වර්ථමාන ආපදා තත්වයන් හා ලෝක විනාශය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ශ්‍රී ලාංකීය වේලාවට අනුව මීට සුළු වේලාවකට පෙර එනම් (2012/12/21 දින) සවස 4.41 ට ලෝකය පුරා මහත් ආදෝලනයක් ඇති කල මයාවරුන්ගේ දින දර්ශනය නිමා විය. (වැඩි විස්තර සදහා 2012 ලෝක විනාශය හා මායා දින දර්ශනය යන ලිපිය කියවන්න) මෑත කාලීනව මනුෂ්‍ය දිවිය උඩුයටිකුරු කරමින් කරලියට ආ මායාවරුන්ගේ දින දර්ශනය මෙලෙස නිමාව දකින්නේ මායා දින දර්ශනය සරණ ගිය බොහෝ මිත්‍යා විද්වතුන් හා ජ්‍යොතිෂයන් බුද්ධිමත් සමාජය ඉදිරියේ නිරුවත් කරමිනි. මෙවැනි මිත්‍යා ව්‍යාපාරයන් තුල කොටු වී ලොවපුරා අත්අඩංගුවට පත් මිත්‍යා මතවාදීන්, මීට පෙර අවස්ථාවල මෙන්ම මෙවර ද ලෝක විනාශයට පෙර දිවි නාසා ගැනීමට ගත් උත්සාහයන් හා ලෝක විනාශයෙන් බේරීමට විවිධ වූ ආරක්ෂ පියවරවල් සංවිධානය කිරීම ඉහත ඊනියා ව්‍යාපාරයේ ප්‍රබල බව මනාව කියාපායි. මේ මායා දින දර්ශනය නිමාව සමඟ පොදු ජනතාවට ඉන්කිසිදු බලපෑමක් ඇති නොවුවත් ජ්‍යොතිෂ්‍යයන්ට නම් මෙය මහා විනාශයක් ගෙන දී ඇති බව පසුගිය දිනවල අප රටේ ජ්‍යෝතිෂ්‍යයන්ගේ කථා බහ තුලින් පවා මනාව දකින්නට ලැබේ. ඒ කෙසේ වෙතත් මෙම අවස්ථාවේ මා කථා කිරීමට යන්නේ මායාවරුන්ගේ දින දර්ශනය තුල විකෘති වී ගිය ජ්‍යෝතිෂ්‍යයන් පිලිබදව නම් නොවේ. මෙහිදී මා කථා කරන්න උත්සාහ කරන්නේ මෙතෙක් අප කථා කල මේ ‘ලෝක විනාශ‘ සංකල්පය වර්ථමාන සමාජයට ඇති කල යහපත් බලපෑම හා එය ආශිර්වාදයක් කරගෙන අප රටේ වර්ථමාන අපදා තත්වය හමුවේ ක්‍රියා කලයුත්තේ කෙසේද? යන්න පිලිබදවයි.

දිනක මියයන බව අමතක කොට තම සිතුවිලි හා හැඟීම්වලට වහල් වී ජීවත් වූ පිරිසට මරණ බිය ඇති කල, ලෞකික දිවිය තුල ගිලී ගිය සමාජයට ලෞකික දිවියේ අරුථ කියාදුන්, අමනුෂ්‍යත්වය වෙනුවට මනුෂ්‍යත්වයේ මහිමය කියාදුන්, හොර, බොරු, වංචා වෙනුවට අවංක කම ආදේශ කල, අසාධාරණය තුල ගිලී ගිය සමාජය සාධාර්ණ දිවියක අරුථ කියාදුන්… ඒ ‘ලෝක විනාශයේ බලාපොරොත්තු දිනය‘ අද අපට තවත් බලාපොරොත්තු වේ දිනයක් ඉතිරි කොට ගොස් හමාරය. හෙට උදාවන එම නව දිනය ලෝකවාසී ජනතාවට තවත් විශේෂ දිනයක් වනවා යන්නෙහි සැකයක් නැත. ඊටත් වඩා ශ්‍රී ලංකීය ජනතාවට ඒ හෙට දිනය තවත් සුවිශේෂී දිනයක් වී ඇත. මන්ද දැඩි වර්ෂාපතනය නිසා රට පුරා ආපදා තත්වයන් නිර්මාණය වී ශ්‍රී ලාංකීය ජනතාව දැඩි අසරණතාවයන්ට හා අහිමිවීමන්ට ගොදුරු වී ඇති මේ මොහොතේ ඔවුන් සදහා මනුෂ්‍යත්වයේ දෑත් දිගු කිරීමේ දැඩි අවශ්‍යතාවයක් උද්ගත වී ඇත. එහි අවශ්‍යතාවයේ තරම දළ වශයෙන් අවබෝධ කරගැනීම පිණිස ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන මඟින් ඉදිරිපත් කල සංඛ්‍යා ලේඛන ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

  • පුද්ගලයන් 27 දෙනකු ආපදා හේතුවෙන් මියගොස් ඇත.
  • තවත් 14 දෙනකු අතුරුදන් වී ඇත.
  • තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 36ක් බවට වාර්ථ වී ඇත.
  • නිවාස 1434ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත.
  • තවත් 4782 ක් අර්ධ වශයෙන් හානි සිදුව ඇත.
  • අවතැන්වූවන් සඳහා කඳවුරු 174ක් පිහිටුවා ඇත.
  • ඒවායේ පවුල් 15589 ක් අවතැන් වී ඇත.
  • අවතැන් වූ පුද්ගල සංඛ්‍යාව 56744 ක් බවට ගණන් බලා ඇත.

මේ ආකාරයට රටේ බහුතරය ආපදා තත්වයකට ගොදුරු වී සිටින මේ මොහොතේ ඒ අසරණ ජනතාව වෙනුවෙන් සහෝදරත්වයේ දෑත් දිගු කිරීමේ අවශ්‍යතාවය හා වගකීම සමස්ථ ජාතියටම පැවරෙන වගකීමකි. විශාල ජීවිත සංඛ්‍යාවක් බිලි අරගෙන සුනාමි ව්‍යසනය අපේ රටට කඩාවැදුණු මොහොතේ අපේ රටේ සහෝදර ජනතාව ජාති ආගම් කිසිවක් නොසලකා සහෝදරත්වයේ දෑත් දිගු කල ආකාරය සුනාමි රාජකාරී කටයුතුවල දිවා රෑ අඛණ්ඩව නිරත වූ මට ජීවිතයේ කිසිදා අමතක නොවන සිහිවටනයකි. එවන් වූ ශ්‍රී ලාංකීය ජාතියට මෙවන් ලිපියකින් යලිත් එම යුතුකම් යලිත් මතක් කලයුතු නොවේ යන්න මාගේ දැඩි විශ්වාස යයි. එසේ තිබිය දී පවා මෙවන් ලිපියක් තුලින් මේ විෂය පිලිබදව කරුණු ඉදිරිපත් කරන්නේ විටෙක තැතිගැන්ව, තවත් විටෙක කුතුහලයෙන්, තවත් විටෙක අපේක්ෂා භංගත්වයෙන්… කාලයක් මුළුල්ලේ සාකච්චා කල ‘ලෝක විනාශ‘ මාතෘකාව සදහා විරාමයේ තිත තැබීමේ මේ මොහොතේ එම කාලය පුරාවට මා ඉහතින් සදහන් කල ආකාරයට අප තුල සිදුවූ යහපත් වෙනස්වීම වර්ථමාන රටේ තත්වය සදහා සහා මෙවන් වූ ඉදිරි තත්වයන් සදහා ආශිර්වාදයක් කරගතයුතුව ඇති බව අවධාරණය කිරීම සදහාය.

මීට අමතරව ‘යහමඟ‘ කවදත් ඉස්ලාමීය ඉගෙන්වීමන් පදනම් කරගෙන ශ්‍රී ලාංකීය සමාජය තුල කාලීන මාතෘකා කථා කරන වෙබ් අඩවියක් ලෙස, වර්ථමාන ආපදා තත්වයන් මූලික කරගෙන කරුණු කිහිපයක් ශ්‍රී ලාංකීය සමාජයේ අවදානයට විශේෂයෙන් මුස්ලීම් සමාජයේ අවදානයට ගෙන ඒම කාලීන අවශ්‍යතාවයක් යයි සිතමි. මන්ද අප රටේ මුස්ලීම් නොවන සහෝදර ජනතාවගෙන් මෙන්ම මුස්ලීම් සමාජයේ ද සැලකිය යුතු පිරිසක් සිතා සිටින්නේ ඉස්ලාම් දහම යන්න විශ්වාසය (ඊමාන්), සලාතය, සකාත්, උපවාසය, හජ්… යනාදී විශ්වාස හා වතාවත් කිහිපයකට පමණක් සීමා වූ දහමක් ලෙසයි. නමුත් ඉස්ලාම් දහම හොදින් විශ්ලේෂණය කර බැලුවේ නම් එය ඊට වඩා ගැඹූරු හා පුළුල් වු දහමක් බව අවබෝධ කරගැනීම අපහසු නොවේ. (වැඩි විස්තර සදහා සමාජ වගකීම් හා ඉස්ලාම් යන ලිපිය කියවන්න) එය ඔබට පහත දිව්‍යමය ඉගෙන්වීමන් තුලින් පැහැදිලි ලෙස වටහාගත හැක.

විනිශ්චය (මරණින් මතු උදාවන) දිනයේ සමහරක් මිනිසුන්ගෙන් අල්ලාහ් (දෙවි) මෙසේ ප‍්‍රශ්න කරන බව නබිතුමාණන් පවසන ලදී ‘එම්බල ආදම්ගේ දරුවනි!, මම රෝගිව සිටී අවස්ථාවේ ඇයි නුඹ මාගේ සුවදුක් බලන්නට නොපැමිණියේ?’ එයට එම මිනිසා විශ්මයට පත්ව ‘දෙවියනේ නුඹ රෝගිවන්නේ කෙසේද?’ යයි විමසනු ඇත. එවිට අල්ලාහ් (දෙවි)යන් එම මිනිසා ජීවත් වු ප‍්‍රදේශයේ රෝගිව සිටී අසල්වාසින් සිහිකොට ඒ අයගේ සුවදුක් බලන්න නොපැමිණිම දෙවියන් තමාව බලන්නට නොපැමිණියාසේ සලකන බව පවසනු ඇත. ඒ ආකාරයටම තවත් කෙනෙකු කැදවා ‘එම්බල ආදම්ගේ දරුවනි!, මා කුසගින්නේන් නුඹලගට පැමිණී මොහොතේ ඇයි නුඹ මට ආහාර ලබා නොදුන්නේ?’ එයට එම මිනිසා විශ්මයට පත්ව ‘දෙවියනේ නුඹට කුසගින්නක් කෙසේ ඇතිවන්නද? නුඹ කවදා ද මා හමුවට ආවේ?’ යයි විමසනු ඇත. එවිට දෙවියන් එම මිනිසා ජීවතව සිටිය දී ඔහු හමුවට ආහාරයට යමක් ඉල්ලා පැමිණි පිරිස මතක් කොට ඒ පිරිසට ආහාර නොදීම නුඹ මට ම ආහාර නොදී ප‍්‍රතික්‍ෂෙප කලාසේය යනුවෙන් දෙවියන් පිලිතුරු දෙනු ඇත.

මූලාශ්‍ර ග්‍රන්ථය – හදීස් කුදිසි

  • ඉහත නබිවදන තුලින් පැහැදිලි වන්නේ ඉස්ලාම් දහමට අනුව මිනිසා තවත් මනුෂ්‍යයෙකුට කලයුතු යුතුකම් දෙවියන් තමන්ට කරන යුතුකම් ලෙස සලකනවා යන්න නොවේ ද?
දිනක් නබිතුමාණන් තම පරිවාරක (සහාභාවරුන්)ගෙන් ‘මහා බංකලෝතුකාරයා කව්රුන්ද යන්න නුඹලා දන්නෙහිද?’ යනුවෙන් විමසන ලදී. එයට එම පරිවාරක සහාභාවරුන් ‘නොදනිමු අපට පවසන්න?‘ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘මෙලොව ජීවත්ව සිටිය දී දෙවියන් වෙනුවෙන් ඉටුකල හැකි සියලුම ආකාරයේ වන්දනාමානයන් නොඅඩුව ඉටුකොට විනිශ්චය දිනයේ ඒ සියළු පිං පොදිබැදගෙන දෙවියන් හමුවට සතුටින් පැමිණ සිටින විට කෙනෙකු පැමිණ ‘දෙවියනී! මොහු එලොව ජීත්ව සිටිය දී මට මොහු විවිධ ආකාරයේ කරදරයන්, හිරිහැරයන් කලා’ යයි පවසයි. එවිට දෙවියන් මොහුගේ පිංවලින් කොටසක් ගෙන අසාධාරණයට ලක් වූ කෙනාට ලබාදෙයි. ඉන්පසු තවත් කෙනෙකු පැමිණ ‘දෙවියනී! මම මොහුගේ අසල්වාසියෙක් මොහු මට විවිධ ආකාරයේ හිරිහරයන් කලා’ යයි පවසයි. එවිට ඔහුටත් මොහුගේ පිංවලින් කොටසක් ලබාදෙයි …මේ ආකාරයට විවිධ පිරිස පැමිණ මොහුට චෝදනා කිරීම නිසා එයට පිලියමක් ලෙස මොහුගේ පිං බෙදාදීම සිදුවේ. මේ ආකාරයට මොහුගේ පිං සියල්ල අවසන් වේ. ඉන්පසු ද දෙවියන් ඉදිරියට මොලොව දී ඔහුගේ හිරිහැරයන්ට ගොදුරුවු මිනිසුන් පැමිණ ඔහුගෙන් සිදුවු හිරිහැරයන් පවසනු ලැබේ. ඒ වෙනුවෙන් ඔවුන්ට ලබාදීමට මොහු ලඟ පිං නැති නිසා ඒ වෙනුවට ඔහුගේ පාපයන් මොහුට ලබාදෙනු ලැබේ. අවසානයේ කල පිං පොදිබැදගෙන ස්වර්ගයට යන්නට සිටී මොහු අපයට යන බව පැවසු නබිතුමාණන් මොහු තමා මහා බංකලෝතුකාරයා යයි පවසන ලදී.‘

මූලාශ්‍ර ග්‍රනථය – හදීස්

නබිතුමා හමුවට පැමිණී සහාභිවරයෙක් ‘කාර්‍යයන් අතුරින් උතුම් වූ කාර්‍යය කුමක්ද?‘ යයි විමසන ලදී. එයට නබිතුමාණන්, … (දිර්ඝ හදීසයක්) ‘දුර්වලයන්ට උදව් උපකාර කිරීම එසේත් නැත්නම් මුදලක් උපයා කොටසක් ඔවුන් සදහා වැය කිරීම‘ යයි පවසන ලදී. එයට සහාභාවරුන් ‘නබිතුමණි!, එයත් ඉටුකිරීමට අපට හැකියාව හෝ ශක්තිය නැත්තේ නම් අප කුමක් කරන්නද?‘ යයි විමසන ලදී. එයට නබිතුමාණාන්, ‘ජනතාවට හානිදායක වන ආකාරයට කිසිවක් නොකර සිටින්න එයත් සදකාවක් (දෙවියන්ගේ මාර්ගයේ මුදල් වැය කිරීමක් බදු) වේ‘ යයි පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

වරක් නබිතුමාණන් මෙසේ පවසන ලදී ‘මුස්ලීම්වරයෙකු ගසක් සිටුවා එසේත් නැත්නම් බීජයක් වපුරා එයින් හටගන්නා පලදාව පක්‍ෂියෙක්, මනුෂ්‍යයෙක් එසේත් නැත්නම් සත්වයෙක් අනුභව කලේ නම් ඒ හේතුවෙන් සදකාවක් කල (දෙවියන්ගේ මාර්ගයේ මුදල් වැය කල) පින එම මිනිසාට හිමිවේ‘.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

සහෝදරවරුණි!, ඉහතින් සදහන් ඉස්ලාමීය ගෙන්වීමන් මොහොතක් බුද්ධිමත් ලෙස විමසා බලන්න. ඉස්ලාම් දහම කොතරම් දුරකට සමාජ සේවය හා බැදීම අවදාරනය කර තිබෙනවාද? යන්න මේ තුලින් අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. මෙවන් වූ අසමසම එසේම විශිෂ්ඨ වූ දහමක් සීමිත වත්වත් කිහිපයක් තුල කොටු කිරීම දහමටත්, සමාජයටත් අප මුස්ලීම්වරුන් වශයෙන් අප අතින්ම කරගන්නා විනාශයක්, අගෞරවයක් නොවේද?. අතීතයේ ඉස්ලාම් දහම ලෝකය පුරා ව්‍යාප්ත වූයේ දීර්ඝ ධර්ම දේශන හෝ මුස්ලීම්වරුන් ලෙස භාහිර ලෝකයට විලාසිතාව තුලින් පෙනී සිටීම නිසා නොවේ. මුස්ලීම්වරුන් ක්‍රියාවෙන් හා ගුණාංගවලින් සැබෑවටම පරිපූර්ණ මුස්ලීම්වරුන් වූ නිසාය. එසේනම් අවසාන වශයෙන් නැවතත් අවධාරණය කිරීමට ඇත්තේ වර්ථමානයේ අප රටතුල නිර්මාණය වී තිබෙන තත්වය තුල මුස්ලීම්වරුන් වශයෙන් ඉස්ලාම් අවධාරණය කරන බොහෝ වගකීම් ලහි ලහියේ ඉටු කලයුතුව ඇත. ඒ සදහා ‘ලෝක විනාශ‘ සංකල්පය තුල ලද පන්නරය හා ඉස්ලාම් දහම තුල ලද ආදර්ශය අපේ ජීවිතවලට ශක්තියක් කර ගනිමු. ඒ සදහා අපට ශක්තිය දෛර්‍යය ලැබේවා!, යයි අල්ලාහ් (දෙවි)ගෙන් ප්‍රාර්ථනා කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/19

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම