ඉස්ලාම් දහම බල්ලන්ට, බූරුවන්ට සේ කාන්තාවට සලකනවාද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


යහමග අඩවිය තුලින් අද විමසා බලන්නේ පසුගිය දිනක අප රටේ එක්තරා පුද්ගලයෙකු විසින් ඉස්ලාම් දහමට එරෙහිව ඉදිරිපත් කල “මුහම්මද් තබිතුමා තම බිරිඳෑවරන්ට, බල්ලන්ට හා බූරුවන්ට සේ සැලකුවා“ යන චෝදනාව පිලිබදවයි. සමාජය තුල මතභේදාත්මක මතයක් වපුරා ඒ තුලින් “මෝඩචූන්“ එකක් විඳින විකෘති මානසිකත්වයෙන් පෙලෙන ඉහතින් කී විවේචකයා “කෙහෙල් ගහට කොටපු කොට්ටෝරුවා“ සේ මෙවර ඉස්ලාම් දහමට එරෙහිව ඉහත කී විවේචනය ඉදිරිපත් කොට ඇත. උඩින් පල්ලෙන් යමක් අටවාගෙන එයට මුසාවද නැහැමින් එක් කොට “පොර ටොක්“ එකක් විදියට සමාජය ඉදිරියේ පවසමින් සමාජය නොමඟ යැවීම මොහුගේ ජනප්‍රිය හා සුපුරුදු ලක්ෂණයකි. ඔහුගේ අතීතය හොදින් විශ්ලේෂණය කරන ඕනෑම කෙනෙකු එය හොදින් දැකගත හැක. ඒ අනුව ඔහුගේ සුපුරුදු විකෘති මතවාදයන්ට පිලිතුරු දීම අත්‍ය අවශ්‍ය කාරණයක් නොවුනත්,

  • ඔහු මුහම්මද් (සල්) තුමාණන්ට එරෙහිව සමාජය ඉදිරියේ වාදයක් තබා ඇති නිසාත්,
  • ඔහුගේ එම වාදය කර මත තබාගෙන එයට පක්ෂව කථා කරපු සමාජ මාධ්‍යකරුවන් රාශියක් මේ පසුපස සිටිය නිසාත්,
  • ඔහු ඉහත මතවාදය ඉදිරිපත් කිරීමට පදනම් කරගත්තේ “මුස්ලීම්“ නම් හදීස් ග්‍රන්ථයක් වන නිසාත්,

මේ පිලිබදව විමසා බැලීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත. ඒ අනුව ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්න සහ ඔහු ඉස්ලාම් දහමේ මූලාශ්‍රය තුල කියෙව්වා යැයි පවසන එම අල්හදීසය කුමක්ද? යන්න පිලිබදව විමසා බැලීමට ප්‍රථම ලොව අනිකුත් දහමන් හා දර්ශනයන්ට සාපේක්ෂව කාන්තාවට කොතරම් ගෞරවනීය තැනක් ඉස්ලාම් දහම තුල ලබාදී තිබෙනවාද? යන්න බුද්ධිමත්ව විමසා බැලීමට ඔබට ආරාධනා කරන්නට කැමැත්තෙමි. ඒ සදහා යහමග අඩවිය තුල “කාන්තාව“ නම් ගොනුව යටතේ ඉදිරිපත් කොට ඇති ලිපි අතර පහත ලිපි ඔබට පිටුවහලක් වනු ඇතැයි සිතමි.

ඉහත ලිපි ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මුහම්මද් (සල්) තුමාණන් සහ එතුමාණන්ගේ බිරින්දෑවරුන් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ඉහත චෝදනාව වෙත දැන් අවදානය යොමු කරමු.

යමක් ඉස්ලාම් යැයි පැවසීමට නම්, එය ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන අල්කුර්ආනයේ හෝ මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය තුල (එනම් අල්හදීස්) තුල පැවතීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් වේ. මේ දෙකෙහි අන්තර්ගත නොවන කිසිවක් ඉස්ලාම් නොවේ. එසේම අල්හදීසය සම්බන්ධයෙන් අමතර කොන්දේසියක් ද මෙහි සදහන් කලයුතුව ඇත. එනම්, අල්හදීසය තුල පිලිගත හැකි සහ ප්‍රතික්ෂේපිත (එනම් ගොතන ලද) හදීස් ලෙස ප්‍රධාන කොටස් දෙකක් වේ. අල්හදීසයක් සැබෑම හදීසයක්ද? නැද්ද? යන්න විශ්ලේෂණය කිරීම සදහා ඉස්ලාමීය විද්වතුන් ඒකරාශී වී “හදීස් කලාව“ යනුවෙන් වෙනම විෂයක් ද ලෝකයට හදුන්වා දී ඇත. එම නීති පද්ධතියට යටත් වන හදීස් පමණයි “පිලිගත හැකි හදීස්“ ලෙස සලකන්නේ. (මේ පිලිබදව වැඩි විස්තර හදීස් කලාව යන ලිපිය තුලින් ඔබට මෙම අඩවිය තුල කියවීමට පුළුවන.) අල්හදීසය සම්බන්ධයෙන් ඇති මෙම ගැටළුව අල්කුර්ආනය සම්බන්ධයෙන් ඇති නොවේ. එයට හේතුව එය ආරම්භයේ පටන් ‍ෙලිඛිතව ආරක්ෂා වූ ග්‍රන්ථයක්ව පැවතීම නිසයි. මෙම කාරණයන් ඔබගේ වැඩිදුර දැනුමට තබමින් දැන් මාතෘකාවට යොමු වෙමු.

මේ අනුව “ඉස්ලාම් දහම කාන්තාව ‘බල්ලන්‘ හෝ ‘බූරුවන්‘ යන තැන තබා ඇත“ යනුවෙන් නඟන චෝදනාව ඉස්ලාමයේ මූලාශ්‍රයන් වන අල්කුර්ආනය තුල හෝ අල්හදීසය තුල විමසා බැලුවේ නම්,

  • එවැනි සදහනක් හෝ ඊට ආසන්න අරුතින් යුතු සදහනක් අල්කුර්ආනයේ කිසිදු තැනක දක්නට නැත.
  • හදීස් ග්‍රන්ථයන් තුල එවැනි සදහනක් විමසා බැලුවේ නම්, “කාන්තාව“, “බල්ලා“ සහ “බූරුවා“ සම්බන්ධ ප්‍රකාශයක් (ඉහතින් ඔහු ද සදහන් කළ) “මුස්ලීම්“ නම් හදීස් ග්‍රන්ථයේ සදහන්ව ඇත.

ඒ අනුව “මුස්ලීම්“ හදීස් ග්‍රන්ථයේ සදහන් එම ප්‍රකාශය වෙත දැන් අවදානය යොමු කලේනම්. එය මෙසේය...

මස්රුක් බින් අජ්දාඋ (රහ්) මෙසේ පැවසීය. සලාතය ඉටුකරන (යාච්ඤා කරන ඉදිරියෙන්) බල්ලන්, බූරුවන් සහ කාන්තාවන් ගමන් කිරීම එම සලාතය කඩවීමට හේතුවක් වන බවට ආයිෂා (රළි) තුමිය ඉදිරියේ සාකච්චා වුණි. එයට සවන් දුන් ආයිෂා (රලි) තුමිය, “ඔබ (කාන්තාවන් වන) අපව බූරුවන්ට සහ බල්ලන්ට සමාන කර ඇත!. අල්ලාහ් (දෙවි)ගේ කරුණාවෙන්! මම අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් (සල්) තුමාණන් සහ කිබ්ලාව අතර මා වැතිර (නිදා) සිටි අතර ඔහු යාච්ඤා කරමින් සිටියහ...

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලීම්

“සලාත්“ නම් දේව නැමදුම ඉටු කරන විට එම නැමදුම කරන පුද්ගලයා ඉදිරියෙන් ගමන් කිරීම එම නැමදුමට බාධාවක් යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. මේ හේතුව නිසාම මුස්ලීම්වරයෙකු නැමදුමක් ඉටු කිරීමේදී එම නැමදුමට බාධා ඇති නොවන ආකාරයට නැමදුම් ස්ථානයට ඉදිරියෙන් කිසියම් වස්තුවක් තබා බාධකයක් ඇති කරගෙන නැමදුම් ඉටු කිරීම ඉස්ලාම් දහම අවදාරණය කරයි. මෙය ඉස්ලාම් දහමේ “සුත්‍රරා නීතිය“ ලෙස හදුන්වයි. (මේ පිලිබදව වැඩි විස්තර මෙම අඩවිය තුල මීට ඉහත සාකච්චා කල සලාතය නම් ලිපිය තුලින් වැඩිදුර කියවීමට පුළුවන.) “මුස්ලීම්“ ග්‍රන්ථයේ සදහන් ඉහත පුවත තුලින් ද කථා කරන්නේ එම “සුත්රාව“ නම් විෂය පිලිබදවයි. මෙම සුත්රාව පිලිබදව වැඩිදුර අවබෝධයක් පහත පිංතූරය තුලින් ඔබට ලබාගත හැකි වනු ඇත.

දැන් නැවත මාතෘකාවට යොමු වූයේ නම්, ඉහත “මූස්ලීම්“ ග්‍රන්ථයේ සදහන් ඉහත පුවත තුලින් සාකච්චා කෙරෙන්නේ නැමදුමක් කරමින් සිටින විට එම නැමදුමට බාධා සිදුවන ආකාරය පිලිබදවයි. එහිදී දේව වක්තෘ මුහම්මද් (සල්) තුමාණන්ගේ බිරිඳ වන අයිෂා (රලි) තුමිය ඉදිරියේ එක්තරා පුද්ගලයෙකු පවසන්නේ “බල්ලා“, “බූරුවා, සහ “කාන්තාව“ නැමදුමක් ඉදිරියෙන් ගමන් කිරීම එම නැමදුමට බාධාවක් ඇති කරන බවයි. මෙම “මුස්ලීම්“ ග්‍රන්ථයේ සදහන් වන පුවත තුල තේරුම් ගතයුතු ප්‍රධාන කාරණා දෙකක් ඇත. එනම්,

  • මෙම පුවත එනම්, “බල්ලා“, “බූරුවා, සහ “කාන්තාව“ නැමදුමක් ඉදිරියෙන් ගමන් කිරීම එම නැමදුමට බාධාවක් යැයි පවසන තැනැත්තා මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීනයෙකු (සහභිවරයෙකු) නොවේ. එසේම එම පුවත මුහම්මද් (සල්) තුමාණන්ගෙන් ලද පුවතක් ද නොවේ. ඒ අනුව එනම්, “හදීස් කලාව“ අනුව මෙය “හදීසයක්“ නොවන පුද්ගල මතයක් පමණි. මෙය ඉස්ලාම් දහමේ ස්ථාවරය ලෙස කිසිසේත් සැලකිය නොහැක.
  • මෙම පුවත ප්‍රතික්ෂේප කරන්නේ කවුද? යන්න මෙහි ඉතා වැදගත් කාරණයකි. “තාබීන්“ යැයි පැවසෙන එනම්, මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීන හෝ මුහම්මද් (සල්) තුමාණන්ව කිසිදු අවස්ථාවක හමු නොවුනු නමුත් මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීනයන් හමුවුණූ කෙනෙකුගේ ඉහත මතය ප්‍රතික්ෂේප කරන්නේ නබිතුමාණන්ගේ බිරිඳ වන ආයිෂා (රලි) තුමියයි. මුහම්මද් (සල්) නබිතුමා “බල්ලන්ට හා බූරුව්නට සේ සැලකුවා“ යැයි පැවසූ එතුමාණන්ගේ බිරින්දෑවරුන් අතර එක් බිරිදක් වන අයිෂා (රලි) තුමිය එදා එම මතවාදය නිකන්ම ප්‍රතික්ෂේප කරන්නේ ද නැත. ඇයගේ ප්‍රයෝගික අත්දැකීම් වන අල්හදීසයන් ඉදිරිපත් කරමින් ඉහත මතය නිවැරදි නොවන බව අවදාරනය කරයි.

ඉහත කරුණු දෙක හොදින් විමසා බලන්නේ නම්, “මුස්ලීම්“ හදීස් ග්‍රන්ථයේ සදහන් වන ඉහත පුවත හදීසයක් නොවන බවත්, එය ඉස්ලාම් දහමේ පිලිගැනීම හෝ ස්ථාවරය නොවන බවත් පැහැදිලි වේ. (මෙතැනදී ඔබේ වැඩිදුර දැනගැනීම පිණිස සදහන් කලයුතු කාරණයක් ඇත. එනම් හදීස් ග්‍රන්ථයන් තුල මෙවැනි පුද්ගල මතවාදයන් ද සදහන් තිබීම දක්නට ලැබෙන අතර එය තෝරා බේරා ගැනීමට “හදීස් යනු කුමක්ද?“ යන්න සහ “හදීස් කලාව යනු කුමක්ද?“ යන්න පිලිදව මූලික අවබෝධයක් තිබීම අත්‍ය අවශ්‍ය වේ.) මේ අනුව ඉහත චෝදනාව කොතරම් අසත්‍ය පදනම් විරහිත චෝදනාවක්ද? යන්න දැන් ඔබට අවබෝධ වනු ඇතැයි සිතමි.

ඉස්ලාම් දහම හෝ මුහම්මද් (සල්) තුමාණන් “කාන්තාවට“ ඉහත විවේචකයන් පවසන ආකාරයට නොසැලකූ බව තහවුරු කරන අල්හදීස්යන් බොහෝමයක් ඉස්ලාමිය මූලාශ්‍රයන් තුල දක්නට ලැබේ. එවැනි ඉගෙන්වීම් මෙම අඩවිය තුල කාන්තාව නම් ගොනුව යටතේ ඇති ලිපි තුලින් ඔබට කියවීමට පුළුවන් බව ඔබේ වැඩිදුර අවදානයට තබමින්. ඉහත චෝදනාව ඉදිරිපත් කරන “මුස්ලීම්“ හදීස් ග්‍රන්ථයේම සහ එම පරිච්චේදයේම සදහන් තවත් හදීස් කිහිපයක් ඔබගේ වැඩිදුර අවදානයට යොමු කරන්නේ නම්,

ආයිෂා (රළි) තුමිය මෙසේ පැවසුවාය. නබි (සල්) තුමාණන් (කියාමුල්ලෙයිල් නම්) රාත්‍රී සලාතය ඉටු කරන විට මම ඔහු සහ සලාතයේ දිශාව (කිබ්ලා) අතර ජනාසා (මළ සිරුරක්) මෙන් වැතිර සිටියෙමි.

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලීම්

ආයිෂා (රළියල්ලාහු අන්හු) මෙසේ පැවසුවාය. නබි (සල්) තුමාණන් රාත්‍රී සලාතය සම්පූර්ණයෙන් අවසන් කළ පසු ඔහු සහ සලාතයේ දිශාව (කිබ්ලා) අතර වැතිර සිටී මාව ද අවදි කොට දෙදෙනාම අවසානයේ විත්ර් සලාතය ඉටු කරමු.

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලීම්

උර්වා බින් අස්සුබෙයාර් (රහ්) මෙසේ පැවසීය. (මගේ කුඩා මව) අයිෂා (රළි) තුමිය අපෙන්  “සලාතය බිඳ දැමිය හැක්කේ කුමකටද?“ යනුවෙන් විමසීය. එයට අපි පිළිතුරු දුන්නෙමු, “කාන්තාවන් සහ බූරුවන්“ (හරස් කිරීම). ආයිෂා (රලි) තුමිය, "කාන්තාවන් යනු කුමන නපුරු සත්වයන්ද?" අල්ලාහ්ගේ දූතයාණෝ (සල්) තුමාණන් ඔහු යාච්ඤා කරන විට මම ජනාසාවක් මෙන් හරහට ඔහු ඉදිරියෙහි වැතිර (නිදා) සිටිමි.“ යනුවෙන් පැවසීය

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලීම්

ආයිෂා (රළි) මෙසේ පැවසුවාය. මම (රාත්‍රියේ) අල්ලාහ්ගේ දූතයා (සල්) තුමාණන් ඉදිරියෙහි නිදාගන්නෙමි. එවිට මාගේ පාද ඔහුගේ කිබ්ලාවේ (සජූද් කරන ස්ථානයේ) ඇත. ඔහු (ඉරියව්වෙන්) සුජූද් වෙත පැමිණෙන විට ඔවුන්ගේ ඇඟිල්ලෙන් මා ස්පර්ශ කරති. වහාම මම මගේ කකුල් නවන්නෙමි. ඔහු (නැවත) නැගිට්ට විට මම (නැවත) මගේ කකුල් දිගු කරමි. ඒ දවස්වල (අපේ) ගෙවල්වල පහන් (ආලෝක) තිබුණේ නැහැ.

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලීම්

ඉහත හදීසයන් සියල්ල බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, නැමදුමක් ඉදිරියෙන් කාන්තාවක් බාධකයක් ලෙස සිටීම එම නැමදුමට බාධාවක් නොවන බවද පැහැදිලි වේ. එසේ තිබියදී “කාන්තාව“ නැමදුමට බාධාවක් යැයි පැවසීමෙන් නතර නොවී ඇය “බල්ලන්ට“ සහ “බූරුවන්ට“ සම කොට ඉස්ලාම් දහම එනම් මුහම්මද් (සල්) තුමාණන් පවසනවා යැයි පැවසීම අනවබෝධයෙන් දොඩවන අතේ පත්තු වූ “බලු“ හෝ “බූරු“ කථාවක් මිස සත්‍යයක් නොවන බව මෙහි සටහන් කරමින් මෙම ලිපියට විරාමය තබන්න්නේ ඉස්ලාම් විවේචකයින් හට මීට වඩා විද්වත් වාද විවාදයන්ට නුවණැස පෑදේවා! යන පැතුමිනි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/10/23

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම