බිද්අත් නොහොත් ඉස්ලාමයට නූතනයන් එක්කිරීම

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව, ලෞකික කාරණයන් සම්බන්ධයෙන් කෙනෙකු තීන්දු තීරණ ගන්නා සේ දහම තුල ස්වමතයට අනුව තීන්දු තීරණ ගත නොහැක. ඉස්ලාම් දහම ප්‍රකාශ වී ඇත්තේ සූවිශේෂි ඥානයක්, දිව්‍යමය පණිවුඩයක් හා මඟපෙන්වීමක් පදනම් කරගෙනය. ඒ අනුව එවැනි අවස්ථාවල තීන්දු තීරණ ගත යුත්තේ එහි ඉගෙන්වීමන් අනුව මිස ස්වමතයන් අනුව නොවේ. එසේ නොවන විට එහි සිදු වන්නේ යහපත් යැයි සිතා කටයුතු කොට තමන්ට තමන් විසින්ම වරදක් අයහපතක් සිදුකර ගැනීම පමණි. මෙසේ ඉස්ලාම් දහමේ මඟපෙන්වීම් නොමැති කරුණු ඉස්ලාම් නමින් ඉටු කිරීම ඉස්ලාම් දහම "බිද්අත්" හෙවත් දහම තුල නූතනයන් එක්කිරීම නම් පාපක්‍රියාවක් ලෙස දකින අතර ඒ සම්බන්ධයෙන් විවිධ වූ අවවාදයන් ද මුස්ලීම් සමාජයට කරයි. එම කාරණය තරමක් ගැඹූරින් විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි.

මෙම මාතෘකාවට පිවිසුමක් ලෙස ප්‍රථමයෙන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් තුනක් ඔබගේ බුද්ධිමත් අවධානයට මෙහි ගෙන එන්නේ නම්,

අල්ලාහ් (දෙවි) පහල කල (ශුද්ධ වූ කුර්ආනය හා හදීසය අන්තර්ගත)දැයින් කවුරුන් තීන්දු (තීරණ) නොගත්තේ ද? ඔවුන් කාෆිර් (ඉස්ලාම් ප්‍රතික්ෂේප කරන ලද තැනැත්තෙකු) බවට පත්වන්නේ ය.

අල්කුර්ආනය 5-44

අල්ලාහ් (දෙවි) පහල කල (ශුද්ධ වූ කුර්ආනය හා හදීසය අන්තර්ගත) දැයින් කවුරුන් තීන්දු (තීරණ) නොගත්තේ ද? ඔවුන් අපරාධකරුවන් බවට පත්වන්නේ ය.

අල්කුර්ආනය 5-45

අල්ලාහ් (දෙවි) පහල කල (ශුද්ධ වූ කුර්ආනය හා හදීසය අන්තර්ගත)දැයින් කවුරුන් තීන්දු (තීරණ) නොගත්තේ ද? ඔවුන් පාපතරයන් බවට පත්වන්නේ ය.

අල්කුර්ආනය 5-47

ඉහත සදහන් අල්කුර්ආන් වාක්‍යයන් 03 හොදින් අධ්‍යනය කළේ නම් ‘වහී’ හෙවත් දේව පණිවුඩය පදනම් කර නොගෙන ආගමික තීන්දු තීරණ ගැනීම කොතරම් බරපතල වරදක් ද? යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. සර්වඥාන දෙවියන් ප්‍රායෝගික එසේම සර්වකාලීන සාර්ථක ජීවන සැලැස්මක්, නීතිමාලාවක් හදුන්වා දී තිබියදී එයට තවත් කරුණු කාරණා එක් කිරීම යනු එක් පසෙකින් දේව සැලැස්ම අභියෝගයට ලක් කිරීමකි. දේව සැලැස්මක් අභියෝගයට ලක් කිරීමට නම්, ඒ සදහා එවැනි ශක්තියක් ඇති ඔහුට සමාන හෝ ඔහුට වඩා ඉහල බුද්ධියක් ඇති කෙනෙකු විය යුතු ය. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව දෙවියා ඒකීය වන නිසා ඉහත අවස්ථාවට ඉස්ලාම් දහම තුල ඉඩ නැත. එසේ නම් දේව සැලැස්මට අභියෝග කළ හැකි බුද්ධිමත් ජීවියකු නොමැති බව පැහැදිලිය. එසේ තිබිය දී දේව සැලැස්ම මනුෂ්‍යා අභියෝගයට ලක් කිරීම (සංශෝධනයට එනම් අලුතින් යමක් එක් කිරීම හා තිබෙන යමක් අඩු කිරීමට) ඉස්ලාම් දහමට අනුව ‘ශිර්ක්’ නම් වූ මහා පාපයකි. ඒ අනුව ‘වහී’ හෙවත් දේව පණිවුඩ මත පදනම් වූ මෙම දහම තුල අලුතින් යමක් නිර්මාණය කිරීමේ බලය මේ මිහිපිට කිසිවකුටත් දෙවියන් ලබා දී නොමැති බව පැහැදිලිව වටහා ගත යුතු ය. එය අවබෝධ කරගෙන එයට අවනතව ඉස්ලාම් දහම පිලිපැදීමයි සැබෑ මුස්ලීම්වරයෙකුගේ සැබෑ වගකීම වන්නේත්. මෙම කාරණය අල්ලාහ් (දෙවියන්) අල්කුර්ආනය 24-51 වාක්‍යයෙන් මෙසේ පවසයි.

“‘මු:මින්වරුන්’ (ඉස්ලාම් නිසි ලෙස අනුගමනය කළ පිරිස්) හමුවේ (ඔවුන් අතර ඇති වූ මතභේද හා ගැටළු සදහා) විසදුම් ප්‍රකාශ කිරීමට අල්ලාහ් හමුවටත් ඔහුගේ දූතයාණන් හමුවටත් පැමිණෙන ලෙස කැදවුයේ නම් ඔවුන්ගේ (එකම) පිළිතුර ‘සවන් දුන්නෙමු!, අවනත වූයෙමු!’ යන්න පමණි. මොවුන්මයි ජය ලද්දෝ”

අල්කුර්ආනය 24-51

ඉහත අල්කුර්ආනය වාක්‍යය මඟින් සැබෑ මුස්ලීම්වරයෙකුගේ ගුණාංගය මනාව පැහැදිලි කරයි. මුස්ලීම් සමාජයක හෝ තනි පුද්ගලයෙකු තුල කිසියම් මතභේදාත්මක ගැටළුවක් පැන නැඟුණේ නම් එහි දී ඔවුන් ක්‍රියා කළ යුතු ආකාරය ඉහත වාක්‍යය මඟින් පැහැදිලි කරයි. එහි දී “…අල්ලාහ් හමුවටත් ඔහුගේ දූතයාණන් හමුවටත්…” යන්නෙන් දෙවියන් අදහස් කරන්නේ ‘අල්කුර්ආනය’ හා ‘අල්හදීසය’ යන්න මා පැහැදිලි කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි සිතමි. ඒ අනුව මුස්ලීම්වරයෙකුගේ සෑම ක්‍රියාවක්ම එයට අනුකූල විය යුතු යන්න පැහැදිලි ය. මෙම කුර්ආන් වාක්‍ය සමහරක් (විශේෂයෙන් මුස්ලීම් නොවන) පිරිස් වැරදි ආකාරයකට ද අවබෝධ කරගනිති. එනම්, ඉහත වාක්‍යයෙන් දෙවියන් පවසන්නේ “මුස්ලීම්වරුන් අන්ධ භක්තික ලෙස සියල්ල පිලිගත යුතු යන්න මෙහි අවධාරණය කරයි” යනුවෙනි. මෙය ඉහත වාක්‍යයට දෙන වැරදි විග්‍රහයකි. එය තහවුරු කිරීම සදහා පහත 25-73 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය සදහන් කළ හැක. එනම්,

තවද ඔවුන් (මුස්ලීම්වරුන් හමුවේ) තම දෙවියන්ගේ වාක්‍යයන් (කුර්ආන් වාක්‍යයන් ගෙනහැර) පැවසූ විට එය බිහිරන් ලෙසත් අන්ධයන් ලෙසත් (පිලිගෙන) එහි කටයුතු නොකරයි (බුද්ධිමත්ව සිතාබලා කටයුතු කරයි).

අල්කුර්ආනය 25-73

මේ අනුව අන්ධ භක්තිකව කටයුතු කිරීමට කිසිදු මුස්ලීම්වරයෙකුට ඉස්ලාම් දහම තුල ඉඩ නොමැති බවද අවබෝධ කර ගත යුතු වේ. ඒ අනුව කිසියම් කාරණයක් ඉස්ලාම් යයි සමාජය හමුවේ තබන විට “එය ඉස්ලාම් ද?” යන්න තීරණය කිරීමේ අයිතිය මුස්ලීම්වරුන්ට ඉස්ලාම් දහම ලබා දී ඇත. එහිදී ඉහත 25-73 වාක්‍යයේ සදහන් ආකාරයට කටයුතු කිරීමට වග බලා ගත යුතු ය. එසේම ඉස්ලාම් නමින් අප හමුවේ තිබෙන කාරණය ඉස්ලාමීය ඉගෙන්වීමන්ට එනම් ශුද්ධ වූ කුර්ආනයට හා හදීසයට අනුකූල ද යන්න 24-51 වාක්‍යයට අනුව අධ්‍යනය කොට තහවුරු කරගත යුතු ය. මෙයයි ඉස්ලාමීය මඟපෙන්වීම හා ආදර්ශය වන්නේ. එම ආදර්ශයන්ට පරිභාහිරව හිඳ තම ස්වමතය අනුව හා අන්ධ භක්තිකව දහම තුල සීමාවන් නොදැන ක්‍රියා කරන විට එම දහම තුල විවිධාකාරයේ වූ විකෘතිතාවයන් නිර්මාණය වීම සිදුවේ. එම නිසා දිව්‍යමය දහම “වහී” හෙවත් දේව පණිවුඩවලින් බැහැරව මිනිස් චින්තනවලින් කිලිටි වූ වෙනම ම මාර්ගයක් බවට එය පත් වේ. මෙය අද මුස්ලීම් සමාජයේ බහුලව දකින්නට තිබෙන අවාසනාවන්ත ඉරණමකි. මෙම තත්වය මීට සියවස් ගණනාවකට පෙර අවබෝධ කරගත් ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනයේ 42-21 වාක්‍යය මඟින් මෙසේ අවවාද කිරීමක් ද දක්නට ලැබේ. එනම්,

අල්ලාහ් (දෙවි) අනුමත නොකළ (හා පෙන්වා නොදුන්) කාරණයන් නුඹලා හමුවේ (දහමේ) අනුමත කාරණයන් බවට පත්කරවන්නට සමත් (මට) සමාන දෙවිවරුන් (නුඹලාට) සිටින්නේ ද?

අල්කුර්ආනය 42-21

ඉහත 42-21 වාක්‍යයෙන් දෙවියන් පවසන කාරණය බුද්ධිමත් ලෙස විමසා බලන්න. වර්තමාන මුස්ලීම් සමාජය තුල මෙවැනි එනම් ඉස්ලාම් පෙන්වා නොදෙන පසුකාලීනව නිර්මාණය වූ ආගමික ක්‍රියා පිලිවෙත් බොහෝමයක් අද දක්නට ලැබේ. මේවා පිලිබදව දෙවියන් විමසා සිටින්නේ,

“…මේවා අනුමත කරන්න මට සමාන තවත් දෙවිවරුන් නුඹලාට සිටිනවා ද?…”

යනුවෙන් නම්, මෙය ඒක දේව සංකල්පය දැඩිව අවධාරණය කරන දහම තුල බහු දේව සංකල්පයක් හදුන්වා දීම බදු නොවේ ද?. මෙය මා පෙර සදහන් කළා සේ ‘ෂිර්ක්’ නම් මහා පාපයක් බව අවබෝධ කර ගැනීම ඉස්ලාම් දහමේ මූලික දැනුමක් පවා ඇති ඕනෑම කෙනෙකු හට අපහසු නොවනු ඇත.

මේ අනුව ඉස්ලාම් දහම තුල “වහී” වලින් පරිබාහිරව යමක් නිර්මාණය කිරීම කොතරම් බරපතල වූ කාරණයක්ද යන්න දැන් ඔබට පැහැදිලි විය යුතු ය. ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් පදනම් කරගෙන එය අප මෙතෙක් සාකච්චා කළද, එම ශුද්ධ වූ කුර්ආනයනට විග්‍රහයන් ලෙස පවතින හදීසයන් හෙවත් මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් තුල කුමක් සදහන් වෙනවා ද? යන්න දැන් විමසා බලමු.

අල්ලාහ් (දෙවි) විසින් මට පෙර එවන ලද නබිවරුන්ට ද පරිවාරකයන් හා සහයකයන් සිට ඇත. ඔවුන් ඒ ඒ නබිවරුන්ගේ ‘සුන්නාවන්’ (ආදර්ශයන් හා මඟපෙන්වීමන්) පිළීගෙන අනුගමනය කර ඇත. නමුත් පසුව (ඔවුනට පසුකාලීනව) පැමිණි සමාජය පෙර සමාජය නොකල දෑ පවා ඔවුන් කළ බවට පවසමින් යම් යම් ක්‍රියාවන්හි නිරත වී ඇත. (පසුකාලීනව) මෙවැනි අවස්ථාවල කිසිවකු තම දෑතින් එය වළක්වන්නේ ද ඔහු ‘මු:මීන්වරයෙක්’ (පරිපූර්ණ මුස්ලීම්වරයෙක්), (එසේ කිරීමට නොහැකි නම්)  තම මුවින් (පැහැදිලි කොට) එය වළක්වන්නේ ද ඔහු මු:මීන්වරයෙක්, (එසේ කිරීමටත් නොහැකි නම්) එම ක්‍රියාව සිතින් පිලිකුල් කොට එම ස්ථානයෙන් ඉවත් වන්නේ ද ඔහුත් මූමීන්වරයෙක්. මේ (කිසිවක් නොකර) බලා සිටින්නෙකු තුල අබ ඇටයක් තරම්වත් ඊමානයක් (ඉස්ලාමීය විශ්වාසයක්) නැත.“

මූලාශ්‍ර අල්හදීස් ග්‍රන්ථය – මුස්ලීම්

ඉහත හදීසය හොදින් විමසා බලන්න. මේ ලිපිය පුරාවට මා පවසන්නට උත්සාහ කල කාරණය මෙහි ඉතා සරලව අන්තර්ගතව ඇත. මා මාගේ ලිපිය ආරම්භයේ සඳහන් කළා බුදු දහමටත් කිතුණු දහමටත් එහි ශාස්තෘවරුන් මෙලොවින් සමුගැනීමත් සමඟ අත් වූ ඉරණම. එම ඉරණම මයි ආරම්භ කාල ඉස්ලාම් දහමටත් අත් වූයේ. මේ නිසයි ලොව විශාල සංඛ්‍යාවක් වූ වක්තෘවරුන්ගේ අවශ්‍යතාවය ඇති වුයේ. මීට අමතරව මෙවැනි සිදු වීමන් සමාජය තුල ක්‍රියාවට නැංවීමේදී මුස්ලීම්වරයෙකු ක්‍රියා කළ යුතු ආකාරයද මුහම්මද් (සල්) තුමාණන් පැහැදිලි ව පෙන්වා දී ඇත.

වචනයන්ගෙන් උතුම් වූ වචනය අල්ලාහ්ගේ වචන (වන ශුද්ධ වූ කුර්ආන)යයි. ආදර්ශයන්ගෙන් විශිෂ්ඨතම ආදර්ශය මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශ (වන හදීස)යයි. ක්‍රියාවන්ගෙන් නරකම ක්‍රියාව ‘බිද්අත්’ (ඉහත අංග දෙකට පරිභාහිරව අලුතින් ඇති කරන ලද කරුණු)ය. බිද්අත් සියල්ල දුර්මාර්ගයේ ය. දුර්මාර්ගයන් සියල්ල අපායටම (අපව) කැදවාගෙන යන්නේ ය.

මූලාශ්‍ර අල්හදීස් ග්‍රන්ථය – බුහාරි, නසායී, මුස්ලීම්

දහම තුල අලුතින් යමක් නිර්මාණය කිරීමේ බරපතල කම ඉහත හදීසය තුලින් ඔබට පහසුවෙන් අවබෝධ කර ගත හැකි වනු ඇත. එවැනි ක්‍රියාවන් තුලින් අත්වන අවාසනාවන්ත ඉරණමත් ඉහත හදීසය තුලින් අවබෝධ කර ගත හැක.

“නුඹලා හමුවේ කරුණු දෙකක් (මුහම්මද් (සල්) වන) මම තබා යන්නෙමි. එය අනුගමනය කරන තාක් නුඹලා නොමඟ නොයනු ඇත. එයින් පලමුවැන්න අල්ලාහ්ගේ දහම (වන ශුද්ධ වූ කුර්ආනය)යි. දෙවැන්න මගේ ආදර්ශය (වන හදීසය)යි.”

මූලාශ්‍ර ග්‍රන්ථය – මුඅත්තා

ඉහත හදීසය තුලින් ඉස්ලාමීය ආගමික සීමාව මනාව පිළිඹිබු වේ. ඉස්ලාමීය මූලාශ්‍රයන් වන ශුද්ධ වූ කුර්ආනය හා නබිතුමාණන්ගේ ආදර්ශය වන හදීසයට පරිබාහිර කිසිවක් ඉස්ලාම් නමින් පැවැතිය නොහැකි බවත්, එලෙස පැවතුනත් එවැනි කිසිවක් අනුගමනය කිරීම අවශ්‍ය නොවන බවත් පැහැදිලි වේ.

“කවුරුන් අප විසින් අණ නොකල කුසල ක්‍රියාවන් හි නිරත වන්නේ ද එම ක්‍රියාවන් අල්ලාහ් හමු වේ ප්‍රතික්ෂේප වනු ඇත.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, මුස්ලීම්

ඉහත හදීසය හොදින් විමසා බලන්න. එහි සදහන් වන්නේ “…අප විසින් අණ නොකල කුසල ක්‍රියාවන්…” යනුවෙනි. එනම් ඉස්ලාම් “කුසල ක්‍රියාවක්” ලෙස හදුන්වා නොදුන් නමුත් මුස්ලීම් සමාජය “කුසල් ක්‍රියාවක්” යනුවෙන් සලකා ක්‍රියා කරන බොහෝ ක්‍රියාවන් අප අවට අදත් දක්නට ඇත. නමුත් ඉස්ලාමීය ඉගෙන්වීම අනුව මේ සියල්ල ඉස්ලාම් දහම තුල ප්‍රතික්ෂේප වී යන බව ඉහත හදීසයට අනුව පැහැදිලිව වටහා ගත හැක.

සුදෝ සුදු තත්වයක මා නුඹලා තබා යන්නෙමි. එහි රාත්‍රියත් දහවල මෙන් (පැහැදිලි)ය. එහි විනාශය පතන්නෙකු හැර වෙන කිසිවකු නොමඟ නොයන්නේ ය.

දන්වන්නේ – උමර් (රලි) තුමා

ඉහත හදීසය ද තරමක් බුද්ධිමත්ව විමසා බැලිය යුතු එකකි. නබිතුමාණන් පවසනන්නේ “මා නුඹලා සුදෝ සුදු තත්වයක” තබා යන බවයි. මෙයින් අදහස් කරන්නේ මෙම දහම ඉතා පැහැදිලි තත්වයක එහි කිසිදු සැකයක් මතභේදයක් ඇති නොවන ආකාරයට පැහැදිලි කොට පැහැදිලි තත්වයක තබා යන බවයි. එවන් වූ දහම තුල අලුතින් යම් යම් දෑ නිර්මාණය කොට ඒ තුලින් කිසිවකු නොමඟ යන්නේ නම් එය ඔහුගේ විනාශය පැතීමක් මිස අන් කිසිවක් නොවන බව ද එහි දැඩිව අවධාරණය කරයි.

“කවුරුන් දහම තුල අලුත් දෑ නිර්මාණය කරන්නේ ද එසේත් නැත්නම් එවැනි පිරිසට සහාය දක්වන්නේද ඔවුන් කෙරෙහි අල්ලාහ් (දෙවියන්)ගේ, මලාඉකාවරුන් (දේව දූතයන්)ගේ සහ  මනුෂ්‍යයන්ගේ ශාපය ඇති වන්නේ ය.”

දන්වන්නේ – අලි (රලි) තුමා, ග්‍රන්ථය – අබූදාවූද්, නසායි

ඉහත හදීසයන් තුලින් ඉස්ලාම් දහම තුල අලුතින් යමක් නිර්මාණය කිරීම තුලින් ඔහු හෝ ඇයට අත් වන ඉරණම පැහැදිලිව වටහාගත හැක. අද සමාජය ආගම, ආගමික මූලාශ්‍රයන් පදනම් කරගෙන අවබෝධ කරගන්නවා වෙනුවට කරන්නේ ආගමික පූජකවරුන් එසේත් නැත්නම් ආගමික විද්වතුන් යයි පවසා ගන්නා පිරිස තුලින් දහම අවබෝධ කරගැනීමට යාමයි. මෙය ඉස්ලාම් දහම පෙන්වා නොදෙන වැරදි ආදර්ශයක් බව ඉහත කරුණුවලින් ඔබට දැන් හොදින් පැහැදිලි වනු ඇති. නමුත් අනිකුත් සමාජයන් මෙන්ම මුස්ලීම් සමාජයද මෙවැනි ඉගෙන්වීමන් පිළිබදව තිබෙන අනවබෝධය හා අවම දැනුම හේතු කොටගෙන ආගමික මූලාශ්‍රයන් පසෙක තබා ජනප්‍රිය පුද්ගල චරිත පසුපස යාමේ අවාසනාවන්ත තත්වයකට ඔවුන් ද පත්ව ඇත. මෙම සමාජ තත්වය දකින විට ශ්‍රේෂ්ඨ සහාබිවරයෙකු (මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීනයෙකු මෙන්ම ආගමික විද්වතෙකු) වන ඉබුනු අබ්බාස් (රලි) තුමාණන් පවසන ලද කාරණයක් සිහියට නැඟේ. එනම්,

“නබිතුමාණන්ගේ අභාවයෙන් පසු (පසුකාලීන) සමාජයට, ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හි අල්ලාහ් (දෙවියන් ශුද්ධ වූ කුර්ආනයේ) මෙසේ පවසනවා යනුවෙන් හා අල්ලාහ් (දෙවියන්)ගේ දූතයාණන් මෙසේ පවසනවා යනුවෙන් (හදීසයන් හෙවත් නබිතුමාණන්ගේ ආදර්ශයන්) මා ඔබලාට පවසන විට (එම සමාජයේ ජීවත් වන) ඔබලා අබූබක්කර් (රලි) මෙසේ පැවසුවා, උමර් (රලි) මෙසේ පැවසුවා යනුවෙන් පවසන්නේ ය. මේ හේතුව නිසා දෙවියන් විසින් නුඹලා වෙත අහසින් ගල් වරුෂාවක් පහල කරාවිදෝ යයි මා බියවෙමි. යනුවෙන් පවසන ලදී.”

(සටහන – අබූබක්කර් (රලි) තුමා යනු නබිතුමාණන්ගෙන් පසු ඉස්ලාමීය පාලන බලය හිමි වූ ශ්‍රේෂ්ඨ පාලකයෙකි. එසේම මුහම්මද් (සල්) තුමාණන්ගෙන් පසු දේව විශ්වාසයේ ඉනිපෙත්තෙහි සිටී ලොව ශ්‍රේෂ්ඨතම පුද්ගලයා ලෙස මුහම්මද් (සල්) තුමාණන් විසින් හදුන්වා දුන්නේ මෙතුමාණන්වය. උමර් (රලි) තුමා යනු ඉස්ලාමීය රාජ්‍ය පාලනයේ තුන්වන ජනාධිපතිවරයා ය. එසේම ආරම්භ කාලයේ ඉස්ලාම් දහමට නව පණක් ලබාදීමට සමත් ශ්‍රේෂ්ඨ උත්තමයෙකි.

ඉබුනු අබ්බාස් (රලි) තුමා පවසන ලද එම කාරණයත් වර්තමාන සමාජයත් මොහොතක් සංසන්දනය කර බලන්න. එදා සමාජය පැවසුවේ අබූබක්කර් (රලි), උමර් (රලි) තුමාණන් පවසනවා යනුවෙනි. මෙතුමාණන්ලා ශ්‍රේෂ්ඨ සහාභාවරුන් යන්නෙහි ලොව කිසිදු මුස්ලීම්වරයෙකුට වාදයක් නැත. එවන් පිරිස නමින් පැවසීම පිළිිබඳව පවා ඉබ්නු අබ්බාස් (රලි) තුමාණන් බිය වූවා නම්, අද අප සමාජයේ සමහරක් පවසමින් සිටින චරිත පිළිබඳව කුමක් පවසන්න ද? මේ තුලින් ද තහවුරු වන්නේ ඉස්ලාම් දහම තුල වැදගත් සාධකය වන්නේ එහි ශාස්තෘවරුන් හෝ විද්වතුන් කුමක් පවසනවා ද යන්න නොව එම ආගමික මූලාශ්‍රවල සඳහන් කාරණයන් කුමක් ද? යන්නත් එය අප ජීවිතයට කොතරම් දුරකට සමීප වී තිබෙනවාද? යන්නත් පමණි.

මෙතෙක් දුරකට මා කරුණු දක්වමින් ඔබට පවසන්නට උත්සාහ කරන්නේ ලොව අනිකුත් දහමන් හි ඉගෙන්වීමන් මෙන් නොව ආරම්භයේ සිට ආරක්ෂා වූ දේව පුස්තකය හා මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් අප හමුවේ තිබිය දී මේ දහම තුල විවිධ සංශෝධනයන් හා නව එක්කිරීමන් සිදු කිරීම ඉතාම අවාසනාවන්ත තත්වයක් බවත්, එය ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුව කොතරම් බරපතල වරදක් ද යන්නත් ය. එය දැන් ඔබට ඉහත කරුණුවලින් පැහැදිලි විය යුතු ය. අනාගතයේ දී මුස්ලීම් සමාජයට අත්වන මෙම අවාසනාවන්ත ඉරණම මීට වසර 1400 කට පෙර දුටු ඉස්ලාම් එයින් ජනතාව වැළකී සිටීම පිණිස කරන ලද විවිධ වූ අවවාද හා අනුශාසනා අප ඉහතින් දුටුවෙමු. මීට අමතරව අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනයේ 18-103 හා 104 වාක්‍යයන් මඟින් මුස්ලීම් සමාජයට කරන තවත් අවවාදයක් මෙම ලිපිය අවසන් කිරීමට මත්තෙන් ගෙන එන්න අදහස් කරමි. එනම්,

“තම කාර්යයන්ගෙන් ඉමහත් පාඩු ලබන්නා කවුරුන් ද? යන්න මා නුඹලා හට දැනුම් දෙන්න ද?” යනුවෙන් (නබිතුමණි!) නුඹ (ඔවුන්ගෙන්) විමසන්න. “කවුරුන්ගේ උත්සාහයන් ලෞකික දිවිය තුලම නිෂ්ළුල වී තිබියදීත් තමා සැබැවින්ම යහපත් ක්‍රියාවන්ම ඉටු කරන බව සිතාගෙන සිටින්නේ ද? ඔවුන්ම ය.”

අල්කුර්ආනය 18-103 හා 104

අද ආගමික ඉගෙන්වීමන්ට (ශුද්ධ වූ කුර්ආනයට හා හදීසයට) පරිබාහිර බොහෝ කරුණු ඉස්ලාම් නමින් සමාජගත වී තිබෙනවා අප නිරන්තරයෙන් දකින්නෙමු. මුස්ලීම් නොවන ප්‍රජාව මේවා ද ඉස්ලාම් ලෙස අවබෝධ කරගෙන ඉස්ලාම් දහමට චෝදනාත්මකව ඇගිලි දිගු කරනවා අප නිරන්තරයෙන් දකින්නෙමු. වෙනත් ආකාරයකට පවසනවා නම් පිවිතුරු දහම ඔවුන්ගෙන් වසන් වී විකෘති දහමක් ඔවුන් හමුවේ අප නිර්මාණය කර ඇත්තෙමු. මේ පිළිබඳව දැන් හෝ සමාජය තුල සංවාදයන් ගොඩනැගිය යුතුව ඇත. හරි හා වැරදි දෑ සලකුණු කොට පෙන්විය යුතුව ඇත. මුස්ලීම් සමාජයේ සමහරක් පිරිස් පවසනවා සේ

“මේකත් හොද දෙයක් නේ…”

යන්නට ඉස්ලාම් දහම තුල ඉඩ නොමැති බව පැහැදිලිවම වටහාගත යුතුව ඇත. දිව්‍ය සැලැස්මකට වඩා සාර්ථක සැලැස්මක් නිර්මාණය කිරීම හෝ දෙවියන් ලබා දුන් සැලැස්මට පරිබාහිරව හොද යැයි යමක් දහම තුල නිර්මාණය කිරීමට හෝ එක් කිරීමට තරම් බුද්ධියක්, ශක්තියක් මනුෂ්‍යා සතු නොවන බවත් මුස්ලීම්වරුන් වන අපගේ විශ්වාසයයි. එසේ නම් අවශ්‍ය වන්නේ හඳවතින් විශ්වාස කොට පිළිගෙන ඇති දිව්‍යමය මඟපෙන්වීම ප්‍රායෝගිකව දිවිය තුල ක්‍රියාවට නැංවීම පමණි. යන්න අවදාරණය කරමින් මෙම සටහනට විරාමය තබමි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/09/22

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම