නිමිති බැලීම

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


"මිත්‍යා විශ්වාසයන් තුල තැතිගත් මිනිස්සු ගස් ගල්වලටත් වදී" මේ මා පොතක දුටූ කියමනකි. එම කියමනින් අද මා යහමග අඩවිය තුලින් කථා කිරීමට යන්නේ "නිමිති බැලීම" නම් කාරණය පිලිබදවයි. නිමිති බැලීම නම් සංස්කෘතියක් සෑම සමාජයක් තුලම අඩු වැඩි වශයෙන් දක්නට ඇත. නොදියුණූ සමාජවල මෙම තත්වය උඝ්‍ර ලෙස දක්නට ඇත. සතියේ දින 07 සැලකූ විට එහි එක් එක් දිනයන්ට සුවිශේෂී වූ මිත්‍යා විශ්වාසයන් සහ පිලිගැනීමන් බොහෝමයක් සමාජය තුල නිතර දකින්නෙමු. විශේෂයෙන් අඟහරුවාදා දිනය සම්බන්ධයෙන් එවැනි විශ්වාසයන් නිතර අප අසන්නෙමු. එනම්, එදින විවාහ ගිවිස ගැනීම්, නිවසක් තැනීමට ආරම්භ කිරීම... වැනි සුබ කටයුතු නොකලයුතු යන්න එම විශ්වාසයයි. මෙවැනි විශ්වාසයන් හා පිලිගැනීමන් ඇත්තේ සතියේ දිනයන්ට පමණක් නොව හූනෙකු හැඬීමට, බළලාගේ ඇඬීමට, උලමාගේ හැඬීමට, බූරුවාගේ කෑගැසීමට, පූසෙකුගේ ගර්ජනාවට පමණක් නොව ස්වභාවිකව ඇති වන කිවිසුමට පවා ඇත. එපමණක් ද නොවේ “13” අංකයට, කළු වර්ණයට, වේලාවන්ට, චන්ද්‍ර හා සූර්‍ය ග්‍රහණය... යනාදී ලෙස තවත් බොහොමයක් පෙලගැසීම් කල හැක. මෙවන් මිත්‍යා විශ්වාසයන් පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්න විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි.

මෙම සාකච්චාවට පිවිසුමක් ලෙස අල්කුර්ආන් පාඨයක් යහමග පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට ප්‍රථමයෙන් ගෙන එන්නට කැමැත්තෙමි.

අල්ලාහ් (තම) දයාව මිනිසුන්ට විවෘත කර හැරියහොත් එය වළක්වා දැමිය හැකි අය කිසිවෙකුත් නැත. ඔහු (තම දයාව) වළක්වා ගතහොත් ඉන් පසුව එය විවෘත කල හැකි අයද කිසිවෙකුත් නැත. ඔහු (සියල්ලට) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

අල්කුර්ආනය 35-2

විශ්වය තුල සිදුවන සෑම දෙයක්ම නිශ්චිත සැලැස්මකට අනුව සහ අල්ලාහ් (දෙවි)ගේ කැමැත්ත මත සිදුවන බව විශ්වාස කිරීම ඉස්ලාම් දහමේ මූලික අංගයයි. (එම කාරණය අඩවිය තුල කද්ර් හෙවත් පෙර නියමය යන මාතෘකාව යටතේ දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත.) මෙම ඉහත අල්කුර්ආන් 35-2 වාක්‍යය ද මිනිස් සමාජයට අවදාරනය කරන්නේ එයයි. එසේ තිබියදී කිසියම් දවසක්, වේලාවක්, අංකයක්, වර්ණයක්, සතෙකුගේ හැඬීමක්, ග්‍රහ වස්තුවක්... යනාදීය පදනම් කරගෙන එයින් කිසිවෙකුට යහපතක් හෝ අයහපතක් ගෙනදීමේ හැකියාව ඇතැයි විශ්වාස කිරීම හුදෙක් පදනම් විරහිත මිත්‍යා බියක් සහ විශ්වාසයක් පමණි. මෙවැනි මිත්‍යා විශ්වාස ඇතිවීම ආගම දහම පිලිබදව නිසි දැනුමක් නොමැති අනුවණක්කාර නූගතුන්ගේ පිලිගැනීමන් වන අතර ඔවුන් හා සත්‍යයට හෝ යථාර්ථයට කිසිදු සම්බන්ධයක් නැත!.

ඉහත එම කාරණය දැඩිව අවදාරණය කරමින් මෙවැනි විවිධ වස්තූන් හා සිද්ධීන් පදනම් කරගෙන නිමිති බැලීම සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ අවවාදයන් වෙත අවදානය යොමු කලේනම්, එහි කොතරම් දැඩි වූ අවවාදයන් තිබෙනවාද? යන්න දැකගත හැක. ඉස්ලාම් දහම එක්තරා අවස්ථාවක නිමිති බැලීම “අල්ලාහ් (දෙවි)ට සමානයන් තැබීම (ශිර්ක් කිරීම)” නම් මහා පාපයක් යැයි මෙසේ පවසයි.

අබ්දුල්ලා ඉබ්න් මස්වුද් (රලි) විසින් මෙසේ පවසයි, “මුහම්මද් (සල්) තුමාණන් එක්තරා අවස්ථාවක 'නිමිති ගැනීම ශිර්ක් කිරීමක් වේ’ යනුවෙන් නැවත නැවතත් තුන්වරක් පැවසූහ”

මූලාශ්‍ර හදීස් ග්‍රන්ථ - අබුදාවුද්

එපමණක් නොවේ තවත් අවස්ථාවක මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසූ බව හදීසයන් හි සදහන් වේ. එනම්,

මාගේ අනුගාමිකයන් (මුස්ලීම්වරුන්)ගෙන් 70,000 ක් කිසිදු පෙර (පාපයන්) පව් පිලිබදව විමසීමකින් තොරව පාරාදීසයට (ස්වර්ගයට) ඇතුළු කරනු ලැබේ. ඔවුන් වශී-ගුරුකම් යනාදියෙහි නොයෙදුනු සහා පෙර නිමිති නොබලා තම (දෙවි) ස්වාමියා කෙරෙහි පූර්ණ විශ්වාසය තබා කටයුතු කල අය වෙති. 

මූලාශ්‍ර හදීස් ග්‍රන්ථ - බුහාරි

ඉහතින් සදහන් 35-2 අල්කුර්ආන් වාක්‍යයට අනුව අල්ලාහ් (දෙවි) මෙලොව සියල්ල සැලසුම් කොට අවසන් බවත්, එය වෙනස් කල නොහැකි පරිපූර්ණ සැලැස්මක් බවත් අවදාරණය කරද්දී, එම දිව්‍ය සැලැස්මට අභියෝග කරන ලෙස නිමිති බලමින් ඒ අනුව තමන්ට “යහපත්” ලඟාකර ගැනීමට සහ “අයහපතක්” නොඑන ලෙස වලක්වා ගැනීමට උත්සාහ කිරීම ඉස්ලාම් දහම පිලිබදව තිබෙන අනවබෝධය සහ එහි ඉගෙන්වීමන් පිලිබදව තිබෙන දුර්වල විශ්වාසය පිලිඹිබු කරන්නක් නොවේද?.

මේ ආකාරයේ මිත්‍යා විශ්වාසයන් තුල කොටු වී “පෙර පාපයන් පිලිබදව කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ස්වර්ගයට පිවිසෙන්නට තිබෙන භාග්‍යය අප අහිමි කරගන්නවාද?” යන්නත්, මෙවන් “නිමිති” විශ්වාස කොට “අල්ලාහ් (දෙවි) කිසිදු දිනක සමාව නොදෙන සහ සදාකල් නිරයේ රැදෙන ශිර්ක් නම් මහා පාපය කරනවාද?” යන්න ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/07/23

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම