2012 ලෝක විනාශය හා මායා දින දර්ශනය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


2012 වර්ෂය පුරාවට ලොවපුරා සෑම සමාජයකම නිතර කථා බහට ලක්වූ මාතෘකාවක් වේ නම් ඒ ‘2012 ලෝක විනාශය’ යන්නයි. ජ්‍යොතිෂ්‍ය, ආගමික, විද්‍යාත්මක… යනාදී මෙකී නොකී සියළු ක්ෂේත්‍රයන් තුල මෙය උණූසුම් මාතෘකාවක් විය. මේ මොහොතේ පවා සමහරක් පිරිස් දින ගනිමින් ‘මෙම විනාශය නියමිත දිනට නියතව සිදුවන බවටත්, එයින් සමස්ථ ලෝකය ම මහා විනාශයකට මුහුණපාන බවටත්, මනුෂ්‍ය වර්ගයා මෙලොවින් සමු ගැනීමට නියමිත බවටත්…’ වහසිබස් පවසයි. මේ අතර තුර මේ විනාශයට මුහණදීමට සූදානම් වන පාර්ශවයන් ද මෙම විනාශයට ප්‍රථම ආගමික කටයුතුවල හා යහ කටයුතුවල නිරතව කුසල් රුස් කිරීමට කටයුතු කරන පාර්ශවයන් පිලිබදව ද තොරතුරු වාර්ථා වේ. විශේෂයෙන් දෙසැම්බර් 12 හෝ 21 යන දිනවල ලෝක විනාශය සිදුවන බවට ප්‍රචාරයන් පැතිරීමත් සමඟ නෝවා (නූහ් (අලෛ)) තුමාගේ නැව රුදුනු බවට විශ්වාස කරන කන්ද පිහිටි ගමට අසීමිත ලෙස සංචාරකයන් පැමිණිමට පටන්ගත් නිසා එය පාලනය කරගත නොහැකිව එම ප්‍රදේශය ‘සංචාරකයන්ට තහනම් ප්‍රදේශයක්’ බවට එහි පරිපාලකයන් ප්‍රකාශයට පත්කිරීම මෙයට හොද නිදසුනකි. මේ ආකාරයට ‘2012 ලෝක විනාශය’ පිලිබදව සමස්ථ සමාජයෙන් සැලකිය යුතු පිරිසක් භීතියෙන් හා කුතුහලයෙන් ගිලී ගොස් ඇති විට එයට ප්‍රතිවිරුද්ධ මතවාදය සමාජය තුල ස්ථාපනය කිරීමට වෙහෙසෙන පාර්ශවයන් ද නැතුවා නොවේ. ඔවුන් ‘2012 ලෝක විනාශය’ මිත්‍යාවක් බවත්, එවැනි විනාශයක් පිලිබදව පැහැදිලි සලකුණු කිසිවක් තවම දක්නට නොමැති බවත්, ‍මේ පිලිබදව අනිසි බියක් ඇති කරගැනීමට අනවශ්‍ය බවත් පවසමින් මේ මිනිස් සමාජය භීතියෙන් මුදවා ගැනීමට කටයුතු කරමින් සිටී.

ඉහත පාර්ශව දෙකට අමතරව තවත් පාර්ශව ගණනාවක් ද සිටී. ඔවුන් අතුරින් ප්‍රධාන පාර්ශවයක් වන්නේ ‘ආගමික විද්වතුන් හා පූජකවරුන්’ යන පාර්ශව යයි. එනම්, මේ විෂය පිලිබදව තම තමන්ගේ දහම දර්ශනය කුමක් පවසනවාද? යන්න පිලිබදව ලෝකයා ඉදිරියේ කථා කිරීමට මෙම ‘2012 ලෝක විනාශ’ මාතෘකාව ඔවුන් ආශිර්වාදයක් කරගෙන ඇත. මතභේදය‍ට තුඩු දී ඇති 2012 දෙසැම්බර් මාසය උදාවී තිබීමත්, අනාවැකි පැවසූ දින ලඟාවීමත් නිසා මෙම මාතෘකාව වර්ථමාන සමාජයේ දිනේ දින උණූසුම් වන මාතෘකාවක් බවට පරිවර්ථනය වෙමින් ඇත. මෙවන් මොහොතක කවදත් කාලීන මාතෘකාවන් ඉස්ලාමීය ඉගෙන්වීමන් තුලින් කථා කිරීමට ඉදිරිපත් වන ‘යහමඟ’ අඩවිය මෙම විෂය පිලිබදව ද ඉස්ලාමීය විමසුමක් සිදු කිරීමට අදහස් කරමි. මන්ද එය කාලීන වශයෙන් පමණක් නොව ඉස්ලාම් ආගමික වශයෙන් ද වැදගත් මාතෘකාවක් වන නිසාමය. එය මුස්ලීම්වරයෙකුට කොතරම් වැදගත් මාතෘකාවක් වන්නේ ද යන්න සරලව අවබෝධ කර ගැනීම පිණිස ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් ඔබේ අවධානයට ගෙන එන්නේ නම්,

තවද (ඔවුන්) අල්ලාහ් (දෙවි) ද, (ලෝක) අවසාන දිනය ද විශ්වාස කර (සහෝදර සමාජයට) යහ කටයුතු අණ කරන්නේය. (සහෝදර සමාජය) අයහපත් කටයුතුවලින් වලක් වන්නේය. යහ කටයුතු කරා වේගයෙන් ඇදී එන්නේය. ඔවුන් තමා යහපත් පිරිස වන්නේ.

ශුද්ධ වූ කුර්ආනය – 3-114

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට අනුව යහපත් මූස්ලීම්වරයෙකු තුල පැවතිය යුතු මූලික ලක්ෂණ අතර ලෝක විනාශය (‘…(ලෝක) අවසාන දිනය…’) විශ්වාස කිරීම යන්න ද එකක් යන්න පැහැදිලි වේ. මේ හේතුව නිසාම තමා ඉස්ලාමීය මූලික විශ්වාසයන් අතර එකක් වන ‘ලෝක විනාශය’ පිලිබදව ඉස්ලාම් දහම දීර්ඝ ලෙස හා සවිස්තරව කරුණූ ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන් ලෝක විනාශයේ පෙරනිමිති සුළු හා මහා වශයෙන් කොටස් කොට විස්තර කරයි. (මෙම අඩවිය තුල පවා මීට ඉහත ඒ පිලිබදව විටින් විට තරමක් දුරකට කරුණූ සාකච්චා කොට ඇති අතර ‘බටහිරින් හිරු උදාව සැබෑවක්‘ යන්න එවැනි සමීපතම නිදසුනකි.) කෙසේ වෙතත් මේ ලිපි පෙලෙහි ඉදිරියට ඒ පිලිබදව ද තරමක් ගැඹුරින් කථා කිරීමට අදහස් කරන අතර ඊට ප්‍රථම 2012/12/10 දින ස්වර්ණවාහිනි live@8 ප්‍රවෘති විකාශනයේ විකාශය වූ කොටසක් පහතින් ඔබේ අවධානයට තබමින් මෙම විෂය සම්බන්ධයෙන් වූ ජනප්‍රිය මතවාද කිහිපයක් ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන ඒමට අදහස් කරමි. ඒ හෙට දවස පිලිබදව ඔබ තුල නිර්මාණය වෙමින් තිබෙන අවිනිශ්චිතභාවය ‍හා භීතියෙන් පිරුණූ නොසන්සුන් බව තවදුරටත් වර්ධනය කිරීම පිණිස නොව යතාර්ථය අවබෝධ කරගැනීම තුලින් සිත සුවපත් කරගැනීම පිණිසය.

වර්ථමානයේ ඉදිරිපත් වෙමින් පවතින ‘2012 ලෝක විනාශය’ යන මාතෘකාව ඇත්තෙන්ම ලෝකයාට අලුත් මාතෘතාවක් ‍නොවේ. මෙම විෂයට දීර්ඝ ඉතිහාසයක් ඇති බව ඉතිහාසය හොදින් විශ්ලේෂණය කලේනම් පැහැදිලිව දැකගත හැක. ලෝක විනාශය පිලිබදව විවිධ අනාවැකි විවිධ කාලවල ඉදිරිපත් වී ඒවා සියල්ල කාලයේ වැලිතලාවෙන් වැසීගිය ආකාරයක් ඉතිහාසය පුරාවට පැහැදිලිව දැකගත හැකිය. මෙය ඔබට වඩාත් හොදින් තහවුරු කලහැකි ලිපියක් පසුගිය කාලවල මට කියවන්නට ලැබුණි. (එය මෙම විකීපීඩියා link එක click කොට කියවන්න). මේ තුලින් ද තහවුරු වන්නේ මෙම විෂයට දීර්ඝ ඉතිහාසයක් පැවතී බව පමණක් නොව මෑත කාලයේ පවා මෙම මතවාදය විටින් විට සමාජගත වී ඇති බවයි. මෙම කාරණයේ දී අප රට ජාත්‍යන්තරයට දෙවැනි වී නැත. මා එසේ පවසන්න මූලික හේතුව වන්නේ ඉතිහාසයේ අප රට තුල පවා මෙවැනි අනාවැකි ප්‍රකාශ වී ඇති අතර ඒවාට ද බොහෝ විට අත්වූයේ ඉහත ඉරණම වීමය. සමීපතම නිදසුනක් පවසනවා නම්, 2011 වර්ෂය හා 2012 වර්ෂය පදනම් කරගෙන අප රටේ ආගමික විද්වතෙකු විසින් ඉදිරිපත් කල අනාවැකි පහත ආකාරයට වේ. එනම්,

  • 2011 මැද වන විට හිරු ගිනි දැල් පෘථිවියට.
  • 2011 වර්ෂ අවසාන වන විට ලොව සාගත තත්වයක්.
  • 2012 මුල සිත පෘථිවි උෂ්ණත්වය අධික වේ.
  • 2011 සුනාමි ගිනිකදු පිපිරීම්, භූමිකම්පා, ගංවතුර වියලි දේශගුණය නොනවතී.
  • හිරුගේ ක්‍රියාකාරිත්වය වෙනස් වේ.
  • 2012.11.18 හිරුගේ අධි ක්‍රියාකාරිත්වය හේතුවෙන් හිරුගේ කොටසක් කැඩී හිරු මඩලින් වෙන් වෙන අතර එය සිකුරු ග්‍රහ ලෝකයේ ගැටී ඉන් කොටසක් සමග පෘථිවියට

ඉහතින් දැක්වෙන්නේ මීට වසර කිහිපයකට පෙර ඉරිදා ලංකාදීප පුවත්පතේ සඳැල්ල අතිරේකයේ පලවූ අනාවැකි කිහිපයක් වන අතර මේ පිලිබදව වැඩි විස්තර ucro2012.com යන වෙබ් අඩවිය තුලින් ඔබට කියවීමට පුළුවන. ඉහතින් මා එක් පුද්ගල අනාවැකියක් ඉදිරිපත් කල ද මෙම විෂය සම්බන්ධයෙන් ඉදිරිපත් වන සෑම අනාවැකියක්ම බොහෝ සෙයින් සමාන බව හොදින් විමසා බලන්නේ නම් ඔබට දැකගත හැක. එනම්, පෘතුවියට කඩා වදින සුරිය ගිනි දැල්, ගෝලීය උණුසුම, වසංගත රෝග, ගිනි කදු පිපිරීම්, සුනාමි, භූ චලන, ග්‍රාහක ගැටීම… යනාදීය එවැනි කිහිපයකි. 2012 වර්ෂයේ ලෝක විනාශය සම්බන්ධයෙන් ද ඉහත කරුණූ ඉදිරිපත් වුවද ‘2012 වර්ෂයේ ලෝක විනාශය’ යන මාතෘකාව උණූසුම් මාතෘකාවක් ලෙස කරලියට එන්නේ ඉහත ජනප්‍රිය අනාවැකිවලින් ඔබ්බට ගිය වෙනස්ම වූ මතවාදයක් මූලික කරගෙනය. ඒ ‘මායාවරුන්ගේ දින දර්ශනයේ නිමාව’ යන කාරණයක් මූලික කරගෙනය.

මායාවරුන් හා ඔවුන්ගේ දින දර්ශනය

වසර 5000 කට වඩා පැරණි යැයි පැවසෙන මෙම දින දර්ශනය 2012/12/21 දිනෙන් නිමා වන බවත්, ඒ හේතුව නිසා එම දිනට ලෝක විනාශය සිදුවන බවටත් ජනප්‍රිය මතවාදයක් අතීතයේ පටන් ලොවපුරා ව්‍යාප්ත වෙමින් පැවතී අතර එම දිනය ලඟාවෙත්ම මෙම මාතෘකාව අද උණූසුම් මාතෘකාවක් බවට පරිවර්ථනය වී ඇත. මේ හේතුව නිසා ඒ පිලිබදව ද ‘යහමඟ’ කෙටි විමසුමක් සිදු කිරීමට අදහස් කරමි.

වර්ථමානයේ ගෝතමාලා යනුවෙන් හැදින්වෙන භූමියේ මීට වසර 5000 කට පෙර විසූ ඉපැරැණි ගෝත්‍රයක් වූයේ ‘මායාවරුන්’ය. ඉතා දියුණූ තාරකා විද්‍යා දැනුමකින් පිරිපුන් යැයි සැලකෙන මෙම ජන ගෝත්‍රය එය ලෝකයාට කියාපාන අවස්ථාවන් අපමණය. (මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී එය ඔබට වඩාත් හොදින් තහවුරු වනු ඇත) විශේෂයෙන් එම ජන ගෝත්‍රය භාවිතා කල දින දර්ශන එයට හොද නිදසුනකි. වර්ථමාන අප මෙන් නොව ඔවුන් දින දර්ශන 4 ක් අනුගමනය කළ බවට විශ්වාස කෙරේ. එයින් පළමුවැන්න, ඉහතින් සදහන් ආකාරයට සමස්ථ ලෝකයම මොහොතකට කනපිට පෙරලූ හා භිතිය තුල ගිලදැමූ වර්ෂයකට දින 260 කින් සමන්විත ‘මායාවරුන්ගේ දින දර්ශන’ය.

එය මෙසේය…

  • දින 20 = මාස 01 යි.
  • දින 360 = මාස 18 + (දින 5 මාසයක් ද ඇත) මාස 1 = මාස 19 යි
  • මාස 19 = වර්ෂ 01 යි
  • වර්ෂ 20 = කක්ටූන් 01 යි
  • කක්ටූන් 20 = බක්ටූන් 01 යි
  • බක්ටූන් 13 = මායාන් ඊපොච් 01 යි.
  • මායාන් ඊපොච් 01 = මායාන් වර්ෂ 5125.26 යි
(සැ:යු: – මෙහි kin – දින, unial – මාස, tun-වර්ෂ, kactun – වර්ෂ 20ක්,  bactun – වර්ෂ 400 ක්,  Mayan epoch-)

මේ අනුව මායාවරුන්ගේ දින දර්ශනය වසර 5125.26 කින් සමන්විතය. මාස 18 කට දින 360කි. වසරකට දින 365ක් නිසා ඉතිරි දින 5 ඇතුලත් කුඩා මාසයක්ද වේ. එවිට දින 5ක මාසයද සමඟ මාස 19ක් ඔවුන්ගේ වසරකි. ක්‍රි:පූ 3114 දී මායාවරුන්ගේ කැලන්ඩරය ආරම්භ වන අතර ඒ අනුව වසර 5125.26 ගෙවී යන්නේ 2012/12/21 දිනටය. මෙතැනින් එහාට ඔවුන්ගේ දින දර්ශනයේ දිනයක් සදහන් නොවන නිසා මේ දිනයට ලෝක විනාශය සිදුවෙනු ඇතැයි යන්න මෙහි මූලික විශ්වාස යයි.

ඉහත දින දර්ශනයට අමතරව වර්ථමානයේ ජාත්‍යන්තරය පිලිපදින සූර්‍යයා මූලික කරගත් දින 365 ක සූර්ය දින දර්ශනය ද ඔවුන්ගේ භාවිතයේ පැවතී අතර ඊට අමතරව සිකුරු ග්‍රහයා පදනම් කරගත් දින 584 ක දර්ශනයක් ද අඟහරු ග්‍රහයා පදනම් කරගත් දින 780 ක දින දර්ශනයක් ද ඔවුන්ගේ භාවිතයේ පැවතුණූ බවට තොරතුරු අනාවර්ණය කරගෙන ඇත. මේ සියල්ල තුලින් කියාපාන්නේ මායාවරුන්ගේ අනඟි තාරකා විද්‍යා දැනුම යන්නෙ හි විවාදයක් නැත. මා මෙසේ කරුණූ පවසන විට ‘මේ ගණනය කිරීමක් කොතරම් දුරකට නිවරුදි ද?’ යනුවෙන් ඔබට කුතුහපයක් ඇති වන්නට පුළුවන. මන්ද වර්ථමානයට සාපේක්ෂව මීට වසර 5000 කට වඩා පැරණි ජන ගෝත්‍රයක් නිවරුදිව මෙවැනි ගණනය කිරීමන් කරන්නේ කෙසේද? යන සාධාර්ණ වූ තර්කය ඔබ තුල ඇතිවීම එයට හේතුවයි. එම පැනයට ඔබ මවිත කරවන පිලිතුරක් ලබාදෙන්නේ නම්,

මායාවරුන්ගේ දින දර්ශනයේ අවසාන දිනය වන (වර්ථමාන අප දින දර්ශනයට අනුව) 2012.12.21 දින පෘථිවිය සූර්යයා, ක්‍ෂීරපථය මන්දාකිණියේ මධ්‍යයට ඒක රේඛියව පිහිටන බවට විද්‍යාඥයින් කරුණූ දක්වයි. තවද මෙය ඉතා බිහිසුණූ අවස්ථාවක් බව ද ඔවුන් පවසයි. අප රටේ ජාතික පුවත්පතක් වන ලක්බිම (2012/01/08) පුවත්පත මේ පිලිබදව වාර්ථා කිරීමේ දී ‘කාර්ඩීෆ් සරසවියට අනුබද්ධව කටයුතු කරන ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක වන ජානකී වික්‍රමසිංහ පවසන බවට කරුණූ වාර්ථා කොට තිබුනේ පහත ආකාරයටය.

‘සූර්යයාගේ භ්‍රමණය සහ මන්දාකිණියේ භ්‍රමණය පිළිබඳව පරිගණක ආකෘතියක් ඇසුරෙන් කළ පර්යේෂණයකට අනුව මේ පිහිටීම පෘථිවියට මාරාන්තික විය හැක. අපේ මන්දාකිණිය ඒ දිනවල ඇත්තේ තරු උදුර උදුරා ගිල දමමින. එහෙයින් එතැන ඇත්තේ ආගන්තුක පිටසක්වලක සිට කඩා වැටෙන තරු වැස්සකි. කිලෝමීටර් දහස් ගණනක වේගයෙන් පැමිණෙන පෘථිවිය තරම් දෙතුන් ගුණයක් විශාල තාරකා වැහි බිඳු සොඳුරු මල් වැස්සක් නම් නොවනු ඇත.’

මේ අනුව මායාවරුන්ගේ තාරකා විද්‍යා දැනුම වර්ථමාන සමාජයට පවා අභියෝගයට ලක් කල නොහැකි තරම් එකක් යන්නෙහි ද විවාදයක් පැවැතිය නොහැක. මේ දක්වා මෙම ලිපිය කියවාගෙන එන ඔබ තුල ‘එසේ නම් 2012/12/21 ලෝක විනාශය සිදුවේ ද?’ යන කුතුහලය දැන් ඇති විය හැක. මෙයට කෙටි එසේම සරල පිළිතුරක් ලබා දෙන්නේ නම්, ඒ ‘නැත’ යන්න පමණි. ප්‍රථමයෙන් එයට මායාවරුන්ගේ දින දර්ශනය පදනම් කරගෙන මෙතැන දී පිළිතුරක් ලබාදෙන්නේ නම්, ඉහතින් සදහන් මතවාදාත්මක දින දර්ශනයට අමතරව මෑතක ගෝතමාලාවේ සිදුකල කැනීම්වලින් මායාවරුන්ගේ තවත් දින දර්ශනයක් සොයාගෙන ඇත. එය වසර 7000 ක් ඉදිරියට දිවයන බව ද තහවුරු කරගෙන ඇත. ඒ අනුව මායාවරුන්ගේ දින දර්ශනයට අනුව සැලකුවද 2012/12/21 දිනට ලෝක විනාශය සිදු නොවනවා යන්න පැහැදිලිය. නමුත් ඔබ තුල තවත් කුතුහලයක් ඇතිවීට පුළුවන.

ඒ ‘මායාවරුන්ගේ දින දර්ශනයට අනුව නොවුවත්, ලෝක විනාශය කවදාවත් සිදු නොවන එකක් ලෙස නොසලකා හරින්න බැහැ නේද?’ යන්නයි. එසේ ඔබට කුතුහලයක් ඇතිවීමේ වරදක් ඇතැයි මා නොසිතමි. මන්ද ලෝක විනාශය පිළිබඳ බොහෝ මතවාද මේ වන විට සමාජය පුරා ව්‍යාප්ත වී ගොස් ඇත. ‍ලෝක විනාශය, අවසාන දිනය, කල්ප විනාශය… යනාදී වශයෙන් ඒ මොහොත පිලිබදව ආගම්, අනාගත වක්තෘවරු හා භෞතිකවාදීන් දුටූ ආකාරය ඉතිහාසය තුල පැහැදිලිව සටහන් වී ඇත. මේ සියළු ක්ෂේත්‍ර මෙම ලිපිය තුලින් මෙහි නැවත කථා කිරීම ප්‍රායෝගික නොවුවත්, ‘යහමඟ’ විෂය පථය වන ‘ආගමික මුහුණූවරින් ලෝක විනාශය’ යන්න පිලිබදව තවත් ලිපියකින් ඉදිරියට කථා කිරීමට අපේක්ෂා කරමින් මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/19

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම