2023 නව වසර උදාව

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


ක්‍රිස්තු වර්ෂ 2023 දැන් උදා වී ඇත. මෙම 2023 වර්ෂ උදාව ලොවපුරා වෙසෙන අති බහුතර ජනයා උත්සව ආකාරයෙන් සමරමින් සිටින මොහොතක, එසේම විවිධ ආකාරයේ සුබපැතුම් ප්‍රකාශ කරමින් සහ සමාජ මාධ්‍යයන් හරහා පතුරවමින් සිටින මොහොතක, කවදත් කාලීන මාතෘකා ඉස්ලාම් දහමේ දෘෂ්ඨියෙන් විමසා බලන මෙම ‘යහමග’ අඩවිය ‘2023 නව වසර උදාව’ යන විෂය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් පාඨක ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නට අදහස් කරමි.

එහි ආරම්භයේදීම ඉස්ලාම් දහමේ මූලාශ්‍රයක් වන අල්-හදීසයෙන්, හදිසයක් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නට අදහස් කරමි. එනම්,

මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසා ඇත.

‘කවරෙකු තවත් ජන සමාජයක සංස්කෘතීන් අනුකරණය කරන්නේද?. ඔහුත් ඔවුන් අතරම කෙනෙකු වේ’

මූලාශ්‍ර ග්‍රන්ථය – අබූ දාවූද්

ඉහත හදීසයට අනුව ඉස්ලාම් දහමට ආවේනික සංස්කෘතියක් තිබියදී ඊට පරිභාහිර ‘ජහිලියා’ සංස්කෘතීන් අනුගමනයට හෝ අනුකරණයට ඉස්ලාම් දහම තුල අවසර නැත. ඒ අනුව ‘ක්‍රිස්තු වර්ෂ නව වසර උදාව’ යන්න කිතුණු සමාජයේ යම් යම් ආගමික විශ්වාසයන් පදනම් කරගෙන නිර්මාණය වූ සංස්කෘතියකි. එය පදනම් කරගෙන විවිධ සැමරුම් ඉටුකිරීමට මුස්ලීම් සමාජයට ඉස්ලාම් දහම තුල අවසර නැත. එපමණක් නොව මුස්ලීම් සමාජයටම ආවේනික මුස්ලීම් ජනයා භාවිතා කරන දින දර්ශනයක් වෙනම ඇත. එය ‘හිජ්රි දින දර්ශනය’ යනුවෙන් හදුන්වයි. ‘හිජ්රි’ දින දර්ශනය හෙවත් ඉස්ලාමීය දින දර්ශකයට අනුව ද වර්ෂය වී තිබෙන්නේ මාස 12 ක් පදනම් කරගෙනය. එය අල්-කුර්ආනයේ අල්ලාහ් (දෙවි) මෙසේ පවසයි.

“අහස හා පොලොව මැවූ දා පටන් අල්ලාහ් (දෙවියන්) හමුවේ (වර්ෂයකට) මාස ගණන 12 කි”

අල්කුර්ආනය 9-36

ඉහත අල්කුර්ආන් වාක්‍යයට අනුව ඉස්ලාමීය වර්ෂයටත් මාස 12 ක් යන්න පැහැදිලිය. නමුත් එම මාසයන් හි දින ගණන වත්මන් ක්‍රිස්තු වර්ෂ කැලැන්ඩරයට සාපේක්ෂව වෙනස් වේ. එනම්, ජාත්‍යන්තර දින දර්ශනයට අනුව දින 28, 29, 30 හෝ 31 ක් මාසයක් ලෙසත් මාස 12 ක් වර්ෂයක් ලෙසත් සලකයි. නමුත් ඉස්ලාමීය දින දර්ශනයට අනුව මාසයකට දින ගණන දින 29 හෝ 30 පමණි. එයට හේතුව මාසය ගණනය කිරීම සිදුවන්නේ චන්ද්‍රයා මූලික කරගෙන වීමය. (මේ විෂය පිලිබදව වැඩි විස්තර සදහා ‘යහමග’ අඩවිය තුල දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇති පහත ලිපි කියවන්න)

මේ අනුව මුස්ලිම් සමාජයට නව වසර උදාව සිදුවන්නේ ‘හිජ්රි’ දින දර්ශනයට අනුවය. එසේම ඉස්ලාමීය දින දර්ශනය අනුව මුල්ම මාසය වන්නේ මුහර්රම්’ නම් මාසයයි. ඒ අනුව මෙම වර්ෂයේ මුස්ලීම් සමාජයේ නව වසර උදාව සිදුවන්නේ හිජ්රි 1444 මුහර්රම් 01 දිනයි. මෙය වත්මන් ජාත්‍යන්තර දින දර්ශනයට අනුව 2023 ජූලි 19, 20 හෝ 21 දිනට යෙදී තිබේ. (චන්ද්‍රයා පදනම් කරගෙන මාසය ආරම්භය හා අවසානය තීරණය වන නිසා එම දිනය නිශ්චිතවම අද පැවසිය නොහැක.)

මෙතෙක් සාකච්චා කල කරුණුවලට අනුව වත්මන් 2023 ජනවාරී 01 දිනය මුස්ලීම් සමාජයට සුවිශේෂි දිනයක් නොවන බව ඔබට දැන් පැහැදිලි වියයුතුය. එසේම මුස්ලීම් සමාජයට ආවේනික ‘හිජ්රි’ දින දර්ශනයට අනුව උදාවන මුහර්රම් 01 දිනය වූවද උත්සව ආකාරයෙන් සැමරීමට හෝ විවිධ ආකාරයේ සුබ පැතුම් ප්‍රකාශ කිරීමට ඉස්ලාම් දහම තුල මඟපෙන්වීමක් හෝ ආදර්ශයක් නොමැති බවද අප තේරුම් ගතයුතුය. එයත් අනිකුත් දිනයන් මෙන්ම තවත් සාමාන්‍ය දිනයක් යන්නයි ඉස්ලාම් දහමේ ඉගෙන්වීම.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ මරණින් මතු දිවිය හා එහි යහපත් අයහපත් ක්‍රියා විනිශ්චය කිරීම පිලිබදව විශ්වාසයෙන් යුතුව මොහොතින් මොහොත, දිනෙන් දින, වසරෙන් වසර මරණය කරා පියමනින මුස්ලීම්වරයෙකු හට නව වසරක උදාව යනු කිසිසේත් සැමරුම් දිනයක් නොව ඉතා බියකරු තීරණාත්මක දිනයකට සමීප වීමක් පමණි. ඒ පිලිබදව අල්කුර්ආනය පවසන අවවාදයක් පහතින් ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම සටහන අවසන් කරමි.

තමන් කර ඇති යහපත් දේ ද, තමන් කර ඇති අයහපත් දේ ද තමන් ඉදිරියේ දිස්වෙන (මරණින් මතු) දිනය පැමිණි විට, ඔහුට සිතෙනු ඇත්තේ, එය (අයහපත් දේ) හා තමන් අතර දීර්ඝ පරතරයක් වී නම්, (කෙතරම් අගේද) යනුවෙනි. තමාට බියවන ලෙස අල්ලාහ් (දෙවි) නුඹලාට අනතුරු ඇඟවයි.

අල්කුර්ආන් 3-31

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/12/31

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම