විශිෂ්ට දහමකට උරුමකම් කියන අපද විශිෂ්ටයන් වියයුතු නොවේද?

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පරිපූර්ණ වූ දිව්‍යමය දහමකට උරුමකම් කියන මුස්ලිම්වරුන් වන අප කරන සෑම ක්‍රියාවක් තුලම යහපත්කම, විශිෂ්ටත්වය, ප්‍රවීණත්වය සහ පරිපූර්ණත්වය ආරක්ෂා කරමින් කටයුතු කිරීමට උත්සාහ කළයුතුය. මන්ද “යහපත් හා විශිෂ්ඨ අයුරින් කටයුතු නොකරන සමාජයක් යහපත් සමාජයක් ලෙස ලොව තුල නැඟී නොසිටිනවා” යන්න ලෝක පිලිගැනීම වන බැවිණි. ලෝක පිලිගැනීම පමණක් නොව ඉස්ලාම් දහම ද “ඉහ්සාන්” නම් සංකල්පය තුලින් ඉහත ගුණාංග රැකීමේ වැදගත්කම මුස්ලීම් සමාජයට අවදාරණය කරන බැවිණි. එනම්, මුස්ලීම්වරයෙකු තමන් කරන සෑම ක්‍රියාවක් තුලම එහි විශිෂ්ට බව සහ පරිපූර්ණ බව රුකීමට උත්සාහ කලයුතු යන්න එම නියෝගයයි. අද මෙම යහමග අඩවිය තුල විශිෂ්ට දහමකට උරුමකම් කියන අපද විශිෂ්ටයන් වියයුතු නොවේද? යන ලිපිය තුලින් විමසා බලන්නේ වත්මන් මුස්ලීම් සමාජය ඉහත සංකල්පය කොතරම් දුරට ආරක්ෂ කරමින් සමාජය තුල කටයුතු කරනවාද? යන්නයි.

නමුත් මෙහි ආරම්භයේදීම කණගාටුවෙන් වුවද සටහන් කලයුතු කාරණය නම්, වත්මන් මුස්ලිම් සමාජයේ ක්‍රියාකලාපයන් හොදින් නිරීක්ෂණය කරන විට ඉහත සංකල්පයන් අමතක කර හෝ නොසලකා කටයුතු කරන බොහෝ පිරසක් සිටින බවයි. නමුත් මෙම සංකල්පයේ සැබෑ වටිනාකම අවබෝධකරගත් බටහිරයන් ශිෂ්ටාචාරයක් ලෙස අද ඉදිරියට යමින් බලවත් වී ඇත. කෙනෙකු කරන කියන සෑම දෙයක්ම නිවැරදිව, යහපත්ව හා විශිෂ්ට අන්දමින් පරිපූර්ණව ඉටු කලයුතුයි යන්න දිව්‍යමය නීතියකි. එය ක්‍රියාත්මක කිරීමේ දී එය ක්‍රියාවට නංවන්නා මුස්ලිම්ද?, මුස්ලිම් නොවේද? යන්න අදාළ නොවේ. ඔබ කරන දෙය තුලින් ඔබට යහපතක් හා පරිපූර්ණ බවක් හිමි වේ නම්, එය තුලින් අප වටපිටාවේ අයටත් යහපතක් සිදුවේ නම්, එම ක්‍රියාව සියලු මිනිසුන්ට ඔවුන්ගේ ආගමික විශ්වාසය නොතකා අදාළ වේ. නිදසුනක් පවසන්නේ නම්,

  • ලොව පුරා විවිධ රටවල සේවකයින් දිනකට වැඩ කරන පැය ගණන බොහෝ විට පැය 8කි. නමුත් එම පැය 08 සේවය පූර්ණ ලෙස ඉටු කරන්නේ අප අතුරින් කීයෙන් කීදෙනෙකුද?. ලොව අනිකුත් රටවල් නොව අපේ රටේ සේවකයෙකු පැය 08 සේවයෙන් පැය කීයක් නම් වැඩ කරනවාද?. අවංකව ගණනය කර බැලුවේ නම් ඔබම මවිත වනු ඇති. ඉතින් අපගේ ක්‍රියාවන් තුල ඉහතින් සදහන් කල ඒ “විශිෂ්ට බව” සහ “පරිපූර්ණ බව” කොහිද?. ලොව පැය 08 ක සේවය නිසිලෙස ඉටු කරන ජපානයේ දියුණූවේ රහස මෙය නොවේද?. අප අපගේ සේවා කාලය ආහාර, විවේකය, කතාබහ... යනාදිය වැය කරන විට ඔවුන් එම කාලය යහපත් හා විශිෂ්ට අන්දමින් ප්‍රයෝජනයට ගෙන දියුණුවේ ඉනිපෙත්තට ගොස් ඇත. දවසේ සේවා කාලය වූ පැය 08 න් පැයකට වඩා අඩුවෙන් සේවය කරන රටවල් බොහෝමයක් තිබෙන බව ඔබ විශ්වාස කරන්නේද?. එම රටවල් අතුරින් දවසේ වැඩ කරන්නේ විනාඩි 5-12 ත් අතර කාලයක් වූ රටවල් ද ති‍බෙන බව ඔබ විශ්වාස කරනවාද? එම රටවල් අතුරින් බොහෝමයක් මුස්ලීම් රටවල් බව ඔබ දන්නවාද?.

ඉස්ලාම් දහම, ලොව අනිකුත් ආගම් මෙන් දේව නැමදුම සහ ලෞකික කටයුතු වෙන් කොට දකින දහමක් නොවේ. මුස්ලීම්වරයෙකු නින්දෙන් අවදි වූ මොහොතේ පටන් නැවත නින්දට යන මොහොත දක්වා කරන, කියන සියල්ල ඉස්ලාම් වියයුතු යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. ඒ අනුව ආගමික නැමදුම් වූවද ලෞකික කාරණයන් වූවද ඒ සියල්ල ඉස්ලාම් දහමට අනුකූල වියයුතුය. ඒ අනුව පැය 08 ක සේවයට එකඟව සේවයට පැමිණෙන කෙනෙකු එම පැය 08 සේවය සම්පූර්ණ නොකරන්නේ නම්, එය ඉස්ලාම් දහමට අනුව අකුසල ගෙනදෙන ක්‍රියාවක් බව තේරුම් ගතයුතුය. මුස්ලීම්වරයෙකු මේ ආකාරයට කරන, කියන සියල්ල අසම්පූර්ණව ඉටු කොට අල්ලාහ් (දෙවි)ගෙන් ආශිර්වාදය සහ පිහිට ඉහලින්ම අපේක්ෂා කිරීම කොතරම් සාධාර්ණ වන්නේද?.

අල්ලාහ් (දෙවි)ව අප නොදුටුවත් ඔහු අපිව දකිනවා යැයි සිතා කටයුතු කිරීම “ඉහ්සාන්” නම් ඉස්ලාමයේ මූලික සංකල්පයකි. එසේ කටයුතු කිරීම දිව්‍යමය නීතිය ද වේ. නමුත් අපගේ අලසකම හෝ නොදැනුවත්කම නිසා අප මෙම කාරණයන් පිලිබදව සැලකිල්ලක් නොදක්වා කටයුතු කිරීම තුල ලෝකය තුල අද වත්මන් උම්මාව (මුස්ලීම් සමාජය) කොතැනද? ලෝකයා කොතැනද? යන්න මනාව පෙනේ. තමන් කරන කාර්‍යය තුල පූර්ණව කැප වී කටයුතු කිරීම තුල ජපානය අද ඉලෙක්ට්‍රෝනික් ලෝකය තුල බලවතෙකි. ආහාර, පාවහන් සහ අත් ඔරලෝසු වැනි නිෂ්පාදනයෙන් ඉතාලිය ලෝක බලවතෙකි... මේ ආකාරයට මුස්ලීම් නොවන රටවල් බොහෝමයක් පෙලගසාගෙන යාහැක. නමුත් පරිපූර්ණ කැපවීමට සහ විශිෂ්ටයන් ලෙස කටයුතු කිරීමට දිව්‍යමය අවවාද ලද වත්මන් මුස්ලීම් උම්මාව අනිකුත් සමාජයන්ට සාපේක්ෂව ලෝකයාට කිසිවක් දායාද කොට තිබේද?.

උසස් තත්වයේ, පාරිභෝගික විශ්වාසය දිනාගත් පලදායි සහ යහපත් නිෂ්පාදන සමාජයට දායාද කිරීම මුස්ලීම් නොවන ලෝකයට ව්‍යාපාරයක් පමණි. නමුත් මුස්ලීම් අපට එය ඉස්ලාම්ය. නමුත් මෙම යථාර්තය තේරුම් ගෙන මුස්ලීම් නොවන ප්‍රජාවට සාපේක්ෂව මුස්ලීම් අප එවැනි විශිෂ්ට ඝනයේ නිෂ්පාදන කීයක් නම් වත්මන් ලෝකයට දායාද කොට තිබේනවාද?. යහපත් අරමුණු ඇතුව විශිෂ්ටයන් ලෙස කටයුතු කිරීමත්, විශිෂ්ඨ නිර්මාණයන් මිනිස් සමාජයට දායාද කිරීමත් නැමදුමක් (කුසල ක්‍රියාවක්) බව අපට තවම අවබෝධ නොවන්නේ ඇයිද?. මෙම ලෝකය යහපත් තැනකට ගෙන ඒමේ වගකීමෙන් මුස්ලීම්වරුන් වන අපට බැහැර විය හැකිද?. බලන්න අල්කුර්ආනය මිනිස් සමාජයට පහතින් කරන අවවාදය.

ඔබගෙන් කවුරුන් ක්‍රියාවන්ගෙන් ඉතාමත් විශිෂ්ටයන් යන්න පිරික්සනු පිණිස ඔහු ඔබට ජීවිතයද, මරණයද උත්පාදනය කර ඇත්තේය... 

අල්කුර්ආනය 67-2

ඉහත අල්කුර්ආන් වාක්‍යයට අනුව මෙලොව මිනිස් මැවීමේ අරමුණම “ඔවුන් ක්‍රියාවෙන් යහපත් හා විශිෂ්ටයන්ද?” යන්න පරීක්ෂා කිරීම පිණිස බව ඉතා පැහැදිලිව පවසයි. නමුත් මෙලෙස අවවාද ලද අප අද සිටින්නේ කොතැනද?.

  • අප ආගමික නැමදුම වූ සලාතය, උපවාසය, සzකාතය, හජ්... නිසි අයුරින් පරිපූර්ණව හා විශිෂ්ටයන් ලෙස ඉටු කරන්නෙමුද?,
  • එම නැමදුම් තුල “ඉහ්සාන්” නිසි ලෙස අනුගමනය කරන්නෙමුද?,
  • ඉස්ලාම් පවසන “මානව අයිතීන් සහ සමාජ යහපත” අප විශිෂ්ට අයුරින් ආරක්ෂා කරන්නෙමුද?,

එසේ අප නිසිලෙස එය ආරක්ෂා කලානම්, රටේ ලෝකේ මුස්ලීම්වරුන්ට...

  • යුධ හා ත්‍රස්ථවාදී චෝදනා ඇයි?,
  • මත්ද්‍රව්‍ය චෝදනා ඇයි?,
  • ආගමික නිකායවාදී ගැටුම් ඇයි?,
  • පල්ලි පරිපාලන තුල ගැටුම් ඇයි?,
  • තනිපුද්ගල විවේචන හා අරඟල ඇයි?,
  • පවුල් ඒකක තුල ගැටුම් හා ආරවුල් ඇයි?,
  • ඥාතීන් හා අසැල් වැසියන් සමඟ ආරවුල් හා ගැටුම් ඇයි?,
  • පරිසර විනාශ චෝදනා ඇයි?,
  • එකින් එකාට නින්දා, අපහස හා විවේචන කිරීම් වැනි අශීෂ්ට ක්‍රියාවන් ඇයි?,
  • සමාජයේ දුප්පතුන් සහ අසරණයන් වැඩි වෙන්නේ ඇයි?,
  • අන් අයගේ ගෞරවය කෙලසන පහත් ක්‍රියාවන් හා කථාවන් ඇයි?,
  • සමාජ මාධ්‍යයන් තුල ලැජ්ජා විරහිත ක්‍රියාවන් හා කථාවන් ඇයි?,
  • ජාතිවාදී ගෝත්‍රීය ගතිගුණ ඇයි?,
  • උසස්-පහත් කුලවාද, දේශීයවාද, භාෂාවාද... මතවාදයන් ඇයි?,
  • මනුෂ්‍යත්වය අගයන ගුණාංග නැත්තේ ඇයි?,
  • මුල්‍යමය කටයුතුවල දී මුස්ලම්වරුන් කෙරෙහි ඇති විශ්වාසය බිඳී ඇත්තේ ඇයි?,
  • අන්සතු වස්තූන් කෙරෙහි කෑදරකම් තන්හාව ඇති වන්නේ ඇයි?,
  • ඉස්ලාමීය දේපල හා දික්කසාද නීතිවල සාධාර්ණව ක්‍රියා නොකරන්නේ ඇයි?,
  • අන් අයට හිංසා කරන ක්‍රියාවන් ඇයි?
  • මුස්ලීම් කාන්තාවන් ඉස්ලාමීය සීමාවන් නිසිලෙස පිලි නොපදන්නේ ඇයි?,

• ...

මේ ආකාරයට මුස්ලීම් හා මුස්ලීම් නොවන සමාජය තුලින් මුස්ලීම් සමාජයටත්, අන්‍ය ආගමිකයන්ගෙන් ඉස්ලාම් දහමටත් අසීමිත චෝදනා එල්ලවීමට මූලික හේතුව කුමක්ද?. මුස්ලීම්වරුන්ගෙන් සැලකියුතු පිරිසක් දහමේ ඉගෙන්වීමන් නිසිලෙස අවබෝධ කරගෙන එහි නිවැරදිව කටයුතු නොකිරීම නොවේද?. මුස්ලීම්වරයෙකු කොතරම් සාධාර්ණව සහ විශිෂ්ට අයුරින් සමාජය තුල කටයුතු කලයුතු ද යන්නට ඉස්ලාම් දහම තුල ඕනෑ තරම් ආදර්ශ ඇත. එවැනි නිදසුන් 03ක් ඔබේ බුද්ධිමත් විමසුමට මෙහි ගෙන එන්නේ නම්,

  • 01 නිදසුන...
ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව දෙදෙනෙකු අතර සිදුවන හමුවක දී අස්සලාමු අලෛකුම් යනුවෙන් එකින් එකා අතර සුබපැතීම අනිවාර්ය කටයුත්තකි. (මේ පිලිබදව යහමග අඩවිය තුල මීට ඉහත අස්සලාමු අලෛකුම් යන ලිපිය තුලින් කරුණු සාකච්චා කොට ඇත.) මෙහි අරුථ වන්නේ “ඔබට සාමය හිමි වේවා!” යන්නයි. මෙසේ “අස්සලාමු අලෛකුම්” යැයි පැවසීමෙන් මුස්ලීම්වරයෙකු තවත් මුස්ලීම්වරයෙකුට පැවසිය යුතු එම සුබපැතුම් වගකීම ඉටු වූවත් එහි විශිෂ්ට ආකාරයක්ද ඉස්ලාම් තවදුරටත් යෝජනා කරයි. එනම්, අස්සලාමු අලෛකුම්  යැයි පැවසීමෙන් නතර නොවී ඊටත් වඩා යහපත් අන්දමින් අස්සලාමු අලෛකුම් ව රහ්මතුල්ලාහි ව භාරකාතුහු (එහි අරුථ “ඔබට සාමය, අල්ලාහ් (දෙවි)ගේ දයාව, සහ ඔහුගේ ආශිර්වාදය ඔබට හිමි වේවා!”) යනුවෙන් පැවසීම උතුම් බව පවසයි. මෙසේ පැවසීම අස්සලාමු අලෛකුම් නම් පෙර සුබපැතුමට වඩා මහත් කුසල් ගෙනදෙන විශිෂ්ට පැතුමක් බව ද ඉස්ලාම් පවසයි. මෙසේ පැවසීමෙන්ද නතර නොවන ඉස්ලාම් දහම එසේ සුබපතන විට අතට අත දී සිනාමුසු මුහුණින් එය ඉටු කිරීම පරිපූර්ණ “සලාමය” බව ඉස්ලාමය තවදුරටත් පවසයි. මෙයින් පෙනීයන්නේ කුමක්ද?. දෙදෙනෙකු හමුවන මොහොතක අස්සලාමු අලෛකුම් යයි පැවසීම දහමට අනුකූලව ප්‍රමාණවත් වූවත්, එහි  අස්සලාමු අලෛකුම් ව රහ්මතුල්ලාහි ව භාරකාතුහු (එහි අරුථ “ඔබට සාමය, අල්ලාහ් (දෙවි)ගේ දයාව, සහ ඔහුගේ ආශිර්වාදය ඔබට හිමි වේවා!”) යයි පැවසීමත්, සිනාමුසු මුහුණින් අතර අත දී එම සුබපැතුම පැවසීමත් තුල මුස්ලීම්වරයෙකුගේ එම ක්‍රියාව විශිෂ්ට අන්දමින් පරපූර්ණ වන බව නොවේද?.


  • 02 නිදසුන...
පවුල් ඒකකයක් තුල සිදුවන දෙදරීම සමහරක් අවස්ථාවල “දික්කසාදයකින්” අවසන් වන බව අප දනිමු. මෙවැනි අවස්ථාවල ඉස්ලාම් දහම කාන්තා, පිරිමි දෙපාර්ශවයටම “දික්කසාදය” සදහා විවිධ කොන්දේසි යටතේ අවසර ලබාදී ඇත. මේ පිලිබදව නිසි අවබෝධයක් නැති මුස්ලීම් සමාජය තුල දික්කසාද සදහා විවිධ වූ වාද විවාද, රණ්ඩු සරුවල් සහ උසාවි යාම... වැනි දෑ දකින්නට ලැබේ. නමුත් අල්ලාහ් (දෙවි) මෙවැනි අවස්ථාවක අනුගමනය කලයුතු පියවර ඉතා සරලව සහ පැහැදිලිව පවසා ඇත. මේ පිලිබදව දීර්ඝ ලෙස මෙම යහමග අඩවිය තුල දික්කසාදය නීති පිලිබද විමසුමක් යන ලිපිය තුලින් සාකච්චා කොට ඇත. මෙහි එය සරලව ඔබේ බුද්ධිමත්ව විමසාට ගෙන එන්නේ නම්, දික්කසාදයක් ලබාගැනීමට අපේකෂා කරන පිරිමි පාර්ශවය “දික්කසාද තහවුරු කරන තලාක් නම් වදන පියවර තුනකදී ප්‍රකාශ කළ යුතු වේ”. මෙහි පලමු හා දෙවන පියවර තුල “තලාක්” පැවසීමෙන් පසුද තම බිරිඳ (වූ එම කාන්තාව) තමන් යටතේ නිදහසේ රදවා ගැනීම සහ ඇය පෝෂණය කලයුතු වේ. මේ තුලින් ඉස්ලාම් අපේකෂා කරන්නේ ඔවුනට නැවත එක්වීමේ අවස්ථාව සලසාදීමය. නමුත් තුන්වන පියවර “තලාකය” පැවසීම තුල එම විවාහය අවලංගු වී යයි. ඉස්ලාම් දහම පවසන මෙම දික්කසාද ක්‍රමයට වඩා සාධාර්ණ ක්‍රමවේදයක් කිසිවකුට හෝ යෝජනා කල හැකිද?. ඉස්ලාම් දහම පවසන මෙම පියවරයන් අනුගමනය කරමින් දික්කසාදය සිදුකිරීම සාධාර්ණ වූ යහපත් හා විශීෂ්ට ක්‍රමවේදයක් යන්න බුද්ධිමත් සමාජයකට අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. (මේ පිලිබදව සවිස්තරව දැනගන්න දික්කසාදය නීති පිලිබද විමසුමක් යන ලිපිය කියවන්න) 
 
  • 03 නිදසුන...
අල්කුර්ආනය, දේව වක්තෘ යූසුෆ් (අලෛ) තුමාණන් ජීවිත කථාව විස්තර කිරීමේ දී එතුමාණන්ව අසාධාරණ ලෙස සිරගත කල ආකාරය එහි විස්තර කරයි. එදා-මෙදා තුර ලොව පහල වූ මිනිසුන් අතුරින් අංලකාරවත්ම මිනිසා වූ යූසුෆ් (අලෛ) තුමාගේ අලංකාරයෙන් මෝහයට පත් රජ බිසවක් ඇයගේ ආශාව සංසිදුවා ගැනීමට යූසුෆ් (අලෛ) තුමාට ආරාධනා කොට එය එතුමාණන් ප්‍රතික්ෂේප කිරීම නිසා ඇයව දූෂණය කිරීමට තැත්කලා යන නින්දිත චෝදනාව ඇය රජතුමාට ඉදිරිපත් කරමින් යූසුෆ් (අලෛ) තුමාණන්ට සිරගත කරවන ලදී. මෙසේ යුසුෆ් (අලෛ) තුමාණන් සිරගතව සිටින සමයේ රටේ රජතුමා අමුතුම ආකාරයේ සිහිනයක් දුටුවේය. එම සිහිනය අල්කුර්ආනය මෙසේ පවසයි. එනම්,
“පෘෂ්ඨිමත් එළදෙනුන් සත් දෙනෙක් වැහැරී ගිය (එළදෙනුන්) සත් දෙනකු ගිලිනුද තවද, සාරවත් ධාන්‍ය කරල් හතක් සහ වෙනත් වියළි කරල් ද මම සිහිනෙන් දුටිම්. ප්‍රධානියනි, නුඹලා සිහින පලාපල කීමෙහි දක්ෂයින් නම් මාගේ සිහිනයේ තේරුම කියා දෙනුයි (දිනක්) රජතුමා කීවේය.” (අල්කුර්ආනය 12-43) 
එයට සිහින පලාපල කියන සියළුදෙනා එයට පලාපල කීමට තමන් නොදන්නා බවත් සිරගතව සිටින යූසුෆ් (අලෛ) ඒ සදහා දක්ෂයකු බවත් පිරිසක් රජතුමාට පැවසිය. ඒ අනුව යූසුෆ් (අලෛ) තුමාව රාජ සභාවට ගෙන්වා රජතුමා තමන් දුටූ සිහිනය ඔහුට විස්තර කලේය. එවිට යූසුෆ් (අලෛ) තුමා 
“නුඹලා අනුපිළිවෙළින් අවුරුදු සතක් පුරා (පොළොවේ) වගා කටයුතු කරනු ඇත. (මෙම අවුරුදු සතක කාල සීමාව තුළ) නුඹලා නෙළා ගන්නා අස්වැන්නෙන් නුඹලාගේ ආහාරයට ප්‍රමාණවත් වන (ධාන්‍ය) ටික හැර (අනෙක් ඒවා) එම කරල් වශයෙන්ම තිඛෙන්නට ඉඩ හරින්න. මීට පෙර නුඹලා පිළියෙළ කළ දැය නුඹලා (බිත්තරට) ඉතිරි කරන ස්වල්පය හැර අන් සියල්ල කා දමන දරුණු අවුරුදු සතක සාගින්නක් ඉන් පසු එළැඹෙන්නේය. පසුව ජනයාට අධික වර්ෂාවෙන් ආශිර්වාද කරනු ලබන වසරක් එළැඹෙනු ඇත. එවිට ඔවුන් එහිදී (මිදි සාරය) මිරිකා ගනු ඇත.” (අල්කුර්ආනය 12-47 සිට 49)
යනුවෙන්  පැවසීය. තමන් නොකල වරදකට නින්දිත චෝදනා ලද යූසුෆ් (අලෛ) තුමාණන් සිතුවේ නම්, එම සිහිනයට විවරණයන් ලබාදීමට “තමන්ව සිරගෙදරින් නිදහස් කරන ලෙස ඉල්ලන්නට හැකිව තිබුණි” නොඑසේ නම්, “අන්‍ය ආගමිකයින් වූ ඔවුන් සාගින්නෙන් විනාශ වූවායේ” යැයි සිතා සත්‍යය වසන් කරන්නට තිබුණි. නමුත් ඔහු යහපත් මුස්ලීම්වරයෙකු ලෙස විශිෂ්ට අන්දමින් එම අනතුර පැහැදිලි කොට එතැනින් නතර නොවී එම සාගින්නෙන් ජනයා මුදවා ගැනීමට සැලස්මක්ද යෝජනා කලේය. එනම්, දෙවන වසර හතේ නියඟයෙන් බේරීමට අවශ්‍යතරම් ආහාර ගබඩා කිරීමට හැකි ලෙස පලමු වසර හතේ වගා කිරීමට එතුමා සැලසුම් සකස් කොට ඉදිරිපත් කලේය. මෙයින් පැහැදුනු රජතුමා ඔහුට එරෙහි චෝදනාව මුසවාක් බව අවබෝධ කරගෙන යූසුෆ් (අලෛ) තුමාව සිරෙන් නිදහස් කොට රටේ කෘෂිකර්ම හා ආර්ථික කටයුතු බාර බලධාරියා ලෙස පත් කලේය. ඒ අනුව දෙවන නියඟයේ වසර 07 සාර්ථකව මුහුණදෙමින් ගබඩා කල ආහාර බෙදා හැරීමේ ක්‍රියාවලිය සිදුකරන ලදී. මෙම නියඟය මැදපෙරදිග පුරා පැවතී අතර විදේශ රටවලට ඔවුන්ගේ නිෂ්පාදන ආහාර හුවමාරු කර ගත හැකි ක්‍රියාවලියක් ද ලොව පලමුවරට එතුමාණන් මෙහිද හඳුන්වා දෙන ලදී. එම සමාජය තමන්ට හතුරුකම් කල අන්‍යාගමික සමාජයක් වුවද ඔහු මේ සියල්ල කළේ, මුස්ලීම්වරයෙකු ලෙස මනුෂ්‍යත්වය අගයමින් විශිෂ්ට ලෙස කටයුතු කිරීම ඉස්ලාම් පවරන වගකීම තේරුම්ගත් නිසාය. යුසුෆ් (අලෛ) තුමාගේ මෙම ආදර්ශය වත්මන් මුස්ලිම් නොවන රටවල වෙසෙන අපගේ සියලුම සහෝදර සහෝදරියන්ට හොද පණිවුඩයකි. එනම්, ඔබ කොතැන සිටියත්, ඔබේ දායකත්වය සමාජයට අවශ්‍ය වූ මොහොතක එහි ජාති, ආගම්, කුල, මිතුරු-හතුරු... භේද නොබලා මනුෂ්‍යත්වයේ නාමයෙන් විශිෂ්ට අයුරින් තම දායකත්වය ලබාදීම අනිවාර්‍ය යුතුකම වන බවයි. එම යුතුකම යුසුෆ් (අලෛ) තුමා තම මැවුම්කරු අල්ලාහ් (දෙවි) ඉදිරියේ යහපත් හා විශිෂ්ට අන්දමින් එය ඉටු කලේය. ඒ ඔහු සැබෑ මුස්ලීම්වරයෙකු යන්නත්, “ඉහ්සානය” රකිමින් කටයුතු කරන්නෙකු යන්නත් ඉහලින්ම ඔප්පු කරමිනි. (යුසුෆ් (අලෛ) තුමාණන්ගේ ඉහත කරුණු සියල්ල අල්කුර්ආනයේ 12 පරිච්චේදය වන “සූරා යූෂුෆ්” හි දීර්ඝව විස්තර කොට ඇත. එය මෙහි Click කොට කියවීමට පුළුවන)

ඉහත නිදසුන් තුන මා "ඉස්ලාම් ආගමික රාමුව තුල එකක් ලෙසත්", "පවුල් සංස්ථාව තුල එකක් ලෙසත්", "පොදු සමාජය තුල එකක් ලෙසත්" ඉදිරිපත් කොට ඇත. එම නිදසුන් ඔබ බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, එහි මූලික අගමික සීමාවන් ඉක්මවා ගොසින් සමාජීය හැඟීමෙන්, යහපත් අරමුණින් සහ එම ක්‍රියාවන් පරිපූර්ණව හා විශීෂ්ට අයුරින් ඉටු කල ආකාරය දැකගත හැක. මෙවැනි නිදසුන් ඉස්ලාම් දහම තුලින් ඕනෑ තරම් ගෙනහැර දැක්විය හැක. ඔබ “ඉහ්සාන්” නිසි ලෙස අවබෝධ කොට ක්‍රියා කරන මූස්ලීම්වරයෙකු නම්, ඔබ කරන කියන සෑම ක්‍රියාවක් තුලම පරිපූර්ණත්වය හා විශිෂ්ට බව පවතිනවා නොඅනුමානය. එය අල්ලාහ් (දෙවි) අල්කුර්ආනය තුලින් මෙසේ පවසයි.

නුඹලා වැඩ කරනු. අල්ලාහ්ද ඔහුගේ රසූල්වරයාද මුඃමීන්වරුන් (විශ්වාසිකයින්)ද නුඹලාගේ ක්‍රියාවන් ගැන පරීක්ෂාකාරී වන්නේය.

අල්කුර්ආනය 9-105

අපගේ සෑම ක්‍රියාවකදීම, ඔබ අල්ලාහ්ව දකිනවාක් මෙන් ඔහුට යටහත්ව කටයුතු කිරීමටත්, ඔබට ඔහුව නොපෙනුනත්, ඔහු ඔබව දකිනා බව සැමවිටම මතක තබා ක්‍රියා කිරීමටත් අමතක නොකලයුතුයි. එසේ කටයුතු කරන විට අපගේ කටයුතු සියල්ල විශිෂ්ට ලෙසත්, පරිපූර්ණ ලෙසත්, ඉටු වෙනවා යන්නෙහි විවාදයක් නැත. එවිට අල්ලාහ් (දෙවි) හමුවේ සිට මුස්ලීම්වරයෙකු අපේක්ෂා කරන ඉහළම ගෞරවයත් හා ආශිර්වාදයත් ලඟාකර ගැනීම අපහසු නොවනු ඇත. මෙසේ සියළු මුස්ලීම්වරුන් පරිපූර්ණව කටයුතු කරන විට නියත වශයෙන්ම, අල්ලාහ් (දෙවි) සමස්ත (මුස්ලීම් සමාජය වන) උම්මාවේ මහිමය ඉහල නංවනවා යන්නුනෙහි ද සැකයක් නැත. ඒ තුලින් අපගේ වටපිටාව ද යහපත් වන අතර ඉස්ලාම් දහම ද මෙ‍ලොව තුල තව තවත් බැබලෙනු ඇත. එපමණක් නොව මෙම විශිෂ්ට දහම ට උරුමකම් කියන අප ද විශිෂ්ටයන් වනු ඇත. ඒ සදහා අපට අල්ලාහ් (දෙවි)ගේ ආශිර්වාදය හිමිවේවා! යන පැතුමින් මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/08/12

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම