සිංහ ලේ පමණක් හඳුනන වෛද්‍ය විද්‍යාව නොහඳුනන වඳ බෙහෙත

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


අප රටේ සමාජ ව්‍යවහාරයේ ජනප්‍රිය කියමනක් ඇත. ඒ “කන්න ඕන වුනාම කබරයා තලගොයා කරනවා“ යන්නයි. එවැනි කබර තලගොයි න්‍යායක් මේ දිනවල අප රටේ විවිධ ප්‍රදේශවල දියත් වෙමින් ඇත. ඒ සිංහ+ලේ ජාතිවාදී පිරිස් රටේ මුස්ලීම් ජනතාවට එරෙහිව දියත් කරන ජාතිවාදී රඟදැක්මයි. මෙම ජාතිවාදී පිරිස් රටේ ජනතාවට සංවේදී මාතෘකාවන් හා තේමා පාඨයන් තෝරාගෙන තම පටු අරමුණු මුදුන්පත් කරගැනීමට කටයුතු කිරීම මෙහි ප්‍රධාන ලක්ෂණයයි. ඒ අනුව වර්ථමානයේ ඔවුන් තෝරාගෙන ඇති ජනප්‍රිය තේමාව “වඳ බෙහෙත්“ යන්නයි. රටේ සුළුතරය වන මුස්ලීම් ප්‍රජාව රටේ බහුතරය වන සිංහල ප්‍රජාව වඳ කරන්නට කුමණ්ත්‍රණයක් දියත් කරන බවත් ඔවුන් සිංහල ජනයාට ආහාර පාන ලබාදීමේ දී එයට වඳ බෙහෙත් කවලම් කිරීමක් සිදුකරනවා යන්නත් එම චෝදනාවයි.

මෙම චෝදනාව කොතරම් දුරකට සාධාර්ණ හා නිවැරැදි චෝදනාවක් ද යන්න මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට ම අවබෝධ වනු ඇතැයි සිතමි. එම නිසා එම කාරණයට නොගොස් මේ සිංහ ලේ රැකගන්නට පෙරුම්පුරන පිරිසගේ අවදානයට කාරණා කිහිපයක් ගෙන එන්නට කැමැත්තෙමි.

  • රටේ අති බහුතරයක් වන ඔබලාට වඳ බෙහෙත් ලබාදී ජාතියක් වඳ කරන්නට හදනවා යන තර්කය තුල රටේ සුළු ජාතිය ආර්ථිකමය වශයෙන් බිමදැමීම හා ඔවුන් හුදෙකලා කිරීමේ පටු පහත් අරමුණ අපට පැහැදිලිය. නමුත් එය මීට වෙනස් ආකාරයට එනම්. මුස්ලීම්වරුන් අලෙවි කරන ආහාරපාන මෙන් සුහඳශීලීව, විශ්වාසනීයව, පිරිසිදුව, රසවත්ව හා විශ්වාසනීයව ලබාදී මුස්ලීම් ව්‍යාපාරයන්ට අභියෝග කිරීම යහපත් ක්‍රමවේදයක් නොවේද?
  • ජාතියක් වඳ වීම පිලිබදව ඔතරම් වද වන ඔබලාට අවංක කැක්කුමක් තිබේ නම්, සෑම පවුලක්ම දරුවන් එකකට දෙකකට සීමා නොකොට දරුවන් 10, 12 හදන්න යම් ප්‍රචාරයක් හා එහි අවශ්‍යතාවය දැනුවත් කිරීමේ ප්‍රචාරයක් සිදුකරන්නේ නම් එය මීට වඩා සාර්ථක හා සාධාර්ණ ක්‍රමවේදයක් නොවේද?
  • එම මෙහෙවරට දායකවන පිරිසට කිසියම් සුභසාධන වැඩපිලිවලක් කරන්නේ නම් එයත් මීටත් වඩා සාර්ථක වනවා නොවේද?
  • රටේ මහා ජාතිය අනිකුත් ජාතීන්ට සාපේක්ෂව අධිකව මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී දරුඵල අහිමි කරගන්නා තැනට අද යොමුව ඇත. (මෙය වෛද්‍ය විද්‍යාව සනාථ කල සත්‍යයක්) එය ඔබලා පවසන මනක්කල්පිත වඳ බෙහෙත්වලින් වන හානියට වඩා ප්‍රබලය. ඉතින් ජාතියේ උන්නතිය වෙනුවෙන් වද වන ඔබලා නරකද මෙතැනට සැලැස්මක් සකස් කලොත්. එසේ වූවානම් නියත වශයෙන්ම (සිංහ ලේ කෙසේ වෙතත්) සිංහල ජාතිය රැකෙනු ඇත.
  • අවසාන වශයෙන් ජාතියේ වඳවීම පිලිබදව වද වන ඔබලා අඩුම තරමේ සිංහ ලේ ජාතිය රැකගන්නවත් ලබාදී ඇති දායකත්වය කුමක්ද?. නියත වශයෙන්ම ඔබලාගේ නිරුවත මේ එක් කාරණයෙන්ම ඔප්පු වෙනු ඇත.

තම ජාතිය වඳවීම පිලිබදව වද වන පිරිසට මෙවැනි කාරණා ඕනෑතරම් මෙලෙස පෙලගැසිය හැක. ඔවුන්ගේ මෙහෙවර අවංක වූ එකක් නම් මෙම කරුණූ හොඳටම ප්‍රමාණවත් යථාර්තය අවබෝධ කරගන්න. නමුත් පටු න්‍යායපත්‍රයක නම් ඔවුන් කටයුතු කරන්නේ මෙවැනි කරුණූ පිටු ගණන් පොත් ගණන් ලිව්වත් ඒ කිසිවකින් කිසිදු පලක් නොවනු ඇත. නමුත් රටේ අතිබහුතර ප්‍රජාව මොවුන්ගේ පටු න්‍යායපත්‍රය තුල කොටුවී නොමැති බවත් මෙහි සදහන් කලයුතුයි. මා එසේ පවසන්නේ ඔවුන් තවමත් මේ රටේ මුස්ලීම් ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටීම ම හොදම නිදසුනක් කරමිනි. අද මුස්ලීම් ප්‍රජාවට වඩා සිංහල ප්‍රජාව මේ රටේ සුළුතරය වන අපේ අයිතිය වෙනුවෙන් හඩ නැඟීම මාධ්‍යයන් තුල විශේෂයෙන් අන්තර්ජාලය තුල දකින්නට ඇත. ඔවුනට අපගේ අවංක ගෞරවය ස්තූතිය පුදකරමින් ලිපියෙහි මුල් කොටස වන “සිංහ ලේ පමණක් හදුනන වඳ බෙහෙත්“ පිලිබදව වෛද්‍ය මතය මෙහි පහතින් පෙලගසන්නට අදහස් කරමි.

අප රටේ ජනප්‍රිය වෛද්‍යවරුන් දෙදෙනෙකු ඉහත කාරණය එනම්, ආහාරවලට යමක් එක්කිරීමෙන් වඳබාවය ඇතිකල හැකිද? යන්න පිලිබදව පසුගිය කාලවල පුවත්පතකට ලබාදුන් පැහැදිලි කිරීම මෙහි පහතින් ඔබේ බුද්ධිමත් විමසුමට ඉදිරිපත් කරමි.

වෛද්‍ය දයානාත් රණතුංග – රාවය පුවත්පතින් උපුටා ගැනීම

“කෙනෙක්ව වඳ කරන්න නම් ක්‍රම කිහිපයයි තියෙන්නේ. ලූප් එකක් දානවා කියන්නෙ එක ක්‍රමයක්.

ඒකෙන් තාවකාලිකව වඳ කරනවා.එහෙම නැත්නම් සංසර්ගයේදි උපත් පාලන කොපුවක් පාවිච්චි කරන්න ඕනෑ. නැත්නම් උපත් පාලන පෙති බොන්න ඕනෑ. හැබැයි උපත් පාලන පෙත්තකින් තාවකාලිකව වඳ කරන්න විතරයි පුලුවන්. ඒවා ආහාර එක්ක මුසු කරන්න බෑ. දීර්ඝකාලීනව වඳ කරනවා නම් ගෑණු කෙනෙකුගේ ගර්භාෂය ඉවත් කරන්න ඕනෙ. ඒක එල්.ආර්.ටී (LRT) කියලයි හඳුන්වන්නේ.

ඒ හැරෙන්න බෙහෙත් ඇඟේ තවරලා, තවලා, කෑමවල මිශ්‍ර කරල , ඇඳුම්වල හෝ කොට්ටයට මොනවහරි තියලා කිසිකෙනෙක්ව වඳ කරන්න බෑ. එහෙම බෙහෙතක් එදිනෙදා පාවිච්චි කරන්න තබා ලෝකෙ කිසිම රටක විද්‍යාත්මකව හොයාගෙනවත් නෑ.

කලින් භීතිකාවක් තිබුණ එච්අයිවී රෝගියෙක් අඹ කපද්දි අත කැපිල අඹ ගෙඩියට ලේ මිශ්‍ර වුනොත් අඹ කන කෙනාට එච්අයිවී බෝවෙයි කියලා. ඒ වගේම භීතිකාවක් තමයි මේක. මේක බොරු මිත්‍යා මතයක්.”

වෛද්‍ය ආරියසේන යූ ගමගේ

“කෙනෙකු වඳභාවයට පත්කළ හැකි කිසිම රසායනිකයක් ලෝකයේ කිසිදු කෙනෙක් මෙතෙක් සොයාගෙන නෑ. ආහාරවලට දමා හෝ ඇඳුම්වල තවරා හෝ වඳභාවය ඇති කරන බව ප්‍රචාරය ගෙන යන්නේ ජාතිවාදි පදනමෙන්.

එවැනි වඳභාවයන් පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කළ අවස්ථා ඇත්තේ නෑ. ජනතාව මෙවැනි බොරු ප්‍රචාර වලට රැවටීමෙන් වැළකිය යුතුයි. ආහාරයට විවධදේ දැමීමෙන්, කිරි වර්ග පානයෙන් ජෙලි වර්ග භාවිතයෙන් හෝ රසායනික ද්‍රව්‍ය හරහා වඳභාවය ඇතිකළ නොහැකිය. වඳභාවයට හේතුව ජානමය තත්ත්වයකි. පිටතින් ශරීරයට ලබාදෙන ද්‍රව්‍යයන්ගෙන් වඳභාවය ඇතිවන්නේ නැහැ.

උපත්පාලනය හා පවුල් සැලසුමත් වඳභාවයට හේතුවන කාරණා නොවෙයි. අද පවුල් සැලසුම් ක්‍රම බහුලව භාවිතා වෙනවා.තමන්ට කැමති ආකාරයට දරුවන් ලබා ගැනීමට මේ සැලසුම් ක්‍රම අවශ්‍යයි.ඊට රජයේ අනුමැතියද තියෙනවා. ලෝකයේ වසර 100ක පමණ සිට පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරනවා. එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් ලෝක සෞඛ්‍ය සංවිධානයත්, යුනිසෙෆ් සංවිධානයත් මෙම සැලසුම් ක්‍රම ලෝකයට හඳුන්වා දී තිබෙනවා. ලොව සෑම රාජ්‍යක්ම ඒවා පිළිගෙන තියෙනවා.ස්ථීර හා තාවකාලික ලෙස පවුල් සැලසුම් ක්‍රම දෙකක් තිබෙනවා. පවුල් සැලසුමකට යන්නෙ අවශ්‍ය අයගේ අවශ්‍යතාවය මත පමණයි. වඳභාවය මා පවුල් සැලසුම් ක්‍රම අතර සබඳතාවයක් නැහැ. ජනගහන වර්ධනය පිළිබඳව ජාතිවාදි පදනමෙන් බලන සමහර පිරිස් වැරදිමත සමාජගත කරනවා. වඳභාවය හා ආහාර අතර හෝ ඇඳුම් පැළඳුම් අතර සබඳතාවයක් නැහැ. ඒ වගේම වඳභාවය ඇතිකරන්න පුලුවන් කිසිම බෙහෙතක් මෙතෙක් සොයාගෙන නැහැ.”

එසේනම්, විෂය පිලිබදව නිපුන විද්වත් දෙපලගේ පැහැදිලි කිරීම ඔබ හමුවේ මෙහි තබා ඇත. එසේම බුද්ධීමත් විමසුමට කාරණා කිහිපයක් මෙහි ඉහතින් සටහන් තබා ද ඇත. බුද්ධිමත් තීරණ තීන්දුව ඔබටම භාරය.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/7

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම