ලෝක විනාශය කවදා ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


‘ලෝක විනාශය’ මෙය ඔබට අළුත් මාතෘකාවන් නොවේ යන්නෙ හි නම් කිසිදු සැකයක් නැත. මේ වන විට මේ මාතෘකාව පිලිබදව කථා කොට සමහරක් පිරිස් වෙහෙසට පත්ව සිටින අතර තවත් සමහරක් පිරිස් තැතිගැන්ව උපේකෂා සහගත ලෙස බලා සිටි. මේ අතර තුර මෙම මාතෘකාව අශීර්වාදයක් කරගෙන ‘පොරක්’ නොඑසේ නම් ජනප්‍රිය වන්නට උත්සාහ දරන පිරිස් ද නැතුවා නොවේ. මේ සියල්ල පසුගිය දිනවල අප සමාජයේ උණූසුම් පුවත් වූ නිසා ‘යහමඟ’ ඒ පිලිබදව මෙහිදී කථා කිරීමට අදහස් නොකරමි. නමුත් ඉහත විෂය පිලිබදව ලිපි පෙලක් ඉදිරිපත් කරමින් සිටින ‘යහමඟ’ අද දවසේ සාකච්චාට ගැනීමට අදහස් කරන්නේ ‘ඉස්ලාමීය දෘෂ්ඨියෙන් ලෝක විනාශය කවදා ද?’ යන්න පිලිබදවයි.

2012/12/12 දිනට ලෝක විනාශය සිදුවන බවට වහසිබස් දෙඩූ සියළු මතවාදයන් ‍මේ වනවිට මුසාවක් වී හමාරය. මීලඟට මායාවරුන්ගේ දින දර්ශනයට අනුව 2012/12/21 දින එය සිදුවේ වි යන අනාවැකිය දැන් අප සමීපයට පැමිණ ඇත. (මේ පිලිබදව මීට ඉහත ‘ලෝක විනාශය හා මායා දින දර්ශනය‘ යන ලිපිය තුලින් මෙම අඩවිය තුල කරුණූ සාකච්චා කොට ඇත) ඒකාන්තයෙන්ම එයත් තවත් මුසාවක් යන්නෙ හි කිසිදු සැකයක් නැත. නමුත් මේ සියල්ල තුල සතුටින් ඉපිලී ගොස් වහසිබස් දෙඩවීමට හෝ පුද්ගල විවේචනයන් සිදු කිරීමට කිසිවක් නැත. මන්ද මේ ආකාරයට 12 හා 21 දින ලෝක විනාශය සිදුවීම මිත්‍යාවක් බව තහවුරු වීම තුල ‘ලෝක විනාශය’ යන්න කිසිදු දිනෙක සිදු නොවන සංකල්පයක් ලෙස නොසලකා හැරිය නොහැකි නිසාය. මේ ලෝක විනාශය ලොව සෑම දහමක් දර්ශනයක් ම දීර්ඝ ලෙස කරුණූ සාකච්චා කොට ඇත. විද්‍යාව ද ඒ පිලිබදව විවිධ අනාවැකි ප්‍රකාශ කරමින් ඇත (මේ පිලිබදව ‘බටහිරින් හිරු උදාව සැබෑවක්’ යන ලිපිය තුලින් ද තරමක් දුරකට කරුණූ සාකච්චා කොට ඇත). මනුෂ්‍ය ක්‍රියාකාරීත්වයන් (විනාශකාරී අවි අයුද නිෂ්පාදනය, මනුෂ්‍යාට අහිතකර විද්‍යාත්මක පරීක්ෂණ, කාර්මිත දියුණූව හා පරිසර විනාශය… යනාදීය) ද ඊට අවශ්‍ය පසුබිම නිර්මාණය කරමින් ඇත. මේ සියල්ල තුල දිනක මේ ලෝකය විනාශ වෙනවා යන්නෙ හි කිසිවෙකුටත් විවාදයක් පැවතිය නොහැක. එසේ නම් මෙහි ඇති එකම ගැටළුව ‘ඒ කවදා ද?’ යන්න පමණි.

සැබෑවට ම ඒ කවදා ද?

අද මෙම ලිපිය තුලින් ලෝක විනාශය පිලිබදව ඉස්ලාම් ආගමික දැක්ම කථා කරන නිසා ලොව අනිකුත් ආගම්වල කල්ප විනාශය, මහා විනාශය… යනාදී වශයෙන් තම තම දහමට ආවේනික මුහුණූවරවලින් මේ පිලිබදව කථා කොට ඇති බව ප්‍රථමයෙන් ඔබේ බුද්ධිමත් අවදානයට තබමින් ඉස්ලාම් පවසන එම දිනය පිලිබදව මෙලෙසින් අවදානය යොමු කරමි.

‘අල්ලාහ් (දෙවි) මේ ලෝකය යම් දිනක විනාශ කොට ඉන් අනතුරුව සියළු මනුෂ්‍යයන් නැවත පණ දී නැගිට්ටුවයි. ඉන්පසු ඔවුන්ගේ ක්‍රියාකලාපයන් විනිශ්චය කොට යහපත් පිරිසට ස්වර්ගය ද අයහපත් පිරිසට නිරය ද ලබාදෙනු ඇත’ මෙය ඉස්ලාමීය ‘මූලික විශ්වාසයන් 06‘ අතුරින් 05 වැන්නයි. මෙය සෑම මුස්ලීම්වරයෙකුම අනිවාර්‍යයෙන් විශ්වාස කලයුතු වන අතර මේ තුලින් ලෝක විනාශ සංකල්පය ඉස්ලාම් දහමට අනුකූලව ද සත්‍යයක් යන්න පැහැදිලිය. ඉස්ලාම් දහම පවසන මේ සංකල්පය එනම්, ‘ලෝක විනාශය සැබෑවක් බව මුස්ලීම්වරුන් වන නුඹලා පිලිගත යුතුයි’ යනුවෙන් සරල නියෝගයක් පැනවූයේ නැත. ඉස්ලාම් ඒ පිලිබදව දීර්ඝ ලෙස විස්තර ඉදිරිපත් කරයි. එනම්, එවැනි දිනයක් නිර්මාණය කොට ඇත්තේ ඇයිද?, එම දිනය කවදා ද?, එම දිනයට පෙර වූ සුළු පෙරනිමිති මොනවාද?, එම දිනය සමීපයේ සිදුවන මහා පෙරනිමි 10 මොනවාද?, එම ප්‍රධාන සලකුණු හමුවේ මුස්ලීම්වරුන් ක්‍රියා කලයුත්තේ කෙසේද?, එම විනාශය සිදුවන මොහොතෙ කොතරම් බියකරුද?, එහි එක් එක් පුද්ගලයන්ගේ ක්‍රියා කලාපයන් කෙබෙදු ද?… යනාදී වශයෙන් දීර්ඝ ලෙස විස්තර කරයි. මේවා පිලිබදව ‘යහමඟ’ අඩවිය ඉදිරියේ දී කථා කිරීමට අදහස් කරන අතර මෙම ලිපිය තුලින් කාලීන වශයෙන් වැදගත්කමක් උසුලන ‘එම දිනය කවදා ද?’ යන්න පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීමන් පදනම් කරගෙන දැන් විමසා බලමු.

ඉස්ලාමීය මූලාශ්‍රය මෙන්ම දිව්‍යමය මඟපෙන්වීම වන ශුද්ධ වූ කුර්ආනය හා හදීසය තුලින් එය විමසා බලන්නේ නම්,

ආසන්නයේ පවතින වේදනාවක් පිලිබදව අප ඔබට අවවාද කරමු.

ශුද්ධ වූ කුර්ආනය 78-40

ඔවුහු එය ඉතා ඈතින් පවතින දෙයක් ලෙසට දකින්නේය‍. නමුත් එය අප සමීපව පවතින දෙයක් වශයෙන් දකිමු.

ශුද්ධ වූ කුර්ආනය 70-6,7

මුහම්මද් (සල්) තුමාණන් වරක් සිය දබරැඟිල්ල සහා මැදැඟිල්ල එක් කොට පෙන්වා ‘මමත් ලෝක විනාශ දිනයත් මෙම ඇඟිලි දෙක ළං ළංව පවතිනවා සේ සමීප වී ඇත’ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

මීට වසර 1400 කට පමණ පෙර ශුද්ධ වූ කුර්ආනය හා හදීසය ලෝක විනාශය අප සමීපයට පැමිණ ඇති බව පවසයි. දැන් ඔබ තුල ඉස්ලාම් ‘සමීපව ඇත’ යයි පැවසූ එම විනාශය වසර 1400 ක් ගෙවී ගොස් ඇතත් තවම සිදු නොවුයේ ඇයි ද? යන සැකය ඇතිවීමට පුළුවන. එය මෙහිදී අවබෝධ කරගත යුත්තේ මීට අවුරුදු මිලියන ගණනකට පෙර මවන ලද මේ පොළොව තව අවුරුදු 1400 කින් හෝ 2000 කින් විනාශ වේවි යයි පැවසීම වර්ථමාන පෘථිවියේ වයසට සාපේක්ෂව කෙටි කාලයක් යනුවෙනි. මෙය තවත් සරලව පවසනවා නම්, මේ පෘථිවිය මෙතෙක් පැවතී කාලයෙන් (වයසින්) තවත් ඉතා සීමිත ප්‍රමාණයක් තමා තව ඉතිරිව ඇත්තේ යනුවෙනි. එය ඉස්ලාමීය මූලාශ්‍රයන් පදනම් කරගෙන තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, ලෝක විනාශය දිනය අප සමීපයට පැමිණ ඇති බව සැබෑවක් වුවද එය දිනක්, සතියක්, මාසයක් හෝ වසරක් තරම් සමීපයට තවම පැමිණ නොමැති බවයි. දැන් ඔබට ‘‍එසේ නම් එය සිදුවන්නේ කවදා ද?’ යන කුතුහලය නැවතත් මතුවීමට පුළුවන. ඒ පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීම දැන් විමසා බලමු.

‘එම මොහොත පැමිණෙන්නේ කවදා දැයි’ (මුහම්මද්!) නුඹගෙන් (ඔවුන්) විමසති. ‘මේ පිලිබදව වූ දැනුම ඇත්තේ මාගේ දෙවියන් ළඟය. එයට හිමි මොහොතෙහි  ඔහු හැර කිසිවකුට එය හෙළිදරව් කළ නොහැකිය. අහස්වල හා ‍පොලොවෙහි එය බිහිසුණු දෙයක් වශයෙන් පිහිටයි. එය නුඹලා වෙත ක්ෂණිකව පැමිණේ’ යයි පවසන්න!, මේ පිලිබදව නුඹ හොදින් දන්නා කෙනෙකු යයි ඔවුහු නුඹෙන් විමසති. ‘මේ ලිපිවද වූ දැනුම ඇත්තේ අල්ලාහ් ළඟ’ යැයි පවසන්න!…

ශූද්ධ වූ කුර්ආනය 7-187

ඉහත 7-187 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය තුල අපගේ මාතෘකාවට අදාලව පැවසෙන බොහෝ කරුණූ කාරණා ඇත. ඉස්ලාම් දහම ලෝක විනාශයේ පෙරනිමිති ප්‍රධාන කොටස් දෙකක් ලෙස ගෙන එය වෙන වෙනම විස්තර කරන අතර එහි අවසාන වශයෙන් සිදුවන මහා පෙරනිමිති 10 ක් පිලිබදව ද දීර්ඝ ලෙස කරුණූ පවසයි. (මේ පිලිබදව ඉදිරි ලිපියකින් සාකච්චා කිරීමට අදහස් කරමි) මේ සලකුණූ දකින ඕනෑම මුස්ලීම්වරයෙකුට මේ ගෙවීයමින් පවතින්නේ ලොව අන්තිම කාලය හා දින කිහිපය යන්න නිගමනය කිරීම අපහසු නොවේ. නිදසුනක් ලෙස දජ්ජාල්ගේ පැමිණීම, යහ්ජූජ් මහ්ජූජ් පැමිණීම, ඊසා (අලෛ) තුමාගේ පහලවීම… එවැනි සලකුණූ කිහිපයකි. නමුත් මේ සියල්ල තුලින් පවා පැවසිය නොහැකි එක් කාරණයක් ඉහත වාක්‍යයෙන් අවධාරණය කරයි. ඒ ‘මේ ලෝක විනාශ මොහොත කුමක්ද?’ යන්නයි. ඒ පිලිබදව වූ ඥානය ඇත්තේ අල්ලාහ් (දෙවි) හමුවේ පමණක් බව ද ඉහත වාක්‍යය අවධාරණය කරයි. අල්ලාහ්ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් ට පවා එම ඥානය ලබා දී නොමැති බව ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය තවදුරටත් අවධාරණය කරයි. එය තවදුරටත් අවබෝධ කරගැනීම පිණිස තවත් ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය කිහිපයකට ඔබේ අවදානය යොමු කරන්නේ නම්,

නුඹලා සත්‍යවන්තයින් නම් එම අවවාද (දින)ය කවදා දැයි (ඔවුන්) අසති. ‘එම දැනුම ඇත්තේ අල්ලාහ් ළඟය. මම පැහැදිලි ලෙස අවවාද කරන්නෙක් (වක්තෘවරයෙක්) පමණි’ යයි පවසන්න!,

ශුද්ධ වූ කුර්ආනය 67-25,26

‘නූඹලා අවවාද කරනු ලබන දේ සමීපයේ පවතී ද? නැතහොත් මාගේ දෙවියන් එයට කාලයක් ගතවීමට සලස්වා ඇත්තේ ද යන්න (මුහම්මද් වන මා) නොදනිමි’ යැයි කියන්න.

ශුද්ධ වූ කුර්ආනය 72-25

ඉහත වාක්‍යයන් සියල්ලට අනුව ‘ලෝක විනාශ මොහොත’ කවදා ද යන්න ඒ මොහොත උදාවන මොහොත දක්වා ම ගුප්ත කාරණයක් යන්න පැහැදිලිය. අවසාන වශයෙන් එම මොහොතේ කුරිරු බව හා එය එ‍ලෙස සඟවා තැබීමට මූලික හේතුව පවසන ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය කිහිපයක් ඔබේ බුද්ධීමත් අවධානයට ගෙන එමින් මෙම ලිපියට විරාමය තබමි.

වටලන වේදනාව ඔවුනට පැමිණිම ගැන හෝ ඔවුහු නොදැනුවත් ව සිටිය දී ක්ෂණික ව එම මොහොත පැමිණිම ගැන හෝ ඔවුහු බියෙන් තොරව සිටින්නෝද?

ශුද්ධ වූ කුර්ආනය 12-107

ඔවුහු එය දකින වි‍ට එක් සන්ධ්‍යාවක් හෝ නැතහොත් එක් උදෑසනක් හෝ මිස ජීවත් නොවුවාක් මෙන් ඔවුනට හැ‍‍ගේ

ශුද්ධ වූ කුර්ආනය 79-46

එදින දී අහස අධික ලෙස රත් වූ තඹ මෙන් පැහැගැන් වෙන්නේය.කඳු පුළුන් මෙන් පාවී යන්නේය.

ශුද්ධ වූ කුර්ආනය 70-8,9

එම මොහොත පැමිණෙන්නක්මය, සෑම කෙනෙකු ම තම තමාගේ ඉපැයීම ට අනුව තිලිණ පිරිනමනු පිණිස එය සඟවා තබා ඇත්තේය. මෙය විශ්වාස නොකොට තම සිතුවිලි අනුගමනය කළ තැනැත්තා එයින් නුඹ නො වළක්වත්වා!, (එසේ වුවහොත්) නුඹ විනාශ වන්නේය.

ශුද්ධ වූ කුර්ආනය 20- 15,16

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/19

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම