ලෝකය ඔබව බලාපොරොත්තුවෙන්ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ලෝකය… ඔබමා වසන ලෝකය… ඇසිල්ලෙන් වෙනස්වන.. දැක්ම වෙනස්කරමින් ගමන් කරන මේ ලෝකය තුළ අපි ඇතැම්විට අපටම අනන්‍ය වූ දැක්මක් ඔස්සේ ලෝකය සමග ගමන් කරනවා. ඇතැම් විට තවකෙකුගේ දැක්මකින් අපගේ ගමන කෙළවර කරන්නට උත්සාහ කරනවා. අපි අපගේ අරමුණු බලාපොරොත්තු හඹා යනවා. ඒකට අපිට වඩා වේගයෙන් වෙනස්වන අපිට වඩා වේගයෙන් ඉදිරියට යන ලෝකය අපිට අත් උදව් දෙනවා. අරමුණු බලාපොරොත්තු වෙනස්වීම් නව සොයාගැනීම් තාක්ෂණය මේ සියළු කාරණා සමගින් ලෝකය පසු පස්සේ අපි හැල්මේ දුවනවා.

මෙහෙම දුවන අපිට මේ දිවිල්ලේ බරපතලකම ගැන හිතන්නත් අමතකවෙනවා. ලෝකය විදුලි වේගයෙන් ඉදිරියට යනකොට අපි ඉබිගමනින් හරි ලෝකයත් එක්ක එකතුවෙලා දුවන්න උත්සාහ කරනවා. මේ ගමනෙදි හමුවෙන ඇතැම් දේ අපේ ජීවිත ඇතුලේ විශාල වටිනාකමක් ගොඩනගා ගන්නවා. මුදල් බලය යස ඉසුරු ජීවිතය වෙලාගන්නවා. එතකොට අපි ඉහවහා ගිය සතුටකින් ජීවිතය බදාගෙන මේ වත්කම් මුළු ජීවිතේම කරගෙන ආයෙමත් ලෝකය එක්ක දුවන්න පටන්ගන්නවා. ඒ දිවිල්ල අතරේ අපිට සමහර දේවල් අතහැරෙනවා. ඒක අපිට දැනෙන්නෙත් නැහැ.

හැගීම් දැනීම් මියැදුනු ආදරය සෙනෙහස නොදන්න මෘදු මෙළොක් බවක් හදවතක් නැති යාන්ත්‍රික මිනිසුන් බවට අපිව පත්වෙනවා. මනසට විරාමයක් නැතුව යනවා. සිරුර විසිහතර පැයම අවිවේකී වෙනවා. මෙහෙම ලෝකය පස්සෙන් හැල්මේ දුවන අපිට අපේ බලාපොරොත්තු ටික ටික අහිමිවෙන්න ගන්නවා. ඇතැම් විට අපිට අපි නැතිවෙන තැනටම වැඩ සිද්ධවෙනවා. මනසින් මැරුණු අපිට මියැදෙන්න හදන ශරීර කූඩුව බේරා ගන්න වෙනම සටනක් කරන්න වෙනවා. බලන්න ලෝකය ගැන දැනගෙන හරි නොදැනගෙන හරි අපි ලෝකෙත් එක්ක දුවන දිවිල්ලෙන් අපිට මොනවද උරුම වෙන්නේ. අපිට අපිවම නැතිවෙන්න තියන ඉඩකඩ වැඩී නේද? මෙහෙම අපිට නැතිවෙන්න යන අපිව බේරාගන්න වෙනම සටනක් කරන අතරේ පොඩ්ඩක් හැරිලා බලන්න. අපිත් එක්ක මෙච්චරකල් දුවපු ලෝකය අපි ආයිත් එයා එක්ක එකට වැටිලා දුවන්න එනකල් බලා ඉන්නවද කියලා. අපි වෙනුවෙන් නැවතිලා අපිව බලාපොරොත්තුවෙන් ඉන්නවද කියලා. ඩිංගක් හිතලා බලන්න.

ඒත් අපි නොහිතපු…හිතන්න උත්සාහයක්වත් නොදරපු අපි වෙනුවෙන් අපි බලාපොරොත්තුවෙන් ඉන්න අපූරු ලෝකයක් තියනවා. ඒ ලෝකය හරහා ජීවිතය ගෙනියන එක අපි‍ට හුගක් භාරදූර මෙන්ම තීරණාත්මක කටයුත්තක්. එහෙම වුනත් ඒ තීරණාත්මක ගමන අපි යනවා නම් අපිට අතිශය ප්‍රීතිමත් මෙන්ම ඵලදායී ගමනක් යන්න පුළුවන්.

අසීමාන්තික සතුට සැප සම්පත් මේ සියල්ල පිරුණු ඒ ලෝකය ඇස් ඉස් මස් හැගීම් දැනීම් තියන මිනිස් අපිට වෙනුවුන ලෝකයක්. නොකියූ අප්‍රමාණ දෑ පිළිබද දැනුමකින් ප්‍රඥාවකින් අපව ඒ ලෝකය තුළ හරි මග අරන්යන්නට අපේ සිතුවිලි හා ක්‍රියා යහපත්ව වෙනස්කරන ලෝකයක්. හරි ගැඹුරු විනිවිද දැක්මක් කුළින් අපිව සාරවත් මිනිසුන් බවට පත් කරල අපේ ජීවිත සුක්කානම හරි පාරේ අරන් යන ලෝකයක් තියනවා. ඒත් අපි ඒක දකින්න උත්සාහ කලේ නැහැ. අපිට අමතක වුන අපේ ආධ්‍යාත්මය කාන්තිමත් ආලෝකයකින් එළිකරන හෘදයාංගම චින්තනයක් මේ ලෝකය තුළ පවතිනවා. ඒ ගැඹුරු චින්තනයට අපේ ඇස් යට කැටි ගැහුණු කදුළු දෙකම්මුල් දිගේ ගලායන්නට ඉඩහරින්න පුළුවන්. එය ඒතරම් හෘදයාංගමයි. ඒත් හැල්මේ දුවන යාන්ත්‍රික ලෝකයක් එක්ක දුවපු අපිට මේ ලෝකයත් එකක් ඉදිරියට යන එක ටිකක් අසීරුවෙන්න පුළුවන්. ඇයි දන්නවද ? ඒ ලෝකය අපිට කියන්නේ කැමැත්තෙන් අවංකව හරි භක්තිමත්ව සම්පූර්ණයෙන්ම ඒ ලෝකයට එන්න කියලා. අන්න ඒ නිසයි හැල්මේ දුවපු අපේ වාසියට හැම අතටම හැරුණු අපිට මේ ලෝකය තීරණාත්මක වෙන්නේ. හැබැයි අපි මේ ලෝකයට ඒ කියන ආකාරයෙන්ම සම්පූර්ණයෙන් ඇතුල් වුනොත් ජීවිතය දැල්වෙන්න පටන් ගන්නවා.. අපේ ආධ්‍යාත්මය කාන්තිමත් වෙන්න පටන්ගන්නවා. යථාර්තය වැටහෙනවා. අවසානේ අපි ජීවිතයට ආදරණීය වෙලා ජීවිතය විදින්න පටන්ගන්නවා. ජීවිතය කොයිතරම් සරලද කියලා තේරුම්ගන්නවා.

ඉතින් මේ ලෝකයට විතරයි මිනිසා කියන අපි සාර්ථකත්වයට ගෙනියන්නට පුළුවන්. කිසි දේකින් ලෙහෙසියෙන් සංතෘප්ත නොවන අපේ ආත්මය අපූරුවට සනසන්න පුළුවන් මේ අපි දෙවනුව‍ට කියපු ලෝකයට විතරයි. හැල්මේ අපිව ඇදගෙන යනවා වෙනුවට ජීවිතේට අරමුණක් දීලා නිසංසල කරන්න පුළුවන් මේ ලෝකයට විතරයි. දන්නවද ඒ ලෝකය මොකක්ද කියලා.

ඒ තමයි ශුද්ධ කුර්ආනය ‍තුළ ඇති ලෝකය.. ශුද්ධ කුර්ආනය පෙන්වන ලෝකය. ඔබට මට අපි ශුද්ධ කුර්ආනය ඔස්සේ විවෘත සංචාරයක නිරතවෙනවානම් එහිදී අපට හමුවන ලෝකය.

ඩිංගක් හිතන්න..

අපේ අරමුණු හැගීම් එක්ක අපිව හැල්මේ දුවන්න පුරුදු කරන යාන්ත්‍රික ලෝකය අපිට නොදැනිම අපිට අපිව අහිමිකරනවා නේද කියලා. එහෙම අපිට අපිව අහිමි වෙනකොට එයා අපිව අතහැරලා යනවා නේද කියලා. එයා කවදාවත් අපි වෙනුවෙන් නැවතී බලා ඉන්නේ නෑ නේද කියලා. එයාට අපිව බලාපොරොත්තුවෙන් නැවතෙන්න බැහැ කියලා. ඒත් ශුද්ධ කුර්ආනය අපට කියන ලෝකය හැමදාම අපිව බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපිට ආමන්ත්‍රණය කරනවා. අපිව ආරක්ෂා කරල ජීවිතය අත් දෙකට දෙන්න බලන් ඉන්නවා.

ඉතින් හිතේ මියැදෙන්න දගලන හෘදයාංගම සිතුවිලි වලට පණ දෙන්න…ජීවිතය දෝතින් අරන් සාර්ථක ගමනක් යන්න…නිදසුන් රහිතව අපිව නිමවූ නිර්මාපකයාණන් වෙත හැරෙන්න…එන්න… දෑතින් දිනෙක පරව යන මල් පොකුරු අරන් නොව ජීවිතය තුළ පිබිදී දෙලොව සුවදවත් කරන මිනිස් හැගුම් පිරි මිනිසත්කම සමගින් එකම දෙවිදුන්ගේ ලෝකයට… ආරදණීය මිනිසුනේ…

ඒ ලෝකය ඔබව බලාපොරොත්තුවෙන්…


කතෘ - ‍ෆාතිමා ශාමිලා

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/24

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම