නිරය හෝ ස්වර්ගය ඔබේ තෝරා ගැනීමකි

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මිහිමත වෙසෙන සෑම කෙනෙකුටම මරණින් මුතු දිවියක් තිබෙනවා යන්න ඉස්ලාම් දහම ඇතුළුව ලොව බොහෝ ආගම් පිලිගන්නා සත්‍යයකි. මෙලොව දිවිය තුල කරන ලද හොඳ-නරක හා කුසල්-අකුසල් අනුව මරණින් මතු ලොව එනම් පරලොව දී ස්වර්ගය ද නිරය ද යන්න තීන්දු වනවා යන්නත් ඉස්ලාම් දහම ඇතුළුව බොහෝ දහමන් තුල කථා කරන කාරණයකි. ඉස්ලාම් දහම මේ පිලිබදව දරණ ස්ථාවරය සහ මෙම විෂය ආශ්‍රත වෙනත් ඉගෙන්වීමන් යහමග අඩවිය තුල මීට ඉහත අවස්ථා ගණනාවකදී සාකච්චා කොට ඇත. එවැනි ලිපි කිහිපයක් මෙහි පහතින් ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම සාකච්චාව ඉදිරියට ගෙනයන්නේ නම්,

මේ ආකාරයට “නිරය“, “නරකාදීය“ නොහොත් “අපාය“ පිලිබදව කථා කරන විට තමන් බුද්ධිමතුන් යැයි සිතාගන්නා වත්මන් සමාජයේ ඊනියා බුද්ධිමතුන් සමහරක් ඉහත “නිරය“ පිලිබදව වූ විශ්වාසයට එරෙහිව මතු කරන ජනප්‍රිය පැනයක් ඇත. එම පැනය නම්, “දෙවියන් නම් අපව මැව්වේ ඇයි නිරයක් මවා ඒකට අපව ඇතුල් කරන්නේ සියළුදෙනා ස්වර්ගයට යවන්න තිබුණා නොවේද?“ යන්නයි. මෙම වාදය කොතරම් දුරකට සාධාර්ණ වූ වාදයක් ද යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පදනම් කරගෙන මෙම ලිපිය තුලින් විමසා බලන්නට අදහස් කරමි.

දෙවියන් විසින් මිහි මත මානව ප්‍රජාව ස්ථාපනය කොට “මේ මේ පිරිසට ස්වර්ගය - මේ මේ පිරිසට නිරය“ යනුවෙන් වර්ග කලේ නැත. එසේම නුඹලාගේ අභිමතය පරිධි ජීවත් වන්න යනුවෙන් අතහැර දැමුවේ ද නැත. ඒ වෙනුවට දේවවක්තෘවරුන් හෙවත් නබිවරුන් හරහා මඟපෙන්වීමන් ලබාදෙමින් ඔවුනට ජීවිත සැලැස්මක් හා විනය පද්ධතියක් ඔහු ලබාදුන්නේය. නමුත් පටු ලෞකික අරමුණු හා ආශාවන් නිසා එම දිව්‍යමය මඟපෙන්වීම ප්‍රතික්ෂේප කොට එයින් පලා ගොස් විවිධ වූ වාද ඉදිරිපත් කරමින් සහ තම අභිමතය පරිධි ජීවත් වෙමින් තම ආත්මය යහමග පෝෂණය කිරීමට සහ සංවර්ධනය කිරීමට අසමත් වී ඇත. මේ හේතුවෙන් දෙවියන් විසින් ඔහුට නිරය ලබාදීම නොව ඔහු තම කැමැත්තෙන්ම නිරය තෝරාගෙන ඇත.

එම තෝරා ගැනීම පිලිබදව අල්කුර්ආනය පවසන ඉගෙන්වීමන් කිහිපයක් මෙහි ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නේ නම්,

උඩඟුකම සහ වැරදි මඟ තෝරා ගැනීමේ ප්‍රතිපලය

එවිට උච්චස්ථානයේ (ස්වර්ගයේ) සිටින අය (නිරයේ සිටින්නන්) ඔවුන්ගේ ලක්ෂණ අනුව ඔවුන් දැන(හඳුනා)ගත් මිනිසුන් හට අඬ ගසා නුඹලා (අනුගාමිකයන්)ගේ කණ්ඩායම හෝ නුඹලාගේ උඩඟු වීම(ට හේතු වූ වස්තුව හා ධනය)ද නුඹලාව (නිරයේ වේදනාවෙන්) ආරක්ෂා නොකළේයැයි පවසති.

අල්කුර්ආනය 7-48

දහම විනෝදයට ගැනීම සහ ලෞකික ජීවතය තුල මංමුලාවීමේ ප්‍රතිපලය

(ඔවුහු කවරෙක්ද නම්) තමන්ගේ දහම විනෝදය හා කෙළි සෙල්ලම් බවට පත්කර ගත්තාවූද ලෞකික ජීවිතය ඔවුන්ව මංමුළා කළාවුද අය වේ. ඔවුන් අපගේ ආයාත් (වදන්) ප්‍රතික්ෂේප කළාක් මෙන්ද මෙදින හමුවීම අමතක කළාක් මෙන්ද අපිද අද දින ඔවුන්ව අමතක කළෙමු. (යැයි අල්ලාහ් පවසයි.)

අල්කුර්ආනය 7-51

දේව හෙළිදරව් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිපලය

අවිශ්වාස කරන්නන් සහ අපගේ හෙළිදරව් කිරීම් ප්‍රතික්ෂේප කරන්නන් සම්බන්ධයෙන්, ඔවුන් සදාකාලිකවම නිරයේ වැසියන් වනු ඇත.

අල්කුර්ආනය 2-39

පව්කාර නපුරු ක්‍රියාවල නියලීමේ ප්‍රතිපලය

ඇත්ත වශයෙන්ම, පව් උපයා ගන්නා අය සහ ඔවුන්ගේ නපුරු වැඩවලින් වට වී සිටින අය නිරයේ වැසියෝ වෙති. ඔව්හු එහි සදාකල්ම වාසය කරති.

අල්කුර්ආනය 2-81

සමාව වෙනුවට පළිගැනීම තෝරා ගැනීමේ ප්‍රතිපලය

මඟ පෙන්වීම වෙනුවට නොමඟ යාමත්, සමාව වෙනුවට පළිගැනීමත් තෝරා ගත්තේ ඔවුන්ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට අපාය විඳීමට සිදුවේ.

අල්කුර්ආනය 2-175

උඩඟුකම සහ කෝපය තෝරා ගැනීමේ ප්‍රථිපලය

දෙවියන් වහන්සේව පිළිපදින්න" යැයි ඔහුට පැවසූ විට, ඔහු උඩඟු ලෙස කෝපයට පත් වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහුගේ එකම ඉරණම නිරයයි; මොනතරම් කාලකණ්ණි වාසස්ථානයක්ද?

අල්කුර්ආනය 2-206

දිව්‍ය මඟපෙන්වීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිපලය

ප්‍රතික්ෂේප කරන්නන් බලා සිටින නිරය ගැන පරෙස්සම් වන්න.

අල්කුර්ආනය 3-131

දෙවියන්ට සමානයන් තැබූ අපරාධයේ ප්‍රථිපලය

ප්‍රතික්ෂේප කළ අයගේ සිත් තුළට ඔවුන් දෙවියන් වහන්සේ අසල බල රහිත පිළිම පිහිටුවමු. ඔවුන්ගේ ඉරණම නිරයයි; අපරාධ කරන්නන්ට මොනතරම් දුක්ඛිත වාසස්ථානයක්ද!

අල්කුර්ආනය 3-151

මේ ආකාරයට කෙනෙකු අපායවාසීයකු වීමට බලපාන හේතු කාරණා රාශියක් අල්කුර්ආනය තුල ඉහත වාක්‍යවලට අමතරව තවත් බොහෝ තැන් හි විස්තර කරයි. එම වාක්‍යයන් සියල්ල බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, නිරය තෝරා ගැනීම දේව නියමයක් නොව මිනිසාගේ කැමැත්ත මත තීන්දු වන කාරණයක් යන්න ඔබට පැහැදිලි වනු ඇත. ඒ අනුව තවදුරටත් පුහු වාද විවාදවල කොටු වී උඩගුකමින් තම නවාතැන නිරය ලෙස තෝරා ගන්නවාද? නොඑසේ නම්, දිව්‍යමය මඟපෙන්වීම අනුව ජීවත් වී මොලොව සහ පරලොව ජයග්‍රහණය කරනවාද? යන්න ඔබ ඔබෙන්ම විමසා තීන්දු කලයුතු කාරණයක් යන්න අවදාරණය කරමින් මෙම ලිපියට විරාමය තබමි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/03/12

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම