2015 ජනාධිපතිවරණය හමුවේ ශ්‍රී ලාංකීය මුස්ලීම් අපේ වගකීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


රටම උණුසුම් කරමින් අප සමීපයට පැමිණ තිබෙන 2015 ජනාධිපතිවර්ණය පිලිබදව ශ්‍රී ලාංකීය ජනතාව තුල විවිධ මට්ටමේ වාද, විවාද, සංවාද, තර්ක, විතර්ක… අඩුවක් නොමැතිව සිදුවෙමින් ඇත. ඒවා මාධ්‍යයන් තුල ද විද්වත් සංවාද ලෙසත් සම්ප්‍රදායක ‘කඩේයාමන්‘ ලෙසත් විවිධ මට්ටමින් ඉදිරිපත් වෙමින් ද ඇත. මෙවන් පසුබිමක එවන් කරුණු ‘යහමඟ‘ අඩවිය තුලින් ද ඉදිරිපත් කිරීමට අදහස් නොකරන අතර එය මෙම අඩවියේ ප්‍රතිපත්තියට ද අනුකූල නොවේ. එසේ නමුත් මේ 2015 ජනාධිපතිවර්ණ ක්‍රියාවලිය තුල අප්‍රසිද්ධියේ කථාබහට ලක්වන ‘යහමඟ‘ ට වැදගත් වන කාරණයක් ඇත. ඒ මේ ජනාධිපතිවර්ණය ශ්‍රී ලාංකීය සුළු ජාතීන්ට කවර ආකාරයට බලපායි ද? විශේෂයෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට මෙම මැතිවර්ණය කවර ආකාරයට බලපායිද? යන්නයි. මේ මැතිවර්ණය මුස්ලීම් සමාජයට තීරණාත්මක මැතිවර්ණයක් වන බවට මුස්ලීම් හා මුස්ලීම් නොවන විවිධ පාර්ශවයන් විවිධ කරුණු ගෙනහැර දක්වමින් පවසමින් ඇත. එහිදී පසුගිය කාලවල සිංහල ජාතිවාදී කල්ලීන් මුස්ලීම් සමාජයේ ආගමික හා පොදු අයිතීන්ට කල බලපෑමත්, මුස්ලීම් සමාජයට කල විනාශයත් ඒ සම්බන්ධයෙන් වත්මන් රජය ක්‍රියා කල උදාසීන පිලිවෙතත් ඔවුන්ගේ ප්‍රධාන තර්ක ලෙස ඉදිරිපත් කරමින් ඇත.

එම කරුණු ඉදිරිපත් කරමින් මුස්ලීම් සමාජය බියගැනීමටත්, ඒ තුලින් මුස්ලීම් ජනයාගේ ඡන්ද තමා වෙත ආකර්ශණය කරගන්න පක්ෂ විපක්ෂ ඇතුළු සියළු පාර්ශවයන් කටයුතු කරමින් ඇත. මෙවන් පසුබිමක ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය ද තම ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධ තරමක ව්‍යාකූල තත්වයකට පත්ව ඇත. විශේෂයෙන් ඔවුන් ඉදිරියේ ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ ප්‍රකාශ වන අදහස් එම තත්වය තව තවත් වර්ධනය කරමින් ඇත. එවැනි නිදසුන් කිහිපයක් මෙහි සටහන් කරන්නේ නම්,

  • වත්මන් ජනාධිපති නැවතත් තේරීපත්වූයේ නම්, එය ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ට ඛේදවාචකයක් වනු ඇත. (සමහරක් මුස්ලීම්වරුන්ගේ මෙන්ම විපක්ෂයේ අදහස)
  • වත්මන් ජනාධිපති මුස්ලීම් සමාජයේ වාසනාවට පහල වූ කෙනෙක් (ආණ්ඩුවට සහය දෙන මුස්ලීම් මන්ත්‍රීවරයෙකුගේ ප්‍රකාශය)
  • විපක්ෂ ජනාධිපති අපේකෂක (මෛත්‍රීපාල සිරිසේන) මහතා ජනධිපති වූයේ නම්, එය රටේ සුළු ජාතීන්ට ද යහපතක් වනු ඇත. (සමහරක් මුස්ලීම්වරුන්ගේ මෙන්ම විපක්ෂයේ අදහස)
  • වත්මන් ජනාධිපතිට මුස්ලීම් ජනයාගේ ඡන්ද අවශ්‍ය නැහැ. එතුමාට සිංහල ජනතා ඡන්ද ඇති. (ආණ්ඩුවට සහය දෙන මුස්ලීම් මන්ත්‍රීවරයෙකුගේ ප්‍රකාශය)
  • විපක්ෂයට සහය දැන්වීමට ගිය මුස්ලීම් මන්ත්‍රීවරුන් දේශද්‍රේහීන්, අධිරාජ්‍යවාදීන්ගේ නියෝජිතයන් (ජාතිවාදී සංවිධාන හා ආණ්ඩු පක්ෂයේ ප්‍රකාශ)
  • මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් අපිට තවම ගැටළු තියෙනවා මේ ඡන්දය අවසන් වුනාට පස්සේ ඒවා බලාගන්නවා (ආණ්ඩුවට සහය දෙන ජාතිවාදී සංවිධාන ප්‍රකාශ)
  • මුස්ලීම් මන්ත්‍රීවරුන් විපක්ෂයට සහය දැක්වීමට යාම සමස්ථ මුස්ලීම් සමාජයම අවදානමකට ගොදුරු කිරීමක්. (සමහරක් මුස්ලීම්වරුන්ගේ මතය)
  • සිංහල ජාතිවාදීන් විසින් ‍පසුගිය කාලවල දිගින් දිගටම මුස්ලීම්වරුන්ට හිරිහැර සිදු කරද්දී නිහඩ පිලිවෙතක් අනුගමනය කල රජයට අපි සහය දෙන්නේ කුමකටද? (සමහරක් මුස්ලීම්වරුන්ගේ අදහස)
  • කවුරු ආවත් මුස්ලීම් අපට යහපතක් නම් වෙන්නේ නැහැ. (සමහරක් මුස්ලීම්වරුන්ගේ අදහස)

2015 ජනාධිපතිවර්ණය පදනම් කරගෙන ශ්‍රී ලාංකීය සමාජය තුල මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් සිදුකරන ප්‍රකාශයන් කිහිපයක් ඉහතින් පෙලගසා ඇත. (මෙවැනි තවත් ප්‍රකාශ විශාල ප්‍රමාණයක් පෙලගැසිය හැකි වූවත් රටේ වත්මන් තත්වය හා මේ ලිපියේ වස්තුබීජය වටහා ගැනීමට මෙය ප්‍රමාණවත් යයි සිතන නිසා කිහිපයක් පමණක් සටහන් කරමි.) ඉහත ප්‍රකාශයන් අසන දකින ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට බියක් තැතිගැන්මක් ඇති වීම නොවැලැක්විය හැකි තත්වයකි. එසේම අනාගතය පිලිබදව අවිනිශ්චිත තත්වයක් සිතේ පහලවීමත් නොවැලැක්විය හැකි තත්වයකි.

නමුත් මෙලෙස බියෙන් තැතිගෙන අවිනිශ්චිතභාවයෙන් සිටින මුස්ලීම් සමාජයට අමතකව ගිය කාරණයක් ඇත. ඒ ඈත අතීතයේ පටන් මුස්ලීම් සමාජයේ ඉදිරි ගමනට බාධා කරන මෙවැනි බියවැද්දීම් හා තැතිගැන්වීම් ඉතිහාසයට පුරාවටම දක්නට තිබූ බවයි. මෙය ශුද්ධ වූ කුර්ආනය ද 3-173 මඟින් අණාවර්නය කරයි. මෙහි වැදගත් කාරණය එය නොවේ. එවන් පසුබිමක සැබෑ මුස්ලීම්වරයෙකුගේ නියම ප්‍රතිපදාව වියයුත්තේ කුමක්ද? යන්නයි. එය ද ඉහත 3-173 වාක්‍යය පැහැදිලිව පවසයි. එනම්, එවැනි බියවැද්දීම් තැතිගැන්වීම් සිදුවන විට සැබෑ මුස්ලීම්වරයෙකු තව තවත් දෙවියන්ට සමීප වන අතර ඔහුගේ දේව විශ්වාසය ද තව තවත් වර්ධනය වන බවයි. සර්ව බලධාරී, සර්ව කාලීන අල්ලාහ් (දෙවි) පිලිගෙන ඔහුගෙන් පමණක් උපකාර අපෙක්ෂා කර සිටින සැබෑ මුස්ලීම්වරයෙකු කිසිදු විටෙක කම්පාව වන්නේ නැත. මන්ද එදා එනම්, මීට වසර දහස් ගණනකට පෙර ඉස්ලාම් විරෝධීන් (බයිබලයේ සදහන් ඒබ්බ්‍රහාම්) ඉබ්රාහීම් නබි (සල්) තුමාණන්ව ගින්නට විසි කරන විට අල්ලාහ් (දෙවි) ඒ ගින්නම එතුමාට වසග කොට අධික උණුසුමක් හෝ සිසිලක් නොවී සුවය සලසා දුන් ආකාරය අප ශුද්ධ වූ කුර්ආනය තුල නොදුටුවෙමුද?.

(ඉබ්රාහීම් නබි තමන්ගේ ජනතාවට දේශනා කළ අවස්ථාවේදී) “මොහුව කපා දමනු.නැතහොත් (ගින්නෙහි) වීසි කර දමනු” යයි පැවසීමම ඔහුගේ ජනතාවගේ (එකම) පිළිතුරවිය. (පසුව ඉබ්රාහීම්ව ගින්නෙහි වීසි කළහ). එබැවින් (එම) ගින්නෙන් අල්ලාහ්ඔහුව බේරා ගත්තේය. විශ්වාසය තැබූ ජනතාවට නියත වශයෙන්ම මෙහි සාධකයන් (බොහොමයක්) ඇත.

ශුද්ධ වූ කුර්ආනය 29-24

එදා එලෙස ඉස්ලාම් විරෝධීන් දේව වක්තෘ ඉබ්රාහීම් තුමාණන්ව ගින්නට විසි කරන විට තම දේව අවනත බව තව තවත් වර්ධනය වී කිසිදු එදිරිවාදිකමකට බිය නොවී අල්ලාහ් (දෙවි) කෙරෙහි දැඩි විශ්වාසයෙන් යුතුව සියල්ලට මුහුණදීමේ ප්‍රතිපලය අප දුටුවෙමු. එහිදී එතුමාණන් පැවසූ එකම වදන ‘හස්බුනල්ලාහු වනි‘මල් වකීල්‘ එනම් ‘මේ මොහොතේ මාහට අල්ලාහ් (දෙවි) සර්වප්‍රකාරයෙන්ම ප්‍රමාණවත්‘ යන්න පමණි. එම වදනේ ප්‍රබල බව හා එතුමාට අල්ලාහ් (දෙවි)ගේ සහය පහල වූ ආකාරය අප ඉහත ශුද්ධ වූ කුර්ආන් 29-24 වදනින් දුටුවෙමු. එය ඉබ්රාහීම් නබි තුමාට පමණක් වලංගු වදනක් බවට ඔබ කිසිවිටෙක වැරදි අවබෝධයක් ඇති කරගතයුතු නැත. මෙය සමස්ථ මුස්ලීම් සමාජයටම වලංගු වදනක් බව ශුද්ධ වූ කුර්ආනය වසර 1400 ක් මුළුල්ලේ කියාපායි. එය තවදුරටත් ඔබට තහවුරු කිරීම පිණිස මේ සුන්දර වදන එවැනිම තවත් අවස්ථාවක අපගේ වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් ද පැවසූ මොහොතක් ඔබේ මතකයට ගෙන එන්නට අදහස් කරමි. එනම්,

ඉස්ලාම් විරෝධීන් සියළු අවි ආයුධවලින් සන්නද්ධව පුහුණු යුධ සෙබළුන් 1000 ක් යොදා ගනිමින් මුහම්මද් (සල්) තුමා ඇතුළු මුස්ලීම්වරුන් 320 ක පමණ පොදු ජනතාව සමූල ඝාතනය කරන්නට (බද්ර්) යුද්ධය දියත් කල බවට වූ අසුභ ආරංචිය මුස්ලීම්වරුන්ට පවසමින් ඉස්ලාම් විරෝධීන් එතුමාණන්ව හා එතුමා අනුගාමික මුස්ලීම්වරුන්ව දුර්වල කරන්න කුමණ්ත්‍රණය කල මොහොතේ මුහම්මද් (සල්) තුමාණන් පැවසූ වදන වුයේ ද ‘හස්බුනල්ලාහු වනි‘මල් වකීල්‘ යන්නයි. එය අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ මෙසේ පවසයි.

ඔවුන් කවරෙක් නම්, සැබැවින්ම ජනයා නුඹලාට විරුද්ධව රැස්ව සිටිති. එබැවින්ඔවුනට බියවෙන්නැයි, ඔවුනට ජනයා කී විට එය ඔවුන්ගේ විශ්වාසය වඩාත් ශක්තිමත් කළේය. හස්බුනල්ලාහු වනි‘මල් වකීල් (අල්ලාහ් අපට සර්වප්‍රකාරයෙන්ම ප්‍රමාණවත්ය). අනගිතම ආරක්ෂකයා ඔහු බව ඔවුහු කීහ.

ශුද්ධ වූ කුර්ආනය 3-173

එදා දේව වක්තෘ ඉබ්රාහීම් තුමා අල්ලාහ් (දෙවි) කෙරෙහි කොතරම් විශ්වාසයෙන් යුතුව ‘හස්බුනල්ලාහු වනි‘මල් වකීල්‘ යයි පැවසුවේ ද, එවැනිම විශ්වාසයෙන් යුතුව මුහම්මද් (සල්) තුමාණන් ද අල්ලාහ් (දෙවි) හමුවේ ‘හස්බුනල්ලාහු වනි‘මල් වකීල්‘ යයි ප්‍රාර්ථනා කිරීමේ ප්‍රථිපලය අප බද්ර් සටන තුල නොදුටුවෙමුද?. එයට පහත සිද්ධිය එක් නිදසුනක් පමණි.

ඉබුනු අබ්බාස් (රලි) තුමා පවසයි. බද්ර් යුද්ධය සිදුවන මොහොතේ එක්තරා අවස්ථාවක ඉස්ලාම් විරෝධි පාර්ශවයේ සෙබලෙකු හා හයිසූම් නම් (මුහම්මද් (සල්) තුමා අනුගාමික) සහාභිවරයෙකු අතර දරුණු ගැටුමක් ඇති වී අවසානයේ එම විරුද්ධවාදියා මරණ බියෙන් දුවන්නට විය. ඔහු පසුපස ලුහුබැඳ ගිය හයිසූම් නම් සහාභිවරයාට ඔහුව එක්තරා ස්ථානයක කොටු කරගැනීමට හැකි වූ අතර එලෙස කොටු කරගත් විරුද්ධවාදියා ඝාතනය කරන්න තම කඩුව එසවීමත් සමඟ ‘හයිසූම් ඉදිරියටම යන්න‘ යනුවෙන් හඩක් ඇසෙන්නට විය. ඒ සමඟ ම තම ඉදිරියෙන් සිටින විරුද්ධවාදියාගේ හිස ද පොලොවෙහි පතිත විය. තමා කඩුව එසේව්වා පමණි කැපුවේත් නැත නමුත් තම ප්‍රතිවාදියාගේ හිස පොළොවේ පතිත වුයේ කෙසේද? යන්නත්, තමාට ඇසුනු එම හඬ කුමක්ද? යන්නත් එම සහාභිවරයාට විශාල කුතුහලයක් විය. මේ නිසාම යුද්ධය නිමාවීමෙන් අනතුරුව අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ගෙන් මේ පිලිබදව ඔහු විමසූ විට එතුමාණන් පැවසුවේ ‘එය අහසින් පහල වූ මලාඉකාවරුන් (දේවතාවන්)ගේ සහය‘ යන්නයි.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

බද්ර් යුද්ධය තුල අල්ලාහ් (දෙවි)ගේ සහය මෙලෙස විශ්මිත ආකාරයට මුස්ලීම්වරුන්ට හිමි වූ බව තවත් බොහෝ නබි වදන් තුල (හදීසයන්) තුල දකින්නෙමු. මීට වසර දහස් ගණනකට පෙර ඉබ්රාහීම් (අලෛ) තුමා පැවසූ ‘හස්බුනල්ලාහු වනි‘මල් වකීල්‘ නම්, වදනට පැවතී ජීවය. ඊට වසර දහස් ගණනකට පසුව මුහම්මද් (සල්) තුමාණන් ‘හස්බුනල්ලාහු වනි‘මල් වකීල්‘ යයි පවසන විටත් එලෙසින්ම පැවතියේ නම්, ඒ ජීවය හා දේව සහය ඒ ආකාරයටම අදත් පහල වන බව විශ්වාස කිරීම සෑම මුස්ලීම්වරයෙකුගේම වගකීම මෙන්ම යුතුකම නොවේද?. එය ශුද්ධ වූ කුර්ආනය ද 3-173 මඟින් අවදාරණය කරයි. එසේ තිබිය දී විවිධ පාර්ශවයන්ගේ බියවැද්දීමන් හා තැතිගැනීමන් හමුවේ කම්පාවට පත්වීම වීම සර්ව බලධාරී අල්ලාහ් (දෙවි)ගේ සර්වකාලීන බලය ප්‍රතික්ෂේප කිරීමක් නොවේද? මීට වසර දහස් ගණනකට පෙර ඉබ්රාහීම් නබිතුමාටත් ඊට වසර දහස් ගණනකට පසු මුහම්මද් (සල්) තුමාටත් පිහිට වූ අල්ලාහ් (දෙවි) අද මහලු වී හෝ දුර්වල වී නැත. ඔහුගේ භාග්‍යයයන් අවසන් වී හෝ දොරටු වැසීද නැත. ඔහු සර්ව බලධාරියාය ඔහු සදාතනිකය. එදා ඉබ්රාහීම් තුමාටත්, මුහම්මද් (සල්) තුමාටත් පිහිට වූ ආකාරයට අද අපට පිහිට නොවන්නේ නම්, එය අල්ලාහ් (දෙවි)ගේ දුර්වලතාවය නොව අපගේ ඊමානයේ තිබෙන දුර්වලතාවයයි. එදා ඉබ්රාහීම් (අලෛ) තුමා දැවෙන ගිනි ජාලාවට වැටෙන විට ගින්නෙහි ස්වභාවය හොදින් දැන සිටියදීත් කොතරම් විශ්වාසයෙන් යුතුව ‘හස්බුනල්ලාහු වනි‘මල් වකීල්‘ යයි පැවසුවාද?. සියළු පහසුකම්වලින් සන්නද්ධ පුහුණු යුධ සෙබළුන් 1000 ක් සමඟ ඉතා දුර්වල මට්ටමේ සිටී සීමිත මුස්ලීම්වරුන් පිරිසක් නිසි අවිආයුධ පවා නොමැතිව මරණය පෙනි පෙනී යුද්ධයට සමභාගි වෙමින් ඒ අභියස හිඳ මුහම්මද් (සල්) තුමාණන් ‘හස්බුනල්ලාහු වනි‘මල් වකීල්‘ යයි පැවසුවාද?. එසේනම් එවන් වූ විශ්වාසයක්, ඔහුගේ උපකාරය කෙරෙහි වූ ඒ විශ්වාසයක් වර්ථමානයේ අප තුල ගොඩනඟා ගතයුතුව ඇත.

අල්ලාහ් (දෙවි)ට පමණක් බිය වන ඔහුගේ සහය කවදත් බලාපොරොත්තුවෙන් කටයුතු කරන පිරිසක් බවට අප පත්වූයේ නම්, විවිධ වූ මැතිවර්ණ රූකඩවලට බියව තැතිගෙන කටයුතු කිරීමට හෝ අනාගතය පිලිබදව බියවීමට අවශ්‍ය නැත. කලයුතු වන්නේ අල්ලාහ් (දෙවි) අපට සර්වප්‍රකාරයෙන්ම ප්‍රමාණවත් (හස්බුනල්ලාහු වනි‘මල් වකීල්) යන විශ්වාසයෙන් යථාර්ථයට මුහුණදීම පමණි. ශුද්ධ වූ කුර්ආනයේ 3-173 වාක්‍යයෙන් පවසනවා සේ “…සැබැවින්ම ජනයා නුඹලාට විරුද්ධව රැස්ව සිටිති. එබැවින් ඔවුනට බියවෙන්න…‘ යයි අද ශ්‍රී ලංකීය මුස්ලීම්වරුන්ට ද පැවසීම අප නිතර අත්විඳින තත්වයකි. එවැනි බිගැන්වීම් තර්ජන අප ඉදිරියේ පැවසෙන විට එදා සහාභාවරුන්ගේ ඊමානය ශක්තිමත් වූවාසේ (‘…(දෙවියන් කෙරෙහි)ඔවුන්ගේ විශ්වාසය වඩාත් ශක්තිමත්විය…‘) අපේ ‘ ඊමානය‘ ද ශක්තිමත් වියයුතුව ඇත.

එවන් ශක්තිමත් විශ්වාසයෙන් යුතුව එසේම සියළු බියවැද්දීම්, තර්ජන, සැක අනුමාන පසෙක තබා රට, ජාතිය, ආගම මෙන්ම සමස්ථ මනුෂ්‍ය යහපත උදෙසා නොබියව යහපත් තීන්දු තීරණ මුස්ලීම්වරුන් ගතයුතුව ඇත. එ් සදහා 2015 ජනාධිපතිවර්ණය ද එක් අවස්ථාවකි. ඉස්ලාම් දහම මුස්ලීම්වරයෙකුට අණ කරන්නේ සලාතය, සකාතය, හජ්, උපවාසය හා අනිකුත් දේව නැමදුම් යන්න පමණක් නොවේ. ඉස්ලාම් එවැනි පටු රාමුවක කොටු වූ දහමක් ද නොවේ. රටට යහපත් පාලකයෙකු තොරා ගැනීමත්, එවැනි යහ පාලනයක් හා පාලකයෙකු පත්වීමට අල්ලාහ් (දෙවි)ගෙන් ප්‍රාර්ථනා කිරීමත්, ඔහුගේ පාලනයට අවනතව කටයුතු කිරීමත්, පාලකයන්ගේ වැරදි පෙන්වාදීමට ඉදිරිපත් වීමත්… ඉස්ලාම් මුස්ලීම්වරයෙකුට පෙන්වාදෙන යහපත් ආදර්ශයන් බිඳකි. ඔබ එම වගකීම පැහැර හරින්නේ නම්, එය සමස්ථ සමාජයටම කරන හානියක් මෙන්ම ඉස්ලාම් පවරන වගකීම් පැහැර හැරීමක් වන අතර එය ඔබ අල්ලාහ් (දෙවි) හමුවේ ද වරදකරුවෙකු වීමට හේතු වනු ඇත.

එම කාරණය දැඩිව ඔබේ අවදානයට තබමින් අවසාන වශයෙන් මේ ලිපිය නිමා කරන්නේ ලිපියේ මාතෘකාව වන ‘2015 ජනාධිපතිවර්ණය‘ පිලිබදව කෙටි සටහනක් තබමිනි. මේ මැතිවර්ණය තුල මුස්ලීම්වරයෙකු තීන්දු තීරණ ගතයුත්තේ ඉස්ලාමීය රාමුව තුල හිඳ සමස්ථ රටේ මෙන්ම මුස්ලීම්වරුන්ගේ ආගමික හා සමාජීය නිදහස පදනම් කරගෙන මිස විවිධ වූ අපේක්ෂකයන්ගේ ආකර්ශණීය හා සුන්දර වදන්වලට හෝ බියගැන්වීම්වලට රැවටී නම් නොවේ. විශේෂයෙන් මෑත කාලයක සිට මේ රටේ මුස්ලීම් ජනතාවට රට තුල නිර්මාණය වෙමින් තිබෙන තත්වය පිලිබදව ඔබේ දැඩි අවදානය මේ මොහොතේ යොමු කලයුතුව ඇත. ඒ අමිහිරි අතීතයන් අමතක කොට, (මෙහි Click කොට එවැනි සිද්ධීන් කිහිපයක් කියවීමට පූළුවන) සහෝදර මුස්ලීම් ජනතාවගේ ලේ, කඳුළු අමතක කොට, මුස්ලීම් දුවා දරුවන්ගේ අනාගතය අඳුරු කරන තීන්දු තීරණවලට ඔබ කිසිදු විටෙක නොයායුතුය. ඔබ ලබාදෙන ඡන්දය එකම එක මනාපයක් වූවත් එය රටේ ඉරණම වෙනස් කරන්න තරම් ප්‍රබල බව ඔබ අමතක නොකරන්න. එවන් වටිනා තීන්දුව පටු අරමුණු හා වාසී තුලට කොටු නොකොට රට, ජාතිය, ආගම පෙරටු කර ශ්‍රී ලාංකීය සියළු ජාතීන් එකින් එකා ගරු කරන, එසේම එකින් එකා සමඟියෙන් වෙසෙන, එසේම එකින් එකාට මෛත්‍රී කරන, එපමණක් නොව රටට සුභ අනාගතයක් උදා කරන යහපාලනයක් උදෙසා පමණක් භාවිතා කරන්න. ඒ සදහා 2015/01/08 දින උදෑසනම ඔබේ ඡන්දය භාවිතා කරන්න. ඒ ඉල්ලීම සිදු කරමින් මේ ලිපිය නිමා කරන්නේ,

‘ඔබේ අනාගත බලාපොරොත්තුව, පැතුම ප්‍රාර්ථනයක් ලෙස අල්ලාහ් (දෙවි) හමුවේ පමණක් තබන්න. මුස්ලීම් අපට අල්ලාහ් (දෙවි) සර්වප්‍රකාරයෙන්ම ප්‍රමාණවත් වේ !‘

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/27

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම