ආගමික ඉවසීම අල්කුර්ආනීය විමසුමක්

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


“ආගමික ඉවසීම” නූතන සමාජයේ දැවෙන අවශ්‍යතාවයකි. ලොවපුරා සිදුවන බොහෝ අර්බුදයන්, අරඟලයන් සහ ගැටුමන්ට මූලික හේතුවත් සමාජය තුල මෙම ආගමික ඉවසීම නොමැතිවීමයි. විශේෂයෙන් ශ්‍රි ලාංකීය සමාජය තුල පසුගිය කාලවල පැවතී ජාතිවාදී ක්‍රියාකාරකම්වලට මූලික වූ හේතූන් අතර මෙම “ආගමික ඉවසීම” සමාජය තුල ගිලිහීයාම ද එක් හේතුවකි. මානවයා තුල පැවතිය යුතු ගුණාංග අතර අන් අයගේ මතවාදයන් ගරු කිරීම ද ප්‍රධාන අංගයකි. එහි ද වැදගත්ම අවශ්‍යතාවය වන්නේ අන් අයගේ ආගම් කෙරෙහි සමාජය පෙන්විය යුතු ගෞරවය සහ ඉවසීමයි. එම අංගය සමාජයෙන් ගිලිහුණු තැන එහි ඉතිරි වන්නේ ඉහතින් සදහන් ආකාරයේ අර්බුද, අරඟල, ගැටුම්, විරසක, වෛරය, පලිගැනීම් චේතනා… වැනි දුර්ගුණාංග පමණි.

මේ ආකාරයට සමාජයක් තුල නිර්මාණය වන අර්බුදකාරී තත්වයන් මීට සියවස් 14 කට පෙර හොදින් තේරුම්ගත් ඉස්ලාම් දහම සමාජය තුල විවිධ ආගම් අතර “ආගමික ඉවසීම” සහ ආගමික අවබෝධය ගොඩනැඟිම පිණිස මුස්ලීම් සමාජයට මාර්ගෝපදේශ පහක් අල්කුර්ආනය හරහා යෝජනා කරයි. මෙම ලිපිය තුලින් විමසා බලන්නේ එම මාර්ගෝපදේශයන් පිලිබදවයි.

01 උපදේශය - මානවයා ගෞරවාන්විත සත්වයකි.

නියත වශයෙන්ම, අප ආදම්ගේ දරුවන් (වන සමස්ථ මානව සමාජය)  ගෞරවනීය (සමාජයක්) කර ඇත්තෙමු.

අල්කුර්ආනය 17-70

මිහිමත වෙසෙන සෑම කෙනෙකුගේම ඇදහිල්ල, ජාතිය, වාර්ගික සම්භවය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ සමාජ තරාතිරම... යනාදී කාරණයන් කිසිවක් නොතකා, මේ සෑම කෙනෙකුගේම දෙවියන් වූ අල්ලාහ් (දෙවි) විසින් මානව ගරුත්වය ලබාදුන් බව ඉහත 17-70 අල්කුර්ආන් වාක්‍යය මඟින් අවදාරණය කරයි. එමනිසා මිනිසුන් එකිනෙකා අතර පූර්ණ ගෞරවයෙන්, ප්‍රේමනීයව සහ කරුණාවෙන් කටයුතු කිරීම අත්‍යඅවශ්‍ය වේ.

02 උපදේශය - සියල්ල මුස්ලීම් විය නොහැක.

ඔබගේ දෙවියන් අදහස් කර තිබුනේ නම්, භූමියෙහි ඇති සියල්ලන්ම ඒකරාශී වී (ඉස්ලාමය) විශ්වාස කරවන්නට තිබුණි. (එබැවින්) මිනිසුන් (සියල්ලන්ම (මුස්ලීම්)) විශ්වාසවන්තයින් විය යුතුය යයි ඔබට ඔවුන්ව බල කළ හැකිද?.

අල්කුර්ආනය 10-99

ඉස්ලාමයේ ඉගෙන්වීම අනුව මිහිමත වෙසෙන සෑම කෙනෙකුම මුස්ලීම් වියයුතු නොවන බවත්, ඔවුන් අතර වෙනත් ඇදහිලි හා විශ්වාස ඇති පිරිස් සිටිය හැකි බවත් ඉහත 10-99 අල්කුර්ආන් වාක්‍යය තුලින් පවසයි. එසේනම්, දේව නියමය ඉහත ආකාරයට තිබියදී අප ආගමික වශයෙන් අන් මතවාදවලට ගරු නොකොට ආගමික ඉවසීමකින් තොරව කටයුතු කිරීම කොතරම් දුරකට සාධාර්ණද?.

03 උපදේශය - බල කිරීමන් කල නොහැක.

ඉස්ලාම් හි බල කිරීමක් නොමැත.

අල්කුර්ආනය 2-256

ඉස්ලාම් දහමේ ඉගැන්වීමන් තුල ආගමික නිදහස අල්ලාහ් (දෙවි) ලබාදී ඇති බව ඉහත 2-256 අල්කුර්ආන් වාක්‍යය තුලින් තහවුරු කරයි. ඒ අනුව අල්ලාහ් (දෙවි) විසින් පහළ කරන ලද ජීවන මාර්ගය පිළිපැදීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ නිදහස සමස්ථ මිනිස් වර්ගයාට ම හිමි අයිතියක් වේ. ඒ තුල අන් ආගමික මතවාද නොරූස්සන ලෙස නොඉවසිලීව කටයුතු කිරීමට හෝ ඉස්ලාමීය මතවාදය පිලිගන්නා ලෙස බල කිරීමට හෝ ඉස්ලාම් දහම තුල අවසර නැත.

04 උපදේශය - විනිශ්චය දෙවියන් හමුවේය.

ඔවුන් නුඹ හා ආරවුල් කරන්නේ නම් නුඹලා කරන දෑ ගැන අල්ලාහ් ඉතා මැනවින් දනීයි කියනු. නුඹලා එහි විවාද කරමින් හුන් දෑ ගැන විනිශ්චය (මළවුන් කෙරෙන් යළි නැගිටුවන) දිනයේ අල්ලාහ් නුඹලා අතර විනිශ්චය කරන්නේය.

අල්කුර්ආනය 22-68,69

(නබියේ!) මෙම (සත්ය වූ ධර්මය) දෙසට (ඔවුන්ව) ඔබ ආරාධනා කරනු. ඔබට නියෝග කරන ලද අන්දමට ඔබ ස්ථීරව සිටිනු. ඔවුන්ගේ කැමත්ත ඔබ අනුගමනය නොකරනු. නැවතත් (ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් ධර්මය යයි කුමක් පහළ කර තැබුවේද, එයම මා විශ්වාස කරන්නෙමි. ඔබ අතරේ (ඇති ආරවුල් වලට) සාධාරණ ලෙස තීන්දු දෙන මෙන්ද මා අණ කරනු ලැබ ඇත්තෙමි. අපගේ ක්රියාවන්ට සරිලන ඵලවිපාක අපට ලැඛෙනු ඇත. ඔබගේ ක්රියාවන්ට සරිලන ඵලවිපාක ඔබට ලැඛෙනු ඇත. අපටත් ඔබටත් අතරේ කිසිම තර්කයක් අවශ්ය නැත. 

අල්කුර්ආනය 42-15

ලෝකවාසී සියළුදෙනා මෙලොව කරන කියන සෑම ක්‍රියාවකම සාධාර්ණ විනිශ්චය ඇත්තේ අල්ලාහ් (දෙවි) හමුවේය. එම විනිශ්චය අතට ගැනීමට හෝ ඒවැනි තත්වයන් හමුවේ නොඉවසිලීවන්තව කටයුතු කිරීමට කිසිවකුටත් ඉස්ලාම් දහම අවසර ලබා දී නොමැත.

05 උපදේශය - යුක්තිගරුක වන්න.

විශ්වාසවන්තයිනි! අල්ලාහ්ට (දැහැමිව) තිරසාරවූවන්ද සාධාරණ සාක්ෂිකරුවන්ද වනු. යම් ජනතාවක් සමඟ සතුරු වී සිටීම නුඹලා යුක්තියෙන් බැහැර වීමට නුඹලා නොපෙළඹවනු ඇත. යුක්තිය ඉටු කරනු. එය බියබැතිමත් භාවයට ඉතා කිට්ටුය. තවද (නුඹලාගේ කටයුතුවලදි) අල්ලාහ්ට බියබැතිමත් වනු. නියත වශයෙන්ම නුඹලා කරන්නේ කුමක්ද යන්න අල්ලාහ් සපුරා දැන සිටියි.

අල්කුර්ආනය 5-8

ආගමික කටයුතුවල ඔබලා සමග සටන් නොවදින ඔබලාව ඔබලාගේ නිවෙස්වලින් පිටමං නොකරන ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කිරීම ද සාධාරණව කටයුතු කිරීම ද අල්ලාහ් නොවැළැක් විය. නිශ්චත වශයෙන්ම අල්ලාහ් සාධාරණව කටයුතු කරන්නන් ප්‍රිය කරන්නේය.

අල්කුර්ආනය 60-8

ඉහත වාක්‍යයන් දෙක බුද්ධිමත්ව විමසා බැලුවේ නම්, අල්ලාහ් (දෙවි) සමාජ යුක්තිය රකින සහ එය ක්‍රියාවට නංවන පිරිස ප්‍රිය කරන බව පැහැදිලි වේ. එහිදී ඔවුන්ගේ ආගමික විශ්වාසය හා පිලිගැනීම කුමක්ද? යන්න නොවැදගත් බවත් එම 5:8 සහ 60:8 යන අල්කුර්ආන් වාක්‍යන් තුලින් පැහැදිලි වේ.

මේ අනුව අන්‍ය ආගමිකයින් සමඟ මුස්ලීම්වරුන් කටයුතු කලයුත්තේ කෙසේද? යන්න ඉහත උපදේශයන් 05 තුලින් ඔබට පැහැදිලි වී ඇතැයි සිතමි. මෙය මුහම්මද් (සල්) තුමාණන් “හිජ්රත්” (මක්කාවේ සිට මදීනාවට සංක්‍රමණය) වීමෙන් පසු සහ එහි පාලනය ද එතුමාණන්ට හිමිවීමෙන් පසු එහි විසූ ඉස්ලාමය පිළිගත් අය හැරුණු විට විශාල යුදෙව් ප්‍රජාවට එතුමාණන්ගෙන් හෝ මුස්ලීම් ප්‍රජාවගෙන් කරදරයක් නොවීය. ඔවුන් සමඟ විවිධ ගිවිසුම්වලට එළඹ ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කරමින් සුහදව ඒතුමාණන් එහි කටයුතු කල අතර ඔවුන් හැදින්වූයේ ද “අහ්ලුල් කිතාබ්” (ශුද්ධ වූ පුස්තකයේ හිමිකරුවන්) යන ගෞරවනීය නාමයෙනි. මෙය ඇත්තෙන්ම අන්‍ය ආගම් අදහන අය කෙරෙහි දක්වන ඉවසීමේ උත්තරීතර ආදර්ශය ඉස්ලාමය තුලින් පිලිඹිබු කිරීමක් නොවේද?. එහි බුද්ධිමත් තීන්දු ඔබටම භාර කරමින් මෙම සටහනට විරාමය තබමි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/09/13

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම