රිසානා නෆීක් බේරා ගැනීමට නොහැකි වූයේ ඇයි?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


රිසානා නාෆික් සහෝදරි‍යට හිමි වූ මරණ දඬුවම පිලිබදව අප රට තුල පුළුල් සංවාදයන් දිගින් දිගටම සිදුවෙමින් පවතී. මෙම විෂය කාලීන වශයෙන් වැදගත් මාතෘකාවක් වන නිසාම මේ පිලිබදව විවිධ පැති ඔස්සේ එනම්, ‘රිසානා නෆික්ගේ මරණය හමුවේ කිඹූල් කඳුළු, ‘අපරාධ සදහා වූ නීති හා දඬුවම් – ඉස්ලාමීය විමසුමක්‘ යනාදී ලිපි ඔස්සේ ‘යහමඟ’ අඩවිය තුල විවිධ කරුණූ මීට පෙර සාකච්චා කරන ලදි. නමුත් එම ලිපි බොහෝ විට ආගමික දෘෂ්ඨියෙන් විමසා බැලූ නිසා ඒ තුල පක්ෂපාතී බවක් තිබෙන බවට සමහරක් ‘යහමඟ’ පාඨකයන් විවිධ වූ විවේචනාත්මක අදහස් ඉදිරිපත් කරන ලදී. (එවන් විවේචන එම ලිපිවලට පහලින් ඇති පාඨක ප්‍රතිචාර තුල දැකගත හැක) මෙවන් පසුබිමක රිසානා නෆීක් සහෝදරියගේ මරණ දඬුවම හා ඇයගේ පවුල් පසුබිම පිලිබදව පැහැදිලි විවරණයක යෙදුණු එක්තරා ලිපියක් අන්තර්ජාලය තුල ‘යහමග‘ අවධානයට යොමු විය. එම ලිපිය කාලීන වශයෙන් වැදගත් ලිපියක් ලෙස සලකා ‘බ්ලොග් විමසුම‘ යටතේ ‘යහමග‘ අඩවිය තුලින් මෙලෙස ඔබේ අවධානයට ගෙන එමි.

(උපුටා ගැනීම මෙතැන් සිට...)


රිසානා නෆීක් ගේ මරණ දඬුවමත් සමග එක එක කෝණයෙන් ඉමහත් කතිකාවක් රට පුරා පැතිරී යනු පෙනේ. මෙම ලිපියෙන්, රිසානා නෆීක් බේරා ගැනීමට නොහැකි වූයේ ඇයි යන්න සාකච්චාවාට බඳුන් කරමි. පළමුව රිසානා නෆීක් සොයුරියට පිට රට යාමට සිදුවූ හේතුව සොයා බැලිය යුතු වේ.

රිසානා නෆීක් සොයුරියගේ පියා දර කපමින් ජීවත් වූ තැනැත්තෙකි. එකල පවතී යුද්ධය නිසා කැලයට ගොස් දර කැපීම අවදානම් සහිත විය.

එම නිසා රිසානා නෆීක් ගේ පියාගේ අදායම් මාර්ග දුර්වල විය. සොයුර සොයුරියන් ඉගැන්වීමත්, ගෙදරක් සදා ගැනීමත් රිසානා නෆීක්ගේ අභිප්‍රායන් විය. ගෙදරක් සාදා ගැනීමට ප්‍රධාන හේතුවක් තිබේ. ඒ ඇයට විවාහ වීමටයි. තමන් ගේ ගෙදර තිබෙන තත්වය සාදා නොගත්තොත් දිනක මනාලයෙකු නො ඒ යයි ඇයට සිතෙන්නට ඇත.

මෙම හේතු කොට ගෙන තමන් දක්ෂතා දක්වූ පාසල් අධ්‍යාපනය අතර මග නවතා දමා තම වයසද වෙනස් කරගෙන රට යාමට තීරණය කර තිබේ.

සිදු වූයේ කුමක්ද යයි සියලුම දෙනා දනී.

රිසානා දරුවා මැරුවාද?

නැත.

ඉරිදා දිනක 12.30 ට රිසානා නෆීක් කිරි දෙමින් සිටියදී නාසයෙන් කටින් කිරි ආ බව පවසයි, එම නිසා බෙල්ල ඇත ගෑ බවත්, ඉන් පසු දරුවා ඇස් පියා ගත බවත් පවසයි. ඉන් පසු දරුවාගේ මව ඇතුළු පවුලේ අය ඇයට ගසා පොලීසියට රැගෙන ගොස්, එහිදීද පහරදී මලයාලි පරිවර්තකයකුගෙන් පාපොච්චාරණයක් බලෙන් ගත් බවද පවසා තිබේ. තම පළමු පාපොච්චාරණය නිවැරදි මානසිකත්වයකින් ලබා නොදුන් බවත් පවසා තිබේ. මෙය ඇය උසාවියට දෙවන වර ඉදිරිපත් කල ප්‍රකාශයේ සඳහන් වේ.

ඔව්.

මහාධිකරණ විනිසුරු අබ්දල්ලා අබ්දුල් අසීස් අල් රෝසයිමි පවසන්නේ කිසිම සැකයකින් තොරව රිසානා මැරූ බවට ඔප්පු වූ බවයි.

සාක්ෂි කරුවන් හා පරිවේශනීය සාක්ෂි වලට අමතරව තමන් එය සිදු කල බවට පාපොචාරණය කල බවටත්, තමන් මරණය සිදු කල ආකාරය උසාවියේදී ප්‍රති නිරූපණය කර පෙන්වූ බවත්, කිරි දෙමින් සිටියදී ගෙල සිර කල අයුරු ඇය පවසා සිටි බවත් ඔහු සඳහන් කරයි. වෛද්‍ය වාර්තා රිසානා ගේ ඇගිලි සලකුණු බිලින්දාගේ ගෙලේ තිබෙනු සොයා ගනු ලැබූ බවටද ඔහු සඳහන් කරයි. http://www.arabnews.com/node/299893

දෙදහස් හතේ පළමු තීන්දුව පැමිණි පසුව සිට, දෙදහස් දහය දක්වා මෙම නඩුව උසාවි තුනක විභාග වූ අතර, ඇයගේ නීතිඥ ගාස්තු වලින් මහත් ප්‍රමාණයක් දැරුවේද, එකල ලංකාවේ හොඳ නමක් තිබු වියාපාර අධිපති කෙනෙකු විසිනි. දෙදහස් දහය වර්ෂයේ නඩු විභාග අවසන් වූ අතර රිසානා නොමරුවා යන්න රිසානාගේ නීති වේදීන්ට ඔප්පු කර ගැනීමට නොහැකි විය.

චේතාන්විත පුද්ගලයෙකු මැරූ මිනීමරුවාට දඬුවම මරණ දඬුවම බවත්, එය නැවැත්විය හැක්කේ මල ගිය පුද්ගලයාගේ පවුලේ උදවියට පමණක් බව ඉස්ලාමීය නීතියේ සඳහන් වේ. වන්දි මුදලක් ලබා හෝ නොලබා හෝ පවුලේ උදවියට පමණක් එය සිදු කල හැක. එය නැවත්වීමට එම රටේ රජ තුමාට පවා කල හැක්කක් නොවේ.

නඩුවෙන් තීන්දු වූ පසු රිසානා ට තිබු එකම ගැලවීම පවුලේ අයගේ සමාව පමණි. උසාවි නියෝගයෙන් පසු තුන් වරක් පාර්ශව කරුවන් කැඳවා සමාව දෙන්නේ ද යයි සාමාන්‍යයෙන් විමසන නමුත් ජාත්‍යන්තර බලපෑම් හමුවේ, තුන් වරක් නොව, වසර දෙකක් යන තෙක්, එම දෙමව්පියන්ගෙන් සමාව ඉල්ලා සිටීමට මෙරට නියෝජිතයින් පමණක් නොව එම රටේ රජු පවා උත්සාහ ගෙන තිබුණි.

සමාව දෙන්නේ නම් එම දෙමව්පියන්ට සවුදි රියාල් 3 000 000 දෙන බව රජ පවුලෙන් පැවසු අතර එම දෙමව්පියන්ගේ අනෙක් රෝගී දරුවා ජර්මනියට රැගෙන ගොස් සියලු වෛද්‍ය ප්‍රතිකාර කර දෙන බවට පවසා සමාව දෙන මෙන් ඉල්ලා ඇති මුත් එයටද දෙමව්පියන් කැමති වී නැත. එයට අමතරව ද විවිධ පුද්ගලයන් මහත් උත්සාහයන් දරා ඇති අර, පියා කැමැත්ත පල කලත්, මව කැමති වූයේ නැති බැවින් දඬුවම ක්‍රියාත්මක කිරීමට සිදු වී ඇත .

සවුදි රජය උත්සාහ දැරූ සියලු උත්සාහයයන් ශ්‍රී ලංකා රජය දන්නා බවටත්, ඔවුන් එම කාලයේ ගමින් තිබු උත්සාහයන් ශ්‍රී ලංකා රජය ඇගයීමට පවා ලක් කල බවත් සවුදි රජයෙන් නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.

http://www.arabnews.com/kingdom-laments-wrong-information-maids-execution

රිසානාගේ වයස පිලිබඳ ප්‍රශ්නය

අවසාන මොහොත තෙක් රිසානාගේ නිවැරදි වයස තහවුරු කිරීමට රජය නිවැරදි උත්සාහයක් ගෙන නැත. මරණ දඬුවම ක්රියාත්මක කිරීමත් සමග එල්ල වෙන පීඩන හමුවේ, සවුදි රජය නිකුත් කල මාධ්‍ය නිවේදනය ට අනුවද වයස ඔප්පු කර නොමැති බව පෙනේ. සමහරුන්ගේ මතය අනුව, තම රටේ විදේශ ගමන් බලපත්‍ර හරි හා හොර යනුවෙන් දෙකක් ඇත යයි පිළිගැනීමට වෙන නිසා රජය එය අවදාරණයෙන් ඉස්මතු කර නොමැත.

රිසානාගේ වයස 17 යනුවෙන් පවසා තිබුවද ඇයට එය මරණ දඬුවෙමෙන් බේරීමට ප්‍රමාණවත් නොවේ. මූලික ඉස්ලාමීය නීතියේ වයෝපුර්ණත්වය (Age of Majority) අගයකින් සඳහන් කොට නැත. තමන් කරන ක්‍රියාව පිලිබඳ තමන්ට අවබෝදයක් තිබෙනවානම් එය වයෝපුර්ණත්වය යනුවෙන් සඳහන් වේ.

ලොව සියලු රටවල් ඔවුන්ට ආවේනික වයෝපුර්ණත්ව අගයන් භාවිතා කරයි. සවුදි රජයේ මෙම අගය 18 ලෙස කොන්දේසි සහිතව සලකයි. සවුදි රජය 18 වයෝපුර්ණත්යව ලෙස සැමවිට සලකන්නේද නැත. මෙය ඔවුන් ළමාරක්ෂණ ප්‍රතිඥාවට බැදී ඇති ආකාරය විශ්ලේෂණය කිරීමෙන් මෙය පෙනී යයි.

වයස 17, දින 364 වන පුද්ගලයාගේ වැරැද්දට සමාව දීමත් එයින් දිනක් පසු වූ පුද්ගලයා කරන වැරැද්දට මරණ දඬුවමක් ලබා දීම යන විභීන්න තත්වයට විසදුමක් උදෙසා මෙය පැවතියත් සවුදි නීතිය කෙනෙකුගේ වයෝපුර්ණත්වය කෙසේ ගණනය කරන්නේද යන්න ගැන මේ ලිපිකරුට අදහසක් නොමැත.

රිසානා දරුවා මරා නැත්නම්, කඩ වී ඇති ඉස්ලාමීය නීති,

රාජ්‍ය ත්‍රාන්තිකව හා සැලසුම් සහගත ලෙස රිසානා ඝාතනය කිරීම. මෙය මුළු මිනිස් සංහතියම ඝාතනය කලාට සමාන වේ.

රිසානා දරුවා මරා ඇත්නම් හා ඇය වයෝපූර්ණත්වය ලබා ඇත්නම්, රිසානා නෆීක් සම්බන්දයෙන් කඩ වී ඇති මූලික ඉස්ලාමීය නීති, හා ඔවුන්ට පැනැවෙන දඬුවම්,

රිසානා නෆීක් –

වැරැද්ද – දරුවා කිසියම් හේතුවක් මත චේතාන්විත හා පුර්වවිමර්ශනයක් ඝාතනය කිරීම (උසාවි තීන්දුවට අනුව). ලැබූ දඬුවම – මරණ දඬුවම

සමාජය

තිස් වසරක කුරිරු යුද්ධය මත පියාට අදායම් මාර්ගය අහිමි කිරීම. කාන්තාවන්ට දෑවැද්ද දී විවාහ වෙන ලෙස පවසා තිබුනත් පිරිමින් දැවැද්ද ඉල්ලා සිටීම. මුස්ලිම් වරුන් අනිවාර්යය දුගී බද්ද (2.5%) දුප්පතුන්ට නොගෙවීම. ව්‍යාජ උපන්න සහතික, ව්‍යාජ ගමන් බලපත්‍ර සැකසීම. කාන්තාවක් නෑදෑයෙක් නොමැතිව තනිවම ගමනක යෙදවීම. කාන්තාවක් නෑදෑයෙක් නොමැතිව රට තුලට බාර ගැනීම. වසර දෙකක් යනතුරු තමන් කිරි නොදී නුපුහුණු මෙහෙකාරියට බාර දීම. ඉතා සීමිත කාලයක් තුල තම විවාහයට ගෙදරක් සාදා ගැනීමටත්, සහෝදර සහෝදරියන්ට ඉගැන්වීමටත් යන යහ චේතනාවෙන් ආ පුද්ගලයෙකුගෙන් මරණයක් සිදුවෙන ආකාරයට හැසිරී තිබීම (අනවශ්‍ය වැඩ ගැනීම හෝ වේවා විවේක නොදීම හෝ වේවා) පාර්ශව කරුවන් රාශියක් විසින් රිසානාට මේ ඉරණම අත් කර දුන් නමුත් රිසානා ට පමණක් දඬුවම් කර අත සෝදා ගැනීම.

මේ සියලුම වැරදි වලට ලැබූ දඬුවම් – ව්‍යාජ ලේඛන සැකසීම මත පුද්ගලයන් දෙදෙනුකුට, වසර දෙකකට සිර දඬුවම් හා රිසානා ගේ මව හා පියාට රුපියල් 60 000 බැගින් ගෙවන ලෙස දැන්වීම. අන් සියලුම දෙනාට කිසිත් නැත.

ඔවුන් තම වැරැද්ද සවුදි රජය මත හෝ රිසානා නෆීක් මත පටවා සුවසේ සිටී.

-අබු ඉහ්සාන්-

උපුටා ගැනීම – http://www.lankaenews.com/Sinhala/news.php?id=21780


(උපුටා ගැනීම අවසන්)

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/19

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම