ඥාති සබඳතා රැකීම හා ඉස්ලාම්: Difference between revisions

From Yahamaga
Line 70: Line 70:
මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි
මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි


"ඥාති සබඳතා කපා හරින තැනැත්තා ස්වර්ගයට නොයනු ඇත."  
"ඥාති සබඳතා කපා හරින තැනැත්තා ස්වර්ගයට නොයනු ඇත."  


මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි
මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි

Revision as of 09:31, 26 April 2024

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහම සමාජ සහජීවනය, සමඟිය සහ ආදරය දැඩිව අවදාරණ දහමකි. මෙම සමාජ සහජීවනයේ මූලික අදියර වන තම ඥාති සම්බන්ධතා සුරකීම පිලිබදව ඉස්ලාම් දහම දැඩිව කථා කරයි. (මෙම විෂය පිලිබදව මෙම අඩවිය තුල විශ්වාසනීත්වය සහ ඥාතිත්වය රැකීමේ වැදගත්කම යන ලිපිය තුලින් ද මීට ඉහත කෙටියෙන් කරුණු සාකච්චා කොට ඇත.) එය කොතරම් දැඩිව කථා කරනවාද? යන්න පවසනවා නම්, මෙම ඥාති සම්බන්ධතා සුරකීමේ ගුණාංගය ඉස්ලාම් දහම මුස්ලීම් සමාජය කෙරෙහි අනිවාර්‍ය කරන නැමදුමක් හා යුතුකමක් ලෙස අල්ලාහ් (දෙවි) අල් කුර්ආනය තුලින් කථා කරයි. ඒ අනුව “ඥාති සම්බන්ධතාවය“ යනු කුමක්ද? යන්නත්, එය සුරකීමේ වැදගත්කම කුමක්ද? යන්නත් ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පදනම් කරගෙන මෙතැන් සිට විවිධ මාතෘකා යටතේ විමසා බලමු.

ඥාතිත්ව බැඳීම් ආරක්ෂා කිරීම යුතුකමක් බව අල්ලාහ් (දෙවි) පවසයි.

නුඹලාගේ මුහුණු නැගෙනහිර හෝ බස්නාහිර දෙසට හැරවීම (පමණක්) යහකම නොවේ. එහෙත් යහකම නම් අල්ලාහ් ගැනද අවසාන දිනය ගැනද මලක්වරුන් ගැනද ධර්ම ග්‍රන්ථ ගැනද නබිවරුන් ගැනද විශ්වාස කර ඔහු (අල්ලාහ්) කෙරෙහි වූ ඇල්ම නිසා දේපළ නෑදැයින්ටද අනාථයින්ටද දිළින්දන්ටද මගීන්ටද යාචකයින්ටද වහලූන් මුදවා ගැනීමටද වැය කර සලාත්හි නිරතව zසකාත් ගෙවීමද වේ. තවද ඔවුහු පොරොන්දු වූ විට තම පොරොන්දුව ඉටු කරන දුෂ්කරතාවන්හිදීද දිළිඳූ බවේදීද (සත්‍ය හා අසත්‍යය අතර) සටනේදීද ඉවසිලිමත් වන්නෝ වෙති. ඔවුහු සත්‍යවාදීහුය. තවද බියබැතිමත් වූ අයද ඔවුහුමය.

අල්කුර්ආනය 2-177

මිනිසුනි! එකම ආත්මයකින් නුඹලා මවා, එයින්ම නුඹලාගේ සහකාරියද මවා එම දෙදෙනාගෙන් අනන්ත අප්‍රමාණ පුරුෂයින්ද ස්ත්‍රීන්ද (ලොවපුරා) පැතිර වූ රබ්(පරාධිපති)ට බියබැතිමත් වනු. ඔහුගේ නාමයෙන් නුඹලා එකිනෙකා (තම උරුමය) ඉල්ලා සිටින අල්ලාහ්ට බිය වනු. ලේ (ඥාති) උරුමය (කඩ කිරීම) ගැනද බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා ගැන සුපරීක‍ෂාකාරීව සිටින්නෙහිය.

අල්කුර්ආනය 4-1

තවද, නුඹලා අල්ලාහ්ට අවනත වනු. ඔහුට කිසිවක් හෝ කිසිවෙකු ආදේශ නොකරනු. නුඹලාගේ දෙමව්පියන්ට කරුණාව හා ස්නේහය දක්වනු. නුඹලාගේ කිට්ටු ඥාතීන්ටද අනත් දරුවන්ටද ඳිළින්ඳන්ටද නුඹලාගේ ඥාතීන්වන අසල් වැසියන්ටද ඥාතීන් නොවන අසල්වැසියන්ටද නුඹලා අසල සිටින සහචරයින්ටද, මාර්ගයෙහි ගමන් කරන මගීන්ට ද නුඹලාගේ දකුණු අත් හිමිකරගත් අය(වහලූන්)ට ද (කරුණාන්විත වනු) නියත වශයෙන්ම අහංකාර වන්නන් ද පුරසාරම් දොඩවන්නන් ද අල්ලාහ් පි්‍රය නොකරන්නේය.

අල්කුර්ආනය 4-36

නුඹගේ කිට්ටු ඥාතීන්ට ඔවුන්ගේ නියමය දෙනු. දිළින්දන්ටද මගීන්ටද (නියමය දෙනු) නුඹගේ මුදල් නිෂ්කාරණයේ නාස්ති නොකරනු.

අල්කුර්ආනය 17-26

නුඹලා යුද්ධ කිරීමෙන් වැළක්වුනේ නම් නුඹලා මහපොළොවෙහි අවැඩ කිරීම සහ නුඹලා නුඹලාගේ ලේ නෑකම් බිඳ දැමීම මිස නුඹලාගෙන් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද ?. අල්ලාහ් ඔවුනට ශාපකර, ඔවුන් බිහිරිද කර ඔවුන්ගේ දෘෂ්ඨියද අන්ධ කළ අය ඔවුහුමය.

අල්කුර්ආනය 47-22 සහ 23

ඥාතිත්ව බැඳීම් ආරක්ෂා නොකිරීම පිලිබදව අල්ලාහ් (දෙවි) අනතුරු අඟවයි.

“තවද අල්ලාහ්ගේ ගිවිසුම අනුමත කිරීමෙන් පසු එය කඩ කොට තවද අල්ලාහ් එක් කිරීමට අණ කළ දේ කපා දමන්නෝ (එනම්, ඔවුන් ඥාතිත්වයේ බැඳීම කපා හැර තම ඥාතීත්ව සම්බන්ධතා බිඳිමින්ද මිහිපිට ආරවුල් පතුරුවන්නෝ ) සහ දේශයේ අයුතුකම් කරන්නෝ. ඔවුනට ශාපයයි (එනම්, ඔවුන් අල්ලාහ්ගේ දයාවෙන් බොහෝ දුරස් වනු ඇත); තවද ඔවුනට අවාසනාවන්ත (නපුරු නිරය නම්) නිවහන ඇත.

අල්කුර්ආනය 13:25

ඥාතිත්ව බැඳීම් ආරක්ෂා කිරීම පිලිබදව මුහම්මද් (සල්) තුමාගේ මඟපෙන්වීම

ඥාති බැදීම් විසන්ධි කොට ජීවත්වීම පිලිබදව අල්කුර්ආනයට අමතරව අල්හදීස් තුල ද විවිධ අවවාද හා ඉගෙන්වීමන් දක්නට ලැබේ. එවැනි ඉගෙන්වීම් කිහිපයක් වෙත මෙහි අවදානය යොමු කරන්නේ නම්,

අල්ලාහ්ගේ දූතයාණන් මුහම්මද් (සල්) තුමාණෝ මෙසේ පැවසූහ: "යමෙක් තම රිස්ක් (ප්‍රතිපාදන) වැඩි කිරීමට සහ ඔහුගේ ආයු කාලය දීර්ඝ කිරීමට කැමති වේ නම්, ඔහු තම ඥාති සබඳතාවයන් ආරක්ෂා කළයුතු වේ." 

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි සහ මුස්ලිම්

අබු හුරෙයිරා (රළි) තුමා දන්වයි: "අල්ලාහ්ගේ දූතයාණන් මුහම්මද් (සල්) තුමා මෙ‍සේ පැවසූහ: 'අල්ලාහ් විශ්වය මැවූ අතර, ඔහු එය අවසන් කල විට, ඥාතිත්වය (අල්-රහ්) නැඟී සිටියේය. “මෙය කපා හැරීමෙන් ඔබේ ආරක්ෂාව පතන තැනැත්තාගේ නැගී සිටීමයි.” අල්ලාහ් පැවසුවේ, “ඔව්, මම ඔබව රැකබලා ගන්නා අයව රැකබලා ගන්නවා නම් සහ ඔබව කපා දැමූ අයව කපා දමන්නේ නම් එයින් ඔබ සතුටු වේද?” එහි සඳහන් වූයේ, "ඇත්ත වශයෙන්ම." අල්ලාහ් පැවසුවේ, "එසේ නම් නුඹලා මහපොළොවෙහි අවැඩ කිරීම සහ නුඹලා නුඹලාගේ ලේ නෑකම් බිඳ දැමීම මිස නුඹලාගෙන් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද ?. අල්ලාහ් ඔවුනට ශාපකර, ඔවුන් බිහිරිද කර ඔවුන්ගේ දෘෂ්ඨියද අන්ධ කළ අය ඔවුහුමය. (අල්කුර්ආන් 47-22 සහ 23)

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලීම්

...මුහම්මද් (සල්) තුමාණන් වෙත පැමිණෙනු ස්වර්ගයේ දොරටුව විවෘත කරදෙන මෙන් ඉල්ලා සිටිනු ඇත. එවිට මුහම්මද් (සල්) තුමාණන් (එම දොරටුව විවෘත කිරීම සදහා) අල්ලාහ් (දෙවි)ගෙන් අවසර පැතීමෙන් අනතුරුව ඒ සදහා ඔහුට අවසර ලැබෙනු ඇත. එවිට (ස්වර්ගයේ දොරටුව හා විශ්වාසවන්තයින් අතර “සිරාත්“ නම්) විශ්වාසවන්තභාවය සහ ඥාතිත්වය රුකීම දකුණු සහ වම් පසින් සිටින මාර්ගය විවෘත වනු ඇත...

(මෙහි ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ දීර්ඝ අල් හදීසයක කොටසක් පමණි. සම්පූර්ණ අල්හදීසය මෙම අඩවිය තුල විශ්වාසනීත්වය සහ ඥාතිත්වය රැකීමේ වැදගත්කම යන ලිපිය තුලින් කියවන්න.)

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලීම්

“තම ඥාතීන් ඔහු සමඟ සබඳතා පවත්වන නිසා පමණක් ඔවුන් සමඟ සබඳතා පවත්වන තැනැත්තා සැබවින්ම ඥාති සබඳතාවයන් ආරක්ෂා කල තැනැත්තා නොවේ. එම බැඳීම කැඩුනු මොහොතකත් එය රුකීමට කටයුතු කරන්නා සැබෑ ඥාති සම්බන්ධතා ආරක්ෂා කල තැනැත්තා වේ.“

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි

නබි (සල්) තුමාණෝ මෙසේ පැවසූහ: "අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස කරන තැනැත්තා තම ඥාතීන් සමඟ හොඳ සබඳතාවක් පවත්වා ගත යුතුය."

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි සහ මුස්ලිම්

නබි (සල්) තුමාණන් අල්ලාහ් (දෙවි) පැවසූ බවට මෙසේ පවසයි: “මම දයාවන්ත (අර්-රහ්මාන්) මම ඥාති සබඳතා ඇති කර ඇති අතර එයට නමක් ලබා දුන්නේ මගේ නාමයෙනි. යමෙක් ඥාති සබඳතා පවත්වන්නේ නම්, මම ඔහු සමඟ සම්බන්ධකම් පවත්වමි, ඔවුන්ව කපා හරින ඕනෑම කෙනෙකුව මම කපා දමමි."

මූලාශ්‍ර ග්‍රන්ථය - අබූදාවූද්

නබි (සල්) තුමාණන් මෙසේ පැවසුවේය, “ඥාතිත්වය (සැබෑවට) රකින්නා හුදෙක් ප්‍රතිනිර්මාණය කරන්නෙකු නොවේ. (සැබෑ) ඥාතිත්ව රකින්නා යනු බැඳීම් බිඳී ගිය විට සමාදාන කරන්නා ය. 

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි

"ඥාති සබඳතා කපා හරින තැනැත්තා ස්වර්ගයට නොයනු ඇත." 

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි

ඉහත අල් හදීසයන් කිහිපය තරමක් බුද්ධිමත්ව විමසා බලන්න. මෙලොව ඥාති සම්බන්ධතා ප්‍රතික්ෂේප කිරීම මෙලොව බොහෝ භාග්‍යයන් ප්‍රතික්ෂේප කිරීමට සමාන බව පැහැදිලි වේ. විශේෂයෙන් “දීර්ඝායුෂ“ සහ “රිස්ක්“ ප්‍රතික්ෂේප කිරීම එහි මුල්තැන ගනී. ඊට අමතරව, පරලොවදී ද වේදනීය විපාක ඔවුනට හිමි බව එහි සදහන්ය වේ. විශේෂයෙන් පරලොව දී “සිරාත්“ නම් පාලම තරණය කිරීමේ දී මෙලොව ඥාති සබඳතා ආරක්ෂා කර ගනිමින් ජීවතව තිබීම තිරණාත්මක සාධකයක් බව තුන්වන හදීසය තුලින් පැහැදිලි වේ. එපමණක් නොව ඥාති බැදීම් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරන්නා අල්ලාහ් (දෙවි) විසින් ද ප්‍රතික්ෂේප කරන බව ඉහත දෙවන හදීසය මඟින් පැහැදිලි වේ.

ඉහත හතර වන අල් හදීසය මඟින් ඉතා වටිනා අවවාදයක් මුස්ලීම් සමාජයට ලබාදේ. එනම්, සැබෑ ඥාති බැදීම් ආරක්ෂා කිරීම යනු “තම ඥාතීන් තමන් සමඟ සබඳතා පවත්වන විට එම ඥාති සම්බන්ධතාවය පැවැත්වීම නොව තම ඥාතීන් ඥාති සම්බන්ධතාවය බිඳලමින් යන විට එය ආරක්ෂා කිරීමට කැපවෙන තැනැත්තා“ බව ඉස්ලාම් දහම පැහැදිලිව අවධාරණය කරයි. මේ අනුව ඉස්ලාම් දහම ඥාති සම්බන්ධතාවය කවර තැනක තබා බලනවාද? යන්නත් එම ඥාති සම්බන්ධතා ආරක්ෂා කිරීම මුස්ලීම්වරයෙකු කෙරෙහි කොතරම් වැදගත් ආගමික වගකීමක් වනවාද? යන්නත් මෙයින් පැහැදිලි වේ.

ප්‍රතිඋපකාර කිරීම සහ ප්‍රතිචාර දැක්වීම ඥාති බැඳීම් ආරක්ෂා කිරීම නොවේ

මුස්ලීම් සහ මුස්ලීම් නොවන සමාජයේ අති බහුතරය සිතා සිටින්නේ උපකාරයකට ප්‍රතිඋපකාර කිරීමත්, තම ඥාති පිරිස් දක්වන යහපත් ක්‍රියාවකට ප්‍රතිචාර දැක්වීමත් ඥාති සම්බන්ධතා ආරක්ෂා කිරීම යනුවෙනි. එය කාරුණික වීම මිස මෙය ඥාති සබඳතාවයන් ආරක්ෂා කිරීමක් නොවේ, එසේම ත්‍යාගයක් ලබාදුන් විට එයට ප්‍රතිත්‍යාගයක් දීමත්, තම නිවසට පැමිණි විට පෙරළා අප ද ඔවුන්ගේ නිවසට යෑමත්, යමක් දන් දුන් විට පෙරලා දන්දීම හෝ ත්‍යාගයන් බෙදාදීම්, තමන්ගේ නිවහනට ඔවුන් නොපැමිණියේ නම්, අප ද ඔවුන්ගේ නිවහනට නොයෑමත්, ඥාති සබඳතා ආරක්ෂා කිරීමක් නොවේ.

ඉස්ලාම් දහම මුස්ලීම් සමාජය තුලින් අපේක්ෂා කරන්නේ මෙවැනි දුර්වල බැදීමක් නොව ඉස්ලාම් දහම අපේක්ෂා කරන ඥාති බැඳීම මීට වඩා උසස් මට්ටමේ එකක් වේ. මෙය එක්තරා නබි වදනක් (අල් හදීසයක්) මඟින් තවදුරටත් පැහැදිලි කරන්නේ නම්,

අල්ලාහ්ගේ දූතයාණන්ට (මුහම්මද් (සල්) තුමාණන්) හමුවට කෙනෙකු පැමිණ මෙසේ පැවසීය, “මට නෑදෑයන් සිටින අතර ඔවුන් සමඟ සම්බන්ධ වීමට මා උත්සාහ කළත් ඔවුන් මාව ප්‍රතික්ෂේප කලා, මම ඔවුනට හොඳින් සලකනවා, නමුත් ඔවුන් මට හිංසා කරනවා. මම ඔවුන් කෙරෙහි ඉවසිලිවන්තව හා කරුණාවන්තව කටයුතු කරමි, නමුත් ඔවුන් මට අපහාස කරයි.“ මෙයට නබි (සල්) තුමාණන්, “ඔබ පවසන ආකාරයට ඔබ (තවදුරටත්) සිටින්නේ නම්, එය ඔබ ඔවුන්ගේ මුඛයට උණුසුම් දූවිලි දමන්නාක් මෙනි. ඔබ එය දිගටම කරගෙන යන තාක් කල් අල්ලාහ් (දෙවි)ගේ සහය ඔබට හිමිවනු ඇත.“ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර හදීස් ග්‍රන්ථය - මුස්ලීම්

යාඅල්ලාහ්!, ඥාති සබදතා බිඳීම හේතුවෙන් අත්වන ඛේදනීය ඉරණම වන “උණුසුම් දූවිලි මුඛයේ දරා සිටීම“ යන වේදනාවෙන් අපව අරාක්ෂා කරත්වා!,


ඥාති සබඳතා රැකිය යුතු ඥාතීන් කවුරුන්ද?

ඉස්ලාම් පවසන ඥාති සබඳතා ආරක්ෂා කිරීම විෂය කථා කරන විට බොහෝ පිරිසකට මතු වන පැනය වන්නේ “අප ඥාති සබඳතාවයන් ආරක්ෂා කළ යුතු ඥාතීන් කවුරුන්ද?“ යන්නයි. එනම්, අප ඥාති සබඳතා ආරක්ෂා කලයුත්තේ පියාගේ පැත්තේ ඥාතීන්ද?, මවගේ පැත්තේ ඥාතීන්ද? නොඑසේනම් බිරිඳගේ පැත්තේ ඥාතීන්ද? යන්නයි. මේ ගැටළුවත් ඉස්ලාමීය ඉගෙන්වීම තුලින්ම පැහැදිලි කර ගතයුතු කාරණයක් වන නිසා ඒ පිලිබදව දැන් අවදානය යොමු කරමු.

ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව නෑදෑ සබඳතා ප්‍රධාන ආකාර කිහිපයක් වේ. එනම්,

  1. පියාගේ පාර්ශවයෙන් එන නෑදෑ සබඳතාවයන්,
  2. මවගේ පාර්ශ්වයෙන් එන නෑදෑ සබඳතාවයන්,
  3. මව් කිරි බීමෙන් ගොඩනැඟෙන නෑදෑ සබඳතාවයන්, (මෙය ඉස්ලාම් දහමේ තිබෙන නීතියකි.)
  4. විවාහය තුලින් ගොඩනැඟෙන ස්වාමියා/බිරිද නෑදෑ නෑදෑ සබඳතාවයන්,

ඉහත නෑදෑ සබඳතාවයන් හතර සැලකූවිට එහි විවාහය තුලින් ගොඩනැඟෙන ස්වාමිපුරුෂයාට බිරිඳගේ පවුලේ උදවියත්, බිරිඳට ස්වාමිපුරුෂයාගේ පවුලේ උදවියත් ලෙස ගොඩනැඟෙන නෑදෑ සබඳතාවය ඥාති සබඳතාවය ලෙස නොසැලකේ. ඒ අනුව ඔවුන් “ඥාතීන්“ යන ගොනුවට අයත් නොවන නෑදෑ සබඳතාවයන් ආරක්ෂා කිරීම, බැහැදැකීම, දන් දීම, ඔවුන්ට කරුණාවන්තව සැලකීම, අසනීප වූ විට ඔවුන් බැලීමට යාම, යහපත් දේ කිරීමට අණ කිරීම, අයහපත් දේ කිරීමෙන් වැළැක්වීම... යනාදී යුතුකම් ඉටු කලයුතු නෑදෑයන් පමණක් වේ. එසේනම්, ඥාති සබඳතා රැකිය යුතු ඥාතීන් කවුරුන්ද? යන්න මීලඟ පැනයයි.

(මෙහිදී මව්කිරි දීමෙන් ගොඩනැඟෙන ඥාතී බැදීම පිලිබදව මුස්ලීම් සමාජයේ විද්වතුන් අතර කිසියම් විවාදයක් ඇතත් ඔවුන් ලේ ඥාතීන් නොවනවා යන්න යහමග ස්ථාවරය වන නිසා (මේ පිලිබදව ඉදිරියේ දී සාකච්චා කිරීමට අදහස් කරමි.) මා එම ඥාති සබඳතාවය මෙහි සාකච්චාවට නොගෙන ඉදිරියට යොමු වෙමි.)

ඉස්ලාම් දහම පැහැදිලි ලෙස “ඥාතීන්“ යනු කවුරුන් ද යන්න තම මූලාශ්‍රයන් තුල පැහැදිලිව විස්තර කොට ඇත. ඒ අනුව එම පිරිස ප්‍රධාන කොටස තුනක් වේ. එනම්,

  1. “මහ්ම්ර“ (විවාහ වීමට තහනම්) ලේ ඥාතීන්.
  2. ඔබ තුලින් ගොඩනැඟුණු ලේ ඥාතීන්, (නිදසුනක් ලෙස දරුවන් මුණුබුරන්...)
  3. මාපිය උරුමයෙන් ලැබුණු ලේ ඥාතීන්. (නිදසුනක් ලෙස මාමා, නැන්දා, ලොකු තාත්තා...)

ඉහත ඥාති සබඳතා සියල්ල ඉස්ලාම් දහම අවදාරණය කරන ඥාති සබඳතා රැකිය යුතු සබඳතාවයන් වේ. මෙය අල් කුර්ආනය ද ඉතා පැහැදිලි මෙසේ අවදාරණය කරයි.

...අල්ලාහ්ගේ ධර්මය අනුව ලේ ඥාතීන් එකිනෙකාට (උරුමය සම්බන්ධයෙන්) වඩාත් කිට්ටු අය වේ. නියතවශයෙන්ම අල්ලාහ් සියලූ දෑ මැනවින් දනී

අල්කුර්ආනය 8-75

...එක් (මුස්ලිම්වරයෙකුගේ) ඥාතීන්ම අල්ලාහ්ගේ (මෙම) ධර්මයෙහි ඇති ප්‍රකාර සමීප (උරුමය ඇති) අය වන්නාහ. (එබැවින් ඔවුනොවුන්ගේ ප්‍රතිශතයට අනුව වස්තුව ඥාතීන් අතරේ ඛෙදා දිය යුතුය). එහෙත් ඔබගේ මිතුරන් වෙත, ඔබ ගෞරවණීය අන්දමට හැසිරිය යුතුය. මේ ආකාරයටම ධර්මයෙහි සැලසුම් කරනු ලැබ ඇත්තේය.

අල්කුර්ආනය 33-6

නුඹගේ කිට්ටු ඥාතීන්ට ඔවුන්ගේ නියමය දෙනු. දිළින්දන්ටද මගීන්ටද (නියමය දෙනු) නුඹගේ මුදල් නිෂ්කාරණයේ නාස්ති නොකරනු.

අල්කුර්ආනය 17-26

තවද, නුඹලා අල්ලාහ්ට අවනත වනු. ඔහුට කිසිවක් හෝ කිසිවෙකු ආදේශ නොකරනු. නුඹලාගේ දෙමව්පියන්ට කරුණාව හා ස්නේහය දක්වනු. නුඹලාගේ කිට්ටු ඥාතීන්ටද අනත් දරුවන්ටද ඳිළින්ඳන්ටද නුඹලාගේ ඥාතීන්වන අසල් වැසියන්ටද ඥාතීන් නොවන අසල්වැසියන්ටද නුඹලා අසල සිටින සහචරයින්ටද, මාර්ගයෙහි ගමන් කරන මගීන්ට ද නුඹලාගේ දකුණු අත් හිමිකරගත් අය(වහලූන්)ට ද (කරුණාන්විත වනු) නියත වශයෙන්ම අහංකාර වන්නන් ද පුරසාරම් දොඩවන්නන් ද අල්ලාහ් පි්‍රය නොකරන්නේය.

අල්කුර්ආනය 4-36

ඥාතීන් අතර සමීපතමයන් ගොඩනැඟෙන්නේ පියා, අම්මා, ආච්චි, දරුවන් සහ ඔවුන්ගේ දරුවන්, පරම්පරාව කෙතරම් දුර ගියත්, ඊළඟට සමීපතම සහ ඊළඟ සමීපතම සහෝදරයන් සහ ඔවුන්ගේ දරුවන්, මාමලා සහ නැන්දලා සහ ඔවුන්ගේ දරුවන් සහ මව්වරුන්... යනාදීය ලෙසයි. මෙය වඩාත් ජනප්‍රිය අල් හදීසයකින් ඔබට පැහැදිලි කරන්නේ නම්.

කෙනෙකු නබිතුමාණන් (මුහම්මද් (සල්)) හමුවට පැමිණ, “අල්ලාහ් (දෙවි)ගේ දූතයාණනි, මා වඩාත් ගෞරව කළ යුත්තේ කාටද?” යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් “ඔබේ මව ට” යැයි පවසන ලදී. එවිට ඔහු නැවතත් ‘ඉන්පසු කාටද?“ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් නැවතත් “ඔබේ මව ට“ යැයි පවසන ලදී. එවිට ඔහු නැවතත් ‘ඉන්පසු කාටද?“ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් නැවතත් “ඔබේ මව ට“ යැයි පවසන ලදී. එවිට ඔහු නැවතත් ‘ඉන්පසු කාටද?“ යනුවෙන් විමසූ විට “ඔබේ පියා ට“ යනුවෙන්න පවසා තවදුරටත් “ඊළඟ සමීපතම සහ ඊළඟ සමීපතමයන්ට" යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය - අල් හදීස්

ඥාති සබඳතා පවත්වා ගන්නේ කෙසේද?

ඥාති සබඳතාවයන් ආරක්ෂා කිරීම යනු ඔවුන් එක් එක් අයගේ තත්ත්වය අනුව ඔවුන් හා කරුණිකව සහ ආදරයෙන් කටයුතු කිරීමයි. එය සමහර අවස්විථාවල මුදල්මය උපකාර, ශ්‍රමයෙන් උපකාර, සමහර විට ඔවුන් බැලීමට යාම සහ ඔවුන්මෙගේ සිත සැනසෙන වඳනක්න් පැවසීම... යනාදිය විය හැකිය. තවත් සරලව පවසනවා නම්, ඥාතිත්වයේ බැඳීම් ආරක්ෂා කිරීම රඳා පවතින්නේ මිනිසුන් අතර පවතින සිරිත කුමක්ද යන්න තේරුම් ගෙන එය පිලිපැදීම මතයි. එයට ඉස්ලාම් දහම විවිධ සීමාවන් යොදා එම ඥාති සබඳතා පැවැත්වීම කොටු කොට නැත. ඒ අනුව “ඥාතිත්වයේ බැඳීම් ආරක්ෂා කිරීම ලෙස සිරිතක් ලෙස සලකනු ලබන ඕනෑම දෙයක් ඥාති සබඳතාවයන් ආරක්ෂා කිරීම වන අතර, ඥාති සබඳතා බිඳ දැමීම ලෙස මිනිසුන් සිරිත ලෙස සලකන දේ ඥාති සබඳතා බිඳ දැමීම“ වේ.

ඉස්ලාම් දහම මේ ආකාරයට “ඥාති සබඳතා“ පිලිබදව දැඩිව අවවාද අනුශාසනා කර තිබියදී අවාසනාවකට මෙම මඟපෙන්වීමන් නොසලකා හරිමින් ඥාතීන් වෙනුවෙන් තම වගකීම්, යුතුකම්, සමාජීය හෝ සදාචාරාත්මක කටයුතු ඉටු නොකරයි. තම නෑදෑයන් සමඟ හොඳ සබඳතාවක් පවත්වාගෙන යාමෙන් කෙනෙකුට අල්ලාහ්ගේ දයාව, සමෘද්ධිය සහ විපත්තිවලින් මිදීම, මිත්‍රත්වය, බැඳීම සහ සහයෝගීතාවයේ ස්වභාවයට අමතරව පවුලේ මුළු වාතාවරණයම විපත්ති සහ සමෘද්ධිය යන දෙකෙහිම ආවරණය කරයි. ඥාති සබඳතා විසන්ධි කිරීම මේ සියලු ප්‍රතිලාභ දියවී ගොස් ඥාතීන් අතර අසමගියේ ඵල වපුරන බව අවසාන වශයෙන් සටහන් කරමන් මෙම සටහනට විරාමය තබමි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/04/26

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම