ආදර්ශමත් කාන්තාව - උම්මු උමාරා (රලි) තුමිය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


යහමග අඩවිය තුල කථා කරන ආදර්ශමත් කාන්තාව නම් ලිපි පෙලෙහි අදත් ආදර්ශමත් වීර කාන්තාවක් පිලිබදව කථා කිරීමට අදහස් කරමි. ඇය නමින් උම්මු උමාරා (රලි) තුමියයි. රන් අකුරින් ලියවිය යුතු ඉතිහාසයකට උරුමකම් කියන ඇයගේ චරිතය සහ ඇය ඉතිහාසය තුල සුවිශේෂි වූයේ ඇයිද? ඇයගේ චරිතය අපට ආදර්ශමත් වන්නේ කෙසේද? වැනි කරුණු මෙම ලිපිය තුලින් පෙලගසන්නට අදහස් කරමි. (එම සාකච්චාවට යොමු වීමට ප්‍රථම මෙම "ආදර්ශමත් කාන්තාවන්" යන ගොනුව යටතේ යහමග අඩවිය තුල පලකල අනිකුත් ලිපි මෙහි පහතින් ඔබේ අවදානය පිණිස පෙලගසමි.)

උම්මු උමාරා (රලි) මූලික තොරතුරු

නසීබා බින්ති ක:බ් (රලි) නම් වූ එතුමිය (මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීන) සහාභිවරියකි. ඉස්ලාමීය ඉතිසාහය තුල වීර චරිතයක් වූ ඇය ඉතිහාසය තුල ප්‍රසිද්ධ වී ඇත්තේ උම්මු උමාරා යන නමිනි. “කස්රජ්” නම් ගොත්‍රයේ උපන් ඇය දෙවරක් විවාහ වූ දරුවන් හතර දෙනෙකුගේ මවකි. එතුමියගේ මූලික පවුල් තොරතුරු කෙටියෙන් මෙහි සදහන් කරන්නේ නම්,

  • උපන් පවුල - අන්නජ්ජර්
  • පළමු විවාහය - සෙzයිද් බින් ආසීම් සමගය.
  • දෙවන විවාහය - හුස්සිzයා බින් අම්ර් (රලි) තුමා සමගය
  • දරුවන් - පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවන් එක් කෙනෙකි. එනම්,
  1. අබ්දුල්ලාහ් (රලි) තුමා
  2. හුබෙයිබ් (රලි) තුමා
  3. තමීම් (රලි) තුමා
  4. කහව්ලා (රලි) තුමිය

ඉහත නම් සදහන් පිරිස අතුරින් එතුමියගේ පළමු සැමියා වන සෙzයිද් බින් ආසීම් ඉස්ලාම් දහම වැළදගත්තේද? යන කාරණය සම්බන්ධයෙන් ඉතිහාස කරුණූවල නිවැරදි සටහනක් දක්නට නොලැබේ. නමුත් එතුමියගේ දෙවන සැමියා සහ දරුවන් ඉස්ලාම් දහම වැළදගත් බවට පැහැදිලි සටහන් ඉතිහාසය සටහන් හි දක්නට ලැබේ.

ඉස්ලාම් දහම පිලිගැනීම

ඉස්ලාම් දහම ආරම්භ වූ මක්කා සමාජය සැලකූ විට, එම සමාජය තුල ඉස්ලාම් දහම් ප්‍රචාරය මුස්ලීම් ජනයා හට ඉතා දුෂ්කර හා කටුක එකක් විය. ඉස්ලාම් විරෝධීන්ගේ විවිධ වූ වධහිංසනයන් මධ්‍යයේ දහම ප්‍රචාරය කරන්නට සිදුවියේ ඉතා රහසිගතවය. මෙවැනි සමාජ පසුබිමක ඉස්ලාම් දහම ඉගෙනීම හා ඒ පිලිබදව දැනගැනීම පිණිස මදිනාවෙන් මක්කාවට කණ්ඩායමක් පැමිණෙන ලදී. එසේ මදීනාවෙන් මක්කාවට පැමිණි පිරිස් අතර කාන්තාවන් දෙදෙනෙකු වූ අතර එම කාන්තාවන් දෙදෙනා අතර උම්මු උමාරා (රලි) තුමියද විය. ඒ අනුව උම්මු උමාරා (රලි) තුමිය මක්කාවේ දී මුහම්මද් (සල්) තුමාණන් හමුවී ඉස්ලාම් දහමට තම පක්ෂපාතීත්වය ප්‍රකාශ කොට “අකබා” (AQABAH) එකඟතා පොරොන්දුව ලබාදුන් අතර එසේ ඉස්ලාම් දහම වැළදගත් (මදීනා වාසී) අන්සාරි කාන්තාවන් කිහිපදෙනා අතර ඇය ප්‍රධාන කෙනෙකු විය.

වීරත්වය හා කැපවීම

මුස්ලීම්වරුන්ට එරෙහිව විවිධ වූ වධහිංසන පමුණුවමින් කටයුතු කල ඉස්ලාම් විරෝධීන්ට එරෙහිව දියත්කල ඉස්ලාමීය ඉතිහාසයේ තීරණාත්මක යුද්ධය උහුද් යුද්ධයයි. මෙම උහුද් සටන සදහා උම්මු උමාරා (රලි) තුමිය තම දෙවන විවාහක ස්වාමිපුරුෂයා වන අම්ර් (රලි) තුමා සහ තම පළමු විවාහයේ උපන් දරුවන් දෙදෙනා වන අබ්දුල්ලාහ් (රලි) සහ හුබෙයිබ් (රලි) තුමා සමඟ සහභාගි විය. එම උහුද් සටන මුස්ලීම්වරුන්ට විශාල වශයෙන් හානි සිදුවූ සටනක් වූ අතර එම සටනේ දී තුවලකරුවන්ට ඇපඋපස්ථාන කිරීමෙහි පෙරමුණගෙන කටයුතු කලේ උම්මු උමාරා (රලි) තුමියයි. මෙසේ යුද තුවාලකරුවන්ට උපකාර කරමින් සිටින අතරතුර මුස්ලීම්වරුන් පසුබසිමින් මුහම්මද් (සල්) තුමාණන් යුධ පිටියෙහි හුදෙකලා වෙන ආකාරයක් ඇය දුටුවේය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ උම්මු උමාරා (රලි) තුමිය කඩුවක් අතට ගෙන මුහම්මද් (සල්) තුමාණන්ගේ ආරක්ෂාවට යුධ පිටියට බැස්සේය. එසේ සටන් බිමට බැස්ස ඇයගේ වීරත්වය පිලිබදව මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පැවසීය,

මා යුද බිමේ කුමන දිශාවට හැරුනද ඇය මාව ආරක්ෂා කරන ආකාරය මට පෙනුනි.

මූලාශ්‍රය - අල්හදීස්

එහිදී ඇය ඉස්ලාම් විරෝධීන් සමඟ ඉතා උද්යෝගයෙන් සටන් වැද ඔවුනට ප්‍රතිප්‍රහාර එල්ල කල බව ඉතිහාස සටහන් හි සදහන් වේ. කෙසේ වෙතත් එහිදී එතුමිය දරුණු කැපුම් තුවාල 12 කට පමණ ලක් වූ බවත් සදහන් වේ. එහිදී ඉබුනු කමියා නම් සතුරෙකුගෙන් තම උරහිසට එල්ල වූ දරුණු හා බරපතල කැපුම් තුවාලයකින් උම්මු උමාරා (රලි) තුමිය වසරක පමණ කාලයක් දුක්විඳී බවත් ඉතිහාස ග්‍රන්ථයන් හි සදහන් වේ. එම යුධ බිමේ තත්වය වරක් උම්මු උමාරා (රලි) තුමිය විසින් ම විස්තර කර තිබුණේ මේ ආකාරයටය.

උහුද් සටන මොහොතේ දස දෙනෙකුටත් වඩා අඩු කණ්ඩායමක් ඉතිරි වන තුරු මිනිසුන් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් ඈත් වී ඇති බව මා දුටුවා. එවිට මමයි, මගේ දරුවෝ දෙන්නයි, මගේ ස්වාමියායි එතුමාගේ ආරක්ෂාවට එතුමා ඉදිරියේ සිටගත්තා. මගේ අතේ පලිහක් නොමැති බව දුටු නබිතුමාණන් කලබල වී යුද බිමේ පලිහක් අතැතිව පසුබසිමින් සිටී කෙනෙකු දෙස හැරී ඔය පලිහ යුධ කරන ඇයට දෙන්න යැයි පැවසුවා. එවිට ඔහු එම පලිහ මා වෙත විසිකල අතර එය මා අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් ආරක්ෂා කිරීමට භාවිතා කලා.

එදා එම සටනේ අපට පහර දුන්නේ අශ්වාරෝහක හමුදාවයි, ඔවුන් අප මෙන් පා ගමනින් සිටියා නම්, ඔවුන්ව පහසුවෙන් පරාජය කරන්න තිබුණා. ඉතින් අශ්වයෙක් පිට ඇවිත් අපට ගැහුවාම අපට ඔහුට කඩුවෙන් මොකුත් කරන්න බැරි වුණා. එමනිසා මා කලේ අශ්වයා මා පසුකොට යනවිට මාගේ කඩුවෙන් එම අශ්වයාගේ කකුලේ නහරයට පහරදීමයි. එවිට එම අශ්වයා පිට යන සතුරා අශ්වයාත් සමඟ බිම ඇද වැටුනා එවිට නබිතුමාණන් හඬ නඟා මාගේ පූතාට උම්ම් උමාරාගේ පුතේ, ඔයාගේ අම්මට උදව් කරන්න... ඔයාගේ අම්මට උදව් කරන්න... යනුවෙන් පැවසුවා. ඒ මොහොතේ මම ඒ සතුරාව මරා දැමු අතර එයට මගේ පුතා මට උදව් කළා.

ඒ එදා උහුද් සටනේ යුද අත්දැකීම් එතුමිය බෙදාගත් ආකාරයයි. ඉස්ලාමීය යුද්ධයන් හි කාන්තාවන් කෙටුව යන්නේ යුද තුවාලකරුවන්ට උපකාර කිරීම පිණිසයි. එසේ ගිය උම්මු උමාරා (රලි) තුමිය අන්තිමේදී "යුද සටන්කරුවෙකු" යන තැනට තල්ලු වූයේ එම සටන් බිමේ ඇති වූ තීරණාත්මක තත්වයත් සමගයි. මෙලොව සෑම මුස්ලීම්වරයෙකුම තම ප්‍රාණයට වඩා මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය දැක්විය යුතු යන්න ඉස්ලාම් දහමේ මූලික කොන්දේසියයි. එය 100% ඒ ආකාරයට පිලිපැද එය ඉස්ලාමීය ලෝකයට ආදර්ශයක් ලෙස ක්‍රියාවට නැංවූ ඇය කොතරම් වීර එසේම දෛර්‍යවන්ත කාන්තාවක්ද?. එතුමියගේ මෙම එඩිතරකම හා කැපවීම තවදුරටත් හොදින් මතු කොට පෙන්වන තවත් සිද්ධියක් වෙත ඔබේ අවදානය යොමු කරන්නේ නම්,

උහුද් සටනේ මුස්ලීම්වරුන්ට දරුණූ ප්‍රහාරයක් එල්ල වූ මොහොතේ එම යුධ බිමේ දරුණු ලෙස තුවාල ලබා ලේ ගලමින් සිටිනු සිටින උම්මු උමාරා (රලි) තුමිය දුටු නබිතුමාණන් ඇයගේ පුතා වන අබ්දුල්ලාහ් (රලි) තුමාට ඔබේ මවගේ තුවාලයට වෙළුම් පටියක් බඳින්න යනුවෙන් පවසා. ඒ සමඟ ම ඔවුන් සැබවින්ම විශිෂ්ට පවුලක්, අල්ලාහ් (දෙවි) ඔවුනට ආශීර්වාද කරත්වා! යනුවෙන් ප්‍රාර්ථනාවක්ද කලේය. නබිතුමාණන්ගේ තොල්වලින් එම ප්‍රාර්ථනාව ඇසූ උම්මු උමාරා (රලි) සහ අබ්දුල්ලා (රලි) යන දෙදෙනාම මහත් සතුටට පත් වූහ. එසේම එම ප්‍රාර්ථනය ඔවුන්ගේ උද්යෝගය තවත් ඉහළ නැංවීය. එමනිසා නව ජවයකින් යුධ පිටියට නැවත පිවිසීය.

එවිට එහිදී එතුමියගේ පුතාගේ වම් අතට දරුණු ලෙස තුවාල සිදුවිය. එවිට නබිතුමාණන් වහාම ඔහුගේ තුවාලයට වෙළුම් පටියක් යොදන්න යනුවෙන් පැවසීය. එවිට ඒ දෙස බැලූ උම්මු උමාරා (රලි) තුමියට තම පුතා අධික ලෙස ලේ ගලමින් සිටිනු දුටුවේය. වහා තම පුතු වෙත දිවවිත් ඔහුට වෙළුම් පටියක් බැඳ ධෛර්යය නැති කර නොගන්න. සතුරාට එරෙහි ප්‍රහාරයන් දිගටම කරගෙන යන්න යනුවෙන් තම පුතාව දිරිගැන්වීය. මව සහ පුතා අතර සිදුවෙන මෙම සංවාදය දුටූ නබිතුමාණන් සිනාහසෙමින් මෙසේ පැවසීය.

'අනේ උමාරා, ඔබ වැනි කෙනෙකුට ධෛර්යය ලැබෙන්නේ කොහෙන්ද?'

නැවතත් යුධ පිටියට පිවිස සටන් කරන අතරතුර තම පුතාට තුවාල කල එම සතුරා උම්මු උමාරා (රලි) තුමිය හා සම්මුඛ විය. ඇත්තටම එම මොහොතේ ඇයට ඔහුව පේනවා දුන්නේ නබිතුමාණන් විසින්ය. එවිට ඇය ඔහුට දරුණූ ලෙස ප්‍රහාර එල්ල කොට ඔහුගේ කකුල් දෙක කපා දැමුවේය. එය දුටු නබිතුමාණන් තම දත් පිටතට පෙනෙන තරමට සිනාසෙමින් උම්මු උමාරා!, ඔබ ඔහුට දඬුවම් කළා යැයි පැවසීය. එහිදී එම සතුරා බිම ඇද වැටුනු විට තවත් මුස්ලීම්වරුන් කිහිපදෙනෙකු එක් වී එම ස්ථානයේදීම ඔහුව ඝාතනය කලේය. එවිට නබිතුමාණන් නැවතත් මෙසේ පැවසීය.

ඔබේ සතුරන්ගේ විඩාවෙන් ඔබේ ඇස් සිසිල් කර, ඔබේ ඇස් ඉදිරිපිට ඔබේ සතුරන් පළිගැනීමට සලස්වා ඔබට ජය හිමිකර දුන් අල්ලාහ්ට සියලු ප්‍රශංසා හිමිවේවා!

මෙසේ නිර්භීත සටන් කරන උම්මු උමාරා (රලි) තුමිය සටන් බිමේ හිඳ, සටන් කරන අතරතුර එනම්, සටන් ඝෝෂාව මැද, කඩු ගැටෙමින්, ඊතල හිසට ඉහළින් පියාසර කරමින්, මිනිසුන් මරණ වේදනාවෙන් කෑගසමින් මිය යන හඬ මැද හිඳ මුහම්මද් (සල්) තුමාණන්ගෙන් ආයාචනාවක් කලේය. එනම්,

"අල්ලාහ්ගේ දූතයාණෙනි!, ස්වර්ගයේ අපව ඔබගේ සහකරුවන් (මිතුරන්) බවට පත්කරන ලෙස අල්ලාහ් (දෙවි)ගෙන් ප්‍රාර්ථනා කරන්න !"

යනුවෙනි. එයට මුහම්මද් (සල්) තුමාණන්

"යාඅල්ලාහ්, ඔවුන්ව ස්වර්ගයේ මාගේ සහකරුවන් කරත්වා!".

යනුවෙන් ප්‍රාර්ථනා කලේය.

යුද බිම සතුරාගේ කඩුව අභියස හිඳ පවා ඇය සිහින මැවුයේ මරණින් මතු දිවිය සුන්දර එකක් වීමටය. ඒ අරමුණ දිනාගැනීම වෙනුවෙන් ඇය කටයුතු කලේ තම දිවිය පරදුවට තබමිනි. එමනිසා අතීත ආරම්භක මුස්ලීම් සමාජය ශක්තිමත් කරන්න එතුමිය තම ක්‍රියාකාරී දායකත්වය නොදුන් යුද්ධයක් නොමැති තරම් යැයි සිතෙන තරමට විය. තම පවුලම ඉස්ලාම් දහමේ උන්නතිය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා සටන් කල අතර එතුමිය දායකත්වය ලබාදුන් සටන් ද විශාල සංඛ්‍යාවක් විය. එවැනි කිහිපයක් ඔබගේ වැඩිදුර දැනගැනිම පිණිස මෙහි පෙලගසන්නේ නම්,

  • උහුද් සටනට අමතරව,
  • කයිබර් සටනට කාන්තාවන් විස්සක් සහභාගී වූ අතර ඒ අතර උම්මු උමාරා (රලි) ද කෙනෙකි.
  • හුනායින් සටනේදී ද ඇය ඇයගේ දායකත්වය ලබාදුන්නේය.
  • හුදෙයිබියා (බයියතුල් රිල්වාන්) පොරොන්දුවට එක්වීම
  • යමාමා යුද්ධයට ද දායකවිය,
  • ඇය අකබා පොරොන්දුවට එක්වූ සහාභිවරියකි.

තම පුතා හුබෙයිබ් (රලි) ඝාතනය වීම

එදා මේ ආකාරයට ඉස්ලාම් විරෝධීන්ගෙන් ඉස්ලාම් දහම සහ මුස්ලීම් සමාජය ආරක්ෂා කිරීමට සටන් ක්‍රියාත්මක වෙද්දී තවත් පසෙකින් ඉස්ලාම් විරෝධින් මුස්ලීම් සමාජය තුල විවිධ කුමන්ත්‍රණද ක්‍රියාවට නංවන්නට විය. එම කුමන්ත්‍රණ අතුරින් බොරු නබි හෙවත් බොරු වක්තෘවරුන් එවකට සමාජය තුල මතුවීම මහා ගැටළුවක් විය. මෙය නබිතුමාණන්ගේ වක්තෘ මෙහෙවරට විශාල බාධාවක් විය. එමනිසා මුස්ලීම් සමාජය තුල මතුවෙමින් තිබෙන මෙම බොරු නබිවරුන් පාලනය කිරීම පිණිස එවකට සමාජයේ "තමාත් නබිවරයෙක්" යැයි ප්‍රචාරය කරමින් සිටී ප්‍රධාන මිත්‍යාදෘෂ්ඨිකයෙකු වූ මුසෙයිලමා නම් වූ මිත්‍යාදෘෂ්ඨිකයා වෙත තම නියෝජිතයෙක් යවන්නට නබිතුමාණන් තීරණය කලේය.

ඒ අනුව තම දූත පණිවුඩය මුසෙයිලමා වෙත රැගෙන යන නියෝජිතයා ලෙස නබිතුමාණන් තෝරා ගත්තේ උම්මු උමාරාගේ පුත්, හුබෙයිබ් (රලි) තුමාවය. නබිතුමාණන් විසින් හුබෙයිබ් (රලි) තුමාව ගෙන්වා මුසෙයිලමා වෙත ගොස් ඔහුගේ මිත්‍යා ප්‍රචාරයන් වහා නවතා යහමගට එන ලෙස පවසන්න යන පණිවුඩය ලබාදී මුසෙයිලමා වෙත ඔහුව පිටත්කර යැවීය. නමුත් එහිදී සිදුවූයේ “නියෝජිතයන්ට කිසිවක් නොකලයුතුයි” යන රාජ්‍ය තාන්ත්‍රික සම්මතයන් සියල්ල බිඳ දමමින් මුසෙයිලමා හුබෙයිබ් (රලි) තුමාව අත්අඩංගුවට ගෙන කණුවක බැඳ තැබීමය. එසේ කණුවක බැඳ තැබීමෙන් නතර නොවූ මුසෙයිලමා හුබෙයිබ් (රලි) තුමාගෙන් මෙසේ ප්‍රශ්න කලේය.

  • මුසයිලමා - "මුහම්මද් අල්ලාහ්ගේ දූතයා බව ඔබ සාක්ෂි දරනවාද?"
    • හුබෙයිබ් (රලි) - “ඔව්”
  • මුසයිලමා - "මම අල්ලාහ්ගේ දූතයා බව ඔබ සාක්ෂි දරනවාද?"
    • හුබෙයිබ් (රලි) - "මා බිහිරි, මට කිසිවක් නොඇසේ"

මුසෙයිලමා නැවත නැවතත් හුබෙයිබ් (රලි) තුමාගෙන් ඉහත පැනය විමසූවත් හුබෙයිබ් (රලි) තුමාගේ එකම පිලිතුර වූයේ මා බිහිරි, මට කිසිවක් නොඇසේ යන්නයි. මෙයින් දැඩිව කෝපයට පත් මුසෙයිලමා හුබෙයිබ් (රලි) තුමාව කෑලි කෑලිවලට කපා ඝාතනය කලේය. ඉස්ලාම් දහමේ ස්ථීරව හිඳිමින් තම ප්‍රාණ පරිත්‍යාග කළ හුබෙයිබ් (රලි) තුමාගේ මරණය උම්මු උමාරා (රලි) තුමියට දැඩි කම්පාවක් ගෙනදෙන එකක් වූවත් එය ඇය එම මොහොතේ ආදර්ශවත් ව ඉවසා විඳදරා ගත්තේය.

හුදෙයිබියා පොරොන්දුවට එක්වීම

මෙසේ කාලයක් ගතවන විට මදීනාවාසී මුස්ලීම්වරුන් මක්කාවට ගොස් එහි ශුද්ධ වූ දේවස්ථානයේ උම්රා නැමදුම ඉටුකිරීමට සැලසුම් කොට මක්කම බලා කණ්ඩායමක් පිටත් වුණි. නමුත් ඒ වනවිට මක්කාව පැවතුනේ ඉස්ලාම් විරෝධි කුරෙයිෂ්වරුන් අතේය. ඒ අනුව මුහම්මද් (සල්) තුමාණන්ගේ නායකත්වය යටතේ උම්රා නැමදුම ඉටු කිරීම සඳහා මදීනාවේ සිට මක්කාවට පැමිණෙන විට මුස්ලිම්වරුන් මක්කාවට ඇතුළු වීමට (මුස්ලීම් විරෝධි) කුරෙයිෂ්වරු අකමැති වූ නිසා ඔවුනට හුදයිබියා නම් ස්ථානයේ නතර වීමට සිදුවිය. එසේ නතර වූ නබිතුමාණන් උස්මාන් (රලි) තුමාව නබිතුමාණන්ගේ දූතයෙකු හා නියෝජතයකු ලෙස පත්කොට කුරෙයිෂිවරුන් සමඟ සාම සාකච්චාක් කිරීමට පිටත්කර යැවීය. මෙසේ මක්කාවට ගිය උස්මාන් (රලි) තුමා නැවත පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් ඔහුව එහිදී (හුබෙයිබ් (රලි) තුමාව මෙන්) ඝාතනය වී ඇතැයි යන කටකථා පැතිරෙන්නට විය. එම මොහොතේ උස්මාන් (රලි) වෙනුවෙන් පලිගැනීමට හුදෙයිබියා නම් ස්ථානයේ ගසක් යට නබිතුමාණන් (තම සමකාලීන) සහාභාවරුන්ගෙන් පොරොන්දුවක් ලබාගත් අතර එම පොරොන්දු ලබාදුන් පිරිස අතර උම්මු උමාරා (රලි) තුමිය ද විය. එම පොරොන්දුව සහ එයට සහභාගි වූ සහාභාවරුන් පිලිබදව අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ මෙසේ පවසයි.

ඔවුන් (මුහ්මීන්වරු) ගස යට සිට (නුඹට පක්ෂපාතිව) දිවුරුම් දුන් කල්හි අල්ලාහ් මුහ්මින්වරුන් ගැන තෘප්තියට පත්විය. එවිට ඔවුන්ගේ හදවත තුල පවතින දේද ඔහු දැන ගත්තේය. එහෙයින් ඔහු ශාන්ත භාවය ඔවුන් කෙරෙහි පහල කළේය. තවද ඔහු සමීප ජයග්‍රහණයක්ද යුධ බිමේදී ඔවුනට අත්වන වස්තු රාශියක්ද ඔවුනට පිරිනැමුවේය. අල්ලාහ් සර්ව බලපරාක්‍රම, සර්ව ප්‍රාඥ වන්නේය.

අල්කුර්ආන් 48 – 18 සහ 19

මේ ආකාරයට තම වීරත්වය, එඩිතරකම සහ කැපවීම විදහා පෑ උම්මු උමාරා (රලි) තුමියගේ යුද දායකත්වය මුහම්මද් (සල්) තුමාණන්ගේ කාලයට පමණක් සීමා වූ එකක් නොවීය. මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවයෙන් පසුව රටේ පාලකයා වූ අබූබක්කර් (රලි) තුමාගේ පාලන සමයේ පවා විවිධ සටන් ඇතිවිය. මුස්ලීම් සමාජය තුල විවිධ බෙදීම් නිර්මාණය වෙමින් මුස්ලීම්වරුන් ඉස්ලාමයෙන් බැහැරව විවිධ කොටස්වලට බෙදීයාමක් එදා දක්නට විය. එසේම විවිධ වූ මිත්‍යාදෘෂ්ඨික ප්‍රචාරයන් ද සමාජය තුල සිදු වෙමින් සමාජය නොමඟ යවන තත්වයන් ද දක්නට විය. එවන් මොහොතේ එවැනි පිරිසට එරෙහිව සටන් කිරීමට එවකට රටේ පාලකයා වූ අබුබකර් (රලි) තුමා තීරණය කළේය. මෙය දැනගත් උම්මු උමාරා (රලි) තුමිය කඩිමුඩියේ අබුබකර් (රලි) තුමා වෙත ගොස්, ඉස්ලාමයෙන් බැහැර වූවන්ට එරෙහිව සටන් කරන කණ්ඩායමට තමාව ද සම්බන්ධ කරගන්නා ලෙස ඉල්ලා සිටියේය. (ඒ වනවිට එතුමියගේ වයස අවුරුදු 60ක් පමණ බව ඉතිහාසඥයින් පවසයි.) එම මොහොතේ අබූබක්කර් (රලි) තුමාගේ පිලිතුර වූයේ.

"සැබැවින්ම මම ඉස්ලාමීය යුද්ධයේ ඔබගේ භූමිකාව මම දනිමි, එබැවින් අල්ලාහ්ගේ නාමයෙන් පිටත් වන්න." යන්නයි.

ඒ අනුව තම පුතා වන අබ්දුල්ලාහ් (රලි) තුමා සමඟ “යමාමා” යුද්ධයට සහභාගි විය. තම පුතු හුබෙයිබ් (රලි) තුමාව මරා දැමූ මුසෙයිලමා ද මෙම යුද්ධයට විරුද්ධ පාර්ශවයෙන් සහභාගි වී සිටියේය. මුසෙයිලමාව තම දෑතින්ම මරා දැමිය හැකි බවට ඇය අධිෂ්ඨාන කොට සිටියත් දෙවියන්ගේ කැමැත්ත වී තිබුණේ හුබෙයිබ් (රලි) තුමාගේ සහෝදරයා වන අබ්දුල්ලාහ් (රලි) තුමා අතින් ඔහුගේ ඉරණම නිමා කිරීමයි. ඒ අනුව උම්මු උමාරා (රලි) තුමියගේ පුතා වන අබ්දුල්ලාහ් (රලි) තුමා අතින් එම සටනේදී මුසෙයිලමා ඝාතනය විය.

තම පුතා අබ්දුල්ලාහ් (රලි) ඝාතනය වීම

අබ්දුල්ලාහ් (රලි) තුමා බොහෝ යුද්ධවලට සහභාගී වූ වීර සහාභිවරයෙකි. රාජ්‍ය තාන්ත්‍රික නීති උල්ලංඝනය කරමින් තම සහෝදරයා කෲර ලෙස ඝාතනය කල මුසෙයිලමා ව පමණක් නොව හම්සා (රලි) තුමාව ඝාතනය කල වහෂි වද ඝාතනය කලේ උම්මු උමාරා (රලි) තුමියගේ පුත් අබ්දුල්ලාහ් (රලි) තුමාය. නමුත් "යමාමා" යුද්ධය අවසන් වී උම්මු උමාරා (රලි) තුමිය නැවත පැමිණියේ තම එක් අතක් ද අහිමිව, තම පුතා වන අබ්දුල්ලාහ් (රලි) තුමා ද (ඝාතනය වී ඔහු ද) අහිමිව, තම ශරීරයේ දරුණු කැපුම් තුවාල විශාල සංඛ්‍යාවක් සමඟය. නමුත් එවකට සමාජයේ මහා කුමණ්ත්‍රනකරුවෙකු වූ මුසෙයිලමා ඝාතනය කිරීමට හැකිවීම ඉහත සියළු දුකට වඩා ඇයට සතුට ගෙනදෙන්නක් විය.

උමර් (රලි)ගේ හොඳම තෑග්ග ඇයටයි

උම්මු උමාරා (රලි) තුමිය එවකට සමාජයේ කොතරම් සුවිශේෂීද යන්න කියාපාන තවත් සිද්ධියක් ඉතිහාස ග්‍රන්ථයන් හි සදහන් වේ. එනම් දෙවන පාලක උමර් (රලි) තුමාගේ පාලන සමයේ එක්තරා අවස්ථාවක එතුමාණන්ට අලංකාර එසේම සුවිවිශේෂ වූ තෑගි කිහිපයක් ලැබුණි. ඒ අතරින් එකක් ඉතා අලංකාර හා විශාල එකක් විය. එම තෑග්ග උමර් (රලි) තුමාගේ බිරිඳට ලබාදීම සුදුසු බවට සහාභාවරුන් අතර යෝජනාවක් විය. නමුත් උමර් (රලි) තුමා

"ඇයටත් වඩා හොඳ කෙනෙකු මා දනිමි. ඇය නබිතුමාණන්ගේ මුවින් ප්‍රශංසා ලැබූ කෙනෙකි” 

යනුවෙන් පවසා එම තෑග්ග උම්මු උමාරා (රලි) තුමිය වෙත යවන ලදී. මේ සියල්ල තුලින් උම්මු උමාරා (රලි) තුමියගේ එවකට සමාජ පිලිගැනීම සහා එතුමියගේ වීරත්වය මනාව කියාපන්නේය. නමුත් මේ සියල්ල කියවන ඔබට ඇත්තටම ඇය යුද්ධය සදහා පමණක්ද? ඉතිහාසයේ සුවිශේෂි වි තිබෙන්නේ යන සැකය බොහෝ විට මතු වන්නට පුළුවන. එමනිසා ඒ පිලිබදවත් මෙහි කෙටියෙන් විමසා බලමු.

උම්මු උමාරා (රලි) තුමිය දක්ෂ යුද්ධයට පමණක්ද?

උම්මු උමාරා (රලි) තුමිය සම්බන්ධයෙන් ඉතිහාස පොත්පත් හි බොහෝ කරුණූ සදහන් වි ඇත්තේ යුද්ධයන් මූලික කරගෙනය. එමනිසා ඇයගේ වීරත්වය පමණයි සමාජය තුල බොහෝ විට කථා බහට ලක්වන්නේ. නමුත් එසේ නොවේ, ඇයට අල්කුර්ආනීය දැනුම ද ඉහලින්ම තිබූ බව පහත සිද්ධීය තුල මනාව පිළිඹිබු වේ. එය මෙසේය...

වරක් උම්මු උමාරා (රලි) තුමිය මුහම්මද් (සල්) තුමා හමුවට පැමිණ අල් කුර්ආනයේ පිරිමින් ගැන පමණක් සඳහන් කර ඇත. කාන්තාවන්ට බොහෝ විට වැදගත්කමක් නොදක්වන්නේ ඇයිද? යනුවෙන් විමසීය. එම මොහොතේ පහත අල්කුර්ආන් වාක්‍යය අල්ලාහ් (දෙවි) පහල කලේය.

නියත වශයෙන්ම මුස්ලීම්වරුන් වන පිරිමින්ද, ගැහැනුන්ද, විශ්වාසීන් වන පිරිමින්ද, ගැහැනුන්ද, (දෙවියන්ට) අවනත වන පිරිමින්ද, ගැහැනුන්ද, සත්‍යයම පවසන පිරිමින්ද, ගැහැනුන්ද, ඉවසීමෙන් යුතු පිරිමින්ද, ගැහැනුන්ද, (අල්ලාහ්ට) බිය වී කටයුතු කරන පිරිමින්ද, ගැහැනුන්ද, දානමාන කරන පිරිමින්ද, ගැහැනුන්ද, උපවාසයේ යෙදෙන පිරිමින්ද, ගැහැනුන්ද, තමන්ගේ පතිවත ආරක්ෂා කර ගන්නා පිරිමින්ද, ගැහැනුන්ද, අල්ලාහ්ව අධික වශයෙන් සුවි ශුද්ධ කරන පිරිමින්ද, ගැහැනුන්ද, ආදී මොවුන්ට අල්ලාහ් සමාවද, ඉමහත් වූ ඵලවිපාකද සැලසුම් කර තබා ඇත්තේය.

අල්කුර්ආනය 33-35

එම මොහොතේ අල්කුර්ආන් වාක්‍යයක් පහල වීමට ඇයගේ ප්‍රශ්න කිරීම මූලික වී ඇත්නම් එය කොතරම් සුවිශේෂි කාරණයක්ද?. අනික අල්කුර්ආනයේ මෙම 33-35 වාක්‍යය පිලිබදව දැනුමක් නැති බොහෝ පිරිසක් ඉස්ලාම් දහමට එරෙහිව එල්ල කරන ඉස්ලාම් පිරිමින් ගැන කථා කරන තරම් කාන්තාව සම්බන්ධයෙන් කථා නොකරයි. යන චෝදනාවට දිව්‍ය විවරණයක් පහලවීමට මූලික වූයේ උම්මු උමාරා (රලි) තුමියගේ බුද්ධිමත් විසංවාදී දහම් දැනුම නොවේද?. මෙම දහම්ය දැනුම හා දහම කෙරෙහි තිබෙන භක්තිය හා දැඩි විශ්වාසය මතුකොට පෙන්වන ඉහතින් ද සාකච්චා කල සිද්ධියක් අවසාන වශයෙන් ඔබේ බුද්ධිමත් විමසුමට තබන්නට අදහස් කරන්නේ ඇත්තට ඇය වීර කාන්තාවක් පමණක් නොව දැහැමි කාන්තාවක් ද යන්න තහවුරු කරමින් ඇයගේ චරිතයට සාධාර්ණයක් ඉටු කිරීම පිණිසය.

අල්ලාහ්ගේ දූතයාණන් සමඟ ස්වර්ගයේ සිටීමට ඉල්ලීම

උම්මු උමාරා (රලි) තුමියගේ රණශූරත්වය දැන් අපි හොදින් දනිමු. නමුත් යුද බිමේ සතුරාගේ කඩුව හමුවේ හිඳ ස්වර්ගයේ තම පවුලටම නබිතුමාණන්ගේ සමීපත්වය ඉල්ලා සිටීම සුළුකොට තැකිය හැකි එතරම් පහසු හෝ සරල කාරණයක් නොවේ. විශේෂයෙන් එය තමන්ට පමණක් නොඉල්ලා තම පවුලටම එය ඉල්ලීම දහමේ ඇල්ම ඉහලින්ම කියාපාන්නක් නොවේද?. තම ප්‍රාණයට වඩා ආදරය කල නබිතුමාණන්ගේ සමීපත්වය මෙලෙස ආයාචනා කිරීම වත්මන් අපට අලංකාර ආදර්ශයක් නොවේද?. අද අප ජීවත් වන්නේ දැනුම බහුල නමුත් ක්‍රියාවෙන් ශූන්‍ය වූ සමාජයකය. එවන් අපට ඇයගේ අල්කුර්ආනීය ජීවිතය පරමාදර්ශයකි. එම පාඩම එතුමියගේ චරිතය තුලින් අපගේ ජීවිතයට ගතයුතු පාඩමකි. ඇය දහම වෙනුවෙන් කල කැපවීම සහ පහත අල්කුර්ආන් වාක්‍යය මොහොතක් බුද්ධිමත්ව විමසා බලන්න.

නියත වශයෙන්ම මාගේ සලාතය(නැමදුම) මාගේ පුද පූජාවන් මාගේ ජීවිතය හා මාගේ මරණය රබ්බුල් ආලමීන් (විශ්වයාධිපති) වූ අල්ලාහ්ටමයැයි (නබි මුහම්මද්) පවසනු.
 

අල්කුර්ආනය 6-162

ඇයගේ ජීවිතය අල්කුර්ආනයේ 6-162 වාක්‍යයට අනුකූලවම නොවේද? උම්මු උමාරා (රලි) තුමිය තම ප්‍රාණයට වඩා මුහම්මද් (සල්) තුමාණන්ට සහ මුස්ලීම් උම්මාවේ ආරක්ෂාවට දැක් වූ දායතක්වය මෙවැනි කෙටි ලිපියක වචනයෙන් විස්තර කොට නිමාකල හැකි එකක් නොවේ. ඉතිහාසයේ රන් අකුරින් ලියා තැබිය යුතු ඒ පරිත්‍යාගයේ ප්‍රතිපලයයි අද ලොවපුරා මුස්ලීම්වරුන් මේ භුක්ති විඳිමින් සිටින්නේ. එදා එවැනි සහාභාවරුන් සහ සහාභාවරියන් තම ජීවිතය පරදුවට තබා රැකදුන් දහම නූතන උම්මාව සමාජ මාධ්‍යයන් තුල සහ පටු ලෞකික අලංකාරයන් තුල විනාශ කරමින් සිටීම උතුම් වීර කාන්තාව වූ උම්මු උමාරා (රලි) වැනි කාන්තාවන්ගේ කැපකිරීමට කරන නිගාවක් නොවේද?. ඇයගේ ආදර්ශය පරම ආදර්ශය ලෙස ගෙන ඉස්ලාම් දහම තුල එඩිතර වීර සැබෑ මුස්ලීමවරයෙකු ලෙස ජීවත් වී මියැදීමට අල්ලාහ් (දෙවි) අපට ආශිර්වාද කරත්වා!, යන පැතුමින් මෙම සටහන අවසන් කරමි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/05/14

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම