ලෝකය Reset වෙමින් ඇත.
ලොව පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත ජනතාවක් මේ මොහොත වනවිටත් ස්වයං හුදකලාවේ හා සමාජ දුරස්ථභාවයේ නියලී සිටිති. ශ්‍රී ලාංකීය, අප ජීවත් වන්නේද රට පුරා සංචරණ සීමාවක් පනවා ඇති අවදියකයි. අත්‍ය අවශ්‍ය කාරණයක් සදහා මිස කිසිසේත් නිවසින් බැහැරවීම නොකලයුතුයි යන්න COVID-19 අද අපට කියාදී ඇති පාඩමයි. කාර්‍යබහුල ජීවිතයෙන් ඈත් කොට නිවස තුල හුදෙකලාව රැදෙන්නට සැලැස්වූ මෙම කොරෝනාව අපට ජීවිතයේ මඟහැරුනු බොහෝ දෑ නැවත හැරී බලන්නට අවස්ථාවක් සලසාදී ඇත.
මෙම විෂය පිලිබදව යහමග අඩවිය තුල මීට ඉහත ලියවුණු ලිපි පහත Link එක තුලින් කියවන්න.
මීට මාස ගණනාවකට පෙර චීනයේ එක්තරා ගමක බිහිවූ මෙම කොරෝනා (නොඑසේ නම් කෝවිඩ් 19) නම් වෛරසය ඉතා කෙටි කාලයක් තුල සමස්ථ ලෝකයම තැතිගන්වා, ඔවුන්ගේ ජීවිතවල සතුට වෙනුවට මරණ බිය, අපේක්ෂාභංගත්වය හා කුසගින්න ආදේශ කොට, සමස්ථ ලෝකයම මොහොතකට නතර කොට ඇත. මෙහිදී මිනිස් වර්ගයාට අතපසු වූ පාඩමක් ප්‍රායෝගිකව නැවත කියාදෙන්නට අල්ලාහ් (දෙවි) කටයුතු කරමින් සිටිනවාදෝ? යන සැකය මතුවෙමින් ඇත. එම කුතුහලය අල්කුර්ආනයේ 2-155 වාක්‍යය තුලින් ද තවදුරටත් මෙසේ තහවුරු වෙමින් ඇත.
බියෙන් හා සාගින්නෙන්ද වස්තූන්, ජීවිත හා බෝග(වල) පරිහානියෙන්ද අපි නුඹලාව පරීක්ෂා කරන්නෙමු. (මෙම පරීකෂණයන් හමුවේ නොසැලී සිටින) ඉවසිලිවන්තයින්ට (මුහම්මද්!) නුඹ ශුභ ආරාංචි පවසන්න.
අල්කුර්ආනයේ 2-155
මීට වසර 1400කට පෙර පහල වූ ඉහත වාක්‍යය බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, එහි පවසන ආකාරයට…
- මරණ බිය
- කුසගින්න
- මුදල් (ධනය) අහිමිවීම
- ජීවිත අහිමිවීම
වැනි ඉතා කෘරිරු තත්වයන් සියල්ලක්ම ඇති කරවමින් මිනිස් සමාජය තැතිගන්වා පරීක්ෂණයන්ට ලක්කරවන බව අල්කුර්ආනය පවසයි. එම තත්වයන් සියල්ල ඒ ආකාරයටම වත්මන් සමාජය තුල අද දකින්නට ඇත. මෙය වත්මන් කොරෝනා තත්වය දෙස බලමින් අද ඊයේ පහල වූ වාක්‍යයක්දෝ? යයි සිතන්නට පොළොඹ වන තරමට ම එය අපට සංවේදී ගැලපෙන වාක්‍යයක් වී ඇත.
ලොවපුරා ව්‍යාප්ත වී ඇති මෙම කොරෝනා වසංගතය තුල රෝගී වූ පිරිස් ඉතා වේදනාකාරී අමිහිරි අත්දැකීමන් ලබමින්ද, තවත් පිරිසක් තම ඥාති මිත්‍රයන් මෙම රෝගය නිසා අහිමි වූ කම්පාවෙන්ද, තවත් පිරිසක් තම රැකියා හා ආදායම් අහිමි වී අවම ජීවන වියදම පවා සොයා ගැනීමට නොහැකි තරමට අසරණ වී ‘මේ සිදුවන්නට යන්නේ කුමක්ද?’ යැයි කම්පාවෙන් ද බලාසිටින ආකාරයක් අද දක්නට ඇත. මේ සියළු පාර්ශවයන්ට ඉහත අල්කුර්ආන් වාක්‍යය තුලින් අල්ලාහ් (දෙවි) පවසන එකම අවවාදය හා මඟපෙන්වීම ‘ඉවසිලීවන්තව හා (දහම තුල) ස්ථීරව හිඳ අල්ලාහ් (දෙවි)ගෙන් උපකාර පතන්න’ යන්නයි.
නමුත් මේ ලෝකය කෙරෙහි අපගේ තිබෙන මෝහය හා ධනය රුස්කිරීමට ඇති කෑදරකම අල්කුර්ආනය අපට පවසන ඉහත අවවාදය සේම තවත් එහි බොහෝ අවවාද අනුශාසනා අපගේ හඳවතින් දුරස්වීමට හේතු වී ඇත. එමනිසා බොහෝ දෙනෙකු තම ජීවිතයේ අරමුණු හා යථාර්තය පිලිගැනීමට පවා සූදානම් නැති තරමට විකෘති වී ඇත. එවන් අවදියකයි මෙම කොරෝනාව මිනිස් බුද්ධීය මේ ආකාරයට අවදි කරන්නේ. අද අප මේ ලෝකය හා අපගේ ජීවිත අල්ලාහ්ගෙන් ලද ත්‍යාගයක් යන්න අද පිලිගැනීමට අප සූදානම් නැත. ඔහුගෙන් ලැබෙන දෑ නැවත ඔහු වෙතම යන බව පිලිගැනීමට අප සූදානම් නැත. අපගේ ක්‍රියාවන් අපගේ පරලොවට, අපගේ ස්ථිර වාසස්ථානය (ස්වර්ගය හෝ නිරය)ට බලපාන්නේ කෙසේද යන්න ගැන සිතා බලන්න අප සූදානම් නැත. අප සාර්ථක වුවහොත්, අපට සදාකාලික සැනසීම සහ පෝෂණය ලබා ගත හැකි යන්න පිලිගැනීමට අප සූදානම් නැත. කොටින්ම ඔහු දෙවියන් පෙන්වාදුන් සීමාවන් තුල ජීවත්වීමට සූදානම් නැත. ඒ වෙනුවට මරණය ඔහුට හුඟාක් දුරකින් යයි සිතමින් ජීවත් වීමට ඔහු පෙළඹී ඇත.
මේ නිසාම ඔහු…
- දේව නැමදුමෙන් දුරස් වී ඇත,
- මාපිය වගකීමෙන් දුරස් වී ඇත,
- සමාජ වගකීමෙන් දුරස් වී ඇත,
- යහපත් ගුණාංගවලින් දුරස් වී ඇත,
අද කොරෝනා වෛරසය ලෝකයම හුදෙකලා කොට ඉහත කාරණයන් නැවත සිතා බලන්නට මනුෂ්‍යයා පොළොඹවමින් ඇත. අප සියල්ලන්ම මෙම වෛරසයට ගොදුරු නොවුනත්, අපේ ජීවිතවලට එය දරුණුවට බලපානු ඇත, එබැවින් අපගේ ක්‍රියාවන් ගැන නැවත වරක් සිතා බැලිය යුතුව ඇත, මේ දක්වා අප ජීවත් වූ ආකාරය හා අපගේ සියලු ක්‍රියාකාරකම් නැවත පරීක්ෂා කර බැලිය යුතුව ඇත. ඒ තුලින් අපගේ ජීවිත ආගම දහමට අනූකූලව නැවත සකසා ගැනීම කලයුතුව ඇත.
ඒ සදහා අපට ශක්තිය ධෛර්‍ය ලැබේවා!, අල්ලාහ් (දෙවි) ආශිර්වාදය හිමිවේවා! යන ප්‍රාර්ථනාව ඇතුව මෙම ලිපියට විරාමය තබමි.
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න