අල්කුර්ආනය ගිනිබත් කිරීම හා අපකීර්තියට ලක් කිරීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහමේ මූලික විශ්වාසයන් 06 අතුරින් දේව පුස්තකය (වන අල්කුර්ආනය) විශ්වාස කිරීම ද ප්‍රධාන එකකි. එනම්, “අල්කුර්ආනය අල්ලාහ් (දෙවි) විසින් පහල කරන ලද දිව්‍ය වදන් අන්තර්ගත ලියවිල්ලකි” යන්න එම විශ්වාසයයි. ඒ අනුව “අල්කුර්ආනය” යන්න ලොවපුරා මුස්ලීම්වරුන්ගේ ආගමික විශ්වාසය හා බැඳුනු කාරණයකි. එසේම එයට ගරු කිරීම ඉස්ලාමයේ ආගමික විශ්වාසයේ වැදගත් අංගයකි. මෙම අල්කුර්ආනයට අපහස කිරීම හා එය අපකීර්තියට ලක් කිරීම මුස්ලීම් ලෝකයම කම්පා කරවන සංවේදී කාරණයක් වන අතර එසේ කිරීම සමරක් රටවල දඬුවම් හිමි වන වරදක් ද වේ. උදාහර්ණයකට “අල්කුර්ආනයක් හිතාමතා අපකීර්තියට ලක්කිරීම ඇෆ්ගනිස්ථානය , සෞදි අරාබිය , සෝමාලියාව, පකිස්ථානය... යන රටවල දණ්ඩ නීති සංග්‍රහයට අනුව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ හැකි වරදකි.

මේ ආකාරයට ඉස්ලාමීය ලෝකයේ ඉහල ගරුත්වය හිමි ශූද්ධ වූ ලියවිල්ල වන අල්කුර්ආනය ඉස්ලාම් විරෝධීන් විසින් “ගිනි තැබීම”, “කෙලෙසීම”, “අපකීර්තියට ලක් කිරීම” 20 වන සියවසයේ ජීවත් වන මුස්ලීම් සමාජයට අලුත් කාරණයක් නොවේ. එවැනි වෛරීය ක්‍රියාවේ තවත් දිගුවක් ලෙස 2023/06/28 (පසුගිය හජ් උත්සව) දින ස්වීඩනයේ ද සිදුවීමක් වාර්ථා විය. එම ඉස්ලාම් විරෝධී වෛරීය පහත් ක්‍රියාවට විරුද්ධව සැලකිය යුතු මට්ටමින් යම් යම් පියවරයන් මුස්ලීම් රටවල් ගැනීමත්, ඒ සම්බන්ධයෙන් ස්වීඩන් රජය ද ප්‍රමාද වී හෝ තම ස්ථාවරය සහ කණගාටුව ප්‍රකාශ කිරීමත් හේතුවෙන් යහමග අඩවිය එම පහත් ක්‍රියාවට අනවශ්‍ය ප්‍රචාරයක් නොදීමේ අරමුණින් ඒ පිලිබදව කථා කිරීමෙන් වැලකුණි. නමුත් සියල්ල සිදුවී අවසන් වූ පසු හිටි හැටියේ අද (එනම්, 2023/07/12) දින අප රටේ ජනාධිපති ඉහත සිද්ධිය සම්බන්ධයෙන් ස්වීඩනයේ දී කුරාණයක් ගිනි තැබීමේ සිදුවීම හෙළා දකිනවා යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් අප රට තුල එම සිදුවීම උණුසුම් සංවාදයට බඳුන් කොට ඇත.

මේ හේතුව නිසාම මෙම විෂය එනම්, “අල්කුර්ආනය ගිනිබත් කිරීම හා අපකීර්තියට ලක් කිරීම නම් විකෘතියේ ලෝක ඉතිහාසය” යන කාරණය පිලිබදව මෙහිදී විමසා බැලීමට අදහස් කරමි. ඊට ප්‍රථම යහමග අඩවිය පාඨක ඔබේ බුද්ධිමත් අවදානයට අල්කුර්ආන් පාඨයක් සහ ඒ පිලිබදව වූ කෙටි සටහනක් ගෙන ඒමට කැමැත්තෙමි.

අල්ලාහ් (දෙවි)ගේ ආලෝකය ඔවුන්ගේ මුවින් නිවා දමන්නට ඔවුහු අදහස් කරති. අල්ලාහ් එයට ඉඩ නොතබයි. ප්‍රතික්ෂේප කරන්නන් අකමැති වුවද ඔහු තම අලෝකය පරිපූර්ණ කරන්නේමය.

අල්කුර්ආනය 9-32

ඔව්, ඉස්ලාම් දහමේ දිව්‍ය පුස්තකය වන අල්කුර්ආනය පහල වීම ඇරඹූ මොහොතේ පටන් වර්ථමාන අද දක්වා ම මෙලොව තැන් තැන් හි අඛණ්ඩව දකින්නට තිබෙන සත්‍යය නම්, “අල්ලාහ් (දෙවි)ගේ ආලෝකය (වූ ඉස්ලාමය) මුවින් නිවාදැමීමට” කරන අසාර්ථක උත්සාහයයි. මෙවැනි ක්‍රියාවන් ඉස්ලාම් දහමට වෙස්වලාගත් ආශිර්වාදයක් මිස හානියක් නොවනවා යන්න යහමග අඩවිය ස්ථාවරයයි. මෙවැනි ක්‍රියාවන් නිසා මුස්ලීම් හා මුස්ලීම් නොවන ලෝකය අල්කුර්ආනයේ ඉගෙන්වීමන් කෙරෙහි වැඩි වැඩියෙන් අවදානය යොමු කරන අතර එය ඔවුන් ඉස්ලාම් දහම නිවැරදිව අවබෝධ කරගැනීමට හේතුවේ. මෙම සත්‍යය ඉතිහාසය පුරාවට විවිධ අවස්ථාවල ඔප්පුකොට පෙන්වා ඇත. 2001/09/11 ඇමරිකානු ආර්ථික මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ථ ප්‍රහාරයෙන් පසුව ඇමරිකානු ජනතාව ඉස්ලාම් දහම වැළද ගැනීමේ සීඝ්‍ර වර්ධනයක් පෙන්වීම මෙයට කදිම නිදසුනකි.

ඉහත කාරණයන් ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් “අල්කුර්ආනය ගිනිබත් කිරීමේ හා අපකීර්තියට ලක් කිරීමේ ලෝක ඉතිහාසයේ” වැඩියෙන් කථා බහට ලක් වූ සිද්ධීන් කිහිපයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

  • 2005 - 2005 මැද භාගයේදී, කියුබාවේ එක්සත් ජනපද හමුදා ගුවන්තනාමෝ බේ රැඳවුම් කඳවුරේ මුස්ලිම් සිරකරුවන් ඉදිරියේ අල්කුර්ආනය විනාශ කල පුවතක් වාර්ථා වේ
  • 2010 - 2010 දී, ෆ්ලොරිඩාවේ ගයින්ස්විල් හි පල්ලියක් වන ඩෝව් වර්ල්ඩ් අවුට්රීච් සෙන්ටර් හි ක්‍රිස්තියානි දේවගැති ටෙරී ජෝන්ස් , එක්සත් ජනපදයට එල්ල වූ ඉස්ලාමීය ත්‍රස්තවාදී සැප්තැම්බර් 11 ප්‍රහාරයේ සංවත්සරයේදී කුරානය පුළුස්සා දැමීමට සැලසුම් කරන බව ප්‍රකාශ කොට පසුව ඔහු සැලසුම් අවලංගු කළේය.
  • 2011 - නමුත් 2011 මාර්තු 20 දින, ඔහු එය සිදුකල බව වාර්ථා වේ. ඊට ප්‍රතිචාර වශයෙන් ඇෆ්ගනිස්තානයේ මුස්ලිම්වරු කැරලි ගැසූ අතර 12 දෙනෙක් ඉන් මිය ගියේය.
  • 2011 - 2011 වසරේ Louis Theroux වාර්තා චිත්‍රපටයේ මේගන් ෆෙල්ප්ස් සම්මුඛ සාකච්ඡාවකදී පැහැදිලි කළේ ඔවුන් හිතාමතාම සහ ප්‍රසිද්ධියේ අල්කුර්ආනයේ පිටපතක් පුළුස්සා දැමූ බවයි.
  • 2012 - බංග්ලාදේශයේ සැප්තැම්බර් 29 දා, අල්කුර්ආනය අපහස කරන ආකාරයේ පිංතූර අන්තර්ජාලයට මුදාහැරීම නිසා ඇති වූ කැරලිවලින් නිවාස 25,000ක් පමණ ගිනිබත් වූ බව වාර්ථා වේ.
  • 2012 – 2012 පෙබරවාරි මාසයේදී, ඇෆ්ගනිස්ථානයේ විවිධ ප්‍රදේශවල එක්සත් ජනපද හමුදා අල්කුර්ආනයට අපකීර්තියක් වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධතා ඇති වූ අතර එහිදී පුද්ගලයින් 36 දෙනෙකු මිය ගිය අතර සිය ගණනක් තුවාල ලැබූහ.
  • 2013 - 2013 දී, සෞදි අරාබියේ මක්කම නගරයේ තායිෆ් හි අපජල පද්ධතියේ විවිධ වූ අල්කුර්ආන් පිටපත් 50 කට වඩා වැඩි ප්‍රමාණයක් හමු විය
  • 2013 - ටෙරී ජෝන්ස් නම් තැනැත්තෙකු 2013 සැප්තැම්බර් 11 වන දින අල්කුර්ආනයක් ගිනි තැබීමේ සැලසුමක් තිබුණ ද එය ක්‍රියාත්මක නොවීය.
  • 2013- 2013 ඔක්තෝම්බර් මාසයේදී, අල්කුර්ආනය පාගා දමා එම පින්තූරය ට්විටර් හි පළ කිරීම හේතුවෙන් අපහාස කිරීම සහ ආගමික වෛරය ඇති කිරීම සම්බන්ධයෙන් තුර්කි කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.
  • 2014 - 2014 දී ද තායිෆ් නගරයේම කුණු කූඩවල තිබී අල්කුර්ආනයේ ඉරා දැමූ පිටපත් සොයා ගන්නා ලදී.
  • 2015 - 2015 මාර්තු 19 වන දින, 27 හැවිරිදි ඇෆ්ගන් කාන්තාවක් අල්කුර්ආනය පුළුස්සා දැමූ බව පවසමින් කාබුල්හිදී සිය ගණනක පිරිසක් විසින් ඇයව ප්‍රසිද්ධියේ පහර දී මරා දැමූහ. නමුත් පසුව ඇය එවැන්නක් නොකල බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. එහිදී ඇගේ ඝාතනයට සම්බන්ධ 49 අත්අඩංගුවට ගත් අතර වැඩිහිටි පිරිමින් තිදෙනෙකුට වසර විස්සක සිර දඩුවම් ද, තවත් වැඩිහිටි පිරිමි අට දෙනෙකුට අවුරුදු දහසයක සිර දඩුවම් ද, බාල වයස්කරුවෙකුට වසර දහයක සිර දඩුවමක් ද, පොලිස් නිලධාරීන් එකොළොස් දෙනෙකුට වසරක සිර දඩුවම් ද හිමිවිය.
  • 2016 - 2016 දී, මොරොක්කෝවේ සෞදි අරාබි තානාපති කාර්යාලයේ අල්කුර්ආනය ඉරා කුණු කසළවලට දමා ඇති බව සොයා ගැනීමෙන් මුළු මොරොක්කෝවේ ම කැළඹීමක් ඇති විය.
  • 2016 - 2016 ජුලි 31 වෙනිදා, නොර්මන්ඩි පල්ලියේ ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු මෝල්ටාවේ Mater Dei රෝහලේ බහු ඇදහිලි කාමරයේ අල්කුර්ආනයේ පිටපත් කිහිපයක් මත ඌරු මස් පෙති තැබූ පුවතක් වාර්ථා විය.
  • 2017 - 2017 දී නැවතත් තායිෆ් හි අපද්‍රව්‍ය පද්ධතියෙන් කුර්ආන් පිටපත් විශාල ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.
  • 2017 - 2017 වසරේ ඩෙන්මාර්කයේ අල්කුර්ආනයට අපකීර්තිවන ආකාරයේ රැලි ක්‍රියාත්මක විය. එහිදී එම රැලියට සහභාගි වූ ආධාරකරුවන්ට අල්කුර්ආනය මත මූත්‍රා කරන ලෙස ඉල්ලා සිටි අතර මෙම අල්කුර්ආනය "ජරාව පොතක්" ලෙසත්, මුහම්මද් (සල්) නබිතුමා ළමා ලිංගික මිනීමරුවෙකු ලෙස හැදින්වීය.
  • 2019 - 2019 දී ඩෙන්මාර්කයේ පොලිස් ආරක්ෂාව යටතේ අල් කුර්ආනය පුළුස්සා දැමීය.
  • 2019 - 2019 දී, කයිබාර් නගරයේ කුණු කන්දකින් ඉරා දැමූ කුරාණ පිටපත් සොයා ගන්නා ලදී .
  • 2019 - නෝර්වේ හි අල්කුර්ආනය පුළුස්සා, එය ඉරා දමා, එයට කෙළ ගසාමින් සහ අල්කුර්ආනය පටියකින් බැඳ පාරදිගේ ඇදගෙන යමින් රැලියක් පවත්වා ඇත.
  • 2020 - 2020 අප්‍රේල් මාසයේදී, සෞදි අරාබියේ දී අල්කුර්ආනයට අපහස කරමින් සහ එය පාගමින් පටිගත කල වීඩියෝවක් සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම නිසා දැඩි කැළඹීමක් ඇති විය.
  • 2020 - 2020 ස්වීඩනයේ නගර කිහිපයක කුරානය ගිනි තැබීම් සැලසුම් කර ඇත. එයට එරෙහිව ස්වීඩන් නගරවල කැරලි රාශියක ද ඇති වී ඇත.
  • 2023 - 2023 ජූනි 28 වන දින ස්වීඩනයේ වෙසෙන ඉරාක සංක්‍රමණිකයෙකු වන සල්වාන් මොමිකා, ස්ටොක්හෝම්හි පල්ලිය ඉදිරිපිට අල්කුර්ආනය පිටපතක් පුළුස්සා ඇත. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පදනම් කර ගනිමින් ස්වීඩන් අධිකරණය මෙම පෙළපාළිය සඳහා අවසර ලබා දී ඇත.
  • 2023 - 2023 ජූලි 25 වන දින ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර ඉරාක තානාපති කාර්යාලය ඉදිරිපිට ඩෙන්මාර්ක ජාතික විරෝධතාකරුවෝ දෙදෙනෙක් ශුද්ධ වූ කුරානයේ පිටපතකට ගිනි තැබූහ.කුරානයේ පිටපතක් මෙසේ ගිනි තැබුවේ, ‘ඩෙන්මාර්ක දේශප්‍රේමියෝ’ නමැති සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකි. කුරානයේ පිටපත ගිනි තබද්දී ඒ අසල බිම ඉරාක ධජයක් ද තබා තිබුණි. විරෝධතාකරුවන් මෙසේ කුරානයේ පිටපතක් ගිනි තැබීම කළේ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇතැයි පෙන්වා දෙමිනි.

ඉහතින් 2005 සිට 2023 මේ දක්වා වූ කාලය තුල ලොවපුරා ප්‍රබලව කථාබහට ලක් වූ සිද්ධීන් කිහිපයක් මෙහි පෙලගසා ඇත. මෙම පහත් වෛරීය ක්‍රියාදාමය 2023 ස්වීඩන් සිද්ධියෙන් නිමා නොවනවා යන්න තිත්ත වූ ඇත්තයි. එම කාරණය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් අවසාන වශයෙන් තවත් කාරණයක් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන ඒමට අදහස් කරමි. එනම්,

අල්කුර්ආනය යන්න අහසින් පොළොවට එකවර පහල වූ පුස්තකයක් නොවේ. එය දෙවියන්ගෙන් දේවවක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට පහල වූ පණිවුඩ ලේඛකයන් විසින් මිහිමත දි ලේඛන ගතකල පොතකි. එය ලේඛනයක් (Text) ආකාරයට පවතිනවාද?, ශබ්දයක් (Audio) ආකාරයට පවතිනවාද? නොඑසේ නම්, මිනිස් සිත්වල මතකයන් ලෙස පවතිනවාද? යන්න ආගමික කාරණයක් නොවේ. නමුත් යහපත් මිනිසුන්ගේ සිතු තුල මෙම අල්කුර්ආනය ආරක්ෂා කරන බව නම්, අල්කුර්ආනය මෙසේ පවසයි. එනම්,

“එය (අල්කුර්ආනය) නුවණ ඇත්තාවුන්ගේ සිත්හි පැහැදිලි ආයාවන්ය.”

අල්කුර්ආනය 29-49

එමනිසා වාදයකට තැන් තැන්වල අල්කුර්ආනය ගිනි තියන්න දඟලන ඉස්ලාම් විරෝධීන් සියළුදෙනා ඒකරාශි වී මුළු ලොවම ඇති අල්කුර්ආනය පිටපත් සියල්ල එකවර ගිනිබත් කලත් ඊලඟ මොහොතේ "ලොව (මුස්ලීම්වරුන් වෙසෙන) ඕනෑම කුඩා ගමක කුඩා දරුවෙකු මඟින් මෙම අල්කුර්ආනය නැවත ලේඛන ගතකල හැක" යන්න පොළොවේ යථාර්තයයි. ඒ මේ වනවිට ලොවපුරා මුස්ලීම් සමාජය මෙම අල්කුර්ආනය භක්තියෙන් යුතුව වනපොත් කොට සිටින බැවිණි. එමනිසා,

  • ඉහත අල්කුර්ආනය 9-32 වාක්‍යයෙන් පවසනවා සේ මෙම අල්කුර්ආනය ගිනිබත් කොට ඉස්ලාමය විනාශ කරන්නට උත්සාහ කිරීම අල්ලාහ්ගේ ආලෝකය මුවින් නිවන්නට උත්සාහ කරන අසාර්ථක උත්සාහයක් පමණකි යන්නත්, “පල ඇති රුකටයි පොලු ගහන්නේ” යන සත්‍යයත් නැවත නැවතත් අවදාරණය කරමින් ද,
  • මෙම අවස්ථාව මුස්ලීම් නොවන සමාජයට අල්කුර්ආනය පිලිබදව වූ දැනුම ලබාදීමට හොද අවස්ථාවක් වන බැවින් මෙම තත්වය ආශිර්වාදයක් කරගන්නට මුස්ලීම් සමාජය කටයුතු කලයුතුයි යන පණිවුඩය ලබා දෙමින් ද,
  • මෙවැනි පහත් ක්‍රියාවල නියැලෙන්නන් හමුවේ මුස්ලීම්වරුන් ක්‍රියා කලයුත්තේ කෙසේද? යන්න ඉස්ලාම් දහම පැහැදිලිව පෙන්වාදී ඇති බැවින් ඔවුනට විරුද්ධව ආගමික රාමුවෙන් බැහැරව කටයුතු කිරීමෙන් වැලකෙන්නට මුස්ලීම්වරුන් වන අප වගබලාගමු යන්නද අවදාරණය කරමින් මෙම සටහනට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/07/25

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම