මුස්ලිම්වරුන්ට එරෙහිව යුධ චෝදනා – ලොව වටා විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


දැන් ලොව පුරා සිදුවන ත්‍රස්ථ ක්‍රියාවන් පිළිබඳව කෙටි විමසුමක් යොමු කරන්නේ නම්, එහිදී ප්‍රබල චෝදනාව එල්ල වන්නේ මුස්ලීම් ප්‍රජාවට යන්න නොරහසකි. මේ හේතුව නිසා එම කාරණය පිළිබඳව ද තරමක් ගැඹුරින් විමසා බැලීමේ වගකීම මුස්ලීම් සමාජයට පැවරී ඇත. ඒ අනුව මෙම විෂය පහත ආකාරයට පැතිකඩ 03 ක් ඔස්සේ විමසා බැලීමට අදහස් කරමි. එනම්,

  • සමස්ථ ලෝකයම මුස්ලීම් සමාජයට ඇඟිල්ල දිගු කරන මෙම ක්‍රියාවෙහි නියැලී සිටින්නේ මුස්ලීම්වරුන් පමණක් ද?
  • මෙම ත්‍රස්ථ ක්‍රියාවන් මඟින් වැඩි තර්ජනයකට ලක්ව සිටින්නේ කුමන ජන කොට්ඨාශය ද?
  • සැබෑවටම මෙම ත්‍රස්ථ ක්‍රියාවන් අප බලන කෝණය නිවැරදි ද?

සමස්ථ ලෝකයම මුස්ලිම් සමාජයට ඇඟිල්ල දිගු කරන මෙම ක්‍රියාවෙහි නියැලී සිටින්නේ මුස්ලීම්වරුන් පමණක් ද?

ත්‍රස්තවාදය” යන නම ඇසූ පමණින් බොහෝ දෙනෙකුගේ සිතේ මැවෙන්නේ මුස්ලීම් සමාජයයි. එයට ප්‍රධාන හේතූන් කිහිපයක් ඇත. ඒ අද ලොව සිදුවන බොහෝ ගැටුම් හා අරඟලවල මූලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ මුස්ලීම්වරුන් වීම සහ ඒ සිදුවන ගැටුම් හා අරගලවලට ඉස්ලාමීය මුහුණුවරක් මාධ්‍යයන් තුලින් ලබාදීමයි. ලොව සෑම ජන සමාජයක් තුලම කලින් කලට විවිධ අරගලයන් නිර්මාණය වීම අප හොඳින් දන්නා කාරණයකි. අප රට සැලකුව ද 83 භීෂණය හා වසර ගණනාවක් පැවති කොටි උවදුර කිසිවකුටත් අමතක කළ නොහැක. මෙම ගැටුම් සඳහා ඔවුන් නියෝජනය කරන ආගම හෝ ජාතිය පදනම් කරගෙන මාධ්‍යයන් තුල කිසිවිටෙකත් සාකච්ඡා කලේ නැත. නමුත් මුස්ලීම් රටක් තුල එවැනි ක්‍රියාවක් හෝ යුධ අරඟලයක් සිදුවන විට එයට සෘජුවම ඉස්ලාම් දහම පදනම් කරගෙන විග්‍රහයන් ඉදිරිපත් කරයි. සරල නිදසුනක් ගෙන හැර දක්වනවා නම් ලෝක යුද සමයේ ලොව පුරා සිටින යුදෙව්වරුන් සමූල ඝාතනය සිදුවන විට ඔවුනට ආරක්ෂාව ලබා දීමට ඉස්ලාමීය රාජ්‍යයක්ව පැවති පලස්තීනය ඉදිරිපත් වී ඔවුනට ආරක්ෂාව සපයන ලදී. නමුත් අවසානයේ සිදු වූයේ එම යුදෙව්වරුන් පලස්තීනය තුල සංවිධානය වී “ඊශ්‍රාඊලය” නම් අලුත් රටක් පලස්තීනය තුල නිර්මාණය කර ගැනීමයි. මෙම යුදෙව්වරුන්ට එරෙහිව අදටත් පලස්තීනය තුල මුස්ලීම්වරුන් තම නිජබිම අත්පත් කර ගැනීම පිණිස සටන් කරයි. මෙම යුද්ධය ජන මාධ්‍යය හුවා දක්වන්නේ කෙසේ ද? “ඉස්ලාමීය ජිහාද් සංවිධාන යුදෙව්වරුන්ට එරෙහිව සටන් මෙහෙයවයි” යනුවෙන් නොවේ ද? අද ඉරාකය, අැෆ්ගනිස්ථානය, ලිබියාව… වැනි රටවල් සැලකුවද එහි සිදුවන්නේ ආගමික කරුණු මූලික කරගත් යුද්ධයක් නොව නිජබිම් අයිතිය වෙනුවෙන් හෝ දේශපාලන කරුණු පදනම් කරගත් යුධ අරඟලයන් පමණි.

මෙවන් ගැටුමන්ට සම්බන්ධ වී ඇති දෙපාර්ශවයම මුස්ලීම්වරුන්ය. ඉතින් එතැන ආගමික අරඟලයක් වන්නේ කෙසේ ද? මීට දශක කිහිපයකට පෙර දකුණේ පැවතී භීෂණය ඔබට මතක ඇති යැයි සිතමි. එහිදී ගැටුණු දෙපාර්ශවයෙම් බහුතරය බෞද්ධයන් ය. එය බුදු දහමේ ත්‍රස්ථ ක්‍රියාවක් යනුවෙන් කවුරුන් හෝ ප්‍රකාශ කලේ නම් එය කොතරම් අන්තවාදී කුහක ප්‍රකාශයක් ද යන්න තේරුම් ගැනීමට ඔබට වැඩි වේලාවක් අවශ්‍ය නොවනු ඇත. ඒ ආකාරයටම අද මුස්ලීම්වරුන් ජීවත් වන බොහෝ රටවල සිදුවන අරඟලයන් හි අරමුණ ආගමික අරමුණක් නොව රට අභ්‍යන්තර කරුණු පදනම් කරගත් අරමුණු යනුවෙන් අවබෝධ කර නොගෙන එයට ඉස්ලාමීය ජිහාද් සංවිධාන ලෙස හෝ ත්‍රස්ථ සංවිධාන ලෙස හුවා දැක්වීමට උත්සාහ කිරීම කොතරම් සාධාරණ වූ ක්‍රියාවක් ද? යන්න තීරණය කිරීම සාමාන්‍ය බුද්ධිය වුවද ප්‍රමාණවත්ය. මෙහිදී සඳහන් කළ යුතු තවත් කාරණයක් ද ඇත. ඒ මේ ලිපියෙහි ආරම්භයේ මා සඳහන් කළා සේ මෙවැනි සමාජ තත්වයන් අවස්ථාවක් කරගෙන මෙය “ශුද්ධ වූ සටනක” යනුවෙන් ඉස්ලාමීය මුහුණුවරයන් එයට ලබා දී මුස්ලීම් ප්‍රජාව නොමඟ යවමින් විවිධ ලාභ ප්‍රයෝජන ලබා ගන්නා විකෘති මානසිකත්වයෙන් පෙලෙන සමහරක් මුස්ලීම් සංවිධාන ද මේ අතර නැතුවා නොවේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ද සිදු කරන්නේ ජිහාද් නමින් මුස්ලීම් ජනතාව ඝාතනය කිරීමයි. අැෆ්ගනිස්ථානය, පාකිස්ථානය වැනි රටවල් ඊට හොද නිදසුනකි. ඔවුන් තම ක්‍රියාව සදහා ඉස්ලාම් ආගමික මුහුණුවරක් ලබා දෙමින් තම සටන සාධාරණීකරණය කිරීමට උත්සාහ කළත් ඒ තුලින් ද සිදුවන්නේ “පනින රිලවුන්ට ඉනිමං බදිනවා” සේ ඉස්ලාම් විරෝධීන්ට තවත් අවස්ථාවන් සලසා දෙමින් සමස්ථ මුස්ලීම් ප්‍රජාවටත් ඉස්ලාම් දහමටත් කැළලක් නිර්මාණය කිරීම පමණි. අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ අපේ රටේ පසුගිය කාලයේ සිදු වූ එල්.ටී.ටී.ඊ අරඟලය සේ ම අද ලොව බොහෝ රටවල සිදුවන යුධ අරඟල තුල පදනම් වී ඇත්තේ ආගමික හේතූන් නොව දේශපාලන හේතුන් ය. එසේම අද ලොව සාපේක්ෂව මුස්ලීම්වරුන් ජීවිත් වන රාජ්‍යයන් තුල අරඟල හා යුධ අධිකව දක්නට ලැබුණ ද ලොව යුධ හා අරඟල කරන එකම ජන කොට්ඨාශය මුස්ලීම්වරුන් නොවේ. ඒ අනුව යුධ අරඟල හා ගැටුම් යන්න මුස්ලීම් සමාජයට පමණක් ආවේණික ක්‍රියාදාමයක් නොවන අතර එය වර්තමාන ජනමාධ්‍යය මුස්ලීම්වරුන් මත බලෙන් පටවන ලද කාරණයකි.

මෙම ත්‍රස්ථ ක්‍රියාවන් මඟින් වැඩි තර්ජනයකට ලක්ව සිටින්නේ කුමණ ජන කොට්ඨාශය ද?

මෙම කාරණය මා ඉහතින් සාකච්ඡෘ කලෙමි. එනම් වර්තමානයේ ලොව පුරා සිදුවන යුධ අරඟල හා ගැටුම් ඔබ බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතු ය. වර්තමානයේ “මුස්ලීම්වරුන් ත්‍රස්ථවාදීන්, ඔවුන් භයානක ජන කොට්ටාශයක්” යනුවෙන් මාධ්‍යයන් තුලින් යටිගිරියෙන් විලාප නඟන ඔය පිරිස මෙම කාරණය එනම් මුස්ලීම්වරුන්ගේ මෙම ක්‍රියාකලාපය මඟින් වැඩි තර්ජනයක්, බලපෑමක් හා හානියක් සිදුවන්නේ කවර ජන කොට්ඨාශයට ද? යන කාරණය මොහොතක් විමසා බැලිය යුතු ය. එසේ විමසුමක් සිදු කලේ නම්, මුස්ලීම් සමාජය පිළිබඳව ලෝකයාට ඇත්තේ මවාගත් බියක් යන්න පහසුවෙන් අවබෝධ කරගත හැක. ඒ සදහා නිදසුන් ඕනෑ තරම් ඉදිරිපත් කළ හැක. ඉරාකය, ලිබියාව, කාශ්මීරය, පාකිස්ථානය, අැෆ්ගනිස්ථානය… යනාදී රටවල් මොහොතක් විමසා බලන්න. මේ රටවල සිදුවන ක්‍රියාවලියන් පදනම් කරගෙන අද “මුස්ලීම්වරුන් ත්‍රස්ථවාදින්” යනුවෙන් චෝදනා නඟයි. එවන් වූ එම රටවල්හි මෙම සටන මැදි වී සිටින දෙපාර්ශවයම කව්රුන්ද? යන්න ඇයි මොහොතක් විමසා නොබලන්නේ. ඔබ පවසනවා සේ “ඉස්ලාම් ත්‍රස්ථවාදය නොඑසේ නම් මුස්ලීම් නොවන පිරිස් ඝාතනය කිරීමට අණ කරන්නේ නම් එම ක්‍රියාවල වර්තමාන මුස්ලීම්වරුන් නියැලෙන්නේ නම් “අද මුස්ලීම්වරුන් අතින් ඝාතනය වන බහුතරය කව්රුන් ද? ඒ මුස්ලීම්වරුන් නොවේ ද? එසේ නම් එය ඉස්ලාම් අවධාරනය කරන යුද්ධයක් යනුවෙන් මවාගත් කාරණයක් පදනම් කරගෙන ඉස්ලාම් විවේචනය කිරීම බුද්ධිමත් ක්‍රියාවක් ද? අද ලොව පුරා මුස්ලීම්වරුන් මුහුණ පාන බොහෝ යුධ ගැටුම්වලට හේතුව ආගම හෝ එහි ඉගැන්වීමන් නොව ලෞකික අරමුණු පමණි.

සැබෑවටම මෙම ත්‍රස්ථ ක්‍රියාවන් අප බලන කෝණය නිවැරදි ද?

මෙම කාරණය ද මීට ඉහත ලිපිවල දීර්ඝ ලෙස සාකච්ඡා කොට ඇත. කෙටියෙන් පවසනවා නම් ඉහතින් ඉදිරිපත් කළ පලස්තීන යුධ තත්වය ශ්‍රී ලාංකීය අපට මුස්ලීම්වරුන් හා යුදෙව්වරුන් අතර පවතින ගැටුමක් ලෙස පෙනෙන්නට පුළුවන. නමුත් සැබැවින්ම ඔවුන් දෙපාර්ශවය කුමන අරමුණු පෙරදැරිව ගැටෙනවා ද? යන්න තරමක් ගැඹුරින් විමසා බැලුවේ නම් ඒ තුල බොහෝ වැරදි මතවාදයන් ඉවත් වී යනු ඇත. සරල නිදසුනක් අපේ රට පදනම් කරගෙන විමසා බැලිය හැක. අපේ රටේ පැවති කොටි උවදුර සාධාරණීකරණය කරමින් නොයෙක් රටවල අදටත් විවිධ වැඩසටහන් දියත් වේ. මේ සියලු පාර්ශවයන් යථාර්තය අවබෝධ කරගෙන ක්‍රියා කරනවා යනුවෙන් හෝ එසේ නොවේ යයි පැවසිය නොහැක. ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවට කිසියම් අසාධාරණයක් පවතින රජයෙන් සිදු වූවා යනුවෙන් විශ්වාස කරන පිරිස් එම යුද අරගලය අදටත් සාධාරණීකරණය කරයි. එලෙසම ලොව පුරා මුස්ලීම්වරුන් අතර සිදුවන අරගලයන් හොඳින් විමසා බැලුවේ නම් එම අරගලවල බොහෝ සාධාරණ වූ තත්වයන් දක්නට ලැබෙනු ඇත. එයට මා පෙර සඳහන් කළ තම නිජබිම දිනාගැනීමට සිදු කරන පලස්තීන යුද්ධය හා වර්තමානයේ බහුතර ජනතා කැමැත්ත මත පාලනයේ සිටි සදාම් හුසෙයින් නෙරපා ඇමරිකානු රූකඩයක් එම තනතුරේ වාඩි කිරීමට එරෙහිව ඉරාකයේ පවතින ගැටුම හොද නිදසුනකි.

මේ අනුව මුස්ලීම් ජනතාව සිතා මතා සැලසුම් සහගත ලෙස කිසියම් කුමන්ත්‍රණයකට නතු කොට ඔවුනට එරෙහිව සමස්ථ ලෝකයාම පෙලගැස්වීමේ ව්‍යාපාරයක් ඉතා සියුම් අන්දමින් ජාත්‍යන්තරය තුල දියත් වී ඇති බවත් එම ව්‍යාපාරයට කඩේ යන සමහරක් පිරිස් අප රට තුල පවා බිහි වී ඇති බවත් ඉහත කරුණුවලින් පහසුවෙන් අවබෝධ කරගත හැකි වනු ඇත. එය මනාව පිළිඹිබු වූ අවස්ථාවක් ලෙස නෝර්වේ හි 2011/07/22 සිදුවීමත් සමඟ අප රටේ සමහරක් පිරිස් මුස්ලීම්වරුන්ට එරෙහිව නොයෙක් ව්‍යාපාරයන් දියත් කිරීම හා ඒ සදහා පිඹුරුපත් සැකසීම සඳහන් කළ හැක. මුස්ලීම්වරුන් ජාතිවාදීන්, ත්‍රස්ථවාදීන් යනුවෙන් චෝදනා ගොඩනඟන්නට වෑයම් කරන පිරිස් ලෝකය හමුවේ කොතරම් පහත් අන්දමින් ක්‍රියා කරනවා ද? යන්න පහසුවෙන් අවබෝධ කරගැනීමට මෙම ලිපි මාලාව මඟින් කිසියම් රුකුලක් ඔබට ලැබුණා යයි මා සිතමි. අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ මෙතෙක් මම ඉදිරිපත් කළ කරුණු තුල ඔබට සිතන්නට බොහෝ දෑ ඉතිරිව ඇති බවයි. විවෘත මනසින් හා මධ්‍යස්ථව හිඳ එම කරුණු විමසා බැලුවේ නම් යථාර්තය ඔබට අවබෝධ වනු ඇත.

මෙම ලිපියට පදනම් වූ “මුස්ලීම්වරුන් සමූල ඝාතන සැලැස්මක්” හා “ජිහාද් නමින් ත්‍රස්ථවාදය හා ඉස්ලාමීය ඉගෙන්වීම” යන ලිපි කියවන්න.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/02/20

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම