ශ්‍රී ලාංකීය සමාජය තුල විවිධ වූ ඇදහිලි

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මිනිස් වර්ගයාගේ මෙලොව සම්භවයේ පටන් ඔහු විවිධ වූ විශ්වාසයන් මත පදනම්ව ජීවත් වීමට පුරුදු පුහුණු විය. එසේ ආරම්භයේ සිටම තම ජීවිතයේ අංගයක් කොටගත් මේ සිරිත අදටත් අත්නොහැර පැවත එනු ලැබේ. ඒ අනුව දහමක්, දර්ශනයක්, ඇදහිල්ලක් පිළිපදින්නේ නැති පිරිස් දැකීම ලොව දුලබ දසුනකි. ආගමක්‌ දර්ශනයක් පිළි නොපැද්දත් විවිධ වූ ඇදහිලි අදහන පිරිස් ලෝකයේ දක්නට ලැබේ. මෙහි වැදගත්ම කාරණය වන්නේ මෙවැනි පිරිස් ලාංකීය සමාජයේත් ජීවත් වීමයි. අද අප මෙහිදී කතා කරන්නේ මෙම කාරණය එනම්, ලාංකීය සමාජය තුල පවතින ප්‍රධාන ආගම්වලට අමතරව පවතින විවිධ වූ ඇදහිලි පිළිබඳවයි. මනුෂ්‍යයන් වශයෙන් නිදහසේ සිතන්නට සහ තීරණයක්‌ ගන්නට කිසිදු බාධාවක් නැත. ඒ අනුව කාලයට අනුකූලවත්, තම බුද්ධියට අනුකූලවත් ඔහුට තම ආගම හෝ ඇදහිල්ල තීරණය කර ගත හැකිය. එය මානවයාට නීතියානුකූලව ද ලබා දී ඇති අයිතිවාසිකමකි. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයේ 32 වන වගන්තියට අනුව,

“යමකුට තමන් කැමැති ඕනෑම ආගමක්‌ ඇදහීමට, වතාවත් කිරීමට, විශ්වාස කිරීමට, ප්‍රකාශ කිරීමට, දේශනා කිරීමට හෝ ප්‍රචාරය කිරීමට අයිතියක්‌ ඇත.”

මෙසේ නීතියානුකූල අයිතිය හිමි වූ පමණින් අන් අයට බාධා වන අයුරින් එහි ක්‍රියා නොකළ යුතුය. එසේම කිසිවකු කිසිදු ආගමක් දර්ශනයක් පිලිගෙන තමන් දරණ මතයෙන් ඉවත් වන්නට සිතන්නේ නම් ඔහුට ඉහත අයිතීන් සියල්ල ඒ ආකාරයටම හිමි විය යුතු ය. විවිධ ආගම් ඇදහූ දෙමාපියන්ට දාව උපන් දරුවෝ වැඩිවියට පැමිණි පසු තම දෙමාපියන්ගේ ආගම පසෙකලා තමාට කැමති ධර්මය වෙත හැරුණු අවස්‌ථා කොතෙකුත් ඇත. මේ සියල්ල හරි එසේත් නැත්නම් වැරදි යන තීන්දුව දීමට අප ඉක්මන් නොවෙමු. එය මෙම මාතෘකාව තුලට අදාල ද නොවේ. නමුත් අපි අදහන දේ පමණක්‌ හරිය කියා අනුන්ගේ පෞද්ගලිකත්වයට අත ගසා එයට විරුද්ධවීමට අපට අයිතියක්‌ නැත. ඔහු හෝ ඇය අන්ධව විනාශයට ඇදී යන අන්දම අපට බලා සතුටු විය නොහැක. අප සිතන්නේ ඒ ඒ ආගම් හා දර්ශනයන් පිලිගන්නට ඔවුනට අයිතිය තිබෙනවා සේ ම එහි දකින හොද නරක පිළිබඳව කතා කිරීමේ නිදහස ද සමාජයක පැවැතිය යුතු යන්නයි. එසේ පැවැතීම තුල සමාජයට මේ ඇදහිලි හා විශ්වාසයන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත. එම යහපත් වූ අරමුණ පෙරදැරිව අද ලාංකීය සමාජයේ ප්‍රසිද්ධියේ සහ‍ අප්‍රසිද්ධියේ සිදු වන විවිධ ආගම් සහ ඇදහිලි ක්‍රම පි්‍ළිබඳව දැන් අවධානය යොමු කරමු.

අද ලාංකීය බොහෝ පිරිස් බුද්ධාගම, ක්‍රිස්‌තියානි ආගම, ඉස්‌ලාම් හා හින්දු ධර්මය හැරුණු විට වෙනත් කිසිදු දහමක් හෝ දර්ශනයක් පිළිබඳව නොදනී. ඒ ප්‍රධාන ආගම් හතරට අමතරව තව බොහෝ ආගම් හා ඇදහිලි අප අවට පවතී.

  • ගස්‌ ගල් වැඳීම ආදි මිනිසාගේ පටන් පැවත එන වන්දනා ක්‍රමයකි.
  • ඉර හඳ තරුවලට ද වැඳුම් පිදුම් කරන අය තාමත් අප සමාජයේ සිටිති.
  • තමාට වඩා විශාල ගල් කුලක්‌ හෝ පර්වතයක්‌ දුටු කළ එසේත් නැත්නම් සශ්‍රීක කන්දක්‌ ගිරි ශිඛරයක්‌ දකින කල ගල් යුගයේ මිනිසා එය මහ බලවන්තයකු යැයි සිතා එයට වන්දනා මාන කරන පිරිස් ද සිටී.
  • ආලෝකය දෙන සූර්යයා, සෞම්‍ය ගෙන දෙන චන්ද්‍රයා දැක ඒවා දෙවිවරුන් යෑයි සිතා වන්දනා කරන පිරිස් ද අප අතර අදටත් සිටී.
  • කලා රසාස්‌වාදයෙන් අනූන ඕනෑම දෙයක්‌ දෙස වෙනස්‌ ආකාරයෙන් බැලිය හැකි නිර්මාණශීලී කලාකරුවන් විසින් දෙන අලංකරණ නිසාද සමහර චලන වස්‌තුවලට දේවත්වයක්‌ ලැබිණි. හිරු දෙවියෝ, සඳ දෙවියෝ, වැස්‌ස වලාහක දෙවියෝ, අහස්‌ දෙවියෝ, සුළං දෙවියෝ වැන්නවුන් බිහි වීම එහි ප්‍රතිඵලයක් වන අතර මෙයත් අප අතර අදටත් පවතී.
  • ග්‍රීක පුරාණයේ ද සියුස්,‌ වීනස්‌, ඇපලෝ වැනි දේව චරිත තුලින් අද අපට දායාද වු ගස්‌වල වැඩ සිටින රුක්‌ දෙවිවරු හා සමහරු රූස්‌ස ගස්‌වලට, ඒ ගහේ වැඩ සිටින දෙවි දේවතාවන් වැදුම් පිදුම් කරන පිරිස් ද අප අතර සිටී.

ඉහත සඳහන් ආකාරයේ විශ්වාසයන් හා ඇදහිලි වන ගස්‌ ගල් වන්දනා කරමින් ඒවාට පුද පූජා පවත්වමින් කාලය කා දමනවාට අමතරව සාත්තර කීම, පේන බැලීම, නැකැත් කේන්දර බැලීම, පොල් ගැසීම ගුරුකම් සේවාවන් කිරීම වැනි දේ කරන ස්ථාන ද ලාංකීය සමාජය තුල සුලබ දසුනකි. මේවා ඉහත සඳහන් ප්‍රධාන ආගමික ස්ථානවල සිදු වීම සුවිශේෂි කාරණයකි. අද සමාජයේ පන්සල්වල හා කෝවිල්වල දේවාල කුටි ඉදි කොට එම ආගම්වල ආශිර්වාද ඇතුළුව මේවා සිදු වේ. මීට අමතරව සමහරක් දේවාලවල එනම් කතරගමට මුන්නේස්‌වරමට හෝ වැල්ලවත්තේ වේල් පලට ගියොත් ඔබ දකින සිරුරට කටු ගසා ගැනීමේ කොකු වලින් එල්ලෙමින් හරෝහරා කියමින් කරන දේව නමස්‌කාර ඇඟ කිළි පොලා යන්නකි. සමහරු කියන්නේ එවැනි පුද පූජා පිළිගන්නට දෙවියන් කැමති වේවි ද? යනුවෙනි.

ඉහත ආකාරයට ප්‍රසිද්ධියේ කරනු ලබන විවිධ ඇදහිලිවලට අමතරව අප්‍රසිද්ධියේ කරනු ලබන ඇදහිලි කිහිපයක් ද ලාංකීය සමාජයේ දක්නට ඇත. මේවා පිළිබඳව නිසි හෙලිදරව්වක් බොහෝ විට සිදු නොවන අතර මෙවන් පිරිස ගැන ගවේෂණයක් සිදු කොට 2009 ඔක්තොම්බර් මස 18 දින දිවයින පුවත්පතට මිත්‍ර ශ්‍රී කරුණාසේන තම අත්දැකීම් ඉදිරිපත් කල ලිපිය මෙහි දී සාරාංශ කොට ඉදිරිපත් කරමි.

  • …සමහරු හිස මුඩු කරගෙනය. තවත් අය ඇඟේ විකාර කරගෙනය. සමහරු ගින්දරට වඳිති. තවත් අය ඇඳුම් නැතිව හෙළුවෙන් පාරේ ඇවිදිති. එසේ ඇඳුම් නැතිව ඉන්නේ නිගන්ඨයන්ය. එතරම් බහුල නොවුණත් අදටත් ඉන්දියාවේ ශ්‍රී මහ බෝධිය පසුපස කලාපයේ මේ නිගන්ඨයන් නිර්වස්‌ත්‍රයෙන් තම ආගමික වතාවත් වල නිරත වෙනු එහි යන අයෙකුට දකින්නට හැක. භාරතීය ජෛන ආගමක්‌ නොවුණ ද ඇඟේ නූල් පොටක්‌වත් නැතිව වනගතව සොබාදහම වඳිමින් එයට නමස්‌කාර කරමින් ගීත ගයමින් සිටින තවත් නිර්වස්‌ත්‍ර ගෑනු පිරිමි පිරිසක්‌ මේ ලෝකයේ සිටිති. අප රටටත් ඉතා සුළු ලෙස ඒ අයගේ සාමාජිකයන් පැමිණෙන්නේ ය. සමහරු සංචාරක කාලයට මෙරටට පැමිණ කුඩා කණ්‌ඩායම් සමග වන වැදී තම වන්දනාව කරති. නිරුවතින් සිටියද ඔවුන් අතර ලිංගික ක්‍රියාවන් සිදුවන්නේ නැත. එසේම කෘතිම දේවල් හෝ පරිසරයට හානි කර දේවල් භාවිතා කරන්නේ නැත. දිනක් මා කතරගම වැඩ හිටි කන්දේ සිට ගෝතම ගමට ආ මාතර සාමි සමග කිරි වෙහෙර පිටුපස හද්ද කැලේ කෙටි අඳනයකින් පමණක්‌ සැරසී භාවනායෝගිව සිටිද්දී මෙවැනි කණ්‌ඩායමක්‌ හමු විය. ඔවුන් වැඩිදෙනා ජර්මන් ජාතික අයය. එම පිරිසේ නායකත්වය දැරුවේ ස්‌ටෙලා නම් රූමත් හොඳ උසමහත කාන්තාවකි. මැදි වයස ඉක්‌මවූ ඉතාලියානු ජාතික වයලීන් වාදිකාවක්‌ද එදා ඒ කණ්‌ඩායමට ඇතුළත්ව සිටියා ය. කැලේ මැද අහම්බෙන් හමු වූ ස්‌ටෙලාගේ නායකත්වය යටතේ අප තිදෙනාටද දින තුනක්‌ මහ වන මැද ඔවුන්ගේ ව්‍යවස්ථාවට අනුව ඊට කීකරුව සොබාදහමට ගරු කරමින් ගිටාර් වයමින් පලතුරු එළවළු කමින් පිරිසිදු ජලය පමණක්‌ පානය කරමින් සිටින්නට සිදු විය. එකල අවිවාහක තරුණයන්ව සිටි මාත් ප්‍රදීප් නම් මිතුරාත් මෙය අමාරුවෙන් ඉවසා වැදෑරුවත් අප සමග සිටි වයෝවෘධ සාමි නම් කළේ තම ඇස්‌ රෙදි කඩකින් වසා ගෙන හැම තප්පරේම ස්‌ත්‍රෝත්‍ර ගායනා කිරීමයි. මෙම පිරිස ලබ්ධියක්‌ හෝ ගුප්ත ඇදහිලිවන්තයන්ගේ කණ්‌ඩායමකි. මේ අය උපන් සැටියෙන් සැමදාම සිටින්නේ නැත. ඔවුන් ඒ සඳහා නිවාඩු ලබා ගෙන මහත් භක්‌තියෙන් ඒවා කරති. මැවිල්ල අගය කිරීම මෙම උප සංස්‌කෘතියේ අරමුණු වෙයි. දේව දරුවෝ නම් වූ තවත් ලබ්ධියක්‌ ලොව පුරා ක්‍රියාත්මක වෙයි.
  • මෙය ලංකාව තුලද ඉතා රහසින් කුඩා පරිමාණයෙන් පැවැත්වෙන බව අපට සැල විය. උන්ගේ ඇදහිලි ක්‍රමය වන්නේද නිරුවතින් එක්‌ කාන්තාවක්‌ නමස්‌කාර කිරීමයි. මෙහිදී සමහර විට බහු ලිංගික කාර්යයන් වන බවද අපට ආරංචි විය. මගේ සහායකයකුව සිටි රත්ගම සුරේෂ් මල්ලීත් සමග මා වරක්‌ වෙස්‌ වලාගෙන ගාලු මුවදොර අසල පිහිටි හොඳින් දොරගුළු දමා වසන ලද සුවිසල් ශාලාවකට රිංගන්නට තැත් කළේ මේ වන්දනාව ගැන හොඳින් විමර්ශනය කරන්නටයි. අපට ඇතූළට යැමට කිසිසේත්ම ඉඩ නොලැබුණත් අමාරුවෙන් කුඩා කවුළුවකින් ඇතුළේ වුණ ජුගුප්සාජනක දේවල ඡායාවන් දැක ගන්නට ලැබිණි. ඉන් පසු එම ස්‌ථානයේ කිසිම දිනක ඒ වන්දනාව පැවැත්වූයේ නැත. ඔවුන්ට අප ගැන ඉව වැටී තිබුන අතර විශාල මුදලකට කුලියට ගෙන තිබූ එම ශාලාවද හැර දමා ගොස්‌ තිබිණි. කාලෙන් කාලෙට ලෝකෙට එන විවිධ ඇදහිලි ක්‍රම අප රටේ අයද ආදරයෙන් වැළඳ ගන්නට පසුබට නොවෙත්. බොහෝ අය මේවායින් බලාපොරොත්තු වන්නේ ධනවත් වීම, සෞභාග්‍ය සහ මිල මුදල් වැනි භෞතික දේවල් ය.

ළඟ තබා ගත් විට මුදල් ලැබෙන බව පවසමින් අද අප රටේ අලෙවි වන

  • රන් පැහැති කාසි වර්ගයක්‌ ඇත.
  • කාඩ් වර්ග හෝ සන්නස්‌ වැනි දේ ඇත.
  • රූප ඇත.
  • ලකී ප්ලාන්ඩ් නම් වූ චීනයේ හැදෙන කුඩා ජලජ උණ බම්බු විශේෂයක්‌ ද ඇත.
  • රුවල් නැවක්‌ ගෙයි සාලයේ තබා ගත් විට ධන සම්පත් උදා වන බවත් සෞභාග්‍ය ළං වන බවත් සිතා බොහෝ අය අනුන් කරන්නන් වාගේ මේවා තම නිවසේ තබා ගනිති.

මෙවැනි දෙයට පුවත්පත්වලින් මෙන්ම රූපවාහිනී නාලිකාවලින්ද ප්‍රචාරයක්‌ ලබා දෙති. අද නගරයේ හෝ ගමේ කඩයකට සාප්පුවකට හෝ හෝටලයකට ගියොත් එහි ඉදිරිපස මේසයේ හෝ කැෂියර් කූඩුව මත තබා ඇති තට්‌ට හිසක්‌ හා තඩි බඩක්‌ ඇති කරේ ගෝනියක්‌ එල්ලා ගත් මිනිසෙකුගේ රන්පාට පිළිමයක්‌ ඔබ දකිනු ඇත. පසුගිය මාසය තුළ විවිධ අවශ්‍යතා සඳහා කඩ සාප්පු හෝටල් වැනි ව්‍යාපාර ස්‌ථාන සියයකට මා ගොඩ වුණු අතර ඉන් හැත්තෑවකට ආසන්න තැන්වල මෙකී පිළිමය තබා තිබිණි. එය ඉදිරියේ පිත්තල පාට පහේ සහ රුපියලේ කාසි අඩංගු පීරිසියක්‌ ද දකින්නට ලැබිණි. මෙය පිළිබඳව විවිධ අය විවිධ මත පළ කරති. මා ගිය ස්‌ථානවලින් එහි අරුත නොදැන පිළිමය තියන් හිටි අය හතලිහකි. උන් කරන්නේ කුමක්‌ද කියා උන්වත් නොදනිති. වැඩි දෙනෙක්‌ කීවේ පිළිමෙ අත ගෑවම සල්ලි ලැබෙනවා, බිස්‌නස්‌ වැඩි වෙනවා කියායි. මෙයට අමතරව බජන් ගී ගයමින් රස කැවිලි කමින් තේ කහට භාජනයක හත්තක්‌ වඩවමින් කරන සායි වන්දනාව ද අප රටේ දකින්ට ඇති ඇදහිලි ක්‍රමයකි. මේ සඳහා වැඩිපුරම යොමු වන්නේ කාන්තාවන් බවට කතාවක්‌ පවතී. ඒ අතරින් තාරුණ්‍යය ඉක්‌මවන රූමත් කාන්තාවන් රැසක්‌ම සිටින බවටද රාව ඇත…

මේ ආකාරයේ වූ විවිධ ඇදහිලි ක්‍රමයන් ලාංකීය සමාජය තුල පවතිනවා යන්න ඔබව නියත වශයෙන්ම මවිත කරනු ඇත. වැදගත්ම කාරණය වන්නේ මෙම පිරිස් පිළිබඳව දැනුවත්ව හා අවදියෙන් සිටීමයි. උතුම් සංස්තෘතියකට උරුමකම් කියන අප සමාජය තුල මෙවැනි සංස්කෘතියක් නිර්මාණය වීම භයානක තත්වයකි. අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ආරම්භයේ පැවසූ ආකාරයට මනුෂ්‍යාට කැමති ආගමක්‌ ඇදහීමක් තෝරගෙන පිළීපැදීමට අයිතියක්‌ ඇත. එහි අත තැබීමට හෝ විරුද්ධ වීමට අපට අයිතියක්‌ නැත. නමුත් මිත්‍යාවෙන් සත්‍ය වෙන්කර ගැනීමට අපට සිදු වෙයි. අඳුරින් ආලෝකයටත් මිත්‍යාවෙන් සත්‍යයටත් පැමිණිය යුතු වේ.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/5

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම