අල්කුර්ආනය දිව්‍ය පුස්තකයක් බවට සාක්ෂි 01

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහම "දිව්‍යමය මඟපෙන්වීමන් මත ගොඩනැඟුණු දහමක් යන්න අවස්ථා ගණනාවකදීම විවිධ පැතිකඩ ඔස්සේ මෙම යහමග අඩවිය තුල පැහැදිලි කොට ඇත. එසේම ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන්නේ “අල්කුර්ආනය” සහ “අල්හදීස්” පමණක් යන්නත් මෙම අඩවිය තුල මීට ඉහත පැහැදිලි කොට ඇත. එසේම පහල වූ දිව්‍ය වදන් ආරම්භයේ පටන් ආරක්ෂා වූ බවත් එය ආරක්ෂා වූ ආකාරයත් මෙම අඩවිය තුල මීට ඉහත දීර්ඝ ලෙස කථා කොට ඇත.

මේ අනුව “ඉස්ලාම්” යැයි කිසිවකු කිසිවක් පවසයි නම්, එය ඉහත මූලාශ්‍රයන් තුල පැවතීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් වේ. නිදසුනකට ඉස්ලාම් දහම “දරු කළලයේ විකාශණය පියවරින් පියවර පැහැදිලිව පවසනවා” යැයි මා පැවසුවේ නම්, එය එසේ පැවසීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය එසේ පවසන්නේ කුමන මූලාශ්‍රයේද? එහි කුමන පරිච්ඡේදයේද? එය කීවැනි වාක්‍යයද? එසේ පවසන සාක්ෂිය “අල්හදීසයක්” නම් එහි “සනදයේ තත්වය කුමක්ද?” යනාදී කරුණු සියල්ල ඉදිරිපත් කිරීම අනිවාර්‍ය වේ. එසේ නොමැතිව කුමක් හෝ කාරණයක් ආගම නමින් ජනතාව ඉදිරියේ ප්‍රකාශ කොට “මේක මේ පොතේ තියෙනවා”, “අර පොතේ තියෙනවා”, “මම අහලා තියෙනවා”... යනාදී ලෝක සම්ප්‍රදායන් ඉස්ලාම් දහමට වලංගු නැත.

එසේම මෙතැනදී අවදාරණය කලයුතු තවත් කාරණයක් ඇත. එනම්, අල්කුර්ආනය යනු විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කරන විද්‍යා විෂය ග‍්‍රන්ථයක් නොවන බවයි. මෙය මෙසේ මා මෙහි අවදාරණය කිරීමට හේතුව විද්‍යා විෂය ග‍්‍රන්ථයක් කියවීමේ දී එහි පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන පැහැදිලිව සදහන් කොට ඇත. එමනිසා එය විද්‍යාත්මක අනාවරණයක් බව සාමාන්‍ය ජනයාට වුවද පහසුවෙන් අවබෝධ කරගත හැක. නමුත් අල්කුර්ආනය එසේ නොවේ. එය කියවන පුද්ගලයාගේ බුද්ධි මට්ටම හා ඔහු නියෝජනය කරන ක්‍ෂෙත‍්‍රය අනුව එහි අර්ථය පුළුල් වේ. උදාහර්ණයකට විද්‍යාඥයකු මෙම පොත පරිශීලනය කරන විට එය විද්‍යාත්මක සත්‍යයන් එලිදරව් කරන විද්‍යා ග‍්‍රන්ථයක් ලෙස පෙනෙනු ඇත. දේශපාලඥයකු මෙය පරිශීලනය කරන විට එය ඔහුගේ ක්‍ෂෙත‍්‍රය කථා කරන පොතක් ලෙස පෙනෙනු ඇත. මෙම ග්‍රන්ථය සාමාන්‍ය ජනයා කියවන විට එය ඉතා සරලව පවසන අවවාද අනුශාසනාවන් අඩංගු ලියවිල්ලක් සේ පෙනෙනු ඇත. මෙය අල්කුර්ආනය දිව්‍යමය පුස්තකයක් යන්න කියාපාන සුවිශේෂි ලක්‍ෂණයක් ද වන අතර මෙය දිව්‍යමය පුස්තකයක තිබිය යුතු මූලික අවශ්‍යතාවයක්ද වේ.

එසේම මෙහි අවදාරනය කල යුතු තවත් කාරණයක් ද ඇත. එනම් මෙම අල්කුර්ආනය පහල වු ආරම්භ සමජයේ බුද්ධි මට්ටම හා වත්මන් නූතන සමාජයේ සුපිරි මිනිසාගේ දැනුම මට්ටම සමඟ අල්කුර්ආනය පවසන කරුණූ සැසඳෙනවාද? යන්න විමසා බැලීම. මෙම අල්කුර්ආනය එදා අරාබි දේශයේ (වර්ථමාන මක්කාව හා මදීනාව) ප්‍රදේශයේ නොදියුණු සමාජයක් මධ්‍යයේ පහල විය. එසේ පහල වු අල්කුර්ආනය එවකට පැවතී සමාජයට මෙන්ම වර්ථමාන සුපිරි මිනිස් සමාජයටත් කිසිදු පරස්පරතාවයකින් තොරව එකසේ ගැලපීම මෙම පුස්තකය දිව්‍යමය මඟපෙන්වීමක් යන්න කියාපාන කඳිම නිදසුනකි. මේ සියල්ල තුලින් පැහැදිලි වන සත්‍යය නම්, මෙම අල්කුර්ආනය මිනිස් චින්තනයන්ගෙන් බැහැර වු දිව්‍යමය වචන යන්නයි.

මීට වසර 1400 කට පමණ පෙර නොදියුණු සමාජයක ප‍්‍රකාශයට පත්වු අල්කුර්ආනය අදටත් සියළු දුර්වලතාවයන්ගෙන් සුවිශුද්ධවීම තුලින් ද මෙම අල්කුර්ආනය මිනිස් චින්තනයන්ගෙන් බැහැර වු දිව්‍යමය වාක්‍යයක් යන්න වඩ වඩාත් තහවුරු කරනවා නොවේද?. එසේම ඉස්ලාමීය විශ්වාසයට අනුව දෙවියන් යනු සුපිරි බලයක් එහි වැරදීම්, අතපසුවීම්, අමතකවීම්… යනාදී කිසිදු දුර්වලතාවයක් කිසිසේත් ඇතිවිය නොහැක. එවැනි කිසියම් දුර්වලතාවයක් එහි පැවතුනේ නම් සමස්ථ අල්කුර්ආනයම අවලංගු වී යනු ඇත. තවත් සරලව පවසනවා නම් මෙම අල්කුර්ආනයයි ඉස්ලාම් දහමේ තීරණාත්මක සාධකය. මෙම අල්කුර්ආනයේ කිසියම් වරදක් පවතින්නේ නම් එහි ශුද්ධත්වය එම මොහොතේම කෙලෙසී යයි. එවිට ඉස්ලාම් පවසන දෙවියන්, ස්වර්ගය, අපාය, මරණින් මතු ජීවිතය, විනිශ්චය දිනය, වක්තෘවරුන්… යනාදී සියල්ල පිලිබදව සාධාර්ණ වු සැකයක් ඇතිවීම කිසිවකුටත් වැලැක්විය නොහැක. එවන් අවදානම් තත්වයක් තිබියදී පවා ඒ කිසිවක් තුට්ටුවකට මායිම් නොකොට පියවර ගනනාවක් ඉදිරියට ගොස් “හැකිනම් මෙම අල්කුර්ආනය අසත්‍යයක් බව ඔප්පු කරන්න” යනුවෙන් මුළු මිනිස් සමාජයටම අභියෝග කිරීම මෙම අල්කුර්ආනයේ නිවැරදිභාවය සහ දිව්‍යමයභාවය මනාව කියාපෑමකි. අල්කුර්ආනය ඉදිරිපත් කල ඉහත අභියෝගය අල්කුර්ආනය පහල වූ මොහොතේ පටන් සියවස් 14 ක් මුළුල්ලේ අද දක්වාම විවෘතව පවතී. ඕනෑම කෙනෙකුට අදටත් එම අභියෝගය වලංගුය. එසේ තිබියදීත් තවම එය ජය ගැනීමට කිසිවකුටත් නොහැකි වුයේ මෙය දිව්‍යමය පුස්තකයක් නිසාම නොවේද?

ඒ අනුව මෙතෙක් ඉහතින් කථා කල කරුණු සියල්ල බුද්ධිමත්ව හා තාර්කිකව ඔබ විමසා බලන්නේ නම්, එහි ඔබට එක් කාරණයක් පැහැදිලි පෙනෙනු ඇත. ඒ මෙම අල්කුර්ආනය දිව්‍යමය පුස්තකයක් මිස නැත යන්නයි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/07/18

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම