පලමු මිනිසා වන නබි ආදම් (අලෛ) තුමා

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ලොව පවතින සෑම දහමක ම ආගමික ශාස්තෘවරුන් පිලිබදව කථා කරයි. ඉස්ලාම් දහම ද “නබි“ හෙවත් “දේවක්තෘ“ නම් ශාස්තෘවරුන් පිලිබදව කථා කරයි. පෘථිවියේ පහල වූ පලමු මිනිසා වන ආදම් (අලෛ) තුමාගේ පටන් අවසාන ශාස්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් දක්වා විශාල සංඛ්‍යාවක් ශාස්තෘවරුන් හෙවත් නබිවරුන් (දේවවක්තෘවරුන්) ලොව පහල වූවා යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. (මෙම විෂය යහමග අඩවිය තුල නබි හෙවත් වක්තෘවරුන් යන ගොනුව යටතේ දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත.) මේ ආකාරයට මිනිස් සමාජය යහමග මෙහෙයවීම පිණිස ලොව පහල වූ නබි හෙවත් වක්තෘවරුන් අතුරින් නබිවරුන් 25 කගේ නම් ඉස්ලාමීය මූලාශ්‍රයන් තුල සදහන් වේ. (මේ පිලිබදව වැඩිදුර තොරතුරු නබි හෙවත් වක්තෘ පරම්පරා රුක් සටහන යන ලිපිය තුලින් කියවන්න.) එම ඉගෙන්වීම අනුව පලමු ශාස්තෘ හෙවත් නබිවරයාණන් වන්නේ ලොව පලමු මිනිසා වන “ආදම් (අලෛ)“ තුමාණන්ය. අද මෙම ලිපිය තුලින් කථා කිරීමට යන්නේ ලොව පලමු දේව වක්තෘ ආදම් (අලෛ) තුමාණන් පිලිබදවයි.

ලොව පලමු මිනිසා මෙන්ම දේව වක්තෘවරයාණන් වන ආදම් (අලෛ) තුමාණන්ගේ ඉතිහාසය පිලිබදව විමසා බලන විට ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන අල්කුර්ආනයේ සහ අල්හදීසයේ කිසියම් දුරකට කරුණු සදහන් වේ. මීට අමතරව මුස්ලීම් සමාජය තුල විවිධ මිත්‍යා විශ්වාසයන් බොහෝමයක් ද දක්නට ලැබේ. කෙසේ නමුත් ඉස්ලාමීය මූලාශ්‍රයන් හි සදහන් කරුණු හැර අන් සියල්ල පදනම් විරහිත කරුණු බව මෙහි අවදාරණය කරමින් ආදම් (අලෛ) තුමාගේ ආරම්භය පටන් අවසානය දක්වා වූ කාලය තුල විශේෂ තැන් මෙතැන් සිට කෙටියෙන් විමසා බලමු.

මුල්ම මිනිසා මැවීමට අදහස් විමසීම

මේ මිහිමත මිනිස් පරම්පරාවක් බිහි කිරීමට අදහස් කල සර්වබලධාරී අල්ලාහ් (දෙවි) එවැනි ජීවී කොට්ඨාශයක් මිහිතලය මත නිර්මාණය කිරීම සම්බන්ධයෙන් දේවදූතයන් (මලැක්වරුන්)ගෙන් අදහස් විමසූ බව අල්කුර්ආනයේ සදහන් වේ. එසේ දේවදූතයන් අදහස් විමසීමේ දී ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ “මේ මිහිමත අවුල් ඇති කොට ලේ වගුරවන ජීවි කොට්ඨාශයක්ද මවන්නට යන්නේ“ යනුවෙන් එය ප්‍රතික්ෂේප කිරීමයි. මෙය අල්කුර්ආනයේ මෙසේ සදහන්ය වේ.

(නබි මුහම්මද්!) නුඹගේ පරමාධිපතියාණන් මලක්වරුන් (සුරදූතයින්) අමතා නියත වශයෙන්ම මම පෘථීවියෙහි කලීෆාවරයකු (නියෝජිතයකු) පත් කරන්නට යමි’යි පැවැසූ අවස්ථාව සිහියට නගනු. එවිට ඔවුහු ‘අප ඔබගේ ගුණගායනා තස්බිහ් (ස්තෝත්‍ර) කරමින්ද, (ඔබගේ නාමය) තක්දීස් ගුණ වයමින්ද සිටින අතර එහි (පෘථීවියෙහි) අවුල් ඇති කොට ලේ වැගිරවීම් කරවන අන්දමේ කෙනකුද ඔබ මවන්නට යන්නේ දැ’යි කීහ. (එවිට) නුඹලා නොදත් දේ නියත වශයෙන්ම මම දනිමියි ඔහු (අල්ලාහ්) පැවසුවේය.

අල්කුර්ආනය 2-30

ඉහත වාක්‍යයට අනුව දේවදූතයන්ගේ අදහස නොසලකා සර්වබලධාරී අල්ලාහ් (දෙවි) මුල්ම මිනිසා වන ආදම් (අලෛ) තුමාව මැවූ බව පැහැදිලි වේ.

ආදම් (අලෛ) තුමාව මැවීම

මුල්ම මිනිසා වන ආදම් (අලෛ) තුමාව අල්ලාහ් (දෙවි) පෘථිවියේ විවිධ ප්‍රෙද්ශවලින් ලබාගත් පස් වර්ග මිශ්‍ර කොට මැටි පසින් නිර්මාණය කල බවත්, එසේ අඹන ලද මැටි පිලිමය වසර 40 ක් ප්‍රාණය ලබා නොදී පැවතී බවත්, එම පිලිමය පසුකර යන දේවදූතයන් (මලැක්වරුන්) නිතර බියට පත් වූ බවත්, ශෙයිතාන් වංශයේ නායක ඉබ්ලීස් එම පිලිමයට ඊර්ෂ්‍යා කරමින් නිතර පහර දුන් බවත් සමහරක් ඉතිහාස පොත්වල සහ සමාජ මිත්‍යා විශ්වාසයන් තුල අසන්නට හා දකින්නට ලැබේ. නමුත් ආදම් (අලෛ) තුමාණන් මැටි පසින් නිර්මාණය කල බවත්, එසේ නිර්මාණය කරන ලද එතුමාණන්ගේ උස මීටර් 30 ක් පමණ වූ බවත් නම් ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් තුල දක්නට ලැබේ. එම ඉගෙන්වීම් මෙසේය...

පුළුස්සන ලද බඳුන් මෙන් (තට්ටු කළහොත් ටං ටං ගාන) ශබ්දයක් ගෙන දෙන කිරි මැටියෙන් ඔහු (පළමු) මිනිසාව උත්පාදනය කළේය.

අල්කුර්ආනය 55-14

ආදම් (සල්) තුමාණන් මීටර් 30ක් උසින් මැවූ බවත්, එම මැවීම සිදුවූයේ සවස් කාලයේ බවත් මුහම්මද් (සල්) තුමාණන් දැනුම් දුන් අල්හදීසයක් මුස්ලිම් නම් හදීස් ග්‍රන්ථයේ සදහන් වේ. 

දේවදූතයන් ආදම් ඉදිරියේ සුජූද් කිරීම

අල්ලාහ් (දෙවියන්) විසින් නිර්මාණය කල ආදම් (අලෛ)ගේ පිලිමයට ආත්මය ඇතුල් කරමින් ප්‍රාණය ලබාදෙන මොහොතේ එහි සිටී පිරිස් (මලැක්වරුන් හා ඉබ්ලීස්) වෙත ආදම් (අලෛ)ට සුජූද් (හිස නමා අචාර කිරීම) කරන ලෙස අන කරන ලදී. එය අල්කුර්ආනයේ මෙසේ පවසයි.

මා (ආදම්) ඔහුව නිර්මාණය කර, ඔහු තුළට (මා උත්පාදනය කළ) මගේ පණද ඇතුළු කළහොත්, ඔහුට ඔබ සුජූද් කරනු” (යයිද පැවසුවේය). ඒ අවස්ථාවේදී මලායිකාවරුන් සියල්ලන්ම සුජූද් කළහ.

අල්කුර්ආනය 38- 72 හා 73

මෙසේ ආදම් (අලෛ) තුමාණන්ට ප්‍රාණය ලබාදී එතුමාණන් හුස්ම ගැනීම අරභනවාත් සමඟ එතුමාණන්ට කිවිසුමක් ගිය බවත්, එවිට එතුමාණන් “අල්හම්දුලිල්ලාහ් [සියලු ප්‍රශංසා අල්ලාහ් (දෙවි)ට]!” යනුවෙන් මුල්ම වදන පැවසූ බවත්, එවිට දෙවියන් “අහෝ ආදම් ඔබට අල්ලාහ් අනුකම්පා කරයි.” යනුවෙන් පැවසූ බවත් “තිර්මිදි“ නම් හදීස් ග්‍රන්ථයේ සදහනක් දක්නට ලැබේ. මෙය හදීස් කලාවට අනුව කොතරම් දුරකට වලංගු හදීසයක්ද යන්න මා හට පැහැදිලි අදහසක් නැත. එය ඔබේ බුද්ධිමත් විමසුමට තබමි.

මේ අනුව ආදම් (අලෛ) තුමාණන්ට ප්‍රාණය ලබාදී එහි විසූ පිරිසට සුජුද් කරන ලෙස අනකල මොහොතේ ආදම් (අලෛ) තුමාණන්ට සුජූද් කිරීම ප්‍රතික්ෂේප කල කෙනෙකු ද එහි විය. එය අල්කුර්ආනය මෙසේ පවසයි.

ඉබ්ලීස් හැර. ඔහු උඞඟූ වී (අපගේ නියෝගය) ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් කෙනෙකු බවට පත් වූවේය. (එයට දෙවියන්) “ඕ ඉබ්ලීස්! මම ම මගේ අත්වලින් කළ දැයට ඔබ සුජූද් නොකර සිටීමට ඔබව වළක්වා හැරියේ කුමක්ද? උඞඟූ වී ගියෙහිද? නැතහොත් ඔබ උසස් පදවීන්ගෙන් යුත් අයගෙන් (කෙනෙකු) බවට පත් වූවෙහිද?”යි කීවේය. එයට ඔහු “ඔහුට වඩා මම ම උසස් කෙනෙකි. මාව ඔබම ගින්දරෙන් උත්පාදනය කළෙහිය. ඔහුව (ලැජ්ජාවකි) කිරි මැටියෙන් උත්පාදනය කළෙහිය” යයි කීවේය.

අල්කුර්ආනය 38-74 සිට 76

එවිට සියලු මලක්වරු(සුරදූතයෝ) සුජූද් කළහ. ඉබ්ලිස් හැර. සුජූද් කළ අය සමග(එක්)වීමට ඔහු ප්‍රතික්ෂේප කළේය. ඕ! ඉබ්ලිස් නුඹ සුජූද් කළ අය සමග එක් නොවූයේ ඇයි දැයි ඔහු(අල්ලාහ්) පැවසීය. පල්වූ වියළි හඬ නගන මැටියෙන් ඔබ මැවූ මිනිසකුට සුජූද් කිරීම මට නුසුදුසුයි. ඔහු(ඉබ්ලිස්) කීවේය. එසේ නම් නුඹ එතැනින් බැහැර යනු. නියතවශයෙන්ම නුඹ ශාප ලද්දෙකියි ඔහු(අල්ලාහ්) පැවසීය. තවද විපාක දෙන දිනය දක්වා නියතවශයෙන් නුඹ මත ශාපය වේවා!. මාගේ රබ්(පරමාධිපතියාණනි) ඔවුන්(මළවුන් කෙරෙන්) නැගිටුවන ලබන දිනය දක්වා මට කල් දෙන්නැයි ඔහු(ඉබ්ලිස්) කීවේය. නියතවශයෙන් නුඹ කල්දෙන ලද්දවුන්ගෙන්යැයි ඔහු(අල්ලාහ්) කීවේය. නියමිත කාලයේ දින දක්වා. මාගේ රබ්(පරමාධිපතියාණෙනි) ඔබ මා වරදට යොමු කළ නිසා නියතවශයෙන් මම මහපොළොවෙහි (සියලු දෑ) ඔවුනට ආකර්ෂණීය කරන්නෙමි. තවද ඔවුන් සියලු දෙනා වරදට යොමු කරන්නෙමියි ඔහු(ඉබ්ලිස්) කීවේය. ඔවුන් අතුරින් තෝරාගනු ලැබූ ඔබගේ ගැත්තන් හැර.

අල්කුර්ආනය 15-30 සිට 39

මේ ආකාරයට ආදම් (අලෛ) තුමාණන්ට ප්‍රාණය ලැබීමත් සමඟ එතෙක් දෙවියන්ට අවනතව සිටී ශෙයිතාන් වංශයේ නායක ඉබ්ලීස් දෙවියන්ගේ පමණඛ් නොව මේ මිහිමත පහල වන සමස්ථ මිනිස් සමාජයේම හතුරෙක් බවට පත් වූ බව ඉහත අල්කුර්ආන් වක්‍යයන් තුලින් පැහැදිලි වේ.

ආදම් (අලෛ) තුමා සියල්ල පිලිබදව වූ දැනුම ලබාගැනීම

අල්ලාහ් (දෙවි) විසින් මවන ලද පලමු මිනිසා වන ආදම් (අලෛ) ට ඔහුගේ සැබෑ අනන්‍යතාවය සහ ඔහුගේ පැවැත්මේ අරමුණ අවබෝධ කරවීමටත්, මින් පෙර වෙනත් කිසිම මැවිල්ලකට ලබා නොදුන් මහිමයක් ඔහුට ලබා දීමටත් කටයුතු කලේය. ඒ අනුව සියල්ල පිලිබදව වූ අවබෝධය ඔහුට ලබාදීම සිදු කලේය. එය අල්කුර්ආනයේ මෙසේ පවසයි.

ආදම්ට (විශ්වයේ) සියලූම (දැයෙහි) නාමයන් ඔහු (අල්ලාහ්) ඉගැන්වූයේය.

අල්කුර්ආනය 2-31

මෙසේ දැනුම ලබාදීමෙන් නතර නොවු දෙවියන් එම දැනුම ලබාගැනිමේ සහ බෙදාගැනීමේ උනන්දුව ඔහු තුල වර්ධනය කිරීම පිණිස ඔහු හා (මිනිස් මැවීමට විරෝධය පෑ) මලක්වරුන් අතර තරඟකාරීත්වයක් ද නිර්මාණය කලේය. එය ඉහත අල්කුර්ආන් වාක්‍යෙය් තවදුරටත් මෙසේ විස්තර කෙරේ,

ආදම්ට (විශ්වයේ) සියලූම (දැයෙහි) නාමයන් ඔහු (අල්ලාහ්) ඉගැන්වූයේය. ඉන්පසු (අල්ලාහ්) ඒවා (සියලූ දැයම) මලක්වරුන් (සුරදුතයින්) ඉදිරියෙහි එව (මිනිසා නියෝජිතයකු ලෙස පත් කිරීම අවුල් වියවුල් යැයි සිතූ) නුඹලා සත්‍යවාහු නම් නුඹලා මෙවායේ නාමයන් මට පවසනු යැයි පැවසුවේය.

අල්කුර්ආනය 2-31

එවිට මලක්වරුන් වන ඔවුන් තමන්ගේ (මිනිස් මැවීම සම්බන්ධයෙන් වූ) මතයෙහි වරදක් සිදු වූ බව තේරුම් ගෙන මෙසේ පැවසූ බව අල්කුර්ආනය පවසයි.

ඔබ සුවිශුද්ධය. ඔබ අපට ඉගැන්වූ දේ හැර වෙනත් දැනුමක් අපට නැත. නියත වශයෙන්ම සර්වඥද, සර්ව ප්‍රඥාද වන්නේ ඔබ පමණක් යැයි කීහ.

අල්කුර්ආනය 2-32

එම මොහොතේ අල්ලාහ් (දෙවි) ආදම් (අලෛ) වෙත හැරී සියල්ලෙහි නම් මලක්වරුන් ඉදිරියේ පවසන ලෙස අන කල දෙවියන් තවදුරටත්, මලක්වරුන් අමතා නුඹලා මිනිස් මැවීමට එරෙහි වූවත්, අහසෙහි පොළොවෙහි රහස් සියල්ල මා දන්නා බවත්, මා මවන්නට යන මැවීමෙහි මහිමය නුඹලා නොදන්නා බවත් අවදාරණය කල බව පහත අල්කුර්ආන් වාක්‍යන් මඟින් විස්තර කරයි.

ආදම්! නුඹ මේවායේ නාමයන් ඔවුනට පවසනුයි (අල්ලාහ්) කීය. ඔහු (ආදම්) ඒවායේ නාමයන් ඔවුන්(මලක්වරුන්)ට පැවසූ විට අහස්හිද, මහපොළොවෙහිද (නුඹලාට) සැඟවුනු දේ නියත වශයෙන්ම මම හොඳින් දනිමි. තවද නුඹලා එළිදරව් කරන දේද, සඟවන දේද මම හොඳින් දනිමියි මම නුඹලාට නොකිව්වෙම් දැයි (අල්ලාහ්) පැවසුවේය.

අල්කුර්ආනය 2-33

මේ අනුව ආදම් (අලෛ) තුමාණන්ට සෑම දෙයක් එනම්, ලෞකික දැනුම, මැවුම්කරු පිළිබඳ දැනුම යන සියල්ලම එතුමාණන්ගේ මැවීම් තුල අන්තර්ගත වූ බව පැහැදිලි වේ.

ආදම් (අලෛ) තුමාගේ බිරිඳ හව්වා (අලෛ) තුමිය මැවීම

ආදම් (අලෛ) තුමාගේ බිරිද හව්වා (අලෛ) තුමිය ආදම් (අලෛ) තුමාගේ ඉල ඇටයකින් මැවූ බව මුහම්මද් (සල්) තුමාණන් පවසන අල්හදීසයක් බුහාරී ග්‍රන්ථයේ සදහන් වේ. එම හදීසය මෙසේය,

නබි (සල්) තුමාණන් මෙසේ පැවසීය, "අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස කරන තැනැත්තා තම අසල්වැසියාට රිදවීම නොකරන්න. එසේම කාන්තාව සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කරන්න ඇයට උපදෙස් දීමේ දී ඇය හා මෘදුව කටයුතු නොකරන්න. ඇය ඉල අටයකින් නිර්මාණය කොට ඇත. ඔබ ඇය හා මෘධුව කටයුතු කරන්නට ගියේනම්, එය බිඳීයනු ඇත. එය නොසලකා හැරියේ නම්   එය තව තවත් වක වී යනු ඇත. එබැවින් මම කාන්තාවන් ගැන සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිමු."

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරී

මෙම කාරණයම බයිබලය ද මෙසේ පවසයි.

ඉතින් දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා (ආදම්) ගැඹුරු නින්දකට ඇද දැමුවා: සහ ඔහු නිදා සිටියදී, ඔහු මිනිසාගේ ඉළ ඇටයක් ගෙන එම ස්ථානය වසා දැමීය මස් සමග. එවිට දෙවි සමිඳාණන් වහන්සේ තමන් ඉවත් කළ ඉළ ඇටයෙන් කාන්තාවක් (ඒව) සෑදූ සේක මිනිසා, ඔහු ඇයව මිනිසා වෙත ගෙන ආවේය. මිනිසා (ආදම්) මෙසේ පැවසීය. “මේක දැන් මගේ ඇටකටුයි. සහ මගේ මාංසයේ මස්: ඇය 'කාන්තාව' ලෙස හඳුන්වනු ලැබේ. 

මක්නිසාද ඇය මනුෂ්‍යයාගෙන් ඉවත් කරනු ලැබුවාය.” මේ හේතුව නිසා මිනිසෙක් තම පියා සහ මව අත්හැර එක්සත් වනු ඇත ඔහුගේ භාර්යාවට, ඔවුන් එක මාංසයක් වනු ඇත.

උත්පත්ති 2:21-24

මේ අනුව ආදම් (අලෛ) තුමාගේ බිරිඳ වන හව්වා (අලෛ) තුමිය ආදම් (අලෛ) තුමා තුලින්ම මැවූ බව පැහැදිලි වේ.

තහනම් ගසේ ගෙඩි

ආදම් (සල්) තුමා සහ එතුමාගේ බිරිඳ හව්වා (අලෛ) තුමිය යන දෙදෙනාම ආරම්භයේ ස්වර්ගයේ නිදහස්ව ජීවිත් විය. එසේ ඔවුනට එහි පූර්ණ නිදහස ලබාදී තිබුණ ද එහි එක් කොන්දේසියක් ද පනවා තිබුණි. එය අල්කුර්ආනය මෙසේ විස්තර කරයි.

(ඉන්පසු අප ආදම්ට සහකාරිය වශයෙන් ඔහුගේ බිරිඳ මවා ඔවුන් වෙත) ආදම්, නුඹ ද, නුඹගේ බිරිය ද ජන්නත්(ස්වර්ගයෙ)හි වාසය කරන්නැයි ද, එහි නුඹ දෙදෙනා කැමති සේ (කැමති තැනකින්) අනුභව කරන්නැයි ද නමුත් නුඹ දෙදෙනා මේ ගසට ළං නොවනු යැයි ද එසේ වුවහොත් නුඹ දෙදෙනා දාලිමීන් (පාපකාරී කි්‍රයාවන්හී යෙදී වරද කළ වුන්) වන්නේ යැයි ද අපි (අල්ලාහ්) කීවෙමු.

අල්කුර්ආනය 2-35

පුර්ණ නිදහස ලබාදී ස්වර්ගයේම ජීවත් වීමට අවස්ථාව ලබාදුන් දෙවියන් එක්තරා ගසක් වෙත ලංවීම පමණක් නොකරන ලෙස එහි කොන්දේසියක් ද පනවා තිබුණී. නමුත් ආදම් (අලෛ) තුමාණන්ව මැවූ මොහොතේම සමස්ථ මිනිස් සමාජයම නොමඟ යවන බවට දෙවියන්ට අභියෝග කොට කටයුතු කල ශෙයිතාන් වංශයේ ඉබ්ලීස් මුල්ම මිනිස් යුවල වන ආදම් (අලෛ) තුමාව සහ හව්වා (අලෛ) තුමියව නොමඟ යැවීමට සුදුසු අවස්ථාවක් බල බලා කුමන්ත්‍රණය කරමින් සිටියේය. ඒ අනුව එම තහනම් ගස අවස්ථාවක් කරගත් ඉබ්ලීස් ආදම් (අලෛ) යුවල මෙසේ නොමඟ යැවීය.

ඔවුන් දෙදෙනාගෙන් එකිනෙකාට සැඟවී තිබුණු ඔවුන් දෙදෙනාගේ විළිබිය (සහිත අඟපසඟ) ඔවුන් දෙදෙනා වෙත හෙළිදරව් වන පිණිස ෂෙයිතාන් ඔවුන් දෙදෙනාව පොළඹ විය. නුඹලා දෙදෙනා මලක්වරුන්(සුරදූතයින්) දෙදෙනකු වීමෙන් හෝ නුඹලා දෙදෙනා සදා අමරණීයයන්ගෙන් වීමෙන් හෝ මිස නුඹලා දෙදෙනාගේ රබ්(පරමාධිපති) නුඹලා දෙදෙනා මෙම ගසින් නොවැළක්වූයේයැයි ඔහු (ෂෙයිතාන්) කීවේය.

අල්කුර්ආනය 7-20

ඉහත ආකාරයට ඉබ්ලීස් විසින් ආදම් යුවල නුඹලා මල්කවරුන් තත්වයට පත්වීමේ සහ අමරණීයත්වයට පත්වීමේ අවස්ථාව එම ගසේ පළය තුල පවතින බවට කුමන්ත්‍රණය කරමින් ඔවුන් දෙපල එම ගස වෙත ලඟා කරවීය. මේ හේතුව නිසාම දෙවියන්ගේ ශාපය හිමිව එම යුවල පෘථිවිය වෙත පහල කරවීය. මෙය අල්කුර්ආනය මෙසේ විස්තර කරයි.

එහෙත් ෂෙයිතාන් ඔවුන් දෙදෙනා (අපේ අණ කඩකර) නොමඟ යවා (ඒ ගස වෙත යාමට පෙළඹවීමෙන්) එහි සිටි තත්ත්වයෙන් ඉවත් කෙරෙව්වේය. එවිට අපි (අල්ලාහ්) නුඹලා (ස්වර්ගයෙන්) බසිනු (මනුෂ්‍යා හා ෂෙයිතාන් වන) නුඹලා කෙනෙක් කෙනකුට සතුරුය. නුඹලාට පෘථිවියේ කලකට වාසයද භුක්ති විඳීමටද ඇතැයි කීවෙමු.

අල්කුර්ආනය 2-36

මෙසේ තහනම් ගසේ ගෙඩි අනුභව කල නිසා ඔවුන් ස්වර්ගයේ ඇඳ සිටී සියළු වස්ත්‍ර ඉවත් වී ගිය බවටත්, ඔවුනට ලැජ්ජාව ඇති වූ බවටත්, තහනම් ගසේ ගෙඩි අනුභව කල නිසා ඔවුන් දෙපල පෘථිවිය වෙත පහල කල බවත් අල්කුර්ආනය මෙසේ පවසයි.

ඔහු මෙසේ ඔවුන් දෙදෙනා රවටා ගෙන (කෙමෙන් කෙමෙන් තම අභිමතය පරිදි) හැඩගසා ගත්තේය. (මේ අනුව) ඔවුන් දෙදෙනා එමගසෙ(හි පළතුරු) රස බැලූවිට ඔවුන් දෙදෙනාගේ විළිබිය ඔවුන් දෙදෙනාට හෙළිවිය. ඔවුන් දෙදෙනා (ස්වර්ග) උයනේ ඇති කොළවලින් ඔවුහු දෙදෙනා මත ආවරණය කිරීමට පටන් ගත්හ. එවිට ඔවුන් දෙදෙනාගේ රබ්(පරමාධිපති) ඔවුන් දෙදෙනා කැඳවා මම නුඹ දෙදෙනා මෙම ගසින් වැළක්වූයේ නැද්ද? තවද නියතවශයෙන්ම ෂෙයිතාන් නුඹ දෙදෙනාටම ප්‍රකට සතුරකු බව මා නුඹ දෙදෙනාටම කීවේ නැද්දැ(යි අල්ලාහ් පැවසුවේය.)

අල්කුර්ආනය 7-22

ආදම් යුවල පොළොවට පහල කිරීම

ආදම් (අලෛ) තුමා සහ හව්වා (අලෛ) තුමිය දේව නියෝග කඩ කිරීමේ වරද දෙවියන් විසින් ඔවුන් දෙපල ගෙන්වා මෙසේ පැහැදිලි කිරීම කරන ලදී.

ඔවුන් දෙදෙනාගේ රබ්(පරමාධිපති) ඔවුන් දෙදෙනා කැඳවා මම නුඹ දෙදෙනා මෙම ගසින් වැළක්වූයේ නැද්ද? තවද නියතවශයෙන්ම ෂෙයිතාන් නුඹ දෙදෙනාටම ප්‍රකට සතුරකු බව මා නුඹ දෙදෙනාටම කීවේ නැද්දැ(යි අල්ලාහ් පැවසුවේය.)

අල්කුර්ආනය 7-22

එසේ ඔවුනට පැහැදිලි කල විට දෙවියන් ඉදිරියේ ඔවුන් පාපොච්චාරනය කරන්නට වූ බව අල්කුර්ආනය මෙසේ පවසයි.

අපගේ රබ්(පරමාධිපතියාණනි) අපි අපටම අපරාධය සිදුකර ගත්තෙමු. ඔබ අපට සමාකර අපට දයාලූ නොවූවහොත් නියත වශයෙන්ම අපි අලාභයට පත්වූවන්ගෙන් වෙමුයි ඔවුහු දෙදෙනා කීවෝය.

අල්කුර්ආනය 7-23

මෙසේ ඔවුන් දෙපල දෙවියන් ඉදිරියේ හඬා වැටෙන විට දෙවියන්ගේ නියෝගය පහත ආකාරයට විය.

නුඹලා (මෙම උයනින්) බැස යනු. නුඹලාගෙන් ඇතමකු ඇතමකුට සතුරුය. නුඹලාට පොළොවෙහි වාසස්ථානයද යම් කාලසීමාවකට දිවි පැවැත්මද ඇතැයි ඔහු (අල්ලාහ්) කීවේය.නුඹලා එහිම ජිවත් වන්නෙහුය. එහිම නුඹලා මිය යන්නෙහුය. එහි සිටම නුඹලා බැහැර කරනු ලබන්නෙහුයැයි ඔහු (අල්ලාහ්) කීවේය.

අල්කුර්ආනය 7-24 සහ 25

මේ අනුව මුල්ම මිනිස් යුවල වන ආදම්/හව්වා යුවල පෘථිවිය මතට පහල කිරීම සිදුවිය.

ආදම් යුවලගේ පෘථිවි ජීවිතය

සියළු වරප්‍රසාද භුක්ති විඳිමින් ස්වර්ගයේ ජිවත් වූ ආදම් (සල්) තුමාණන් සහ හව්වා (අලෛ) තුමිය මිහිමතට පහල වී ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළ බව සදහන් වේ. ඔවුන් දෙදෙනා එකම තැනකට පහල නොවී පෘථිවියේ ස්ථාන දෙකක එනම්, ආදම් (අලෛ) තුමා ආසියාවේ වත්මන් ශ්‍රී ලාංකීය භූමිය මත පහල වූ බවත්, හව්වා (අලෛ) තුමිය අරාබි දේශයේ පහල වූ බවත්, ඒ දෙදෙනා මුණ ගැසුණේ බොහෝ කාලෙකට පසුව බවත් ඉස්ලාම් ආගමික විද්වතුන් පවසයි. (නමුත් මෙයට ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් තුල පැහැදිලි සාක්ෂි නොමැත.) කෙසේ වෙතත් ඔවුන්ගේ පෙර වාසස්ථානය වන ස්වර්ගයේ මෙන් පෘථිවියේ ජීවිතය පහසුකම් පිරි සුන්දර ජීවිතයක් නොවන බව නම් පැහැදිලිය. එනම් ආහාර සොයා යෑම, සතුන්ගෙන් සහ ස්වභාවිත විපත්වලින් ආරක්ෂා වීම, දරුවන් පෝෂණය කිරීම, නවාතැන් සොයැගීනම, ඔවුන් දෙපලට ජීවිතයේ තිබූ අභියෝගයන් රාශියක් විය.

ඉහත අභියෝගයන් සියල්ලට වඩා ඔවුන් දෙපල මිහිමත මුහුණ දුන් දරුණුතම අභියෝගයක් වේ නම්, ඒ ඉබ්ලීස්ගේ කුමණ්ත්‍රනවලින් ආරක්ෂා වී සිටීමයි. අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ පවසන ආකාරයට එනම්, “...මනුෂ්‍යා හා ෂෙයිතාන් වන නුඹලා කෙනෙක් කෙනකුට සතුරුය... (අල්කුර්ආනය 2-36)“ වන බැවිණි. කෙසේ වෙතත් ඉබ්ලීස්ගේ විවිධ කුමණ්ත්‍රන හා බාධා කිරීම් මධ්‍යෙයහි ආදම් යුවල අධිෂ්ඨානශීලීව කටයුතු කල නිසාත්, දැහැමිව කටයුතු කල නිසාත් ඔවුන් මිහිමත ප්‍රථම නබිවරුන් හෙවත් මිනිස් සමාජය යහමග යොමු කරවන දේව වක්තෘවරුන් බවට පත්විය.

ආදම් (අලෛ) තුමාගේ පරම්පරාව බිහිවීම

ආදම් (අලෛ) තුමා සහ හව්වා (අලෛ) තුමිය මිහිමතට එවීමේ ප්‍රධාන අරමුණ මිහිමත මිනිස් පරපුර ස්ථාපනය කිරීම සහ සර්වබලධාරි දෙවියන්ට නමස්කාර කරන මිනිස් පරපුරක් මේ මිහිතලය ස්ථාපනය කිරීමයි. ඒ අනුව ආදම් යුවලට දරුවන් විශාල වශයෙන් බිහිවූ අතර ඔවුන් නිවුන් දරුවන් ලෙස බිහි විය. ආදම් පවුල හැර වෙනත් කිසිදු මිනිස් පුලුටක් මේ පොළොව මත නොපැවතී නිසා නිසි වයසට පැමිණි නිවුන් දරුවන් තම සහෝදර පෙර හෝ පසු නිවුන් දරුවන් හා විවාහ වීම සිදුවිය. ඒ අනුව ඔවුන් අතර විවාහය සිදු වී අනුපවුල් ඒකක ද නිර්මාණය වීම ඇරඹීය. ඉන්පසු එම පවුල්වල දරුවන් අතර විවාහය සිදුවෙමින් ආදම් (අලෛ) තුමාගේ පරම්පරාව ව්‍යාප්ත වීම සිදුවිය. මේ ආකාරයට එතැන් පටන් පෘථිවි මිනිස් පරම්පරාවේ ව්‍යාප්තිය ද සිදුවිය.



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/12/19

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම