හලාල් ලාංඡනය සහ සමාජ බියගැන්වීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ශ්‍රී ලාංකීය සමාජය තුල මෑත කාලයක පටන් ‘හලාල් සහතික’ පිලිබදව උණූසුම් සංවාදයන් හා තර්ක විතර්කයන් ගොඩනැඟෙමින් ඇත. එවැනි පිරිසගේ සංවාද හා තර්ක විතර්ක දෙස බලන විට ඒ තුල පැහැදිලිව පෙනීයන කාරණා දෙකක් ඇත. ඒ ඔවුන් කථා කරන විෂය පිලිබදව තිබෙන අනවබෝධය හා රටේ සුළුතරය වන මුස්ලීම් ප්‍රජාවට එරෙහිව ශ්‍රී ලාංකීය සමාජ මතවාදයක් ගොඩනැඟීමට ඇති අවශ්‍යතාවයයි. එමනිසා මේ හේතූන් දෙක මුල් කරගෙන ‘හලාල් සහතිකය හා බොරු බිය’ යන මාතෘකාව ඔස්සේ ‘යහමග’ පාඨක ඔබේ බුද්ධිමත් අවදානයට කරුණූ කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි. විශේෂයෙන් කලින් කලට කුමක් හෝ භීතියක් සමාජය තුල නිර්මාණය කොට ‘සිංහලයනි!, සිංහල ජාතිය අනතුරේ, බුදුදහම අනතුරේ, බෞද්ධ රට අනතුරේ, සුළු ජාතීන් රට වනසයි…’ යනාදී වශයෙන් පොදු ජනතාව ප්‍රකෝප කරවන විශේෂයෙන් රටේ මහා ජාතීන්, සුළු ජාතීන්ට එරෙහිව පෙළ ගස්සන්න වෙරදරන ජාතිවාදී අදෝනාව දැන් දැන් අප රටේ සුළභ දසුනක් වී ඇත. එවැනි අවස්ථාවන් පිලිබදව මීට ඉහත ද ‘යහමග’ අඩවිය කරුණූ ගෙන ආවා ඔබේ මතකයේ ඇතැයි සිතමි. (ඒ පිලිබදව වැඩිදුර තොරතුරු ‘ජාතිවාදී මිත්‍යා ප්‍රහාර‘ යන ලිපිය තුලින් ඔබට කියවීමට පුළුවන)

ඉතා සූක්ෂම අන්දමින් හා සැලසුම් සහගත ලෙස දියත් කරමින් තිබෙන මෙම අවාසනාවන්ත තත්වයන් පිලිබදව විවිධ පාර්ශවයන් නොයෙක් අවස්ථාවල සමාජය දැනුවත් කිරීමන් හි නිරත වුවද ඒ සියල්ල ගඟට කැපූ ඉනි මෙන් නිෂ්පල වී ඇත්තේ එම ක්‍රියාදාමයන්ට සාපේක්ෂව ඉහත පිරිසගේ ක්‍රියාදාමයන් අතිප්‍රබල වීම නිසාය. එයට ද ප්‍රධාන හේතු ගණනාවක් ඇත. ඒ අතුරින් ප්‍රධාන හේතු කිහිපයක් වන්නේ,

  • රටේ නීතිය සාමය ආරක්ෂා කලයුතු පාර්ශවයන් ඉහත ආකාරයේ ක්‍රමණ්ත්‍රනයන් හමුවේ මුනිවත රුක ගොළුවන්, බිහිරන් හා අන්ධයින් ලෙස සිටීම,
  • ඉහත පාර්ශවයන්ගෙන් සමහරක් මෙවැනි ක්‍රමණ්ත්‍රනවලට වක්‍ර ආකාරයට අනුබලදීම,
  • යහපත් ආගමික විනයක් තුලින් දැහැමි සමාජයක් නිර්මාණය කලයුතු ආගමික නායකයින් අතුරින් සමහරක් ඉහත තත්වය සමාජය තුල නිර්මාණය කිරීමට පෙරමුණ ගෙන කටයුතු කිරීම,

එය කෙසේ වෙතත් මුසාව හා වෛරය යන කිලිටි සිතුවිලි හා ක්‍රියාවලියන් එකම පදනම කරගෙන ඒ මත පිහිටා ක්‍රියා කරන මෙම පිරිස් හදුනා ගැනීම හා විනිශ්චය කිරීම බුද්ධිමත් සමාජයකට දුෂ්කර කටයුත්තක් නොවේ. එයට ඉහතින් ඉදිරිපත් කල ‘ජාතිවාදී මිත්‍යා ප්‍රහාර යන ලිපි පෙල මෙන්ම මෙම ලිපිය ද හොද නිදසුනක් වනවා නොඅනුමානය. එම කාරණය ද ඔබේ අවධානයට යොමු කරමින් ලිපියේ මාතෘකාව වෙත දැන් යොමු වන්නේ නම්,

මොකක් ද මේ හලාල් සහතිකය

මෙම විෂය පිලිබදව මීට ඉහත මෙම අඩවිය තුල ‘හරාම් හලාල් පිලිබදව විමසුමක්‘ යන ලිපිය තුලින් ද තරමක් දුරකට සාකච්චා කොට ඇත. (එම ලිපිය ඔබේ බුද්ධිමත් අවදානයට නැවතත් යොමු කරන ගමන්) එහි සදහන් එක් කාරණයක් නැවත මෙතැන දී ඔබේ අවදානයට ගෙන එන්නට අදහස් කරමි. එනම්,

ඉස්ලාම් දහම මුස්ලිම්වරුන් සදහා අනුමත කරන සියල්ල ‘හලාල්’ (එහි අරුථ ‘අනුමත’) යයි හැදින්වේ. එය ආහාර පානවලට පමණක් සීමා නොවන අතර ඇදුම් පැලදුම්, ඖෂධ වර්ග, ගමන් බිමන්, කථාබහ, ආගමික කටයුතු… යනාදී වශයෙන් මුස්ලීම්වරයෙකුගේ සෑම සියළු කරුණූ කාරණා සදහා මෙම ‘හරාම්’ (තහනම්) ‘හලාල්’ (අනුමත) නීතිය වලංගු වේ. මෙහි දී අවධාරනය කලයුතු තවත් කාරණයක් ඇත. එනම් රටක නීතියෙන් යම් ක‍්‍රියාවක් එසේත් නැත්නම් ආහාරයක් භාවිතයට අනුමතිය දී තිබෙන්නට පුළුවන නමුත් එය ඉස්ලාම් තහනම් (හරාම්) කරන්නේ නම් අනිවාර්‍යයෙන්ම ඉන් මුස්ලිම්වරුන් වැලකී සිටිය යුතුය. උදාහරණයකට ඌරු මාංශ අනුභවය හා අලෙවිය ශ්‍රී ලාංකීය නීතිය අනුව අනුමත වූ කරුණකි. නමුත් එය ඉස්ලාම් තහනම් කරයි. එමනිසා මුස්ලිම්වරුන් අනිවාර්‍යයෙන්ම එයින් වැලකී සිටිය යුතුය. මේ අනුව හරාම් හලාල් යන්න පිලිබදව ඔබට දළ අවබෝධයක් ලැබී ඇතැයි සිතමි.

ඉහත අදහස් දැක්වීම තුල ‘හලාල්’ යනු කුමක් ද? යන්න පිලිබදව ඔබට දැන් පැහැදිලි අවබෝධයක් ලැබී ඇතැයි සිතමි. දැන් ‘හලාල් සහතිකය’ පිලිබදව කෙටි විමසුමක් සිදු කරන්නේ නම්,

ඉහතින් මා ‘හලාල්’ යනු කුමක්ද? යන්න පිලිබදව සරලව පැහැදිලි කලත්, එය ප්‍රායෝගිකව හදුනා ගැනීම පොදු ජනයාට සරල කාරණයක් නොවේ. සරලව පැහැදිලි කරනවා නම්, ඖෂධ හා කිරිපිටි වර්ගවල ඉස්ලාම් තහනම් කරන (සූකර මාංශ, සූකර මේද, ඇල්කොහොල්… යනාදී) අමුද්‍රව්‍ය අන්තර්ගත ද යන්න පිලිබදව විනිශ්චය කිරීමේ තාක්ෂණීක ඥානය හා පහසුකම් පොදු ජනයාට නැත. මේ හේතුව නිසා ශ්‍රී ලාංකීය මුස්ලීම් ජනතාවට මෙම කාරණය පහසු කරවීම පිණිස අප රටේ ඉස්ලාම් ආගමික විද්වතුන් පිරිසක් ඒකරාශී වී ACJU සංවිධානයක් පිහිටුවාගෙන ඒ තුලින් මෙම සේවා ව ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට පුළුල් ලෙස ලබාදෙමින් අනගි මෙහෙවරක් සිදු කරමින් සිටී. කෙසේ වෙතත් මෙහිදී සදහන් කලයුතු විශේෂ හා වැදගත් කාරණයක් ද ඇත. එනම්,

මේ ආකාරයට ‘හලාල් සහතික’ නිකුත් කරන ආයතන ජනතාවගේ පහසුව සදහා ස්ථාපනය වී තිබුණත් මෙවැනි සංවිධාන හෝ ආයතන ඉස්ලාම් පෙන්වා ආදර්ශයක් නොවේ. මා එසේ පැවසීමට ප්‍රධාන හේතුවක් ඇත. මන්ද වර්ථමාන සමහරක් මුස්ලීම්වරුන් පවා සිතා සිටින්නේ ‘ACJU සංවිධානය මඟින් ‘හලාල් සහතිකය’ ලබාදී ඇත්නම් ඒ සියල්ල ආහාරයට සුදුසුයි. එවැනි සහතිකයක් ලබාදී නැත්නම් ඒ සියල්ල ආහාරයට නොසුදුසුයි’ යනුවෙනි. මෙය සම්පූර්ණයෙන් වැරදි අවබෝධයකි. මා එසේ පවසන්නේ ඉහත සංවිධානයේ මිනුම් දඩුවලට හසු නොවී ඉස්ලාම් තහනම් කරන ද්‍රව්‍ය කිසියම් භාණ්ඩයක අන්තර්ගතව පැවතිය හැක. එසේම ඉහත සංවිධානයට යොමු නොවූ නිසා හෝ එම සංවිධානයේ කොන්දේසිවලට යටත් නොවූ නිසා ‘හලාල් සහතිකය’ නොලද නමුත් ඉස්ලාම් අනුමත කල නිෂ්පාදන ඕනෑ තරම් වෙළද පොලේ පැවතිය ද හැක. ඒ අනුව ඉහත ACJU සංවිධානය මඟින් නිකුත් කරන ‘හලාල් සහතිකය’ මත පමණක් පදනම් වී තීන්දු තීරණ ගැනීම 100% නිවරුදි ක්‍රමවේදය නොවන බවත්, එසේ කිරීම ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශයක් නොවන බවත් මෙහි දී පැහැදිලිව අවබෝධ කර ගතයුතුය. මා මෙසේ පවසන විට මුස්ලීම් සමාජයේ සමහරක් පිරිසට පැනයක් මතු වෙනු ඇත. ඒ ‘එසේ නම් අපි මේක තීන්දු කරන්නේ කොහොමද’ යනුවෙනි. එයට ඉස්ලාම් ලබාදෙන මඟපෙන්වීම සරලය. එනම්,

නුඹලාට කවරක් පිලිබදව ඥානයක් නැත්තේද එය අනුගමනය කිරීමෙන් වලකින්න

ශුද්ධ වූ කුර්ආනය

නබිතුමාණන් වරක් මෙසේ පවසන ලදී. ‘සැබෑ මුස්ලිම්වරයා කවුරුන්දයත් ඉස්ලාම් යමක් අනුමත කර තිබිය දී පවා (එය ඉස්ලාම් අනුමත කර තිබේද? නොතිබේද? එය කලොත් මා වරදක් කල කෙනෙකු බවට පත්වේද? යන) ඒ පිලිබදව (අනවබෝධය නිසා ඇති වූ) සැකය නිසා කිසිවකු ඉන් දුරස් වන්නේ ද ඔහු තමා සැබෑ මුස්ලිම්වරයා (මූමීන්වරයා) වන්නේ

ග‍්‍රන්ථය :- තිර්මිදි

ඉහත ඉගෙන්වීමට අනුව මුස්ලිම්වරුන් යම් කාරණයක් සම්බන්ධයෙන් විශේෂයෙන් සැකයට තුඩුදෙන කාරණයක දී ක‍්‍රියා කලයුතු ආකාරය මනාව පැහැදිලි වේ. එනම් මුස්ලිම්වරයෙකු කිසිදු කාර්‍යයක් අනුමානය හෝ සැකය මත හිද කටයුතු කිරීමට අවසර නොමැති බව පැහැදිලිය. එසේම මෙහිදී සදහන් කලයුතු තවත් වැදගත් කාරණයක් ද ඇත. එනම්, කිසියම් විෂයක් පිලිබදව තමන්ගේ ශක්තියට ඉක්මවා වෙහෙස මහන්සි වී ඒ පිලිබදව ගැඹූරින් විශ්ලේෂණයන් සිදුකිරීමට ද ඉස්ලාම් දහම තුල අවසර නැත. නිදසුනක් ලෙස තමන් වෙත විශ්වාස කලහැකි මාර්ගයකින් කිසියම් ආහාරයක් ලැබූ විට එය ඇත්තටම ‘හලාල්’ ද? යනුවෙන් ගැඹුරු විශ්ලේෂණයන් හි නිරත වීමටත්, ඒ පිලිබදව ප්‍රශ්න කිරීමටත් ඉස්ලාම් දහම තුල අවසර නැත.

ඉහත කාරණයන් ඔබේ බුද්ධිමත් විමසුමට යොමු කරමින් මෙම ලිපියේ ප්‍රධාන කොටස වෙත ඔබේ අවධානය යොමු කරන්නට අදහස් කරමි. ඒ පසුගිය දිනවල අප රටේ දියත් වූ ‘බොන වීදුරුව තුල කිඹූලන් දැක බියවූ’ ජාතිමාමක ව්‍යාපාරයක් හා විද්වත් යයි පවසා ගන්නා විනෝද ජනක මතවාදයක් වෙතය. එය මෙසේය.

හලාල් ලකුණ සහිත භාණ්ඩ වර්ජනය කළ යුතුයි – බොදු බල සේනා

සිංහල ජන සමාජය මත බලහත්කාරයෙන් පටවන ලද ‘‘හලාල්’’ ලාංඡනය සහිත පාරිභෝගික භාණ්ඩ වර්ජනය කළ යුතු යැයි බොදු බළ සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. එවැනි ලාංඡනය සහිත අමතර මුදලක් වැය කිරීමට සිංහල ජන සමාජයට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද ඥානසාර හිමියෝ කොළඹ 7 සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැති ප‍්‍රවෘත්ති සාකච්චාවකදී ප‍්‍රකාශ කළහ.

ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේද සඳහන් කළහ.

“අද රටේ පාරිභෝගික භාණ්ඩ 4000 ක පමණ හලාල් සලකුණ ඇතුළත් කර තිබෙනවා. මේ හලාල් සලකුණ වෙනුවෙන් අදාළ වෙළඳ සමාගම් වාර්ෂිකව ගෙවන රුපියල් දෙලක්‍ෂයකට ආසන්න මුදල පියවා ගන්නේ ඒ භාණ්ඩවල මිලෙනුයි. අනවශ්‍ය ලාංඡනයක් වෙනුවෙන් සිංහල ජන සමාජය අතර මුදලක් වැය කරන්නේ ඇයි? අපට ඒ ලාංඡනය අවශ්‍ය නැහැ. හලාල් ලාංඡනය නැති භාණ්ඩ මිලදී ගන්නැයි අප සිංහල ජන සමාජයෙන් ඉල්ලීමක් කරනවා. ‘‘හලාල්’’ ලාංඡනය පාරිභෝගික භාණ්ඩ මත යෙදවීමෙන් එක්තරා සංවිධානයක් උපයා ගන්නා මුදල් යොදවනු ලබන්නේ ඉස්ලාම් මතවාදය ප‍්‍රචාරය සහ ඉස්ලාම් ආගමිකයන් අතරේ මිත‍්‍රත්වය තහවුරු කිරීම යනාදී කටයුතු වෙනුවෙනුයි. එවැනි කටයුතු වෙනුවෙන් අපි මුදල් ලබා දෙන්නේ කුමකටද? පිටරට පටවන භාණ්ඩවලට ‘‘හලාල්’’ ගැහුවාට අපට ප‍්‍රශ්නයක් නැහැ. අප විරුද්ධ වන්නේ රටේ සියලූ ජනතාවට හලාල් කැවීමටයි. මුස්ලිම් ජනතාවට ‘‘හලාල්’’ භාණ්ඩ අවශ්‍ය නම් ඒවා ඔවුන්ගේ ආගමික ස්ථානවලින් නිකුත් කළ හැකියි. හලාල් සලකුණ පොදු පාරිභෝගික භාණ්ඩවලින් හකුලා ගන්නැයි අප ඉල්ලා සිටිනවා. එසේ නොකළහොත් මේ ගැන රට දැනුම්වත් කිරීමට පියවර ගන්නවා. අපට පිරිකර හැටියට ලැබුණු භාණ්ඩ රැසකත් ‘‘හලාල්’’ සලකුණ සඳහන් කළ භාණ්ඩ රැසක් තිබී හමුවීමෙන් පසුව අප ඒවා ප‍්‍රතික්ෂේප කළා. (එවැනි භාණ්ඩ රැසක් මාධ්‍යවේදීන් ඉදිරියේ ප‍්‍රදර්ශනය කරයි) අප මේ ‘‘හලාල්’’ ලකුණ යෙදීම දකින්නේ විශාල අනතුරක සේයාවක් හැටියටයි. මේවා ගැන ඇතැම් දේශපාලනඥයන් අද කතා කරන්නේ නැහැ. ඒ පටු අරමුණු නිසාය. අප මේවා පෙන්වා දෙන්නේ පටු ජාතිවාදී සහ ආගම්වාදී අරමුණකින් තොරවයි.”

(මෙය මීට දින කිහිපයකට පෙර අප රටේ එක්තරා වෙබ් අඩවියක ඉදිරිපත් කර තිබූ අදහස් දැකීවමකි)

තවද…

50 ප්‍රශ්නය

‘හලාල් මස්’ අනුභවය හොඳ ය යන ආකල්පයක් බෞද්ධ ජනතාව අතර පැතිර යමින් තිබෙන්නේ ද?

50 පිළිතුර

මුස්ලීම් භෝජන ශාලාවල ත් මුස්ලීම් වෙළද සැල් වලත් ‘හලාල් මස්’ දැන්වීම් සිංහලෙන් ප්‍රදර්ශනය කරවන්නේ ඒ අරමුණින් ය. කලක් යන විට ‘හලාල් මස්’ වනාහී ඉතා පිරිසිදු වූත් ආහාරයට සුදුසු වූත් මසත් වශයෙන් බෞද්ධ ජනතාව අතර පිළිගැනීමක් ඇති කරවීම ඔවුන්ගේ බලාපොරොත්තුව යි. එවිට කෙමෙන් කෙමෙන් බෞද්ධ ජනතාව ‘හලාල් මස්’ අනුභවයට පෙළඹෙනු ඇත. කලක් යන විට සිංහලයන් තමන් මුස්ලීම් බවට පත්වී අවසන් වනතුරුත් එය සොයාගත නොහැකි වනු ඇත.

(…තවදුරටත් අදහස් දක්වන උන්වහන්සේ එහි අවසානයේ මෙසේ ද පවසයි…)

එනිසා බෞද්ධ ජනතාව සම්පූර්ණයෙන් ම ‘හලාල් මස්’ අනුභවයෙන් වැළකිය යුතුය. එම මස් බෞද්ධයන් හට අකැපය.

කෘතිය – නිර්මාංශ ප්‍රශ්න

කතෘ – කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමින් වහන්සේ

පිටුව – 108

ඉහත බොදු බළ සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ අදහස් දැක්වීම කොතරම් අනවබෝධයෙන් කල අදහස් දැක්වීමක් ද යන්න බුද්ධීමත් බෞද්ධ සමාජය නැවත නැවතත් විමසා බැලිය යුතුය. එහි විෂය පිලිබදව කොතරම් අනවබෝධයෙන් ප්‍රකාශ නිකුත් කරනවාද? යන්නත්, කොතරම් පටු ජාතිවාදී සහ ආගම්වාදී අරමුණුවල හිඳ මෙම පිරිස ක්‍රියා කරනවාද? යන්නත් එවිට පහසුවෙන් ඔබට අවබෝධ වනු ඇත. එපමණක් නොව ඉහත දෙවන කොටසේ කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමින් වහන්සේ දක්වන අදහස තවත් විනෝද ජනකය. තම ‘නිර්මාංශ ප්‍රශ්න’ නම් කෘතියේ 50 වන ප්‍රශ්නයේ දී ඉහත ආකාරයට පවසන උන්වහන්සේ එම කෘතියේම 29 වන ප්‍රශ්නයට පිලිතුරු දෙන ආකාරය මොහොතක් බුද්ධිමත් ලෙස විමසා බලන්න.

29. ප්‍රශ්නය

නිර්මාංශීවීම ශීලයක් වශයෙන් හෝ ගුණයක් වශයෙන් හෝ ඔබ වහන්සේ නො පිලිගන්නේ මක් නිසා ද?

29. පිළිතුර

පින්වත, මා කවරෙක් ද? අපගේ හාස්තෘන් වහන්සේ පවා නිර්මාංශ ආහාර අනුභවය ශීලයක් වශයෙන් හෝ ගුණයක් වශයෙන් හෝ නො පිළිගත් සේක. එය හුදෙක් පෞද්ගලික රුචිකත්වයක් පමණි. ඉන් ඔබ්බට ගිය වටිනාකමක් එහි නැත. මේ කරුණ අවධාරණයෙන් ම සිහියේ තබා ගැනීම වැදගත් ය.

කෘතිය – නිර්මාංශ ප්‍රශ්න

කතෘ – කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමින් වහන්සේ

පිටුව – 71

(වැඩි දුර විස්තර සදහා ‘නිර්මාංශ ප්‍රශ්න – ඔබම විසදා ගැනීම පිණිසයි යන ලිපිය කියවන්න)

මේ ආකාරයට ඉහත කෘතියේ මාංශ අනුභවය ආගමික ශීලයක් නොවන බව ආරම්භයේ පවසන උන්වහන්සේ එම කෘතියේම අවසාන කොටසේ ‘හලාල් මස් බෞද්ධයන්ට අකැපයි’ යනුවෙන් සදහන් කරයි. තවත් තැනක මුස්ලීම්වරුන් ඝාතනය කල සත්ව මාංශවලින් වැලිකිය යුතු බව පවසයි. මෙයද විෂය පිලිබදව තිබෙන අනවබෝධය හා මුස්ලීම් සමාජය කෙරෙහි තිබෙන වෛරය හෝ නොසතුට නිසා සිදුවන ප්‍රකාශයක් යන්න මාගේ විශ්වාසයයි. මා එසේ උන්වහන්සේ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට හේතු ගණනාවක් ඇත. විශේෂයෙන් ඉහත සදහන් ‘නිර්මාංශ ප්‍රශ්න’ නම් කෘතිය තුල මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශන හා මීට ඉහත ‘නුවණැස පාදන සිරි සදහම්’ නම් කෘතිය තුල මුහම්මද් (සල්) නබිතුමාණන් සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශන එයට හොද නිදසුනකි. එය කෙසේ වෙතත් මෙහිදී උන්වහස්සේ ‘හලාල්’ ක්‍රමයට සතුන් මැරීම මඟින් ලබාගන්නා මාංශ බෞද්ධ සමාජය ප්‍රක්ෂේප කලයුතු බව අවධාරණය කරයි. ඒ පිලිබදව ‘යහමග’ට විරුද්ධ මතයක් නැත. මන්ද කුමන වර්ගයේ මාංශ ආහාරයට ගතයුතු ද යන්න තීරණය කිරීමේ අයිතිය බෞද්ධ සමාජය සතු අයිතියක් ම වන නිසාය. නමුත් එම තීරණය ගැනීමට පෙර ‘හලාල්’ ක්‍රමයට සතුන් මරණ එකේ හා සමාජ සම්ප්‍රදායේ පවතින ක්‍රමය අතර ඇති වෙනස මෙම අඩවිය තුල ඉදිරිපත් කොට ඇති ‘සත්ව හිංසාව හා ඝාකනය’ යන ලිපිය තුලින් වරක් හෝ ශ්‍රී ලාංකීය සමාජය කියවා බලන්නේ නම් යහපත් යයි සිතමි. එවිට එහි ඇති විද්‍යාත්මක පසුබිම ඔබට අවබෝධ වනු ඇත. අවසාන වශයෙන් උන්වහන්සේ කොතරම් ජාතිවාදී ස්ථාවරයක හිඳ ප්‍රකාශ නිකුත් කරනවාද? යන්න තහවුරු කිරීමට උන්වහන්සේගේ ම ප්‍රකාශයක් ඔබේ බුද්ධිමත් අවධානයට තබමි.

‘කෙමෙන් කෙමෙන් බෞද්ධ ජනතාව ‘හලාල් මස්’ අනුභවයට පෙළඹෙනු ඇත. කලක් යන විට සිංහලයන් තමන් මුස්ලීම් බවට පත්වී අවසන් වනතුරුත් එය සොයාගත නොහැකි වනු ඇත.’

අප රටේ ජනප්‍රිය එසේම බොහෝ දෙනෙකුගේ ආදරයට, ගෞරවයට පාත්‍ර වී සිටින ස්වාමින් වහන්සේ නමක් මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම තුලින් ලෝකයාට කියා පාන්නේ තම බුද්ධිමත්භාවයද?. විශේෂයෙන් ‘මාංශ අනුභවය තුලින් සිංහලයන් මුස්ලීම් බවට පරිවර්ථනය වේවි!,’ යනුවෙන් උන්වහන්සේ කියන්නට යන්නේ කුමක්ද?. තම ‘නිර්මාංශ ප්‍රශ්න’ කෘතිය පුරාවට මාංශ අනුභවය බුදු දහමින් වලක්වා නොමැති බව අවධාරණය කරන උන්වහන්සේ අවසානයේ මෙවැනි ප්‍රකාශයක් කිරීම මුස්ලීම් සමාජයට නොව බෞද්ධ සමාජයට කරන නින්දාවක් නොවේ ද?. මෙහි දී මා හට ඇති පැනය ‘මාංශ ආහාරයට ගැනීම, තමන් දරණ ආගමික මතවාදය බෞද්ධයන් ප්‍රතික්ෂේප කරන්න තරම් එය ප්‍රබල වනවා ද?’ යන්නයි. උන්වහස්සේ තම කෘතියේ ‘බුද්ධිමතුන්ට විසදා ගැනීම පිණිසයි’ යනුවෙන් බුද්ධිමතුන්ට ආරාධනා නඟයි. මාගේ ද පැතුම එම කෘතිය අප රටේ බෞද්ධ විද්වතුන්ගේ අවධානයට යොමු වියයුතු යන්නයි. මන්ද බුද්ධිමත් සමාජයට එම කෘතිය තුල විසදාගත හැකි බොහෝ කරුණූ කාරණා ඇති නිසාය. කෙසේ වෙතත් ඉහත එම කෘතියෙන් එක් සූත්‍රයක් මෙහි දී මා ද උපුටා දක්වමින් මෙම ලිපියේ අවසානයට යොමු වෙමි. එනම්,

කෝපයට පත් වූ තැනැත්තා යහපත නොදනී, කෝපයට පත් වූ තැනැත්තා ධර්මය නො දකී. ක්‍රෝධය විසින් යම් මිනිසෙකු යටපත් කරන ලද්දේය. එවිට ඔහු සිටින්නේ මෝහය නම් වූ ඝනාන්ධකාරය තුළ ය.

මූලාශ්‍රය – කෝධන සූත්‍රය

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ අද ශ්‍රී ලංකාව තුල ‘හලාල් ලාංඡනය’ ලබාදෙන ACJU සංවිධානය බොහෝ විට සැලකිලීමත් වන්නේ එම නිෂ්පාදනවල සත්ව කොටස් විශේෂයෙන් (ඌරු) සූකර මාංශ, මේද හෝ වෙනත් ද්‍රව්‍ය අන්තර්ගත ද යන්න පිලිබදවයි. ඒ අනුව බෞද්ධ සමාජයට ද එම කාරණය විනිශ්චය කිරීමේ දී මෙම ‘හලාල් ලාංඡනය’ එයට ආශිර්වාදයක් මිස ගැටළුවක් නොවේ. ඒ අනුව බුද්ධිමත් බෞද්ධ ප්‍රජාව කලයුතු වන්නේ මෙම ‘හලාල් ලාංඡනයට’ ජාතිවාදී සහා ආගම්වාදී මුහුණූවරක් ලබාදීම නොව එම ලාංඡනය තුලින් සමාජයට ලබාදෙන පණිවුඩය කුමක්ද? යන්න විමසා බැලීමයි. එසේම මෙම ‘හාල්ල ලාංඡනය’ නිකුත් කිරීම කවුරුන් හෝ වෙළද ව්‍යාපාරයක් කරගෙන ඇත්නම් එයට ඉස්ලාම් දහම හෝ මුස්ලීම් සමාජය වගකිව යුතු නොවේ. මන්ද එය අප රටේ කිසියම් සංවිධානයක් මඟින් නිකුත් කරන සහතිකයක් පමණක් වන නිසාය. එසේම බුද්ධිමත් බෞද්ධ සමාජයේ අවධානයට ගෙන ආයුතු වැදගත් කාරණයක් ඇත. ‘හලාල් ලාංඡනය’ පදනම් කරගෙන සමාජය තුල මිත්‍යා මතවාදයක් හා භීතියක් නිර්මාණය කරන්න උනන්දු වන පාර්ශවයන් ට ශරීර සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍යයන් අන්තර්ගත ආහාර හා ඖෂධ වර්ග, මත්පැන් වර්ග, දුම්වැටි… යනාදී මඟින් සමස්ථ ‍වෙළද පොළම වැසී ‍ගොස් ඇති ආකාරයත්, සමස්ථ ජාතියම එයට බිලි වන ආකාරයත් නොපෙනීම පුදුමයට කාරණයකි. එමනිසා තවදුරටත් ‘බොන වතුර වීදුරුව තුල කිඹුලන් නොසොයා’ ලෝකය දෙස බුද්ධිමත් ලෙස බැලීමට මේ පිරිසට නුවණැස පෑදේවා!, යනුවෙන් ප්‍රාර්ථනා කරමින් මෙම ලිපිය අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම