ෆේස්බුක් තුලින් පුද්ගලිකත්වයට කරන බලපෑම්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


නූතන සමාජය සැලකූවිට අන්තර්ජාලය පිලිබදව හෝ අන්තර්ජාලය තුල ඇති ‘ෆේස්බුක්’ සමාජ ජාල වෙබ් අඩවිය පිලිබදව හෝ නොදන්නා කිසිවකු නොමැති තරම්ය. විශේෂයෙන් තරුණ තරුණියන් අතර අන්තර්ජාලය තුල ඉතා ජනප්‍රිය අංගයක් වී ඇත්තේ මෙම ෆේසබුක් හෙවත් මුහුණු පොත යන්නයි. 2004 වර්ෂයේ පෙබරවාරී මාසයේ ලෝකයාට හදුන්වා දෙන මෙම සමාජ ජාල වෙබ් අඩවිය තුල මේ වනවිට සාමාජිකත්වය ලබා ඇති සංඛ්‍යාව මිලියන 600 ත් ඉක්මවා ගොසිනි. නමුත් කවදත් තාක්ෂණය නුහුරට භාවිතා කරන තාරුණ්‍යය. මේ ෆේසබුක් තුලින් ද දිනෙන් දින පරිහානයට පත්වෙමින් සිටින බව මීට ඉහත කිහිප අවස්ථාවක යහමඟ අඩවිය තුලින් ශ්‍රී ලාංකීය සමාජයට කරුණ දක්වා ඇත. මැතක ඉදිරිපත් කල ‘මුහුණූ පොත තුල නැති වී යන අපේ ඇත්තෝ’ නම් ලිපිය විශේෂයෙන් සදහන් කලහැක. මෙලෙස තාක්ෂණය තුල විනාශය පතන අති බහුතරය හමුවේ ඉතා සුළු පිරිසක් හෝ මෙම තාක්ෂණය සමාජ යහපත සදහා භාවිතා කරන බවත් මෙහි දී සදහන් කලයුතුම කාරණයකි.

නමුත් මෑතක සිට මෙම ෆේස්බුක් අඩවිය තුල ‘හැක්කරුවන්ගෙන්’ ඇති වී තිබෙන බලපෑම නිසා මා ඉහතින් සදහන් සුළු පිරිස පවා මෙම ෆෙස්බුක් සමාජ ජාලයට සමුදී දිනෙන් දින එයින් දුරස්වෙමින් සිටීම කණගාටුදායක තත්වයකි. ෆේස්බුක් අඩවිවල ඇති තොරතුරු විකෘති කිරීමත්, එහි තොරතුරු සොරාගැනීමත්, අනවසරයෙන් ඒ තුලට ඇතුල් වීමත්, අසභ්‍ය පිංතූර හා වීඩියෝ දර්ශණ එයට අනවසරයෙන් එක් කිරීමත්… එවැනි දරුණූ බලපෑම් කිහිපයකි. වර්ථමානයේ මෙම තත්වය ජාත්‍යන්තරය තුල හා ජාතිකතලයේ නිතර දකින්නට හා අසන්නට ලැබේ. මේ පිලිබදව යහමඟ පාඨක ඔබද දැනුවත්ව හා ඒ පිලිබදව අවධීයෙන් සිටීම අත්‍යඅවශ්‍ය කාරණයකි. ඒ අනුව ඔබත් දැනුවත් වීම සදහාත් මෙවැනි තත්වයන්ට මුහුණපෑ පිරිස් ගතයුතු ක්‍රියාමාර්ගය පිලිබදව දැන්වත් වීම සදහාත් අන්තර්ජාලය තුල පලව තිබූ ලිපියක් ඔබේ අවධානයට ගෙන එන්නට අදහස් කරමි. එය මෙසේය…

(උපුටා ගැනීම ආරම්භය)


‘ෆේස්බුක් සම්බන්ධ අපරාධ පැමිණිලි 400ක්’ – ශි‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය

ෆේස් බුක් වැනි සමාජ සම්බන්ධතා වෙබ් අඩවි භාවිතයෙන් සිදුවන අන්තර්ජාල අපරාධ වැඩි වී ඇතැයි ශි‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ(සර්ට්) ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරුගේ මහතා ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කර සිටියේ පසුගිය මාස හයක පමණ කාලය තුළ දී ඒ හා සම්බන්ධ අපරාධ පැමිණිලි 400ක් පමණ ලැබී ඇති බවයි. ඇතැම් තරුණයන් තරුණියන්ගේ ෆේස් බුක් වෙබ් අඩවිවලට රහසිගත ලෙස ඇතුළු වී එයට වෙනත් තොරතුරු ඇතුලත් කිරීම, වෙනත් අයගේ ඡායා රූප වලින් ෆේස් බුක් වෙබ් අඩවි සකස් කිරීම, වෙනත් අයගේ නම්වලින් නිරුවත් ඡායාරූප සහිතව ෆේස් බුක් වෙබ් අඩවි සකස් කිරීම සම්බන්ධයෙන් සහ Password හෙවත් රහස් මුරපද සොරකම් කර ඇතැම් අයගෙන් මුදල් ඉල්ලීම සම්බන්ධ පැමිණිලි රැසක් ලැබී ඇත. මේවන විට බොහෝමයක් පැමිණිලි විමර්ෂණය කර අවසන් බවත් ඇතැම් වාර්තා වූ පැමිණිලි පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවත් රෝහණ පල්ලියගුරුගේ මහතා පැවසීය. අන්තර්ජාලය තුල සිදුවන ඕනෑම වංචාකාරී සිදුවීමක් පිළිබදව ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය වෙත දැනුම් දෙන ලෙස එම ආයතනය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී ඒ අනුව දුරකථන අංකය 0112 691 692 හෝ විද්‍යුත් තැපෑල slcert@slcert.gov.lk ඔස්සේ අදාළ පැමිණිලි යොමු කළ හැක.

Link – http://www.lankapuvath.lk/


(උපුටා ගැනීම අවසන්)

ඉහත සදහන් අවාසනාවන්ත තත්වයට පසුගිය දිනවල යහමඟ ෆේස්බුක් එකත් මුහුණ පෑ බව පාඨක ඔබත් සමහර විට දන්නවා ඇති. මේ වනවිට තරමක් දුරකට එය පාලනය කර ඇතත් නූතන හැකින් කලාව හමුවේ මෙම තත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම එතරම් සරල කාරණයක් නොවේ යන්න මාගේ විශ්වාසයයි. කෙසේ වෙතත් තවත් කෙනෙකුගේ පුද්ගලිකත්වයට බලපෑම් කරමින් ඔවුන්ට එරෙහිව මඩ ව්‍යාපාරයන් ගෙනයාමත්, ඔවුන්ගේ පෞද්ගලික කරුණූ ලෝකයාට අණාවර්නය කොට ඒ තුලින් කාලකන්නි සතුටක් ලැබීමත් මේ පහත් ක්‍රියාවල නිරතවන පිරිසගේ අරමුණයි. මෙහි අවාසනාවන්තම තත්වය වන්නේ නූතන තාක්ෂණය තුලින් සමාජයට වැඩදායී සේවයක් කිරීමට තරම් තාක්ෂණ දැනුමත්, ආගමික වටපිටාවකින් යහපත් සාරධර්ම පෝෂණයත් ළඟාකර ගත හැකි ශ්‍රී ලාංකීය ප්‍රජාවත් බටහිර හිප්පි සමාජය හා කරට කර මෙම පහත් ක්‍රියාවේ නිරතව සිටීමයි.

මනුෂ්‍යයකු තුල තිබෙන ලැජ්ජාව හා බිය යන්න ඔහුගේ දිවිය අලංකාර කරවන ඔහුව නිවරුදි මාර්ගයට යොමු කරවන එකින් එකට බැඳුනු ප්‍රධාන සාධක දෙකකි. නමුත් එයට බලපෑම් කරමින් කෙනෙකුගේ ආත්මගරුත්වය කෙ‍ලසීම යන්න සුළු කොට තැකිය හැකි කාරණයක් නොවේ. එය මීට වසර 1400 කට පෙර ‍ජීවත් වූ මුහම්මද් (සල්) නම් පුද්ගලයෙකු විසින් තම අවාසන අවවාදය ලෙස මිනිස් සමාජයට ප්‍රකාශ කලේ එහි වැදගත්කම වඩ වඩාත් තහවුරු කරමිනි. එය මෙසේය,

(එය කෙටියෙන් පහනික් ඉදිරිපත් කොට ඇති අතර එතුමාණන් කල සම්පූර්ණ දේශනය ‘මුහම්මද් (සල්) තුමාණන් කල අවසාන දේශණය’ නම් ලිපිය තුලින් මෙම අඩවිය තුල ඔබට එය කියවීමට පුළුවන)

මාගේ ජනතාවනී!, ඉතා සාවදානව මට කන් දෙන්න මන්ද මෙම වසරෙන් පසු කිසිදා මම ඔබ අතර වෙම්දැයි මා නොදන්නා බැවිනි. එබැවින් මා කියන දෙයට ඉතා හොදින් කන් යොමු කර, අද දින මෙහි පැමිණීමට නොහැකි වුවන් අතරට ද මාගේ මෙම පණිවුඩය ගෙන යන්න.
ජනතාවනී!, ඔබ මෙම (දුල්හජ්) මාසයත්, (අරෆා) දිනයත්, මෙම (මක්කාව) නගරයත් කොතරම් ශුද්ධත්වයෙන් සලකන්නේ ද එසේම සෑම කෙනෙකුගේම ජීවිතයත්, ධනයත්, ආත්මගරුත්වයත් ශුද්ධත්වයෙන් සලකන්න. ඔබේ භාරයේ කිසිවකුට අයත් යම් දෙයක් වේ නම් එය නියම අයිතිකරුටම නැවත භාරදෙන්න. එහි කිසිවිටෙකත් වංචනයන් සිදු නොකරන්න…… ඔබ සියළු දෙනා (ජාතියෙන්, භාෂාවින් කිසිවෙක් කිසිවකුට උසස් නොවන) සමානයෝ වෙති, එනමුත් ඔබලාගේ භක්තිය හා සත්ක්‍රියාවන් හේතු කොටගෙන නුඹලාගෙන් එක් අයෙකු තවත් අයෙකුට වඩා උසස් වන්නේය…

ඉහතින් ඉදිරිපක් කලේ දේව වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් තම අනුගාමික පිරිස අමතා කල කථා වේ එක්තරා කොටසක් පමණි. ඒ තුල මනුෂ්‍යයෙකුගේ ආත්මගරුත්වය, කෙනෙකු තවත් කෙනෙකුට සිදුකරන කරදරයත් පිලිබදව ඉස්ලාම් කොතරම් සැලකිලීමත් වනවාද? යන්න අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. ඉස්ලාම් මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් දක්වන ස්ථාවරය තවදුරටත් අවබෝධ කරගැනීම සදහා තවත් ශූද්ධ වූ නබිවදනක් ඔබගේ අවධානයට ගෙන එන්නට අදහස් කරමි. එනම්,

වරක් නබිතුමාණන් ‘මම අල්ලාහ් (දෙවි) කෙරෙහි දිවුරා පවසමි, ‘ඔවුන් විශ්වාස නොකරන්නෝ වෙති, ඔවුන් විශ්වාස නොකරන්නෝ වෙති, ඔවුන් විශ්වාස නොකරන්නෝ වෙති,’ යනුවෙන් තුන්වරක් පවසන ලදී. මෙය ඇසූ අනුගාමික (සහාභා)වරුන් ‘අල්ලාහ්‍ (දෙවි)ගේ දූතයාණනි!, ඔවුන් කවරෙක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘කවරකුගේ හිරිහැරයෙන් සිය අසැල්වැසියා බියෙන් සැකෙන් සිටින්නේද ඔවුන්ය.’ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීසය සෘජුවම මෙම විෂය පිලිබදව කථා නොකලත්, කෙනෙකු අතින් තවත් කෙනෙකු හිංසාවට කරදයකට ලක්වීම පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න මෙම හදීසය තුලින් අවබෝධ කර ගැනීම දුෂ්කර ‍නොවේ.

අවසාන වශයෙන් සදහන් කලයුතුව ඇත්තේ මුහම්මද් (සල්) තුමාණන් තම වසර 23 ක මෙහෙවර සාරාංශ කොට සිදුකල අවසාන දේශනයේ දී ‘…සෑම කෙනෙකුගේම ජීවිතයත්, ධනයත්, ආත්මගරුත්වයත් ශුද්ධත්වයෙන් සලකන්න…’ යයි පැවසීමත්, තවත් කෙනෙකු හට හිරිහැර කරදර කර‍න කෙනෙකු සැබෑ විශ්වාසවන්තයෙකු නොවේ යයි පැවසීමත් තුල මෙවැනි පහත් ක්‍රියාවන් පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්න පහසුවෙන් අවබෝධ කරගත හැක. ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් මෙලෙස තිබිය දී කිසියම් මුස්ලීම්වරයෙකු ඉහත කරුණූ නොසලකා පහත් ක්‍රියාවල නිරත වන්නේ නම්, නියත වශයෙන්ම ඔහු දෙවියන් හමුවේ මහා අපරාධකරුවකු වනවා යන්නෙහි සැකයක් නැත.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/17

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම