මේ ලෝකයා මෙතරම් ටොක්සික්ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මෙම මාතෘකාව කථා කිරීමට සුදුසුම කාල වකවානුව මෙය බව මට හැඟේ. ඒ නූතන මිනිසා තම ශිස්ඨාචාරයන් හා සංස්කෘතීන් පිලිබදව මහා උජාරුවෙන් කථා කලත්, ලෝකයාටම පාඩම් කියාදෙන තරමින් “මනාව හිතවාදී“ ලෙස පෙනී සිටියත් අප අතුරින් අති බහුතරය එසේ නොවනවා යන්න අප විසින් ම ලෝකයට සනාථ කරමින් සිටින වකවානුවක් අප පසු කරමින් සිටින බැවිණි. මීට අමතරව දිනපතා ලොවපුරා සිදුවන මිනී මැරීම්, ත්‍රස්තවාදී ප්‍රහාර, දරිද්‍රතාවය, ප්‍රචණ්ඩත්වය, අසාධාර්ණ ආක්‍රමණ සහ සාධාර්ණ නොවන තීන්දු තීරණ... යනාදීය තුලින් ද අප කථා කරන තරමින් “මානව හිතවාදී“ නොවන බව තවදුරටත් කියාපාමින් ඇත. සෑම වසරක ම අගෝස්තු 19 දින “මානූෂීයවාදී දිනය“ ලෙස ජාත්‍යන්තර දිනයක් නම් කිරීමෙන් හෝ “ටයි-කෝට්“ එසේත් නැත්නම් සුදු සරම-වේට්ටි ඇන්ද මහත්වරුන් මානව හිතවාදී විවිධ සමිති, සංවිධාන පිහිටුවා ගත්ග පමණින් මේ ලෝකය “මානව හිතවාදී“ නොවේ. සැබෑ මානව හිතවාදියා යනු සියළු මනුෂ්‍ය වර්ගයාගේ යහපත ගැන සැලකිලිමත් වන්නෙකි. මිනිසුන්ගේ දුක් වේදනා වළක්වන සහ සමනය කරන මැදිහත් වන්නෙකි. ඔවුන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, ගෞරවය සහ මිත්‍රත්වය දිරිමත් කරන්නෙකි. කිසිදු පැත්තක් නොගෙන සාධාර්ණව ක්‍රියා කරන්නෙකි, අගතිගාමී සැලකීමකින් තොරව ක්‍රියා කරන්නෙකි, මිනිසුන් අතර සාමය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කරන්නෙකි. මේ සියළු අංග වචනයෙන් නොව මහ පොළොව මත ක්‍රියාවට නඟන්නෙකි.

“ලෝකයා කොතරම් (ටොක්සික්) විෂකුරුද?“ යන මෙම ලිපිය තුලින් මේ දක්වා මා “මානව හිතවාදයකු“ තුල පැවතිය යුතු ගුණාංගයන් පිලිබදව කථා කලෙමි. නමුත් මහ පොළොව මත එය යථාර්තයක් වී තිබේද? යන්න මෙහි විමසා බැලිය යුතුව ඇත. එය කාලීන මාතෘකාවක් තුලින් විමසා බලන්නේ නම්,

ලෝකයේ එකතරා රටක් තිබින. එම රට තුල නව රටක් පිහිටුවීමට ජාත්‍යන්තරයේ ප්‍රබල රටවල් තීන්දු කරවීය. ඒ අනුව එම රටේ කොටසක් ආක්‍රමණය කොට එහි නව රටක් ප්‍රකාශයට පත්කරවීය. එතැනින් ද නතර නොවූ ආක්‍රමණිකයන් දිනෙන් දින එම රටේ ඉතිරි කොටසත් ආක්‍රමණය කරන්න කටයුතු කලේය. මෙය ඉවසා ගත නොහැකි එම රටේ ජනතාව තම අයිතීන් වෙනුවෙන් අරගල කරන්නට විය. අවසානයේ තම අයිතීන් වෙනුවෙන් පෙනීසිටින ජනතාව ත්‍රස්තවාදීන් ලෙස නම් කොට ඔවුන් විනාශ කිරීමේ මෙහෙවරක් ආරම්භ කල අතර එම මෙහෙවරේ නිරත වූ ආක්‍රමණික රටට මානව හිතවාදය සහ මිනිස් අයිතිවාසිකම් පිලිබදව මහා උජාරුවෙන් කථා කරන ලෝක බලවතුන්ගේ පූර්ණ සහය සහ ආශිර්වාදය හිමි විය. එසේ ආක්‍රමණයට ගොදුරු වූ රටේ වත්මන් තත්වය පිලිබදව ඔබට දළ අවබෝධයක් ලබාදෙන්නේ නම්,
* තම රටේ අයිතිය වෙනුවෙන් අරගල කරන ජනතාව ත්‍රස්තවාදීන් ලෙස නම් කොට කුඩා තීරයකට ගොනු කොට ඇත.
* එහි භූමි ප්‍රමාණය වර්ග කි‍ලෝමීටර් 365 තරම් පටු සීමාවකට සීමා කොට ඇත.
* එහි වෙසෙන ජනගහනය (2022 අවසානය වන විට) 2,375,259 පමණ වී ඇත. 
* එහි ජන ඝනත්වය වර්ග කිලෝමිටරයට 6,507 කි.
* එම භූමිය තුල ඉහළ විරැකියාව සහ දරිද්‍රතා අනුපාත, රැකියා අවස්ථා නොමැතිකම මානූෂීය අර්බුද වේ.
* වෙරළ තීරයකට මායිම්ව ඇති මෙම භූමියේ පදිංචිකරුවන් අවම හෝ අඩු මූලික අවශ්‍යතාවයන් සමඟ ජීවත් වෙති. 
* එහි ජනගහනයෙන් 33% ක් දැඩි දරිද්‍රතාවයෙන් පෙලෙන අතර 57% ක් ආහාර අනාරක්ෂිත භාවයෙන් පීඩා විඳිති.
* මොවුන්ගෙන් 80% කට ජාත්‍යන්තර සංවිධාන විසින් ආහාර සපයනු ලබන අතර ඔවුන් මානුෂීය ආධාර සහ ප්‍රදාන මත යැපේ.
* ජනගහනයෙන් සියයට 51 ක් විරැකියාවෙන් පෙළෙන අතර තරුණයින් අතර විරැකියා අනුපාතය සියයට 71 ක් පමණ වේ.
* ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් වන ජලය, ආහාර, බෙහෙත් සහ විදුලිය සියල්ලෙහි පාලනය ඇත්තේ ආක්‍රමණික රට සතුවය.
* ඔවුන්ගේ රට ආක්‍රමණය කල පිරිස් විසින් නිරන්නරයෙන් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් එහ භූමියේ නිවාස, නේවාසික ගොඩනැගිලි සහ යටිතල පහසුකම් විනාශ වී ඇත.

ඉහතින් මා විස්තර කලේ අද වනවිට තම නිජබිම තුලම සරණාගතයින් වී ඝාතකයන්ගෙන් ගැලවී ජීවත්වීමට පොරබදන 2400000 ක පමණ වූ “පලස්තීනයේ ගාසා තීරයේ“ ජනතාව පිලිබදවයි. ආක්‍රමණික ඊශ්‍රායල්වරුන්ගේ දැඩි ප්‍රහාරයන්ට මැදී වී සිටින මෙම පලස්තීන අරඟලය ඉතිහාසය හා වර්ථමානය පිලිබදව යහමග අඩවිය තුල අවස්ථා ගණනාවකදීම දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත. එමනිසා තවදුරටත් මෙහි ඒ පිලිබදව කථා කිරීමට අදහස් නොකරන නමුත් ජනතාව ඉදිරියේ මහත්වරුන් ලෙස පෙනී සිටින ලෝක බලවතුන් යැයි කියාගන්නා පිරිස් විසින් ගත් තීන්දු තීරණ කොතරම් “විෂකුරුද?“ යන්නත්, ඔවුන්ගේ නරුම තීරණවලට අදටත් ආවඩන නරුමයින්ගේ වෙස්මූණූ ඉරා දමා ඔවුන් ද හදවතින් කොතරම් “විෂකුරුද?“ යන්නත් මේ සමාජයට අනාවර්ණනය කිරීම පිණිසත් මේ “ගාසා“ තීරයේ ඉරණම මා අවස්ථාවක් කරගන්න අදහස් කරමි.

2023/10/07 දිනෙන් යලි ඇරඹූ පලස්තීන ඊශ්‍රායල් ගැටුමත් සමඟ ලොව බොහෝ බලවත් රටවල් තම සහය ඊශ්‍රායලයට පල කරන ලදී. මෙම යුද්ධය ආරම්භ වී (2023/11/07) අදට මාසයක් ගෙවී ගොස් ඇතත් ඔවුන්ගේ ස්ථාවරයන්යේ හි කිසිදු වෙනසක් නැත. මෙලෙස ඔවුන් පූර්ණ සහය පලකල එම යුද්ධයේ පැතිකඩ කිහිපයක් අප රටේ ප්‍රධාන පුවත් අඩවියක් තුලින් උපුටා මෙහි ඔබේ බුද්ධිමත් අවදානය පිණිස පෙලගසන්නේ නම්,

මේ ආකාරයට යුධ නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් ඊශ්‍රායලය කරන මේ ප්‍රහාරයන්ට සහය පල කරන්න ඉදිරිපත් වන තරම් රාජ්‍ය නායකයින්ගේ සිත් විෂකුරු වූයේ ඇයි? යන්න මානව දයාව අගයන සමාජය විමසා බැලිය යුතු කාරණයක් නොවේද?. රාජ්‍ය නායකයින් පමණක් නොව අති බහුතරයක් වූ මාධ්‍ය ආයතන සහ විද්වතුන් යැයි පවසා ගන්නා පිරිස් ද මෙම ප්‍රහාරයන්ට සහය පලකරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සුලබව දක්නට ලැබේ. ඔවුන්ගේ සිත් ද මෙතරම් විෂකුරු වූයේ ඇයිද? යන්න විමසා බැලිය යුතු කාරණයකි. විටෙක ඔවුන් කුමක් හෝ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයකට අනුකූලව වැඩ කරනවා යැයි සිතිය හැක. නමුත් කුසගින්න, මරණ බිය, දරුවන්ගේ අනාගතය අස්ථාවරත්ව පිලිබද සැබෑ අත්දැකීම් ඇති පොදු ජනතාව (විශේෂයෙන් අප රටේ) සාමාන්‍ය පොදු ජනතාව අතර සැලකිය යුතු තරම් පිරිස් මෙම ඊශ්‍රායල් ප්‍රහාරයන්ට සහය පල කරන ලෙස අදහස් දැක්වීමත්, වෙබ් පිටුවල සහ සමාජ ජාලවල අදහස් ලිවීමත් දකින විට ඇත්තටම මොවුන්ගේ සිත් මෙතරම් විෂකුරු වූයේ ඇයිද? යන්න වෙනම විමසා බැලිය යුතු කාරණයක් ලෙස පෙනෙනවා නොවේද?.

සමාජය තුල සිදුවන ඉතා සුළු සංවේදී කාරණයකදී පවා අන්තර්ජාලය තුල විශේෂයෙන් සමාජ මාධ්‍ය තුල දවස් ගණන් සහ පිටු ගණන් මානව දයාව දෝරේ ගලන අප සමාජයට මේ අමු අමුවේ වර්ග කිලෝමීටර් 365 ක භූමියක් තුල වෙසෙන ලක්ෂ 24 ක ජනතාවක් මධ්‍යයේ (2023/11/02 දින වාර්ථාවකට අනුව) මේ වනවිට ස්ථාන 12000 කට මිසයිල ප්‍රහාර එල්ල කොට 9000 කට අධික ජනතාවක් (එයින්ද දරුවන් 3468 ක්) ඝාතනය කොට 22000 කට අධික පොදු ජනතාවක් තුවලකරුවන් කොට එයින් ද නතර නොවී ඔවුන්ගේ මූලික අවශ්‍යතා වන ආහාර, ජලය, බෙහෙත්, විදුලිය... යනාදී පහසුකම් ද කප්පාදු කොට එම භූමියම සරණාගත කඳවුරක් කර ඇති මේ ඊශ්‍රායල්වරුන්ගේ නරුම ක්‍රියාව නොතේරෙන්නේ ඇයිද?. එම තීරය තුල වෙසෙන 80% ක ජනතාවක් ජාත්‍යන්තරයෙන් ලබාදෙන මානුෂීය ආධාර මත යැපෙන බව දැන දැනත් එය ලබාදීමට පවා විවිධ තහංචි පනවමින් එය සීමා කිරීම කොතරම් මිලෙඡ්ච ක්‍රියාවක්ද?. පසුගිය වසර තුන තුල එනම් මෙවැනි යුද තත්වයක් නොපැවති වකවානුවක “ගාසා“ තීරයට මානූෂිය ආධාර ලබාදීමේදි විවිධ තහංචි පැනවූ ආකාරය පහත සංඛ්‍යාලේඛණ තුලින් ඔබට වටහා ගතහැක. එනම්,

  • 2020 දී ජාත්‍යන්තර මානුෂීය ආධාර ට්‍රක් රථ 96000 කට “ගාසා“ තීරයට ඇතුල් වීමට අවසර ලබාදෙන ලදී.
  • 2021 දී ජාත්‍යන්තර මානුෂීය ආධාර ට්‍රක් රථ 84,000 කට එය සීමා කරන ලදී.
  • 2022 දී අවසර දුන් ජාත්‍යන්තර මානුෂීය ආධාර ට්‍රක් රථ ප්‍රමාණය 80,000 කට පමණි.
  • එසේනම් යුද්ධයක් පවතින දැන් එහි වෙසෙන ලක්ෂ 24 ක ජනතාවගේ ඉරණම මොහොතක් සිතා බලන්න?

ලෝක යුධ සමයේ සමස්ථ [[හිට්ලර් විසින් යුදෙව්වන් සොය සොයා සමූල ඝාතනය කරන විට ලෝකයම යුදෙව්වන්ට තම රට තුල ඉඩක් ලබාදීම ප්‍රතික්ෂේප කල මොහොතේ]] පලස්තීන භූමිය තුල ඔවුනට සරණක් ලබාදෙන ලදී. ඒ පලස්තීන වැසියන්ගේ භූමිය අද ඔවුන් ආක්‍රමණය කොට තම නිජබිම තුලම ඉහතින් සදහන් ආකාරයට සරණාගතයින් වී දුක්විඳින ඔවුන්ද අප වැනිම හැඟීම් දැනීම් ඇති මිනිසුන් බව තේරුම් ගත නොහැක්කේ ඇයිද?. එවන් වූ එම ජන කොටසකට එරෙහිව විවිධ ප්‍රකාශ නිකුත් කිරීමට තරම් ඔබේ මනස මෙතරම් විෂකුරු වූයේ ඇයිද? යන්න ඔබ ඔබෙන්ම විමසා ගතයුතු පැනයකි. එසේ ඔබ බුද්ධිමත්ව හා සාධාර්ණව මුළු හඳවතින්ම විමසා බලන්න නම්, එම පලස්තීන වැසියන්ට එරෙහිවීමට හෝ ඔවුන්ට එල්ල වන ප්‍රහාරයන් බලා සතුටු වීමට ඔබට ඇත්තේ එකම එක හේතුවක් පමණි. ඒ, “ඔවුන් මුස්ලීම් වීම පමණි.

මෙය අල්කුර්ආනය ද එක්තරා අවස්ථාවක මෙසේ පවසයි.

නුඹලාට යම් යහපතක් වුවහොත් එය (මුස්ලීම් වි‍රෝධි) ඔවුනට ශෝකය ගෙන දෙන්නකි. නුඹලාට යම් විපතක් වුවහොත් ඔවුහු ඒ ගැන මහත්සේ සතුටු වෙති...

අල්කුර්ආනය 3-120

අප කථාවෙන් කොතරම් ශිෂ්ඨ වූවත්, ලියන Post හා comments වලින් කොතරම් මානව හිතවාදී වූවත් අප තුල සිටින සැබෑ මිනිසා විෂකුරු නරුමයකු බව රටත් ලෝකයත් පලස්තීන අර්බුදය තුල ඕනෑවටත් වඩා ඔප්පු කොට අවසානය. ජාත්‍යන්තරය තුල පමණක් නොව ශ්‍රී ලාංකීකයන් ලෙස ද අප රටේ බොහෝ දෙනෙකු අප ද ජාත්‍යන්තරයට දෙවැනි නොවන බව ඔප්පු කොට අවසානය. මෙතැනදී අපට දැනෙන අත්දැකීමක් මෙහි පවසන්නම්, එනම්, LTTE යුද සමයේ අපේ රටේ ද්‍රවිඩ ජනතාවට අසාධාර්ණයක් වූ බවට ජාත්‍යන්තරය අපට පදනම් විරහිතව චෝදනා නඟද්දී අප එයට එරෙහිව අරඟලවල නිරත වූයේමු. නමුත් පලස්තීන ජනයාට එරෙහිව ඊශ්‍රායලය අමු අමූවේ ජාත්‍යන්තර යුද නීති උල්ලංඝනය කරමින් ඔවුන් සමූල ඝාතනය කරමින් සිටින මේ මොහොතේ ශ්‍රී ලාංකීය අපට එරෙහි වූ ඒ ජාත්‍යන්තරය ත්‍රස්තවාදී ඊශ්‍රායලයට සහය පල කරමින් පීඩිත ජනයාට එරෙහි කටයුතු කරමින් සිටින විට ශ්‍රි ලාංකීය අපද ජාත්‍යන්තරය සමඟ අත්වැල් බැඳ පලස්තීනයට එරෙහිව ප්‍රකාශ නිකුත් කරමින් කාලකන්නි සතුටක් ලබන්නෙමු. බාහිරින් මානව හිතවාදී ලෙස පෙනී සිටින අප අභ්‍යන්තරිකව කොතරම් විෂකුරු ද යන්නට මීටත් වඩා සාක්ෂි අවශ්‍යද?. මෙවැනි ගුණාංග අප තුල පවතීද? අපත් (Toxic) විෂකුරු මිනිසුන්ද? යන්න බුද්ධිමත්ව තීරණය කිරීම ඔබටම භාර කරමින් මෙම සටහනට විරාමය තබමි.



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/11/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම