හොරා කෑම හා හිඟා කෑම ආඩම්බරයක් කරගත් අපේ නායකයින්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඊයේ දින අප රටේ පලවූ උණුසුම් පුවත වුයේ ‘ලංකාව දුප්පත් කරන්න කැබිනට් අනුමැතිය’ යන මාතෘකාව යටතේ පලවූ පුවතයි. මෙම පුවත දුටු මට ඇති වූයේ කලකිරීමක් සහ ලැජ්ජාවකි. මෙවැනි රටක ජීවත්වීමට සිදුවීම කොතරම් අවාසනාවක්ද? කියා මට සිතුණි. මේ රටේ පාලකයින් මේ රට සහ රටේ ප්‍රජාව කවර තැනකට රැගෙන ගොස් තිබෙනවාද? කියා සිතුණි. මෙවැනි පැනයන් හා කලකිරීම් ඇත්තේ මට පමණක් නොවන බව ද මා හොදින් දනිමි.

ඇත්තටම අපට වැරදුනේ කොතැනද?. ලොවපුරා රාජ්‍යයන් ඉදිරි අභියෝග තේරුම් ගෙන ඒ අනුව කටයුතු කරද්දී අපි කලේ කුමක්ද?. වසර දෙදහස් පන්සීයේ පුරාජේරුව කිය කියා නිකන් බලා සිටීම පමණි. නිධානයක් උඩ හිඳ හිඟාකමින් විනාශය ලඟාකරගත් ලොව කිසියම් ජාතියක් වේ නම්, ඒ එකම ජාතිය හා රජ්‍යය ශ්‍රී ලංකාවයි. ලොව දියුණු සෑම රටක් රාජ්‍යයක්ම දුරදක්නා නුවණින් දීර්ඝ කාලීන සැලැසුම් සකසමින් න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරමින් ඉදිරියට යනවිට මෙහි කලේ රටේ සම්පත් නිසි කළමණාකරනයකින් තොරව රටේ නායකයින් සහ ඔවුන් වටා ඒකරාශි වී සිටී ඇම්බැට්ටයින්ගේ උවමනාවට අනුව ඒවා විකුණන් කමින් හා හොරා කමින් වැජඹීම පමණි. මෙය අද ඊයේ නොව අතීතයේ පටන්ම අපේ රටේ සිදුව ඇති විනාශයකි. අප රටේ පැරණි ජනප්‍රිය ලක්ෂ්මී බායි ගයන ගීතයක් වන ‘පිට දීප දේශ ජයගත්තා’ යන ගීතයේ ‘තම රට දේවල් පිටරට පටවා පිට කාසිය මෙහි ඇද්දා’ යන පදයෙන් ද එය මනාව කියාපායි.

භූගෝල පිහිටීම අනුව හා ඉතිහාස අනාවර්ණ අනුව කුමරි මහාදීපය නොහොත් Kumari Kandam (Lemuria) හි සුවිශේෂීම කොටස ශ්‍රී ලංකාවයි. මෙය ස්වභාවික සම්පත්වලින් පිරුණු ස්වාභාවික විපත් අවම ඉතා වාසනාවන්ත එසේම ඉවත ලන දඬු කැබැල්ලක් වූවද සරුවට වැඩෙන සස්රික භූමියකි. එමනිසයි මා මෙම භූමිය නිධානයක් ලෙස ඉහතින් හැදින් වූයේ. මෙවැනි වාසනාවන්ත පිහිටීමක ඇති රටක් ලොව නොමැති තරම්ය. එවන් රටකට අද අත්ව ඇති ඉරණම බුද්ධිමත්ව විමසා බලන්න. මේ ඉරණම ස්වභාවික ඛේදවාචකයක් හෝ අහඹුවක් නොවේ. එය අපේ රටේ කපටි හා අසාර්ථක නායකයින් හා පාලකයින්ගේ ක්‍රියාදාමයේ ප්‍රථිපලයයි.

මෙයට එක්තරා ආකාරයකින් රටේ පොදු ජනතාවද වගකිව යුතුය. ඒ අප රටේ පාලකයින් තෝරා පත්කිරීම සිදු වන්නේ රටේ ජනතාවගේ මතය අනුව වන බැවිණි. එසේ ජනතා ආශිර්වාදයෙන් පැමිණි පාලකයින් අවසානයේ අද ඉතිරි කොට ඇත්තේ, ආර්ථිකමය වශයෙන් විශාල පරිහානියක් වූ මා ඉහතින් සදහන් ගීතයේ පවසනවා සේ ‘පිටරට හාලේ බත් ටික නැත්නම් අද බඩගින්නේ සිංහලයා’ යන හිඟන තැනක්ය. එපමණක් නොවේ ඒ කපටි පාලකයින් තම නොහැකියාව හා අසාර්ථකත්වය සමාජයෙන් වසන් කිරීම පිණිස ජාතිවාද, ආගම්වාද, කුලවාද… යනාදී වශයෙන් සමාජය බේද කොට එකින් එකා මරා ගන්නා විකෘති දේශයක් ද නිර්මාණය කරමින් ලෝකයා ඉදිරියේ ශ්‍රී ලාංකීය ජාතියේ පරාදීනත්වයේ කූටප්‍රප්තිය සනිටුහන් කර ඇත.

මෙවන් නායකයින් අප තවදුරටත් හඳුනාගැනීමට අපහොසත් වන්නේ නම්, අපට හෝ අපේ දරුවන්ට හෙටක් ඉතිරි නොවනවා නොඅනුමානය. එමනිසා අපේ රටේ නායකයින් හා පාලකයින් තෝරා ගැනීමේදී තවදුරටත් එහි පටු ලාභ ප්‍රයෝජන නොබලා ඉතා බුද්ධිමත්ව හා දුර දක්නා නුවණින් යහපත් නායකයින් තේරීම සිදු කලයුතුව ඇත. මේ සදහා ඉස්ලාම් දහම සරල ආදර්ශයක් සමාජයට ලබාදේ. එනම්, ‘යහපත් හා අයහපත් නායකයින්’ හදුනගන්නේ කෙසේද යන්න පිලිබදව එහි පැවසීමේ දී මුහම්මද් (සල්) තුමාණන් මෙසේ අපට ආදර්ශ ලබාදේ.

   ‘නුඹලාගේ නායකයින් අතරින් යහපත් නායකයින් වන්නේ නුඹලා ඔවුනට ආදරය කරන ඔවුන් නුඹලාට ආදරය කරන, ඔවුනට නුඹලා (යහපත) ප්‍රාර්ථනා කරන නුඹලාට ඔවුන් (යහපත) ප්‍රාර්ථනා කරන තත්වයේ නායකයින්ය. එසේම, නුඹලාගේ නායකයින් අතුරින් නරක ම පිරිස වන්නේ නුඹලා ඔවුන් ප්‍රිය නොකරන ඔවුන් නුඹලාව ද ප්‍රියා නොකරන, නුඹලා ඔවුනට ශාප කරන ඔවුන් නුඹලාට ශාප කරන තත්වයේ නායකයින්ය.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලිම්

ඉහත හදීසය හොදින් අවබෝධ කරගෙන අපේ රටේ නායකයින් අද සිටින්නේ කොතැනද? යන්න තීන්දු කිරීමේ අයිතියත්, මේ දේශපාලන ප්‍රවාහය තුල ඔබ නියෝජනය කලයුත්තේ කොතැනද? යන්න තීන්දු කිරීමේ අයිතියත් ඔබට ම ලබාදෙමින් මේ ලිපිය අවසන් කරන්නේ ඔබේ වටිනා ඡන්දය පටු අරමුණූවලින් තොර මේ රටේ අනාගත සුබසෙත උදෙසා ලබාදිමට නුවණැස පෑදේව! යන ප්‍රාර්ථනයෙනි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/12/4

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම