ජේසු තුමා පිලිබදව අල්කුර්ආනීය හැදින්වීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ලොවපුරා කිතුණු භක්තිකයන් අද දිනයේ යේසූස් තුමාගේ උපත මූලික කරගෙන නත්තල සමරයි. (නමුත් බෙත්ලැහැම් හි (2023) මෙවර නත්තල නොසමරයි.) ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව කිතුණූ භක්තිකයන් දේවත්වයෙන් සලකන ජේසුස් තුමා මුස්ලීම්වරුන් වන අපට ද නබි හෙවත් වක්තෘයරයෙකි. කිතුණු ආගමික ඉගෙන්වීමන් තුල “යේසූස්“ නමින් කථා කරන එතුමාණන් පිලිබදව අල්කුර්ආනය ද “ඊසා“ නමින් කථා කරන අතර මුස්ලීම්වරුන්ගේ දැඩි ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ වක්තෘවරයෙකු ද වේ. එසේම ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව අනාගතයේ නැවත පහල වීමට නියමිත වක්තෘවරයෙකු ද වේ. මෙය අල්කුර්ආනය මෙසේ පවසයි.

මර්යම්! අල්ලාහ් තමාගේ ආඥාවක් පිළිබඳව ශුභාරංචිය ඔබ වෙත එවයි. ඔහුගේ නම මර්යම්ගේ පුත් මසීහ් ඊසා වනු ඇත. ඔහුට මෙලොවදීත් පරලොවදීත් බොහෝ ගරු සම්මාන ලැඛෙනු ඇත. ඔහු අල්ලාහ්ට වඩාත් සමීප වූවන් අතර ද වනු ඇතැයි මලක්වරුන් කී සැටි සිහිපත් කරනු.

අල්කුර්ආනය 3-45

ඉස්ලාම් දහමේ ශුද්ධ වූ ලියවිල්ල වන අල්කුර්ආනය තුල වැඩියෙන්ම කථා කරන දේව වක්තෘවරයාණන් වන්නේ “යේසූස්“ හෙවත් “ඊසා (අලෛ)“ තුමාය. එතුමාණන් පිලිබදව දිව්‍ය පුස්තකය වන අල්කුර්ආනය තුල සදහන් කරුණු කිහිපයක් කාලීන වැදගත්කම සැලකිල්ලට ගෙන අද දවසේ යහමග පාඨක විමසුමට මෙහි පහතින් පෙලගසන්නට අදහස් කරමි.

ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දූතයෙක් විය

නියතවශයෙන් මම අල්ලාහ්ගේ ගැත්තෙක් වෙමි. ඔහු මට ධර්ම ග්‍රන්ථය දුන්නේය. තවද මා නබිවරයකු ලෙස පත් කළේ යැයි ඔහු( යේසූ බිළිඳා) කීය.

අල්කුර්ආනය 19-30

ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ අනාගතවක්තෘවරුන්ගෙන් කෙනෙකු බවත්, මනුෂ්‍ය වර්ගයාට ඇදහිල්ලෙන් සහ මනුෂ්‍යත්වයට උපකාර කිරීම සඳහා පහල කල බවත් අල්කුර්ආනය පැහැදිලිව පවසයි. එබැවින් ඔහුගේ ප්‍රඥාව සහ ඉගැන්වීම නියත වශයෙන්ම අල්ලාහ් (දෙවි)ගෙන් සෘජුවම පැමිණෙන බව මුස්ලිම්වරුන් වන අප ඇතුළුව එතුමාණන් පිලිපදින සියළුදෙනා පිලිගත යුතු වේ.

යේසුස් වහන්සේ දෙව හාස්කමක් ලෙස තොටිල්ලේ සිට කතා කලේය

ඈ(මර්යම්) ඔහු(බිළඳා) දෙසට (අත දිගුකර) සංඥාවක් කළාය. තොටිල්ලේ සිටින බිළිඳකු සමග අපි කෙසේ කතා කරමුදැ(යි ඔවූහූ කීහ.) (එවිට) නියතවශයෙන් මම අල්ලාහ්ගේ ගැත්තෙක් වෙමි. ඔහු මට ධර්ම ග්‍රන්ථය දුන්නේය. තවද මා නබිවරයකු ලෙස පත් කළේ යැයි ඔහු(බිළිඳා) කීය.

අල්කුර්ආනය 19-29 සහ 30

යේසුස් වහන්සේ තොටිල්ලේ සිටින ළදරුවෙකු ලෙස කතා කළ බව පැවසීම තුල එතුමාණන් දෙවියන්ගේ දූතයෙකු බවට අල්කුර්ආනය සාක්ෂි දරයි. මනුෂ්‍ය වර්ගයා සඳහා අනාගතවක්තෘවරයෙකු වීමට දෙවියන් වහන්සේ විසින් තෝරා ගන්නා ලද දේව වක්තෘවරයාණන් යේසූස් බව ද අල්කුර්ආනය සාක්ෂි දරයි. මෙය මුස්ලිම්වරුන් වන අප ඇතුළුව එතුමාණන් පිලිපදින සියළුදෙනා පිලිගත යුතු වේ.

අල්ලාහ් (දෙවි) විසින් යේසුස් වහන්සේට ප්‍රතිහාරයන් පෑමේ බලය ලබා දෙන ලදී

(මිනිස් සමාජය යහමඟ යැවීමට අප විසින් එවන ලද) එම රසූල්වරුන් අතුරින් සමහරකු සමහරකුට වඩා විශිෂ්ඨ (තත්ත්වයට පත්) කළෙමු. අල්ලාහ් සමග කථා කළ අයද ඔවුන් අතර සිටිති. තවද ඔහු (අල්ලාහ්) ඔවුන්ගෙන් සමහරකු (විවිධ) තරාතිරම්වලට උසස් කළේය. තවද මර්යම්ගේ පුත් ඊසාට අපි පැහැදිලි ප්‍රාතිහාර්යයන් දුන්නෙමු. තවද රූහුල් කුදුස් (ශුද්ධාත්මය) මගින් ඔහු ශක්තිමත් කළෙමු. අල්ලාහ්ට අභිමත වූයේ නම්, ඔවුන්ට පැහැදිලි සංඥාවන් ආවායින් පසුවද ඔවුන් අතුරින් පසුව පැමිණි අය එකිනෙකාට විරුද්ධව සටන් නොකරගන්නෝය. එහෙත් ඔවුහු මතභේද වූහ. ඔවුනතුරින් පිරිසක් විශ්වාස කළහ. ඔවුනතුරින් තවත් පිරිසක් ප්‍රතික්ෂේප කළහ. අල්ලාහ්ට අභිමත වූයේ නම්, ඔවුන් (එකිනෙකා) ඇණ කොටා නොගනිති. නමුත් අල්ලාහ් (ඔහු) කැමති දේ කරයි.

අල්කුර්ආනය 2-253

ජේසුස් වහන්සේ සැබවින්ම ප්‍රාතිහාර්යයන් කළ බව ඉහත අල්කුර්ආන් වාක්‍යය සාක්ෂි දරයි. ජේසුස් නබිතුමාගේ ප්‍රාතිහාර්යයන් පිළිබඳ මෙම අවබෝධයන් ලබා නොගෙන එතුමාණන් කෙතරම් විස්මිත වක්තෘවරයෙකු වූයේ ද යන්න තේරුම් ගත නොහැක. මෙය මුස්ලිම්වරුන් වන අප ඇතුළුව එතුමාණන් පිලිපදින සියළුදෙනා පිලිගත යුතු වේ.

දෙවියන් විසින් යේසුස් වහන්සේට දිව්‍ය පණිවුඩ එවන ලදී

අනතුරුව ඔවුන්ගෙන් (එම රසූල්වරුන්ගෙන්) පසුව (ඔවුන්ගේ මාර්ගයෙහිම) තමා ඉදිරියෙහි (පෙර) වූ තව්රාතයද සත්‍ය කරමින් මර්යම්ගේ පුත් ඊසාව අනුපිළිවෙලින් සැළැස්වූවෙමු. තවද එයට ඉදිරියෙහි වූ තව්රාතයේ (වෙනස් නොකර) ඇති දෑ සත්‍ය කරමින්ද බැතිමතුන්ට යහමඟක් හා උපදේශයක් වශයෙන්ද එහි මඟපෙන්වීම හා ආලෝකය ඇති ඉන්ජිලය අපි ඔහුට පිරිනැමුවෙමු.

අල්කුර්ආනය 5-46

මිනිස් චින්තනවලින් කිලිටි නොවූ ඉස්ලාම්, යුදෙව් සහ ක්‍රිස්තියානි ආගම් (ඉබ්බ්‍රාහීම් ආගම්) පිළිගැනීම සහ ඔවුනට පහල කල දිව්‍ය පණිවුඩය පිලිබදව අල්කුර්ආනය කථා කරයි. ඒ අනුව දිව්‍ය පණිවුඩ යේසුස් වහන්සේට ලබා දී ඇති බව අපට පැහැදිලි වේ. අල් කුර්ආනය දෙවියන්වහන්සේගේ අවසාන සහ අවසාන හෙළිදරව්ව ලෙස පවතින අතර, ශුභාරංචිය මීට පෙර මනුෂ්‍ය වර්ගයා සඳහා ජේසුස් වහන්සේට හෙළි කරන ලද බවට සැකයක් නැත. මෙය මුස්ලිම්වරුන් වන අප ඇතුළුව එතුමාණන් පිලිපදින සියළුදෙනා පිලිගත යුතු වේ.

යේසුස් දෙවියන්ගේ පුත්‍රයා නොවේ

අල්ලාහ් හැර මාත් මාගේ මවත් දෙවිවරුන් දෙදෙනකු වශයෙන් සළකනුයි මර්යම්ගේ පුත් ඊසා, නුඹ ජනයාට කීවේදැයි අල්ලාහ් අසයි. (එවිට) ඔබ සුවිශුද්ධයි. මට අයිතියක් නැති දේ පැවසීම මට සුදුසු නොවේ. මා එවැන්නක් පැවසුවා නම් ඔබ ඒකාන්තයෙන්ම ඒ ගැන දන්නෙහිය. මා සිත්හි ඇති දෑ ඔබ දනියි. නමුත් ඔබේ සිත්හි ඇති දෑ මම නොදනිමි. ගුප්ත සියලූම දේ පිළිබඳ පූර්ණ අවබෝධය ඇත්තා ඔබ වේ යැයි ඔහු (ඊසා) පැවසුවේය.

අල්කුර්ආනය 5-116

දහම්ලත් ජනයිනි! නුඹලාගේ ආගමේ සීමාවන් නොඉක්මවනු. තවද සත්‍යය හැර අන් කිසිවක් අල්ලාහ් ගැන නොකියනු. මර්යමිගේ පුත් මසීහ් ඊසා (අන් කවරකුවත් නොව) අල්ලාහ්ගේ රසුල්වරයාද මර්යම් වෙත එවන ලද ඔහු(අල්ලාහ්)ගේ ආඥාවද වේ. තවද ඔහු(අල්ලාහ්)ගෙන් වු ප්‍රාණයක්ද වේ. එබැවින් අල්ලාහ් සහ ඔහුගේ රසුල්වරුන් විශ්වාස කරනු. ති්‍රත්වයක් යැයි නොපවසනු. මෙයින් වළකිනු. එය නුඹලාට වඩාත් යහපත් වේ. අල්ලාහ් හුදෙක් එකම දෙවියාය. එබැවින් ඔහු තමාට පුත්‍රයකු ලැබීමට වඩා, ඛෙහෙවින් සුවිශුද්ධය. අහස්වල හා මහපොළොවේ ඇති සෑම දෙයක්ම ඔහු සතුය ඒවායේ පෝෂණය හා ආරක්ෂාව සඳහා අල්ලාහ්ම ප්‍රමාණවත්ය.

අල්කුර්ආනය 4-171

ජේසුස් නබිතුමා දෙවියන්ගේ පුත්‍රයෙකු නොවන බවත්, ඔහු සැබවින්ම අනාගතවක්තෘවරයෙකු සේම මනුෂ්‍යයෙකු බවත් අල්කුර්ආනය පැහැදිලි කරයි. මෙය ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීම වන “තව්හීද්“ හි මූලික ඉගැන්වීම්වලින් එකකි, ඔහු ත්‍රිත්වයේ කෙනෙකු හෝ දෙවියන්ගේ භෞතික ප්‍රකාශනයක් නොවන බවත් ඔහු අල්ලාහ් (දෙවි)ගේ ඉගැන්වීම් මිනිස් සමාජයට ප්‍රකාශ කරන පණිවිඩකරුවෙකු බවත් ඉස්ලාම් (අල්තුර්ආනය) පවසයි. මෙය මුස්ලිම්වරුන් වන අප ඇතුළුව එතුමාණන් පිලිපදින සියළුදෙනා පිලිගත යුතු වේ.

ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා නැත

අල්ලාහ්ගේ රසූල්වරයකු වු මර්යම්ගේ පුත් ඊසා නියත වශයෙන්ම අපි ඝාතනය කළෙමුයි ඔවුහු පැවසූහ. එහෙත් සැබැවින්ම 192 ඔවුන් ඔහු ඝාතනය කළේවත් ඔවුන් ඔහු කුරුසියේ තබා ඇණ ගැසුවේවත් නැත. එහෙත් ඔවුන්ට (එම කාරණය) සැක සහිත වුවක් කරන ලද්දේය. තවද ඒ පිළිබඳව මතභේද ඇති කරගත් අයද ඒ පිළිබඳව සැකයෙන් පසුවෙති. හුදෙක් අනුමානය අනුගමනය කරනු මිස ඔවුන්ට ඒ පිළිබඳව දැනුමක් නැත. තවද නියත වශයෙන්ම ඔවුහු ඔහු(ඊසා) ඝාතනය නොකළහ.

අල්කුර්ආනය 4-157

අල්කුර්ආනයේ ඉගෙන්යවීම අනුව ජේසුස් නබි තුමා සත්‍ය වශයෙන්ම කුරුසියේ ඇණ ගසා නැති බවත්, ඔහුගේ සතුරන් විසින් ඝාතනය නොකළ බවත් පැහැදිලි වේ. එසේම මේ පොළොව මත සැමට යුක්තිය සහ සමානාත්මතාවය යළි ස්ථාපිත කිරීම පිණිස විනිශ්චය දිනයට (ලෝක විනාශයට) පෙර එතුමාණන් නැවත පැමිණෙනවා යන්නත් අල්කුර්ආනයේ ඉගෙන්වීමයි. මෙය මුස්ලිම්වරුන් වන අප ඇතුළුව එතුමාණන් පිලිපදින සියළුදෙනා පිලිගත යුතු වේ.

ලොවපුරා වෙසෙන යේසූස් නොහොත් ඊසා (අලෛ) තුමාව දේව වක්තෘවරයෙකු ලෙස පිලිගන්නා සෑම සියළුදෙනාගේම බුද්ධිමත් අවදානයට ඉහත අල්කුර්ආන් පාඨයන් සහ ඉස්ලාම් දහමේ අනිකුත් ඉගෙන්වීමන් යොමු වේවා!, යන ප්‍රාර්ථනයෙන් මෙම සටහනට විරාමය තබමි.



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/12/27

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම