විලාසිතා ලොව තුල වල්මත් වන උම්මාව

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


‘එක්තරා කාලයක් උදාවනු ඇත. එම කාලයේ කාන්තාවන් ඇදුම් ඇද සිටීයද නොඇන්දා සේ පෙනෙනු ඇත. එවැනි කාලයක් ලොව උදාවුයේ නම්, එය ලොක විනාශයේ සලකුණකි.’

ඉහතින් දැක්වෙන්නේ මුහම්මද් (සල්) තුමාණන් විසින් එවකට සමාජයට දේශනා කල ‘ලෝක විනාශයට පෙර ඇති වන සමාජ තත්වයක් පිලිබදව කල අනාවැකියකි’. අනාගතයේ දී කාන්තාවකගේ ඇදුම් විලාසයේ සිදුවන විකාශනය පිලිබදව ඉදිරි සමාජයට කල අවවාදයකි. මෙහිදී නබිතුමාණන් පැවසූ එම අණාවැකිය පොදුවේ කල එකක් වූවත් මෙම අනාවැකියේ පවසන ලක්ෂණයන් මුස්ලීම් කාන්තාව තුලද දිනෙන් දින වර්ධනය වීමක් දකින්නට තිබීම අවාසනාවන්ත තත්වයකි. මේ හේතුව නිසයි මෙම ලිපිය තුලින් එම තත්වය පිලිබදව ඉස්ලාමයේ දෘෂ්ඨිය කුමක්ද? යන්න විමසා බලන්නේ.

මුස්ලීම් කාන්තාවකගේ වස්ත්‍රය කවර සීමාවන්ට යටත්ව කුමණ ආකාරයට පැවතිය යුතුද යන්න ඉස්ලාම් පැහැදිලිව විස්තර කොට ඇත. එම සීමාවන් ආරක්ෂා නොකිරීමේන් සමස්ථ සමාජයට සිදුවන හානියද ඉස්ලාම් දහම පැහැදිලිව පෙන්වා දේ. මෙම අවවාදය මුස්ලීම් සමාජය පමණක් නොව මුස්ලීම් නොවන සමාජය ද බුද්ධිමත්ව විමසා බැලිය යුතු කාරණයකි.

ඉස්ලාම් මුස්ලීම්වරුන් සදහා පනවන සීමාවන් හා නීතිරීති අනිවාර්‍යයෙන් එලෙසම පිලිපැදිය යුතු යන්නේහි කාන්තා පිරිමි කිසිදු මුස්ලීම්වරයෙකුට විවාදයක් නැත. ඒ අනුව ඉස්ලාම් දහම හා එහි ඉගෙන්වීමන් ප්‍රතික්ෂේප කොට නමට පමණක් මුස්ලීම් වූ සීමිත පිරිසක් හැරුණු කොට අතිබහුතරයක් වූ කාන්තාවන් ඉස්ලාම් පනවන ‘හිජාබ්’ නම් ශරීරයේ මුහුණ සහ අතෙහි මැණික්කටුවෙන් පහල කොටස හැර ශරිරයේ අනිකුත් සෑම තැනක්ම වැසෙන සේ ඇදුම් අදිය යුතු යන නීතියට අවනතව කටයුතු කිරීම එදා පටන් අද දක්වා දක්නට ඇත.

මෙලෙස ඉස්ලමයේ ඉගෙන්වීම අනුව කටයුතු කරන පිරිස් අතරින් සමහරක් පිරිස් ‘නූතන ඇදුම් විලාසිතා’ යයි පවසමින්ද, ‘කාන්තා නිදහස’ යයි පවසමින්ද, වස්ත්‍රයක් ඇදීමේදී ඉස්ලාම් පෙන්වාදෙන හා රුකිය යුතු කොන්දේසි බිඳලමින් දහමේ ඉගෙන්වීමන්ට පටහැනිව වස්ත්‍ර ඇදීමේ කලාවක් දැන් දැන් සමාජය තුල නිර්මානය වෙමින් ඇත. එනම්,

  • හිසෙහි ඉදිරිපස කෙස්කළඹ සහ බෙල්ල ආශ්‍රත පෙදෙස් පෙනෙන ආකාරයට හිස් ආවර්ණය පැලදීම,
  • ශරීරයේ හැඩතල මතු වී පෙනෙන ලෙස වස්ත්‍ර ඇදම,

යනාදීය විශේශයෙන් සදහන් කලහැක. මෙම පිරිසගේ ඇදුම් විලාසිතාව අවදානයෙන් බැලූවිට පෙනෙන්නේ නබිතුමාණන් ඉහතින් සදහන් කල ‘…ඇදුම් ඇද සිටීවි. නමුත් නොඇන්දා සේ පෙනේවී…’ යන අවාසනාවන්ත තැනට ඇදීයන තත්වයකි. මෙම තත්වය දිනෙන් දින වර්ධන ආකාරයක්ද මුස්ලීම් සමාජය හොදින් නිරීක්ෂණය කරන විට දකින්නට ඇත. ඔවුන්ගේ වස්ත්‍රය තුල ඉස්ලාම් පවසන හා අපේක්ෂා කරන අවශ්‍යතාවයන් ගිලිහෙමින් තිබෙන ආකාරයක් දක්නට නැත. විශේෂයෙන් මුස්ලීම් තරුණියන් අතර විලාසිතාවක් ලෙස මෙම අවාසනාවන්ත තත්වය දරුණුවට ම වර්ධනය වෙමින් ඇත. ඒ පිලිබදව තවදුරටත් බුද්ධිමත් විමසා බලන්නේ නම්,

  • හිසෙහි ඉදිරිපස කෙස්කළඹ සහ බෙල්ල ආශ්‍රත පෙදෙස් පෙනෙන ආකාරයට හිස් ආවර්ණය පැලදීම,

මුහම්මද් (සල්) තුමාණන් පැහැදිලිව ම මුහුණ සහ අතෙහි මැණික්කුටුව දක්වා වූ ඉදිරි කොටස හැර ශරීරයේ සෑම තැනක්ම හොදින් වැසිය යුතු යන්න පවසා තිබියදී හිසෙහි ඉදිරිපස කෙස් කළඹ සහ බෙල්ල පපුව ආශ්‍රත පෙදෙස පෙනෙන ලෙස ‘හිජාබය’ නොහොත් හිස් ආවර්ණය පැලදීම මුස්ලීම් තරුණියන් සහ වැඩහිටි කාන්තාවන් අතර කලාවක් වී ඇත. මෙය ඉස්ලාමයේ ඉගෙන්වීමට එරෙහි වූ ඇදුම් විලාසිතාවක් යන්න මුස්ලීම් සමාජයේ කාන්තාවන් හා දෙමාපියන් පැහැදිලිව අවබෝධ කොට කඩිනමින් නිවැරදි කරගත යුතු කාරණයක් වේ.

එම තත්වය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස ඉහතින් සදහන් ශුද්ධ වූ නබිවදන ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී.

දිනක් නබිතුමාණන් සහා එතුමගේ බිරිද වන අයිෂා (රලි) තුමිය. නිවස තුල රුදී සිටින අවස්ථාවක එම ස්ථානයට අයිෂා (රලි) තුමියගේ සහෝදරිය වන අස්මා (රලි) තුමිය පැමිණෙන ලදී. එම අවස්ථාවේ අස්මා (රලි) තුමිය ඉතා සිනිදු (තම ශරීරයේ හැඩතල පිටතට මතු වී පෙනෙන ආකාරයේ) ඇදුමක් ඇද සිටියාය. මෙය දුටු නබිතුමානන් ‘අස්මා!, කාන්තාවක් වැඩිවියට පත්වුවා නම් තම ශරීරයේ මේ මේ ප්‍රදේශ හැර අනිකුත් ප්‍රදේශයන් පිටතට පෙනීම සුදුසු නැත.’ යනුවෙන් පවසන ගමන් තම අතින් තම මුහුණ සහා අතේ මැනික්කටුව දක්වා පෙදෙස පෙන්වන ලදී.

දන්වන්නේ – අයිෂා (රලි),

ග්‍රන්තය– අබූදාවුද්, අබූහාතම්

ඉහත හදීසය අනුව බලනවිට කාන්තවක් තම ශරීරයේ මුහුණ සහ අතෙහි පහල කොටස හැර අනිකුත් සෑම අවයවයක්ම හොදින් වැනෙ සේ වස්ත්‍ර තෝරාගැනීම කලයුතු බව පැහැදිලි වේ. මෙතැනදී විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. එනම්, ඉස්ලාම් පවසන එම අවශ්‍යතාවය සපුරන ආකාරයේ ඕනෑම ඇදුමක් ඇදීමෙහි වරදක් නැති බවයි. එය අබියාද? සාරියද? නොඑසේ නම් වෙනත් ආකාරයක ගවුමක්ද? යන්න අදාල නොවේ. තවත් සරලව පවසනවා නම් වස්ත්‍රයකින් සැපිරිය යුතු අවශ්‍යතාවය ඉස්ලාම් පවසනවා මිස නිල ඇදුමක් හදුන්වාදී නොමැති බව මෙහි අවදාරණය කලයුතුමය. මා එසේ පවසන්නට හේතුව අද සමහරක් පිරිස් සිතා සිටින්නේ කාන්තාව සදහා ඉස්ලාම් නිල ඇදුමක් ලෙස ‘කළුපාට ලෝගුවක්’ හදුන්වා දී ඇතැයි යන්නයි. මෙය සම්පූර්ණයෙන් වැරදි අවබෝධයකි.

මෙතැනදී තවත් වැදගත් කාරණයක් සදහන් කලයුතුව ඇත. එනම්, ශරීරය වැසෙන ලෙස වස්ත්‍රය අදින ලෙස පවසන ඉස්ලාමය ඒ තුල තවත් ප්‍රධාන කොන්දේසියක් අන්තර්ග කොට එය පවසයි. එනම්, ශරීරයේ හැඩතල මතු කොට නොපෙන්වන ලෙස ඇදුම් ඇදීම අත්‍යඅවශ්‍ය යන්නයි.

ඒ පිලිබදව දැන් විමසා බලමු…

  • ශරීරයේ හැඩතල මතු වී පෙනෙන ලෙස වස්ත්‍ර ඇදම,

බොහෝ කාලයක පටන් මුස්ලීම් කාන්තාව සම්බන්ධයෙන් මුස්ලීම් නොවන සමාජයට ඇති ලොකුම ගැටළුව ඇයගේ ඇදුම් විලාසය අනිකුත් සමාජවල ඇදුම් විලාසිතා සංස්කෘතියට සාපේක්ෂව විකාශනය නොවීමයි. තවත් සරලව පවසනවා නම්, ඔවුන් නිරුවත් වන වේගයට සාපේක්ෂව මුස්ලීම් කාන්තාව නිරුවත් නොවීමයි.


නමුත් එම තත්වය ද දැන් දැන් වෙනස් වන ආකාරයක් දක්නට ඇත. විශේෂයෙන් ‘Slim fit Abaya සහ Denim’ සංස්කෘතියක් මුස්ලීම් සමාජය තුල බිහිවීමත් සමඟ ඉස්ලාම් ආරක්ෂා කර දුන් ඒ වටිනා ආදර්ශමත් සංස්කෘතිය අද බිඳ වැටෙන්නට පටන්ගෙන ඇත. මුහම්මද් (සල්) තුමාණන් පැවසු ‘…ඇදුම් ඇද සිටීවි. නමුත් නොඇන්දා සේ පෙනේවී…’ යන විකෘති තත්වය සමාජය තුල බිහිවෙමින් ඇත. වෙනසකට ඇත්තේ එසේ වස්ත්‍ර අඳින කාන්තාව තම ස්වභාවික වර්ණය වෙනුවට වස්ත්‍රයේ වර්ණයෙන් තම ශරීරයේ ස්වභාවය හැඩතල සමස්ථ සමාජයට නිරාවර්ණය කිරීමයි. මෙය ඉතා අවාසනාවන්ත සේම ඛේදනීය තත්වයකි.

සමාජයේ ඉහල ගෞරවය හා ආදරය හිමි දුව, සහෝදරිය, මව යන පදවීන්ට උරුමකම් කියන කාන්තාව දැන හෝ නොදැන තම අවට සමාජය කොතැනකට මෙහෙයවනවාද? යන්නත්, ඇයගේ විනාශය ඇය විසින්ම කොතරම් පහත් අන්දමින් ලඟා කරගන්නවාද? යන්නත් පහත නබිවදන තුලින් හොදින් අවබෝධ කරගත හැකි වනු ඇත.

මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී.

කාමයේ වරදවා හැසිරීම (නොහොත් ‘සිzනාව’) ආදම්ගේ දරුවාට හිමි බව දෙවියන් නිර්ණය කොට ඇත. එය ඔහුට නියතවම හිමිවන්නේය.
* මනුෂ්‍යාගේ ඇස් කරන සිzනාව (කාමුක හැඟීමන් ඇතිකර වන) එවැනි දෑ බැලීමයි,
* දිවෙන් කරන සිzනාව ඒ හා සම්බන්ධ (කාමුක හැඟීමන් ඇතිකර වන) දෑ පිලිබදව කථා කිරීමයි.
* සිතින් කරන සිzනාව ඒ කෙරෙහි නැඹුරුවක් හා ආසාවක් දැක්වීමයි.
අවසානයේ මේ සියල්ල තම රහස් අවයවය (ලිංගික අවයව) මඟින් ක්‍රියාවට නැංවීම හෝ අසත්‍ය කිරීම (වරදකට යොමු කිරීම හෝ ඉන් වැලැක්වීම) සිදුවෙයි.

දන්වන්නේ :- අබුහුරෙයිරා (රලි) තුමා,

ග්‍රන්ථය – බුහාරි

ඉහත නබිවදන බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, ප්‍රථම අපචාරය දර්ශනය මඟින් සිදුවන බවත්, එයට දැන හෝ නොදැන අප කාන්තා සමාජය කොටස්කරුවන් වන බව ඉහත හදීසය තුලින් පැහැදිලි වෙනවා නොවේද?. මේ හේතුව නිසයි ඉස්ලාම් බොහෝ තැන් හි ‘යහපත් කාන්තාවනි, යහපත් පුරුෂයනි තම බැල්ම පහත හෙලන්න’ යයි අවදාරණය කරමින් මෙම සමාජ පරිහානිය ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේ. යහපත් මිනිසුන් දෙවියන්ට බියබැතිව තම බැල්ම පහත හෙලුවත් සිතෙහි රෝග ඇති පිරිස් ඉහතින් සදහන් ආකාරයට ඇස්වලින්, දිවෙන්, සිතෙන් මෙලෙස වස්ත්‍ර අදින කාන්තාවන් දෛනිකව දූෂණය කරමින් වින්දනයක් ලබන බව සහ ඒ අතුරින් කිහිපදෙනෙකු ක්‍රියාවෙන්ම එය ඔප්පු කරන බව අප තේරුම් ගතයුතුය.

එසේනම්, අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ‘මේ පවතින්නේ දියුණු සංස්කෘතියක්’ යයිද, ‘මේක කාන්තා නිදහස හා අයිතිය’ යයිද, ‘මේ ගෙවෙන්නේ 21 වන සියවසය හනමිටි අදහස් වලංගු නැත’ යයිද… වහසිබස් පවසමින් නිරුවත් වීම නම් එම දියුණුව, අයිතිය හා නිදහස එම විකෘතිය අපගේ උත්තරීතර කාන්තා සමාජයට අවශ්‍යද? යන්න දූවරුන්, සහෝදරියන්, බිරින්දෑවරුන් හා මව්වරුන් පමණක් නොව සහෝදරයන්, ස්වාමිපුරුෂයන් හා පියවරුන් සේම සමාජ වගකිවයුතු පාර්ශවයන් වරක් නොව දෙවරක් සිතා බැලිය යුතු යන්න මෙහි අවදාරණය කරමින් ද, මෙවැනි පහත් සිතුවිලි වලින් අපගේ කාන්තා සමාජය ‘යාඅල්ලාහ් ආරක්ෂා කරදෙන්න!’ යයි ප්‍රාර්ථනා කරමින්ද මෙම සටහන අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/2

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම