ආදර්ශමත් කාන්තාව - ෂිෆා බින්ති අබ්දුල්ලා (රලි) තුමිය

From Yahamaga
Revision as of 05:30, 14 May 2023 by Admin (talk | contribs)
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අරාබි පූර්ව යුගයේ ඉස්ලාම් දහම සමාජය නඟා සිටුවීමට සහ ඇදහිල්ලෙන් යුත් දැහැමි පුද්ගලයන් බිහි කිරීමට බොහෝ වැඩ කොටසක් ඉටුකළ බව ඉතිහාස මූලාශ්‍රයන් තුලින් ඉගෙන ගන්නෙමු. එම මූලාශ්‍රයන් හි තොරතුරු අනුව එකල සමාජ සම්මතයේ කොටසක් වූ ඉහවහා ගිය කාන්තා අසාධාරණකම් එනම්, ඔවුනට සමාජයේ කිසිම අයිතියක් හෝ තනතුරක් හිමි නැති, පිරිමින්ට මෙන් වරප්‍රසාද හිමි නැති, වහල් තත්වයේ විසිය යුතු පිරිසක් ලෙස සැලකූ සමාජයක් බව ද අප දැනගන්නෙමු. එවන් වූ ජාහිලා (අඥාන සමාජ) මඩ ගොහොරේ පිපුනු නෙළුම් මල් පිලිබදවයි මේ ආදර්ශමත් කාන්තාව යන ලිපි පෙල තුලින් කථා කරන්නේ.

ආදර්ශමත් චරිත පෙලගැස්ම

අල්-ෂිෆා බින්ට් අබ්දුල්ලා;

ඉස්ලාමීය ඉතිහාසය තුල සලකුණු වී ඇති ආදර්ශමත් කාන්තා චරිත පිලිබදව කථා කරන ලිපි පෙලෙහි අද දවසේ කථා කිරීමට යන්නේ ක්ෂේත්‍ර ගණනාවකම කැපීපෙනෙන දස්කම් දැක්වූ මුල් කාලයේදීම ඉස්ලාම් දහම වැලදගත් සහාභිවරියක් පිලිබදවයි. ඒ ෂිෆා බින්ති අබ්දුල්ලා (රලි) තුමිය පිලිබදවයි.

මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීන සහාභිවරියක් වන ෂිෆා බින්ති අබ්දුල්ලා (රලි) තුමියගේ සැබෑ නම ‘ලයිලා’ යන්නයි. ඇයි ඇය අබ්දුල්ලා ඉබ්නු අබ්ද්ෂාම්ස් සහ ෆාතිමා බින්ති වහබ්ගේ දියණියයි. ඇය අබූ හත්මා ඉබ්නු හුදෙයිෆා (රලි) සමඟ විවාහ වූ අතර ඇයට සුලෙයිමාන් සහ මස්රුක් නම් පුතුන් දෙදෙනෙකු ද විය.

වෛද්‍යවරියක්

ඇය ඥානවන්ත කාන්තාවක් ලෙස කීර්තියක් ලබා සිටියාය. ‘අෂෆා’ යන්න ඇයට සමාජයෙන් හිමිව තිබූ ගෞරව නාමයකි. එහි අරුථ "සුව කරන්නී" යන්නයි. එම ගෞරව නාමය ඇයට හිමි වීමට මූලික හේතුව ඇය එම සමාජයේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ප්‍රගුණ කල කාවන්තාවක් විමයි.

එවකට සමාජයේ සමේ ඇති වන රෝග සදහා කරන ප්‍රතිකාර සදහා ඇය ජනප්‍රිය වී තිබුණි. මේ හේතුව නිසාම මුහම්මද් (සල්) තුමාණන් තම බිරිඳ වන හෆ්සා (රලි) තුමියට ද මෙම වෛද්‍ය ක්‍රම උගන්වන ලෙස කල ආයාදනය හදීස් ග්‍රන්ථයන් හි පහත ආකාරයට දකින්නට ලැබේ.

වරක් ෂිෆා බින්ති අබ්දුල්ලා (රලි) තුමිගේ නිවසට පැමිණි මුහම්මද් (සල්) තුමාණන්  “ඔබ හෆ්සා (රලි)ට ලිවීමට උගන්වා ඇති ආකාරයට ම කුහුඹු දෂ්ට කිරීම් (සමේ පිපිරීම්) සඳහා ප්‍රතිකාරය ද උගන්වන්නේ නැද්ද?" යනුවෙන් විමසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය - අබූදාවූද්

ගුරුවරියක්

මීට අමතරව එවකට සාක්ෂරතා ඥානය අවම මට්ටමක පැවතී මක්කා සමාජයේ ඇය ලිවිමේ කියවීමේ හැකියාව ප්‍රගුණ කරගත් එකම කාන්තාව විය. ඇය දැනුම ලබා ගත්තා පමණක් නොව, අන් අයගේ අභිවෘද්ධිය සඳහා තම දැනුම බෙදා ගැනීමට ද ඇය කටයුතු කලේය. ඒ ඉස්ලාමීය මඟපෙන්වීම ඇයගේ ජීවිතය වීම හේතුවෙනි.

මුහම්මද් (සල්) තුමාණන්ගේ මඟපෙන්වීම...

"පුන්‍ය ක්‍රියාවේ හොඳම දේ නම්, මුස්ලිම්වරයෙකු ලබාගත් දැනුම තම සෙසු මුස්ලිම්වරුන්ට උගන්වීමයි."

මූලාශ්‍ර ග්‍රන්ථය - ඉබුනුමාජා

ඉහත හදීසයට අනුව කටයුතු කල මෙම ෂිෆා බින්ති අබ්දුල්ලා (රලි) තුමිය උමර් (රලි) තුමාගේ දියණිය මෙන්ම මුහම්මද් (සල්) තුමාණන්ගේ බිරිඳ ද වන හෆ්සා (රලි) තුමියට සාක්ෂර ඥානය ලබාදීමට කටයුතු කල ආකාරය හදීස් ග්‍රන්ථයන් හි සදහන් වේ. මෙහි ප්‍රථිපලයක් ලෙස අල්කුර්ආනය ආරක්ෂා කිරීමේ මෙහෙවරෙහි හෆ්සා (රලි) තුමිය ද සුවිශේෂි භූමිකාවක් ඉටු කිරීම මෙහි සදහන් කලයුතුම කාරණයකි. එවකට සමාජයේ හෆ්සා (රලි) තුමිය පමණක් නොව මෙතුමියගෙන් සාක්ෂර ඥානය ලබාගත් බොහෝ පිරිසක් වූ අතර ඇය එම සමාජයේ මුල් ගුරුවරිය ද විය.

උපදේශකවරියක්

එපමණක් නොව ෂිෆා බින්ති අබ්දුල්ලා (රලි) තුමිය මක්කාවේ සිට මදීනාවට සංක්‍රමණය වූ (හිජ්රත්) කල පළමු පිරිස් අතර කෙනෙකු විය. ඒ අනුව මදීනාව පැමිණි ඇයට පදිංචිය සදහා හිමි වූයේ මදීනා ප්‍රධාන දේවස්ථානය වන මස්ජිදුන් නබවිය සහ පොළ වෙළද පොල අතර පිහිටි නිවසකි. මේ හේතුව නිසාම ඇයට ව්‍යාපාර ක්ෂේත්‍රයන් පිලිබදව ද හොද දැනුමක් තිබුණි. එය කොතරම් ද යන්න පවසනවා නම්, සමහරක් අවස්ථාවල මුහම්මද් (සල්) තුමාණන් පවා ඇයගෙන් ව්‍යාපාර කටයුතු සදහා උපදෙස් ලබාගත් බව ඉතිහාසයේ සදහන් වේ.

එපමණක් නොව උමර් (රලි) තුමාගේ පාලන සමයේ රාජ්‍ය නිල තනතුරක් දැරූ පළමු මුස්ලිම් කාන්තාව ද ෂිෆා බින්ති අබ්දුල්ලා (රලි) තුමියයි. ඒ මදීනා නගරයේ වර්ධනය වෙමින් තිබූ ආර්ථික වෙලඳපොලෙහි වෙළඳාම සාධාරණව සිදුවෙනවාද? යන්න සහතික කිරීමේ නිළධාරිනිය ලෙස පත් කිරීමයි. ඇයගේ මෙම රාජකාරීයෙන් මදීනා වැසියන් බොහෝ සේ ප්‍රයෝජන ලැබීය. ඇයගේ අදහස් හා ඉදිරි දර්ශනය ඉදිරිපත් කරන සෑම අවස්ථාවකම, ඇය තම රාජකාරිවල නිපුණතාවය සහ හැකියාව පෙන්නුම් කල හේතුවෙන් පාලක උමර් (රලි) තුමා ඇගේ අදහස් සහ විනිශ්චය පිලිබදව දැඩි විශ්වාසයකින් පසු වූ අතර මේ නිසාම ඇය මත විශාල වගකීම් ද පැවරීය.

අවසාන වශයෙන්

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ෂිෆා බින්ති අබ්දුල්ලා (රලි) තුමියගේ අඩිපාර නැවත හොදින් විශ්ලේෂණය කරන්න. ඉස්ලාමයේ මුල් අවධියේ එනම් දැනුමේ හිඟකම හා වෙනත් අභියෝග රාශියක් විශේෂයෙන් කාන්තාව ඉතා පහත් අන්දමින් සැලකූ “ජාහිලියා සමාජයේ”, ෂිෆා බින්ති අබ්දුල්ලා (රලි) තුමිය ගොදුරක් නොවී ඉතා සංයමයෙන් හා බුද්ධිමත්ව කටයුතු කිරීම තුල අපට ඉගෙන ගත හැකි පාඩම් බොහෝමයක් ඇත.

ඇය කාන්තාවක් ලෙස හිඳ හොද පිම්මක් ගෙන...

  • රොගීන් සුවපත් කරන වෛද්‍යවරියක් විය,
  • සමාජයේ නුවණැස පාදන ගුරුවරියක් විය,
  • සමාජය නිසිමඟ මෙහෙයවන උපදේශකවරියක් විය,

මේ අනුව ෂිෆා බින්ති අබ්දුල්ලා (රලි) තුමිය එවකට සමාජයේ කාගෙත් ආදරයට හා ගෞරවයට පත්ර වූ බුද්ධිමත් එසේම ආදර්ශමත් කාන්තාවක් යන්නෙහි විවාදයක් නැත. මේ හේතුව නිසාම ඉස්ලාමීය විද්වතෙකු වන ඉබුනු හජර් අස්කලානි (රහ්) තුමා ඇය පිලිබදව පැවසීමේ දී “ඇය එවකට සිටි වඩාත්ම බුද්ධිමත් හා වංශවත් කාන්තාවක් විය” යනුවෙන් පවසයි. මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් මඟින් පෝෂණය වූ ඉතිහාසයේ ආදර්ශමත් එසේම ධර්මිෂ්ඨ සහාභිවරිය වූ ෂිෆා බින්ති අබ්දුල්ලා (රලි) තුමිය මුස්ලිම්වරුන්ගේ පළමු පරම්පරාවේ දියුණුවට දැක් වූ දායකත්වය වත්මන් අපටත් ඉමහත් ආදර්ශයක් ආශිර්වාදයක් බව අවදාරණය කරමින් මෙම සටහන අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/05/14

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම