මිනී කඳු මත නොමියැදුනු ඊමානය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මේ ගෙවීයමින් පවතින්නේ මුස්ලීම් ලෝකයම කම්පනයට පත් කොට ඇති කාල වකවානුවකි. පලස්තීන භූමිය තුල ගාසා තීර ජනතාව දරුණු ජන සංහාරයකට මුහුණ දී සිටින මේ මෙහොත මුස්ලීම් ලෝකය පමණක් නොව මානව හිතවාදය අගයන ලෝකවාසී සියළු ජනයා කම්පා කරවන්නට සමත් වී ඇත. සියවසයකට ආසන්න කාලයක් පවතින පලස්තීන-ඊශ්‍රායල් අර්බුදය හේතුවෙන් අද එම පලස්තීන භූමිය තුල වෙසෙන සියළු ජනයා මේ යුද පසුබිම තුල උපන්, එම කටුක අත්දැකීම තුල හැඳී වැඩුනු සහ එම යුද්ධය නිසාම කොයි මොහොතක හෝ මියැදෙන්නට සූදානම් වී සිටින අවාසනාවන්ත ජන කොට්ඨාශයක් බවට පත්වී ඇත. ඔවුන් අද තම නිජබිම තුල සංහාරයකට මුහුණදී සිටිති. අප ඉතිහාසය තුල සිදු වූ ජන සංහාරයන් පිලිබදව අසා සහ කියාව ඇත්තෙමු. නමුත් මේ 20 වන සියවසයේ එම කටුක හා කෘෘර අත්දැකීම සමාජ මාධ්‍යයන් හරහා අප ගාසා තීරය තුල සජීවි ව නරඹමින් සිටින්නෙමු. ලෝක මානව හිමිකම් සංවිධාන සහ මානව හිතවාදී සංවිධාන සියල්ල මේ කෘෘර ක්‍රියාවලිය හමුවේ මුනිවත රකිද්දී සහ ලෝක බලවතුන් යැයි හදුන්වා ගන්නා නායකයින් සියල්ල සෘජුව හා වක්‍රව මේ සමූල ඝාතන ක්‍රියාවලියට අධාර අනුබල ලබාදෙද්දී ඒ සියළු එදිරිවාදිකම් හමුවේ කටුක සහ දුක්බර තත්වයට මුහුණ දී සිටින පලස්තීනුවන් මරණය අභියස හිඳ ලෝකයාට දෙන පණිවුඩය විශ්මය ජනකය. එවැනි විශ්මිතයන් කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසා බැලීම පිණීස මෙහි පෙලගැසීමට අදහස් කරමි.

මරණය අභියසත් තැතිනොගත් ධෛර්‍යය

ලෝකය තුල වෙසෙන “ඉස්ලාම් විරෝධී විෂකුරු“ මිනිසුන් මුස්ලීම් සමාජයට එරෙහිව විවිධ ආකාරයේ තර්ජනකාරී වැඩපිලිවලවල් ක්‍රියාත්මක කරන විට එම සමාජය බියෙන් තැතිගෙන අවිනිශ්චිතභාවයෙන් සහ කම්පනයෙන් පසුවීම සුලබව දකින තත්වයකි. (මෙය පසුගිය කාලවල මේ රටේ ජාතිවාදී ව්‍යාපාරයන් හමුවේ අප අත්වින්ද තත්වයකි.) ඒ අනුව ලෝකවාසී මුස්ලීම් ප්‍රජාවට එරෙහි බියවැද්දීම්, පහරදීම් සහ ඝාතනය කිරීම් යනාදීය ඉතිහාසයට පුරාවට දකින තත්වයකි. මෙය අල්ලාහ් (දෙවි) අල්කුර්ආනය තුලින් ද මෙසේ පවසයි.

නුඹලාට කිසියම් යහපතක් වුවහොත් එය (මුස්ලීම් වි‍රෝධි) ඔවුනට ශෝකය ගෙන දෙන්නකි. නුඹලාට යම් විපතක් වුවහොත් ඔවුහු ඒ ගැන මහත්සේ සතුටු වෙති...

අල්කුර්ආනය 3-120

ඉස්ලාම් සහ මුස්ලීම් විරෝධීන් පිලිබදව මෙසේ පවසන අල්කුර්ආනය මෙවැනි තත්වයන් හමුවේ මුස්ලීම්වරයෙකුගේ ක්‍රියාකලාපය කෙසේ වියයුතුද? යන්නත් ඉහත පරිච්චේදයේම තවත් තැනක මෙසේ පවසයි.

ඔවුන් කවරෙක් නම්, සැබැවින්ම ජනයා නුඹලාට විරුද්ධව රැස්ව සිටිති. එබැවින් ඔවුනට බියවෙන්නැයි, ඔවුනට ජනයා කී විට එය ඔවුන්ගේ විශ්වාසය වඩාත් ශක්තිමත් කළේය. හස්බුනල්ලාහු වනි‘මල් වකීල් (අල්ලාහ් අපට සර්වප්‍රකාරයෙන්ම ප්‍රමාණවත්ය). අනගිතම ආරක්ෂකයා ඔහු බව ඔවුහු කීහ.

අල්කුර්ආනය 3-173

ඉහත වාක්‍යය තුලින් අල්ලාහ් (දෙවි) පවසන්නේ, මුස්ලීම් සමාජය බියවද්දන ආකාරයට සහ ඔවුන්ට මරණ බිය ඇති වන ආකාරයට ඉස්ලාම් විරෝධීන් කටයුතු කරන විට සැබෑ මුස්ලීම්වරයෙකු වඩ වඩාත් දෙවියන්ට සමීප වන අතර ඔහුගේ දේව විශ්වාසය ද තව තවත් වර්ධනය වන බවයි. එසේම සර්ව බලධාරී, සර්ව කාලීන අල්ලාහ් (දෙවි)ගේ පිහිට සහ සරණ පමණක් ඔවුන් අපෙක්ෂා කරන බවයි. ඔවුන් ඉස්ලාම් විරෝධීන්ගේ තර්ජන හා කුමන්ත්‍රණ හමුවේ කිසිදු විටෙක කම්පා ද නොවන බව එහි අවදාරණය කරයි. (මේ පිලිබදව වැඩි විස්තර “හස්බුනල්ලාහු වනි‘මල් වකීල්“ යන ලිපිය තුලින් මෙම අඩවිය තුල කියවීමට පුළුවන.) ඉහතින් අල්කුර්ආනය අවදාරණය කරන එම තත්වය අප අද ගාසා තීර මුස්ලීම් ප්‍රජාව තුල දකිනවා නොවේද?. (පහත වීඩියෝවන් එයට කදිම නිදසුන් වේ.)

ගාසා තීරයේ වෙසෙන පටාචාරාවන්ගේ ආගමික විනය

ඕනෑම යුද තත්වයක දී එහි දැඩි බලපෑමකට ගොදුරු වන පාර්ශවයන් වන්නේ දරුවන් සහ කාන්තාවන්ය. විශේෂයෙන් ගෙවීගිය මාසය (එනම් 2023/10/07 සිට 2023/11/07 දක්වා කාලය) තුල ගාසා තීරය තුල ඝාතනය වී ඇති දරුවන් සංඛ්‍යාව 5000 ඉක්මවා ඇත. මෙසේ ඝාතනය වූ සෑම දරුවකුගේ මව්වරුන්ට එහි වේදනාව කොතරම් කටුක එකක් ද යන්න මා මෙහි විස්තර කලයුතු නොවේ යැයි සිතමි. දරුවා පමණක් නොව තම ස්වාමියා, සහෝදරයා, මව, පියා... යනාදී ලෙස පවුලේ සාමාජිකයන් අහිමිව, එපමණක් ද නොව තම නිවාස සහ දේපල යනාදී සියල්ල ද අහිමිව ලෝකය තුල තනි වී සිටින පටාචාරවන් වූ ගාසා තීර කාන්තාව තුල පවතින ආගමික විනය සහ කැපවීම මුළු ලෝකයම මවිත කරවන්නකි.

අපගේ දෛනික දිවිය තුල අත්විඳින සුළු කම්පනකාරී සිද්ධියක දී පවා අප ආගමික විනය හා නීති නොසලකා කටයුතු කරන අවස්ථාවන් ඕනෑතරම් අත්විඳින්නෙමු. විශේෂයෙන් එවැනි අවස්ථාවල කාන්තාවන් තමන්ට දහම තුලින් පනවන “හිජාබ්“ විනය සම්බන්ධයෙන් නොසැලකිලීමත් වන ආකාරය සුලබව දකින්නෙමු. එපමණක් නොව බහු ආගමික වටපිටාවක ජීවත් වන ශ්‍රී ලාංකීය මුස්ලීම් කාන්තාවන් විශේෂයෙන් මුස්ලීම් තරුණියන් මෙම හිජාබය ආගමික කාරණයකට වඩා එය කලාවක් කරගෙන එහි නොයෙක් සීමා ඉක්මවීම කරන ආකාරය ද සමාජය තුල දකින්නෙමු. නමුත් තම ජීවිතයේ සියල්ලම අහිමිව තිබිය දී ආගම පමණක් ආරක්ෂා කරගනිමින් විශේෂයෙන් “හිජාබ්“ විනය රකිමින් කටයුතු කරන ගාසා කාන්තාවන් දකින විට ඉස්ලාම් දහම තුල ඔවුන් කොතැනද?, ජීවිතයේ සියළු දෑ අත්විඳිමින් දවස ගෙවන අපේ කාන්තාවන් මේ දහම තුල කොතැනද? යන්න සිතන්නට පොළොඹ වන දසුන් ගාසා තීරය තුල දකින්නෙමු. එය ඔබ බුද්ධිමත්ව විමසා බැලීම පිණිස වර්ථමාන පලස්තීන කාන්තාවන් තම ජීවිතයේ කටුක අත්දැකීම් මධ්‍යයේ තම ආගමික හිජාබ් විනය ආරක්ෂා කරමින් කටයුතු කරන ආකාර රූප රාමු කිහිපයක් පහතින් ගෙන ඒමට අදහස් කරමි.

(මෙහි ඉදිරිපත් කොට ඇත්තේ කැමරා කාචය ඉදිරියේ සැලසුම් සහගත ආකාරයට පෙනී සිටිමින් කටයුතු කල කාන්තාවන්ගේ පිංතූර නොවන බව ඔබගේ බුද්ධිමත් විමසුමට සටහන් කරමි.)

පලස්තීන දරුවන්ගේ ඊමානය පිරි ධෛර්‍යය

පලස්තීන යුද්ධය තුල දැඩි පීඩාවට පත්ව සිටින පාර්ශවය වන්නේ දරුවන්ය. හයක් හතරක් නොතේරෙන දරුවන් අත පය අහිමිව දුක්විදිති. ඒ මදිවට මෙවර සතුරන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ද දරුවන්ය. 1967 වර්ෂයේ සිට 2023/10/07 දින දක්වා පලස්තීන භූමිය තුල ඝාතනය වූ දරුවන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් මේ මාසය (එනම් 2023/10/07 සිට 2023/11/07 දත්වා කාලය) තුල ඝාතනය වී ඇත. එම දරුවන් සංඛ්‍යාව 4237 ක් වන අතර ගොඩනැඟිලි සුන්බුන් අතර සිර වී අතුරුදහන් වී ඇති සංඛ්‍යාව 1350 කි. එයින් ද බහුතරයක් මේ වනවිට මිය ගොස් ඇතැයි අනුමාන කෙරේ. මෙම ඊශ්‍රායල් ප්‍රහාරකයන් විසින් දිනකට දරුවන් 180 ක් පමණ ඝාතනය කරන බව ගණන් බලා ඇත.

මෙවන් සංහාරයක් අබියස පවා එහි දරුවන් තම ආගමික විශ්වාසයන් තුල ස්ථීරව හිඳ කටයුතු කරන ආකාරය දකින විට ඇස් දෙකට කඳුළු නැගේ. අපගේ දරුවන් youtube, Tik tok, Facebook... යනාදී සමාජ මාධ්‍යයන් තුල විනෝදකාමීව කාලය ගෙවන විට තම නිජබිම තුල ජීවත් විමට අරඟල කරන එම කුඩා දරුවන්ගේ ධෛර්‍යය සහ දෙවියන් කෙරෙහි වූ නොසැලෙන විශ්ගවාසය අපට ජීවිතයේ බොහෝ පාඩම් කියාදෙන්නක් වී තිබෙනවා නොවේද?.

(එම දරුවන්ගේ දේව විශ්වාසයේ ස්ථීරත්වය සහ ධෛර්‍යය කියාපාන වීඩියෝ කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසුමට පහතින් පෙලගසමි.)

මේ ලෝකය අප හිතන තරම් මානූෂීය හෝ සාධාර්ණ නොවන බව පෙන්වා ඇත

ජන වර්ග ගණනාවක් සාමකාමීව ජීවත් වූ පලස්තීන භූමිය මත ඊශ්‍රායල් නම් ත්‍රස්ථ රාජ්‍යයක් ස්ථාපනය කොට එම ත්‍රස්ත රාජ්‍යයට ආධාර අනුබල දෙමින් ඔවුන් පෝෂණය කිරීමට කටයුතු කල ලෝක බලවතුන් මෙවර ආරම්භ වූ පලස්තීන ප්‍රහාරය දිරිමත් කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කොට දැන් පලස්තීන ජන සංහාරයට එරෙහි බව පවසමින් කිඹුල් කඳුලු හෙලමින් සිටී. මෙය ඔවුන්ගේ ගෝලීය දේශපාලන උපක්‍රම මිස සැබෑ ස්වරූපය නොවන බව අප තේරුම් ගතයුතුය. මෙවන් පසුබිමක තම නිජබිම තුලම සමූල ඝාතනයට මුහුණ දී සිටින පලස්තී්‍නුවන් ලෝකයට දෙන පණිවුඩය නම් “මේ ලෝක බලවතුන් මානුෂීය හෝ සාධාර්ණීය නොවේ“ යන්න සහ “මේ ඉරණම අද අපට හෙට ඔබට“ යන්නයි.

අද පලස්තීන ගාසා තීරයේ තත්වය...

* තම රටේ අයිතිය වෙනුවෙන් අරගල කරන ජනතාව ත්‍රස්තවාදීන් ලෙස නම් කොට කුඩා තීරයකට ගොනු කොට ඇත.
* එහි භූමි ප්‍රමාණය වර්ග කි‍ලෝමීටර් 365 තරම් පටු සීමාවකට සීමා කොට ඇත.
* එහි වෙසෙන ජනගහනය (2022 අවසානය වන විට) 2,375,259 පමණ වී ඇත. 
* එහි ජන ඝනත්වය වර්ග කිලෝමිටරයට 6,507 කි.
* එම භූමිය තුල ඉහළ විරැකියාව සහ දරිද්‍රතා අනුපාත, රැකියා අවස්ථා නොමැතිකම මානූෂීය අර්බුද වේ.
* වෙරළ තීරයකට මායිම්ව ඇති මෙම භූමියේ පදිංචිකරුවන් අවම හෝ අඩු මූලික අවශ්‍යතාවයන් සමඟ ජීවත් වෙති. 
* එහි ජනගහනයෙන් 33% ක් දැඩි දරිද්‍රතාවයෙන් පෙලෙන අතර 57% ක් ආහාර අනාරක්ෂිත භාවයෙන් පීඩා විඳිති.
* මොවුන්ගෙන් 80% කට ජාත්‍යන්තර සංවිධාන විසින් ආහාර සපයනු ලබන අතර ඔවුන් මානුෂීය ආධාර සහ ප්‍රදාන මත යැපේ.
* ජනගහනයෙන් සියයට 51 ක් විරැකියාවෙන් පෙළෙන අතර තරුණයින් අතර විරැකියා අනුපාතය සියයට 71 ක් පමණ වේ.
* ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් වන ජලය, ආහාර, බෙහෙත් සහ විදුලිය සියල්ලෙහි පාලනය ඇත්තේ ආක්‍රමණික රට සතුවය.
* ඔවුන්ගේ රට ආක්‍රමණය කල පිරිස් විසින් නිරන්නරයෙන් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් එහ භූමියේ නිවාස, නේවාසික ගොඩනැගිලි සහ යටිතල පහසුකම් විනාශ වී ඇත.

එක් පසෙකින් පලස්තීන වැසියන් සමූල ඝාතනයට අනුබල දෙමින් තවත් පසෙකින් ලෝක සාමය, මානව හිමිකම්, මානව සදාචාරය, සාධාර්ණය පිලිබදව කථා කරමින් ලෝක බලවතුන් රඟන දෙබිඩි රංගනය පලස්තීන ජනයා අද ලෝකයට ඔප්පු කොට පෙන්වා ඇත. අද පලස්තීන වැසියන් අත්විඳින මේ අවාසනාවන්ත ඉරණම හෙට අපේ රටටත් මේ ලෝක බලවතුන් උරුම කොට නොදේවී යන්නට ඔබට තියෙන සහතිකය කුමක්ද? යන්න සිතන්නට පලස්තීනුවන් අපව පොළඹවා ඇත. එය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් අවසාන වශයෙන් සුන්දර රටක්ව පැවතී පලස්තීන භූමිය මෙවන් අවාසනාවන්ත කටුක ඉරණමකට ඇද දැමූ ලෝක බලවතුන්ටත්, එම නරුම තීන්දුව තුල කාලකණ්නි සතුටක් විඳිමින් එයට ආවඩන නරුමයින්ටත් පලස්තීන භූමිය තුල දුක් විඳින දරුවන්, කාන්තාවන්, තරුණයන් සහා වැඩිහිටියන්ගේ දුක වේදනාව පාරාවළල්ලක් වී මෙම කුමන්ත්‍රණයේ කොටස්කරුවන් සියළුදෙනාටත් එම කටුක වේදනාව අත්විඳීමට සිදු වේවා!, යනුවෙන් ප්‍රාර්ථනා කරමි.

පලස්තීනුවන් ලෝකයට කියාදෙන පාඩම්...

මෙම ලිපියේ නව යාවත්කාලීන ඉදිරියට...


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න



මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/11/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම