හදීස් කලාව පිලිබදව විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාමීය මූලාශ්‍රයන් පිළිබඳව කථා කරන විට ඒ ප්‍රධාන අංශ දෙකක් ඔස්සේ අවධානය යොමු කිරීම අනිවාර්ය වේ. එනම්,

  • ශුද්ධ වූ කුර්ආනය
  • ශුද්ධ වූ හදීසය

මෙම අඩවිය තුළ ශුද්ධ වූ කුර්ආනය පිළිබඳව දිර්ඝ ලෙස සාකච්චා කොට‍ තිබුණත් ශුද්ධ වූ හදීසයන් පිළිබඳව එවැනි දීර්ඝ විග්‍රහයන් සිදු නොවීම මෙම අඩවියේ පැවති විශාල අඩුපාඩුවක් ලෙස අවබෝධ වූ නිසාත්, මුස්ලිම් සමාජය තුළ පවා මෙම විෂය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොමැති බවක් අවබෝධ වූ නිසාත් මෙතැන් සිට හදීස් නම් විෂය හා ඒ පිළිබඳ වූ කලාව මෙහි සාකච්චා කිරීමට අදහස් කරමු.

මෙම විෂය ප්‍රධාන මාතෘකා කිහිපයක් සහ අනු මාතෘකා ගනනාවක් ඔස්සේ ලිපි මාලාවක් මගින් මෙතෙන් සිට විමසා බලමු.

මීට ඉහත මෙම අඩවිය තුළ ඉදිරිපත් කළ ‘හදීස් හෙවත් ශුද්ධ වූ නබිවදන්‘ යන ලිපිය තුළින් ශුද්ධ වූ කුර්ආනය සේම ශුද්ධ වූ හදීසය ද දිව්‍යම භාෂිතය බව පැහැදිලි කර ඇත. ඒ අනුව නබි තුමාණන්ගේ කාලයේ පටන් බොහෝ කලක් ඒ දෙක සමසේ සලකා මුස්ලිම් ජනයා පිළිපැද්දහ. නමුත් පසුකාලීනව සමාජය තුල ඇති වූ විවිධ ප්‍රශ්ණ එනම්,

  • පාලකයින් සතුටු කිරීමට හදීස් නමින් විවිධ කතා ගෙතීම
  • දහම තුල නිකාය වාදයන් සාධාරණීකරණය කිරීමට හදීස් නමින් විවිධ කතා ගෙතීම
  • ව්‍යාපාරික අරමුණ සඳහා හදීස් නමින් විවිධ කතා ගෙතීම
  • සමාජයේ පුහු ගෞරවයන් දිනා ගැනීම සඳහා හදීස් නමින් විවිධ කතා ගෙතීම
  • ඉස්ලාමය තුල ව්‍යාකූල තත්වයන් නිර්මාණය කොට එහි ව්‍යෘප්තිය අඩාල කිරීම
  • ආගමික අනවබෝධය තුල ගොඩනැඟුණු කුසල් කිරීමේ දැඩි ආශාව
  • ජාති, කුල, භාෂා වාදයන්

යනාදී සඳහන් කළ හැකිය. මේ නිසා හදීස් විෂයට අදාලව කලාවක් බිහිවීමට තරම් එය සංකීර්ණ විය.ඒ අනුව දිව්‍යම භාෂිතය නිවැරදිව නිර්ණය කිරීම සඳහා වූ තාර්කික මෙන්ම බුද්ධිමත් කලාවක් ඉස්ලාම් දහමේ නිර්මාණය විය.මෙවැනි කලාවක් ඉස්ලාම් දහමේ හැර වෙන කිසිඳු කලාවක‍, දහමක හෝ දර්ශණයක දක්නට නැත. එවන් වූ හදීස් කලාව මෙතැන් සිට විමසා බලමු.

හදීස් කලාව නම් විශිෂ්ඨ කලාව ලොව බිහි කිරීමට පාදක කරගත් ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය කිහිපයක්

   විශ්වාසවන්තයිනි, අයහපත් පුද්ගලයෙකු නුඹලා වෙත කිසියම් ආරංචියක් ගෙනෙන්නේ නම් නුඹලා ඒගැන සුපරික්ෂාකාරීවසොයා බලනු…

ශුද්ධ වූ කුර්ආන් 49-6

   නුඹට  දැනුමක් නැති දෑ නොපිළිපදිනු…

ශුද්ධ වූ කුර්ආන් 17-36

   එබැවින් (නබියේ!) මෙම බොරුකාරයන්ව ඔබ අනුගමනය නොකරනු!

ශුද්ධ වූ කුර්ආන් 68-8

ඉහත වාක්‍ය තුන විමසා බැලීමේදී 49-6 වාක්‍යෙයන් අයහපත් පුද්ගලයෙකු කිසියම් ආරංවියක් රැගෙන ආ විට එය එලෙසින්ම පිළි නොගත යුතු බවත්, ඉහත 17-36 වාක්‍යෙයෙන් දැනුමක් නොමැති දෑ නොපිළිඳින ලෙසත් අවසාන වාක්‍යෙයන් යමෙකු බොරුකාරයෙකු බව තහවුරු වුවහොත් ඔහුගේ ප්‍රවෘත්තිය භාර නොගත යුතු බවත් පැවසීම තුළ හදීස් කලාව සඳහා වූ මූලික අත්තිවාරම මෙයින් ගොඩ නැගේ.

හදීස් කලාව

නබි තුමාගේ හදීසයක් (එනම් එතුමාගේ වදන්, ක්‍රියා හා අනුමත කිරීම) යැයි ප්‍රවෘත්තියක් ලද විට, හදීස් කළාව තුළ ඒවා විවිධ වර්ගකිරීම් වලට වෙන් කරනු ලැබේ. ඒවා ප්‍රධාන කොටස් හා අනු කොටස්වලට බෙදනු ලැබේ. ප්‍රධාන කොටස් නම්,

  • මක්බූල් (පිළිගත යුතු)
  • මර්දූද් (ප්‍රතික්ෂේප කළ යුතු) යන්නයි.

මෙම විෂය පිළිබඳ කථා කිරීමේදී ඔබගේ අවධානයට ගෙන ආ යුතු විශේෂ කාරනාවක් ඇත. එනම් හදීසයක ව්‍යූහය සැකසී තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳවයි. එය නිදසුනකින් පැහැදිලි කරන්නේ නම් පහත සඳහන් හදීසය සලකා බලමු.

حَدَّثَنَاالحُمَيْدِيُّعَبْدُاللَّهِبْنُالزُّبَيْرِ،قَالَ: حَدَّثَنَاسُفْيَانُ،قَالَ: حَدَّثَنَايَحْيَىبْنُسَعِيدٍالأَنْصَارِيُّ،قَالَ: أَخْبَرَنِيمُحَمَّدُبْنُإِبْرَاهِيمَالتَّيْمِيُّ،أَنَّهُسَمِعَعَلْقَمَةَبْنَوَقَّاصٍاللَّيْثِيَّ،يَقُولُ: سَمِعْتُعُمَرَبْنَالخَطَّابِرَضِيَاللَّهُعَنْهُعَلَىالمِنْبَرِقَالَ: سَمِعْتُرَسُولَاللَّهِصَلَّىاللهُعَلَيْهِوَسَلَّمَيَقُولُ: «إِنَّمَاالأَعْمَالُبِالنِّيَّاتِ،وَإِنَّمَالِكُلِّامْرِئٍمَانَوَى،فَمَنْكَانَتْهِجْرَتُهُإِلَىدُنْيَايُصِيبُهَا،أَوْإِلَىامْرَأَةٍيَنْكِحُهَا،فَهِجْرَتُهُإِلَىمَاهَاجَرَإِلَيْهِ»

ඉහත හදීසය ප්‍රධාන කොටස් දෙකකින් යුක්තය. එනම්

  • හදීසයේ නබි තුමාණන්ගේ ප්‍රකාශය හෙවත් හදීයේ සාරය – මෙය අරාබි භාෂාවෙන් ‘මතන්‘ යැයි හඳුන්වනු ලබන අතර එය මෙම හදීසයෙන් ඉදිරිපත් කෙරෙන ප්‍රධාන පණිවිඩය යි.
  • එම හදීසය නබි තුමාගේ පටන්(හදීස් ග්‍රන්ථ ලෙස) ග්‍රන්ථාරූඩ වූ මොහොත දක්වා ආ ගමන් මගෙහි දැනුම් දෙන්නන්ගේ දම්වැල – මෙය හදීස් කලාවේ ‘සනද්‘ යැයි හඳුන්වනු ලැබේ.

ඒ අනුව ඉහතින් සඳහන් හදීසය මෙම ක්‍රමයට වෙන් කොට දක්වන්නේ නම්,

ඉහත හදීසයේ සනද් – حَدَّثَنَاالحُمَيْدِيُّعَبْدُاللَّهِبْنُالزُّبَيْرِ،قَالَ: حَدَّثَنَاسُفْيَانُ،قَالَ: حَدَّثَنَايَحْيَىبْنُسَعِيدٍالأَنْصَارِيُّ،قَالَ: أَخْبَرَنِيمُحَمَّدُبْنُإِبْرَاهِيمَالتَّيْمِيُّ،أَنَّهُسَمِعَعَلْقَمَةَبْنَوَقَّاصٍاللَّيْثِيَّ،يَقُولُ: سَمِعْتُعُمَرَبْنَالخَطَّابِرَضِيَاللَّهُعَنْهُعَلَىالمِنْبَرِقَالَ: سَمِعْتُرَسُولَاللَّهِصَلَّىاللهُعَلَيْهِوَسَلَّمَيَقُولُ:

ඉහත හදීසයේ මතන් «إِنَّمَاالأَعْمَالُبِالنِّيَّاتِ،وَإِنَّمَالِكُلِّامْرِئٍمَانَوَى،فَمَنْكَانَتْهِجْرَتُهُإِلَىدُنْيَايُصِيبُهَا،أَوْإِلَىامْرَأَةٍيَنْكِحُهَا،فَهِجْرَتُهُإِلَىمَاهَاجَرَإِلَيْهِ»

ඉහත හදීස් කොටස් කිරීම තුළ හදීසයක් පිළිගත යුතු හා ප්‍රතික්ෂේප කළ යුත යන්න තීරණය කරන්නේ සනද් නැමැති දෙනුම් දෙන්නන්ගේ දම්වලයි. එනම් මෙහි දෙවැනි කොටසයි.මෙම සනදය පදනම් ප්‍රධානහදීස් කලාව අනු කොටස් හතරකට බේදෙයි. එනම්,

1.සහීහ් – صَحِيْح

2.මවුලූවු – مََوْضُوْع

3.මත්රූක් – مَتْرُوْك

4.ලයීෆ් – ضَعِيْف

කුමන හදීසය වුවත්, එය අනිවාරයෙන්ම මෙම වර්ගකිරීම් හතරෙන් එකකට අන්තර්ගත වේ. මේවා අතුරින් සහීහ් වූ හදීසයන් පමණක් අප පිළිපැදිය යුතුය. අනිකුත් වර්ග තුනම ප‍්‍රතික්‍ෂේව විය යුතු ඒවා වේ.

ඒ අනුව මෙතැන් සිට මෙම හදීස් කලාව පිලිබදව පුළුල් ලෙස සාකච්චා කිරීමට අදහස් කරමි.

සහීහ් හදීස්

අද අප නබි (සල්) තුමාණන් ගැන හදීසයක් පවසන අවස්ථාවේ බොහෝ විට ආරම්භක දැනුම් දෙන්නා (දැනුම් දෙන්නා හදීස් කලාව තුල ‘රාවි’ යැයි හඳුන්වනු ලැබේ.) වන සහාබිවරයා හැර අනිකුත් දැනුම් දෙන්නන්ගේ නමි සඳහන් නොකරමු. සියලු හදීස් ග්‍රන්ථවල ‘සනද් (දැනුම් දෙන්නන්ගේ දම්වැල)’ සඳහන් කර තිබීම ඊට හේතුවයි. නමුත් හදීස් ග‍්‍රන්ථාරූඩ වෙමින් තිබූ හිජ්රි 02වන 3 වන හා 04වන සියවස්වල නබිතුමාණන් ගේ හදීසයක් පවසන විට එම හදීසය හදීස් විශාරදයන් විසින් තම ග‍්‍රන්ථ වල සටහන් කිරීමට පොදුවේ පිළිගත් රීතියක් තිබිණි. එනම් ප‍්‍රවෘත්තිය තමා හට ප‍්‍රකාශ කරන ලද්දේ කා විසින්ද යන්නත් සඳහන් කළ යුතු විමය. එනම් හදීසය දැනුම් දෙන්නා තමාට ප‍්‍රකාශ කළ පුද්ගලයාව පමණක් ප‍්‍රකාශ කිරීම ප‍්‍රමාණවත් නොවිය. තමාට ප‍්‍රකාශ කළ පුද්ගලයා දැනගත්තේ කාගෙන්ද? ඔහු දැනගත්තේ කාගෙන්ද? මේ ආකාරයට දැනුම් දෙන්නන්ගේ දම්වැල නොකැඞී නබි (සල්) තුමාණන් දක්වාම ගමන් කළ යුතු විය. මෙසේ හදීසය ග‍්‍රන්ථයේ සටහන් කරන විශාරදවරයාට ප‍්‍රකාශ කළ අවසාන රාවි(දැනුම් දෙන්නා) ගෙන් පටන් නබි (සල්) තුමාණන් ගෙන් කෙලින් ම ප්‍රවෘතියට සවන්දෙ සහාබිවරයා වන පළමු රාවි (දැනුම් දෙන්නා) දක්වා වූ දම්වැල සනද් යන නමින් හදීස් කළාව තුල සඳහන් කරනු ලැබේ. ඒ අනුව හදීසයක් ප්‍රධාන කොටස් දෙකකින් සමන්වි වේ.

  • ග්‍රන්ථයේ කතුවරයාට ප්‍රවෘතිය ප්‍රකාශ කරන අවසාන රාවි (දැනුම් දෙන්නො) ගෙන් පටනේ නබි (සල්) තුමාණන්ගෙන් ප්‍රවෘතිය අසන පළමු රාවි (දැනුම් දෙන්නා) වන සහාබිරයා දක්වා වූ කොටස. මෙම කොටසට හදීස් කලාව තුල “සනද් (දැනුම්දෙන්නන්ගේ දම්වැල)ථ යන නමින් හදුන්වනු ලැබේ. හදීසයක් පිළිගතයුතු නිවැරදි (සහීහ්) හදීසයක් ද නො එසේ නම් ප්‍රතික්ෂේප කළ යුතු වැරදි ප්‍රවෘත්තියක් ද යන්න තීරණය කරන ප්‍රධාන සාධකය සනද් නැමැති මෙම දැනුම් දෙන්නන්ගේ දම්වැලයි.
  • හදීසයෙන් ප්‍රකාශවන කරුණ ඇතුලත් ප්‍රවෘතියයි. මෙය හදීස් කළාව තුල “මතන් (කරුණ)“ යැයි හඳුන්වන ලැබේ.

සියළු හදීස් ග්‍රන්ථ සම්පාදනය කරණු ලැබුවේ මේ ආකාරයටයි. උදාහරණයක් ලෙස බුහාරී නම් හදීස් ග‍්‍රන්ථයේ සඳහන් වන පළමු හදීසය සලකා බලමු

حَدَّثَنَا الْحُمَيْدِيُّ عَبْدُ اللَّهِ بْنُ الزُّبَيْرِ ، قَالَ: حَدَّثَنَا سُفْيَانُ ، قَالَ: حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ الْأَنْصَارِيُّ ، قَالَ: أَخْبَرَنِي مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ التَّيْمِيُّ ، أَنَّهُ سَمِعَ عَلْقَمَةَ بْنَ وَقَّاصٍ اللَّيْثِيَّ ، يَقُولُ: سَمِعْتُ عُمَرَ بْنَ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ

عَلَى الْمِنْبَرِ، قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، يَقُولُ: ” إِنَّمَا الْأَعْمَالُ بِالنِّيَّاتِ، وَإِنَّمَا لِكُلِّ امْرِئٍ مَا نَوَى، فَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى دُنْيَا يُصِيبُهَا أَوْ إِلَى امْرَأَةٍ يَنْكِحُهَا، فَهِجْرَتُهُ إِلَى مَا هَاجَرَ

(ඉහත් අරාබි බසින් සඳහන් හදීසයේ සනද් කොටස කොල පාටින් ද මතන් කොටස රතු පාටින් ද සඳහන් කර ඇත්තේමු)

   “සියලු ක්‍රියා චේතනාවට අනුවයි. කෙනෙකුට හිමිවන්නේ ඔහු චේතනා කරන දෙයයි. යමෙකුගේ හිජ්රතය අල්ලාහ් හා ඔහුගේ වක්තෘවරයා වෙනුවෙන් නම්, ඔහු ගේ හිජ්රතයට අල්ලාහ් සහ ඔහුගේ වක්තෘවරයා වෙනුවෙනි. යමෙකුගේ හිජ්රතයා ලෞකික සැපසම්පත් ලබා ගැනීම සඳහා නම් නොඑසේ නම්, කාන්තාවක් විවාහ කර ගැනීමට නම් ඔහුගේ හිජ්රතය ඔහු කුමක් සඳහා හිජ්රත් කළාද ඒ සඳහා ය.“

මෙය බුහාරි ග්‍රන්ථයේ පළමු හදීසය වන අතර හදීස් කලාවේ මෙය මතන් ලෙස හඳුන්වන බව අපි ඉහත සඳහන් කළෙමු. මෙම හදීසයේ සනද් නම් කොටස (එනම් ඉහත අරාබි උපටාගැනීමෙහි කොළ පාටින් සඳහන් කර ඇති කොටස) වෙත අවධානය යොමු කරන්නේ නම්,

මෙම හදීසය නබි(සල්) තුමාණන් ප‍්‍රකාශ කළ බව පවසන පළමු දැනුම් දෙන්නා උමර් (රලි) තුමා නැමැති සහාබි වරයා ය. මෙතුමා මෙම ප‍්‍රවෘත්තිය නබි(සල්) තුමාණන්ගෙන් කෙලින්ම අසා දැනුම් දුන්නේය.අල්කමා බින් වක්කාස් මෙම ප‍්‍රවෘත්තිය උමර් (රලි) තුමාගෙන් සෘජුවම අසා ඇත. අල්කමා බින් වක්කාස් ගෙන් මුහම්මද් බින් ඉබ්රාහීම් නැමැත්තා මෙම ප‍්‍රවෘත්තිය අසා ඇත. මුහම්මද් බින් ඉබ්රාහීම්ගෙන් සෘජුවම අසා ඇත්තේ යහ්යා බින් සයීද් නැමැත්තාය. ඔහුගෙන් සුෆ්යාන් නැමැත්තාද සුෆ්යාන්ගෙන් හුමෛද් නැමැත්තාද සෘජුම අසා දැනගෙන ඇති අතර අවසානයේ බුහාරි ග්‍රන්ථයේ කතෘ වන ඉමාම් බුහාරි හුමෛදී ගෙන් සෘජුවම දැනගෙන තම ග්‍රන්ථයේ මෙම දැනුම් දෙන්නන්ගේ දම්වල සමග හදීසය සටහන් කර ඇත. එම දැනුම් දෙන්නන්ගේ දම්වැල මෙම වගුවෙන් පහසුවෙන්ම වටහා ගත හැකි ය. 1. දැනුම් දෙන්නා 2. දැනුම් දෙන්නා 3. දැනුම් දෙන්නා 4. දැනුම් දෙන්නා 5. දැනුම් දෙන්නා 6. දැනුම් දෙන්නා

عُمَرَ بْنَ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ عَلْقَمَةَ بْنَ وَقَّاصٍ اللَّيْثِيَّ مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ التَّيْمِيُّ يَحْيَى بْنُ سَعِيدٍ الْأَنْصَارِيُّ  سُفْيَانُ  الْحُمَيْدِيُّ عَبْدُ اللَّهِ بْنُ الزُّبَيْرِ උමර් ඉබ්නුල් හත්තාබ් අල්කමා ඉබ්නු වක්කාස් මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් සහ්යා ඉබ්නු සඊද් අල් අන්සාරී සුෆ්යාන් හුමෛදී අබ්දුල්ලාහ් ඉබ්නු සුබයිර්

නබි (සල්) තුමාණන්ගේ පටන් බුහාරි දක්වා වූ කාල පරාසය අවුරුදු 200ක් පමණ වන බව මෙහිදී අවධාරණය කළ යුතු කරුණකි.

මේ ආකාරයට ඉමාම්වරු හදීස් තම ග්‍රන්ථවල හදීස් සටහන් කර විට මතන් සමග සනද් ද සඳහන් කර ඇත. ඒ අනුව හදීසයක් නිවැරදි (සහීහ්) හදීසයක් හැටියට පිළිගැනීමට නම් එම හදීසය කොන්දේසි පහත් සපුරාලිය යුතුය. එම කොන්දේසි පහ පහත පරිදි වේ.

  • اتصال السند – සනද්හී සම්බන්ධතාවය නොකැඩී පළමු රාවිගේ සිට අවසාන රාවි දක්වාම පැවතිය යුතුය. එනම් එක් රාවිකෙනෙක් තමාට පෙර රාවිගෙන් ප්‍රවෘතිය කෙලින්ම අසා දැනගෙන තිබිම අනිවාර්ය වේ. රාවීකෙනෙක් හැලී දම්වැල කැඩීමක් සිදු නොවිය යුතුය.
  • العدالة في جميع الرواة – සනදයේ සියලු රාවිවරු ධර්මානුකූල ජීවිතයක් ගත කරන හොඳ විශ්වාසවන්තයින් විය යුතු අතර ඉතා අවංක පුද්ගලයන්ද විය යුතුය. ඔවුන්ගේ අවංක භාවය ගැන කිසිඳු සැකයක් මතු නොවිය යුතු ය.
  • الضبط التام في جميع الرّ – සනද් හි සියලු රාවිවරු කළින් පුද්ගලයාවන තම ගුරුවරයාගෙන් ප්‍රවෘතිය ඉතා නිවැරදිව අසා කිසිඳු අමතකවීමකින් තොරව තමාට පසුව සිටින රාවි වන තම ශිෂ්‍යා හට ඒ සවන් දුන් ආකාරයට ප්‍රකාශ කිරීමට හැකි ඉතා තියුණු මතක ශක්තියකින් යුක්ත පුද්ගලයෙක් විය යුතුය.
  • عدم الشُذوذ – ෂාද්වලින් තොර විය යුතුය. එනම් හදීස් දැනුම් දීමෙහි මතක ශක්තියෙන් තමාට වඩා බලවත් රාවි කෙනෙකුමට හෝ එම මතනයම දැනුම්දෙන තමා මෙන් බොහෝ රාවි වරුන්ට පටහැනි නොවිය යුතුයි. එසේ බොහෝ දෙදෙකුට එක්කෙනක් හෝ මතක ශක්තියෙන් වැඩි රාවි කෙනෙකුට පටහැනිව මතක ශක්තියෙන් ඔහුට වඩා අඩු රාවි කෙනෙක් දැනුම් දෙන හදීස් ෂාද් හදීස් යැයි හඳුන්වනු ලබන අතර එය ප්‍රතික්ෂේප කළ යුතු හදීසයක් වේ.
  • عدم العلّة – ඉල්ලාත් වලින් තොර විය යුතුය. හදීස් කලාව ගැන නිපුණ දැනුමක් සහිතව සූක්ෂම ගවේෂණ තුලින් හඳුනා ගන්නා සැඟවුණු දෝෂ ඉල්ලත් යැයි හඳුන්වන ලැබේ. හදීසය එවැනි දෝෂවලින් තොර විය යුතුය. (මෙම ඉල්ලත් ගැන ඉදිරියේදී පුලුල්ව සාකච්චා කරමු.)

නිවැරදි පිළිගත යුතු මක්බූල් හදීසයක් වීමට නම් ඉහත කොන්දේසි පහ එම හදීසය සම්පූර්ණ කළ යුතුය. එහි කුමණ හෝ කොන්දේසියක් කඩවේ නම් එම හදීසය මර්දූද් නම් ප්‍රතික්ෂේප විය යුතු හදීස් ගනයට වැටෙනු ඇත. .ඒ අනුව නිවැරදි – සහීහ් වූ හදීස්යන් අනුව අමල් කිරීම හා ඒවා පිළිපැදීම අනිවාර්ය වේ යන්න සියළු දෙනා මතභේදයෙන් තොරව අවිවාදයෙන්ම පිළිගන්නා අදහසයි.

ඉහත මාතෘකාවට අදාලව තවදුරටත් විමසා බලන්නේ නම්,

සහීහ් යන වදන පොදුවේ සියලු දෙනා නිවැරදි පිළිගත යුතු හදීස් යන්න හැඳින් වීමට යෙදුවද සැබවින්ම සහීහ් හදීස් යනු අප විසින් පිළිගත යුතු නිවැරදි හදීස් වල එක් වරගයක් පමණි. හදීසයක් හදීස් කළාවේ ප්‍රධාන අංග දෙකකට බෙදනු ලැබේ. එනම් මක්බූල් (مقبول – පිළිගත යුතු) සහ මර්දූද් (مردود – ප්‍රතික්ෂේප කළ යුතු) ලෙසයි.

මක්බූල් (مقبول – පිළිගත යුතු) හදීස්

මක්බූල් යන අරාබි පදයේ අර්ථය පිළිගත යුතු යන්න යි. මක්බුල් හදීස් යන වර්ගීකරණය තුල උප වර්ගීකරණ කිහිපයක්ම හදීස් කලාවට අනුව අන්තර්ගත වන අකර සහීහ් යනු එහි එක් උප වර්ගයක් පමණි. නමුත් පොදු ව්‍යවහාරයේ සියලු මක්බූල් හදීස් සහීහ් යන නමින්ම හැදින්වීමට සමාජය පුරුදුව සිටින බැවින් ද, ඒවා කුමන මක්බූල් වර්ගයද යන්න වෙන් කර හඳුනා ගැනීමේ තියුණු හදීස් දැනුමක් පොදු ජනයා තුල නොමැති නිසා ද දේශකවරු පවා සියලු මක්බූල් හදීස් සහීහ් හදීස් යන යමින් හඳුන්වති. සහීහ් යනු පිළිගත යුතු මක්බූල් හදීස් වර්ගයේ එක් හදීසයක් පමණක් බව මෙයින් ඔබේ අවධානයට ගෙන ඒමට කැමැත්තෙමි.

මර්දූද් (مردود – ප්‍රතික්ෂේප කළ යුතු)

නබි (සල්) තුමාණන් විසින් ප්‍රකාශ කළ බව තහවුරු නොවූ එතුමාණනගේ නමින් ගොතන ලද බවට තහවුරු වූ හෝ එසේ සැක පහළ වන ප්‍රකාශ මර්දූද් හදීස් යැයි හදීස් කළාව තුල හඳුන්වලු ලබන අතර, මර්දූද් වර්ගයද උපවර්ග කිහිපයකින් යුක්ත විශාල විෂය පඨයකි. පොදුවේ ජනයා සියලු මර්දූද් හදීස් ලඊෆ් යැයි හදුන්වති. ලඊෆ් යනු මර්දූද් නම් ප්‍රතික්ෂේපිත හදීසයේ එක් අංගයක් පමණි. තවත් බොහෝ මර්දූද් තිබෙන බව ඔබේ අවධානයට ගෙන ඒමට කැමැත්තෙමු.

හදීස් වර්ගීකරණය –

ඉහත වගුව තුලින් හදීස් ඉතා පුලුල් අධ්‍යනයකින් පසුව බොහෝ වර්ග වලට වර්ග කර තිබීම ඔබට දැකගත හැකිය. මෙහිදී සමාජ ව්‍යවහාරයේ සහීහ් හදීස් යැයි පැවසෙන මක්බූල් නම් පිළිගත යුතු වරග කිරීම ගැන මදක් විමසා බලමු.

මුතවාතිර් හදීස් (الحديث المتواتر)

(10ට වැඩි) බොහෝ සනද් නම් දැනුම් දෙන්නන්ගේ දම්වැලින් දැනුම් දෙනු ලබන වැරදීම ඉතා කුඩා සම්භාවිතාවකවත් හැකියාවක් නොමැති ඉතා නිවැරදි හදීස් මුතවාතිර් හදීස් යැයි හඳුන්වනු ලැබේ. පහත හදීසය හුතවාතිර් හදීසයට හොඳ උදාහරණයකි.

من كذب علي متعمدا فليتبوأ مقعده من النار

මාගේ නමින් ඕනෑකමින්ම යමෙක් බොරුවක් ගොතන්නේ නම් ඔහු ඔහුගේ වාසස්ථානය නිරය කර ගත්තේය යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

බුහාරි මුස්ලිම් ඇතුලු තවත් බොහෝ ග්‍රන්ථවල සඳහන් වන මෙම හදීසයට හදීසයේ සත්‍යතාවය තහවුරු කරන සනද් නැමැති දැනුම් දෙන්නන්ගේ දම්වැල 60කට වඩා අධික ප්‍රමාණයකින් වාර්ථාවන ඉතා නිවැරදි හදීසය කි. මෙවැනි හදීස් හදීස් කලාව තුල මුතවාතිර් යන නමින් හඳුන්වනු ලැබේ.

ආහාද් හදීස් (الحديث الآحاد)

සනද් නම් දැනුම් දෙන්නන්ගේ දම්වැල් 10 අඩු හදීස් ආහාද් හදීස් නමින් හදීස් කලාව තුල හඳුන්වනු ලබන අතර, සනද් 03 සිට 09ක් දක්වා ඇති හදීස් මෂ්හූර් (مشهور) හදීස් යැයි ද, සනද් දෙකකින් යුක්ත හදීස් අසීස් (عزيز) හදීස් යැයි ද සනද් එකක් පමණක් ඇති හදීස් ගරීබ් (غريب) හදීස් යැයි ද හදීස් කලාව තුල හඳුන්වනු ලැබේ. අපට බොහෝ විට දැකිය හැකි වන්න් එනම් වැඩිපුරම තිබෙන හදීස් වර්ගය අසීස් නම් සනද් දෙකකින් යුක්ත හදීස් වර්ගය යි.

සහීහ් ලි සාතිහි. (صحيح لذاته)

ඉහත හදීසයක් මක්බූල් හදීසයක් වීමට සම්පූර්ණ කළ යුතු කොන්දේසි පහක් අපි සඳහන් කර ඇත්තේමු. එහි තුන්වන කොන්දේසිය ලෙස

الضبط التام في جميع الرّواة – සනද් හි සියලු රාවිවරු කළින් පුද්ගලයා වන තම ගුරුවරයාගෙන් ප්‍රවෘතිය ඉතා නිවැරදිව අසා කිසිඳු අමතකවීමකින් තොරව තමාට පසුව සිටින රාවි වන තම ශිෂ්‍යා හට ඒ සවන් දුන් ආකාරයට ප්‍රකාශ කිරීමට හැකි ඉතා තියුණු මතක ශක්තියකින් යුක්ත පුද්ගලයෙක් විය යුතුය.

යැයි සඳහන් කර ඇත්තෙමු.

රාවිවරුන්ව සිය මතක ශක්තිය හා සැදැහැවත් භාවය පදනම් කරගෙන හදීහස් කළාව තුල පන්ති 12කට බෙදා වගුගත කර ඇත. (ඉදිරියේ දී හදීස් විමර්ශනය යන මාතෘකාව සාකච්චා කරන විට මෙම වගුව අපි ඉදිරිපත් කරමු). එයින් ඉහලින්ම සිටින පලමු ස්ථානය හිමි අය වන්නේ නබි (සල්) තුමාණන් සමග එකට ජීවත් වී ඉතා හොඳින් මෙම හදීස් එතුමාණන්ට සවන් දී හෝ දැක දැනුම් දෙන සහාභාවරුන් ය.

එයින් දෙවන ස්ථානයට හා තුන්වන ස්ථානයට සිටන්නේ ඉතා සැදැහැවත් හා ඉතා තියුණු මතක ශක්තියකින් යුක්ත ඉතා ධාර්මික පුද්ගලයින් වේ. මොවුන්ගෙන් සිකත් සිකත්, අවුසකුන් නාස් සිකත් හාෆිස් යන සහතිකවලින් 2වන පන්තියේ අය ද, සිකත්, මුත්කින් දාබිත් අද්ල් යන සහතික වලින් 3වන පින්තියේ අයද හඳුන්වනු ලැබේ. සනදයේ සියලු දෙනා මෙවැනි දැනුම් දෙන්නන් වේ නම් එම හදීසය සහීහ් ලි සාතිහි – (කිසිදු අමතර සාධකයකින් තොර) එය තුලින්ම සහීහ් වන හදීසයක් යැයි හඳුන් වනු ලැබේ. දැනුම් දෙන්නන්ගේ දම්වැලට අනුව ඉහලින්ම නිවැරදි වන හදීසය මෙම වර්ගයේ හදීස යයි.

හසන් ලි සාතිහි (حسن لذاته)

ඉහතින් අප සඳහන් කළ ආකාරයට හදීසයක් නිවැරදි වීමට සම්පූර්ණ විය යුතු කොන්දේසි පහෙන් තුනවන කොන්දේසිය වන මතක ශක්තිය පිළිබඳ කොන්දේසියේ දී මතක ශක්තිය හා ධාර්මික භාවය පදනම් කරගෙන දැනුම් දෙන්නන් පන්ති 12කට වර්ගීකරණය කරන බව මීට ඉහතදී ද අප සඳහන් කලෙමු. එස් 2වන හා 3වන පන්ති වල දැනුම් දෙන්නන් දන්වන හදීස් සහීහ් ලි සාතිහි නම් ඉහලින්ම සහීහ් වන නිවැරදි හදීස් බවද සඳහන් කෙලෙමු. 

එම වර්ගීකරනයේ 4 වන ස්ථාන හිමිවන දැනුම් දෙන්නන් වන්නේ සදූක්, ලා බඅස බිහී හා ලයිස බිහී බඅස් යන සහතික වලන් හඳුන් වන දැනුම් දෙන්නන් වේ. මොවුන් ඉතා ධාර්මික හා ඉතා සැදැහැවත් ධර්මානුකූල ජීවිතයක් ගත කරමින් 2වන හා 3 වන පන්තිය මෙන්ම හදීස් කලාවේ කොන්දේසි පහෙන් දෙවන කොන්දේසියට ඉහලින්ම හිමිකම් කියන නමුත් තුන්වන කොන්දේසිය වන මතක ශක්තිය පිළිබඳ කොන්දේසියේ දී දෙවන හා තුන්වන පන්තියේ දැනුම් දෙන්නන් තරමටම ඉතා තියුණු මකත ශක්තියකින් යුක්ත නොවූවත්, යම් සිද්ධියක් වාර්ථා කිරීමට තරම් මකක ශක්තියකින් යුත් අය යි. හදීසයක සනද්හි මෙවැනි දෙනුම් දෙන්නන් එක්කෙනෙක් හෝ අන්තරගත වේ නම් එම හදීසය හසන් ලි සාතිහී (කිසිදු අමතර සාධකයකින් තොර) එය තුලින්ම හසන් වන හදීසයක් යැයි හඳුන් වනු ලැබේ. හොද,යහපත්, අලංකාර යන්න හසන් යන වචනයේ අර්ථ වේ.

සහීහ් ලි ගයිරිහි. (صحيح لغيره)

සහීහ් ලි ගයිරිහී යන්නෙහි අදහස (එයත තුලින්ම සහීහ් නොවී) වෙනත් සාක්ෂි මත සහීහ් ගනයට ගන්නා හදීස් යන්න යි. සහීහ් ලී සාතිහි – (කිසිදු අමතර සාධකයකින් තොර) එය තුලින්ම සහීහ් වන හදීස් වලට පසු දෙවනි ස්ථානය හිමිවන්නේ මෙම හදීස් වලවට යි.

ඉහතින් අපි සඳහන් කළ හසන් ලී සාතිහී ගනයේම සනද් එකකට වඩා වැඩි ගණනකින් යම් මතනයක් සනාථ වන විට එම හදීසය මෙම ගනයේ හදීසයක් ලෙස සලකණු ලැබේ.

හසන් ලි ගයිරිහී. (حسن لغيره)

හසන් ලි ගයිරිහී යන්නෙහි අර්ථය (එය තුලින්ම හසන් නොවී) වෙනත් සාධක මත හසන් ගනයට ගැනෙන හදීස් යන්නයි.

රාවි වරුන් වර්ගකිරීමේ වගුවෙහි 5 වන හා 6 වන ස්ථානය හිමි වන දැනුම් දෙන්නන් වන්නේ සදූක් යුහ්ති, සෙයියිඅල් හිෆ්ල්, ලහූ අව්හාම්,මක්බූල්, මක්බූලාහ් යන සහතික වලින් හඳුන් වනු ලබන අය යි. මොවුන් සැදැහැවත් යහපත් ජීවිතයක් ගත කළ ධාර්ධික අය වුවද, හදීස් කලාවේ තුන්වන කොන්දේසිය වන මතක ශක්තිය පිළිබඳ කොන්දේසියේදී මොවුන් තරමක් දුර්වල මකත ශක්තියකින් යුක් අය යි. මොවුන් තනිව දන්වන හදීස් මර්දූද් නම් ප්‍රතික්ෂේපිත හදීස් වේ. එවැනි හදීස් කිසිසේත්ම පිළිගන්නේ නැත.

නමුත් යම් සනද් එකක රාවි කෙනෙක් මෙවැනි දැනුම් දෙන්නෙක් බව තහවුරු වූ විට, එක විටම ඔහුගේ හදීසය ප්‍රතික්ෂේප නොකර , දැනුම් දෙන්නන් වරග කරනු ලබන වගුවේ මොහුගේම ස්ථානය හිමි තවත් දැනුම් දෙන්නෙක් මාර්ගයෙන් එම ප්‍රවෘතිය තහවුරු වේ දැයි සලකා බලනු ලැබේ. එසේ තහවුරු වේ නම් මතකය තරමක් දුර්වල වුවත්, එසේ සාක්ෂි දෙකකින් සනාථ වන නිසා එය පිළිගත යුතු මක්බූල් හදීස් ගනයට ගැනෙන අතර එවැනි හදීස් මෙම හසන් ලි ගයිරිහි ගනයේ හදීස් ලෙස වරග කරනු ලැබේ. මෙය මක්බූල් නම් පිළිගත යුතු හදීස් වරගයේ පහත්ම වර්ගය වේ. මේ ආකාරයට හදීස් දැනුම් දෙන්නන්ගේ මතක ශක්තිය පදනම් කරගෙන හදීසයක් වර්ග කිරීමේදී

  • පළමු ස්ථානයට නිවැරදි හදීස් ලෙස සහීහ් ලි සාතිහි (صحيح لذاته) හදීස් ද,
  • දෙවන ස්ථානයට නිවැරදි වෙන හදීස් ලෙස සහීහ් ලි ගයිරිහි (صحيح لغيره) හදීස් ද,
  • තෙවන ස්ථානයට නිවැරදි හදීස් ලෙස හසන් ලි සාතිහි (حسن لذاته) හදීස් ද,
  • හතර වන ස්ථානයට නිවැරදි හදීස් ලෙස හසන් ලි ගයිරිහී (حسن لغيره) හදීස් ද, සලකනු ලැබේ.

මේ අනුව හදීස් ගවේශණයේදී හදීස් විශාරදවරුන් කොතරම් කැපවීමෙන් සූක්ෂමව කටයුතු කර ඇත්දැයි මොනවටම පැහැදිලි වේ. මින් ඉදිරියට හදීසයක් ප්‍රතික්ෂේප වීමට හේතු සහ ඒසේ ප්‍රතික්ෂේපි හදීස් වර්ග ගැන ද සලකා බලමු.

මවුලූ වූ හදීස්

ප‍්‍රතික්‍ෂෙප විය යුතු හදීස් අතුරින් මුල්තැන ගන්නේ මවුලූ වූ නම් හදීස් වේ. මවුලූ නැමැති පදයේ තේරුම ගොතන ලද දේ යන්නයි. නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ නොකල දෑ – ක‍්‍රියාත්මක නොකළ දෑ – හා අනුමත නොකළ දෑ එතුමාගේ නාමයෙන් ගොතා ප‍්‍රකාශ කිරීම ගොතන ලද හදීස් යැයි හඳුන්වනු ලැබේ.

  • දැනුම් දෙන්නන්ගෙන් කෙනෙකු හෝ කිහිපදෙනෙක් බොරුකාරයින් යැයි ඔප්පු වීම
  • ගොතන ලද පුද්ගලයා පසුකාලීනව තමා ගෙතූ බව පිළිගැනීම

ඉහත සඳහන් ලක්‍ෂණවලින් එකක් හෝ යම් හදීසයක අන්තර්ගත වේ නම් එය ගොතන ලද හදීසයක් වේ. ගොතන ලද හදීසයන් පිළිගත නොහැකි අතර ඒ අනුව අමල් කිරීම නොකළ යුතුය. ගොතන ලද හදීස් පිළිබඳ මෙම විස්තරය ප‍්‍රමාණවත් යැයි සිතමි. මේ පිළිබඳ අපි දැඩි අවධානයෙන් සිටිය යුතුය. මන්ද විවිධ අරමුණු පෙරදැර කරගෙන ඇතැමුන් නබි තුමාණන්ගේ නාමයෙන් හදීස් ගෙතූහ. එනම්,

  • ඉස්ලාම් ආගමේ වර්ධනය වැලැක් වීමට
  • ආගම පිළිබඳ ඇති දැඩි ආශාව
  • ගෞරවයක් ලබාගැනීමේ අරමුණින්
  • රජවරුන්ව සතුටට පත්කිරීමේ අරමුණින්
  • ආගමික නිකායන් අතර තරඟ, ගැටුම් හා ක්‍රෝධය
  • ආගමික දේශණවල තම කථා වස්තුව අලංකාර කිරීම
  • පෞද්ගලික ලාබ අපේක්‍ෂාවන්

වැනි හේතුන් නිසා නබි (සල්) තුමාණන්ගේ නාමයෙන් ගොතා ලද හදීස් සමාජයට පිවිස තිබේ. හදීස් කළාව හොඳින් අධ්‍යනය කර, මේවා හඳුනාගෙන ඒවා සමාජයෙන් ඉවත් කිරීම මුස්ලිම්වර්න්ගේ යුතුකමයි. මේවැනි ගොතන ලද හදීස් හඳුනාගැනීම පහසු කිරීම පිණිස අතීතයේ විසූ ආගමික විද්වතුන් වන ඉමාම් ජවුසජානී, ඉමාම් ෂවුකානී… වැනි අය මේ විෂය යටතේ ග්‍රන්ථ රාශියක් දායද කර ඇත. මෙවැනි ග්‍රන්ථ අතුරින් ඉමාම් ෂව්කානී තුමාගේ ‘අල් ෆවාඉද් අල් මජ්මුඋ ‍ෆී අහාදීසිල් මවුලූආත්’ යන කෘතිය ප්‍රධාන තැනක් ගනී. එවන් කතෘ තුළින් මුස්ලිම් සමාජයේ දැනගිනීම පිණිස මවුලූ හෙවත් ගොතන ලද හදීස් කිහිපයක් පහතින් ඉදිරිපත් කරන්නේ නම්,

  • යමෙක් ලාඉලාහ ඉල්ලල්ලාහ් යැයි ප‍්‍රකාශ කරයි නම්, එම වදනෙන් අල්ලාහ් කුරුල්ලෙක්ව මවයි. එම කුරුල්ලාට දිවවල් හත්තෑ දහසක් ඇත. සෑම දිවක්ම භාෂා හත්තෑ දහසක්(70000) කතා කරයි.
  • වම්බටු අනුභව කිරීමෙන් සියළු රෝගවලට සුවය ලැබෙයි
  • මාළු අනුභව කිරීමෙන් ශරීරය දුර්වල වේ
  • ආලිම්වරයෙකුගේ සභාවක අසුන් ගැනීම රකඅත් දහසක් සලාත් කිරීමට වඩා ශ්‍රේෂ්ඨ වේ.
  • මාගේ සමාජයේ (ඉස්ලාමීය) පූජකවරුන් බනී ඉස්රායීල් සමාජයේ නබිවරුන් වැනිය
  • යමෙක්(ඉස්ලාමීය) පූජකවරුන් මුණගැසෙයි නම් ඔහු මාව මුණගැනීමට සමානය. (ඉස්ලාමීය) පූජකවරුන්ට මුසාෆහා කිරීම මට මුසාෆහාකිරීමට සමානය.
  • රජුගේ අවසරයෙන් තොර ජුම්ආ සලාතය නැත
  • හිල්ර් හා ඉස්මායීල් යන නබි වරු දෙදනා ජීවතුන් අතර සිටිති. මිනාහි ඔවුන් දෙදෙනා අවුරුදු පතා මුණගැසෙති
  • රෝස මල මවා ඇත්තේ නබි (සල්) තුමාගේ දහදියෙනි.
  • මාගේ සමාජයේ මුහම්මද් ඉද්රීස් (මෙය අප රටේ ප්‍රධාන මද්හබය(නිකාය) වන ෂා‍ෆි මද්හබ්හි ප්‍රධාන ඉමාම් ලෙස සැලකෙන ෂා‍ෆී ඉමාම් තුමාගේ නමයි.) නමින් කෙනෙකු පහළ වෙනු ඇත. ඔහු ඉබ්ලීස්ට(ෂයිතාන්) වඩා මාගේ සමාජයට විනාශකාරී කෙනෙකි. මාතේ සමාජයේ අබූ හනී‍ෆා(මෙය තවත් ප්‍රධාන මද්හබයක්(නිකාය) වන හනෆි මද්හබයේ නිර්මාතෘ ලෙස සැලකෙන පුද්ගලයාය.) නමින් කෙනෙකු පහළ වනු ඇත. ඔහු මාගේ සමාජයේ ආලෝකය යි.
  • කාන්තාවන්ගෙන් උපදෙස් විමසන්න. ඊට පටහැනිව කටයුතු කරන්න.

මේවා සියල්ල නබි (සල්) තුමාණන් ප‍්‍රකාශ කළ බවට ගොතන ලද ඒවා වේ. මෙවැනි හදීස් ගැන දැඩි අවධානයෙන් කටයුතු කිරීම මුස්ලිම්වරුන්ගේ අනිවාර්ය යුතුකම වේ.

මත්රූක් හදීස්

මවුලූ හදීස්වලට පසු ප‍්‍රතික්‍ෂෙප විය යුතු හදීස් අතුරින් දෙවන තැනට ඇත්තේ මත්රූක් නැමැති වර්ගයේ හදීස් ය. හදීසයක දැනුම් දෙන්නන්ගෙන් කෙනෙක් බොරුකාරයෙකු යැයි සැකයක් මතුවූ විට, එම හදීසය මත්රූක් වේ. හදීස් හි අදාල පුද්ගලයා බොරු කියූ බව ඔප්පු නොවුනද, පොදුවේ ඔහු බොරු කියන පුද්ගලයෙක් බව සනාථ වූ විට ඔහු දැනුම් දෙන හදීස් මත්රූක් ඝනයට අයත් වේ.

දැනුම් දෙන්නා බොරුකාරයෙක් බව සැකයෙන් තොරව සනාථ වූ විට එවැනි හදීස් මවුලූ (ගොතන ලද එකක්) වන බව මීට ඉහත මවුලූ හදීස් යන ලිපියෙන් සාකච්ඡා කළෙමු. මත්රූක් වල දැනුම් දෙන්නා බොරුකාරයෙක් බව ඔප්පු නොවුනද, පොදුවේ ඔහු මත බොරුකාරයෙක් යන චෝදනාවක් පවතී. මවුලූ හා මත්රූක් අතර ඇති වෙනස මෙයයි. උදාහරණයක් ලෙස පහත හදීසය සඳහන් කළ හැකිය.

 නබි (සල්) තුමාණෝ අනිවාර්ය සලාතයේදී ‘බිස්මිල්ලාහිර්රහ්මානිර්රහීම්’ යැයි ශබ්ද නගා පාරායණය කළහ. ‘ෆජ්ර් සලාතයේදී කුනූත් පාරායණය කරන කෙනෙකු ලෙස සි‍ටියහ. තවද අරෆා දිනයේ පජ්ර් සලාතයේ ‘තක්බීර්’ පවසන්නෙකු ලෙස සිටියහ. ‘අයියාමුතෂ්රීත්’ අවසාන දිනයේ ‘අසර්‘ සලාතයත් සමඟ ‘තක්බීර්’ අවසන් කරන්නේය.

මූලාශ්‍ර ග්‍රන්ථය – දාරකුද්නී

ඉහත හදීසයේ දන්වන්නන් (සනද්) දම්‍වැල පහත ආකාරයට වේ,

  • අලි හා අම්මාර් (රලි) තුමා මඟින්
  • — අබීතුෆෙයිල් (රහ්)
  • — ජාබිර් (රහ්)
  • — අම්ර් ඉබුනු ශම්ර් (රහ්)
  • — අසද් ඉබුනු සෙයිද් (රහ්)
  • — කාසිම් ඉබුනු හසන් ඉබුනු සුබෙයිදී (රහ්)
  • — අබ්දුල්ලා ඉබුනු අහ්මද් ඉබුනු සිබිත් අල්-බස්සාර් (රහ්)
  • — ඉමාම් දාරකුද්නී (හදීස් ග්‍රන්ථයේ කතෘ)

ඉහත හදීස් දම්වැලේ ‘අම්ර් ඉබුනු ශම්ර්’ නැමැති පුද්ගලයා (එනම් දම්වැලේ ඉමාම් දාරකුද්නී සිට 05 වැනියා) ‘මත්රූක්’ හෙවත් බොරු (හෙවත් මුසාවන්) පවසන්නෙකු බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු වේ. මොහු ගැන ‘ඉමාම් නසායි’ හා ‘ඉමාම් දාරකුද්නී’ යන හදීස් කලාවේ විද්වතුන් දෙපල පැවසීමේ දී මොහු බොරු පැවසීමේ ප්‍රකට පුද්ගලයෙකු බවත්, එමනිසා මොහු ‘මත්රූකුල් හදීස්’ එනම්, ප්‍රතික්ෂේප කලයුතු කෙනෙකු බවත් ඔප්පු කොට ඇත.

ඉහත නිදසුන අනුව ද මවුලූ හා මත්රූක් යන දෙවර්ගයම ප‍්‍රතික්‍ෂෙප විය යුතු හදීස් වේ යන්නෙහි හදීස් කලාව තුල කිසිඳු මතභේදයක් නොමැති බව තහවුරු වේ.

මර්දූද් නම් ප්‍රතික්ෂේපිත හදීස්

හදීස් කලාව පිලිබදව කථා කරන ලිපි මාලාව තුල මීට ඉහත මක්බූල් හදීස් යටතේ පිළිගත යුතු මක්බූල් හදීස් ගොඩනැගී ඇති ආකාර සහ දෝෂවලින් තොර නිවැරිදි හදීසයක් වීමට සම්පූර්ණ විය යුතු රීති පහද, දැනුම් දෙන්නන්ගේ මතක ශක්තිය හා නිර්දෝෂීභාවය පදනම් කරගෙන පිළිගත යුතු හදීස් සහීහ් ලි සාතිහී, සහීහ් ලි ගයිරිහී සහ හසන් ලි සාතිහී හා හසන් ලි ගයිරිහී ලෙස කොටස් හතරකට වර්ග කර ඇති ආකාරය හා එහි විස්තර දැනගත්තෙමු.

මෙතෙන් සිට මර්දූද් නම් ප්‍රතික්ෂේපිත හදීස් වර්ග හා එහි විස්තර සලකා බලමු. හදීසයක් නිවැරදි වීමට සපුරාලිය යුතු කොන්දේසි පහක් ඉහත සහීහ් හදීස් යටතේ අපි ඉදිරිපත් කෙලෙමු. එම කොන්දේසිවලින් එකක් හෝ යම් සනදයක එනම් දැනුම් දෙන්නන්ගේ දම්වැලහි කඩවේ නම් එම හදීසය මර්දූද් නම් ප්‍රතික්ෂේපිත හදීස් ගණයට වැටෙන හදීසයක් වන අතර, එය ඉහත පිළිගත යුතු මක්බූල් හදීස් වර්ග හතරෙහි පහත්ම අවස්ථාව වන හසන් ලි ගයිරිහී නම් අවස්ථාවටත් පහලින් සිටින හදීසය කි. එවැන ප්‍රතික්ෂේපිත හදීස් ලයීෆ්, මත්රූක්, මෞලූ ආදී ලෙස එහි දුර්වලතාවය පදනම් කරගෙන අනු කොටස් කිහිපයකට බෙදා වෙන් කළ හැකි වුවද, එය පොදුවේ ලයීෆ් (දුර්වල) හදීස් යැයි හදීස් විශාරද වරුන් විසින් හදුන්වනු ලැබේ. හිජිරි 1080 දී අපවත් වූ, මුලු හදීස් කළාවම අරාබි කවියෙන් ඉතා අලංකාර ලෙස විග්‍රහ කරන ශ්‍රේෂ්ඨ හදීස් විශාරදවරයෙක් වූ, ඉමාම් අල්-බයිකූනී (රහ්මතුල්ලාහ්) තුමා කවි පෙලකින් මේසේ පවසයි.

“හසන් ස්ථානයට පසුව වැටෙන සියල්ල ලයීෆ් වේ. එයට බොහෝ අනු කොටස් අන්තරගතය“

නබි (සල්) තුමාණන් ගේ ප්‍රකාශයක්ද යන්න පිළිබඳ සැක පහළ වූ හදීස් මෙන්ම, එතුමාණන්ගේ ප්‍රකාශ නොවන බව සැකයෙන් තොර ඔප්පු කරන ලද හදීස් මෙම ගණයට අයත් හදීස් වේ.

මර්දූද් හදීස් වලින් නබි (සල්) තුමාණන් ප්‍රකාශයන් නොවන බව සැකයෙන් තොරව ඔප්පු කරන ලද දරුණු ලෙස දුර්වල වූ මෞලූ හා මත්රූක් හදීස් පිළිපැදීමට හෝ ආගමික කරුණක් තහවුරු කිරීම සඳහා සාක්ෂි වශයෙන් ගැනීමට කිසිඳු අවසරයක් ඉස්ලාම් දහම තුල නොමැති බව සියලු විශාරද විරුන් ඒකමතිකව පිළිගත්තද, මතක ශක්තිය දුර්වල වූ මෙන්ම නාඳුනන පුද්ගලයින් විසින් දන්වන ලද අඩු දුර්වලතාවයක් සහිත ලයීෆ් හදිස්වලට අනුව කුසල් කිරීමට හා යම් කරුණක මහිමයක් ගෙනහැර දැක්වීම සඳහා පමණක් යොදාගත හැකිය යන්න ඇතැමුන්ගේ ස්ථාවර යයි. මෙවැනි හදීස් ලයීෆ් (දුර්වල) යැයි හැඳින් වීමට හේතුව එය නබි (සල්) තුමාණන් විසින් ප්‍රකාශ කරන ලද්දක් ද? නොවේද? යන්න පිළිබඳව මතු වූ සැකය යි. මෙවැනි සැක සහිත, කිසිඳු ලයීෆ් (දුර්වල) හදීසයක් කිසිඳු ආගමික කටයුත්තක් සඳහා යොදා ගැනීමට ඉස්ලාම් දහම තුල කිසිඳු අවසරයක් නොමැති බව පහත කුර්ආන් වැකිය සහ නබි වදන අධ්‍යනය කිරීමේද පැහැදිල වේ.

    ඔබට ඥානයක් නොමැති දෑ අනුගමනය නොකරනු.

ශුද්ධ වූ අල්-කුර්ආන් 17-36

එසේම නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළ බව එතුමාණනගෙ මුණුබුරන් වන හසන් ඉබ්නු අලී (රළිල්ලාහු අන්හුමා) තුමාණ් මෙසේ දන්වයි.

   حَدَّثَنَا أَبُو مُوسَى الأَنْصَارِيُّ، حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ إِدْرِيسَ، حَدَّثَنَا شُعْبَةُ، عَنْ بُرَيْدِ بْنِ أَبِي مَرْيَمَ، عَنْ أَبِي الْحَوْرَاءِ السَّعْدِيِّ، قَالَ قُلْتُ لِلْحَسَنِ بْنِ عَلِيٍّ مَا حَفِظْتَ مِنْ رَسُولِ اللَّهِ صلى الله عليه وسلم قَالَ حَفِظْتُ مِنْ رَسُولِ اللَّهِ صلى الله عليه وسلم ‏ “‏ دَعْ مَا يَرِيبُكَ إِلَى مَا لاَ يَرِيبُكَ فَإِنَّ الصِّدْقَ طُمَأْنِينَةٌ وَإِنَّ الْكَذِبَ رِيبَةٌ ‏”‏
   නබි (සල්) තුමාණන්ගෙන්  මා කට පාඩම් කරගත් දේ නම් “ඔබට සැක උපදවන දේ අතහැර  ඔබට සැක උපදවන්නේ නැති දේ දෙසට පිය නගන්න. සත්‍ය ශ්‍රද්ධාව වන අතර, බොරු සැකය වේ.“ යන්න යි.

මුලාශ්‍ර ග්‍රන්ථය – අත් තිර්මිදී, මුස්නද් අහ්මද්, ඉබ්නු හිබ්බාන් 

‏ඉහක අල් – කුර්ආන් වැකිය හා සහීහ් වූ හදීසයට අනුව අප සැක සහිත සියල්ල අතහැර කිසිඳු සැකයකින් තොර වූ සහීහ් හදිස් පමණක් පිළිපැදිය යුතු බව ඉතා පැහැදිලි ය. එම අදහස හිජිරි 5 වන සියවසයේ ඉස්ලාමීය ස්පාඥයේ ජීවත් වූ හදීස් ෆික්හ් ඇතුලු බොහෝ ඉස්ලාමීය විෂයන් පිළිබඳ පුලුල් දැනුමකට හිමිකම් කී ශ්‍රේෂ්ඨ ඉස්ලාමීය විද්වතෙකු වන ඉමාම් අබූබක්කර ඉබ්නුල් අරබී (රහ්මතුල්ලාහ්) තුමා මෙසේ ප්‍රකාශ කරයි.

“යම් කරුණක මහිමය ගෙනහැර දැක්වීම සඳහා හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා වුවද, ලයීෆ් (දුර්වල) හදීස් අනුව කටයුතු කිරීමට කොහෙත්ම අවසර නැත.  “(තද්රීබුර් රාවි 1/252)

එසේම සහීහ් හදීස් පමණක් පිළිපැදීම අනිවාර්ය වේ යන්නට සාක්ෂි යන මැයෙන් සහීහ් හදීස් පමණක් පිළිපැදීමේ වැදගත්කම පහදා දෙමින් මෙම සියවසෙහි ජීවත් වූ ශ්‍රේෂ්ඨ හදීස් විද්වතානන් වන ඉමාම් නාසිරුද්දීන් අල්බානී (රහ්මතුල්ලාහ්) තුමා තම සහීහ් අත්තර්ගීබ් වත් තර්හීබ් ග්‍රන්ථයේ පෙරවදයෙහි දිර්ඝ විස්තරයක් ඉදිරිපත් කර ඇත.

සැක මතුවූ ලයීෆ් නම් දුර්වල හදීස් පිළිපැදීම ඉස්ලාම් දහම තුල තහනම් වේ යන්නට අප මෙතෙක් ඉදිරිපත් කළ සාධක ප්‍රමාණවත් වේ යැයි සිතමි. ඉන් ඉදිරියට හදීසයක් දුර්වල වීමට බලපාන හේතු හා ලයීෆ් හදීස් වර්ගීකරය ගැන විමසා බලමු.

හදීසයක් මේසේ දුර්වල (ලයීෆ්) වීමට බලපාන ප්‍රධාන හේතු දෙකක් හදීස් කළාව තුල සඳහන් වේ. එනම්

  • سقط من الإسناد – දැනුම් දෙන්නන්ගේ දම්වැලහි ඇතිවන බඳවැටීමක්
  • طعن في الراوي – රාවි වරයෙකුගේ අඩුපාඩුකමක්

දැනුම් දෙන්නන්ගේ දම්වැලහි ඇතිවන බඳවැටීම

හදීසයක් නිවැරදි වීම සඳහා වූ කොන්දේසි 05ක් අපි සහීහ් හදීස් යටතේ සාකච්චා කලෙමු. එයින් පළමු කොන්දේසිය

“සනද්හී සම්බන්ධතාවය නොකැඩී පළමු රාවිගේ සිට අවසාන රාවි දක්වාම පැවතිය යුතුය. එනම් එක් රාවිකෙනෙක් තමාට පෙර රාවිගෙන් ප්‍රවෘතිය කෙලින්ම අසා දැනගෙන තිබිම අනිවාර්ය වේ. රාවීකෙනෙක් හැලී දම්වැල කැඩීමක් සිදු නොවිය යුතුය“

යන්න යි. මෙම රීතිය උල්ලංඝනය වෙමින් රාවි කෙනෙක් හැලීම තුලින් දැනුම් දෙන්නන්ගේ දම්වැලහි බිඳවැටීමක් සිදු වුවහොත් එම හදීසය දුර්වල ලයීෆ් හදීසයක් බවට පත්වේ. මෙම හැලීම පළමු රාවි හෝ අවසාන රාවි හෝ අතර මැද රාවි කෙනෙක් හෝ කිහිපදෙනෙක් විය හැකිය.

මෙසේ දැනුම් දෙන්නන්ගේ දම්වැලහි ඇතිවන බඳවැටීම හදීස් විෂය තුල කොටස් දෙකකට වර්ග කර ඇත. එනම්,

  • سقط ظاهر – පැහැදිලි බිඳවැටීමක්
  • سقط خفي – සැඟවුණු බිඳවැටීමක්

පැහැදිලි බිඳවැටීම

පැහැදිලි බිඳවැටීම යනු දැනුම් දෙන්නෙක් සනදයක තමාට කිලන් සිටින දැනුම් දෙන්නා වන තම ගුරුවරයාව කෙලින්ම මුනගැසී ඔහුගෙන් සෘජුවම ප්‍රවෘතිය අසා නොමැති වීම වේ. මෙසේ රාවි දෙදෙනෙක් අතර ඇතිවන බිඳවැටීම ආකාර කිහිපයකින් තහවුර කරගත හැකිය. රාවිවරුන් දෙදෙනා කාල පරාස දෙකක ජීවිත් වූ පුද්ගලයින් වීම, එකම කාල පරාසයක ජීවත් වූ පුද්ගලයින් වුවද, වාර්ථා වලට අනුව දෙදෙනා කිසි දිනක මුණ නොගැසුනු බව තහවුරු වීම, ආදී කරුණු මෙසේ පැහැදිලි බිඳවැටීමකට හේතු විය හැකිය. 

සියවවස් පහකට අයත් හදීස් දන්වන ලක්ෂ පහකට අධික රාවි වරුන්ගේ නම් ගම් උපන් ස්ථාන මරණයට පත් ස්ථාන, ජීවත් වූ ස්ථාන අධ්‍යාපනය සොයා ගමන් කළ ස්ථාන, මුණගැසූ පුද්ගලයින්, මතකයේ ස්වභාවය, හැසිරීම් පෞද්ගලික තොරතුරු සියල්ල ඉතා පැහැදිලව සටහන් වී ඇති අතර, එය හදීස් විමර්ශනය කරන ඉල්මුල් ජරහ් ව ත:දීල් නම් විෂය පතය යි. හදීස් කලාව ඉතා ගැඹුරින් අධ්‍යනය කිරීමේ දී මෙය විෂය ඉගෙන ගත හැකි අතර, මේසේ සනදයේ බිඳවැටීමද හඳුනාගත හැකිකේ මේවා සියල්ල අධ්‍යනය කළ,හදීස් කලාව ගැන නිපුණ දැනුමක් ඇති හදීස්වේදියෙකුට ය.

සනදයක බඳවැටීම සිදුවී ඇති ස්ථානය හා වාර ගනන (එනම් හැලී ඇති රාවි ගනන) පදනම් කරගෙන හදීස් විෂය තුල මෙම පැහැදිලි බිඳවැටීම කොටස් හතරකට වර්ග කර ඇත. එය පහත පරිදි වේ.

  • المعلق – අල්-මුඅල්ලක්
  • المرسل – අල්-මුර්සල්
  • المعضل – අල් – මු:දල්
  • المنقطع – අල් – මුන්කිතිඋ

සැඟවුණු බිඳවැටීම

සැඟවුණු බිඳවැටීමක් යනු කලින් රාවිගෙන් ප්‍රවෘතිය නොඅසා ඇති නමුත්, ප්‍රකාශ කරන වචනයෙන් ඇසූ බවක් හැඟවීමයි. මෙය ඉතා සූක්ෂම ගවේශණයකින් සොයාගත යුතු අවස්ථාවකි. මෙයට ද පහත ආකාරයට අනු කොටස් දෙකක් අන්තර්ගත වේ.

  • المدلس – අල් – මුදල්ලස්
  • المرسل الخفي – අල් – මුර්සලුල් හෆී

මෙම විෂය සමබන්ධ තවත් කියවන්න ‘හදීස් කලාව’ නම් මාතෘකාවට පිවිසෙන්න


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/30

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම