සමනල කන්දේ ඇත්තේ බාවා ආදම්ගේ ශ්‍රී පාදය ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉහත මාතෘකාව දැකල කවුරුත් කලබල වෙන්න එපා. මොකද, මේ ශ්‍රි පාද කන්දට හොර ඔප්පු ලියන්න හදනවා නොවේ. මා මෙහි විමසා බලන්නට අදහස් කරන්නේ ශ්‍රී ලාංකීය සෑම ජන කොට්ඨාශයක් තුල ම පිලිගැනීමක් ඇති ශ්‍රී පාදය නොහොත්, සමනල කන්ද නොහොත්, සිවනොලි පාදම් නොහොත්, බාවා ආදම් කන්ද නොහොත්, Adam's Peak... යානාදී ලෙස ඒ ඒ ජන සමාජ හා ආගමික සමාජ ආමන්ත්‍රණය කරන කන්දෙහි ඉතිහාසය පිලිබදවයි. මෙහි විශේෂයෙන් සටහන් කලයුතු කාරණයක් ද ඇත. ඒ මෙම කන්ද මූලික කරගෙන ගොඩනැඟී ඇති බොහෝ ඉතිහාස කථා කිසිදු පදනමක් නැතුව ගොඩනැඟී ඇති පුරාවෘත්තයන් පමණක් යන්නයි. එවැනි පූරාවෘත්ත රාශියකට මූලික වි ඇති මෙම කන්ද පිලිබදව කථා කිරීමට සුදුසුම කාලයත් මෙය යැයි හැඟේ. එයට හේතුව සෑම වර්යෂයකම දෙසැම්බර් මාසයේ ඇරඹෙන ශ්‍රී පාද වන්දනය මෙවරත් ආරම්භ වීමට තව ඇත්තේ දින කිහිපයක් වන බැවිණි.

ඒ අනුව මෙම සාකච්චාව මෙතැන් සිට ඉදිරියට දෙස් හා විදෙස් මුස්ලීම් හා මුස්ලීම් නොවන විවිධ පාර්ශවයන්ගේ පිලිගැනීමන් හා විශ්වාසයන් පදනම් කරගෙන විමසා බලන අතර මෙහි සාකච්චා කරන “සමනල කන්ද“ නොහොත් “බාවා ආදම් කන්ද“ සහ ඉස්ලාම් දහමේ මූලාශ්‍ර ඉගෙන්වීමහන් අතර කිසිදු සම්බන්ධයක් නොමැති නිසා මෙහි සාකච්චා කරන කරුණු ඉස්ලාම් නොවන බවද මෙහි ප්‍රථමයෙන් අවදාරණය කරමින් සාකච්චාවට යොමු වෙමි.

විශේෂ අවදානයට - ශ්‍රී ලාංකීය එක් එක් ජන සමාජය තම තමන්ගේ විශ්වාසය හා පිලිගැනීම අනුව මෙම කන්ද විවිධ නම්වලින් හදුන්වන අතර ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය මෙම කන්ද “බාවාද කන්ද“ ලෙස හදුන්වයි. මේ හේතුව නිසා මෙතැන් සිට එම කන්ද “බාවාද“ නමින්ම ආමන්ත්‍රණය කරමින් මෙම සටහන දිගහරිමි.

බාවාද කන්දේ පිහිටීම හා එහි මූලික තොරතුරු

ශ්‍රී ලංකාවේ සශ්‍රීක වනාන්තරවලින් පිරුණු රත්නපුර දිස්ත්‍ර්‍රික්කයේ රත්නපුරයට උතුරින් 8 km දුරින් හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයට මායිම්ව මෙම “සමනල කන්ද“, “Adam's Peak“ නොහොත් “බාවාද කන්ද“ පිහිටා ඇත. එහි උස අඩි 7362 (මීටර් 2243) ක් වන අතර මෙය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් ස්ථානයක් ද වේ. කඳු මුදුනේ දිගටි වේදිකාවක් (අඩි 74 x 24) ක් ඇත, එහි කුඩා බෞද්ධ විහාරස්ථානයක් සහ අමුතු පා සලකුණක් සහිත සමන් දේවස්ථානයක් ඇත. එම කන්ද පිහිටි ස්ථානය පිලිබදව Google සිතියම පහතින් දැක්වේ.

බාවාද කන්ද ට විවිධ නම් ඇත්තේ ඇයි?

මෙම කන්ද ට විවිධ නම් රාශියක් ශ්‍රී ලාංකීය සමාජය තුල භාවිතයේ ඇත. එම නම් ඇතිවීමට මුලික වූ හේතු කාරණයන් මේ යටතේ කෙටියෙන් විමසා බැලීමට අදහස් කරමි.

  • සමනල කන්ද - මෙම කන්ද අතීතයේ පටන් ශ්‍රී ලාංකීය ආදිවාසීන් වන්දනා කොට ඇත. ඔවුන්ගේ විශ්වාසය අනුව “සමන්“ යනු දිවයිනේ මුර දේවතාවුන් හතරදෙනාගෙන් කෙනෙකි. මේ හේතුව නිසාම මෙම කඳු මුදුනට ඔවුන්ගේ නම සමනල කන්ද විය.
  •  ශිවන් ඔලි පාදම් - ශ්‍රී ලාංකීය හින්දු භක්තිකයන් තම ශිව දෙවියන්ගේ පා සලකුණ මෙම කඳු මුදුනේ ඇති බව විශ්වාස කරන නිසා මෙම කන්ද ශීවන් ආලෝකය විහිදු වන පාදය නොහොත් ශිවන් ඔලි පාදම් යනුවෙන් හදුන්වයි.
  •  ශ්‍රී පාදය - පැරණි බෞද්ධ විශ්වාසයන්ට අනුව ගෞතම බුදුන්වහන්සේ ලක්දිවට වැඩිය මොහොතේ තම පා මූද්‍රාව මෙම කන්ද මුදුනේ සටහන් කල නිසා ඒ ශ්‍රී පතුල පිහිටි කන්ද ශ්‍රී පාදය ලෙස හැදින්විය.
  • ශාන්ත ‍තෝමස් පාදය - 16 වැනි සියවසේ දී පෘතුගීසි කිතුනුවන් දිවයිනට පැමිණි බවත්, ඒ අනුව, ශ්‍රී ලංකාවට ක්‍රිස්තියානි ධර්මය ප්‍රථම වරට ගෙන ආ ශාන්ත තෝමස් තුමාගේ පා ​​සටහන එම කන්ද මුදුනේ සටහන් කල බවත් ඔවුන් පවසයි.
  • බාවාද මලෙයි (කන්ද) - ස්වර්ගයේ සිට මිහිමතට පහල කල මුල්ම මිනිසා වන ආදම් (අලෛ) තුමා පොළොව මත මුලින්ම පා තැබූ ස්ථානය මෙම කන්ද මුදුන බවත් එහි ඇති පා සටහන ආදම් තුමාගේ යන්නත් මුස්ලීම් සමාජයේ සැලකිය යුතු පිරිසකගේ විශ්වාසයයි.

බාවාද කන්ද පිලිබදව විවිධ අදහස් දැක්වීම

ශ්‍රී ලංකාවේ උසම කන්ද “සමනල“ නොහොත් “බාවාද“ කන්ද නොවුවත් මෙම කන්ද සම්බන්ධයෙන් විවිධ මතවාද සහ ජනප්‍රවාද ඇත. එවැනි කිහිපයකට මෙහි අවදානය යොමු කලේනම්,

  •  මුහුදෙන් පහසුවෙන් දැකගත හැකි වඩාත් ආකර්ෂණීය පිරමීඩීය කඳු මුදුනක් බවත්, "දින තුනක යාත්‍රා කිරීමෙන් පෙනෙන" කන්දක් බවත් අරාබිවරුන් විවිධ ලේඛනවල සටහන් කොට ඇත.
  •  පැරණි සිංහලයන් එය විශාල උසකින් යුක්ත යැයි විශ්වාස කළ බවත්, ස්වදේශික පුරාවෘත්තයක "සෙයිලාන් සිට පාරාදීසය දක්වා සැතපුම් හතළිහක් දුරින් ඇති අතර පාරාදීසයේ උල්පත්වල ශබ්දය මෙහි ඇසේ" බවත් විශ්වාස කොට ඇත.
  • ලෝක සංචාරකයින් අතර කෙනෙකු වන අරාබි ඉබන් බතූතා (1304-1368) සහ වැනීසියානු මාර්කෝ පෝලෝ (1254-1324) ආදම්ගේ කඳු මුදුන අද්භූත වන්දනා ගමනාන්තයක් ලෙස සටහන් කොට ඇත.
  • කන්දට යන මාර්ගයේ ඇතැම් කොටස් අතිශයින් බෑවුම් සහිත වන නිසා එහි තැන් තැන් හි සවි කර ඇති කඳු නැගීමේ දාම මහා ඇලෙක්සැන්ඩර් (ක්‍රි.පූ. 365-323) විසින් තැබූ බව කියනු ලැබේ,

ආදම් තුමා ඇයි ශ්‍රී ලංකාවට ම පහල වූයේ?

ලොව රටවල් අතුරින් ශ්‍රී ලංකාව ස්වභාවික පිහිටීම අතින් සුන්දර වූ රටකි. අතීතයේ පටන් මේ රට පාලනය කල පාලකයින් විසින් රට විනාශ කොට දමා තිබුණත් එය ස්වභාවික සම්පත්වලින් හා සුන්දර පරිසර පද්ධතියකින් පරිපූර්ණ රටකි. එවන් වූ මෙම භූමියට ආදම් (අලෛ) පහල වූ බව පවසන පිරිස් එයට හේතු වශයෙන් පවසන්නේ ස්වර්ගයේ සිට පෘථිවියට පහල වූ ආදම් තුමාට ස්වර්ගය හැරුණු කොට ඊට තරමක් හෝ සමාන පොළොවේ ස්ථානයක් වූයේ “සෙරන්ඩිබ්“ නොහොත් ශ්‍රී ලංකාව බවයි. මීට අමතරව අතීතයේ සමහරක් පිරිස් "සෙයිලාන්, සෙරන්ඩිබ් නොහොත් ශ්‍රී ලංකාව සිට පාරාදීසය දක්වා ඇත්තේ සැතපුම් හතළිහක් දුරක් බවත්, එහි සිට පාරාදීසයේ උල්පත්වල ශබ්දය ඇසෙන බවත්" ලියා තබා තිබේ. මේ හේතුව නිසාදෝ කොහිද පසුගිය දිනක අප රටේ නෙළුම් කුළුණ මතට නැග ආ ස්වාමිණ් වහන්සේ නමක් පවා “තව්තිසාව ලඟට ගියා වගේ දැනුනා“ යැයි පැවසීම දක්නට ලැබුණේ. මේ අනුව දෙවියන් විසින් ශ්‍රී ලංකාව තෝරාගෙන ආදම් තුමාව මෙහි පහල කලා යන්න එවැනි මතවාදී පිරිසගේ විශ්වාසයයි. එපමණක් නොව එසේ පහල වීමේ දී ශරීරයට දැනෙන කම්පනය අවම කිරීම පිණිස කන්දක් මතට පහල කිරීම සිදුකල බවත් එසේ පහල කිරීමට තෝරාගත් කන්ද “සමනල“ නොහොක් “බාවාද“ කන්ද යන්නත් ඉහත මත පල කරන්නන්ගේ තවත් විශ්වාසයක් වේ.

ලෙමුරියා නොහොත් අතුරුදහන් වූ කුමරි කන්ඩම් දේශය

මුල්ම මිනිසාගේ පෘථිවි පහල වීම පිලිබදව කථා කරන විට කථා නොකරම බැරි විෂයක් ඇත. ඒ “ලෙමුරියා නොහොත් අතුරුදහන් වූ කුමරි කන්ඩම් දේශය“ නම් විෂයයි. ඒ අනුව මෙතැන් සිට එම “ලෙමුරියා“ නොහොත් “කුමරි කන්ඩම්“ දේශය පිලිබදව තරමක් දුරකට කෙටියෙන් විමසා බැලීමට ද අදහස් කරමි.

දෙමළ බසින් "කුමරි කන්ඩම්“ ලෙස හදුන්වන “ලෙමුරියාව“ මායිම් වී තිබුණේ මැඩගස්කරය, ඕස්ට්‍රේලියාව සහ දකුණු ඉන්දියාවටය. මෙම භූමිය තුලයි එදා ශ්‍රී ලංකාව නොහොත් “සෙරන්ඩිබ්“ පිහිටා තිබී ඇත්තේ. මෙය පහත සිතියම තුලින් අවබෝධ කරගත හැක.

ලොවපුරා කථාබහට ලක්වන මාතෘකාවක් වී තිබෙන මෙම “ලෙමූරියා“ ඉන්දියාවේ දමිල භාෂාව කථා කරන ද්‍රවිඩ ජනයා අතර උණුසුම් මාතෘකාවකි. පෘථිවි මුල්ම මිනිස් ශිෂ්ඨාචාරයේ උපත සිදුවූයේ මෙම “ලෙමූරියා“ භූමිය මත යන්නත්, ඒ දෙමළ ශිෂ්ඨාචාරය යන්නත් ඔවුන්ගේ පිලිගැනීමයි. පසුකාලීනව සාගරය පතුලට කිඳා බසින ලදැයි පැවසෙන මෙම භූමිය දෙමළ ජනයාගේ පාරම්පරික නිජබිම යන්න ඔවුන්ගේ විශ්වාසයයි. එයට සාක්ෂි වශයෙන් බොහෝ කරුණු කාරණා එම මතධරයන් ඉදිරිපත් කරන අතර විශේෂයෙන් මැඩගස්කරයේ සහ ඕස්ට්‍රේලියාවේ ආදිවාසි ජනතාව අතර පවතින භාෂාව සහ ද්‍රවිඩ භාෂාව අතර පවතිනවා යැයි පවසන සමානකම එයට එක් නිදසුනකි. මෙම ලෙමුරියාව පිලිබදව විද්වත් මතයක් ඔබේ අවදානයට මෙහි සටහන් කරන්නේ නම්,

  • මිනිසාගේ ප්‍රාථමික නිවහනක් ලෙස ලෙමුරියාව පිළිබඳ අර්නස්ට් හේකල්ගේ සොයාගැනීම් ගෙන ආවේය. ජලයෙන් යට වූ ලෙමූරියා මහාද්වීපයේ මානව වර්ගයාගේ විවිධ අංශු සම්භවය පිළිබඳ ජර්මානු ජීව විද්‍යාඥයාගේ න්‍යායෙන් මැක්ලීන් තවදුරටත් නිගමනයක් ගෙන එය ඉන්දියාවේ සහ ලංකාවේ මුතුන් මිත්තන්ගේ ප්‍රාථමික නිවහන බව නැවත අවධාරණය කළේය. (Charles D. Maclean පොත "The Manual of the Administration of the Madras Presidency")

(මේ විෂය පිලිබදව වැඩි විස්තර අන්තර්ජාලයේ Lost Land of Lemuria යන ලිපිය තුලින් ඔබට කියවීමට පුළුවන.)

මේ අනුව එනම්, පෘථිවියේ මුල්ම මිනිස් ශිෂ්ඨාචාරය “ලෙමුරියා“ හි බිහිවූයේ නම්, ආදම් තුමාගේ පහලවීමත් එම භූමිය තුල සිදුව තිබිය හැකි බව උපකල්පනය කල හැක. එම ලෙමූරියා හි කොටසක් වන ශ්‍රී ලංකාව තුල එය සිදුවූවා යැයි ද උපකල්පනය කිරීමේ හැකියාව ඇත. මේ අනුව ආදම් තුමාගේ පහලවීම ලෙමූරියා හි වත්මන් ශ්‍රී ලාංකීය භූමිය මත සිදුවූවා යන්නත්, ඉන්පසු ලෙමුරියාවේ සිට ඔවුන් දැන් වාසය කරන පෘථිවි ගෝලයේ විවිධ ප්‍රදේශ කරා ගමන් කළ යන්නත් සාධාර්ණ වූ වාදයකි.

ආදම් තුමා පහල වූ ස්ථානය පිලිබදව ආගමික මූලාශ්‍ර ඉගෙන්වීම

ආදම් තුමා ලෙමූරියාවේ සෙරන්ඩිබ් හි පහල වූ බවට විවිධ මතවාද සමාජය තුල පැවතුනත් ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන අල්කුර්ආනයේ හෝ අල්හදීසයේ එවැනි පැහැදිලි සටහනක් දක්නට නොලැබේ. සමහරක් හදීස් ග්‍රන්ථයන් හි එතුමාණන් පහල වූ ස්ථානය පිලිබදව සදහන් වන නමුත් එම හදීසයන් සියල්ල හදීස් කාලව අනුව දුර්වල හදීසයන් වේ. එවැනි දුර්වල (එනම් පිලිගත නොහැකි මට්ටමේ පවතින) හදීසයක් මෙහි සටහන් කරන්නේ නම්,

“ආදම් ඉන්දියාවේ පහළ වූ අතර එහි ඔහුට තනිකමක් දැනුණා...” 
  • මෙය Ibn Asaakir විසින් Tareekh Dimashq (7/437) හි ඉදිරිපත් කොට ඇති අතර, Shaykh al-Albaani විසින් මෙම හදීසය “ලයිෆ්“ හදීස් ලෙස වර්ග කර ඇත, මෙවැනිම තවත්අං හදීසයන් ද ඇති අතර ඒවාද දුර්වල මට්ටමේ පවතින හදීස් වේ.

ආදම් තුමා පහල වූ ස්ථානය පිලිබදව ආගමික විද්වතුන්ගේ මත

ආදම් (අලෛ) තුමා පහල වූ ස්ථානය පිලිබදව ඉස්ලාම් ආගමික මූලාශ්‍රයන් තුල පිලිගත හැකි කිසිදු සටහනක් දක්නට නොවූවත් පසුකාලීන ආගමික විද්වතුන්ගේ මතවාදයන් තුල එවැනි හැදින්වීමන් දක්නට ලැබේ. නමුත් එවැනි මතවාද කිසිසේත් ඉස්ලාම් නොවන බව මෙහි දැඩිව අවදාරණය කරමින් පුරාවෘත්තයන් ලෙස සලකා මෙය කියවන පිරිසගේ රසවින්ඳනයට එවැනි කිහිපයක් මෙහි පහතින් සටහන් කරමි.

  • ඉබ්නු කසීර් තුමා දන්වයි - අල්-සද්දි මෙසේ පැවසීය: අල්ලාහ් පැවසුවේ "සියල්ලෙනි, ඔබ පහතට යන්න" අල්කුර්ආනය 2:36. එබැවින් ඔවුහු බැස ගියහ; ආදම් ඉන්දියාවේ පහළ වූ අතර කළු ගල් සහ ඔහු සමඟ පාරාදීසයේ කොළ අතු ද පහල විය. ඒවා ඉන්දියාවේ විසිරී, සුවඳ විලවුන් ගස් ලෙස වර්ධනය වූ බවයි,
  • ඉම්රාන් ඉබ්න් උයායිනා පැවසුවේ, 'ආතා' ඉබ්න් අල්-සායිබ්ගෙන්, සයිද් ඉබ්න් ජුබයිර්ගෙන්, ඉබ්නු අබ්බාස්ගෙන්, (ආදම් තුමාණෝ ඉන්දියාවේ දේශයේ ඩහ්නාහි පාරාදීසයෙන් බැස බවයි.
  • ඉබ්නු අබි හාතිම් මෙසේ පැවසීය: අබු සර්ආහ් අපට කීවේය: උත්මාන් ඉබ්නු අබි ෂයිබා අපට කීවේය: ජරීර් අපට කීවේය: 'ආතා'ගෙන්, සයීද්ගෙන්, ඉබ්නු අබ්බාස්ගෙන් ඔහු මෙසේ පැවසීය: ආදම් (අලෛ) තුමා මක්කම සහ අල්-තායිෆ් අතර ඇති භූමිය පහල වූ බවයි.
  • අල්-හසන් අල්-බස්රි පැවසූ පරිදි: ආදම් ඉන්දියාවේ සහ හව්වා ජෙඩාහි ද, ඉබ්ලීස් බස්රා සිට සැතපුම් කිහිපයක් දස්තුමීසාන්හි ද, සර්පයා අස්බහාන් හි ද පහළ වූ බවයි.
  • මෙය ඉබ්නු අබි හාතම් විසින් ද විස්තර කොට ඇත.
  • ඉබ්නු අබි හාතිම් මෙසේ පැවසීය: මුහම්මද් ඉබ්න් අම්මාර් ඉබ්න් අල්-හාරිත් අපට කීවේය: මුහම්මද් ඉබ්න් සයිද් ඉබ්න් සාබික් අපට කීවේය: 'අම්ර් ඉබ්න් අබි කයිස් අපට පැවසුවේ ඉබන් ආදියිගෙන්, ඉබ්නු උමර්ගෙන්, ආදම් පහළට පැමිණියේය. අල්-මර්වාහි අල්-සෆා සහ හව්වා' මත. උපුටා ගැනීම අවසන් කරන්න.

අවසාන සටහන

අප රටේ ශ්‍රී පාද වන්දනය බොහෝ ආගමිකයන්ගේ ආගමික සංස්කෘතියකි. මෙම සංස්කෘතිය මේ වර්ෂයෙත් තව නොබෝ දිනයකින් ආරම්භ වීමට නියමිතය. මෙවන් මොහොතක එය කාලීන විෂයක් ලෙස ගෙන අප රටේ අතීතයේ පටන් පැවතී විවිධ ආගමික ප්‍රජාව අතර පැවතී සමඟිය සහ බැදීම කියාපාන ශ්‍රී පාද සංචාරය සහ ඒ වටා ගොඩනැඟී ඇති ආදම් (අලෛ) තුමා සම්බන්ධ ඉතිහාස තොරතුරු ද පදනම් කරගෙන මෙම ලිපිය මෙලෙස ඉදිරිපත් කලෙමි. මෙහි ඉදිරිපත් කල අල්කුර්ආන් වාක්‍යයන් හෝ පිලිගත හැකි අල්හදීසයන් ඇත්නම් ඒ හැර අන් සියල්ල ඉස්ලාම් ආගමිකව පිලිනොගන්නා සහ ආගමික පදනමක් නොමැති හා සාක්ෂි නොමැති ඉතිහාස ගත තොරතුරු හා මනක්කල්පිතයන් පමණක් බව මෙහි නැවත නැවතත් අවදාරණය කරමින් සහ මෙම සටහන ඔබේ රසවින්ඳනය හා වැඩිදුර අධ්‍යනය සදහා පමණක් බව අවදාරණය කරමින් මෙම ලිපියට විරාමය තබමි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/12/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම