වඳුරන් සේ නිරයට පනින මුසාවාදීන්

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මුසාවාදීන් යනු තමන් පවසන්නේ මුසාවක් (බොරුවක්) බව දැන දැන සමාජයට එය පවසන්නාය. මෙවැනි මුසාවාදීන් අප සමාජය තුල සෑම සියළු කේෂ්‍ත්‍රයන් තුලම අඩුවක් නොමැතිව සිටිනවා යැයි මා මෙහි පැවසුවා නම්, එය අතිශයොක්තියක් නොවේ. නමුත් මෙම මුසාවාදීන් පිලිබදව සමාජයට දැඩිව අවවාද කරන ආගම දහම තුලම ආගමික නායකයින් හා පූජකවරුන් ලෙස මුසාවාදීන් සිටිනවා යැයි මා මෙහි පැවසුවේ නම්, එය ඔබට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද?. ආගම දහම නමින් ආගමික නායකයින් සහ පූජකවරුන් කිසිදු විටෙක මේ සමාජයට බොරු ප්‍රචාරයන් නොකරන බව ස්ථීරව ම ඔබට කිවහැකිද?. අප අන්ධ භක්තිකව ආගමික දේශනයන්ට සවන් දී ඔවුන් කියන කරන දෑ අප ආගම දහම නමින් කලා මිස ඊට එහා ඔවුන්ගේ ප්‍රකාශයන් ආගමිකද? කියා විමසා බලා ඇත්තෙමුද?.

මෙම තත්වය ශ්‍රී ලාංකීය සමාජය තුල සෑම ආගමිකයන් තුලම දකින්නට තිබෙන පොදු දුර්වලතාවයකි. ඉස්ලාම් දහම අනුගමනය කරන ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ට ද එම දුර්වලතාවයෙන් මිඳීමට හැකි වී නැත. ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව එහි සතියකට වරක් සිකුරාදා දින “ජුම්මා” අනිවාර්‍ය ආගමික දේශන සිදුකෙරේ. එය වසරකට දේශන 52 කි. (මෙම සිකුරාදා දිනයේ විශේෂත්වය සහ මහිමය යහමග අඩවිය තුල මීට ඉහත සිකුරාදා දිනයෙහි මහිමය යන ලිපිය තුලින් දීර්ඝ ලෙස පැහැදිලි කොට ඇත.) මෙම වටිනා අවස්ථාව අවභාවිතා නොකොට සත්‍ය දහම මුස්ලීම් සමාජයට දේශනා කරන්නත්, මුස්ලීම් සමාජය යහමග යොමු කරවීමටත් අප සමාජයේ කටයුතු කරන්නේ ඉතා සීමිත පිරිසක් පමණි. බහුතරයක් කරන්නේ ආගම නමින් මුසාවන් පවසමින් සමාජය මිත්‍ය විශ්වාසයන්, කල්ලිවාදයන්, පුද්ගල ගුණවර්නනයන්, මඩගැසීමන්, පුද්ගල විවේචනයන්… යනාදී... විකාර දොඩවමින් සමාජය නොමඟ යැවීම නොවේද?.

මෙය කොතරම් වටිනා අවස්ථාවක්ද?,

  • ආගමික ඉගෙන්වීමන් සමාජයට කියාදිය හැකි අවස්ථාවක්,
  • කාලීන අර්බුද ආගමික දෘෂ්ඨියෙන් කථා කල හැකි අවස්ථාවක්,
  • මුස්ලීම් තරුණ සමාජයට යහපත් පණිවුඩයන් ගණනාවක් ලබාදිය හැකි වටිනා අවස්ථාවක්,
  • දෙමාපියන් හට තම වගකීමන් පිලිබදව හොදින් කියාදීමට හැකි වටිනා අවස්ථාවක්,
  • ‘ඉස්ලාමීය කාන්තාවක්’ සමාජය තුල බිහිකිරීමට කාන්තාවන්ට ආමන්ත්‍රණය කලහැකි වටිනා අවස්ථාවක්,
  • සමාජ වගකීම මුස්ලීම්වරුන්ට කියාදීමට හැකි හොදම අවස්ථාවක්,
  • අප රටේ වත්මන් ජාතිවාදී ව්‍යාපාරයන් හමුවේ මුස්ලීම්වරුන් කටයුතු කලයුත්තේ කෙසේද? යන්න කියාදීමට හැකි වටිනා අවස්ථාවක්.
  • විවිධ ජාතීන් සමඟ සාමූහිකව කටයුතු කිරීමේ දී ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශ කියාදීමට හැකි වටිනා අවස්ථාවක්.

මෙවැනි වටිනා උපදේශයන් රාශියක් සමාජයට කල හැකි අවස්ථාවන් සියල්ල නොසලකා හැර, මා ඉහතින් සදහන් ආකාරයට ඉස්ලාම් දහම කිසිවිටෙක අනුමත නොකරන ප්‍රචාරයන් සිදුකිරීම සහ ඒ සදහා ශුද්ධ වූ සිකුරාදා දිනයත්, අල්ලාහ් (දෙවි)ගේ නිවසත්, එහි ශුද්ධ වූ බිම්බරය නොහොත් වේදිකාවත් උපයෝගි කරගැනීම සමස්ථ සමාජයේම අවාසනාව නොවේද?. මෙතැනදී මුහම්මද් (සල්) තුමාණන් මේ සමාජයට කල අණාවැකියක් මතකයට නැඟේ. එනම්,

මුආවියා (රලි) තුමා වාර්තා කරයි: මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පැවසූහ, “මාගෙන් පසුව (දේශන වේදිකාව) බිම්බරය මත හිඳ අසත්යය දේශනා කරන නායකයින් මේ සමාජය තුල බිහිවනු ඇත. ඔවුන්ගේ ප්‍රකාශයන් (අසත්‍ය බව දැන දැනත්) කිසිවකුත් එය ප්‍රතික්ෂේප නොකරනු ඇත. (විනිශ්චය දිනයේ) ඔවුන් වඳුරන් මෙන් නිරයට පනිනු ඇත."

මූලාශ්‍ර ග්‍රන්ථය - තබරානි

එදා නබිතුමාණන් අණාවැකි පැවසූ ඒ අනාගත සමාජය මෙය නොවේද?. ඉස්ලාම් දහම නමින් මුසාව දේශනා කරන ආගමික නායකයින් මේ සමාජය තුල පිරී ගොස් ඇත. (මේ පිලිබදව යහමග අඩවිය මීට ඉහත ද පහත මාතෘකා ඔස්සේ කරුණු සාකච්චා කොට ඇත.) එනම්,

ඉහතින් සදහන් නබිවදනට අනුව “කියාමත්” (විනිශ්චය) දිනයේ මුසාවාදීන් සමඟ නිරයට පනිනවාද? නොසේ නම්, සත්‍ය දහම සහ සමාජය ආරක්ෂා කරගනිමින් ස්වර්ගයට පිවිසෙනවාද? යන අභියෝගය මුස්ලීම් සමාජය ඉදිරියේ දැන් ඇත. ඒ සදහා මුස්ලීම් පොදු ජනයාටත් වගකීමක් ඇත. ආගමික දේශනයක් ආගමික කරුණුවලින් පරිභාහිරව ඉහතින් සදහන් ලෞකික අරමුණු වෙනුවෙන් සිදුවන්නේ නම්, බිම්බරය හෙවත් දේශන වේදිකාව අවභාවිතා කරන්නේ නම්, ඒ මොහොතේම නැඟීසිට ප්‍රශ්න කිරීමේ අයිතිය පොදු ජනයා හට ඉස්ලාම් දහම ලබාදී ඇත. එසේ කිරීමෙන් ඉස්ලාම් නමින් බහුබූත දොඩවා මුස්ලීම් සමාජය නොමඟ යවන කපටි අවස්ථාවාදීන්ගෙන් මේ සමාජය ආරක්ෂා කරගත හැකිවනු ඇත. එසේ නොකොට තවදුරටත් නිහඬව බලා සිටින්නේ නම්, සමස්ථ සමාජයම විනාශයක් හා පරිහානිය කරා යාමත්, සත්‍ය දහමින් මුස්ලීම් සමාජය දුරස්වීමත්, “කියාමත්” (විනිශ්චය) දිනයේ වඳුරන් ලෙස නිරයට පැනීමත් නොවැලැක්විය හැකි තත්වයක් වනු ඇත. එම කාරණය ඔබේ දැඩිව අවදානයට තබමින් මෙම සටහනට විරාමය තබමි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/09/9

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම