ශ්‍රී ලාංකීය මැතිවර්ණ හා කුහක දේශපාලනය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අද වන විට රටේ උණූසුම් මාතෘකාවක් බවට ‘මැතිවර්ණය හා දේශපාලන’ යන්න පත්ව ඇත. විශේෂයෙන් බහුතර මුස්ලීම් ජනතාවක් වෙසෙන නැගෙනහිර පළාත මෙම මැතිවර්ණ ව්‍යාපාරයට සෘජුවම සම්බන්ධ වී තිබීම නිසාත්, විවිධ වූ ජන කොට්ඨාශ එම පළාතයේ ජීවත් වන නිසාත් ජාතිවාදී දේශපාලන පක්ෂවලට මෙම මැතිවර්ණය තම පහත් අරමුණු හා ඉලක්ක සපුරා ගැනීම පිණිස ආශිර්වාදයක් වී ඇත. එවන් පසුබිමක හිද ‘යහමඟ‘ අඩවියත් මැතිවර්ණ ව්‍යාපාරයක නියලෙන්න උත්සාහ කරනවා’ යයි ඔබ වැරදි අවබෝධයක් ඇති කරගතයුතු නොවේ. මන්ද අප රටේ දේශපාලනය හා දේශපාලඥයින් සම්බන්ධයෙන් ‘යහමග‘ අනුගමනය කරන්නේ උදාසීන පිලිවෙතක් වන බැවිණි. එය මීට ඉහත මෙම අඩවිය තුල සාකච්චා කල ලිපි ගණනාවක් මඟින් ඔබට පැහැදිලි වනු ඇත. එවන් එක් ලිපියක් ඔබේ අවධානයට ගෙන එන්නේ නම්, ‘ඔබේ ඡන්දය කාටද?‘ යන ලිපිය සදහන් කල හැක. මෙහිදී ද ඔබ ‘යහමඟ‘ අඩවියට රටක දේශපාලනය පිලිබදව පැහැදිලි අදහසක් නැතැයි’ වැරදි අවබෝධයක් ඇති කර ගතයුතු නොවේ. මන්ද රටක දේශපාලනය පිලිබදව දිව්‍යමය මඟපෙන්වීම වන ඉස්ලාමීය ඉගෙන්වීම අසමසම ආදර්ශයක් ලෙස යහමග පිලිගනී. ඒ පිලිබදව ද මීට ඉහත මෙම අඩවිය තුල තරමක් දුරකට සාකච්චා කොට ඇත. එවන් ලිපි කිහිපයක් ඔබේ මතකයට ගෙන එන්නේ නම්,

මෙම ලිපිය තුලින් ද ඉහත විෂයන් පිලිබදව තවදුරටත් සාකච්චා කිරීමට අදහස් නොකරන අතර වර්ථමාන රටේ මැතිවර්ණ උණූසුම පදනම් කරගෙන ‘යහමඟ‘ පාඨක ඔබේ බුද්ධිමත් අවධානයට කරුණූ කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි.

අතීතයේ යටත්විජිතවාදීන් රටක් ආක්‍රමණය කිරීමේ දී ඔවුන්ගේ අරමුණූ හා ඉලක්ක දිනා ගැනීම පිණිස ඒ ඒ රට තුල ‘ජාතිවාදී, ආගම්වාදී හා ජනවාර්ගික බීජයන්’ වපුරමින් එම සමාජය බේදභින්න කොට ඔවුන්ගේ අරමුණූ මුදුන්පත් කරගන්නා ලදී. මෙම තත්වය අවබෝධ කරගත් බොහෝ රටවල් පසුකාලීනව එම යටත් විජිතවාදී බීජය තම පොළොවින් අතුගා දමා සංවර්ධනය නම් මාවතට තම රට මෙහෙයවන්න සමත් විය. ඔවුන්ගේ එම විජයග්‍රහණයේ රහස වූයේ ‘ඉතිහාසය පිලිබදව පුරසාරම් දොඩමින් හා ජාතිවාදී බෝඩ් ලෑලි හා සටන් පාඨ මුමුණමින් කල්ගෙවනවා වෙනුවට රටක් ලෙස හා එකම ජාතියක් ලෙස එකාමෙන් ඉදිරියට යාමට අවශ්‍ය පිඹූරුපත් සකස් කරමින් ඒ ඔස්සේ එම ඉලක්ක දිනා ගැනීමට ක්‍රියා කිරීමයි. අද ලොව දියුණූ රටවල් යයි සැලකෙන රටවල් අධ්‍යනය කිරීමේ දී මෙම තත්වය හොදින් දැකගත හැක. නමුත් අප රටේ අවස්ථාවාදී ‘කුහක දේශපාලඥයින්’ කලේ තමන්ගේ පැවැත්ම උදෙසා ඉහත යටත් විජිතවාදීන්ගේ ‘බීජ’ මේ පොළොවින් තුරන් කරනවා වෙනුවට එය පෝෂණය කරමින් මහා ගසක් නිර්මාණය කොට එම ජාතිවාදී ගස තුල සෙවන ලැබීමය. එය කොතරම් අවාසනාවන්ත තැනකට යොමුව තිබෙනවාද? යන්න පවසනවා නම්, එම ජාතිවාදී කල්ලීන් රටේ ප්‍රබල පාර්ශවයන්ගේ ආශිර්වාදය මධ්‍යයේ ක්‍රියාත්මක වන තැනට අද පත්ව ඇත. මෙහිදී විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් නම්, දශක කිහිපයක් මුළුල්ලේ අප රටේ පැවතී උතුරු-නැගෙනහිර කුරිරු යුද්ධය තුල යටපත් වී තිබූ ඒ යටත් විජිතවාදී ‘බීජය’ දැන් එම යුද්ධයේ නිමාවත් සමඟ යලිත් හිස ඔසවන්න පටන්ගෙන තිබීමයි. මේ මොහොතේ සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. එනම් එම කුරිරු යුද්ධයේ නිමාව සතුටට කාරණයක් වුවත්, එම නිමාව තුල අළුතින් නිර්මාණය වෙමින් පවතින ඉහත තත්වය සමස්ථ ජාතියේම අවාසනාවක් යන්නයි. අද අප රටේ ජාතිවාදී ව්‍යාපාර හතු පිපෙනවාසේ පිපෙන්නට පටන්ගෙන ඇත. ඔවුන් රටේ සුළු ජාතීන්ට හා ආගම්වලට එරෙහිව ජාතික මට්ටමේ ජාතිවාදී ව්‍යාපාර, විවිධ ප්‍රකාශන, වැඩමුළු, ජන රුලි… යනාදීය දියත් කරමින් සිටින ආකාරය නිරන්තරයෙන් දකින්නෙමු අසන්නෙමු. එහි උච්චතම අවස්ථාවක් ලෙස වර්ථමාන මැතිවර්ණ ව්‍යාපාරය පරිවර්ථනය වෙමින් ඇත. අප රටේ සමහර දේශපාලන නායකයින්, පක්ෂ හා සංවිධානද, ඇතැම් විදේශීය රටවල් හා සංවිධානද විදේශගත බොහෝ ජන කොටස්ද අප රටේ සමහර ජනමාධ්‍ය ආයතන හා ජනමාධ්‍ය කරුවන්ද, සමහර එන්.ජී.ඕ. සංවිධානද අඩු වැඩි වශයෙන් මේ සදහා ආධාර අනුබලය, හා අනුග්‍රහය ලබාදෙමින් ඇත.

අද මෙම මැතිවර්ණ ව්‍යාපාරය තුල ජය පරාජය තීන්දු කරන ප්‍රධාන සාධකයක් බවට ඉහත සදහන් ‘යටත් විජිතවාදී බීජය’ පත්ව ඇත. මේ ව්‍යාපාරය තුල අද බොහෝ පාර්ශවයන් තරගෙට ජාතිවාදය සමාජය තුල වපුරවමින් සමාජය භේදබින්න කරමින් ඇත. මහා ජාතිය නියෝජනය කරන ජාතිවාදීන් හා කරට කර හිඳ තමන්ගේ කොටස වැඩි කරගැනීම සදහා සුළු ජාතීන් අවධානමකට ලක්කරන තුට්ටුදෙකේ දේශපාලඥයින් ද සිටින බව බොහෝ දෙනෙකු හොදින් දන්නා ජනප්‍රිය රහසකි. මෙහිදී ‘යහමඟ’ මෙම ලිපිය තුලින් අවධාරණය කරන්නේ රටේ බුද්ධිමත් ජනතාව අවධියෙන් හා අවබෝධයෙන් මෙවැනි අවස්ථාවල තීන්දු තීරණ ගතයුතු යන්නයි. මන්ද එක් පසෙකින් ජාතිවාදී කල්ලීන්වල කුමණ්ත්‍රනකාරී ව්‍යාපාර ක්‍රියාත්මක වනවිට තවත් පසෙකින් ජාතිවාදී දේශපාලඥයින් හා පක්ෂ ක්‍රියාත්මක වේ. නමුත් ඔබ ගන්නා තීන්දුවේ දී වැදගත් එකම සාධකය වන්නේ ‘රටේ ඉදිරි ගමනට යහපත ගෙන දෙන්නේ කුමක්ද?’ යන්න පමණි. එසේනම් මෙවර ඡන්දයේදී ‘ජාතිවාදී කල්ලීන්වල කුමණ්ත්‍රණවලට හසු නොවූ එසේම ර‍ටේ යහපත ගැන පමණක් සිතන ජාතිවාදී නොවූ තීන්දුවක් ගැනීමට ඔබට ශක්තිය ධෛර්‍යය ලැබේවා!’ යනුවෙන් ‘යහමඟ‘ අඩවිය ඔබ වෙනුවෙන් අල්ලාහ් (දෙවි) ප්‍රාර්ථනා කරමින් මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/18

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම