ඇය බිළිදියක්, තරුණියක්, බිරිදක් හා මවක් - ඉස්ලාමීය විමසුම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


කාන්තාව සම්බන්ධයෙන් ආගමික හා සමාජ පිලිගැනීම අතීතයේ පටන් විවාදාත්මක මාතෘකාවකි. එහි දිගුවක් ලෙස පසුගිය දිනක ශ්‍රී ලාංකිකයෙකු විසින් “ඉස්ලාම් දහම කාන්තාව දකින්නේ කෙසේද?“ යන්න පිලිබදව ඉතා පහත් වාග් මාලාවකින් විවේචනාත්මක මතයක් සමාජය හමුවේ ප්‍රකාශ කිරීම දක්ත්නට ලැබුණි. ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමත්, එසේ අත්අඩංගුවට ගැනීමට විරෝධය ප්‍රකාශ කරමින් අප රටේ සමාජ මාධ්‍ය ඔස්තාර්ලා විවිධ මත පලකිරීමත් සමාජය තරමක් උණූසුම් කරවන කාරණයක් වී ඇත. ඉස්ලාම් දහම හෝ එහි ඉගෙන්වීමන් පිලිබදව කිසිදු අධ්‍යනයකින් තොරව ඉස්ලාම් විරෝධී වෙබ් අඩවියකින් උපුටාගත් කිසිදු පදනමක් නැති කාරණයක් ඉස්ලාම් දහමට එරෙහි චෝදනාවක් ලෙස ඉදිරිපත් කල එම “සිංහ වෙස්ගත්තු සිඟාලයන්“ සේ වූ පිරිසගෙත්, එසේම ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ට හෝ ඉස්ලාම් දහමට එරෙහිව ඉදිරිපත් වන ඕනෑම විවේචනයක් හිස් මුදුනින් තබා ආවඩන සමාජ මාධ්‍ය ඔස්තාර්ලාගේත් බුද්ධිමත් විමසුම පිණිස “සැබෑවටම ඉස්ලාම් දහම කාන්තාව තබා ඇත්තේ කොතැනද?“ යන්න පිලිබදව මූලාශ්‍ර ඉගෙන්වීමන් පදනම් කරගෙන මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

මෙහි මුලින්ම සදහන් කලයුතු කාරණයක් ඇත. එනම් කිසිදු පදනමකින් තොරව ඉස්ලාම් විවේචනය කරන පාර්ශවයන් මීට සියවස් 14 කට පෙර එනම්, ඉස්ලාම් දහම ප‍්‍රකාශ වන අවධිය වනවිට මේ ලෝකය තුල කාන්තාවකට තිබූ සමාජ පිලිගැනීම කුමක්ද? යන්න විමසා බැලිය යුතුය. එසේම ඒ පිලිබදව තමන් අදහන දහම හෝ දර්ශනය තුල තිබෙන ස්ථාවරය කුමක්ද? යන්නත් ඉස්ලාම් දහම විවේචනයට පෙර විමසා බැලිය යුතුය. ඒ පිලිබදව යහමග අඩවිය තුල මීට ඉහත සාකච්චා කල “කාන්තාව පිලිබදව ආගමික හා සමාජීය විමසුමක්“ යන ලිපිය ඔබේ නැවත විමසුමට තබමින් “බිළිදියක්, තරුණියක්, බිරිදක් හා මවක්“ ලෙස ඉස්ලාමී දහම තුල කාන්තාව පිලිබදව ඉගෙන්වීම හා ස්ථාවරය මෙතැන් සිට දැන් විමසා බලමු.

උපතින් උරුම වන ස්ත්‍රි හෝ පුරුෂ ලිංගභේදය ඉස්ලාම් දහම තුල උසස් පහත් භේදයක් ඇති කරවන සාධකයක් නොවනවා යන්න දහමේ මූලික ඉගෙන්වීමයි. තමන් දහම තුල කටයුතු කරන ආකාරය මත පමණක් එය තීන්දු වන බව අල්කුර්ආනය මෙසේ පවසයි.

පුරුෂයකු හෝ ස්ත්‍රියක හෝ වේවා ඔහු විශ්වාසකරන්නකුවී යහපත් ක්‍රියා කරන්නේද නියතවශයෙන් අපි ඔහුට හොද ජීවිතයක් ගෙන යෑමට ඉඩ සලස්වන්නෙමු. තවද ඔවුන් කරමින් සිටි විශිෂ්ඨ දෑ අනුව අපි ඔවුන්ගේ තිළිණ නියතවශයෙන් ඔවුනට ලබා දෙන්නෙමු.

අල්කුර්ආනය 16-97

එසේම ස්ත්‍රී/පුරුෂ සියළුදෙනා එකම ආත්මයකින් නිර්මාණය කල බවත්, එකින් එකා අතර ශාන්තිය, ආදරය ගොඩනඟා ගැනීම පිණිස ස්ත්‍රී හා පුරුෂ යන ආකාරයට භේද ඇති කල බවත් අල්කුර්ආනය තවත් තැනක මෙසේ පවසයි.

එකම ආත්මයකින් නුඹලා මැව්වේ ඔහු(අල්ලාහ්)මය. තවද ඔහුට (ආත්මයට) ඇය සමඟ ශාන්ත ජීවිතයක් ගත කළ හැකි වීම සඳහා (එම ආත්මිකයාගෙන්) තම සහකාරිය (උපැත්) කළේය. 

අල්කුර්ආනය 7-189

මේ අනුව ඉස්ලාම් දහම ස්ත්‍රී හා පුරුෂ යනුවෙන් මිනිස් සමාජය ප්‍රධාන කොටස් දෙකකට ගොනු කොට කථාකලත්, ඔවුන් අතර දැහැමි හා දැහැමි නොවන භේදය මිස වෙනත් කායික ස්වභාවය මත පදනම් වූ උසස් හෝ පහත් භේදයක් නොමැති බව මෙහි තේරුම් ගතයුතුය. අල්කුර්ආනය ඇදහිලිවන්තයන් ඇමතීමේ දී, ඔවුන්ගේ යුතුකම්, අයිතිවාසිකම්, ගුණධර්ම සහ කුසලතා සම්බන්ධයෙන් පිරිමින් සහ කාන්තාවන්ගේ සමානාත්මතාවය අවධාරණය කිරීම සඳහා 'විශ්වාසවන්ත පිරිමින් සහ කාන්තාවන්' යන යෙදුම බොහෝ විට භාවිතා කීරීම මා ඉහත කී තත්වය මනාව පිලිබිඹූ කරන්නකි. එවැනි නිදසුනක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

නියත වශයෙන්ම මුස්ලීම්වරුන් වන පිරිමින්ද, ගැහැනුන්ද,
විශ්වාසීන් වන පිරිමින්ද, ගැහැනුන්ද, 
(දෙවියන්ට) අවනත වන පිරිමින්ද, ගැහැනුන්ද,
සත්‍යයම පවසන පිරිමින්ද, ගැහැනුන්ද,
ඉවසීමෙන් යුතු පිරිමින්ද, ගැහැනුන්ද,
(අල්ලාහ්ට) බිය වී කටයුතු කරන පිරිමින්ද, ගැහැනුන්ද,
දානමාන කරන පිරිමින්ද, ගැහැනුන්ද,
උපවාසයේ යෙදෙන පිරිමින්ද, ගැහැනුන්ද,
තමන්ගේ පතිවත ආරක්ෂා කර ගන්නා පිරිමින්ද, ගැහැනුන්ද,
අල්ලාහ්ව අධික වශයෙන් සුවි ශුද්ධ කරන පිරිමින්ද, ගැහැනුන්ද,
ආදී මොවුන්ට අල්ලාහ් සමාවද, ඉමහත් වූ ඵලවිපාකද සැලසුම් කර තබා ඇත්තේය.

අල්කුර්ආනය 33-35

ඉහත අල්කුර්ආන් වාක්‍යයන් කිහිපය හොදින් විමසා බලන්නේ නම්, ඉස්ලාම් දහම තුල කාන්තාවකට හිමිතැන පිලිබදව මූලික අවබෝධයක් ලබා ගැනීම ඔබට අපහසු නොවනු ඇතැයි සිතමි. මේ විෂය පිලිබදව වැඩිදුරටත් සාකච්චා කල ලිපි කාන්තාව නම් ගොනුව යටතේ යහමග අඩවිය තුල කියවීමේ හැකියාව ද ඇත. එය ඔබේ අවදානයට තබමින් මෙලොව ජීවත් වන සෑම කාන්තාවක්ම තම ජීවිතයේ පසුකරන ප්‍රධාන අදියර 04ක් වන බිළිදියක්, තරුණියක්, බිරිදක්, මවක් යන අදියරයන් තුල ඇය පිලිබදව ඉස්ලාම් දහමේ දැක්ම කුමක්ද? යන්න ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් පදනම් කරගෙන දැන් මෙතැන් සිට වැඩිදුර විමසා බලමු.

බිළිදියක් වූ ඇයව ඉස්ලාම් දහම දකින ආකාරය

ඉස්ලාම් දහම ප්‍රකාශ වූ මුල් සමාජය “ජාහිලියා“ සමාජය ලෙස හදුන්වයි. එම ජාහිලියා සමාජය තුල පැවතී අරාජික ලක්ෂන අතර “ගැහැණු දරුවන් දුර්භාග්‍යයක් ලෙස සලකා පණපිටින් වැලළීමත්, ගැහැණු දරුවකු පිලිසිඳ ගැනීම ලැජ්ජාවට කාරණයක් ලෙස සැලකීමත්“ දක්නට විය. මෙම සමාජ තත්වය අල්කුර්ආනය මෙසේ විස්තර කරයි.

ඔවුන්ගෙන් කෙනකුට ගැහැණු දරුවකු පිළිබඳ ශුභාරංචිය පවසනු ලැබුවහොත්, ඔවුහු කෝපාවිෂ්ට වී ඔහුගේ මුහුණ කළුවන්නේය. (ගැහැණු දරුවකු පිළිබඳව) ඔහුට ලැබුණු නපුරු ආරංචිය හේතු කොට ගෙන, එම අවමානය සමගින් එය තබා ගන්නේද නැතහොත් වැල්ලෙහි සොහොන් කරන්නේ දැයි සිතමින් ඔහු ජනයාගෙන් සැඟවෙන්නේය. ඔවුන්ගේ විනිශ්චය කොතරම් නපුරුද?

අල්කුර්ආනය 16-58 හා 59

අල්කුර්ආනයේ තවත් තැනක...

පණපිටින් වළලනු ලැබූ ගැහැනු දරුවන්ට. “කුමන වරදක් සඳහා ඔබව (පණපිටින් වළලනු ලැබ) ඝාතනය කරනු ලැබුවෙහුද?” යි විමසනු ලබන්නාහ.

අල්කුර්ආනය 81-8 හා 9

ගැහැණු දරුවන් ප්‍රතික්ෂේප කරමින් ඉහත ආකාරයට කටයුතු කල සමාජය මධ්‍යයේ අල්ලාහ් (දෙවි) එම ගැහැණු දරුවන්ගේ උපත පිලිබදව පවසන විට එය පවසන ආකාරය ඉස්ලාම් විවේචනය කිරීමට ඉක්මන් වන බුද්ධිමත් සමාජය විමසා බැලීම අවශ්‍යය. එය මෙසේය...

ඔවුන්ගෙන් කෙනකුට ගැහැණු දරුවකු පිළිබඳ ශුභාරංචිය පවසනු ලැබුවහොත්...

අල්කුර්ආනය 16-58

ඉහත වාක්‍යයට අනුව ගැහැණු දරුවකුගේ උපත සුභාරංචියක් බව අල්කුර්ආනය පවසයි. අල්කුර්ආනයේ කිසිදු තැනක “පිරිමි දරු උපත සුභාරංචියක්“ බව පැවසුවේ නැත. ගැහැණු දරු උපත සුභාරංචියක් බව පැවසීම තුල අල්කුර්ආනය පිරිමි දරුවකුට වඩා උසස් තැනක කාන්තාව ලබාදී කථා කරන ආකාරයක් නොපෙනේද?. අල්කුර්ආනයේ ඉගෙන්වීමට නොදෙවැනි මුහම්මද් (සල්) තුමාණන්ගේ අවවාදයක් වෙත ද අවදානය යොමු කරන්නේ නම්.

“ගැහැණු දරුවෙකු උපත ලැබ ඇය පණ පිටින් නොවළලා, ඇය අගෞරවයට පත් නොකර, ඇයට වඩා පිරිමි දරුවාට වැඩි සැළකිල්ලක් නොදක්වා, ඇය පෝෂණය කරයිද ඔහුව අල්ලාහ් ස්වර්ගයට ඇතුල් කරන්නේය” යනුවෙන් නබි (සල්) ප‍්‍රකාශ කළහ.”

මූලාශ්‍ර ග්‍රන්ථය - අහ්මද්

කාන්තාවකගේ පලමු අවදිය වන බිළිදියක් වූ අවදිය “සුභාරංචියක්“ ලෙස අල්කුර්ආනය ආමන්ත්‍රණය කරන ආකාරයත්, එම දරුවාට උස් පහත් භේදයක් නොපෙන්වා පෝෂණය කිරීම ස්වර්ගයට ඇතුල් කරවන සාධකයක් බව නබිතුමාණන් කරන අවවාදයත් මෙම දහම ඇයව කොතරම් උතුම් වූ තැනක තබා තිබෙනවාද යන්න මනාව කියාපානවා නොවේද?.

තරුණියක් වූ ඇයව ඉස්ලාම් දහම දකින ආකාරය

ඉස්ලාම් දහම ගැහැණු දරුවන් පෝෂණය කිරීම සහ රුකබලා ගැනීම පිලිබදව බොහෝ කරුණු සාකච්චා කොට ඇත. එවැනි අල්හදීස් හෙවත් මුහම්මද් (සල්) තුමාණන්ගේ දිව්‍යමය අවවාද කිහිපයක් මෙහි ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

“දියණියන් තිදෙනෙකු සිට, ඔවුන්ව ඉවසීමෙන් හා කරුණාවෙන් තමන්ගේ හැකියාවට අනූකුලව ඔවුන් හදා වඩා ගත්තේ නම්, ඔවුන් ඔහුට අපාය ගින්නෙන් ආරක්‍ෂාව සපයනු ඇත” යනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ.”

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි

මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පැවසීය. “කිසියම් කෙනෙකු තම දියණියන් දෙදෙනෙකු පරිණත වන තුරු ඔවුන්ට උපකාර කරයිද, ඔහු සහ මම විනිශ්චය දවසේ මේ ආකාරයට පැමිණෙන්නෙමු (යනුවෙන් තම ඇඟිලි දෙක එකට තබා පෙන්වීය).“

මූලාශ්‍ර ග්‍රන්ථය - ඉබ්න්-හන්බල්

අයිෂා (රලි) තුමිය පවසයි. කාන්තාවක් තම දියණියන් දෙදෙනෙකු සමඟ තම නිවසට පැමිණ ආහාරයට යමක් ඉල්ලා සිටියේය. එවිට නබිතුමාගේ භාර්යාව වන ආයිෂා (රලි) තුමියට රටඉඳි ගෙඩියක් හැර වෙන කිසිවක් සොයාගත නොහැකි විය, එය ඇයට ලබා දෙන ලදී. එම කාන්තාව එය තම දියණියන් දෙදෙනාට බෙදා දුන් අතර ඇය කිසිවක් අනුභව කළේ නැත. මෙය නිරීක්ෂණය කල ආයිෂා (රලි) තුමිය නබි (සල්) තුමාණන් නිවසට පැමිණි විට, සිදු වූ දේ ගැන පැවසීය. එයට නබිතුමාණන් “එම කාන්තාව (විනිශ්චය දිනයේදී) ඇගේ දියණියන් දෙදෙනා හේතුවෙන් නිරයේ ගින්නෙන් ඇයට තිරයක් හිමිවන්නේය“ යනුවෙන් පැවසීය

මූලාශ්‍ර ග්‍රන්ථය - හදීස්

“ගැහැණු දරුවෙකු උපත ලැබ ඇය පණ පිටින් නොවළලා, ඇය අගෞරවයට පත් නොකර, ඇයට වඩා පිරිමි දරුවාට වැඩි සැළකිල්ලක් නොදක්වා, ඇය පෝෂණය කරයිද ඔහුව අල්ලාහ් ස්වර්ගයට ඇතුල් කරන්නේය” යනුවෙන් නබි (සල්) ප‍්‍රකාශ කළහ.”

මූලාශ්‍ර ග්‍රන්ථය - අහ්මද්

ඉහත අල්හදීසයන් හොදින් විමසා බලන්නේ නම්, කාන්තාවකගේ දෙවන අවදිය වන “තරුණ“ අවදියේ ඇයව හොදින් පෝෂණය කරමින් හා රුකබලා ගැනීම මරණින් මතු දිනයේ නබිතුමාණන් හා සමීපව සිටීමට තරම් හේතු වන බවත්, එසේ ඔවුන් පෝෂණය කිරීමේ කුසලින්ම අපා ගින්නෙන් ආරක්ෂා වීමටත් එය හේතු වන බවත් පැහැදිලි වේ. මේ සියල්ල තුලින් තහවුරු වන්නේ මෙම දහම ඇයව කොතරම් උතුම් වූ තැනක තබා තිබෙනවාද යන්න නොවේද?.

බිරිදක් වූ ඇයව ඉස්ලාම් දහම දකින ආකාරය

කාන්තාවක් විවාහය තුලින් “බිරිඳ“ නම් ගෞරවනීය තත්වය ලබයි. එතෙක් ස්වාධීනව කටයුතු කල ඇය විවාහයත් සමඟ සාමූහික වගකීම් පිරි දිවියකට ඇතුල් වේ. එම දිවිය තුල යුතුකම්, වගකීම්, ආදරය, දයාව... යනාදී අංග ගණනාවක් පවතී. මේ පිළිබඳ අල්කුර්ආනය පැවසීමේ දී එය මෙසේ විස්තර කරයි.

(ඔබ එක්කාසු වී ජීවත් විය හැකි ඔබගේ) භාර්යයාවන්ව ඔබ ඔවුන් වෙත හිත සුව ලැබීම පිණිස ඔබගෙන්ම ඔහු නිර්මාණය කර, ඔබ අතරේ ආදරයද කරුණාවද ඇති කර තිබීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි. සිතා වටහා ගත හැකි ජනතාවට මෙහිද නියත වශයෙන්ම (එකක් නොව, බොහොමයක්) සාධකයන් ඇත.

අල්කුර්ආනය 30-21

ඉස්ලාම් දහම සමාජයට විවාහය යෝජනා කිරීම තුල මේ සමාජය සුවපත් කිරීමට කටයුතු කරන බව අල්කුර්ආන් වාක්‍ය ගණනාවකින්ම පවසයි. ඉහත වාක්‍යය ද එවැනි එක් වදනකි. නමුත් එය වත්මන් මුස්ලීම් නොවන සමාජය මුස්ලීම් සමාජයට චෝදනා නඟන “තම විවාහය තීන්දූ කිරීමේ අයිතිය කාන්තාවට ඉස්ලාම් දහම ලබාදී නැත“ යන ආකාරයට නොවේ. කාන්තාවකට ඇයගේ කැමැත්ත නොමැතිව කිසිවෙකු විවාහ කර දීමට බල කළ නොහැක. එයට බොහෝ ඉගෙන්වීම ඉස්ලාමීය මූලාශ්‍ර තුල දක්නට ලැබේ. පහත අල්හදීසය ද එයට එක් නිදසුනකි.

අල්ලාහ් (දෙවි) ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමා වෙත ගැහැණු ළමයෙකු පැමිණ “මගේ පියා මාගේ කැමැත්තෙන් තොරව මට විවාහ වීමට බල කළා“ යැයි පැවසීය. එවිට නබිතුමාණන් “එම විවාහය සම්බන්ධයෙන් ඔබ තීන්දුවක් ගන්න“ යනුවෙන් (විවාහය පිළිගැනීම හෝ එය අවලංගු කිරීම) තීන්දු කිරීමේ නිදහස ඇයට ලබාදෙන ලදී. එයට එම කාන්තාව "ඇත්ත වශයෙන්ම මම මෙම විවාහය පිළිගනිමි, නමුත් මට අවශ්‍ය වූයේ දෙමාපියන්ට (ස්වාමිපුරුෂයෙකුට බල කිරීමට) අයිතියක් නොමැති බව කාන්තාවන්ට දන්වන්නටය" යනුවෙන් පවසන ලදී. 

මූලාශ්‍ර ග්‍රන්ථය - ඉබ්නු මාජා

මීට අමතරව විවාහයේ දී ඇයට ලබාදිය යුතු “මහර්“ තොගය, දික්කසාද වීමකදී පිරිමින්ට සාපේක්ෂව ඇයට තිබෙන නිදහස හා වැඩි බලය, විවාහය තුල ඇයට ලබාදිය යුතු ආරක්ෂාව, විවාහය තුලින් ඇයට හිමි වන දේපල අයිතිය... යනාදී ලෙස සෑම සියළු ක්ෂේත්‍රයක් තුලම ඇයට ඉහලම තැනක් ඉස්ලාම් දහම ලබාදී ඇත. සරලවම පවසනවා නම්, “කාන්තාව“ නම් ඇය දෙවියන්ගේ භාග්‍යයන් රාශියකින් පිරි මැවීමකි. එවන් මැවීමක් පිලිකුල් කිරීම හෝ ඇයට වෛර කිරීම දේව මැවීමක් ප්‍රතික්ෂේප කිරීමක් බඳුය. එය අල්කුර්ආනය ද මෙසේ පවසයි.

...තවද (කාන්තාවන් වූ) ඔවුන් සමඟ නුඹලා ගෞරවාන්විත අයුරින් දිවිගත කළ යුතුය. නුඹලා ඔවුන් අප්‍රිය කළ හැකිය. නමුත් එහි (නුඹලා අප්‍රිය කළ දෑහි) අල්ලාහ් බොහෝ හොඳ දෑ සලස්වා තිඛෙන්නට පුළුවන.

අල්කුර්ආනය 4-19

මේ අනුව “බිරිඳ“ යන්න පිරිමියෙකුගේ දිවිය තුල තීරණාත්මක සාධකයක් යන්න අප තේරුම් ගතයුතුය. ඇය සම්බන්ධයෙන් තීන්දු තීරණ ආවට ගියාට තීන්දු ගත නොහැකි බව ද අප තේරුම් ගතයුතුය. මේ පිලිබදව මුහම්මද් (සල්) තුමාණන් කල අවවාදයක් මෙහි ඔබේ අවදානයට ගෙන එන්නට කැමැත්තෙමි. එනම්,

මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පැවසීය. “ඔබගෙන් හොඳම තැනැත්තා වන්නේ ඔහුගේ බිරිඳට හොඳම තැනැත්තාය, ඔබ අතුරින් මගේ පවුලට මම හොඳම කෙනා වෙමි“

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලීම්

වඩාත්ම පරිපූර්ණ ඇදහිලිවන්තයා හැසිරීමෙන් ද හොඳම අය වන අතර ඔබගෙන් හොඳම අය තම භාර්යාවන්ට හොඳම අය වේ. 

මූලාශ්‍ර ග්‍රන්ථය - ඉබුනු මාජා

ඉස්ලාම් දහම පිරිමියෙකු විනිශ්චය කිරීමේ ප්‍රබල බලයක් “බිරිඳ“ නම් කාන්තාවට ලබාදී ඇති ආකාරය ඉහත හදීසයන් දෙක තුලින් පැහැදිලිව පෙනේ. “ඔබ යහපත් ස්වාමියෙක්ද?“ යන විනිශ්චය ඇය සතුය. ඇයගේ යහපත් විනිශ්චය හිමිවීමට නම්, ඇය හා යහපත් අයුරින් කටයුතු කිරීම අත්‍යඅවශ්‍ය වේ. මෙම බලය ඉස්ලාම් දහම කිසිදු තැනක “ඔබලා අතුරින් යහපත් කාන්තාව නුඹලාගේ ස්වාමියාට යහපත් වූ බිරිදයි“ යනුවෙන් පිරිමි පාර්ශවයට ලබාදී නැත. මේ අනුව බැලුවත් ඉස්ලාම් දහම කාන්තාව “බිරිදක්“ ලෙසත් ඉහල ගෞරවනීය තැනක තබා ඇත.

මවක් වූ ඇයව ඉස්ලාම් දහම දකින ආකාරය

ඉස්ලාම් දහම දෙවියන්ට නමස්කාර කිරීම හා සම්බන්ධ කොට දෙමාපියන්ට කරුණාව දැක්වීම හා උපකාර කිරීම පිලිබදව ද කථා කරයි. එවැනි වාක්‍යයක් මෙහි ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

නුඹලා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොඅදහනු තවද දෙමාපියන්ට දයාබර වනු. ඔවුන් දෙදෙනාගෙන් කෙනකු හෝ දෙදෙනාම නුඹ ළඟ මහලු වියට පත්වුවහොත් ඔවුන් දෙදෙනාට උෆ්ෆින් (චි) යනුවෙන් නොකියනු. ඔවුන් දෙදෙනාට දුර්මුඛ නොවනු. ඔවුන් දෙදෙනාට ගෞරව වචනයෙන් ආමන්ත්‍රණය කරනුයි (නබි මුහම්මද්) නුඹගේ රබ්(පරමාධිපති) නුඹට නියෝග කරයි.

අල්කුර්ආනය 17-23

මේ ආකාරයට දෙමාපියන්ගේ වැදගත්කම අවදාරණය කරන ඉස්ලාම් දහම තවත් අල්හදීසයක් තුලින් මවකගේ මහිමය මේ ආකාරයට අවදාරණය කරයි.

මිනිසෙක් මුහම්මද් නබි (සල්) තුමාණන් හමුවට පැමිණ “අල්ලාහ් (දෙවි)ගේ දූතයාණනි, මිනිසුන් අතරින් මාගේ යහපත් ඇසුරට සුදුසුම තැනැත්තා කවුද?“ යනුවෙන් විමසීය. එයට නබි (සල්) තුමාණන් “ඔබේ මව“ යැයි පැවසූහ. එවිට එම මිනිසා විමසුවේ “වෙන කවුද?“කියා ය. එවිට නබි (සල්) තුමාණන්, නැවතත් “ඔබේ මව“ යැයි පැවසූහ. එම මිනිසා නැවතත් “වෙන කවුද?“ යනුවෙන් විමසූ විට නබි (සල්) තුමාණන් “ඔබේ පියා“ යැයි පැවසූහ.

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි සහ මුස්ලිම්

“ජාහිමා (රලි) තුමා, නබි (සල්) තුමාණන් වෙත පැමිණ ‘ශාස්තෘවරයානනි! මම (ඉස්ලාම් දහම ආරක්‍ෂා කිරීමේ) සටනෙහි (ජිහාද්) නිරතවීමට කැමත්තෙන් පසුවෙන්නෙමි’ යනුවෙන් කීවේය. එවිට නබි (සල්) තුමන් ‘ඔබගේ මව ජීවතුන් අතර සිටින්නේ දැයි?’ ප‍්‍රශ්ණ කළහ එම මිත‍්‍රයා ‘එසේය’ යැයි පැවසු විට නබිතුමාණන් ‘ඇයට ඇප උපස්ථාන කරන්න, ඇයගේ පාමුල ස්වර්ගය තිබෙන්නේය’ යැයි පැවසූහ.”

ග‍්‍රන්තය : අහ්මද්, නසායී

ඉහත හදීසයන් දෙක හොදින් විමසා බලන්නේ නම් ඉස්ලාම් දහම තුල උත්තරීතර මව් පදවියට හිමි තැන කොතැනද යන්නත් ඇයගේ පාමුල ස්වර්ගය ඇත යන්නත් පැහැදිලිව වටහා ගතහැක. ඉස්ලාම් දහම මේ ආකාරයට කිසිදු තැනක “පියාගේ පාමුල ස්වර්ගය ඇත“ යනුවෙන් පවසා නැත. කාන්තාවක් ලෙස ලබාගන්නා මව් පදවියට ඉස්ලාම් දහම දෙන ගෞරවය කිසිදු අවස්ථාවක පිරිමි සමාජයට හෝ වෙන කිසිවකට ලබාදුන්නේ ද නැත. ඒ අනුව ඇය මවක් වූ කාන්තාවක් ලෙස ඉස්ලාම් දහම තුල ඉහල ගෞරවය හිමි කරගෙන ඇත.

අවසාන සටහන

“කාන්තාව“ තම දිවිය තුල පසුකරන විවිධ වූ අදියරයන් තුල ඇයට ඉස්ලාම් දහම ලබාදී ඇති තැන පිලිබදව වූ ආගමික ඉගෙන්වීම් කිහිපයක් ඔබේ බුද්ධිමත් අවදානයට ඉහතින් තබා ඇත. එම ඉගෙන්වීමන් තුල කාන්තාව බිළිදියක් ලෙසත්, තරුණියක් ලෙසත්, බිරිඳක් ලෙසත් සහ මවක් ලෙසත් කොතරම් ගෞරවනීය තැනක් හිමි කරගෙන සිටිනවාද? යන්න බුද්ධිමත් කිසිවකුටත් තේරුම් ගැනීම අපහසු නොවනු ඇත. මේ කිසිවක් පිලිබදව නොසලකා ඉස්ලාම් දහම කාන්තාවට නිසි ගෞරවය ලබා නොදෙනවා යැයි දහමට චෝදනා නැඟීම ඔවුන්ගේ අනවබෝධය හා කුහකත්වය ප්‍රදර්ශනය කිරීමක් මිස වෙන කුමක් වියහැකිද?. එය තීරණය කිරීම ඔබටම භාර කරමින් මෙම සටහනට විරාමය තබමි.



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/10/18

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම