවට අවබෝධයෙන් කටයුතු කිරීම,
  • මෙලොව දිවියේ අරමුණ පරලොව ස්වර්ගය දිනා ගැනීම යන්න පිලිබදව අවබෝධයෙන් කටයුතු කිරීම,
  • අල්ලාහ් (දෙවි) අල්-රසාක් එනම්, පෝෂකයා බව තේරුම් ගෙන කටයුතු කිරීම,
  • පවතින තත්වය හමුවේ ඉවසීමෙන් කටයුතු කිරීම,
  • අල්ලාහ් (දෙවි)ගේ ආඥාවන් පිලිපදින් විට අල්ලාහ් මෙලොව පරලොව අපේ කටයුතු සියල්ල බලාගනු ඇතැයි විශ්වාස කිරීම,
  • අනවශ්‍ය වියදම් සහ නාස්තිය අවම කරගැනීම
  • සzකාත් සහ සදකා පිලිබදව උනන්දු වීම,
  • ප්‍රජාව කෙරෙහි ඇති වගකීම හා යුතුකම පිලිබදව අවබෝධයෙන් කටයුතු කිරීම,
  • (පොලියෙන් තොර) සහන ණය ක්‍රම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම,
  • තම අවට ජනයා කෙරෙහි දයාවෙන් කටයුතු කිරීම,

අප රටේ වත්මන් උද්ධමන තත්වය හමුවේ ඉහත කාරණයන් මුස්ලීම් සමාජයේ දැඩි අවදානයට යොමු කරමින්ද, ඉදිරියේදී එම කාරණයන් ඉස්ලාම් දහමේ දෘෂ්ඨියෙන් සාකච්චා කිරීමේ අරමුණින්ද, මෙම ලිපියට විරාමය තබන්නේ ‘යාඅල්ලාහ්!, අප රටේ ඇති වී තිබෙන මෙම උද්ධමන තත්වයෙන් සමස්ථ ජාතියම මිදෙන්නටත්, ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස නැඟී සිටින්නටත් ඔබේ කරුණාව ආශිර්වාදය අපට හිමිකර දෙත්වා!, යන ප්‍රාර්ථනයෙනි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම