ෆිර්අවුන්ගේ විනාශ හා ඔහුගේ මෘතදේහය ආරක්‍ෂා කිරීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ක්‍රි පූ: 1301-1235 අතර කාලයේ මිසරයේ පාලකයා වශයෙන් සිටියේ දෙවන රම්සෙස් නම් රජු කෙනෙකි. රම්සෙස් යන්න ඔහුගේ අනුවර්ත නාමය වන අතර ඔහුගේ සැබෑ නම් “මුස්අබ් බින් රයියාන්” යන්නයි. මොහුව දෙවන රම්සෙස් යන අනුවර්ත නාමයෙන් හැදින් වුවද මොහු අයත් රජ පෙළපතට හිමිව තිබූ නම වන්නේ “ෆිර්අව්න්” යන්නයි. ෆිර්අව්න් යනු අමලේක් නම් රජ පෙළපතේ රජවරුන් 11 දෙනාටම හිමිව පැවති නමකි. මොවුන්ව බයිබලය “පාරාවෝ” යනුවෙන් හදුන්වන අතර මොහුව ශුද්ධ වු අල්කුර්ආනය “ෆිර්අව්න්” යනුවෙන් හදුන්වයි.

මිසර ජනතාවට විවිධ ආකාරයේ වද හිංසනයන් සිදුකරමින් ද, “ලොව එකම දෙවියා තමා බව පවසමින්” ද, කෲර පාලනයක් මොහු ගෙනයන ලදී. මොහුගේ එම කෲර පාලනයට එරෙහිව සටන්කල කෙනා වන්නේ මූසා හෙවත් (බයිබලයේ සදහන් වන ආකාරයට) “මෝසස්” තුමාය. එදා එම සමාජයේ ජීවත් වු වක්තෘවරයෙකු වන මෝසස් තුමා දෙවියන්ගෙන් ලැබුණු පණිවුඩය රම්සෙස් රජු ඉදිරියේ පවසා සිටින ලදි. තමා දෙවියන් බව පවසා ගනිමින් සිටින රම්සෙස් ට මෙම අවවාද අනුශාසනයන් නුරූස්සන්නට විය. අවසානයේ මෝසස් තුමා ඇතුලු ඔහුගේ අනුගාමිකයන් විනාශ කිරීමට තීරණය කල රම්සෙස් රජු 1224 දී එක්තරා දිනයක මහා සේනාවක් කෙටුව මෝසස් (මූසා) තුමා ඇතුලු ඔහුගේ අනුගාමිකයන් ඝාතනය කිරීමට ලූහුබදින ලදි. මෙම සේනාව හමුවේ පලායන්නට වු මෝසස් තුමා ඇතුලු පිරිසට රතු මුහුද හරස් විය. එහි දී දේව අන මත මුහුද දෙබෑ වී මෝසස් තුමා ඇතලු ඉස්රායිල් (මෝසස් තුමාගේ අනුගාමික) වැසියන් දිවි බේරාගැනීමට පාරක් නිර්මාණය විය. එම පාර ඔස්සේ මෝසස් තුමා ඇතුළු ඔහුගේ අනුගාමිකයන් පලාගොස් එගොඩ වෙද්දී පසුපස හඹා ආ රම්සෙස් ඇතුලු ඔහුගේ සේනාව ද මෙම ජල කද දෙබෑවී නිර්මාණය වූ පාර ඔස්සේ ගමන්කරන්නට විය. මෙසේ ඔවුන් ගමන්කරන විට නැවත ජලකඳ හාවීම හේතුවෙන් රම්සෙස් (ෆිර්අව්න්) ඇතුළු ඔහුගේ සේනාව විනාශ වුවායන්න යුදෙව්වරුන්ගේ, ක්‍රිස්තියානිවරුන්ගේ, මෙන්ම මුස්ලීම්වරුන්ගේ ද විශ්වාසයයි.

මේ සම්බන්ධ “බයිබලයේ” නික්මයාම 14-1 සිට 21 දක්වා වාක්‍ය මඟින් මෙසේ පවසයි.

“මුහුද වියළි බිමකට හැරවු සේක. මූදු ජලයද දෙබෑවිය ඉශ්රායෙල් ජනතාව වියළි බිම දිගේ මුහුද මැදට ගියහ. ජලය දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් විය. මිසර වැසියෝද පාරාවෝගේ සේනාව ඔවුන් ලූහු බදිමින් මුහුද මැදින් ඔවුන් පසුපස ගියහ… පාරාවෝගේ මුලු හමුදාවද ආපසු ගලා ආ ජලයට යට වුහ. ඔවුන්ගෙන් එක්කෙනෙකුවත් ඉතිරිනොවීය.”

මේ සම්බන්ධයෙන් “ශුද්ධ වූ කුර්ආනයේ” 10-90 වාක්‍යය මෙසේ පවසයි,

“ෆිර්අවීන් සහ ඔහුගේ සේනාව අපි ගිල්වුයෙමු”

ඉහත වාක්‍යයන්ට අනුව දෙවන රම්සෙස් හෙවත් ෆිර්අව්න් ඇතුලු ඔහුගේ සේනාවේ විනාශය සිදුවු ආකාරය පමණක් පැවසුව ද ශුද්ධ වු අල්කුර්ආනය පියවරක් ඉදිරියට තබමින් ෆිර්අව්න්ගේ මරණින් පසු ඔහුට එසේත් නැත්නම් ඔහුගේ මෘත දේහයට අත්වන ඉරණම ද ශුද්ධ වූ කුර්ආනයේ 10-92 වාක්‍යය පැහැදිලිවම සදහන් කරයි. එනම්,

“නුඹගෙන් පසු පැමිණෙන අයහට නුඹ සාක්‍ෂියක් වනු පිණිස නුඹ ශරීරය අදටත් ආරක්‍ෂා කරන්නෙමු.”

(වැඩි විස්තර සදහා මිට අමතරව අල්කුර්ආනයේ 2-50, 44-24, (10-90,91,92), (20-77,78), (26-52 සිට 68 දක්වා) හා (43-46 සිට 56 දක්වා) වාක්‍යයන්වලද මෙම සිද්ධිය පිලිබදව විසතර සදහන් වේ.)

මෙසේ පොළොවෙ හි උදම් අනමින් දෙවියන් ප්‍රතික්‍ෂේප කරමින් මිනිස් සමාජයට විවිධ වදහිංසන කරමින් ජීවත් වු මෙම පාලකයාගේ මරණය සිදුවන්නේ මුහම්මද් (සල්) තුමාටත් වසර 1900 කට එනම් මීට වසර 3000 කටත් පෙරය. මෙම සිදුවීම තම සමාජයට මුහම්මද් (සල්) තුමා ප්‍රකාශ කරන්නේ පුරාවෘත්තයක් ලෙස මිස කිසිදු ආකාරයක සාක්‍ෂියක් හෝ පදනමක් මුල් කරගෙන නොවේ. වාදයකට අන් ආගම් පවසන කාරණයක් උපුටා දක්වනවා යයි. පැවසුව ද ඒ ආගම් ඉක්ම වු කාරණයක් මෙම සිදුවීම සම්බන්ධයෙන් නබිතුමානණ් සමාජයට පැවසීම තුල එම තර්කය ද බිදී යයි. මන්ද අල්කුර්ආනය ප්‍රකාශ වන්නට වසර 1900 කට පෙර මෙම රම්සෙස් ගේ මරණය සිදුවේ. අල්කුර්ආනය ප්‍රකාශ වී වසර 1350 කට පසු එනම් මීට වසර 50 කට පමණ පෙර මෙම මෘත දේහය සොයාගනී. මෙම මළ සිරුර පිලිබදව දීරඝ පරීයේෂණයක් 1907 ජූලි මාසයේදී “ඉල්යට් සුමිත්” ELLIOT SUMITH නැමැත්තෙකු වීසින් සිදුකල අතර එහි දී මෙම මෘත දේහය වසර 3000 කට වඩා පැරණී බවත්, එය ඊජිප්තුවෙහි ජීවත් වු දෙවන රම්සෙස් කාල වකවානුවට අයත් බවත්, මෙම මෘත දේහය ද රජ පෙළපතකට අයත් බවත් අනාවර්ණය කරගන්නා ලදී. මේ පිලිබදව වැඩි විස්තර ඉල්යට් සුමිත් වීසින් ලියන ලද THE ROYAL MUMMIES නැමැති ග්‍රන්ථයෙන් සහා Encarta විශ්වකෝශයෙන් ලබාගත හැක. මෙම මළ සිරුර අදටත් “කයිරෝ” හි කෞතුකාගාරයේ ආරක්‍ෂිත ලෙස ප්‍රදර්ශනයට තබා ඇත. මේ අනුව අල්කුර්ආනය පහලවීමට වසර 1900 කට පෙර සිදුවූ සත්‍යයක් අල්කුර්ආනයේ ප්‍රකාශ වී අවුරුදු 1350 කට පසු එය ඔප්පුවීම තුල සහා අල්කුර්ආනය පවසන ආකාරයටම “පසු කාලීන සමාජයට සාක්‍ෂියක්” වීම අල්කුර්ආනය දේව හාස්කම්වලින් සමන්විත දිව්‍යමය දහමක් යන්න පැහැදිලිවම ඔප්පු වේ.

ශුද්ධ වු අල්කුර්ආනයේ 20-78 හා 44-24 වාකයේ අල්ලාහ් දෙවියන් “…මුහුදෙහි…” ගිල්වු බව පැවසීමත් දෙවන රම්සෙස් ගේ මෘතදේහය මුහුදෙන් නොව THEBES IN THE KING’S නැමැති නිම්නයෙන් සොයාගැනීමත් තරමක විවාදාත්මක කාරණයක්ව පවතී. එමනිසා දෙවන රම්සෙස් රජුගේ මළ සිරුරෙහි සොයා ගැනීම හා එය හදුනා ගැනීම හි ඉතිහාස ගවේශණයක් සිදුකිරීම අවශ්‍ය වේ.

මෙහි දී සදහන් කලයුතුම කාරණයක් ඇත. එනම් මෙම දෙවන රම්සෙස් රජුගේ මෘත දේහය සොයා ගත්තේ මුහුදෙන් නොව නිම්නයකින් යයි තර්ක කිරීම තුල මේ සම්බන්ධ පවසන අනිකුත් කාරණයන් පිලිබදව වාදයක් නොමැති බව පැහැදිලිය. එනම් මීට වසර 3000 කට පමණ පෙර සිදුවු සිදුවීම සත්‍ය යන්නත්, එය ආරම්භයේ සිට මමියක් (බෙහෙත් ගල්වන ලද මළ සිරුරක්) ලෙස නොව හාස්කමක් මත ආරක්‍ෂා වුවා යන්නත් වක්‍ර ආකාරයකට පිලිගන්නා බව පැහැදිලිය. එසේ නම් මතභේදය ඇත්තේ මරණය හමුවුනේ මුහුදෙන් ද? නිම්නයෙන් ද? යන කාරණයේ පමණි.

මෙම අභියෝගාත්මක සත්‍ය අල්කුර්ආනයේ පමණක් සදහන් කාරණයක් නිසාත්, එය පැවසීම තුලින් අල්කුර්ආනය දේව දහමක්ද? මිත්‍යවක්ද? යන අභියෝගය එයට පවතින නිසාත් මේ කාරණය කෙරෙහි තරමක් ගැඹුරින් හා විවෘත මනසකින් අවදානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවයකි.

අරාබි භාෂාවෙන් “බහ්ර්” යනු මුහුදයි. ඉහත 20-78 අල්කුර්ආන් වාක්‍යයේ පැහැදිලිවම “බහ්ර්” යන වචනය භාවිතා කොට ඇත. ඒ අනුව දෙවන රම්සෙස් හෙවත් ෆිර්අව්න්ව මුහුදෙහි ගිල්වා මරණයට පත්කලා යන්න අල්කුර්ආනය පැවසීම සත්‍යයකි. එසේම මෙම දෙවන රම්සෙස් ගේ මෘතදේහය සම්බන්ධයෙන් ගැඹුරුන් පරියේෂණ සිදුකල පරියේෂකයන් හට දැකගන්නට ලැබුනේ ශරීර අභ්‍යන්තරයේ විශාල වශයෙන් ලවණ තැන්පත් වී ඇති බවයි. ඒ අනුව ඔවුන්ගේ නිගමනය වුයේ ද මෙම පුද්ගලයාගේ මරණය මුහුදේ ගිලීමක් වැනි කාරණයක් නිසා සිදුවී ඇත යන්නයි. අල්කුර්ආනය හා වෛද්‍ය විද්‍යා පරියේෂණ රම්සෙස් ගේ මරණය මුහුදේ සිදුවුවා යන්න පවසද්දී මෙම කාරණය කෙරෙහි තවත් පැතිකඩකින් අවදානය යොමුකල හැක. එනම් මිට වසර 3000කට පෙර මිසරයෙන් පලා ආ ඊස්රායිල් (මොසස් තුමාගේ අනුගාමිකයන්) පදිංචි වු ප්‍රදේශය පිලිබදව ඉතිහාසයේ සදහන්වේ. එය කයිරෝව ආසන්නයට වන්න පිහිටා ඇත. මිසරයේ සිට එම ප්‍රදේශයට කිසිවකු ගමන් කරන්නෙ නම් ඔහුට අනිවාර්‍යයෙන්ම රතු මුහුද තරණය කිරිමට සිදුවේ. මේ අනුව ද දෙවන රම්සෙස් ගේ මරණය රතු මුහුද තුල සිදුවන්නට ඇත යන්න වීශ්වාස කල හැක.

එසේ ඔහුගේ මරණය රතු මුහුදේ දී සිදුවුයේ නම් නියත වශයෙන්ම එම මෘතදේහය විනාඩියක්, පැයක්, දවසක්, සතියක්, මාසයක්, වසරක් හෝ වසර ගනනාවක් දියෙහි පැවති යුතු යන්නත් පැහැදලිව පෙනෙන සත්‍යයකි. එසේම එම මෘත දේහය දියෙන් නිම්නයකට ගොඩවැදුනා යන්න 1898 දී “ලෝරට්” නැමැත්තෙකු වීසින් THEBES IN THE KING’S VALLY නැමති ස්ථානයේදී මළ සිරුර සොයා ගැනීම තුලින් ඉතිහාසය පෙන්වාදෙන සත්‍යයකි. එසේ නම් මෙම මෘතදේහය කිසිදු ආකාරයක පෙර සූදානමක් හෝ මමීකරණයක් සිදුනොකොටම සැලකිය යුතු කාලයක් ශුද්ධ වු අල්කුර්ආනයේ “…අප එය ආරක්‍ෂා කරන්නෙමු…” යයි පැවසු ආකාරයටම විශ්මිතව ආරක්‍ෂා වී ඇත යන්නත් මින් පැහැදලි වන සත්‍යයකි. මෙම මෘත දේහය පිලිබදව වැඩිදුරටත් පරියේෂණ පැවැත්වු විද්‍යාඥයින් “මෙම මලසිරුර මීට වසර කිහිපයකට පෙර අපහට හමුවුවා නම් එය තවදුරටත් ආරක්‍ෂා කිරීමට නොහැකිව විනාශ වන්නට තිබුණි. නමුත් අද එය ආරක්‍ෂා කිරීමට අවශ්‍ය සියලූම තාක්‍ෂණ අපසතුව ඇත” යනුවෙන් පවසයි. මෙම ප්‍රකාශනයත් මෙම මෘත දේහය ආරක්‍ෂා වු ආකාරයත් පිලිබදව අපට සිතීමට බොහෝ දෑ ඉතිරි කොට ඇත. එනම්,

ඕනෑම වස්තුවක් දියෙහි ඉතා වේගයෙන් විනාශ වෙද්දී මෘත දේහයක් ආරක්‍ෂා වුයේ කෙසේද?

මෘත දේහයන් පිලිබදව අධ්‍යනයන් කරන කාල වකවානුවක මෙය නිරාවර්ණය නොවී ඊට පෙර කාලවල මෙය සොයාගනු ලැබුවේ නම් විෂය පිලිබදව තිබෙන අනවබෝධය නිසා එය ඔවුන් අතින්ම විනාශ වන්නට තිබුණි. එසේ නොවී කාල වකවානු පරියේෂණ මගින් නිර්ණය කල හැකි වකවානු මෙය අනාවර්ණය වුයේ කෙසේද?

මෘත දේහයක් ආරක්‍ෂා කලහැකි තාක්‍ෂණය නොමැති වකවානුවක මෙය සොයාගනු ලැබුවේ නම් අදට එය විනාශ වන්නට තිබුණි. එසේ නොවී එය ආරක්ෂා කලහැකි සියළු තාක්‍ෂණයන් ඇති වකවානුවක මෙය එලිවුයේ කෙසේද?

මෙම ප්‍රශ්නයන් හා මෙවැනි ප්‍රශ්නයන් සදහා දියහැකි එකම පිළිතුර “සියල්ල විද්‍යාත්මකව හා ප්‍රායෝගිකව දකින්නට හති හලමින් දුවන සමාජයේ ඔබට මෙම අල්කුර්ආනය දේව වාක්‍යයක් යන්න පිලිගත නොහැකි නම් ඔබේ බුද්ධීයෙන් මෙම සිද්ධීන් විමසන්න” යන්න පමණි. එවිට එය තුලින් ඔබ මෙම අල්කුර්ආනයත් එහි අසම සම බවත් පහසුවෙන් අවබෝධ කරගනු ඇත.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/11

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම