2004 සුනාමිය අපට කියාදුන්නු පාඩම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


‘සුනාමිය’ (Tsunami) යන නම ඇසූ පමණින් අපේ සිහියට නැ‍ඟෙන්නේ අමිහිරි මතකයන් රාශියකි. එම මතකයන් මෙම යහමඟ අඩවිය හරහා නැවත ආවර්ජනය කරන්නේ ඒ අමිහිරි මතකය තුල ඔබව තවදුරටත් ගිල්වීමට හෝ එ් තුලින් බියගැන්වීමට නොව, ඒ තුලින් අප උගත් හා උගතයුතු පාඩම් කිහිපයක් නැවත සිහි කරවීම පිණිසය. 2004/12/26 එදා සුනාමියට ඔබ සෘජුවම මුහුණපෑවා නම්, ලොවපුරා ලක්ෂ ගණනනක් අපෙ රටේ දහස් ගණනක් ජීවිත බිලිගත් ඒ මොහොත මදක් සිහියට නඟ බලන්න. එය ඔබෙන් උදුරාගත්, ඔබට අහිමි කල හා කියාපෑ දේ බොහෝය.

  • එය ඔබට අහිමි කලේ ඔබේ මව/ පියා/ සහෝදර/සහෝදරිය/දරුවා/ බිරිද/ ඥාතීන් හා මිතුරන්,
  • එය ඔබට අහිමි කලේ ඔබ ජීවිතකාලය පුරාවට දුක්මහන්සි වී ගොඩනඟාගත් සැපසම්පත් හා බලාපොරොත්තුව
  • එය ඔබට පෙන්වියේ ලෝක විනාශයේ එක් පැතිකඩක්
  • එය ඔබට කියාදුන්නේ සැබෑ මරණ බිය
  • එය ඔබට කියාදුන්නේ සැබෑ අසරණකම
  • එය ඔබට කියාදුන්නේ සැබෑ කුසගින්න
  • එය ඔබට කියාපෑවේ උස්පහත් භේදයක් නැති සෑබෑ මනුෂ්‍යත්වය
  • එය ඔබට කියාපෑවේ ජීවිතයේ යථාර්තය

මේ ආකාරයට ඒ ‘සුනාමිය’ තුල මනුෂ්‍යා අත්විදි පාඩම් ගනනාවක් පෙලගැසීමට හැක. එදා මේ සියල්ල එකවිට මොහොතකින් අපව වෙලාගත් මොහොතේ ජීවිතයේ යථාර්තය නැමැති ගැඹුරු විෂය අප සරලව අවබෝධ කරගත්තා. නමුත් ඉන් වසර 6ක් (2011) ගෙවී යන මේ මොහොතේ යලිත් අද අප සිටින්නේ කොතැනද? එදා සුනාමියෙන් උගත් පාඩම් මොනවාද? ඒවා අප ජීවිතවලට කර ඇති බලපෑම කුමක්ද? මේවා සියල්ල පිලිබදව නැවත නැවතත් අද විමසා බැලිය යුතුව ඇත.

එදා ජීවිත 30000 කටත් වඩා බිලිගෙන ‘සුනාමිය’ සිදුකල එම විනාශයෙන් ශ්‍රී ලාංකීය අපට අහිමි වූයේ ජීවිත පමණක් නොවේ. අත් වූ අනිකුත් විනාශයන් ද සුළුපටු නොවේ. එය මෙසේය…

  • සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 41000ක්,
  • අර්ධ හානී නිවාස සංඛ්‍යාව 29500 යි,
  • විනාශ වූ පාසැල් සංඛ්‍යාව 152 යි,
  • විනාශ වූ රේල් පාරේ දිග 160 km කි,
  • විනාශ වූ පාලම් සංඛ්‍යාව 10 යි,
  • විනාශ වූ විදුලි රුහැන් දිග 7000 km කි,
  • විදුලි රුහැන්වලට සිදුවූ අලාභය බිලියන 12 කි,
  • විනාශ වූ ඔරූ හා බෝට්ටු ගණන 15300 යි,
  • විනාශ වූ දැල් හි වටිනාකම මිලියන 01 යි,
  • සංචාරක ක්ෂේත්‍රයට සිදුවූ පාඩුව බිලියන 25 යි,
  • විනාශ වූ බෞද්ධ සිදුධස්ථාන ගණන 173 යි,
  • අවතැන් වුවන් සංඛයාව 800000 යි,
  • රජයේ 5000/= දීමනාව ලද සංඛ්‍යාව 234000 යි.

ඉහත සංඛ්‍යාලේඛනවලට අමතරව එම විනාශයේ කෲර බව ඔබේ මතකයට ගෙන එන රූපරාමු කිහිපයක් ඉදිරිපත් කරන්නේ නම්…

මේ සම්බන්ධ තවත් රූපරාමු මෙහි Click කොට නරඹන්න

මේ ආකාරයට දැඩි විනාශයක් ගෙනදුන් මේ ‘සුනාමිය’ මූලික කරගෙන විවිධ පුද්ගලයන් විවිධ අර්ථ කථන තම තමන් නියෝජනය කරන ක්ෂේත්‍රයන් හා එහි තම නැණ පමණින් ඉදිරිපත් කරන ලදී. එනම්, විද්‍යාඥයින් විද්‍යාත්මක මුහුණුවරින්ද, ජ්‍යොතිෂ්‍ය පවසන්නන් එම අංශයෙන්ද, ආගමික නායකයින් හා පුජකවරුන් ආගමික මුහුණූවරින්ද… එයට විවිධ අර්ථකථන ලබාදෙන ලදී. කාලීන ගැටළු කවදත් ඉස්ලාමීය මුහුණුවරින් පාඨක ඔබේ අවධානයට ගැනෙන යහමඟ වෙබ් අඩවිය ද මේ පිලිබදව කෙටි විමසුමක් කරන්නට අදහස් කරමි. ඒ මෙම සිද්ධිය පිලිබදව ඉස්ලාමීය දැක්ම කුමක්ද? යන්න පිලිබදවයි.

එසේ විමසා බැලීමේ දී ශුද්ධ වු කුර්ආනයේ 30-41 වාක්‍යය සුවිශේෂි ස්ථානයක් ගනී. එහි අල්ලාහ් (දෙවි) මෙසේ ඉඟි පවසයි,

මිනිසාගේ (වැරදි) ක‍්‍රියාවන් හේතු කොටගෙන ඔවුන් කල දෙයින් කොටසක් ඔවුන් ම විදිනු පිණිසත්, එය තුලින් ඔවුන් යහමගට යොමු වනු පිණිසත්, ඔවුන්හට මුහුදෙන් හා පොළොවෙන් විනාශකාරී තත්වයන් ඇති වන්නේය.

ශුද්ධ වූ කුර්ආනය 30-41

ඉහත දේව වාක්‍යයට අනුව ලොව තුල ඇති වන විනාශකාරී තත්වයන් මිනිස් ක්‍රියාවන් හි ප්‍රථිපලයන් යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. මෙසේ මා පවසන විට කෙනෙකුහට මෙලෙස සිතෙන්නට පුළුවන. එනම් ‘අපි වැරදි කලේ නැහැනේ ඉතින් අනිත් මිනිස්සු කල පාපයට සමස්ථ සමාජයටම දඩුවම් පහලවීම සාධාර්ණ ද?’ යන්නයි. මෙය බැලු බැල්මට සාධාරණ හා බුද්ධිමත් ප්‍රශ්නයක් ලෙස පෙනෙන්නට පුළුවන. මේ හේතුව නිසයි මීට වසර 1400 කට පෙර මුහම්මද් (සල්) තුමාණන්ගේ බිරිද වන සෙයිනබ් (රලි) තුමිය මේ පිලිබදව එදා මුහම්මද් (සල්) තුමාණන්ගෙන් මෙසේ ප්‍රශ්න කලේ,

‘සමාජයේ පිරිසක් කරන පාපයන් නිසා එම පිරිසට පහල වන දඩුවම එම සමාජයේ ජීවත්වන යහපත් මිනිසුන්ටත් බලපායිද?’ එයට නබිතුමා ‘ඔව්, එම සමාජයේ පාපක‍්‍රියාවන් වැඩි වී එය කිසිවකු නොවලක්වා බලා හිදීනම් එවැනි සමාජයට දෙවියන්ගෙන් පහල කරන දඩුවම යහපත් අයහපත් සියල්ල සදහාමයි.’

මේ අනුව කිසියම් සමාජයක සියළුදෙනා පාපක්‍රියාවන් හි නිරත නොවුවත් සමාජයක් තුල පාපක්‍රියාවන් වැඩි වනවිට එහිදී පහල වන විනාශය සමස්ථ සමාජයටම බලපාන්නේය. සමාජයක් තුල සිදුවන පාපක්‍රියාවන් සරල කාරණයන් ලෙසත් සැලකිය යුතු කාරණයක් නොවන ලෙසත් සලකන විට එපමණක් නොව සමාජය තුල සිදුවන පරිහානිය නොසලකා ‘මා සහා මගේ පවුල’ යනුවෙන් සීමාවන් තුල ජීවත්වන පිරිස් මෙවැනි විනාශයන් ගෙනආ හානිය නැවත නැවතත් විමසා බැලිය යුතුව ඇත. ඒ විනාශයට ඔයවැනි සීමාවන් නොවීය.

මෙහිදී මුස්ලීම් සමාජයට ද කිවයුතු කාරණයක් ඇත. එනම් අලංකාර ආදර්ශයන්ගෙන් පරිපූර්ණ දහමකට උරුමකම් කියන මුස්ලීම්වරුන් දේව නියමයන් හා නියෝගයන් නිසි ලෙස ඉටුකිරීම අනිවාර්‍ය වගකීමකි. එසේ නොමැතිව ජීවත් වන්නට අදහස් කරන්නේ නම්. එදා සුනාමියෙන් අප අත්වින්ද තත්වයන්ට වඩා දරුණූ තත්වයන් ඉදිරියේ දී උදාවෙනවා ඒකාන්තය. එසේ නොවීමට නම් අප අපව මෙන්ම අප අවට සමාජය ද නිවරුදි කර ගැනීමට ක්‍රියාකල යුතුය. මෙය 2004 සුනාමිය අපට කියාදෙන ඉතා වැදගත් පාඩමකි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/12/26

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම