ඉහ්සාන් යනු කුමක්ද?

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහම “ඊමාන්”, “ඉහ්ලාස්” සහ “ඉහ්සාන්” යන මූලික සංකල්ප තුන මත ගොඩනැඟූණු දහමකි. (මෙම යහමග අඩවිය තුල “ඊමාන්” සහ “ඉහ්ලාස්” යන්න මීට ඉහත පූළුල්ව කථා කොට ඇත.) මෙහි “ඉහ්සාන්” යන්න ද ඉස්ලාම් දහම තුල පුළුල් සංකල්පයකි. මෙහි සරල අර්ථය ලෙස “අලංකාර බව”, “යහපත් බව”, “විශිෂ්ට බව”... යනාදී වශයෙන් පැවසිය හැක. එවැනි අදහසින් ඉදිරිපත් වන අල්කුර්ආන් වාක්‍ය කිහිපයක් මෙහි ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නේ නම්,

අල්ලාහ් හැර (වෙන කිසිවෙකු හෝ කිසිවක්) නැමදුම් නොකරනුයි ද,දෙමව්පියන් වෙත (යුතුකම් ඉටුකර) ඇප උපස්ථාන කරනුයි ද, නැදෑයින්ට ද, අනාථයින්ට ද දුගීයන්ට ද (ඇප උපස්ථාන කරමින්) යහපතම ඉටුකරන්න යනුවෙන්ද, මිනිසුන්ට ප්‍රිය වදන් පවසනුයි ද, සලාත්හි නිරතවනුයි ද, සzකාත් දෙනුයි ද, යනුවෙන් (මුතුන්මිත්තන් වූ) ඉස්රාඊල් දරුවන් සමඟ අප ගිවිසුමක් කරගත් සැටි සිහියට නගනු. ඉන්පසුව ද, නුඹලා අතුරින් ටික දෙනෙකු හැර (අන් අය එම ගිවිසුම) නොසලකා මඟ හැරියාහුය.

අල්කුර්ආනය 2-83

(තමා දික්කසාද කළ භාර්යාව එම ස්වාමිපුරුෂයාම නැවත වරක් භාර්යාව වශයෙන් තබා ගැනීමට අවසර ඇති) තලාක් (දික්කසාදය) දෙවරක් (උච්චාරණය කළ හැකි)ය. අනතුරුව නිසි ගරු සරු ඇතිව (භාර්යාව තමා වෙත) රඳවා ගැනීම හෝ විනීතභාවයෙන් යුතුව අත්හැරීම සිදුකළ යුතුය. එසේ (අත්හැරීම) සිදුකළ හොත් නුඹලා විසින් ඔවුනට දෙනු ලැබූ දෙයින් කිසිවක් හෝ ආපසු ගැනීම නුඹලාට නීති්‍යානුකූල නොවේ. එහෙත් අල්ලාහ් විසින් පනවන ලද සීමාවන් ඇතුළත ක්‍රියා කිරීමට ඔවුන් දෙදෙනාට නොහැකි වෙතැයි කියා ඔවුන් දෙදෙනා අපේක්ෂා කරතොත්ද තවද ඔවුන් දෙදෙනාට අල්ලාහ් විසින් පණවන ලද සීමාවන් රකින්නට බැරියැයි (මැදිහත් කරුවන් වන) නුඹලා තුළද භීතියක් ඇතිවී නම් භාර්යාව ස්වාමියාට වන්දියක් වශයෙන් යමක් දීමෙන් (ඇය තලාක් ලබා ගැනීම) ඔවුන් දෙදෙනා කෙරෙහි වරදක් නැත. මෙය වූ කලී අල්ලාහ් විසින් පනවා ඇති සීමාවන් වේ. එබැවින් ඒවා උල්ලංඝණය නොකරනු. කිසිවෙක් අල්ලාහ්ගේ සිමාවන් කඩකරන්නේද ඔවුහුමය වරදකරුවෝ.

අල්කුර්ආනය 2-229

තවද, නුඹලා අල්ලාහ්ට අවනත වනු. ඔහුට කිසිවක් හෝ කිසිවෙකු ආදේශ නොකරනු. නුඹලාගේ දෙමව්පියන්ට කරුණාව හා ස්නේහය දක්වනු. නුඹලාගේ කිට්ටු ඥාතීන්ටද අනත් දරුවන්ටද ඳිළින්ඳන්ටද නුඹලාගේ ඥාතීන්වන අසල් වැසියන්ටද ඥාතීන් නොවන අසල්වැසියන්ටද නුඹලා අසල සිටින සහචරයින්ටද, මාර්ගයෙහි ගමන් කරන මගීන්ට ද නුඹලාගේ දකුණු අත් හිමිකරගත් අය(වහලූන්)ට ද (කරුණාන්විත වනු) නියත වශයෙන්ම අහංකාර වන්නන් ද පුරසාරම් දොඩවන්නන් ද අල්ලාහ් ප්‍රිය නොකරන්නේය.

අල්කුර්ආනය 4-36

එහෙත් ඔවුන්ගේම ක්‍රියාවන්හි ප්‍රතිඵල නිසා ඔවුනට විපතක් පැමිණි විට ඔවුහු කෙසේ හැසිරෙත්ද? පසුව ඔවුහු නුඹ වෙත පැමිණ, අප අදහස් කළේ යහපතක් කිරීමටත් (පාර්ශවයන්) අතර යළි සමගියක් ඇති කිරීමටත් මිස නැතියි ඔවුහු අල්ලාහ්ගේ නාමයෙන් දිවුරා පවසති.

අල්කුර්ආනය 4-62

මුහාජිරූන් (සංක්‍රමණිකයින්) සහ අන්සාර්වරුන්(ඔවුනට උදව් කළවුන්) අතුරින් (ඊමාන්-විශ්වාසය පිළිබඳ ඇරියුමට) මුලින්ම ප්‍රතිචාර දැක්වූ අය ගැනද සිල්වත් කමින් ඔවුන් පිළිපැදි අය ගැනද අල්ලාහ් ප්‍රසාදයට පත් විය. ඔවුහුද අල්ලාහ් ගැන සතුටට පත් වූහ. යටින් දියදහර ගලාබස්නා ස්වර්ගයන් ඔහු(අල්ලාහ්) ඔවුනට පිළියෙළ කර ඇත. ඔවුහු එහි සදාකල් වෙසෙති. ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණය මෙයයි.

අල්කුර්ආනය 9-100

හොඳට හොඳක්ම මිස, (වෙනත්) ඵලවිපාකයක් ඇත්ද?

අල්කුර්ආනය 9-100

මේ ආකාරයට අල්කුර්ආනය “ඉහ්සාන් යන වදන විවිධ අර්ථවලින් භාවිතා කොට ඇත. මෙම “ඉහ්සාන්” යන්නට ආගමික විග්‍රාහය වන්නේ, මුස්ලීම්වරයෙකු කිසියම් ක්‍රියාවක නියැලෙන විට, එහිදී ඉස්ලාමීය මූලික විශ්වාසයන් නිවැරදිව පිලිගෙන (“ඊමාන්” කොට) මුහම්මද් (සල්) තුමාණන්ගේ මඟපෙන්වීමන් මත (“ඉහ්ලාස්” හි) පිහිටා එම ක්‍රියාව විශිෂ්ට අන්දමින් (“ඉහ්සාන්”) ඉටු කිරීමයි. එනම් එම ක්‍රියාව තුල අවංකකම, පරිපූර්ණත්වය, යහපත් බව සහ නිවැරදි බව වැනි ගුණාංග පැවතීම අත්‍යඅවශ්‍ය වේ. මෙය මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පැහැදිලි කලේය. එනම්,

"ඔබ (කිසියම් ක්‍රියාවක නියැලෙන විට) අල්ලාහ් (දෙවි) ඔබ ඉදිරියේ සිටිනවා යැයිද, ඔබ ඔහු දකිනවා යැයිද සිතා නැමදුම් ඉටු කරන්න. ඔබ ඔහුව නොදැක්කාට ඔහු ඔබව දකින බව විශ්වාස කරන්න." 

හදීස් ග්‍රන්ථය - මුස්ලීම් (මේ පිලිබදව වැඩිදුර කියවන්න - හදීස් ජිබ්රීල්)

ඉහත හදීසය හොදින් විමසා බලන්නේ නම්, මුස්ලීම්වරයෙකුගේ ක්‍රියාවක් “කුසල ක්‍රියාවක්” වීමට නම්, එහි සැපිරිය යුතු අවශ්‍යතා අතර “ඊමානය” සහ “ඉහ්ලාසය” යන කාරණා දෙකට අමතරව “ඉහ්සානය” ද මූලික අවශ්‍යතාවයක් යන්න පැහැදිලි වේ. මෙය මුස්ලීම්වරයෙකු හට ඉස්ලාම් දහම අණ කරන වගකීමක් ද වන අතර එය අල්කුර්ආනය ඉතා පැහැදිලිව මෙසේ පවසයි.

ඔබගෙන් කවුරුන් ක්‍රියාවන්ගෙන් ඉතාමත් අලංකාරවත් කෙනෙකු යන්නෙහි ඔබව පිරික්සනු පිණිසම ඔහු ජීවිතයද මරණයද උත්පාදනය කර ඇත්තේය. ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකි. ඉතාමත් සමාවෙන් යුත්තයෙකි.

අල්කුර්ආනය 67-2

අල්කුර්ආනයේ තවත් තැනක...

අද්ලු (යුක්තියත්) ඉහ්සාන් (ත්‍යාගශීලිභාවයත්) ඥාතීන්ට කාරුණිකව සැලකීමත් නියතවශයෙන් අල්ලාහ් නියම කරයි. තවද ෆහ්ෂා(අවිනීතභාවය) මුන්කර්(කෘරූරකම) සහ බග්යු(පීඩාකාරී) බව ඔහු තහනම් කරයි. නුඹලාට සිහිගන්වනු පිණිස ඔහු නුඹලාට (මෙසේ) උපදෙස් දෙන්නේය.

අල්කුර්ආනය 16-90

ඉහත 67-2 අල්කුර්ආනය වාක්‍යය මොහොතක් බුද්ධිමත්ව විමසා බලන්න. එහි මනුෂ්‍ය වර්ගයා මෙලොවට පහල කිරීමේ අරමුණම ඔහුගේ “ඉහ්සානය” පරික්ෂා කිරීම බව පවසයි. එපමණක් නොව ඉහත 16-90 වාක්‍යය මඟින් යුක්තිය, සහ ඉහ්සාන් සහ ඥාතීන්ට උපකාර කිරීම අණ කරයි. එසේනම් මෙම “ඉහ්සාන”ය ඉස්ලාම් දහම තුල කොතරම් සුවිශේෂි අංගයක් ද යන්න ඔබට තේරුම් ගැනීම අපහසු නොවේ යැයි සිතමි. අප නියැලෙන කුසල ක්‍රියාවට අදාල පූර්ණ පලය ලබා ගැනීමට නම් එහි “ඊමානය” හා “ඉහ්ලාසය” ට අමතරව “ඉහ්සානය” ද පැවතීම අත්‍ය අවශ්‍ය බව ඉහත කරුණුවලින් පැහැදිලිය. එසේනම්, අවසාන වශයෙන් අල්ලාහ් (දෙවි) හමුවේ පහත ප්‍රාර්ථනය තබමින් මෙම සටහනට විරාමය තබමි.

යාඅල්ලාහ්, අපට “ඉහ්සානය” තුල යහපත් දිවියක් ගෙවන්නට ආශිර්වාද කරත්වා!,

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/08/5

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම