ශ්‍රී ලාංකීය අප දැහැමි සමාජයක්ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පෙරදිග ලෝකයේ මුතු ඇටය, ධර්මදීපය, බුදුන්ගේ දේශය, පෙරදිග ධාන්‍යාගාරය, වසර 2500 ක ඉතිහාසයකට උරුමක් කියන ශ්‍රේෂ්ඨ ජාතිය... මේ අපේ රට අතීතයේ පටන් මෑතක් වනතුරුම අපේ පැරැණ්නන් හැදින් වූ ආකාරයයි. නමුත් අද තත්වය කුමක්ද? මුතුත් නැහැ ඇටෙත් නැහැ. ‘ධර්මදීප’, ‘බුදුන්ගේ දේශ’ ලියාගත් ඔප්පුවලට පමණක් සීමා වෙලා. ධාන්‍යාගාර හිස් වී මන්දපෝෂණය හිස ඔසවලා. වසර 2500 ශ්‍රේෂ්ඨත්වය දොරමුල්ලක තබා ලෝකයෙන් හිඟාකන්න සිද්ධ වෙලා.

බලන බලන අත පන්සල්, පල්ලි, දේවස්ථාන, කොවිල්... ඒ මදිවට දිනපතා සෑම පන්සලක් ගානේ බණ හා පිරිත් දේශණ, මුස්ලීම් පල්ලිවල ආගමික නැමදුම් හා දේශණ, කිතුනු දේවස්ථානවල යාතිකා සහ ගීතිකා, හින්දු කොවිල්වල පූජාවන් සහ තේවාරම්... නමුත් ශ්‍රී ලාංකීය බෞද්ධ, ඉස්ලාම්, කිතුණූ, හින්දු සහ අනිකුත් ආගමිකයන් ජාතියක් ලෙස අද සිටින්නේ කොතැනද?. අප දැහැමි වීද? අපේ රට දැහැමි වීද? නොඑසේ නම් පරිහානියක් කරා ගොසින්ද?. එම ගැඹූරු පැනයන් පිලිබදවයි අද මෙම ලිපිය තුලින් මෙතැන් සිට විමසා බැලීමට උත්සාහ කරන්නේ...


ලෝකයාගේ පිලිගැනීම

ලෝකයේ පිලිගැනීමන්ට අනුව අපේ රට ආගම දහමට නැඹූරු ජනතාවක් සිටින රටකි. ආගම දහමට නැඹූරු රටවල් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමකට අනුව 2020 දී අපේ රට, රටවල් 148න් 08 වන ස්ථානය ලබාගත්තේ රටේ ජනගහනයෙන් 98.6% ක්ම ආගමික බවද කියාපාමිනි. ජාත්‍යන්තර නිරීක්ෂණය හා නිගමනය එසේ වූවත් සැබැවින්ම අප ආගම දහමට නැඹුරු ජාතියක්ද?. යන්න නැවත වරක් ගැඹූරින් විමසා බැලිය යුතු අවදියක අද සිටින්නෙමු.

ශ්‍රී ලාංකීය සමාජය තුල ආගම දහම සංවේදී විෂයක් යන්න සැබෑවකි. තමන්ගේ ආගම රැකගන්නත්, තමන් පිලිගෙන සිටින ආගමට එරෙහි වන්නන් හට එරෙහිව ක්‍රියා කරන්නත් පෙළඹෙන ආකාරය එය මනාව පිළිඹිබු කරයි. තමන් පිලිගෙන සිටන ආගමට හෝ එහි පිලිගැනීමකට එරෙහිව පවසන ‘වචනයකට’ පවා මේ සමාජය දක්වන ප්‍රතිචාරය කවර ආකාරයක් වීද? යන්න පසුගිය කාලවල අප, අප සමාජයේම දුටුවෙමු. එවැනි නිදසුන් දෙකක් ඔබේ මතකයට ගෙන එන්නේ නම්,

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ‘අල්ලාහ්’ යැයි පැවසූ විට මුස්ලීම් සමාජය එයට කම්පා වී දැක්වූ ප්‍රතිචාරය, බුදුන්වහන්සේ ‘මිනී මස් වැළඳුවා’ යැයි පැවසූ විට බෞද්ධ සමාජය එයට කම්පා වී දැක්වූ ප්‍රතිචාරය, ඉහත අවස්ථා දෙකේදීම ඒ ඒ ආගමිකයන් බහුතරයක් එයට ප්‍රතිචාර දැක්වූයේ ඉතා පහත් වචනවලින් සහ කුණුහරුපවලින් යන්න තවමත් ඔබේ මතකයේ ඇතැයි සිතමි. මෙය අන්‍ය ආගමික ඉගෙන්වීමන් සහ තමන් අදහන ආගම පිලිබදව තිබෙන අනවබෝධය නිසා ඇති වූ විකෘති තත්වයකි. ඉහත තත්වයට සැබෑ ඇදැහිලිවන්තයෙකු ලෙස කලයුතුව තිබුණේ තම ආගම දහමට අනුකූලව එයට නිසි පැහැදිලි කිරීම සිදුකොට එම වරද නිවැරදි කිරීම මිස එයට බැනවැදීම හෝ එම කාරණය නීතිය හමුවට ගෙනයාම නොවේ. නමුත් සිදුවූයේ වෛරය, පලිගැනීම, ක්‍රෝධය යනාදීය තුලින් එම තරහ පිරමසා ගැනීම සහ නීතියේ සරණ පැතීම පමණී. මෙලෙස ක්‍රියාකල අප ආගම දහමට අනුව ජීවත් වන ජාතියක් වන්නේද?.

ආගම දහම පිලිපදින්නේ නැති වූණාට රැකගන්න පෙරමුණ ගන්නවා

ආගම දහමට අනුව ජීවත් වීමට උනන්දුවක් උද්යෝගයක් නැතත්, ආගම දහම රැකගන්න පෙරමුණ ගන්නා ආගමිකයින් නම් අප සමාජයේ ඕනෑ තරම් දකින්නෙමු. එපමණක් නොවේ, ආගම දහම අනුව ජීවත් නොවූවත් ආගමික කටයුතුවල දී එයට ප්‍රමුඛතාවය ලබාදෙමින් එහි කටයුතුවලට අනුග්‍රහය හා දායකත්වය ලබාදෙමින් කැපවීමෙන් ක්‍රියා කරන ආකාරයද දකින්නෙමු. එම කැපවීම කොතරම්ද, යන්න පවසනවා සමහරක් ආගමිකයින් තම අත්‍යඅවශ්‍ය රාජකාරී සහා වගකීම් පැහැර හරිමින් සහ අතපසු කරමින් මෙවැනි ආගමික කටයුතුවල නිරතවීම දකින්නෙමු.

ආගම දහම අනුගමනය කරන අනුගාමිකයන් එසේ වනවිට එහි පූජකයින්ගේ සහ නායකයින්ගේ තත්වයද ඊට දෙවැනි නොවේ. ඔවුන්ද ආගම දහම අනුව සමාජය හැඩ ගසන්න උත්සාහ කරනවා වෙනුවට විවිධ සංස්කෘතික උත්සව සැණකෙලි දහම නමින් පවත්වමින් වෙනම මානයකට දහම ගෙනයයි. මෙහි හාස්‍ය ජනක කාරණය නම්, දහම නමින් දහමට පරිභාහිරව ක්‍රියා කරන එවැනි ආගමික නායකයන්ට හා පූජකවරුන්ට අප සමාජය තුල ලැබෙන ගරු සැලකිලි වෙන කිසිදු තැනක දකින්නට නොමැති තරම් වීමය. රටේ නීතිය පවා ඔවුන් ඉදිරියේ ක්‍රියාත්මක වන්නේ හෙමින්දෝ?, පසුබසිමින්දෝ?, ලැජ්ජාවෙන්දෝ?, බැරිකමකින්දෝ? යනුවෙන් සිතේ.

ඔවුන් මේ සමාජය තුල කොතරම් ප්‍රබල ද යන්න පවසනවා නම්, රටේ පාලකයන් ගන්නා තීන්දු තීරණ පවා නැවත හැරවීමට ඔවුන් සමත්ය. මේ හේතුව නිසා රටේ ආර්ථිකය, අධ්‍යාපනය සහ දේශපාලනය පමණක් නොව එදිනෙදා ජීවිතය මත ද සිය ආධිපත්‍ය පැතිරවීමට ඔවුන් සමත් වී ඇත. මෙතරම් බලයක් ආගමික නායකයන් හට මේ සමාජය ආරෝපනය කොට ඇත්තේ මේ රට ආගම දහමට නැඹුරු රටක් වන නිසාමද?.

අප සමාජය ආගමික අවවාදයන්ට අවනතද?

‘ඔව්’, ඉහත සියල්ල සැලකිල්ලට ගත්විට අපේ රට ආගමික රටක් යන්න සැබෑවකි. නමුත් මේ ආගමික රටේ සියළු පුරවැසියන් ආගම දහමට අනුව ජීවත් වනවාද? යන්න විමසා බලන විට එතැන ගැටළුවක් ඇත.

හැම දහමක ම උගන්වන එක් පොදු මූලධර්මයක් ඇත. එනම්, ‘යහපත් වැඩ කිරීමෙන් යහපත් ප්‍රතිඵලත් අයහපත් වැඩ කිරීමෙන් අයහපත් ප්‍රතිඵලත් අත් වෙනවා’ යන්නයි. මෙතැනදී තේරුම් ගතයුතු විශේෂ කාරණයක් ඇත. එනම්, කවර වැඩ යහපත් ද?, කවර වැඩ අයහපත් ද? යන්න ඒ ඒ ආගමික ඉගෙන්වීමන් අනුව වෙනස් වන බවයි. නමුත් තමන් කරන යහපත් අයහපත් ක්‍රියා අනුව හිමිවන තැන දෙව්ලොවද අපායද යන්න හැම ආගමක ම වාගේ පොදුය.

ලොව සෑම දහමකම ඉගෙන්වීමන් අධ්‍යනය කරන විට එහි මූලික විශ්වාසයන් ඉහතින් සදහන් කලාසේ පොදූය. නමුත් පොදු නොවන අතුරු කාරණයන් ද ඒ ඒ ආගමට ආවේනික ලෙස පවතින බව ද ප්‍රතික්ෂේප කල නොහැක. මේ අනුව මෙතැන් සිට විමසා බලන්නට අදහස් කරන්නේ දහමන් හි එකඟ වියහැකි මූලික ආගමික ඉගෙන්වීමන්ට සාපේක්ෂව ශ්‍රී ලාංකීය සමාජය ආගමිකද? යන කාරණයයි.

අප සමාජය ආගමික අවවාදයන්ට අවනතද?

අප දැහැමි නම්, අප අනුගමනය කරන දහමන් හි අවවාද අනුශාසනාවන්ට පූර්ණ ලෙස අවනතව ක්‍රියා කලයුතු වේ. එසේ නොවේ නම්, අප කිසිවිටෙක දැහැමි සමාජයක් විය නොහැක. එම මූලික කොන්දේසියේ හිඳ අප කොතරම් දැහැමි සමාජයක්ද? යන්න නිදසුන් කිහිපයකින් දැන් විමසා බලමු.

මත්පැන් නොහොත් සුරා පානය

ඉස්ලාම් ආගමේත්, බෞද්ධ ආගමේත් මත්පැන් පානය නොකලයුත්තක් ලෙස තම අනුගාමිකයින් හට තහංචි පනවයි. එසේ වුව ද දැහැමි ජාතියක් යැයි පවසාගන්නා අප රටේ මත්පැන් භාවිතය ලෝකයේ බොහෝ රටවල් ඉක්මවා ගොසිනි. අප ආගමික තරමටම මතට ද ලොල් බව ලෝක දර්ශක කියා පායි. 2020 ශ්‍රේණිගත කිරීමකට අනුව ආගමික රටවල් අතර අටවෙනි (2020) තැනට ශ්‍රී ලංකාව පත්වන විට එය ඒක පුද්ගල මත්පැන් හා මත්ද්‍රව්‍ය පරිභෝජනයෙන් ද ලෝකයා ඉදිරියේ ඉහලින්ම සිටී. මේ පිලිබදව ‘සිළුමිණ’ වෙබ් අඩවියේ 2022 අප්‍රේල් 02 දින පලවූ ලිපියෙන් කොටසක් පහතින් උපුටා දක්වන්නේ නම්,

මද්‍යසාර භාවිතය පිළිබඳව තොරතුරු විමසා බැලීමේදී

  • 2016 වර්ෂයේ පළ වූ ගෝලීය තත්ත්ව වාර්තාව අනුව ශ්‍රී ලාංකිකයන් මද්‍යසාර භාවිතය නිසා වර්ෂයකට මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් මිය යන බවට ඇල්කොහොල් භාවිතය පිළිබඳ 2018 වසරේ නිකුත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව (Global Status Report on Alcohol and Health – 2018) පෙන්වා දෙයි.
  • මීට අමතරව මිලියන එකසිය තිස්දෙකයි දශම හතක් (7) මද්‍යසාර භාවිතය හේතුවෙන් සදාකාලිකව හෝ දීර්ඝ කාලයක් විකලාංගභාවයට පත්ව ඇති බව එම වාර්තාව අනාවරණය කරයි.
  • ලෝක පරිමාණ මද්‍යසාර භාවිතය සම්බන්ධයෙන් පළ කර ඇති වාර්තාව අනුව ලංකාවේ මද්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට 23,000කට ආසන්න සංඛ්‍යාවක් මිය යන බවට මද්‍යසාර පිළිබඳ 2004 ගෝලීය තත්ත්ව වාර්තා ද පෙන්වාදෙයි.
  • ලංකාවේ ඒකපුද්ගල මත්පැන් පරිභෝජනය දෛනිකව ලීටර තුනයි දශම තුනක් (3) වන අතර යුරෝපයේදී එය ලීටර බිංදුවයි දශම පහකි (0.5). කෙසේවෙතත් ජනගහනය අනුව යුරෝපයේ සියයට අනූපහක් (95%) මත්පැන් පරිභෝජනය කළ ද, ලංකාවේදී එය සියයට විස්සක්(20%) බව සමීක්ෂණ දත්ත පෙන්වාදෙයි.
  • එසේම ලංකාවේ පිරිමින්ගෙන් සියයට තිස්හතයි දශම එකක් (1%) ද ස්ත්‍රින්ගෙන් සියයට දෙකයි දශම හතරක් (2.4%) ද මත්පැන් භාවිත කරයි. මින් පෙනී යන්නේ කාන්තාවන්ගේ මත්පැන් පරිභෝජනය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවය.

ශ්‍රී ලාංකීය අප දැහැමි සමාජයක්, ජාතියක් යැයි සිතා සිටියත් ආගමේ මූලික අවවාදයන් අතුරින් එකක් වන ‘සුරාවෙන් මිඳීම’ නම් සිල්පදය පූර්ණ ලෙස රුකීමට තවම නොහැකි වී ඇත. එය දිනෙන් දින රාජ්‍ය අනුග්‍රහය ඇතුව වීවෘත වන බාර් ප්‍රමාණය ද මනාව තහවුරු කරයි. මෙම කරුණුවලට අනුව අප තවදුරටත් දැහැමි ජාතියක් බව ඔබ සිතන්නේද?

මත්ද්‍රව්‍ය භාවිතය

ක්‍රි.ව.1505 දී පෘතුගීසී ආක්‍රමණයෙන් ඇරඹුනු මේ රටේ මත්‍ද්‍රව්‍ය භාවිතය වර්ෂ 2023 වූ අද අප කොතැන සිටින්නෙමුද?. මේ පිලිබදව දීර්ඝ විග්‍රාහයන් කරනවාට වඩා නිදසුන් කිහිපයක් මෙහි පෙලගැසීම වඩාත් උචිතයයි සිතමි. ඒ අනුව මෙම අඩවිය තුල යාවත්කාලීන කරන ජාතියම ගිලගනිමින් තිබෙන මත් උවදුර ලිපිය ඇතුළුව ලිපි කිහිපයකට මෙහි පහතින් ඔබේ අවදානය යොමු කරමි.

මීට අමතරව ඉහත www.ncbi.nlm.nih.gov ලිපියෙන් කරුණු කිහිපයක් සාරාංශ කොට මෙහි පහතින් ඉදිරිපත් කරන්නේ නම්,

තෝරාගත් පුනරුත්ථාපන මධ්‍යස්ථානවල නේවාසික ප්‍රතිකාර සඳහා ලියාපදිංචි වූ බොහෝ පුද්ගලයන් අවිවාහක (n = 124, 60.5%), සිංහල (n = 186, 90.7%), බෞද්ධ (n = 166, 81.0%), පිරිමි (n = 202, 98.5%) සහ තරුණ වැඩිහිටි වයස (අවුරුදු 18-35) කාණ්ඩයට (n = 178, 86.8%) අයත් වේ. සියලුම සහභාගී වූවන් බහු-මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් වූ අතර ගංජා බහුලව භාවිතා කරන ලද (n = 183, 89.3%) නීති විරෝධී මත්ද්‍රව්‍ය වන අතර පසුව හෙරොයින් (n = 172, 83.9%), මෙතම්ෆෙටමින් (n = 150, 73.2%) සහ කොකේන් (n = 78, 38%). ජීවිතය සඳහා වඩාත්ම (n = 152, 74.1%) ගැටලුකාරී ද්‍රව්‍යය හෙරොයින් විය. බොහෝ සහභාගිවන්නන් (n = 149, 72.7%) දිනකට කිහිප වතාවක් ඖෂධ භාවිතා කර ඇත. ද්රව්ය භාවිතයේ සාමාන්ය කාලය වසර 7 ± 5 කි. සහභාගිවන්නන් (n = 177, 86.3%) ඔවුන්ගේ නේවාසික ප්‍රදේශවල ද්‍රව්‍ය ලබා ගත හැකි බවත් ඔවුන්ගේ මිතුරන් (n = 197, 96.1%) ද ද්‍රව්‍ය භාවිතා කරන බවත් වාර්තා කළහ.

ඉහත සම්පූර්ණ ලිපිය link එක තුලින් කියවන්න. නිදසුනක් ලෙස link 05ක් ඉහතින් ඉදිරිපත් කොට ඇත. එම ලිපි බුද්ධිමත්ව විශ්ලේෂණය කරන්නේ නම්, ශ්‍රී ලාංකීය අප දැහැමිද? යන්න හොදින්ම අවබෝධ කරගත හැක. සෑම ආගමක ම පවසන මූලික අවවාදයක් වන ‘මතින් මිඳීම’ නම් සිල්පදය පූර්ණ ලෙස රුකීමට නොහැකි අප තවදුරටත් දැහැමි ජාතියක් බව ඔබ සිතන්නේද?

කාමයේ වරදවා හැසිරීම

“කාමයේ වරදවා හැසිරීම” යන්න සෑම දහමකම තහනම් පාපකාරි වැරදකි. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කිතුණු... යනාදී ආගමිකයන් වෙසෙන ශ්‍රී ලාංකීය සමාජය තුල මෙම වරද පවතින්නේ කවර තත්වයකද? යන්න මෙතැන් සිට කෙටියෙන් විමසා බලමු.

කාමයේ වරදවා හැසිරීම පිලිබදව කථා කරන විට එය වෘත්තියක් කරගත් ගණිකාවන් (එනම්, ‘මුදල් හෝ ආර්ථික වටිනාකමින් යුත් ද්‍රව්‍යයක් හිමිකර ගැනීම උදෙසා හඳුනන හෝ නො හඳුනන පුද්ගලහෙකු සමඟ භාවාත්මක හැඟීමකින් තොරව ලිංගික චර්යාවෙහි යෙදෙන්නන් “ගණිකාවකි”. යන්න "Encyclopedia Britannica" නම් ග්‍රන්ථයේ විග්‍රහයයි. ’) එම ගණිකාවන් පිලිබදව ද කථා නොකරම බැරිය. අප සමාජය විසින් "ලොව පැරණිම රුකියාව කරන්නන්", "ලිංගික ශ්‍රමිකයන්", "අම්බපාලියන්"… යනාදී විවිධ නම්වලින් හදුන්වන මොවුන් කාමයේ වරදවා හැසිරීම යන වරදෙහි ඉදිරියෙන් සිටින පිරිසයි. (මොවුන් එවැනි තැනකට තල්ලු වූයේ ඇයි?, එය සාධාර්ණීකරනය කලහැකිද? යනාදී කාරණයන් වෙනම කථා කලයුතු මාතෘකාවකි).

මෙම ගණිකාවන් නොහොත් අම්බපාලියන් (අම්බපාලීය යනු බුද්ධ කාලින භාරතයේ ජිවත් වු ගණිකාවකි.) පිලිබදව වූ අප රටේ ඉතිහාසය ඈත අතීතයටම දිවයන්නකි. ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය සැඟවුනු වෘත්තියක් ලෙස පැවතුනු බව "රොබට් නොක්ස්ගේ" "එදා හෙළදිව" කෘතියෙන් පැහැදිලි වේ. එසේම 05 වන කාශ්‍යප රජු දවස ගණිකාවන් සිටි බව එහි ඇති සීගිරි ගී වලින් ව්‍යාංගාර්ථ වන බව "මහාචාර්ය සෙනරත් පරණවිතාන" මහතා ප්‍රකාශ කරයි. මීට අමතරව අප රටේ සමලිංගිකයන්ගේ ඉතිහාසය පිලිබදව ලියවුණු අන්තර්ජාල ලිපියක ද මෙම අරාජිකත්වය දීර්ඝ ලෙස විස්තර කොට තිබුණි. (එම ලිපිය මෙහි click කොට කියවීමට පුළුවන (එම ලිපිය යහමග අඩවිය තුල ද උපුටාගෙන "සමලිංගික ඇසුර" යන මාතෘකාව යටතේ පලකොට ඇත))

ඉතිහාසය එසේ වනවිට වර්ථමානය ද ඊට දෙවැනි නොවේ. අද රටේ සම්බාහන මධ්‍යස්ථාන සියල්ලම පාහේ ගණිකා මධ්‍යස්ථානදෝ? යැයි සිතෙන තරමට දෛනිකව විවිධ පුවත් වාර්ථා වෙමින් ඇත. එපමණක් නොවේ රටේ පූජා නගරයක් වූ අනුරාධපුරය මෙම ගණිකා ව්‍යාපාරයේ තෝතැන්නක් (වීඩියෝ පුවතක්) යැයි සිතෙන තරමටත් පුවත් වාර්ථා වෙමින් ඇත. අප රටේ මෙම "ගණිකා වෘත්තිය" සම්බන්ධයෙන් පසුගිය දිනක කල සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ ගණිකාවන් සංඛ්‍යාව 40000 ඉක්මවා ඇති බව තහවුරු විය. අප වැනි කුඩා රටකට මෙම අගය විශාල එකකි. එපමණක් නොව මෙම ගණිකා වෘත්තිය සමාජයෙන් වසන් වී සිදුවන ක්‍රියාවක් වන නිසා මෙම සමීක්ෂණ වාර්ථා නිවැරදිම වාර්ථාවක් ලෙස හෝ එම සංඛ්‍යාලේඛනය නිවැරදිම ගණනය කිරීමක් ලෙස පිලිගත නොහැක. එසේ මා පැවසීමට තවත් හේතුවක් වන්නේ මෙම “ගණිකා වෘත්තිය” පාර්ශව දෙකකගේ එකඟතාවය මත රහසිගතව සිදුවන ක්‍රියාවක් වීමය.

සමාජයෙන් වසන්ව සිදුවන මෙම පහත් ක්‍රියාවේ නියලෙන පිරිසගේ ප්‍රමාණය මෙපමණ විශාල අගයක තිබේ නම්, එයට සමාජයේ ප්‍රසිද්ධියේ සිදුවන බලහත්කාරයන්, ස්ත්‍රී දූෂණයන්, ළමා අපචාරයන් සහ සමලිංගික ඇසුරු... යනාදීය ද එකතු වූ විට මෙම සමාජයේ කාමයේ වරදවා හැසිරීම පිළිබඳ සංඛ්‍යාලේඛන මීටත් වඩා බරපතල යන්න ඔබට අවබෝධ වියයුතුය. මෙම අරාජිකත්වය පිලිබදව මෑත කාලීනව යහමග අඩවිය කරන අධ්‍යනයකට අනුව ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයක වාර්ථා වූ සිද්ධීන් පෙලගැස්ම පහත මාතෘකා යටතේ මෙම අඩවිය තුල පෙලගසා ඇත. ඔබ බුද්ධිමත්ව එය විමසා බලන්නේ නම් අප රටේ වත්මන් අරාජිකත්වය ඔබට මනාව පැහැදිලි වනු ඇත.

එය මෙසේය...

ඉහතින් ඉදිරිපත් කල කරුණූ සහ පෙලගැසීම් බුද්ධිමත්ව විමසා බලන ඔබ ශ්‍රී ලාංකීය අප දැහැමි සමාජයක්, ජාතියක් යැයි තවදුරටත් සිතන්නේද?. දහමක මූලික අවවාදයන් අතුරින් එකක් වන ‘කාමයේ වරදවා නොහැසිරෙන්න’ යන සිල්පදය පූර්ණ ලෙස රුකීමට නොහැකි අපි දැහැමි වන්නේ කෙසේද?.

වංචා හා දූෂණ

ශ්‍රී ලාංකීය අප සමාජයට ”වංචා හා දූෂණ” යන මාතෘකාව අලුත් එකක් නොවේ. බැලූ බැලූ අත නිතර ඇසෙන දකින මේ වංචා සහ දූෂණ පිලිබදව අප සමාජයට අමුතුවෙන් මහ හෑලි ලියා පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ යැයි සිතමි. විශේෂයෙන් මේ රටම ”වංචා හා දූෂණ” තුලින් බංකලෝත්තු කර ඒ තුලින් ඇති වූ උද්ධමනය නිසා රටේ ජනතාව දින ගණන් පෙට්ට්‍රල් සහ ගෑස් පෝලිම්වල දුක්විඳමට සහ විවිධ අරඟලවලට යොමුවීමට මඟ පෑදූ “වංචා හා දූෂණ” ඔස්තාර්ලා ඉන්න මේ රටේ ජනතාවට තව මොනවා පැහැදිලි කරන්නද?

කෙසේ වෙතත් අද අප රටක් ලෙස ”වංචා හා දූෂණ” තුලින් ලෝකයේ රටවල් 180 අතරින් 101 වැනි තැන (2022) සිටින බව https://www.transparency.org යන වෙබ් අඩවිය සදහන් කරයි. එපමණක් නොව මේ පිලිබදව අප රටේ ජනප්‍රිය පුවත්පත් වර්ථා කරන පුවත් දෙස බලන විට මෙම “වංචා හා දූෂණයෙන්” අප කොතරම් දුරකට කප් ගසා ඇත්ද යන්නත් මනාව පැහැදිලි වේ. එවැනි පුවත් මුලික කරගෙන යහමග අඩවිය තුල සාකච්චා කල ශ්‍රී ලංකාව අල්ලසින් කප් ගසයිද? යන ලිපිය සහ අල්ලස මූලික කරගෙන ඉස්ලාම් දහමේ ස්ථාවරය පැහැදිලි කරන ජරාව, පගාව නොහොත් අල්ලස යන ලිපිය තුලින් ජාතියක් ලෙස අප සිටින තැන මනාව තේරුම් ගතහැක.

මීට අමතරව පහත ලිපි තුලින් ද මේ සමාජය ”වංචා හා දූෂණ” තුලින් ලබා ඇති අරාජිකත්වය තවදුරටත් තේරුම් ගතහැක.

මේ රටේ සාමාන්‍ය ජනතාව අතරත් වරදක් යැයි නොසිතෙන තරමට දෛනික දිවිය තුල සාමාන්‍ය අංගයක් වී තිබෙන මෙම “වංචා හා දූෂණ” තුලින් පෙනීයන්නේ දහමක මූලික අවවාදයන් වන වංචා නොකරන්න, සොරකම් නොකරන්න, බොරු නොකියන්න... යන ආගමික අවවාද ශ්‍රී ලාංකීය සමාජය විසින් නොසලකා හැර ඇති බව නොවේද?. මෙසේ දහමේ මූලික අවවාදයන් රුකීමට නොහැකි අපි දැහැමි වන්නේ කෙසේද?.

මිනී මැරීම් සහ දිවිනසා ගැනීම්

ශ්‍රී ලාංකීය අප සමාජයේ මිනීමැරීම් සහ සිය දිවිනසා ගැනීම් සාමාන්‍ය තත්වයක් ලෙස සලකන තරමට ඉහල යමින් ඇත. එයට නිදසුන් ඕනෑතරම් සමාජයෙන් ගෙනහැර දැක්විය හැක. මේ සටහන ලියන මේ මොහොතේ “ලංකාදීප” වෙබ් අඩවියේ වාර්ථා වූ “විනිසුරු නිවසේ ආරක්ෂාවට සිටි සැරයන් වෙඩි වැදි මරුට” යන පුවතට අමතරව “ලංකාදීප” වෙබ් අඩවියේ පමණක් පසුගිය දින 03 ඇතුලත වාර්ථා වූ පුවත් කිහිපයක් මෙහි පහතින් පෙලගසන්නේ නම්,


(ඉහත පිංතූරය මඟින් ඉදිරිපත් කරන පුවත සම්පූර්ණයෙන් මෙහි Click කොට කියවීමට පුළුවන)

මාධ්‍යයට වාර්ථා වූ, එහිද “ලංකාදීප” වෙබ් අඩවියට වාර්ථා වූ සිද්ධීන් මෙපමණ නම්, රටේම සිද්ධීන් කොතරම් තිබිය හැකිද? යන්න ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මා මීලඟට අවදානය යොමු කරන්නේ සියදිවි නසා ගැනීම යන කාරණ වෙතයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවට අනුව ලෝකයේ සියදිවි නසා ගැනීමේ වැඩිම ප‍්‍රතිශතයක් සහිත රටක් වශයෙන් ලංකාව හඳුන්වා දී තිබේ. සියදිවි නසා ගැනීමේ අනුපාතිකය කාලයක් තිස්සේ ඉහළ අගයක් ගත් රටක් වශයෙන් අප රට ඇත. (මේ පිලිබදව යහමග අඩවිය තුල මීට ඉහත සියදිවි හානි කරගැනීම, සියදිවි නසාගැනීම පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය, සියදිවි නසා ගැනීම අන්තර්ජාල විමසුමක්… යන ලිපි තුලින් ද සාකච්චා කොට ඇත.) මීට අමතරව වසරකට සුළු පැමිණිලි ලක්ෂ 11 ක් පමණ පොලීසියට ලැබෙන බව කියවේ. මේ තුලින් ද පැහැදිලි වන්නේ අප සමාජය එකිනෙකා සමඟ සමගියෙන් සහජීවනයෙන් ඉන්නට පවා නොහැකි තරමට විකෘති වූ වෛරයෙන් හා ක්‍රෝධයෙන් පෙලෙන මානසිකත්වයකින් පසුවන බව නොවේද?.

මේ සියල්ල තුලින් පැහැදිලි වන්නේ ආගම දහම කියන දේ මේ සමාජය "තඹ සතයකටවත්" මායිම් නොකරන බව නොවේද?. තවත් සරලව පවසනා නම්, අද ආගම දහම තම ලෞකික අවශ්‍යතාවයන්ට පමණක් පාවිච්චි කරන කරපිංච කොලයක් මට්ටමට දමා ඇති බව ඔබට නොවැටහේද?. දිනෙන් දින වර්ධනය වන මිනී මැරීමත්, දිනෙන් දින වර්ධනය වන සියදිවි නසා ගැනීමත් අපට කියාපාන්නේ එය නොවේද?. දැන් ඔබ බුද්ධිමත්ව තීරණය කරන්න මේ සමාජය දැහැමිද? එසේ නොවේද?.

2023/08/31 අද දිනයේ සියත FM වාර්ථා කල පුවතක් (නව යාවත්කාලීනය)...
* මේ වසර තුල (එනම් මාස 08ක් තුල) අප රටේ සිදුව ඇති මිනිස් ඝාතන වෙඩි තැබීම් ගණන 69 කි.
* එම වෙඩ් තැබීමෙන් මරණයට පත් වූ සංඛ්‍යාව 41 කි.
* එම වෙඩ් තැබීමෙන් තුවාල ලද සංඛ්‍යාව 29 කි.


* මිනිස් ඝාතන 2023/09/26 නව යාවත්කාලීන (උපුටා ගැනීම ලංකාදීප ‍වෙබ් අඩවි‍යෙන්) 


අද ආගමික නායකයින් සේම නීති බලධාරීන් ද අසරණයි

ඉහතින් අප මේ සමාජය ආගමික අවවාදයන්ට කොතෙක් දුරකට අවනත වී ඇත්තේ ද? යන්න විමසා බැලුවෙමු. එහි පැහැදිලිවම පෙනෙන කාරණය නම්, වත්මන් සමාජයේ බහුතරයක් දහමක මූලික අවවාදයන් වන මත්පැන් නොහොත් සුරා පානය, මත්ද්‍රව්‍ය භාවිතය, කාමයේ වරදවා හැසිරීම, වංචා හා දූෂණ, මිනී මැරීම් සහ දිවිනසා ගැනීම්... වැනි කාරණයන් තුල පවා දහමට අවනත නොවන බවයි. ඉහත පාපයන් පිලිබදව අවවාද සහ එවැනි පැපවල නියැලීමෙන් අත්වන ඉරණම විශේෂයෙන් “නිරයේ” අත්වන ඉරණම පිලිබදව අවවාද පැහැදිලිව ම සමාජයට කර තිබියදී එය නොසලකා කටයුතු කිරීමට මූලික හේතුව වන්නේ දහමේ ඉගෙන්වීමන් පිලිබදව මේ සමාජයට තිබෙන අවිශ්වාසය නොවේද?. මිනිසුන් ආගම දහමට තිබෙන නැඹුරුවේ අඩුව, රටේ නීති ක්‍රියාත්මක කරන ආයතනවල වැඩ වැඩිවීමෙන් විශේෂයෙන් පොලීසියේ රාජකාරී බහුල වීමෙන් මනාව පිලිඹිබු වේ.

නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට තිබෙන මෙම අභියෝගය ජය ගැනීම පිණිස එනම්, රටේ සිදුවන අපරාධ ප්‍රමාණය අඩු කර ගැනීම සහ පාලනය කර ගැනීම පිණිස ආගම මේ සමාජය තුල නැවත ශක්තිමත් කලයුතුව ඇත. ඒ අනුව තම අනුගාමිකයින් දහම වෙත ගෙන ඒම පිණිස ආගමික නායකයින්ට නීතියේ පිහිටත්, සමාජයේ සිදුවන අපරාධ අවම කරගැනීම පිණිස නීතියේ බලධාරීන්ට ආගමේ පිහිටත් අවශ්‍ය වී ඇත. මේ තත්වය තුල රජයක් ලෙස තමන්ට තිබෙන බර අඩුකර ගැනීම පිණිසත්, දැහැමි රාමුවක් තුල ජනතාව කොටු කිරීම පිණිසත් රජයට, දේශපාලනඥයන්ට හා ආණ්ඩුවට නැවතත් ආගම උඩට ගැනීමට සිදු ඇත. භික්ෂූන් වහන්සේලා සහ ආගමික නායකයින් මෑතක දී වඩ වඩා දේශපාලන ලෝකයට පිවිසීමත් දේශපාලන නායකයින් හා නිලධාරීන් වඩ වඩාත් ආගමට සෙනෙහෙ පෑමටත් හේතුව මෙය විය නොහැකි ද?.

මේ සියල්ල තුලින් පැහැදිලිව පෙනෙන කාරණය නම්, එක් පසෙකින් රටේ අපරාධ රැල්ල නීතියේ බලධාරීන්ට පාලනය කල නොහැකි තරමට වැඩි වී එම නීති බලධාරීන් අසරණ වී ඇති අතර අනෙක් පසින් ආගමික ඉගෙන්වීම් අවවාද පිලිනොගෙන රටේ ජනතාව ආගම නොසලකා හැරීම තුල ආගමික නායකයින් අසරණ වී ඇති බවයි. මේ සියල්ල තුලින් ඔප්පු වන්නේ අප රට ආගමික යැයි කීවාට ආගම් විශ්වාස කරන අයගෙන් එය හීන යන්න නොවේද?.

වඩා භයානක නිරාගමිකයාද? ආගම නොඅදහන ආගමිකයාද?

අතීතයේ පටන් මෑතක් වනතුරු ආගමක් දහමක් නොඅදහන නිරාගමික පිරිස් සම්බන්ධයෙන් සමාජයට ඇත්තේ තරමක පිලිකුල් සහගත ආකල්පයකි. බොහෝ විට ඔවුන්ව සමාජය ආමණ්ත්‍රනය කලේ “අණක් ගුණක් නැති එකා”, “පන්සලක් පල්ලියක් නැති එකා” යනුවෙනි. නමුත් අද වනවිට මෙම තත්වය උඩුයටිකුරු වී ඇත. එනම්, නූතන නිරාගමිකයා කෙරෙහි සමාජය දක්වන විශ්වාසය ආගම දහම නොඅදහන ආගමිකයා කෙරෙහි තබන්නට නූතන සමාජය සූදානම් නැත. විශේෂයෙන් ආගමිකයන් ලෙසත් පූජකවරුන් ලෙසත් සමාජය හමුවේ පෙනී සිට තම දහමේ මූලික ඉගෙන්වීමන්ට පවා පරස්පරව ක්‍රියා කරමින් හා සමාජ විරෝධි කටයුතුවල නියැලෙමින් ක්‍රියා කරන මේ ආගම දහම නොඅදහන ආගමික වූ පිරිස් කෙරෙහි විශ්වාසය සමාජය තුල ගිලිහී ඇත. විශේෂයෙන් ශ්‍රී ලාංකීය සමාජය සැලකූවිට මෙහි සාමය හා සංහිඳියාව ගොඩනැඟීමේ මෙහෙවර තුල ආගමික නායකයින්, පූජකයින් සහ ආගමිකයින් අසමත් බව ඕනෑවටත් වඩා ඔප්පු කොට පෙන්වා ඇත.

ආගම දහම නොඅදහන ආගමිකයා ආගමේ නාමයෙන් බොරු කියයි, හොරකම් කරයි, කුමණ්ත්‍රන කරයි, වංචා කරයි, මුලා කරයි, ජාතිවාදය වපුරයි, ස්ත්‍රී දූෂණ සිදුකරයි, මිනී මරයි... එයට හේතුව ඔවුන් කරන ක්‍රියාවට තම දහම තුල අනුබලයක් අවසරයක් ඇතැයි යනුවෙන් ඔවුන් විශ්වාස කිරීම සහ ඔවුන් එහි වරදක් කලත් තම දහම තුල තමන්ට සමාවක් හිමි වන බව විශ්වාස කිරීමයි. මේ සදහා ඇති තරම් උදාහර්ණ ශ්‍රි ලාංකීය සමාජය තුලම දැකගත හැක. එනම්, මන්ත්‍රි ගුරුකම් නමින් ජනයා මුලා කිරීම සහ වංචා කිරීම, රෝගවලට ප්‍රතිකාර කරන බව පවසමින් මුලා කිරීම සහ හිංසා කිරීම, කෑමවලට සහ ඇඳුම්වලට වඳ බෙහෙත් ගල්වා ඇති බවත්, ආගම දහම අනතුරේ බවත් පවසමින් ජාතිවාදය සහ මුසාව සමාජය තුල වැපිරීම, තුටු පඬු නමින් මුදල් සොරකම් කිරීම, ජිහාද් නමින් මිනී මැරීම... එවැනි කිහිපයකි. මේ ආකාරයට ක්‍රියා කිරීම තුල එය අපාගත වන වරදක් වන බව ඉහත පිරිස තේරුම් ගන්නේ නැත. එසේම එම පුවතේ ඇත්ත නැත්ත නොසොයා තවදුරටත් සමාජය තුල පතුරුවන පිරිස මේ අප අත්තටු ලබා දෙන්නේ බොරුවකට බව සිතන්නේ නැත. මෙහි දෙගොල්ලෝම තමන්ගේ ආගම්වල නාමයෙන් අන් ආගමිකයින්ට එරෙහිව කටයුතු කිරීමට කැප වී සිටින අයවළුන්ය. ඒ නිසා තමන් පාපයක් කරන්නේ යැයි ඔවුන් දන්නේ ද නැත. ඒ බවක් ඔවුන්ට වැටහෙන්නේ ද නැත. මෙවන් පිරිස් නිරාගමික නොවුනත් ආගමික යැයි පැවසිය හැකිද?.


මෙම පිටුව ඉදිරියට යාවත්කාලීන කෙරේ...