මීලාද්-උන්-නබි සැමරුම - ඉස්ලාමීය විමසුම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ක්‍රිස්තු වර්ෂ 570 දී මක්කාවේ උපත ලද මුහම්මද් (සල්) තුමාණන් වයස අවුරුදු 40 දී අවසාන දේව වක්තෘ හෙවත් නබිවරයාණන් බවට පත්විය. එදා පටන් අද දක්වාත්, මේ පොළොව මත වෙසෙන අවසාන මුස්ලීම්වරයා දක්වාත් ලෝකවාසී මුස්ලීම්වරුන් සියළුදෙනා තම ප්‍රාණයට වඩා එතුමාණන්ට ආදරය කිරීම මුස්ලීම්වරයෙකු තුල ස්වභාවයෙන් ඇති වන්නා වූ හැඟීමක් වන අතර එය ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට අවදාරනය කරන වගකීම ද වේ. (මේ පිලිබදව යහමග අඩවිය තුල “මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරමු“ යන ලිපිය තුලින් දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත.) මෙසේ නබිතුමාණන්ට අසීමිතව ආදරය කිරීම පිලිබදව සිතූ මුස්ලීම් සමාජය එතුමාණන්ට ආදරය දැක්වීමේ හොදම හා සුදුසුම පියවර ලෙස තෝරාගෙන සිටින්නේ එතුමාණන්ගේ උපන් දිනය මූලික කරගෙන මීලාද්-උන්-නබි නමින් උපන්දින සැමරුමක් සිදුකිරීමයි. ඒ අනුව මුස්ලීම් සමාජයේ බහුතරයක් මෙම උපන්දින සැමරුම මහා උත්කර්ශවත් අන්දමින් පවත්වයි. (2023 වූ මෙම වර්ෂයේ එම “මීලාද්-උන්-නබි” දිනය 2023/09/28 දිනට යෙදී තිබෙන අතර එදින අප රටේ ද ජාතික නිවාඩු දිනයක්ද වේ.)

මෙසේ පවත්වන එම "උපන්දින සැමරුම්" සංස්කෘතිය එනම්, මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන් දිනය (මෙම උපන් දිනය ඉස්ලාමීය විද්වතුන් අතර නිශ්චය නොවන මතභේදාත්මක කාරණයකි) මූලික කරගෙන ප්‍රදේශය පුරා කොඩිවැල් හා බල්බ් වැල් අදිමින්, විවිධ වූ තොරණ් සහ මාර්ග සැරසිලි ඉදි කරමින්, වර්ණවත් (හඳ සහ තරු හැඩ ඇති) පහන් කූඩු දල්වමින්, ප්‍රදේශය පුරා ශබ්ද විකාශන සවිකොට එතුමාණන්ගේ ගුණ ගායනා කරමින් සහ ගුණ කථනයන් කරමින්, පෙරහර වීදි සංචාරය කරමින්, දානමය පරිත්‍යාග බෙදාදෙමින්... කරන මෙම සැමරුම ඉස්ලාම් දහම අනුමත හෝ දහමට අනුකූල සැමරුමක්ද? සංස්කෘතියක්ද? යන්න විමසා බැලීම මෙම ලිපියෙහි මූලික අරමුණයි.

ඉහත මාතෘකාවට යොමුවීමට ප්‍රථම ඉස්ලාම් දහමේ මූලික කාරණයක් මුස්ලීම් සමාජයේ අවදානයට මෙහි පැහැදිලි කලයුතුව ඇත. එනම්,

  • මුස්ලීම්වරයෙකු ඉස්ලාම් නමින් කිසිවක් කරන්නේ නම්, ඒ සදහා දිව්‍යමය මඟපෙන්වීමක් හෝ ආදර්ශයක් පැවතීම අනිවාර්‍ය වේ. එසේ ආදර්ශයක්, මඟපෙන්වීමක් නොමැතිව කුසල් අපේක්ෂාවෙන් කිසියම් ක්‍රියාවක මුස්ලීම්වරයෙකු නිරත වූයේ නම්, එය ඔහුට අකුසල් ගෙනදෙන පාපකාරී ක්‍රියාවක් වේ.
  • එසේම ඉස්ලාම් නොවන (කුසල් අපේක්ෂාවෙන් තොර) සංස්කෘතියක් හෝ සම්ප්‍රදායක් ලෙස ගෙන මුස්ලීම්වරයෙකු සමාජය තුල කිසියම් කටයුත්තක නිරත වන්නේ නම්, එහිදී ද එම ක්‍රියාව දිව්‍යමය මඟපෙන්වීමට හෝ ආදර්ශයට එරෙහි හෝ පරස්පර වන ලෙස නොපැවතිය යුතු වේ. එසේ වූයේ නම් එය ද ඔහුට අකුසල් ගෙනදෙන පාපකාරී ක්‍රියාවක් වේ.

එසේනම්, ඉහත කොන්දේසි දෙක හොඳින් මතකයේ රඳවාගෙන මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දිනය සැමරීම ඉස්ලාම් දහමට අනුකූලද? නැද්ද? යන්න දැන් විමසා බලමු.

ඒ අනුව මෙහි පලමුව පැහැදිලිවම කිවයුතු කාරණය නම්, ඉස්ලාම් දහම තුල එනම්, අල්කුර්ආනයේ හෝ අල්හදීසය තුල කිසිදු තැනක උපන්දින සැමරුම් සදහා වූ මඟපෙන්වීමක් හෝ ආදර්ශයක් සදහන් නොවන බවයි. එසේම අතීතයේ පටන් දහමේ ඉහත ස්ථාවරය ආරක්ෂා කරමින් ආ මුස්ලීම් සමාජය මෑතක් වනතුරු “උපන්දින සැමරුම්” සංස්කෘතීන් තම සමාජය තුල ක්‍රියාත්මක කලේ ද නැත. එසේ ක්‍රියාත්මක නොකලා පමණක් නොව එවැනි සැමරුම් සදහා සහභාගි වීමද මුස්ලීම්වරුන් බොහෝ විට ප්‍රතික්ෂේප කලේය. නමුත් මෑතක් වනතුරු රැකගෙන ආ එම ප්‍රතිපදාව බිඳිමින් ඒ සියල්ල උඩුයටිකුරු කරන ලෙස වත්මන් නූතන සමාජය උපන්දින සැමරුම් විවිධ සැණකෙළි ආකාරයට පවත්වන තැනට අද යොමුව ඇත. එහි ප්‍රථිපලයක් ලෙස මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දිනය ද ඉහතින් සදහන් ආකාරයට එනම්, කොඩිවැල් හා බල්බ් වැල් අදිමින්, තොරණ් සහ මාර්ග සැරසිලි කරමින්, වර්ණවත් පහන් කූඩු දල්වමින්, කවි ගායනා කරමින්, පෙරහර පවත්වමින්... අන්‍ය ආගමික උපන්දින සංස්කෘතීන් ඒ ආකාරයටම මුස්ලීම් සමාජය අනුකරණය කරමින් මහා ඉහලින් එය සමරණ තැනට අද යොමුව ඇත. මෙතැනදී මුහම්මද් (සල්) තුමාණන් තම සමාජයට කල අවවාදයක් මෙහි ඔබේ අවදානයට තබන්නනට කැමැත්තෙමි. එනම්,

‘මරියම්ගේ පුත් ඊසා (අලෛ) තුමාව කිතුණු සමාජය සීමාව ඉක්මවා සැමරුවා සේ නුඹලා මාහට එසේ නොකරන්න’

මූලාශ්‍ර ග්‍රන්ථය - හදීස්

කිතුණු සමාජය නත්තල් නමින් යේසුස් (ඊසා (අලෛ)) තුමාණන්ගේ උපත කොඩිවැල් හා බල්බ් වැල් අදිමින්, තොරණ් සහ මාර්ග සැරසිලි කරමින්, වර්ණවත් පහන් කූඩු දල්වමින්, කවි ගායනා කරමින්, නත්තල් ගස් සරසමින්... උත්සවාකාරයෙන් සැමරීම අප හොදින් දනිමු. එවැනි සංස්කෘතිය ආදර්ශයක් ලෙස ගෙන මුස්ලීම්වරුන් වන අපට ඒ ආකාරයට සැමරුම් සිදු කිරීමට ඉස්ලාම් දහම තුල ආදර්ශ නොමැති බව පමණක් නොව අවසර ද නොමැති බව ඉහත හදීසය තුලින් පැහැදිලි වේ. මෙය පහතින් සදහන් ඉස්ලාම් දහමේ අවවාදය තුලින් තවදුරටත් පැහැදිලි කරගත හැක.

කවුරුන් තවත් ජන සමූහයක සම්ප්‍රදායන් පිලිපදින්නේද, ඔහු එම සමාජය නියෝජනය කල තැනැත්තෙකු ම වන්නේය.

මූලාශ්‍ර ග්‍රන්ථය - හදීස්

මෙවැනි අවවාද රාශියක් දහම තුල තිබියදීත්, ඉස්ලාම් දහමේ තුල නූතනයන් නිර්මාණය කරමින් “මේවාත් දහම තුල අලංකාර අංගයන්” යනුවෙන් පවසන ආකාරයට කටයුතු කිරීම ඉස්ලාම් දහම තුල “බිද්අත් නොහොත් ඉස්ලාමයට නූතනයන් එක්කිරීම” නම් මහා පාපයක් වේ. දිව්‍ය දහමට ම අභියෝග කරන මෙවන් මහා පාපයක නියැලෙන පිරිසගෙන් මා මෙහි ප්‍රශ්න දෙකක් විමසන්නට කැමැත්තෙමි. එනම්,

  • මේ ආකාරයට ඉස්ලාම් දහම තුල නව එක්කිරීම් කරන පිරිස අල්ලාහ් (දෙවි) මෙම දහම ඔහුගේ වක්තෘවරයාණන් මඟින් සම්පූර්ණ නොකල බව පවසනවාද? (අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ 5-3 මඟින් දහම සම්පූර්ණ කල බව පවසායි.)
  • නොඑසේ නම්, අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් මෙවැනි අලංකාර අංග සමාජයට හෙළි නොකොට වසන් කලා යැයි පවසනවාද? (මුහම්මද් (සල්) තුමාණන් තම අවසාන දේශනයේදී දහම පරිපූර්ණව ප්‍රකාශ කල බවට සහතික කොට එයට අල්ලාහ් (දෙවි) සාක්ෂිකරුවකු කල බව අල්හදීසයේ සදහන් වේ.)

මේ අනුව ඉස්ලාම් දහමේ (දිව්‍ය) ඉගෙන්වීමන්වලින් පරිභාහිරව ඉස්ලාම් යැයි කිසිවක් පැවතිය හෝ නිර්මාණය කිරීමට නොහැකි බව මූස්ලීම් සමාජය පැහැදිලිව වටහාගත යුතුය. තවත් සරලව පවසනවා නම්, ඉස්ලාමීය මූලාශ්‍රයන් වන අල්කුර්ආනයෙන් හා අල්හදීසයෙන් පරිභාහිරව ඉස්ලාම් යැයි කිසිවක් පැවතිය නොහැක. ඒ අනුව “උපන්දින සැමරීම” හෝ “මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දින සැමරීම” සදහා වූ ආදර්ශයක් මඟපෙන්වීමක් එම මූලාශ්‍රයන් තුල තිබේද? යන්න විමසා බැලුවේ නම් එවැනි ඉගෙන්වීම කිසිවක් පැහැදිලිවම එහි දක්නට නොමැත. එම දිව්‍ය ඉගෙන්වීමන් තුල පමණක් නොව මුහම්මද් (සල්) තුමාණන්ගේ කාලයේ හෝ එතුමාණන්ගේ අභාවයෙන් පසුව එතුමාණන්ගේ සමකාලීනයන් වන සහාභාවරුන්ගේ කාලයේ එවැනි සැමරුමක් සිදුකල බවට කිසිදු සාක්ෂියක් නොමැත. (එසේ සාක්ෂි තිබුණත් එය ඉස්ලාම් නොවන බව මෙහි ඔබේ වැඩිදුර දැන ගැනීම පිණිස සටහන් කරමි.) මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවයෙන් පසු ඉස්ලාමීය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ පාලකයන් වූ අබූබක්කර් (රලි), උමර් (රලි), උස්මාන් (රලි) සහ අලි (රලි) තුමා කාලයෙත් මෙවැන් සැමරුම් සංස්කෘතියක් රාජ්‍ය අනුග්‍රහය යටතේ හෝ මුස්ලීම් සමාජය තුල දක්නට නොවීය. එපමණක් ද නොව එම සමකාලීන සහාභාවරුන්ගෙන් පසුව බිහි වූ “තාබීන්” නම් සහභාවරුන්ගේ සමකාලීන (නමුත් මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීන නොවූ) ස්වර්ණමය යුගයේ ද මෙවන් උපන්දින සැමරුම් සංස්කෘතියක් එම සමාජය තුල දක්නට නොවුණි.

එදා ලේ වගුරවමින් හා විවිධ වධහිංසනවලට මුහුණදෙමින් තම දිවිය පරදුවට තබා නබිතුමාණන්ට ආදරය කල සහාභාවරුන් ඉක්ම වූ නූතන “බිද්අත්”වාදීන් ඉස්ලාම් දහමේ හරය හා අරමුණූ අවබෝධකර නොගෙන දහම සැණකෙලි හා විකාර උත්සව පවත්වන තැනක් බවට අද පත් කරගෙන ඇත. මෙහි ඛේදජනකම කාරණය වන්නේ නබිතුමාණන්ගේ උපන්දිනය සමරමින් අපගේ ආදරය එතුමාණන්ට පෙන්වන බව පවසමින් “ශීර්ක්” ක්‍රියාවල පවා ඔවුන්ගෙන් බහුතරයක් නිරත වී සිටීමයි. එයට මා මෙහි සරල නිදසුනක් ගෙනහැර දක්වන්නම්,

උපන්දින සැමරුම තුල "ශිර්ක්" වූ විශ්වාසයක්

මුස්ලීම් සමාජයේ සැලකිය යුතු පිරිසක් මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන් මාසය මූලික කරගෙන “මව්ලූද්” නම් කවි පොතක් ඉතා භක්තියෙන් දේවස්ථානවල සහ නිවැස්වල කියවීම සුලභ දසුනකි. මෙය බොහෝ විට ශබ්ද විකාශන යන්ත්‍ර පවා යොදා ගනිමින් කණ්ඩායම් වශයෙන් හිඳ සවස් කාලයේ තාලෙකට ගායනා කිරීම දැකගත හැක. මුහම්මද් (සල්) තුමාණන්ගේ ගුණ ගායනා කරන බව පවසමින් කරන මෙම ගායනය තුල ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන්ට පරස්පර බොහෝ කරුණු මේ තුල කියවේ. මෙසේ කරන කවි ගායනය අතරතුර එක්තරා ස්ථානයක දී එම කවි ගායනා කරන පිරිස් අසුන්ගෙන සිටී තැනින් නැඟිට සිටගෙන කවි ගායනා කිරිමක් ද සිදු කරයි. මෙයට හේතුව ඔවුන්ගෙන් විමසූ විට ඔවුන් පවසන්නේ, එම කවි පන්තිය ගයන මොහොතේ මුහම්මද් (සල්) තුමාණන් එම ස්ථානයට පැමිණෙන බවයි. එමනිසා එතුමාණන්ට ගෞරව කිරීමක් ලෙස එම අසුන්ගෙන සිටී ස්ථානයෙන් නැඟීසිටින බවයි. (ඔබත් ඔබේ ප්‍රදේශයේ මෙවැනි ක්‍රියාවල නියැලෙන පිරිසගෙන් මෙය විමසා තහවුරු කරගත හැක.)

මීට වසර 1400 කට පෙර මියගිය මුහම්මද් (සල්) තුමාණන් අමරණීය යැයි සිතීම ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව “ශිර්ක්” වූ විශ්වාසයකි. මන්ද සදා අමරණීය යන්න අල්ලාහ් (දෙවි)ගේ ගුණාංගයක් වන බැවිණි. එපමණක් නොව ලොවපුරා මෙලෙස කවිගායනා කරන සෑම සභාවකටම එකම මොහොතේ සහභාගි වනවා යැයි විශ්වාස කිරීමත් “ශිර්ක්” වූ විශ්වාවාසයකි. මන්ද එයත් අල්ලාහ් (දෙවි)ට පමණක් ආවේණික ගුණාංගයක් වන බැවිණි. ඒ අනුව මෙම විශ්වාසය ඉස්ලාමයේ මූලික විශ්වාසයන්ට පරස්පර “ශිර්ක්” වූ අමූලික ප්‍රබන්ධයක් පමණි. මා මෙය ස්වමතය මත පදනම්ව නොව අල්කුර්ආනයේ ඉගෙන්වීම මත පදනම්ව අවදාරණය කරමි. මා පවසන කාරණයට පහත අල්කුර්ආන් වාක්‍යයන් සාක්ෂි දරයි.

(නබි!) නියත වශයෙන්ම 'ඔබත් මිය යනු ඇත. ඔවුන්ද මිය යනු ඇත. පසුව විනිශ්චය දින දී (සියල්ලන්ම) ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙහි නියත වශයෙන්ම (ගෙන එනු ලැබ) ඔබ (සාධාරණය ඉල්ලා) වාද  කරනු ඇත.

අල්කුර්ආනය 39-30 හා 31

පසුව කියාමත්(මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේ නියතවශයෙන් නුඹලා නැගිටුවනු ලබන්නෙහුය.

අල්කුර්ආනය 23-16

පටු මතවාදවල නොහිඳ මොහොතක් ඉහත අල්කුර්ආන් වාක්‍යයන් දෙක බුද්ධිමත්ව විමසා බලන්න. එහි නබිතුමාණන් ඇතුළුව මියයන සියළුදෙනා නැඟිටුවනු ලබන්නේ විනිශ්චය ලබාදෙන “කියාමත්” දිනයේ බව පැහැදිලිවම පවසයි. එසේ තිබියදී එක එක “මව්ලූදයට” පැමිණෙනවා යැයි විශ්වාස කිරීම අල්කුර්ආනයට අභියෝග කිරීමක් නොවේද?. එපමණක් නොව එය පහත අල්හදීසයටත් පරස්පර වේ.

"කියාමත් (මළවුන් කෙරෙන් නැගිටුවන)  දිනයේදී මගේ සොහොන මුලින්ම විවෘත කරනු ලබන අතර, (අන් අයගේ පාපයන් වෙනුවෙන් දෙවියන් ඉදිරියේ) මැදිහත් වන පළමු පුද්ගලයා සහ මැදිහත්වීම පිළිගන්නා පළමු පුද්ගලයා ද මම වෙමි."

මූලාශ්‍ර ග්‍රන්ථය - හදීස්

ඉහතින් සඳහන් කළ අල්කුර්ආන් වාක්‍යයන් දෙක සහ අල්හදීසය කියාමත් (මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේදී සියලු මනුෂ්‍ය වර්ගයා ඔවුන්ගේ සොහොන්වලින් නැගිටුවන බවත්, මුහම්මද් (සල්) තුමාණන්ද ඊට වෙනස් නොවන බවත් පැහැදිලිව පවසයි. මෙයින් පරිභාහිරව මිත්‍යා විශ්වාසයන් පිලිගැනීම “ශිර්ක්” වන අතර එය දිව්‍ය වදන් අභියෝගයට ලක් කරන “කුෆ්ර්” ද වේ. මෙවන් මහා පාපයන්ගෙන් වත්මන් මුස්ලීම් සමාජය ආරක්ෂා කිරීමත්, මේවා පිලිබදව නොසැලකිලිමත්කම සහ අනවබෝධය නිසා එයට ගොදුරු නොවන ලෙස සමාජය ආරක්ෂා වීමට අවශ්‍ය දැනුම ලබාදීමත් ආගමික විද්වතුන්ට ඉස්ලාම් දහම විසින් පවරන වගකීමක් වේ. වගකීමක් පමණක් නොව එය ඔවුන්ගේ යුතුකම ද වේ. නමුත් අවාසනාවකට ඔවුන් අතුරින් ද අතිබහුතරය ලෞකික පටු අරමුණූ හා වාසි වෙනුවෙන් සත්‍යය වසන් කොට මුනිවත රැකීම මුස්ලීම් උම්මාවේ (සමාජයේ)ම ඛේදවාචකයක් වේ..

අවසාන වශයෙන් නැවත සටහන් කරමි. මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය නොකරන කිසිවකු මුස්ලීම් විය නොහැක. එතුමාණන්ට තම ප්‍රාණයට වඩා ආදරය දක්වන තුරු ඔහුට ඉස්ලමය තුල කිසිදු හිමිකමක් නැත. නමුත් එතුමාණන්ට ආදරය කරන බව පවසමින් අල්කුර්ආනයට හා අල්හදීසයට පරස්පරව “ශිර්ක්” ක්‍රියාවල නියැලමින් හා කොඩිවැල් හා බල්බ් වැල් අදිමින්, තොරණ් සහ මාර්ග සැරසිලි කරමින්, වර්ණවත් පහන් කූඩු දල්වමින්, කවි ගායනා කරමින්, පෙරහර පවත්වමින්... අන්‍ය ආගමික උපන්දින සංස්කෘතීන් ඒ ආකාරයටම අනුකරණය කරමින් අපි නබිතුමාණන්ට ආදරය දක්වන්නෙමු යැයි පැවසීම විහිළුවක් මිස ඉස්ලාම් නොවේ. එතුමාණන්ගේ වදන්, ක්‍රියාවන් හා අනුමත කිරීමන් වන ආදර්ශය පූර්ණ ලෙස අනුගමනය කිරීමයි එතුමාණන්ට දක්වන සැබෑ ආදරය වන්නේ (මේ පිලිබදව යහමග අඩවිය තුල මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරමු යන ලිපිය තුලින් දීර්ඝව සාකච්චා කොට ඇත. එය කියවන්න.)

එසේ නොමැතිව අපගේ මිතුන්මිත්තන් පෙන්වාදුන් මාර්ගයේ අප තවදුරටත් යන්නෙමු යැයි ඔබ පවසනවා නම්, ඔබෙන් විමසන්නට ඇත්තේ, අල්ලාහ් (දෙවි) අල්කුර්ආනය තුලින් ලබාදෙන ඉගෙන්වීමත් ප්‍රතික්ෂේප කොට, මුහම්මද් (සල්) තුමාණන් ආදර්ශයන් වන අල්හදීසයත් ප්‍රතික්ෂේප කොට, අල්කුර්ආනය හා අල්හදීසය මාර්ගයේ ගිය දහස් සංඛ්‍යාත සහාභවරුන් සහ තාබීන්වරුන්ගේ මාර්ගය ද ප්‍රතික්ෂේප කොට නූතන “බිද්අත්” මාර්ග තුලින් ඔබ දිනාගන්නට යන විමුක්තිය සහ ආශිර්වාදය කුමක්ද? යන්නයි. එම පැනයට දෙන පිළිතුර බුද්ධිමත්ව තීන්දු කිරීම ඔබට ම භාර කරමින් මෙම සටහනට අද විරාමය තබමි.





සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/09/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම