ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් දහමේ ස්ථාවරය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


විවිධ වූ ලෞකික වාසි දිනාගැනීම පිණීස ආගම්වලට අපහස කිරීම හා අගෞරව කිරීම අද ලොව ජනප්‍රිය උපක්ක්‍රමයක් (Trick) වී ඇත. දේශපාලඥයින් තම දේශපාලන පැවැත්ම ආරක්ෂා කරගැනීම සදහා මෙම Trick එක භාවිතා කරයි. ජනමධ්‍ය ආයතන තම TRP එක ඉහල නංවා ගැනීම පිණිසත් මෙම Trick එය භාවිතා කරයි. ආගමික පූජකවරුන් තම අනුගාමිකයන් අතර සහ සමාජය හමුවේ ජනප්‍රියත්වය ඉහල නංවාගැනීම පිණිසත් මෙම Trick එය භාවිතා කරයි. ජාතිවාදීන් සමාජය තුල ජාතිවාදය වපුරන්නත් මෙම Trick එය භාවිතා කරයි. සමාජය තුල ජනප්‍රියත්වය ඉහල නංවා ගැනීම පිණිසත් මෙම Trick එක භාවිතා කරයි... ‍මේ ආකාරයට සෑම ක්ෂෙත්‍රයකම එකවගේ භාවිතා කල හැකි ලෝක ප්‍රකට Trick එක "ආගම් අපහස" කිරීමයි. 21 වන සියවසයේ ලෝක ප්‍රකට මෙම උපක්ක්‍රමය ලෝකයාට කරට කර හිඳ ශ්‍රි ලාංකීය සමාජය ද දැන් දශක කිහිපයක් මුළුල්ලේ භාවිතා කරනවා යන්න ප්‍රසිද්ධ රහසකි. ඒ අතින් විටෙක අප ලෝකයාටත් පාඩම් කියාදෙන තරම් ඉදිරියෙන් සිටින බවද මෙහි නොකියාම බැරි තිත්ත වූ ඇත්තකි.

මෙයට සමීප නිදසුනක් පවසනවා නම්,

  • මීට වසර කිහිපයකට පෙර මේ රටේ මුස්ලීම් ප්‍රජාව ඉලක්ක කොට සමහරක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගෙනගිය දැවැන්ත ඉස්ලාම් දහම අපහස කිරීමේ මඩ ව්‍යාපාරය මෙහි සදහන් කලහැක. මෙය එම මඩ ව්‍යාපාරය ගෙනගිය පාර්ශවයන්ට අමතක වී තිබුණත් මේ රටේ මුස්ලීම් ප්‍රජාවට එය අමතක කල නොහැක. විශේෂයෙන් අල්ලාහ් (දෙවි) පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු යැයි ප්‍රසිද්ධියේම පවසමින් ආගම්වාදය හා ජාතිවාදය මේ සමාජය තුල ඇති කරන්න සමහරක් ආගමික පූජකවරුන් කටයුතු කල ආකාරයත්, එම ප්‍රකාශයන් ආවඩමින් හා විරුද්ධ වෙමින් සමහරක් දේශපාලඥයින් දේශපාලන වාසි ගැනීමට කටයුතු කල ආකාරයත්, එවැනි ප්‍රකාශවලට (ජඩ) ජනමාධ්‍යන් තුල ඉඩක් ලබා දෙමින් තම TRP එක ඉහල නංවා ගැනීමට කටයුතු කල ආකාරයත්, ජාතිවාදී කල්ලි කණ්ඩායම් මෙම ප්‍රකාශය කරමත තබාගෙන සමාජය භේද කිරීමට ක්‍රියාකල ආකාරයත් මෙයට කදිම හා සමීපතම නිදසුනයි.

එදා ඔවුන් නැටුවා අද ජෙරම්ලා නටනවා. හෙට තවත් කවුරුන් හෝ නටාවි. “නීතිය සියල්ලටම සමයි” සහ “සියළුදෙනාට නීතිය සමයි” යන පාඨයන් පොත්පත්වලට ම සීමා වී තියේවි. මේ රටේ ජාතිවාදය ක්‍රියාත්මක වන සෑම අවස්ථාවකම ජාතිය ආගම නොබලා රටේ නීතිය සාධාර්ණව සහ සක්ක්‍රියව ක්‍රියාත්මක වූවානම් අද “ජෙරම්” (අත්අඩංගුවට පත්ව) ඉන්න තැන මේ රටේ දේශපාලන නායකයින්, ප්‍රභූවරුන් හා පූජකවරුන් යැයි කියාගන්නා බොහෝ පිරිස් සිටිය යුතුය. නමුත් අද එය අප රටේ පමණක් නොව සමස්ථ ලෝකය තුලම සිහිනයක් වන තරමට “ආගම් අපහස කිරීම හා අගෞරව කිරීම” යන කාරණය හමුවේ නීතිය කොන්දේසි විරහිතව පක්ෂග්‍රාහි වෙලාය.

මෙලෙස “ආගම් අපහසයට” ලක් කිරීම හා එය කරන පිරිසට එරෙහිව රටක නීතිය යෝජනා කරන දඬවම් කුමක්ද? යන්න පිලිබදව සහ එය ක්‍රියාත්මක වන ආකාරය කෙසේද? යන්න පිලිබදව අපට යම් දැනුමක් හා අවබෝධයක් ඇත. නමුත් මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්න පිලිබදව සමාජයට දැනුමක් නැත. විශේෂයෙන් මුස්ලීම් සමාජයේ ද බහුතරයකට මේ පිලිබදව දහම් දැනුමක් නැත. එමනිසා මෙතැන් සිට ඒ පිලිබදව කථා කිරීමට අදහස් කරමි.

ආගම් අපහස කිරීම

දෙවියන්, ආගමික විශ්වාසයන්, ආගමික නායකයන්, ශුද්ධ වූ ග්‍රන්ථ, පූජනීය ස්ථාන සහ චාරිත්‍ර වාරිත්‍ර... යනාදීය අපහසයට ලක්කිරීම සමාජයේ සංවේදී කාරණයක් වන අතර මේවා ආගම් අපහස කිරීමක් ලෙස සැලකේ. මෙලෙස ‘අපහස’ හෝ 'අගෞරව කිරීම්' ලෙස සැලකිය හැකි ක්‍රියා මොනවාද?, එවැනි ක්‍රියාවන් කරන අයට දඬුවම් කළ යුත්තේ කෙසේද?, සහ මෙවැනි අපහාස වැළැක්වීම සඳහා නීතිය ඉටු කළ යුතු කාර්‍යභාරය කුමක්ද? යනාදී කාරණයන් පිලිබදව සාධාර්ණය අගයන සමාජය තුල විශාල කථිකාවක් ඇත.

නමුත් මෙවැනි තත්වයන් සම්බන්ධයෙන් ඉස්ලාම් දහමට වෙනස්ම වූ ස්ථාවරයක් ඇත. එම කාරණය පිලිබදව කථා කිරීමට මත්තෙන් ඔබේ බුද්ධිමත් අවදානයට මේ විෂය සම්බන්ධයෙන් වූ යුදෙව් දහමේ ඉගෙන්වීමක් සහ කිතුණු දහමේ ඉගෙන්වීමක් ඔබේ බුද්ධිමත් විමසුමට තබන්නට කැමැත්තෙමි. ඒ මෙසේය...

  • යුදෙව් දහම
ස්වාමීන්වහන්සේගේ නාමයට අපහාසකරන තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය; මුළු සභාව සැබවින් ඔහු ගල්ගසා මැරිය යුතුය. විදේශියා වුවත් ස්වදේශියා වුවත් ස්වාමීන්වහන්සේගේ නාමයට අපහාසකළොත් මරනු ලැබිය යුතුය. 

ලෙවී කථාව 24:16

  • කිතුණු දහම
නමුත් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව අපහාස කරන ඕනෑම කෙනෙකුට කිසිදාක සමාව නොලැබේ. ඔවුන් සදාකාලික පාපයකට වැරදිකරුවන් වේ.

මාක් 3:29

ඉහත බයිබලයේ ඉගෙන්වීම පදනම් කරගෙන ආගම් අපහසයට ලක් කරන්නන් ඝාතනය කලයුතුයි යන ඉගෙන්වීම අද ඉස්ලාම් දහමට ආරූඪ කොට ඉස්ලාම් දහම විවේචනය කිරීමක් සමාජය තුල දක්නට ඇත. මීට අමතරව ඉස්ලාම් දහම අපහාස කරන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක දැඩි දඬුවම් දෙන ඇතැම් මුස්ලිම් කල්ලි කණ්ඩායම්වල පින්තූර ජාත්‍යන්තර මාධ්‍යයන් විසින් බිහිසුණු ලෙස ප්‍රදර්ශනය කිරීම තුල ඉස්ලාම් දහමේ නීති-රීති සම්බන්ධයෙන්ද සමාජය තුල වැරදි කථිකාවක් ගොඩනැඟී ඇත.

ඉස්ලාම් දහමට අපහස කිරීම

ඉහතින් සදහන් කලාසේ ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිලිබදව නිසි අවබෝධයක් නොමැති ඇතැම් නොමග ගිය මුස්ලිම් කල්ලි කණ්ඩායම් ඉස්ලාම් ආගමට කිසිදු සම්බන්ධයක් නැති ඉගැන්වීමන් ආගමට ආරෝපණය කර ගනිමින්. ඉතා දරදඬු අන්දමින් ක්‍රියා කරන බව සැබෑවකි. මුස්ලීම් සමාජයේ එවැනි ක්‍රියාවන් ඉස්ලාමයේ සැබෑ ඉගැන්වීම් නියෝජනය කරනවාද? යන්න නොබලා, නොසලකා (ජඩ) ජනමාධ්‍යයන් එය සතුටින් ලෝකයට ප්‍රකාශ කිරීම ද අවාසනාවකි.

තමා පූජනීය ලෙස සලකන යමක් අපහසයට හෝ අගෞරවයට ලක්කල විට එය පුද්ගලයෙකුට ස්වභාවිකවම රිදෙනවා යන්න සාමාන්‍ය තත්වයකි. එමනිසා අන්‍ය ආගමික සංවේදී කාරණයන් අපහසයට ලක් කිරීම සදාචාරාත්මකව වරදක් යන්නෙහි විවාදයක් නැත. නමුත් මෙතැනදී විශේෂයෙන් කිවයුතු කාරණයක්ද ඇත. එනම්, ආගමක් අපහස කිරීම සහ එහි ඉගෙන්වීමන් පදනම් කරගෙන විවේචනයන් ගොඩනැඟීම යන්න තවත් එකකි. ආගමික සීමාවන් තුල හිඳ බුද්ධිමත් වාද විවාද කිරීම දහමට අනුකූල යන්න යහමග අඩවිය ස්ථාවරයයි. (මේ පිලිබදව මෙම අඩවිය තුල ආගම දහම විවේචනයේ දී විනයක් තිබිය යුතුයි. යන ලිපියෙන් දීර්ඝ ලෙස කරුණූ සාකච්චා කොට ඇත.) එම කාරණය ඔබේ බුද්ධිමත් අවදානයට තබමින් ආගම දහම අපහසයට ලක් කිරීම යන කාරණයට නැවත යොමු වූයේ නම්, එවැනි ක්‍රියාවන් හි නියලීම සමාජයේ සාමය හා සමගියට බාධාවක් වන අතර එය නීතිය හා සාමය කඩාකප්පල් කරන ක්‍රියාවක් ද වේ. මෙවැනි තත්වයන් බොහෝ විට දක්නට ලැබෙන්නේ රටක සමාජයක බහුතර ආගමික ප්‍රජාව විසින් සුළුතරයට කරන අපහස හා අගෞරව කිරීම් ලෙසය. මන්ද සුළු ආගමික කණ්ඩායම්වලට තම මතවාදය සමාජය ඉදිරියේ විවෘතව ප්‍රකාශ කිරීමට, පිළිපැදීමට සහ දේශනා කිරීමට ඇති නිදහස බහුතරය නියෝජනය කරන පාර්සශවය විසින් බොහෝ විට වලක්වන බැවිණි. මෙවැනි තත්වයන් පැවතීම සමාජයක ආගමික ඉවසීමේ මට්ටම අවාසනාවන්මත තැනක තිබෙන බවට හොදම සාධකයකි.

ඉස්ලාම් දහම අපහස කරන්නන්ට ඉස්ලාම් දඬුවම් යෝජනා කරන්නේද?

මේ සම්බන්ධයෙන් වූ ඉස්ලාම් දහමේ ඉගෙන්වීම, රටක සමාජයක නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ක්‍රියාත්මක නීතියට වඩා ඉහලින් ඇත. එම කාරණය නිදසුන් සහිතව සවිස්තරව පැහැදිලි කරන්නේ නම්,

සෑම මුස්ලීම්වරයෙකුම තම වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට තම ප්‍රාණයට වඩා ආදරය දැක්විය යුතු යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. එනම්, මොලොව ජීවත් වන සැබෑ මුස්ලීම්වරයෙකු තම මව, පිය, බිරිඳ, සහෝදර සහෝදරියන්... යනාදී සියල්ලට වඩා මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරයි. මෙවන් පසුබිමක මුස්ලිම්වරයෙකුට තම දෙමාපියන්ට, ඥාතීන්ට හෝ හිත මිතුරන්ට එරෙහි අපහාස ඉවසිය හැකි වූවත් තම ප්‍රාණයට වඩා ආදරය කරන මුහම්මද් (සල්) තුමාණන්ට සමච්චල් කිරීම හෝ අපහස කිරීම ඔහුට ඉවසා දරාගත නොහැක. එසේ වූවා කියා එවැනි අපහසයන්ට දහමේ සීමාවන් බිඳලමින් ප්‍රතිචාර දැක්වීමට ඉස්ලාම් දහම තුල ඉඩ ලබාදී නැත. මෙවැනි අවස්ථාවල මුස්ලීම්වරයෙකු ක්‍රියා කලයුත්තේ දහමේ ඉගෙන්වීමන්ට අවනතවය. එසේනම් එම ඉගෙන්වීමන් කවරේද? යන්න දැන් විමසා බලමු.

ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීම නම්, “මූස්ලීම්වරයෙකු තම සතුරාට වූවද අසාධාරණයක් සිදු නොකලයුතුයි” යන්නයි. සියල්ලටම සාධාර්ණ වන ලෙස ක්‍රියා කලයුතු යන්න දහමේ මූලික ඉගෙන්වීමයි. එය අල්කුර්ආනය මෙසේ අවදාරණය කරයි.

විශ්වාසවන්තයිනි! සාධාර්ණය ස්ථාපනය කිරීමෙහිලා නුඹලා අල්ලාහ්ට (දැහැමිව) තිරසාර වූ සාක්ෂිකරුවන් ව සිටින්න. යම් ජනතාවක් කෙරෙහි තිබෙන නොසතුට ඔවුනට නුඹලා අයුක්තියක් ඉටුකිරීමට නොපෙළඹවන්න. යුක්තිය ඉටු කරනු. එය බියබැතිමත් භාවයට ඉතා කිට්ටුය.

අල්කුර්ආනය 5-8

ඉස්ලාමයට එරෙහිව අපහස, උපහාස හෝ අගෞරව කිරීම් යනාදී කුමක් හමුවේ වූවත් මුස්ලීම්වරයෙකු ක්‍රියා කලයුත්තේ කෙසේද? යන්න ඉහත වාක්‍යයෙන් පැහැදිලිව පවසයි. එතැනින් නතර නොවන ඉස්ලාම් දහම මුස්ලීම් නොවන පිරිසගේ දේව විශ්වාසයට අපහාස කිරීම, ඔවුන්ගේ පිළිමවලට අපහස හෝ නින්දා කිරීම සහා බහුදේවවාදී විශ්වාස... යනාදී හැඟීම් ආරක්ෂා කරයි. එය අල්කුර්ආනය මෙසේ පවසයි.

අල්ලාහ් හැර ඔවුන් කැඳවන අයට නිග්‍රහ නොකරන්න.

අල්කුර්ආනය 6-108

තවත් සරලව පවසනවා නම්, ඉස්ලාම් දහම මුස්ලිම්වරුන්ට උගන්වන්නේ අන් අයගේ සංවේදී කාරණයන් සම්බන්ධයෙන් සංවේදී වන ලෙසයි.

ඉස්ලාම් දහම නිරන්තරයෙන් නින්දා අපහාස ලද දහමක්

ඉස්ලාම් දහම ලොව කිසිදු දහමන් නින්දා අපහස නොලද තරමට නින්දා අපහස ලද සහ අදටත් ලබන දහමක්. එය අල්කුර්ආනය ද මෙසේ පවසයි.

අපගේ රසූල්වරුන් අනු පිළිවෙළින් අපි පහළ කළෙමු. ජනතාවක් වෙත ඔවුන්ගේ රසූල්වරයකු පැමිණි සෑම අවස්ථාවකම ඔවූහූ ඔහු බොරුකාරයකු ලෙස සැලකූහ.

අල්කුර්ආනය 23-44

මේ ආකාරයට දෙවියන් විසින් එවන ලද සෑම වක්තෘවරයෙකුම “බොරුකාරයන්” ලෙස උපහසයට හා උපහාසයට ලක් වූ බව අල්කුර්ආනය පවසයි. මෙවන් පසුබිමක හිඳ ඉහත ආකාරයට “අල්ලාහ් හැර ඔවුන් කැඳවන අයට නිග්‍රහ නොකරන්න” යනුවෙන් මුස්ලීම් සමාජයට නියෝග කිරීමට ඉස්ලාම් දහමට හැකි වූයේ එය මනුෂ්‍යාගේ සංවේදී කාරණයන් නිවැරදිව හඳුනාගත් දිව්‍ය දහමක් වූ නිසාම නොවේද?.

මුහම්මද් (සල්) තුමාණන් ද නිරන්තරයෙන් අපහසයන්ට ලක්විය

14 වන සියවසයේ පටන් වත්මන් සමාජය දක්වා ඉහත ආකාරයට “අල්ලාහ් හැර ඔවුන් කැඳවන අයට නිග්‍රහ නොකරන්න” යනුවෙන් අවවාද කරන අල්කුර්ආන් පාඨයන් මේ සමාජයට ප්‍රකාශ කල මුහම්මද් (සල්) තුමාණන් තරම් මේ ලෝකයේ අපහස නින්දා ලබන වෙන කිසිවකුත් නැති තරම්ය. එදා පටන් අද දක්වා එතුමාණන් සමාජයෙන් ලද අපහස නින්දා පිලිබදව දීර්ඝ ලෙස කථාකල හැකි වූවත් මෙම මාතෘකාවට අදලාව වැදගත් වන්නේ එතුමාණන් ජීවමානව සිටිය දී එමවැනි තත්වයන් හමුවේ එතුමාණන්ගේ ප්‍රතිචාරය කුමක්ද? යන්නයි.

ඒ අනුව මේ සමාජයට අසම සම ආදර්ශයක් පෙන්වාදුන් නබිවරයාට මේ සමාජය සැලකූ ආකාරය සහ ඉස්ලාම් දහමට අනුකූලව නබිතුමාණන් ඔවුනට ප්‍රතිචාර දැක්වූ ආකාරය අල්කුර්ආනය ඇසුරෙන් දැන් විමසා බලමු.

නියතවශයෙන් නුඹ උන්මත්තකයකුමයැයි ඔවූහු (ප්‍රතික්ෂේප කළ පිරිස) කීහ.

අල්කුර්ආනය 15-06

ඔහුට (ජින්නුවකු ආවේශ වී) උමතු වී ඇතැයි ඔවූහු කියන්නෙහිද? 

අල්කුර්ආනය 23-70

තවද ඔවුන් රහස් සාකච්ඡා කොට නුඹලා සූනියම් කරන ලද මිනිසකු මිස අනුගමනය නොකරන්නෙහු යැයි කියන කල්හි...

අල්කුර්ආනය 17-47

නියතවශයෙන් නුඹ බොරු ගොතන්නකුයැයි ඔවූහු කියති. 

අල්කුර්ආනය 16-101

අල්කුර්ආනයත් අපහසයට හා උපහාසයට ලක් කිරීම

ඉහත ආකාරයට මුහම්මද් (සල්) තුමාණන් “උන්මත්තකයෙකු”, “උමතුවෙන් කටයුතු කරන්නෙකු”, “හූනියම්කරුවෙකු”, “බොරුකාරයෙකු”... යනාදී ලෙස අපහස කල සමාජය එතැනින් නතර වූයේ නැත. ඔවුන් ශුද්ධ වූ පුස්තකය වූ අල්කුර්ආනයට ද විවිධ අන්දමින් නින්දා අපහස කලේය. අල්කුර්ආනය ඉරා දමමින් (මෙම තත්වය අදටත් සමාජය තුල වාර්ථා වන තත්වයක් වන අතර මෙම අඩවිය තුල එවැනි තත්වයක් මීට ඉහත කුරානය ගිනි තැබීමට සූදානම් වූ දේවගැතිවරයා යන ලිපියෙන් කථා කොට ඇත) අල්කුර්ආනය පාරායනය කරන විට ශබ්ද කරමින්, සහ පහත ආකාරයට අපහසාත්මක ප්‍රකාශ නිකුත් කරමින් එය ඔවුන් කලේය.

නුඹලාගේ පරමාධිපති පහළ කළේ කුමක්දැයි ඔවුනට කියනු ලැබූ කල්හි මෙය පැරන්නන්ගේ හුදු කතා යැයි ඔවූහු පැවසූහ.

අල්කුර්ආනය 16-25

ඉස්ලාමයට අපහස කරන්නන් ඝාතනය කලයුතු බව ඉස්ලාම් පැවසුවේ නැත

ඉස්ලාම් දහම අපහාස කිරීම මරණීය දණ්ඩනය ලබා දියයුතු වරදක් බවට සමහරක් විද්වතුන් පවසන අතර එය පදනම් කරගෙන සමහරක් මුස්ලීම් රටවල් නීති ද සම්පාදනය කොට ඇත. නමුත් මෙය ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන අල්කුර්ආනයට හා අල්හදීසයට පරස්පර වූ නිගමනයකි. ඉස්ලාමයේ ආරම්භ සමාජය සැලකූ විට මක්කාවේ සුළු පිරිසක් හැරුණූ විට අති බහුතරය මුහම්මද් (සල්) තුමාණන්ට සහ ඉස්ලාම් දහමට නින්දා අපහස කල පිරිසයි. නින්දා අපහස පමණක් නොවේ මුහම්මද් (සල්) තුමාණන්ට හිංසා පීඩා කරමින් ඝාතනය කිරීමට පවා කටයුතු කල පිරිසයි. මේ සියළු පිරිසට නබිතුමාණන් සමාව දුන්නා මිස කිසිවකුටත් දඬුවම් කලේ නැත. එතුමාණන් මෙම කාරණයේදී කොතරම් ආදර්ශමත් අන්දමින් සමාජය තුල කටයුතු කලාද යන්න අපට කියාපාන ඉස්ලාමීය ඉතිහාසයේ ජනප්‍රිය සුවිශේෂි සිද්ධීන් කිහිපයක් ඔබේ මතකයට ගෙන එන්නේ නම්,

  • දිනපතා නබිතුමාණන්ගේ සිරුර මතට කුණු දමන මහළු කාන්තාව දිනක් එය සිදු නොකිරීම නිසා ඒ පිලිබදව සොයා බලා ඇය අසනීප වී ඇතැයි දැනගත් විට එයගේ සුවදුක් විමසීමට යෑම,
  • නබිතුමාට අපහාසාත්මකව කවි කියූ කවියෙකු වූ සුහයිල් බින් අම්ර් බද්ර් සටනින් පසු යුද සිරකරුවෙකු ලෙස අල්ලාගත් විට, ඔහුට කරුණාව දක්වන ලෙස නබිතුමාණන් තම අනුගාමිකයන්ට පැවසීම,
  • අබ්දුල්ලාහ් බින් උබයි (කුහකයින්ගේ ප්‍රධානියා (මුනාෆික්)) නබිතුමාණන්ට දිගින් දිගටම හිරිහැර කළ බවටත් , මදීනාවේ දී ඔහුට දැඩි ලෙස විරුද්ධ වූ බවටත් සාක්ෂි තිබේ. ඔහු මියගිය විට, නබිතුමාණන් ඔහුගේ අවමංගල්‍ය යාඥා කිරීමට නැඟී සිටී මොහොතේ සහභාවරුන් එයට විරුද්ධ වෙද්දීත් එම අවමංගල්‍ය යාඥාවන් දිගටම සිදු කිරීම,

ඉහත සියල්ල තුලින් පැහැදිලි වන්නේ නබිතුමාණන් තම සමකාලීනයන්ගෙන් කොතරම් නින්දා, අපහස, හිංසා පීඩා... ලැබුවද ඔවුනට දඬුවම් කිරීමට හෝ ඔවුන් හා එදිරිවාදිකම් පැවැත්වීමට ඉදිරිපත් නොවූ බවයි. මෙවන් වූ අසම සම ආදර්ශයන් පසෙකලා තීන්දුව "ඝාතනය", "හිංසනය", හෝ "එදිරිවාදිකම්" යන්නයි ඉස්ලාම් යැයි පැවසීම මුස්ලීම් සමාජයේ මෙන්ම මුස්ලීම් නොවන සමාජයේ අනවබෝධය පමණි.

අවසාන නිගමනය

දෙවියන් හමුවේ සිට පහල වූ දිව්‍ය වදන්, වක්තෘවරුන් සහා දහමේ ඉගෙන්වීමන් සමාජය තුල නින්දා අපහසයට ලක් වෙද්දී මුහම්මද් (සල්) තුමාණන් ඒ සියල්ල ඉවසා දරා කටයුතු කලේය. මන්ද ඔවුනට එරෙහිව දැඩි ප්‍රතිචාර දැක්වීමට එතුමාණන් ශක්තිසම්පන්න (ජන නායකයෙකු හා රටේ පාලකයෙකු) වූවත් ඉස්ලාම් දහම තුල අවසර නොමැති බව අල්කුර්ආනයේ ඉගෙන්වීම වූ බැවිණි. ඔවුන් දඬුවම් කිරීමේ වගකීම ඇත්තේ අල්ලාහ් (දෙවි)ට පමණක් බව පහත අල්කුර්ආන් වාක්‍යය මෙසේ පවසයි.

නියත වශයෙන්ම අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට හිරිහැර කරන්නන් - අල්ලාහ් ඔවුන්ට මෙලොවදී හා පරලොවදී ශාප කර, ඔවුන්ට අවමන් සහගත දඬුවමක් සූදානම් කර ඇත. තවද විශ්වාසවන්ත පිරිමින්ට සහ විශ්වාසවන්ත කාන්තාවන්ට තමන් උපයා නොගත් දේ නිසා අපහාස කරන්නන් අපහාසයේ වරද සහ පැහැදිලි පාපයක් දරනු ඇත. 

අල්කුර්ආනය 33-58 හා 59

  • ඉහත වාක්‍යයට අනුව අල්ලාහ් (දෙවි) සහ ඔහුගේ දූතයාට අපහාස කිරීමේ වරදට දඩුවම් කිරීමේ අයිතිය තිබෙන්නේ දෙවියන්ට පමණක් බවත්, එවැනි පුද්ගලයින්ට මෙලොවදී හෝ පරලොවදී දඬුවම් කරන්නේද යන්න ඔහුටම භාර

වූ කාරණයක් බවත් පැහැදිලිව පවසයි.

මීට අමතරව එවැනි ඉගෙන්වීමන් සහිත තවත් අල්කුර්ආන් වාක්‍ය කිහිපයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

සරදම් කරන්නන්ගෙන් නුඹ ආරක්ෂා කිරීමට නියතවශයෙන් අප නුඹට ප්‍රමාණවත්ය.

අල්කුර්ආනය 15-95

ප්‍රතික්ෂේප කරන්නන්ටද, වංචනිකයින්ටද, ඔබ අවනත නොවනු. ඔවුන් විසින් (ඔබට) ඇති වන දුක් ගැහැට ඔබ ප්‍රතික්ෂේප කර දමනු. (ඔබගේ සියලූ කාරණාවන්ද) අල්ලාහ්වම විශ්වාස කර බාර දෙනු. අල්ලාහ්ම (ඔබට) ප්‍රමාණවත් ආරක්ෂකයෙකු වන්නේය.

අල්කුර්ආනය 33-48

මේ ආකාරයට ඉස්ලාම් දහමට හා මුස්ලිම්වරුන්ට අපහාස කරන පිරිස සම්බන්ධයෙන් වූ කාරණය අල්ලාහ් (දෙවි)ටම භාර කරන ලෙස ඉස්ලාම් පැහැදිලිව පවසයි. එතැනින් නතර නොවන ඉස්ලාම් දහම එවැනි අපහස උපහස කරන්නන් සම්මුඛ වීමේදී මුස්ලීම්වරයෙකු ක්‍රියා කලයුතු ආකාරය ද තවත් අල්කුර්ආන් වාක්‍යයන් දෙකකින් මෙසේ අවවාද කරයි. එනම්,

අපේ ආයාත් (අල්-කුර්ආන් වාක්‍යයන්) ගැන විතර්කයෙහි ගිලෙන අය නුඹ දකී නම් එවිට එය හැර (වෙන) විෂයයන්හි ඔවුන් ගිලෙනතෙක් ඔවුන්ගෙන් මඟහැර යනු. තවද ෂෙයිතාන් නුඹට (මෙය) අමතක කරවුවා නම්, (නුඹට නුඹේ වැරුද්ද) වැටහුණු පසු වැරදි කරන පිරිස සමඟ අසුන් නොගනු.

අල්කුර්ආනය 06-68

අල්ලාහ්ගේ වදන් ප්‍රතික‍ෂ්ප කරනු ලැබීමද එය විහිළුවට භාජනය කරනු ලැබීමද (ඊට) නුඹලා සවන් දුනහොත් එය හැර වෙන කතාවක යෙදෙන තෙක් ඔවුන් සමග නුඹලා නොසිටින්නැයි (අල්ලාහ්-මෙම) ධර්ම ග්‍රන්ථය මගින් නියතවශයෙන් නුඹලා වෙත පළ කළේය. (නුඹලා එහි රැඳී සිටියහොත්) නියතවශයෙන්ම නුඹලාද ඔවුන් පමණටම වැරදි කළා වන්නෝය. අල්ලාහ් වංචනිකයින්ද අවිශ්වාසිකයින්ද සාමුහිකව නියත වශයෙන් අපායෙහි රැස්කරවයි.

අල්කුර්ආනය 04-140

ඉස්ලාම් දහමට නින්දා අපහස කරන පිරිස සම්බන්ධයෙන් වූ ඉස්ලාමීය ඉගෙන්වීම අප තරමක් ගැඹුරින් විමසා බැලුවෙමු. එහි කිසිදු තැනක අපහස කරන්නන්ට පහරදෙන්න, ඝාතනය කරන්න, ඔවුනටත් අපහස කරන්න, ඔවුන්ගේ දහමට අපහස කරන්න... වැනි කිසිදු ඉගෙන්වීමක් දක්නට නැත. එවැනි ඉගෙන්විමන් නැතුවා පමණක් නොවේ එවැනි ක්‍රියාවන්ට යොමු නොවන ලෙසත් එසේ කිරීම වරදක් ලෙසත් ඉස්ලාම් මුස්ලීම් සමාජයට අවවාද නඟයි. එතැනින් ද නතර නොවූ අල්කුර්ආනය තවත් පියවරක් ඉදිරියට තබමින් ඉහත 4-140 වාක්‍යයෙන් ලබාදෙන අවවාදය සැබැවින්ම විශ්මය ජනකය. මෙවන් විශ්මිත දහම තුල දහමේ සීමාවන් පිලිබදව නිසි අවබෝධයෙන් මූමීන්වරයෙකු ලෙස කටයුතු කොට සැබෑ මුස්ලීම්වරුන් ලෙස මියදීමටත්, මේ සත්‍ය දහම එහි සැබෑ ස්වරූපයෙන් මේ සමාජයට කියාපෑමට ශක්තිය දෛර්‍යය ලැබේවා! කියාත් අල්ලාහ් (දෙවි)ගෙන් ප්‍රාර්ථානා කරමින් මෙම සටහනට විරාමය තබමි.


- අබූ අර්ශද් -


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/06/4

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම