ඉද්දා යනු කුමක්ද? ඒය කුමක් සදහාද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහම කාන්තාව සදහා පනවා ඇති නීතින් අතර “ඉද්දා” යන්න ද එකකි. තම ස්වාමියා අහිමි වූ කාන්තාව විසින් කිසියම් කාලසීමාවක් තවත් විවාහයක් සිදු නොකොට ශෝක කාලයක් ලෙස ගෙවාදැමීම “ඉද්දා” ලෙස හැදින් වේ. මෙය ඉද්දාව පිලිබදව සරල විග්‍රහයක් වන අතර මෙම ඉද්දාව පිලිබදව ජාත්‍යන්තරයේ මෙන්ම ජාතික තලයේත් මුස්ලීම් නොවන සමාජයට ඇත්තේ අවම වූ දැනුමක් නිසාත්, මුස්ලීම් සමාජයට ද සැලකිය යුතු දැනුමක් මේ පිලිබදව නොමැති නිසාත් මෙම විෂය පිලිබදව යහමග අඩවිය හරහා “ඉද්දා” යනු කුමක්ද? යන්නත්, එවැනි නීතියක් ඉස්ලාම් මිනිස් සමාජයට යෝජනා කරන්නේ ඇයිද? යන්නත් මෙහිදී විමසා බැලීමට අදහස් කරමි.

ඉස්ලාම් පවසන ඉද්දාව

මෙම මාතෘකාව පිලිබදව මෙවැනි සාකච්ඡාවක් ගොඩනැඟීමට තවත් ප්‍රධාන හේතුවක් ද ඇත. ඒ ඉස්ලාම් කාන්තා අයිතීන් උදුරාගන්නවා යන ලාංකීය සමාජයේ පවතින දුර්මතයයි. මීට ඉහත ද කාන්තාව සම්බන්ධයෙන් වූ මෙවන් මාතෘකාවන් කිහිපයක් සාකච්ඡා කල අතර එවන් මතවාදයන්ට තුඩුදුන් තවත් මතෘකාවක් ලෙස මෙම “ඉද්දා” පිලිබදව දැන් මෙහිදී විමසා බැලීමට අදහස් කරමි.

මා ඉහතින් සදහන් කලා සේ මුස්ලීම් කාන්තාවක් හට තම ස්වාමිපුරුෂයා (දික්කසාදය හෝ මරණයක් හේතුකොට ගෙන) අහිමි වූ විට “ඉද්දා” නම් කාලයක් ඇය ගතකිරීම අනිවාර්ය බව ඉස්ලාම් පවසයි. එම ඉද්දා නම් කාලය යනු කුමක්ද? යන්න පිලිබදව කථා කිරීමට මත්තෙන් මෙම විෂය වඩාත් හොදින් අවබෝධ කර ගැනීම සදහා මෙහි වචනාර්ථය පිලිබදව කෙටි අවධානයක් යොමු කලේනම්, “ඉද්දා” යනු අරාබි වචනයක් වන අතර එහි අර්ථය “රැදීසිටීමේ කාලය, ගණනය කිරීම, බලාහිදීම…” යනාදීය වේ. දැන් විෂය පිලිබදව අවධානය යොමු කලේනම්,

මෙම “ඉද්දා” නීතිය මුස්ලීම් සමාජය තුල ක්‍රියාත්මක වීමට නම් ඒ සදහා කාන්තාව සම්බන්ධයෙන් පැවතිය යුතු අවස්ථාවන් දෙකක් ඇත. එනම්,

  • ස්වාමියා මියගිය අවස්ථාව
  • දික්කසාදය ක්‍රියාත්මක වූ අවස්ථාව

ඉහත අවස්ථා දෙකේදීම කාන්තාවක් විසින් “ඉද්දා” නම් කාල පරිච්ඡේදයක් ගෙවාදැමීම අනිවාර්ය වේ. මෙම කාල පරිච්ඡේදය ද අවස්ථානුකූලව වෙනස් වන නිසා ඒ පිලිබදව තරමක් විස්තරාත්මක ලෙස විමසා බැලීම අත්‍යඅවශ්‍ය වේ.

ස්වාමිය මියගිය වැන්දඹු කාන්තාව නිරතවන ඉද්දා කාලය

මේ පිලිබදව ශුද්ධ වූ කුර්ආනය 2-223 මඟින් පැවසීමේ දී මියගිය පුද්ගලයාගේ බිරිද මාස 04යි දවස් 10ක කාලයක් මෙම “ඉද්දා” සමය ලෙස ගෙවාදැමිම අත්‍යඅවශ්‍ය බව පවසයි.

දික්කසාද හේතු කොටගෙන වැන්දඹූ වූ කාන්තාව නිරතවන ඉද්දා කාලය

මේ පිලිබදව ශුද්ධ වූ කුර්ආනය 2-228 මඟින් පැවසීමේ දී එම කාන්තාව ඔසප් කාලසීමා 03ක් (දළ වශයෙන් දින 84ක් පමණ) ගෙවීයන තුරු “ඉද්දා” කාලය රැකීම අත්‍යඅවශ්‍ය බව පවසයි.

මේ ආකාරයට කාන්තාව විසින් රැකිය යුතු ඉද්දා කාලය පිලිබදව ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් සරලව පැවසුව ද එහි තවත් බොහෝ කොන්දේසි පිලිබදව වෙනත් වාක්‍යයන් මගින් හා හදීසයන් මගින් පවසයි. එම කාරණයන්ද අන්තර්ගත වන සේ “මෙම ඉද්දාව කුමක් සදහාද?” යන කාරණය දැන් විමසා බලමු.

ඉද්දාව කුමක් සදහාද?

මෙම “ඉද්දා” ව කුමක් සදහාද? යන්න කථා කිරීමට පෙර කුමක්ද? මේ “ඉද්දාව” යන්න කෙටි විග්‍රහයක් කරන්නේ නම් තම ස්වාමියා අහිමි වූ කාන්තාවක් තවත් විවාහයක් කර නොගෙන රැදීසිටින කාලය “ඉද්දා” ලෙස හැදින්වේ. එය මෙහි වචනාර්ථයෙන්ම මනාව පැහැදිලි කරයි. ස්වාමියා අහිමි වූ කාන්තාව දුර්භාග්‍යයක් ලෙසත් අවාසනාවන්ත සලකුණක් ලෙසත් දකින නූතන දියුණු සමාජය දෙස බලා නොව ඊටත් වඩා අරාජිකව පැවතී. කාන්තාව අලෙවි භාණ්ඩයක් ලෙස විකිණුනු සමාජයක් දෙස බලා ඇයගේ දෙවන විවාහ අයිතීන් සුරකින ආකාරයට “ඉද්දා” නීතිය යෝජනා කිරීම ඉස්ලාම් දහමේ ශ්‍රේෂ්ඨත්වය හා අසමසම බව මනාව පිළිඹිබු කරන්නකි. එම සුරක්ෂිත භාවයේ පලමු පියවර වන මෙම “ඉද්දාව” එය මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට පැහැදිලි වනු ඇත.

ඒ අනුව ස්වාමියා අහිමි වූ කාන්තාව සදහා ඉස්ලාම් යොජනා කරන “ඉද්දාව” ක්‍රියාත්මක වන ආකාරය හා එවැනි නීතියක් ඉස්ලාමීය කාන්තාව සදහා කුමකටද? යන්න දැන් අවධානය යොමු කලේනම්, එය ප්‍රධාන වශයෙන් කොටස් දෙකෙකට බෙදා සාකච්ඡා කලහැක. එනම්,

  •  ස්වාමියා අහිමි වනවිට ගැබ්ගෙන සිටී කාන්තාව සම්බන්ධයෙන්
  •  ස්වාමියා අහිමි වනවිට ගැබ් නොගෙන සිටි කාන්තාව සම්බන්ධයෙන්

ස්වාමිය අහිමි වූ කාන්තාව ගැබ් ගෙන සිටියේ නම් ඇය තම කුසේ සිටින දරුවා මෙලොව බිහිකරන තුරු මෙම “ඉද්දා” කාලය ගෙවීම අනිවර්ය වේ. නිදසුනක් ලෙස ඇය ගැබ් ගෙන මාසයක් ගෙවීයනවාත් සමඟ තම ස්වාමියා අහිමි වුයේ නම් තම දරුවා ඇය බිහිකරන්නේ මාස 10 දී නම් ඇය ඉතිරි මාස 09ක කාලයක් ඉද්දා කාලය ලෙස රැකීම අනිවාර්ය වේ. එසේම ඇය ගැබ් ගෙන මාස 09යි දින10 කින් ඇගේ ස්වාමියා ඇයට අහිමිවුයේ නම් හා ඇය තම දරුවා මාස 10 දී බිහි කලේනම් ඇයගේ “ඉද්දා” කාලය වන්නේ ඉතිරි දින 20 පමණි. නමුත් තම ස්වාමියා මියදෙන විට ඇය ගැබ් නොගෙන සිටියේ නම් ඇය “ඉද්දා” කාලය ලෙස මාස 04යි දින 10ක් ගෙවීම අත්‍යඅවශ්‍ය වේ. මෙය කියවන බොහෝ පිරිසකට “මෙවැනි නීතියක් අවශ්‍ය වන්නේ ඇයි” යන කුතුහලය ඇතිවීමට පුළුවන. සැබැවින්ම මෙවැනි නීතියක් ඉස්ලාම් මිනිස් සමාජයට යෝජනා කරන්නේ එහි මනුෂ්‍ය දිවියේ සාර්ථකත්වයට බලපාන බොහෝ කරුණු කාරණා අන්තර්ගත නිසා යන්න මුස්ලීම්වරුන් වන අපගේ විශ්වාසයයි. මීට සියවස් 13 කට පෙර මිනිස් සමාජයට පෙන්වාදෙන මෙම ආදර්ශයේ අරමුණූ පූර්ණ වශයෙන් අද එකවර අවබෝධ කර ගැනීම අපහසු වුවත් එහි පැහැදිලිවම පෙනෙන සත්‍යයක් අපට මෙහිදී සාකච්ඡාවට ගතහැක. ඒ කාන්තාව තම කුසතුල දැන හෝ නොදැන දරාගෙන සිටින දරුගැබ පිලිබදව මෙම “ඉද්දා” තුලින් ඉස්ලාම් දක්වන සැලකිල්ලයි. ඒ පිලිබදව තරමක් ගැඹුරින් මෙහිදී විමසා බලමු. එනම්,

ස්වාමියා අහිමි වූ කාන්තාවක් පසුකාලීනව තමා ගැබ්ගෙන බව දැනගැනීම

මෙවැනි තත්වයක් වර්ථමාන සමාජය තුල ඇතිවීම සංකිර්ණ තත්වයකි. ස්වාමියා අහිමි වී දින කිහිපයකට පසුව තමා මියගිය සැමියාට දාව ගැබ්ගෙන බව සමාජයට ප්‍රකාශ කලත්, එසේත් නැත්නම් පසුකාලීනව සමාජය එය දැනගත්ත ද ඔවුන් එය කුතුහලයෙන් හා ඇය කෙරෙහි සැකයෙන් බැලීම වර්ථමානයේ අප හොදින් දන්නා කාරණයකි. ඒ ඇත්තටම මේ මියගිය තම ස්වාමියාගේ දරුවාද? නොඑසේ නම් වෙනයම් සම්බන්ධයක් තුලින් මෙම දරුවා බිහිවුණාද? යන්න ඒ සැකයයි. මෙය කාන්තාවකගේ ගෞරවය කෙලසන, ඇයව සමාජය තුල අසරණ කරවන, එසේම ඇය බිහිකරන දරුවා සමාජය තුල පහත් කොට සලකන තත්වයක් උදාකිරීමකි. නමුත් ඉස්ලාම් යෝජනා කරන “ඉද්දා” නම් නිතිය සමාජය තුල ක්‍රියාත්මක වනවිට ඉහත ආකාරයේ චෝදනාවන් වලින් ඇය ආරක්ෂා වේ. ඇය දරුවකු බිහිකල ද එම දරුවා තම මියගිය ස්වාමියාට දාව උපන් දරුවකු යන්න කිසිදු මතභේදයකින් තොරව තහවුරු වේ. මේ නිසා ඇයගේ ගෞරවයද ආරක්ෂා වේ.

ස්වාමියා මියයන විට ඇය ගැබ්ගෙන සිටියේ නම්

ස්වාමියා මියයන විට ඇය ගැබ්ගෙන සිටියේ නම් ඇය තම දරුවා බිහිකරන තුරු “ඉද්දා” රැකීම ඉස්ලාම් අනිවර්ය කොට ඇති බව ඉහතින් දැනගත්තෙමු. මෙහි මේ තුලින් ද ඉස්ලාම් අපේක්ෂා කරන්නේ කාන්තාවගේ ආරක්ෂාව හා තම ගැබතුල ජීවත් වන දරුවාගේ ආරක්ෂාව හා අයිතින් යන්න පැහැදිලිය. තම ස්වාමියා අහිමි වු කාන්තාවක් ගැබ්ගෙන සිටිය දී වෙනත් විවාහයක් කරගත්තේ නම්, එහිදී විවිධ ගැටළු රාශියක් පැන නැඟේ. උදාහරණයක් ලෙස ස්වාමියා මියගිය කාන්තාවක් තම ස්වාමියා මියගොස් මාසයකින් වෙනත් විවාහයක් කරගත්තා යයි උපකල්පනය කරන්න. ඇය විවාහ වී සති කිහිපයකින් ඇය ගැබ්ගෙන බව තහවුරු වුවා යයිද සිතන්න. මෙවැනි අවස්ථාවක සංකීර්ණ ගැටළු රාශියක් ඇතිවේ. එනම්,

තම දෙවන විවාහක ස්වාමියා මේ දරුවා තමාගේ නොවන බව පවසමින් එම දරුවා හා බිරිද ප්‍රතික්ෂේප කරන්නට පුළුවන, මේ තුලින් එම විවාහය දෙදරා යාමට පුළුවන, එසේම මේ ගැබ තුල සිටින දරුවාගේ පියා ඇයගේ ප්‍රථම ස්වාමියාගේ බව පවසමින් දෙවන ස්වාමියා හට මෙම වගකීමෙන් මඟ හැරීමට හැක.

මෙම දරුවා සැබැවින්ම ප්‍රථම ස්වාමියාට දාව ඉපදුනු දරුවෙකු නම් එම දරුවා හට තම පියාගේ දේපලවල අයිතින් (කිසියම් අනුපාතයකට) හිමිවේ. එසේ අයිතින් ලබාදීමේ දී මියගිය ස්වාමියාගේ ඥාතීන්ට හිමි වූ දේපල කොටසෙන් කිසියම් අනුපාතයක් මේ දරුවා වෙනුවෙන් නැවත ලබාගැනීමට සිදුවේ. මෙවැනි අවස්ථාවක එම ඥාති පිරිස් තම වස්තූන් නැවත නොදී ආරක්ෂා කිරීම පිණිස “මේ දරුවා තම සහෝදරයාගේ (මියගිය තැනැත්තාගේ) නොවේ”. යයි පවසා ප්‍රතික්ෂේප කිරීමට පුළුවන, එසේම දරුගැබ තුල සිටින දරුවාගේ පියා (මියගිය පුද්ගලයා) යයි පවසමින් ප්‍රථම සැමියාට අයත් දේපල හා වස්තූන් දිනාගැනීමට ද දෙවන සැමියා කටයුතු කිරීමට පුළුවන, ඒ සදහා තම දරුවා වුවද ප්‍රථම ස්වාමියාගේ දරුවා යනුවෙන් වාද කිරීමට දෙවැනි ස්වාමියා පෙළඹීමට පුළුවන. මේ සියල්ල තුලින් අහිමි වී යන්නේ දරුවාගේ මූලික අයිතීන් හා කාන්තාවගේ ගෞරවයයි. අවසානයේ මේ සියළු අසාධාරණයන් සදහා මැදිවෙන්නේ කාන්තාව (මව) හා දරුවා පමණි.

මෙවැනි හේතූන් රාශියක් එම පවුල් ජීවිතය සංකිර්ණ තැනකට යොමු කිරීමට හැකිවන නිසා ඉස්ලාම් යෝජනා කරන “ඉද්දා” තුලින් මේ සියළු ව්‍යාකූල තත්වයන් ඇහිරී යයි. මෙසේ මා කරුණු දක්වන විට “ඉතින් මේකට මාස 04ක් අවශ්‍ය ද මාසයක් ඇතුලත කාන්තාවක් ගැබ්ගෙනද? කියා තීර්ණය කරගන්න පුළුවන්නේ” යනුවෙන් සිතෙන්නට පුළුවන. සැබැවින්ම කාන්තාවක් ගැබ්ගෙන ද? යන්න තහවුරු කරගැනීම සදහා මාස 04 ක කාලයක් අවශ්‍ය නොවේ. මෙහිදී අවබෝධ කරගතයුතු කාරණය දරුගැබ පමණක් පදනම් කරගෙන මෙම පැහැදිලි කිරිමන් මා සිදුකල ද මා ඉහතින් සදහන් කලාසේ මනුෂ්‍ය බුද්ධියට තවම ගෝචර නොවූ තවත් බොහෝ අවශ්‍යතාවයන් මේ “ඉද්දාව” තුල පැවතිය හැක. කෙසේ වෙතත් දරුගැබ පදනම් කරගෙන මෙම කාරණය ද විමසා බැලුවේ නම්, තමා ගැබ්ගෙන ඇති බව සමාජයට වසන් කරමින් විවාහයක් සදහා කාන්තාවකට උත්සාහ කලහැක. නමුත් මාස 04 යි දින 10 යන්න කාන්තාවකට තම දරුගැබ වසන්කල හැකි කාලපරාසයක් නොවේ. මේනිසාද ඉස්ලාම් “ඉද්දා” කාලය ලෙස මාස 04 දින 10 ක් යෝජනා කර තිබෙන්නට පුළුවන. කිසියම් ආකාරයකට ඇය තමා ගැබ්ගෙන සිටින බව සමාජයෙන් වසන් කොට තම ගැබට මාස දෙකක් පමණ තිබිය දී වෙනත් විවාහයක් සිදුකරගත්තේ නම් හා තම ගැබ තුල සිටී දරුවා අඩුමාසයකින් පිලිසිද ගත්තේ නම් මෙම සත්‍යය සමාජයෙන් සම්පූර්ණයෙන් වසන්කර දැමීමට එම කාන්තාවට හැකි වනුඇත. එසේ නැතත් අඩුමාසයෙන් දරුවන් බිහිවීම හේතුකොටගෙන මෙවැනි තත්වයන් සංකීර්ණ කාරණයන් බවට පත්වන්නට පුළුවන. නමුත් ඉස්ලාම් පෙන්වාදෙන මාස 04 දින 10 යි “ඉද්දා” කාලයේ රුදිසිටීම තුල මෙවැනි ක්‍රියාවන්ට ද මඟ ඇහිරී යයි. මේ අනුව ද තහවුරු වන්නේ “දරුගැබේ සිටින දරුවාගේ අයිතීන් ඉස්ලාම් දැඩිව ආරක්ෂා කරදී ඇත” යන්නයි. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව දරුවකුගේ පියා යන්න කිසිසේත් වසන් නොකලයුතු කාරණයකි. එය ඉස්ලාම් මුස්ලිම් සමාජයට දැඩිව අවධාරණය කරන කාරණයකි. දරුවකු අරන් හදාවඩා ගත්තද එම දරුවාට තේරුමක් ඇති වයසට එනවිට තම සැබෑ පියා කව්රුන්ද යන්න ඔහුට හෝ ඇයට අවබෝධකර දීම අනිවාර්ය වේ. (මෙය සමාජයේ බහුතරයක් පැහැරහරින වගකීමකි) තම පියා කුමණ ජාතියක්, ආගමක්, තරාතිරමක් හෝ කුලයක් නියෝජනය කරනවාද යන්න මෙහි වැදගත් නොවේ. ඉස්ලාම් මෙම කාරණයේදී මෙතරම් සැලකිලීමත් වනවිට ඉහත ආකාරයට දරුගැබේ සිටින දරුවා කාහට හිමිද යන්නෙහි නොසැලකිලීමත් වනු ඇත්ද?. මෙම කාරණය තමා ශුද්ධ වූ කුර්ආනයේ 2-228 මඟින් අල්ලාහ් (දෙවියන්) මෙලෙස පවසන්නේ,

“දික්කසාදයට මුහුණපෑ කාන්තාවන් මාස තුනක ඔසප් කාලයක් (වෙනත් විවාහයක් නොකොට) බලාහිදිය යුතුය. අල්ලාහ් (දෙවියන්) හා අවසාන දිනය (මේ ලෝක විනාශ දිනය) විශ්වාස කර හිදින්නේ නම් තම ගර්භාෂය තුල ඇති දෑ වසන්කිරීමට ඔවුනට අයිතියක් නැත.”

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයෙන් තහවුරු වන සත්‍යයක් ඇත. ඒ මෙම ලිපිය තුලින් මා පැවසීමට උත්සාහ කරන ඉද්දාව තුලින් දරුගැබ සම්බන්ධයෙන් ඉස්ලාම් දක්වන සැලකිල්ලයි. මේ අනුව “ඉද්දා”ව යන්න කාන්තාව හා ඇගේ කුසතුල දරා සිටින දරුවාගේ අයිතින්, ආරක්ෂාව හා ගෞරවය රැකීම සදහා ඉස්ලාම් යෝජනා කරන අත්‍යඅවශ්‍ය ජීවන සැලැස්මක් යන්න පැහැදිලිය. මෙලෙස මා කරුණු දක්වන විට කෙනෙකු හට “එසේනම් මහළු (ඔසප් කාලය අවසන් වූ) කාන්තාවන් “ඉද්දා” හි නිරතවීමට අවශ්‍ය නැද්ද” යන සැකය මතුවීමට හැක. මෙම කුතුහලයට ශුද්ධ වූ කුර්ආනය 65-4 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවියන්) මෙලෙස පැහැදිලි කරයි. එනම්,

“…ගැහැණූන්ගෙන් කවුරුන් (වයොවෘද්ධී වි) ඔසප්වීම සිදුනොවී (ඉද්දා කාලය ගණනය කිරීමට නොහැකිව) සිටින පිරිසට හා ඔසප් සිදුනොවන පිරිසටද ඉද්දාවෙහි කාලය මාස තුනකි…”

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට අනුව ස්වාමියා අහිමි වූ කාන්තාව කුමණ වයසේ පසුවෙනවාද? යන්න ඉද්දාව සදහා තීරණාත්මක සාධකයක් නොවන බව පැහැදිලිය. ඇය විවාහයක් අපේක්ෂාවෙන් සිටියද? විවාහයක් අපේක්ෂා නොකලද? ඉස්ලාම් පවසන “ඉද්දා” කාලය ගෙවීම අනිවාර්ය යන්න පැහැදිලිය. මේ අනුව ද පහැදැලි වන්නේ ඉද්දා වෙහි අරමුණ තම ගැබ තුල දරාසිටින දරුවා යන්න පමණක් නොවන බවද පැහැදිලි වේ. මෙතෙක් වේලා ඉස්ලාම් පෙන්වාදෙන “ඉද්දා” නම් ආදර්ශය පිලිබදව තරමක් දුරකට අවබෝධයක් ලබාගත්ත ද මෙම මාතෘකාව පිලිබදව කථා කරවිට අනිවාර්‍යෙයන් සාකච්ඡාවට ගතයුතු මෙතෙක් සාකච්ඡාවට නොගැණුනු කාරණයක් ඇත. ඒ වර්ථමාන මුස්ලිම් සමාජය තුල මෙම විෂය ක්‍රියාත්මක වන ආකාරයයි.

ආගමික මූලාශ්‍රයන් තුලින් දහම අවබෝධ කරගන්නවා වෙනුවට සමාජ සම්ප්‍රදායන් හා අනිකුත් සමාජවල ආදර්ශයන් පදනම් කරගෙන මුස්ලිම් සමාජය ඉස්ලාම් දහම ක්‍රියාවට නැංවීමට උත්සාහ කිරීම හේතු කොටගෙන එහි නොයෙකු අඩුපාඩුකම් දක්නට ලැබේ. (මේ පිලිබදව මෙම අඩවිය තුල කිහිපවිටක් සාකච්ඡා කොට ඇත) එවන් තවත් එක් අවස්ථාවක් තමා මෙම “ඉද්දාව” ඒ පිලිබදව කෙටි අවධානයක් යොමු කලේනම්.

ඉද්දා කාලය යනු ඉහත සදහන් (කාන්තා) පාර්ශවයන් තවත් විවාහයක් සිදුනොකොට ගතකලයුතු කාලයයි. එනම් ඉහත සදහන් කාලපරාසයන් ගෙවීයාමෙන් අනතරුව තමා ඔවුන් වෙනත් විවාහයක් කර ගතයුත්තේ. මෙම කාලය තුල ඔවුන් අනුගමනය කලයුතු කොන්දේසි කිහිපයක්ද ඉස්ලාම් පවසා ඇත. ඒවායින් කිහිපයක් සදහන් කරන්නේ නම්,

  •  කාන්තාව ඉද්දා කාලය තුල තමාව අධික ලෙස අලංකාර (ඇස් අලංකාරව සැරසීම, සුවද විලවුන් භාවිතය, අධික වර්ණවත් වස්ත්‍ර යනාදියෙන්) සැරසීම සුදුසු නොවේ.
  • තම ඉදිරියේ දී සිදුකිරීමට නියමිත විවාහය පිලිබදව සෘජුවම කථා කිරීමෙන්ද වැලකී සිටිය යුතුය.

මේ ආකාරයට සරල කොන්දේසි කිහිපයකට යටත්ව ක්‍රියාවට නංවන “ඉද්දා“ නීතිය වැරදි ආකාරයට අවබෝධ කරගනෙ සිටින මුස්ලීම් සමාජයේ සමහරක් පිරිස් “ඉද්දා“ නමින් කාන්තා හිංසනයක් ක්‍රියාවට නංවන අවාසනාවන්ත තත්වයක් අද දක්නට ඇත. ඒ ඇය සූර්‍යාලෝකය නොවැටෙන ලෙස සිටිය යුතු බවත්, කළුවර කුටියක සිටිය යුතු බවත්, ඇය කිසිදු පිරිමියෙකු නොදැකිය යුතු බවත්, කුඩා පිරිමි දරුවන් පවා නොදැකිය යුතු බවත් පවසමිනි. එපමණක් නොව සමහරක් ප්‍රදේශවල තම පිරිමි දරුවාට පවා මව බැලීමට අවසර නොදෙන අවස්ථාවන් දක්නට ඇත. මුස්ලිම් නොවන කාන්තාවන් ඇය බැලීම නොසුදුසු බවට පවසන පිරිස් පවා අප සමාජයේ ඇත. එපමණක් ද නොව ස්වාමියා මියගිය වර්ෂය පූරාම එම කාන්තාව දුක්ක වර්ෂයක් ලෙස සලකා අලුත් ඇදුම් ඇදීම හෝ අවුරුදු උත්සව සැමරීම යනාදියෙන් වැලකී සිටිය යුතු බව තවත් සමහරුන් පවසයි. අනිකුත් සමාජවල වැන්දඹු කාන්තාවන්ට උරුම කරදී තිබෙන තත්වයට වඩා පහත් තැනක් ඉස්ලාමීය කාන්තාවට “ඉද්දා“ නමින් වර්ථමාන මුස්ලීම් සමාජය උදාකර දී ඇත. මෙවැනි ක්‍රියා කලාපයන් බොහෝමයක් එක් එක් ප්‍රදේශයන්ට ආවේනික ලෙස ක්‍රියාවට නැංවේ. මේවා සියල්ල සම්පිණ්ඩනය කොට පවසනා නම් “මේ කිසිවක් ඉස්ලාම් නොවන අතර මේවා සියල්ල කාන්තා හිංසනයන් පමණි.“ සමස්ථ ලොකයම මෙම කාරණයේ දී කාන්තාව පහත්කොට සලකන විට ඉස්ලාම් “ඉද්දාව“ තුලින් ඇය ආරක්ෂා කරන දහමකට උරුමකම් කියන මුස්ලීම් සමාජය එම “ඉද්දා“ නමින්ම ඇයගේ අයිතීන් උදුරාගැනීම කොතරම් අවාසනාවන්ත තත්වයක්ද? මෙවැනි මිත්‍යාවන් හි ගිලීගිය සමාජයේ අවධානයට ශුද්ධ වූ කුර්ආනයේ සදහන් 2-235 වාක්‍යය යොමු කිරීමට අදහස් කරමි. අල්ලාහ් (දෙවියන්) පවසන පහත කාරණය මොහොතක් බුද්ධිමත් ලෙස විමසා බැලීමේ වගකීම මේ මුස්ලීම් සමාජයට ඇත. එනම්,

(ඉද්දාවෙහි නිරත වී සිටින ඔබ ඉද්දා කාල තුල) විවාහ වීමට ඇති කැමැත්ත ප්‍රකාශ කිරීම හෝ ඉඟි මඟින් විවාහය යෝජනා ඉදිරිපත් කිරීම ඔබ කෙරෙහි වරදක් නැත. ඔවුන්ව නුඹ සිතින් ප්‍රියකරන බව අල්ලාහ් දන්නේය. යහපත් අයුරින් ඔවුන් හා කථා කරනවා මිස ඔවුනට පොරොන්දු නොදෙන්න!, නියමිත (ඉද්දා) කාලය අවසන් වනතුරු විවාහ විමේ තීන්දුවකට නොඑළඹෙන්න. නුඹලාගේ සිත්තුල ඇති දෑ අල්ලාහ් දන්නේය යන්න අවබෝධ කරාගන ඔහුට බියවන්න!,

ඉහත කුර්ආන් වාක්‍යය වචනයෙන් වචනය හොදින් විමසා බැලුවේ නම් වර්ථමාන මුස්ලිම් සමාජය “ඉද්දා“ නමින් කරන්නේ කුමක්ද? “ඉද්දාව“ මඟින් ඉස්ලාම් අපේක්ෂා කරන්නේ කුමක්ද? යන්නත් පැහැදිලිවම වටහාගත හැක. මෙම තත්වය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා පහත හදීසය ඔබගේ බුද්ධිමත් විමසුමට යොමු කරමි.,

ජාබිර් (රලි) තුමා මෙසේ පවසන ලදි. “මාගේ මවගේ සහෝදරියක් “ඉද්දා“ කාලය ගෙවමින් සිටින අවස්ථාවක තම රටඉදි ගසේ පලදාව ඇය විසින්ම නෙලන්නට සිතුවේය. එම මොහොතේ කෙනෙකු “මේ කාලයේ ඔබ කොහේවත් නොයායුතුයි“ යනුවෙන් ඇයට අවවාද කරන ලදී. ඒ මොහොතේ ඇය නබිතුමාණන් හමුවට පැමිණ සිදුවූ දෑ පැවසූ විට නබිතුමාණන් “ඔව් ඔබ යන්න ගිහින් රටඉදි පල නෙලාගන්න. මන්ද එයින් ලැබෙන ආදයමින් නුඹට දානධර්ම (පරිත්‍යාගයන්) කරන්න එසේත් නැත්නම් යහපත් කටයුතුවලට එය යොදවන්න.“ යනුවෙන් පවසන ලදි.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

ඉහත හදීසයට තවත් විග්‍රහයක් අවශ්‍ය නොවේ යයි සිතමි. මෙම හදීසය තුලින් අවධාරණය කරන කාරණය හා වර්ථමාන (ලාංකීය හා ඉන්දියානු) මුස්ලිම් සමජය සිදුකරන කාරණය හොදින් විමසා බැලුවේ නම් මෙම “ඉද්දාව“ සම්බන්ධයෙන් කොතරම් මිත්‍යාවන් තුල මුස්ලීම් සමාජය කොටු වී සිටිනවාද? යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. මෙම තත්වයන් වෙනස් කලයුතුය. මුස්ලීම්වරැන්ගේ මෙම මිත්‍යදෘෂ්ඨික ක්‍රියා කලාපයන් නිසා විවේචනයට ලක්වන්නේ ඉස්ලාම් දහම මිස එම ජන සමාජය නොවේ. මෙවැනි දෑ තුලින් සිදුවන්නේ ඉස්ලාම් දහමේ පවතින යහපත් ආදර්ශමත් ඉගෙන්විමන් පවා විකෘති වී සමාජගත වීම පමණි. අවසාන වශයෙන් මේ ආකාරයට ඉස්ලාම් පේනවා නොදෙන නීතිරීති යොදාගෙන මුස්ලීම් සමාජය තුල ඉස්ලාම් නමින් විවිධ දෑ ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් මුහම්මද් (සල්) තුමානන් විසින් සමාජයට කල අවවාදාත්මක එක් හදීසයක් ඔබගේ බුද්ධිමත් අවධානයට යොමු කරමින් මෙම ලිපිය අවසන් කරමි.

වරක් නබිතුමාණ්න් ජනතාව හමුවේ නැඟීසිට අල්ලාහ් (දෙවියන්)ට ප්‍රසංශා කොට අනතුරුව “මේ සමහරක් මිනිසුන්ට කුමක් සිදුවෙලාද? අල්ලාහ් (දෙවියන්)ගේ නීතියෙහි නොමැති කොන්දේසි පවා (ජනතාව අතර) ක්‍රියාවට නංවනවා නේ, දැනගන්න අල්ලාහ් (දෙවියන්)ගේ නීතියෙහි නොමැති කිසිවක් වලංගු නොවේ. එය සියක් වාරයක් ප්‍රකාශ වුවද කම්නැත. අල්ලාහ් (දෙවියන්)ගේ තින්දු තමා පිලිගෙන ක්‍රියාකිරීමට සුදුසු ඒවා වන්නේය.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහරී

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/10

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම