ආගම් ලොව පවතිනතාක් තොටවත්තලාත් පවතිනු ඇත

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ආගම දහම විවේචනය කිරීම සහ අපහසයට ලක් කිරීම ජාත්‍යන්තරය තුලත්, ජාතික තලය තුලත් සුලභ කාරණයක් බවට පත්වෙමින් ඇත. විශේෂයෙන් මෑත කාලීන ශ්‍රී ලාංකීය සමාජය තුල මෙහි ප්‍රවණතාවයක් වර්ධනය වෙමින් ඇත. මෙයට සමීප නිදසුන් ලෙස වරක ඥානසාර, වරක රාසික්, වරක සේපාල, වරක ජෙරමි, වරක නටාශා... දැන් තොටවත්ත මෙහි සදහන් කල හැක. කිසිදු පදනමක් නැති තමන් ඇසූ විරූ කරුණු මත පදනම් වූ තර්ක හා වාද ඉදිරිපත් කරමින්, සමාජය තුල ජනප්‍රියත්වය හෝ වෙනත් ලෞකික වාසියක් අපෙක්ෂාවෙන් කටයුතු කරන මෙම පිරිසට යමක් පැහැදිලි කරදීම පහසු නොවේ. ඒ ඔවුන්ත්ගේ සිත් තුල සත්‍ය අවබෝධ කරගැනීමේ උවමනාවට වඩා යමක් විවේචනය කිරීමේ සහ අපහසයට ලක් කිරීමේ විකෘති උවමනාව බලගතු බැවිනි. එමනිසා එවැනි විවේචකයින්ට නොව සැබෑ සත්‍යය සොයන බුද්ධිමත් ජනයාගේ අවදානය පිණිසත්, ඉහත සදහන් විකෘති මතවාදීන්ගෙන් ජනයා ආරක්ෂා වීම පිණිසත් යහමග අඩවිය ඔබේ අවදානයට කරුණු කිහිපයක් මෙහි ගෙන එන්නට අදහස් කරමි. එනම්,

මිනිස් සමාජය යහමග යොමු කරවීම පිණිස ලෝකය හමුවේ ප්‍රකාශ වී ඇති දහමන් හා දර්ශනයන් සියල්ල තරමක් ගැඹුරින් එසේම අන්තවාදී නොවී අවංකව හා මධ්‍යස්ථව හිඳ ගවේෂණය කරන්නේ නම්, ඒ තුල විශාල දැනුම් පද්ධතියක් අන්තර්ගතව තිබෙන බවත්, එය කාලයත් සමඟ මිනිස් චින්තනවලින් කිලිටි වී ඇති ආකාරයත් වටහාගත හැකි වේ. එම සත්‍යය අවබෝධ කරගැනීමට නම්, තමන්ට උපතින්ම උරුම දහමත්, තමන් දන්නා එකම දහමත් "නිවැරදිම දහම" යන පටු ආකල්පයෙන් බැහැරව ලෝක දහමන් දෙස විවෘත මනසින් බැලිය යුතුව ඇත. එලෙස මේ කිසිදු දහමක් දර්ශනයක් පිලිබදව ගැඹූරු අධ්‍යනයකින් තොරව එසේම අනිකුත් ආගම් හා දර්ශනයන් හි මූලික ඉගැන්වීමන් හා එය ප්‍රකාශ වූ සමාජ සංස්කෘතින් සහ සම්ප්‍රදායන් පිලිබදව කිසිදු තැකීමක් නොකොට එම ආගම් හෝ දර්ශනයන් පදනම් විරහිතව විවේචනය කිරීම එම දහමට හෝ දර්ශනයට කරන අසාධාරණයකි. ඒ ආකාරයට කිසිවකු කටයුතු කරන්නේ නම්, එවැනි පදනම් විරහිත විවේචකයන් පසුපස ඇත්තේ...

  • ආගම හෝ දර්ශනය විවේචනය තුලින් ලබාගන්නට හදන පටු ලෞකික වාසියක්, හෝ
  • එම ආගම හෝ දර්ශනයේ ඉගෙන්වීමන් පිලිබදව තිබෙන අනවබෝධයක් හෝ,
  • එම ආගම හෝ දර්ශනය තේරුම් ගන්න තරම් පැහැදිලි මනසක් නැති තරම් විකෘතියකින් පෙලීමක් හෝ,
  • එම ආගම හෝ දර්ශනය කෙරෙහි හෝ එහි අනුගාමිකයන් කෙරෙහි තිබෙන වියරුවක් හෝ වෛරයක් පමණ.

එවැනි විවේචකයෙකු ඉස්ලාම් දහමට එරෙහිව කල පහත් විවේචනයක් සම්බන්ධයෙන් පාර්ශව කිහිප‌ක් කල පැමිණිල්ලකට අනුව ඊයේ දිනයේ ඉන්දික ‌තොටවත්ත නම් තැනැත්තෙකු අත්අඩංගුවට ගත් බව අප රටේ මාධ්‍ය වාර්ථා ‌කොට තිබුණි. ඔහුව අත්අඩංගුවට ගැනීම සම්බන්ධ හේතුව මා විසින් ‌සොයාබැලීමේ දී ඔහුගේ එම විවේචනාත්මක ප්‍රකාශ අඩංගු පහත වීඩියෝව මාගේ ‌‌නෙත ගැටුණි.

මෙතැනදී බුද්ධිමත් සමාජය තේරුම් ගතයුතු මූලික සත්‍යය නම්, ඉහතින් සදහන් ආකාරයේ විවිධ වූ විකෘතියෙන් පෙලෙන “තොටවත්තලා” රටේ හා ලෝකේ සෑම ජන සමාජයකම සහ ආගමික සමාජයකම සිටිනවා යන්නයි. එයට මා ඉහතින් ද සදහන් ඥානසාරලා, රාසික්ලා, සේපාලලා, ජෙරමිලා, නටාශලා, තොටවත්තලා... සේම සල්මාන් රුෂ්ඩිලා, තස්ලීමා නස්රීන්ලා... ද ජනප්‍රිය සහ සමීපතම නිදසුන්ය. මෙසේ මා මෙහි සටහන් කිරීම තුල මෙවැනි විකෘතියෙන් පෙලෙන පිරිස සමාජය නොසලකා හැරිය යුතු යන්න මා මෙහි අදහස් නොකරමි. රටේ නීතියට අවනතව ප්‍රජාතන්ත්‍රවාදීව ඔවුනට එරෙහිව නීතියෙන් කටයුතු කිරීම සමාජය තුල සහජීවනය රැකගැනීම පිණිස අත්‍යඅවශ්‍ය පියවරකි. (ඉන්දික තොටවත්ත සම්බන්ධයෙන් එම පියවර සාර්ථකව අනුගමනය කල ජමෙයිතල් උළමා සංවිධානයේ සභාපති ඇතුලු පාර්ශව 12යහමග අඩවිය මගේ ස්තූතිය පුදකරමි.) රටක නීතිය තුලින් මෙවැනි දෑ පාලනය කිරීම පිලිබදව "යහමග අඩවිය"ට එකඟතාවයක් නැතත් රටක සමාජයක සෑම පුද්ලගයකුම එක හා සමාන බුද්ධි මට්ටමකින් සහ ඉවසිලීවන්ත නොවන නිසා මෙවැනි විකෘති මතවාදීන් නීතියෙන් පාලනය කිරීමත් අත්‍යඅවශ්‍ය පියවරකි. නමුත් මෙසේ කිරීමෙන් පමණක් මෙම “විකෘති විවේචකයන්ගේ දොරටු වසා දැමිය නොහැකි බව නම්" අප තේරුම් ගතයුතුය. අද මේ තොටවත්ත කූඩු කිරීමෙන් නැවත තවත් තොටවත්ත කෙනෙකු මතු නොවේ යැයි කිසිවකුටත් සහතික විය නොහැක. ලිපියේ මාතෘකාවේ සදහන් ආකාරයට “ආගම් ලොව පවතිනතාක් තොටවත්තලාත් පවතිනු ඇත” යන්න යහමග අඩවිය දරණ විශ්වාසයයි. මෙවැනි අර්බුදකාරී තත්වයන් හි ඒ ඒ ආගමික විද්වතුන් කලයුතු වන්නේ ඉහතින් සදහන් ආකාරයේ විවේචකයන්ගේ විවේචනයන්ට විනයක් ඇතුව හා ආගමික ඉගෙන්වීමන් පදනම් කරගෙන පිලිතුරු සැපයීම පමණයි.

මීට වඩා දරුණු විවේචන පැවතී යුගයක එම මෙහෙවර තම උරට ගෙන දශකයකටත් අධික කාලයක් පුරාවට දහම් මෙහෙවරේ නිරතව සිටින “යහමග අඩවිය” ඉහතින් සදහන් විවේචකයා ඉදිරිපත් කරන එම විවේචනයන්ට මෙම අඩවිය තුල පිලිතුරු ලබාදුන්නේ මීට දශකයකටත් පෙරය. මේවා ඔහුගේ නව සොයා ගැනීම් නොව අතීතයේ පටන්ම ජාත්‍යන්තරය තුල ඉස්ලාම් විවේචකයින් ඉස්ලාම් දහමට එරෙහිව මතු කරන ජනප්‍රිය චෝදනා කිහිපය අතර එකක් පමණි. (එවැනි චෝදනාවන් සදහා වූ පිලිතුරු ලිපි යහමග අඩවිය තුල "චෝදනා හා විවේචන" යන ගොනුව යටතේ ඔබට කියවීමට පුළුවන.) ඉස්ලාම් විවේචකයින් විසින් ඉස්ලාම් දහම කෲර දහමක් ලෙස ලෝකයා ඉදිරියේ පෙන්වීමට අසහය උත්සාහයක අතීතයේ පටන්ම නිරතව ඇත. එහිදී ඔවුන් මතු කරන ජනප්‍රිය විවේචනයක් වන්නේ ඉස්ලාම් දහම ආගමික විවේචන, තර්ක විතර්ක, සංවාද නොරූස්සන දහමක් යන්නයි. නමුත් මෙවැනි විවේචන ඉදිරිපත් කරන පිරිස් අල්කුර්ආනය වරක් හෝ හොදින් පරිශීලනය කලානම් එවැනි චෝදනාවකට ඉඩක් මේ දහම තුල නොමැති බව පැහැදිලි වනු ඇත. "අලංකාරව වාද කරන්න" (අල්කුර්ආනය 29-46) යැයි තම දිව්‍ය පුස්තකයම අවදාරණය කරන ලොව එකම දහම ඉස්ලාම් වියයුතු යැයි මා සිතමි. ඉස්ලාම් දහමට එරෙහිව ඉදිරිපත් වන චෝදනා හා අපහසයන් හමුවේ මුස්ලීම්වරයෙකු කටයුතු කලයුත්තේ කෙසේද? යන්න පිලිබදව මෙම අඩවිය තුල ලිපි ගණනාවකින්ම සාකච්චා කොට ඇත. එවැනි ලිපි කිහිපයක් ඔබේ අවදානයට මෙහි පහතින් පෙලගසන්නේ නම්,

වත්මන් ලෝකය තුල වැඩිම විවේචනයන්ට ගොදුරුවන දහමක් වේ නම්, ඒ “ඉස්ලාම්” දහමයි. එසේම නූතන ලෝකය තුල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින දහමක් වේ නම්, එයත් “ඉස්ලාම්” දහමයි. මේ අනුව ඉස්ලාම් දහම විවේචනය කරමින් මේ දහම විනාශ කිරීමට ගන්නා උත්සාහයන් ශ්‍රී ලාංකීය සමාජ ව්‍යවහාරයේ පවතින සරල උපමාවකින් පසනවා නම්, එය කන්දක් පහත් කරන්න බල්ලෝ උඩු බිරීමක් පමණකි. එසේම ඉස්ලාම් දහම මේ ආකාරයට නිරන්තර විවේචනයන්ට සහ අපහසයට ලක්වන්නේ ඇයිද? යන්න මේ සමාජය බුද්ධිමත්ව විමසා බැලිය යුතුව ඇත. එවිට පළ ඇති රුකටයි හැමදාම පොලු වැදුනේ යන සත්‍යයත් අවබෝධ වනු ඇත. මේ සියල්ල ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් ඉහතින් සදහන් “ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් දහමේ ස්ථාවරය” යන ලිපිය නැවත ඔබේ බුද්ධිමත් අවදානයට යොමු කරන ලෙස ඉල්ලා සිටිමින් මෙම ලිපියට විරාමය තබන්නේ ඉහත ආකාරයේ පදනම් විරහිත විවේචකයන්ට අල්ලාහ් (දෙවි) අල්කුර්ආනය තුලින් අවදාරණය කරන දිව්‍යමය වදනක් ද විමසුමට තබමිනි.

ඔවුන් අල්ලාහ්ගේ ආලෝකය (නම් දහම) මුවින් (පිඹ) නිවන්නට අදහස් කරන්නෝය. එහෙත් එම ප්‍රතික්ෂේප කරන්නන් අකමැති වුවද අල්ලාහ් ඔහුගේ ආලෝකය (නම් දහම) පරිපූර්ණ නොකර නොහරින්නේය

අල්කුර්ආනය 9-32



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/10/8

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම