IS භීතිය හා ප්‍රීතිය විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මුස්ලීම් ලෝකය තුල මෙන්ම මුස්ලීම් නොවන සමාජය තුල උණුසුම් එසේම භීතිය උපදවන මාතෘකාවක් බවට IS (Islamic State) නොඑසේ නම්, ISIS (Islamic State in Iraq and Syria) යන්න පත්ව ඇත. මේ මාතෘකාව යටතේ ‘යහමග’ බොහෝ දිනක සිට ලිපියක් ඉදිරිපත් කිරීමට අදහස් කර සිටියත් හේතූන් ගණනාවක් නිසා එවැනි ලිපියක් පාඨක ඔබට මෙතෙක් ඉදිරිපත් කිරීමට හැකිවූයේ නැත. (එම හේතූන් මෙහි පහතින් සාකච්චා කෙරේ) එම සංවිධානය සම්බන්ධ සාධාර්ණ, සමබර එසේම බුද්ධිමත් කරුණු ඉදිරිපත් කිරීමක් කරන්න අදහස් කලත් එහි සැබෑ තත්වයන් දැනගැනීමට ඇති නොහැකියාව තුල එවැනි ලිපියක් ඉදිරිපත් කිරීම දිනෙන් දින ප්‍රමාද විය. පැහැදිලි සාක්ෂි නොමැතිවීම තුල ‘යහමග’ මේ විෂය පිලිබදව කථා කිරීමට ඉක්මන් නොවී සිදුවන්නේ කුමක්ද? යන්න විමසුම් ඇසින් හා අවදියෙන් බලා සිටියත්, ක්ෂේත්‍රයේ නිපුනයන් පවා අභිබවා ගොස් ලියන, කියන අප රටේ සමහරක් ඔස්තාර්ලාගේ ක්‍රියා කලාපයන් දැක මේ විෂය පිලිබදව ‘යහමග’ අඩවිය තම වත්මන් ස්ථාවරය මෙන්ම මේ මතභේදයට තුඩු දී ඇති අයි.එස්.අයි.එස්. (ISIS) නොහොත් (දැන්) අයි.එස්. (IS) සංවිධානය සම්බන්ධයෙන් මා පැහැදිලිව දන්නා කරුණු කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසුමට හා දැනුමට ගෙන එන්නට අදහස් කලෙමි. එනම්,

  •  ඔවුන්ගේ ‘ධජය’ පිලිබදව එනම්, එහි පදනම් වී ඇති හා අන්තර්ගත වී ඇති කරුණු,
  •  මේ සංවිධානය සම්බන්ධයෙන් මුස්ලීම් වරයෙකුගේ ස්ථාවරය කුමක් වියයුතු ද එනම්, වත්මන් තත්වය තුල මුස්ලීම්වරයෙකු කටයුතු කලයුත්තේ කෙසේද?, ඔහුගේ වගකීම කුමක්ද?,
  •  ඉස්ලාම් පවසන ‘කිලාෆා (රාජ්‍ය පාලනය)’ හි වැදගත්කම හා එහි අවශ්‍යතාවය කුමක්ද?

IS සංවිධානයේ ධජය,

මේ අනු මාතෘකාව දකින බොහෝ දෙනෙකුට මේකත් මාතෘකාවක්ද?. කථා කරන්න අවශ්‍ය දෑ බොහෝ තිබියදී මේ පිලිබදව කථා කිරීම අවශ්‍යද? යනුවෙන් පැනයක් මතු වන්නට ද පුළුවන. නමුත් මෙම සංවිධානයේ නිළ වශයෙන් ඉදිරිපත් කොට ඇති ධජය සමස්ථ මුස්ලීම් ලෝකයට ම හේතු දෙකක් නිසා වැදගත් වන බව මේ ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට අවබෝධ වනු ඇත. එනම්,

  •  එහි සටහන් වී ඇති පාඨය නිසා,
  •  එහි වර්ණය නිසා,

IS සංවිධානයේ ධජය පාඨය

මුලින්ම එහි සදහන් පාඨය පිලිබදව අවදානය යොමු කලේනම්, එහි ඉදිරිපත් කොට ඇති පාඨය වන්නේ ‘ලාඉලාහ් ඉල්ලල්ලාහ් මුහම්මදු රසූල්ලිල්ලාහ්’ යන්නයි. එය ප්‍රධාන කොටස් දෙකක එකතුවත් ලෙස එහි ඉදිරිපත් කෙරේ (රූපය බලන්න). එනම්,

  •  ඉහලින් – ‘ලාඉලාහ් ඉල්ලල්ලාහ්’
  •  පහලින් – ‘මුහම්මද් රසුල් ලිල්ලාහ්’

මෙහි ඉහත පාඨයන් දෙකෙහි එකතුව එනම්, ‘ලාඉලාහ් ඉල්ලල්ලාහ් මුහම්මදු රසූල්ලිල්ලාහ්’ යන්නයි. මෙය මුස්ලීම්වරුන් වන අප ‘කලිමාව’ යනුවෙන් හදුන්වන්නෙමු. මෙහි සරල අරුථ වන්නේ ‘අල්ලාහ් හැර වෙන දෙවියෙක් නැත. මුහම්මද් ඔහුගේ වක්තෘවරයාය’ යන්නයි. සෑම මුස්ලීම් වරයෙකුම අනිවාර්‍යයෙන් පිලිපැදිය යුතු මූලික ප්‍රතිපත්ති 05 අතුරින් පලමු ප්‍රතිපත්තිය වන්නේ ඉහත ‘කලිමාව’ විශ්වාසයෙන් යුතුව පිලිගැනීමයි. කෙනෙකු ඉස්ලාම් දහම වැලද ගැනීමේ දී ද ඔහු ප්‍රථමයෙන් ප්‍රකාශ කොට පිලිගත යුත්තේ ද ඉහත පාඨයයි. එම පාඨය තම සංවිධානයේ නිළ ධජය තුල සටහන් කොට තිබීම මුස්ලීම් සමාජයට නොවැදගත් කාරණයක් නොවන බව නම් දැන් ඔබට පැහැදිලි වියයුතුය. ඔවුන් ඉස්ලාමීය රාමුව තුල කටයුතු කරන සංවිධානයක් නම්, එහි ප්‍රබල ගැටළු ඇති නොවූවත්, ඔවුන් ඉස්ලාමීය රාමුවෙන් පිටත කටයුතු කරන සංවිධානයක් බවට වර්ථමානයේ හෝ අනාගතයේ පත්වූයේ නම්, එහි ප්‍රබල ගැටළු රාශියක් මතුවේ. එපමණක් නොව මෙතැනදී මුස්ලීම් සමාජයේ විශේෂ අවදානයට සදහන් කලයුතු තවත් කාරණයක් ද ඇත. එනම්, මෙවැනි පාඨයක් තම ධජය තුල අන්තර්ගත කොට තිබීම එම සංවිධානය ඉස්ලාමීය දෘෂ්ඨි කෝණයෙන් කිසිසේත් ‘හරි’ යන්න හෝ ‘වැරදි’ යන්න තීන්දු කරන සාධකයක් නම් නොවන බවයි. (එය පහතින් විස්තර කෙරේ). එම කාරණය ඔබේ බුද්ධිමත් විමසුමට මෙහි තබමින් තවදුරටත් ඉහත පාඨයේ ඉතා වැදගත් කොටසක් වෙත ඔබේ අවදානය යොමු කිරීමට කැමැත්තෙමි.

ඒ එම ධජයෙහි පහතින් සුදු පසුබිමක කළු අකුරින් සදහන් ‘මුහම්මද් රසුල් ලිල්ලාහ්’ යන කොටස වෙතයි. එයත් මුස්ලීම් සමාජයේ විශේෂ අවදානය දිනාගත යුතු ඉතා වැදගත් කොටසකි. එනම් එහි දැක්වෙන්නේ මුහම්මද් (සල්) තුමාණන් ජීවමානව සිටී වකවානුවෙහි. එතුමාණන්ට සාක්ෂරතා ඥානය නොතිබූ නිසා එතුමාණන් තමන්ව තහවුරු කිරීම සදහා නම ලියනවා වෙනුව‍ට යොදාගත් මූද්‍රාවයි. එය මෙහි ඉදිරිපත් කොට ඇති එතුමාණන් විසින් එක්තරා අවස්ථාවක යවන ලද ලිපියෙහි රූපරාමුව තුලින් ද ඔබට මනාව පැහැදිලි වනු ඇත (මේ පිලිබදව ද මීට පෙර මෙම අඩවිය තුල දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත). මෙය මුහම්මද් (සල්) තුමාණන් තම මුදුවෙහි කොටා තිබූ පාඨයක් බවත් ඔබේ දැනගැනීම පිණිස තවදුරටත් මෙහි සටහන් කරමි.

මේ අනුව මතභේදයට තුඩු දී ඇති IS සංවිධානය තම නිළ ධජය වශයෙන් ඉදිරිපත් කරන ධජයෙහි යොදා ඇති පාඨය මුස්ලීම් සමාජයට අවැදගත් හෝ නොසලකාහැරිය හැකි එකක් නම් නොවන බව දැන් ඔබට පැහැදිලි වියයුතුය. එසේම එවැනි උපක්‍රම තම ධජයට යොදාගත් පමණින් එම සංවිධානය ඉස්ලාම් අනුමත සංවිධානයක් යන්නට ද සාක්ෂියක් නොවනු බව ද වටහා ගතයුතුය. එය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් එම ධජය සම්බන්ධයෙන් ඉහතින් සදහන් දෙවන කාරණය වන එහි ‘වර්ණය’ වෙත අවදානය යොමු කරමි. එනම්,

ධජයෙහි වර්ණය

මෙම ධජය ඉහත සංවිධානය කළු පාටින් ඉදිරිපත් කරයි. මෙම වර්ණය ඉස්ලාම් දහමේ අගයන හෝ වර්ණනා කරන විශිෂ්ඨ ඝනයේ වර්ණයක් නම් නොවේ. මා මෙහි එසේ පැවසීමට ප්‍රධාන හේතුවක් ද ඇත. එනම්, අද අප රටේ බොහෝ කාන්තාවන් කළු වර්ණයෙන් ඇදුම් ඇදීමට පුරුදු වී සිටීම හා එය ඉස්ලාම් අවදාරණය කරන වර්ණයක් ලෙස සමහරක් පිරිස් වැරදියට වටහාගෙන සිටීමයි. එසේම මෙම ස්ථානයේ විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ද ඇත. එනම්, ඉහතින් සදහන් මතභේදයට තුඩු දී ඇති සංවිධානයේ ධජයේ වර්ණයෙන් ඇදුම් ඇදීමටත් එය මොස්තරයක් කරගන්න කටයුතු කිරීමටත් සමහරක් තරුණ පිරිස් උනන්දුවක් දක්වමින් සිටී. මෙය ඉතා බොළද ක්‍රියාවක් මිස අගය කලහැකි හෝ අනුමත කලහැකි බුද්ධිමත් ක්‍රියාවක් නම් නොවන බව මෙහි පැහැදිලිව සටහන් කලයුතුව ඇත. එම කාරණය ඔබේ විමසුමට තබමින් මෙම සංවිධානයේ ධජයේ වර්ණය කළුපාට වුයේ ඇයි ද? යන්න තවදුරටත් විමසා බලමු.

මෙම ධජයේ වර්ණය ‘කළු’ වීම ලොව තිබෙන බොහෝ වර්ණයන් අතර තවත් එක් වර්ණයක් මෙහි යොදා ඇත යනුවෙන් නොසලකා හැරි හැකි එකක් නොවේ. ඔවුන්ගේ එම වර්ණ තෝරා ගැනීම සිදුව ඇත්තේ එක්තරා (ඉස්ලාමීය ඉගෙන්වීමන් අන්තර්ගත මූලාශ්‍රයක් වන) හදීසයක් පදනම් කරගෙන යන්න මාගේ දැඩි විශ්වාසයයි. එම හදීසය මෙසේය…

වරක් නබිතුමාණන් මෙසේ පවසන ලදී. එනම්, ‘කුර්රාසාන් දෙසින් කලු කොඩි (ඔසවාගෙන) පැමිණෙනවා ඔබ දුටුවේ නම්, ඔබ බඩගා (කොතරම් දුෂ්කරතාවයන් මධ්‍යයේ) හෝ ඔවුන් වෙත ගොස් එක්වන්න!, මක්නිසාදයත්, අල්ලාහ් (දෙවි)ගේ (අවසාන) කලීෆා වන ඉමාම් මහ්දි සිටින්නේ ඔවුන් අතර ය.’

මූලාශ්‍ර ග්‍රන්ථය – හාකිම්, අහමද්

නැගෙනහිරින් කළු කොඩි මතු වුවහොත් ඔවුන් ඊලියා (බයිතුල් අක්සා) හි පැළ වන තුරු ඔවුන්ව කිසිවෙකුටත් වැළෙක්විය නොහැකිය.

මූලාශ්‍ර ග්‍රන්ථය – හදීස්

ඉහත හදීසයන් දෙකට අමතරව කළු කොඩි සම්බන්ධයෙන් මෙවැනි හදීස් බොහෝමයක් ඉස්ලාමීය මූලාශ්‍රයන් තුල දක්නට ඇත. ඒ අනුව ඉහත මතභේදයට තුඩු දී ඇති IS සංවිධානයේ ධජය කළු වූයේ ඇයිද? යන ගැටළුවට ඔබටත් පිලිතුරක් ලැබී ඇතැයි සිතමි. කෙසේ වෙතත් ඉහත හදීසය හා එවැනි අනිකුත් හදීසයන් සම්බන්ධයෙන් ද කිවයුතු මූලික කාරණයක් ඇත. එනම්, එම හදීසයන් සියල්ල පිලිගත නොහැකි ‘ලයිෆ්‘ නම් තලයේ තිබෙනවා දුර්වල හදීසයන් යන්නයි. ඒ අනුව ‘ලයිෆ්’ හදීස් පදනම් කරගෙන ධජයක් නිර්මාණය කොට ‘අප ඉස්ලාමීය කිලාෆා මේ පොළොව මත ස්ථාපනය කරනවා’ යයි පැවසීම ශුද්ධ වූ කුර්ආනය හා වලංගු හදීසයන් අනුගමනය කරන මුස්ලීම්වරයෙකුට පිලිගත නොහැක.

වාදයකට ඔවුන් ඉදිරිපත් කරන හදීසය වලංගු තත්වයේ පැවතුනත් එයින් මෙම සංවිධානය ඉස්ලාම් අනාවැකි පවසන එම සංවිධානය බව ස්ථීරව පැවසිය නොහැක. මා එයට සරල නිදසුනක් මෙහි පවසන්නම්, නබිතුමාණන් එක්තරා අවස්ථාවක පැවසූවා මේ සමාජය කොටස් වශයෙන් බෙදී භේද වී ගිය විට ‘ජමාතුල් මුස්ලීමීන් සමඟ ඔබ අත්වැල් බැදගන්න. එදින ඔවුන් පමණයි සත්‍ය මාර්ගයේ සිටින්නේ’ යනුවෙන් (වැඩි විස්තර කියවන්න). මේ හදීසය පදනම් කරගෙන පකිස්ථානයේ එක්තරා පිරිසක් ‘ජමාතුල් මුස්ලිමීන් නම් සංවිධානයක් ස්ථාපනය කොට ‘නබිතුමාණන් අනාවැකි පැවසූ එම සංවිධානය අපයි !, අප සමඟ එකතුවූයේ නම් ඔවුන් මුස්ලීම් එසේ නොවේ නම් ඔවුන් මුස්ලීම් නොවේ.’ යනුවෙන් තර්ක කරන ලදී. එම සංවිධානය ලොවපුරා ව්‍යාප්ත වූ අතර අදටත් අප රටේ ද ඔවුන් ක්‍රියාත්මක වේ. මේ ආකාරයට නබිතුමාණන් කළු කොඩියක් පිලිබදව පැවසූ අනාවැකිය පදනම් කරගෙන තම සංවිධානයේ ධජය කළු වර්ණයෙන් ඉදිරිපත් කොට ‘අපි තමයි ඒ පිරිස’ යයි පැවසීම කියූ පමණින් පිලිගතයුතු කාරණයක් හෝ අඟ, මුල, මැද විමසා නො‍බලා ප්‍රතික්ෂේප කලයුතු කාරණයක් නොවන බව පැහැදිලිව වටහා ගතයුතුව ඇත.

එසේම මේ සංවිධානයේ ක්‍රියා කලාපයන් සදහා ඉක්මන් තීන්දු තීරණ ලබාදීමට ද අප ඉක්මන් නොවිය යුතුව ඇත. හැඟීමන්ට වහල් ව හෝ ආවේගකාරී ලෙස තීන්දු තීරණ ගැනීම ද ඉස්ලාම් අනුමත ක්‍රමවේදයක් නොවේ. සියල්ල බුද්ධිමත්ව විමසා බලා ක්‍රියා කිරීමයි ඉස්ලාම් දහමේ ආදර්ශය වන්නේ. එම කාරණය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම ලිපියෙහි මීලඟ කොටස වන

  •  මෙම සංවිධානය සම්බන්ධයෙන් මුස්ලීම් වරයෙකුගේ ස්ථාවරය කුමක් වියයුතු ද එනම්, වත්මන් තත්වය තුල මුස්ලීම්වරයෙකු කටයුතු කලයුත්තේ කෙසේද?, ඔහුගේ වගකීම කුමක්ද?,
  •  ඉස්ලාම් පවසන ‘කිලාෆා (රාජ්‍ය පාලනය)’ හි වැදගත්කම හා එහි අවශ්‍යතාවය කුමක්ද?

යන කාරණය වෙත දැන් අවදානය යොමු කරමු.

ඇත්තටම මොකක්ද මේ සංවිධානය

මේ වනවිට අප රටේ තිබෙන ඉස්ලාමීය සංවිධාන අති බහුතරයක්, එසේම අන්තවාදී හා ජාතිවාදී (ඉස්ලාම් විරෝධි) මුස්ලීම් නොවන සංවිධාන සෑම එකක්ම පාහේ මෙම IS සංවිධානය පිලිබදව තම ස්ථාවරය විවේචනාත්මකව ප්‍රකාශ කොට අවසන් කර ඇත. ඊට අමතරව තවත් පිරිසක් මෙම IS සංවිධානයේ ක්‍රියාකලාපයන් දැක මාන්නෙන් උදම් අනන ආකාරයක් ද සුළු වශයෙන් දකින්නට ඇත. මේ සියල්ල හමුවේ ඉතාම සුළු පිරිසක් මේ IS සංවිධානය සම්බන්ධයෙන් තවම නිහඬ පිලිවෙතක් අනුගමනය කිරීමක් ද දක්නට ඇත. මෙලෙස කවුරුන් කවර ආකාරයකට කටයුතු කලත් මේ සියළු පාර්ශවයන් (එනම්, මුස්ලීම්, මුස්ලීම් නොවන හා ආගමික නොවන විද්වතුන්)ට මේ සංවිධානය සම්බන්ධයෙන් තවම පැහැදිලි කරගත නොහැකි ගැටළු රාශියක් ඇති බව නම්, මෙහි අමතක නොකලයුතුය. එවැනි කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසුමට තබන්නේ නම්,

  •  ඇත්තටම මේ සංවිධානය කුමක්ද?,
  •  ඔවුන්ගේ සැබෑ අරමුණ කුමක්ද?,
  •  ඔවුන්ගේ සැඟවුණු න්‍යායපත්‍රයක් ති‍බේද?,
  •  ඔවුන් සම්බන්ධයෙන් මාධ්‍යයන් තුලින් වාර්ථා වන කරුණු කොතරම් දුරකට සත්‍යද?,

මෙවැනි පැනයන් රාශියක් සදහා පැහැදිලි විග්‍රහයක් තවම ලබාගත නොහැකිවීම තුල ලොවපුරා සිටින බොහෝ විද්වතුන් නිහඬව බලා සිටිය දී අප රටේ සමහරක් මුස්ලීම් සංවිධාන හා ජාතිවාදී කණ්ඩායම් මේ IS පිලිබදව පැහැදිලි නිගමනයන් ට එළඹුණේ කෙසේද? යන්න බුද්ධිමත් සමාජය බුද්ධිමත්ව විමසා බැලිය යුතු කාරණයකි.

ලොවපුරා බොහෝ පිරිසකට කුතුහලයක් වී තිබෙන ඉහත සංවිධානය සම්බන්ධයෙන් අද අප රටේ සමහරක් සංවිධාන තීන්දු තීරණ ප්‍රකාශ කිරීම තුල පැහැදිලිව පෙනෙන ප්‍රධාන කාරණයක් ඇත. ඒ, තම කල්ලියේ හෝ කණ්ඩායමේ පටු න්‍යායපත්‍රය ඉදිරියට ගෙනයාම හා එය සමාජගත කිරීම මිස මුස්ලීම් සමාජයට සත්‍යය අණාවර්නය කිරීම නම් නොවන බව පැහැදිලිය. රටේ දේශපාලන පක්ෂ හා දේශපාලඥයින්‍ සතුටු කිරීමටත්, මේ රටේ මුස්ලීම් විරෝධී ජාතිවාදී කල්ලි හා කණ්ඩායම් සතුටු කිරීමටත්, එසේම තමන් ගැතිකම් දක්වන රටවලට එරෙහිව ‘IS’නම් ඉහත මතභේදාත්මක සංවිධානය කරන ප්‍රකාශවලට එරෙහි වී තමන්ගේ අවනත බව එම රටවලට පෙන්වීමටත්… යනාදී පටු අරමුණු තුල හිඳ ඔවුන් අවසන් තීන්දු තීරණ ප්‍රකාශ කිරීමට සමහරක් පිරිස් ඉක්මන් වූවත් මේ මතභේදාත්මක සංවිධානය පිලිබදව පැහැදිලි අවබෝධයක් ඔවුන්ට නැත යන්න මාගේ දැඩි විශ්වාසයයි. එය ඔවුන්ගේ නිළ ප්‍රකාශයන් හොදින් අධ්‍යනය කරන විට ද මනාව පැහැදිලි වේ.

සමාජ මාධ්‍ය තුලින් තීන්දු තල නොහැක

මතභේදයට තුඩු දී ඇති එම සංවිධානය සම්බන්ධයෙන් එක් පාර්ශවයක් එලෙස එරෙහි වෙද්දී එයට පක්ෂව කථා කරන පාර්ශවයන් ද අප අවට දක්නට ලැබේ. මෙහි විශ්මය ජනක කාරණය වන්නේ මෙහි ඉහතින් සදහන් විරුද්ධ පාර්ශවයට මෙන්ම එකඟ පාර්ශවයට ද බොහෝ විට ‘තම කැමැත්ත අකැමැත්තට’ පදනම් වී ඇත්තේ විවිධ මාධ්‍යයන් තුලින් ප්‍රකාශ කරන පුවත් හා අන්තර්ජාලයේ සමාජ ජාල අඩවීන් වන Youtube (වීඩියෝ), Facebook (පිංතූර හා පණිවුඩ) Blog Site (ලිපි) Tiwitte (පණිවුඩ)… යනාදීය මිස නිළ හෝ තහවුරු කරගත් තොරතුරු නම් නොවේ. මේ තුලින් ම ඉහත දෙපාර්ශවයේම පදනම නිවරුදි නොවන බව ඔබට පැහැදිලිය. දෙවන පාර්ශවය වන එනම්, ඉහත මතභේදාත්මක සංවිධානය අනුමත කරන පාර්ශවය එලෙස අනුමත කිරීමට හේතු වන මනෝවිද්‍යාත්මක සාධකයක් ද ඇති බව අප මෙහි අමතක නොකලයුතුය. එනම්, ඉස්ලාමීය ලෝකය අසාධාර්ණ ලෙස විවිධ පාර්ශවයන්ගේ දරුණු ආක්‍රමණයන්ට ගොදුරු වෙමින් පවතින යුගයක, එසේම එවැනි අවස්ථාවල මැදිහත් විය හැකි මුස්ලීම් ලෝකයේ සමහරක් පාර්ශවයන් පවා නිහඬව බලා සිටින යුගයක මේ මතභේදයට තුඩු දී ඇති IS වැනි සංවිධාන මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් මැදිහත් වීමක් සිදු කරමින් සිටින බවට ප්‍රචාරයන් සිදු කිරීම තුල ලොවපුරා මුස්ලීම්වරුන්ගේ ආකර්ශනය ඔවුන් දිනාගැනීම විශ්මයට කාරණයක් නොවේ. නමුත් එය හැඟීමන්ට වහල් වූ ආකර්ශනයක් මිස බුද්ධිමත් නීරීක්ෂන හා අධ්‍යන තුලින් ලබාගත් පැහැදිලි නිගමනයක් නම් නොවන බව මෙතැන දී පැහැදිලිව සටහන් කලයුතුය.

යහමග ස්ථාවරය

මේ ලිපිය කියවීම තුල ඔබට මේ විෂය සම්බන්ධයෙන් ‘යහමග’ අඩවියේ ස්ථාවරය කුමක්ද?. යන්න පැහැදිලි වියයුතුය. දෙස් විදෙස් මාධ්‍යයන් මතභේදයට තුඩු දී ඇති මේ IS සංවිධානය සම්බන්ධ‍යෙන් කුමන අන්දමේ ප්‍රකාශ නිකුත් කලත්, එයට පක්ෂව විපක්ෂව කවුරුන් කුමන ස්ථාවර පැහැදිලි කලත්, පැහැදිලි අවබෝධයකින් තොරව අපගේ ස්ථාවරයන් හා නිගමනයන් සමාජයට ප්‍රකාශ කිරීමට අප ඉක්මන් නොවිය යුතු යන්න ‘යහමඟ’ ස්ථාවරයයි. විශේෂයෙන් වර්ථමාන දෙස් විදෙස් ජන මාධ්‍ය ඒ සදහා කොහෙත්ම පදනම් කරගත නොහැකි බව පැහැදිලිව අවබෝධකර ගතයුතුය. එහිද විශේෂයෙන් මුස්ලීම්වරුන් සම්බන්ධ ගැටළුවල දී අප රටේ මාධ්‍යයන් ක්‍රියා කරන ආකාරය ද කිසිසේත් පිලිගත හෝ අනුමත කලහැකි තත්වයේ නැත. මෙවැනි පසුබිමක මාධ්‍යය පදනම් කරගෙන තීන්දු තීරණවලට එලඹීම කොතරම් දුරකට බුද්ධිමත් ක්‍රියාවක් වන්නේද?. එපමණක් නොව අප රටේ මාධ්‍යයන් කටයුතු කරන ආකාරය දෙස බැලුවත් එම මාධ්‍යයන් තුල ඉදිරිපත් වන කරුණු පදනම් කරගෙන ද තීන්දු තීරණවලට එළඹිය නොහැකි බව ඔබට පැහැදිලි වියයුතුය. ඊට සමීපතම නිදසුනක් පවසනවා නම්,

ලොව ඉතා කුඩා රටක් වන ශ්‍රී ලංකාව තුල කුඩාම කුඩා නගරයක් වන අලුත්ගම පසුගිය 2014/06/15 දින සිදුකල විනාශය මාධ්‍යයන් විටෙක විකෘති කොටත්, තවත් විටෙක එකින් එකට පරස්පරවත් වාර්ථා කල ආකාරය අප ප්‍රායෝගිකව දුටුවෙමු. එපමණක් නොව සමහරක් මාධ්‍යයන් ඒ සිද්ධිය හමුවේ නිහඬ පිලිවෙතක් අනුගමනය කල ආකාරයත් අප ප්‍රායෝගිකව දුටුවෙමු. එපමණක් නොව එම සිදුවීම ඉහතින් සදහන් Youtube (වීඩියෝ), Facebook (පිංතූර හා පණිවුඩ) Blog Site (ලිපි) Tiwitte (පණිවුඩ)… යනාදීය වාර්ථා කල ආකාරයත් අන්තර්ජාලය තුල අප දුටුවෙමු. එම ප්‍රදේශයේ සැරිසැරූ හා ඒ ඛේදවාචකයට මුහුණදුන් ජනතාව සමඟ කථා කල (අළුත්ගම සිදුවූයේ කුමක්ද? හා අළුත්ගම ජනතාවට සාධාර්ණය ඉටු කරන්න) පිරිසට හැර එහි සැබෑවට සිදුවූයේ කුමක්ද? යන්න තවම සමාජයෙන් වසන් වූ සිද්ධියක් යන්නත් අප දුටුවෙමු.

මේ අනුව අන්තර්ජාලය හෝ පුවත් මාධ්‍යයන් පදනම් කරගෙන ඉහතින් සදහන් මතභේදයට තුඩු ඇති සංවිධාන සම්බන්ධයෙන් තීන්දු තීරණ ප්‍රකාශ කිරීම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. මේ හේතුව නිසා පැහැදිලි තොරතුරක් අනාවර්ණය කරගන්නා තුරු නිහඬ පිලිවෙතක් අනුගමනය කිරීමයි මෙහි බුද්ධිමත් ම ක්‍රමවේදය වන්නේ. ඒ අනුව මෙම සංවිධානය සම්බන්ධයෙන් ‘යහමග’ අඩවියේ අදට ස්ථාවරය වන්නේ,

‘මෙම මතභේදයට තුඩු දී ඇති සංවිධානය සම්බන්ධයෙන් නිගමනයන් ප්‍රකාශ කිරීමට ‘යහමග’ ඉක්මන් ‍නොවන අතර පක්ෂව හෝ විපක්ෂව ප්‍රකාශ නිකුත් කල පාර්ශවයන්ගේ පදනම් විරහිත නිගමනයන් අනුමත කරන්නේ ද නැත.’ යන්නයි.

අවසාන වශයෙන් සටහන් කරන්නට ඇත්තේ අද ලොවපුරා මුස්ලීම්වරුන්ට එරෙහිව සූක්ෂම ලෙස සැලසුම් සැකසෙද්දී හා ඒවා ක්‍රියාත්මක වෙද්දී මෙවැනි සංවිධානවල පිඹිදීම මුස්ලීම් ලෝකයේ දැවෙන අවශ්‍යතාවයක්. නමුත් එය ඉස්ලාමීය රාමුවක් තුල ක‍ටයුතු කරන සංවිධානයක් වියයුතු මිස හුදෙක් ඉස්ලාම් විරෝධීන් පලිගන්නා අන්තවාදී සංවිධානයක් නොවිය යුතුය. එසේම මෙම සංවිධානයේ අවසාන ඉලක්කය මේ පොළොව මත ඉස්ලාමීය ‘කිලාෆා’ එකක් නිර්මාණය කිරීම නම්, එය යුද වාදී අරඟලයක තුල නොව චින්තනවාදී අරඟලයක් තුල ගොඩනඟා ගතයුත්තකි. විශේෂයෙන් ඉස්ලාමීය ඉගෙන්වීමන් හා නබිතුමාණන්ගේ ආදර්ශයන් නොසලකා හැර ගොඩනඟන ‘කිලාෆා’ එකක් මුස්ලීම් ලෝකය කිසිදු දිනක අපේක්ෂා නොකලයුතු අතර එය ඉස්ලාම් අනුමත ක්‍රමවේදයක් ද නොවේ.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/27

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම