ළමා අපයෝජනයට එකම විසඳුම ඉස්ලාමයයි

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ළමා අපයෝජනයට එකම විසඳුම ඉස්ලාමයයි
ළමා අපයෝජනයට එකම විසඳුම ඉස්ලාමයයි

අප රටේ පවතින නීති-රීති තුලින් මේ රටේ සිදුවන ළමා අපයෝජන හෝ හිංසන පාලනය කිරීමට හැකිවී තිබේද? යන්න බුද්ධිමත්ව විමසා බැලිය යුතු අවදියක අප සිටින්නෙමු. දිනපතා ළමුන් සම්බන්ධයෙන් වාර්තා වන පුවත් බලනවිට එම නීති කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. අප රටේ පමණක් නොව ලොව බොහෝ රටවල තත්වය එයයි. නමුත් ඉස්ලාම් දහම මේ සම්බන්ධයෙන් යෝජනා කරන නීති හා දණ්ඬුවම් ක්‍රමවේදය තරමක වෙනස් ආකාරයක් ගනි. ‘ළමා අපයෝජනයට විසඳුම ඉස්ලාමයයි’ යන මෙම මාතෘකාව තුලින් අද විමසා බලන්නේ ඒ පිලිබදවයි.

ඊට ප්‍රථම මෙම ලිපියෙහි මුල්කොටස වන ‘නිමා නොවන ළමා හිංසන හා අපචාර’ යන මාතෘකාව යටතේ අප රටේ සිදුවන ළමා අපයෝජන හා එයට මුලික වන හේතුකාරණා පිලිබදව සාකච්චා කල එම ලිපියත්, මෙම අඩවිය තුලම කාලයක් මුළුල්ලේ ‘ළමුන් පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය’ යන මාතෘකාව ඔස්සේ ඉදිරිපත් කරන ළමා හිංසන පිලිබදව සාකච්චා මණ්ඩපයත් ඔබේ වැඩිදුර දැනගැනිම පිණිස කියවන ලෙසට ආරාධනා කරමින් ‘ළමා අපයෝජනයට එකම විසඳුම ඉස්ලාමයයි’ යන සාකච්චාවට මෙතැන් සිට යොමු වෙමි.

සියළුදෙනා මත ම වගකීමන් ඇත..!

මුහම්මද් (සල්) තුමාණන් පැවසූ බව අබ්දුල්ලාහ් ඉබුනු උමර් (රලි) තුමා මෙසේ දන්වයි.

ඔබ සෑම කෙනෙකුම වගකීම් දරන්නෝ වෙති. ඔබලාගේ වගකිම් සම්බන්ධයෙන් (මරණින් මතු – විනිශ්චය දිනයේ) ප්‍රශ්න කරනු ඇත. ජනතාව පාලනය කරන පාලකයා ඒ සම්බන්ධ වගකීම දරන්නෙකු වේ. ඔහු තම රට (පාලනය කළ ආකාරය) ගැන ඔහුගෙන් ප්‍රශ්න කරනු ඇත. ස්වාමියා තම නිවැසියන්ගේ වගකීම දරන්නෙකු වේ. ඒ පිලිබදව ඔහුගෙන් (ඔවුන් පෝෂණය කළේ කෙසේදැයි) ප්‍රශ්න කරනු ඇත. එසේම තම ස්වාමිපුරුෂයාගේ නිවස සහ ඔහුගේ දරුවා සම්බන්ධයෙන් බිරිඳ වගකීම් දරන්නියක් වේ. ඒ සම්බන්ධයෙන් (ඔවුන් නඩත්තු කළේ කෙසේදැයි) ඇයගෙන් ප්‍රශ්න කරනු ඇත. තවද වහල්ලෙකු තම ස්වාමියාගේ ධනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වගකීම් දරන්නෙකු වේ. එම වගකීම (ඉටුකලේ කෙසේදැයි) ඔහුගෙන් ප්‍රශ්න කරනු ඇත. ඒ අනුව නුඔලා සියල්ල ඒ ඒ කාරණයන් සදහා වගකීම් දරන්නන් වේ. එම වගකීම් සම්බන්ධයෙන් (නියතවම) ප්‍රශ්න කරනු ඇත.

මුලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි 2554

සමාජයක ඕනැම තරාතිරමක ම සිටින පුද්ගලයන් මොනයම් හෝ වගකිමක් දරණ්නන් යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්විමයි. ඒ අනුව සෑම කෙනෙකුම වගකීම් දරන්නන් බව පැවසූ නබිතුමාණන් මව සහ පියා එහි විශේෂ කොට සදහන් කරයි. තම දරුවන් ආරක්ෂා කිරීම, ඔවුන් තුල හොද විනය ගොඩනැගීම, ඔවුන් පෝෂණය කිරීම, තම දරුවන් ඇසුරු කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව සැලකිලීමත්වීම… වැනි සියලු කාරණා සම්බන්ධයෙන් හෙට දිනයේ දෙමාපියන් වන අපගෙන් ප්‍රශ්න කෙරෙනු ඇත යන්න තේරුම්ගෙන එම වගකීමන් පිලිබදව ඉතා කල්පනාකාරීව කටයුතු කිරීම අවශ්‍ය බව ඉහත හදීසයෙන් පෙනියයි. මෙම කාරණය හොදින් මතකයේ රදවාගෙන “ළමා අපචාර” සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ තීන්දුව කුමක්ද? යන්න දැන් අවදානය යොමු කරමු.

ඉස්ලාමීය අපරාධ නීතියට අනුව ළමා අපචාරය හා අපයෝජනය, එනම් ළමයින් ලිංගික අපයෝජන සහ ඔවුන් සමඟ ලිංගිකව එක්වීම පැහැදිලිවම කාමයේ වරදවා හැසිරිමකි. එය මහා පාපයක් ලෙස අල්කුර්ආනය දැඩිව අවවාද කරයි. එනම්,

කාමයේ වරදවා හැසිරිම ලැජ්ජාසහගත පාපකාරි ක්‍රියාවකි. එයට ළං නොවන්න.

අල්කුර්ආනය 17-32

මනුෂ්‍යයා මැවීමේදී ම ලිංගික ආශාවෙන් යුතු මැවීමක් ලෙස මවා ඇත. එබැවින්, පිරිමීන්ට කාන්තාවන් වෙතද, කාන්තාවන්ට පිරිමින් වෙතද ළං වීමට විවාහය තුලින් ඉස්ලාම් අවසර ලබා දී ඇත. ඊට අමතරව වහල් කාන්තාවන් සමඟ ද ලිංගිකව එක්විමට තම ස්වාමියාට ඉස්ලාම් දහම තුල අවසර ලබාදී තිබෙන අතර වර්ථමානයේ වහල් සංකල්පය ලොව තුල නැති නිසා ඒ පිලිබදව වු නීති පිලිබදව වැඩිදුර පැහැදිලි කිරීමන්ට මෙතැනදි යොමු නොවෙමි. මේ අනුව අද කාන්තාව වුවද, පිරිමි වුවද තම ලිංගික අවශ්‍යතාවය සපුරාගත යුත්තේ විවාහය තුලින් ඇති කරගන්නා බැදීමන් තුලින් පමණි. එය අල්කුර්ආනය මෙසේ අවදාරණය කරයි.

තවද ඔවූහු කවුරුහුදයත් තම ලිංගයන් (අපචාරයන්ගෙන්) ආරක්ෂා කරන්නාවූද, තම භාර්යාවන් සහ නිත්‍යානුකූලව තමන් සතු වන ළදුන් හා ඔවුන් සංසර්ගයෙහි යෙදීම නිසා ඔවූහූ දෝෂාරෝපණීය නොවන්නන් ද වෙති.

අල්කුර්ආන් 23 – 5/6

මෙතැනදි විශේෂයෙන් සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. එනම්, කාම අපාචාරයේ තවත් අංගයක් වන සමලිංගික ඇසුර ද මෙහි කතා කලයුතු කාරණයකි. වත්මන් ලොව තුල සමලිංගික ඇසුර ද සැලකිය යුතු ලෙස වැඩිවෙමින් ඇත. මේවා සමහරක් රටවල් නීතිය මගින් ද අවසර ලබාදී තිබිම වත්මන් සමාජ පරිහානිය හොදින් කියාපාන්නකි. මෙම ලිපි පෙලෙහි මීට පෙර ලිපියෙහි ඉදිරිපත් කල ‘ළමා අපයෝජනය’ සංඛ්‍යාලේඛනවලට අනුව සැලකිය යුතු පිරිමි දරුවන් ද අපයෝජනයට ලක්වීම මෙහි දැඩිව අවදානයට ලක්විය යුතු කාරණයකි. මෙම සංඛ්‍යාලේඛන තුලින් පෙනී යන්නේ ළමා අපයෝජකයන් අතර සමලිංගික පාපතරයන් ද සැලකිය යුතු ලෙස සිටින බවයි. පිරිමියෙකු තවත් පිරිමි ළමයෙකු අපයෝජනය කරන්නේ නම් හෝ කාන්තාවක් තවත් ගැහැණු ළමයෙකු අපයෝජනය කරන්නේ නම් එය සමලිංගික පාප කර්මයක් බවට පත්වේ. මේ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්නත් මෙතැනදි සදහන් කිරිම වැදගත් යයි සිතමි. සමලිංගික ඇසුර වර්ථමාන තත්වයට වඩා උග්‍රව පැවතී අතීත ජන සමුහයක් ‘බිහිසුණු ගල් වර්ෂාවක් වස්සවා’ විනාශ කල ආකාරය අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ 26 පරිච්චේදයේ විස්තර කරයි. මේ අනුව සමලිංගික ඇසුර ඉස්ලාම් දහමේ මහා පාපායක් යන්න පැහැදිලිය.

මේ අනුව විවාහය තුලින් සිදුනොවන සියළු ලිංගික ඇසුරු හා අපචාර කාමයේ වරදවා හැසිරිම නැමැති මහා පාපයක්ම යන්න ඉස්ලාම් දහමේ ස්ථාවරය බව පැහැදිලි වේ.

ඉස්ලාම් යෝජනා කරන දඬුවම කුමක්ද?

පරපුරුෂ සේවනයෙහි (අනාචාරයෙහි) නියලෙන්නන්ගේ තත්වය අනුව දඬුවම් ආකාර දෙකක් ඉස්ලාම් දහම විස්තර කරයි. එම ආකාර දෙක නම්,

එම වරදෙහි නියැලෙන්නා අවිවාහකයෙකු නම් – අවිවාහකයෙකු අනාචාරයේ යෙදුනේ නම්, ඔහුට හෝ ඇයට කස පහර 100 ක් ප්‍රසිද්ධියේ ලබාදියයුතු බවත්, එම දඬුවම තුල ඔවුනට කිසිදු අනුකම්පාවක් නොදැක්විය යුතු බවත් ඉස්ලාම් පවසයි. එය මෙසේය…

(අවිවාහකව) පර පුරුෂ සේවනයෙහි යෙදෙන ගැහැණිය සහ පරදාර සේවනයෙහි යෙදෙන පිරිමියා වන දෙදෙනාගෙන් ඔවුන් එක් එක්කෙනාට කසපහර සියයක් බැගින් දෙනු. නුඹලා අල්ලාහ් සහ පරමාන්ත දිනය ගැන විශ්වාස කරන්නහු නම් අල්ලාහ්ගේ ධර්මයේ (නියම කළ කරුණක්) සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා ගැන නුඹලා අනුකම්පා නොකළ යුතුයි. තවද ඔවුන් දෙදෙනාගේ දඬුවම ගැන මු:මින්වරුන් (යහපත් මුස්ලීම්වරුන්) පිරිසක් සාක්ෂි දැරිය යුතුය.

අල්කුර්ආන් 24-2

එම වරදහි නියැලෙන්නා විවාහකයෙකු නම් – විවාහකයෙකු අනාචාරයේ යෙදුනේ නම්, ඔහුට හෝ ඇයට මරණ දඬුවම ප්‍රසිද්ධියේ ලබාදියයුතු යන්න ඉස්ලාම් දහමේ තින්දුවයි. එය මෙසේය…

අබු හුරෙයිරා (රලි) සහ සයිද් බින් කාලිද් (රලි) තුමා මෙසේ පැවසීය.

(වරක්) ගැමියෙක් (තවත් කෙනෙකු සමඟ) නබිතුමාණන් හමුවට පැමිණ, “අල්ලාහ්ගේ දූතයාණනි! අල්ලාහ්ගේ නීතියට අනුව අප අතර විනිශ්චය කරන්න” යයි පවසන ලදි. එවිට ඔහු සමඟ පැමිණී අනෙක් කෙනාද නැඟිට, “ඔහු ඇත්ත කීවේය. අල්ලාහ්ගේ නීතියට අනුව අප අතර විනිශ්චය කරන්න” යයි පවසමින් (අනෙක් කෙනා පෙන්වා) “මගේ පුතා ඔහු ළඟ කුලී හේවායෙක් ලෙස වැඩ කළා. එහිදි ඔහුගේ බිරිඳ සමඟ කාමමිථ්‍යාචාරය (ලිංගිකව ඇසුරු) කළේය. (මේ හේතුව නිසා) මිනිස්සු මට කිව්වා ‘ඔයාගේ පුතාට ගල් ගසා මරණ්න ඕනෑ’ කියලා. එයින් මගේ පුතාව බේරාගැනීම සඳහා මම බැටළුවන් සියයක් සහ වහල්ලෙක් ඔහුට දුන්නා. පසුව මේ පිලිබදව මම (නීති) විශාරදයන්ගෙන් විමසුවෙමි. එයට ඔවුන් “ඔබේ පුතාට කස පහර සියයක් සහ වසරක් පිටුවහල් කළ යුතුයි” කියා පැවසුවා. මේ සියල්ල අසා සිටි නබිතුමාණන් “මම ඔබ දෙදෙනා අතර අල්ලාහ්ගේ නීතියට අනුව විනිශ්චය කරමි: වහල් දැරිය සහ බැටළුවන් ඔබ වෙත ආපසු ලබා දිය යුතුය; ඔබේ පුතාට කස පහර සියයක් දී වසරකට පිටුවහල් කළ යුතු ය” යයි පවසමින් තම අසල සිටි කෙනෙකු කැඳවා “ඔහුගේ බිරිඳ වෙත ගොස් (මේ පිලිබදව ඇය පාපොච්චාරණය කළහොත්) ඇයට ගල් ගසා මරාදමන්න” යයි පවසන ලදි. එලෙසම, එම කාන්තාව වෙතට ගොස් (ඇය වරද පිලිගැනිමෙන් පසු) ඇයව ගල් ගසා මරා දැමීය.

මුලාශ්‍ර ග්‍රන්තය – බුහාරි 2695

මේ අනුව විවාහක (කාන්තා හෝ පිරිමි) කෙනෙකු කාමමිථ්‍යාචාරය යෙදුනේනම් ඔහුට හෝ ඇයට මරණ දණ්ඬනය ලබාදිය යුතු යන්න පැහැදිලි වේ. එසේනම් දරුවන්ට ලිංගික කරන්නවුන්ට ද එය එසේමය. එනම් , විවාහකයෙකු දරුවෙකුට ලිංගික අතවර කළේනම්, ඔහුට හෝ ඇයට මරණීය දණ්ඩනය දිය යුතු යන්නත්, අවිවාහකයෙකු මෙම නින්දිත ක්‍රියාව කළහොත් ඔහුට හෝ ඇයට කස පහර 100ක් දිය යුතු යන්නත්, ඉස්ලාමිය තින්දුව වේ. මෙතැනදි විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. එනම්, මෙම දණ්ඬුවම් සියල්ල ලබාදිය යුත්තේ පොදු ජනයා ඉදිරියේ ප්‍රසිද්ධියේම යන්නත් ඉස්ලාමයේ පැහැදිලි තීන්දුව වේ.

ඉස්ලාම් පවසන මෙම නීතිවලින් බැහැරව මොන නීති ක්‍රියාත්මක කලත් ඒ කිසිවක් තුලින් මේ ‘ළමා අපචාරය, අපයෝජනය හෝ හිංසනයට පැහැදිලි විසඳුමක් ලබාගත නොහැකි වේ. අහිංසක මල් කැකුළු පොඩිකර දමන්නට කුරුමානම් අල්ලමින් සැරිසරන පවුකාර නරුමයන්ගෙන් සමාජය බේරාගන්න මිනිසුන් ඉල්ලන්නේ මරණ දඬුවම නම්, අගතියට පත් පාර්හවයන් ඉල්ලන්නේත් මරණ දඬුවම නම්, ඉස්ලාම් දහමේත් මඟපෙන්විම එයනම්, මේ පිලිලය සමාජයෙන් තුරන් කිරීමට එකම විසදුම ඉස්ලාම් පවසන දඬුවම පමණක් ම බව නැවත නැවතත් අවදාරණය කරමින් මෙම ලිපිය අවසන් කරන්නේ

කාමුක වියරුවෙන් සමාජය තුල සැරිසරන නරුමයන්ගෙන් අපගේ දරුවන් ආරක්ෂා කර දෙත්වා !, සර්වබලධාරී අල්ලාහ් (දෙවි) අපගේ දරුවන් අනාගතයේ වඩා හොඳ දරුවන් වීමට ආශීර්වාද කරත්වා !, යන ප්‍රාර්ථනයෙනි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/10/24

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම