සලාමය සුබ පැතුමකට එහා ගිය ප්‍රාර්ථනයකි

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


“අස්සලාමු අලෛකුම්” යන ඉස්ලාමීය පැතුම මූලික කරගෙන යහමග අඩවිය තුල සර්ව කාලීනව ප්‍රායෝගික වූ එකම සුබ පැතුම යන මාතෘකාව යටතේ වර්ථමාන ලොව තුල පවතින සුබ පැතුමන් අතුරින් වඩාත් ප්‍රායෝගික පැතුම “අස්සලාමු අලෛකුම්” යන්නත්, ඉස්ලාම් පෙන්වාදෙන 'සලාමය' මුස්ලීම්වරුන් සදහා පමණක්ද? යන මාතෘකාව යටතේ මෙම “සලාමය” ආගමික සීමාවෙන් එහා ගිය සමස්ථ මානව වර්ගයාටම අවශ්‍ය පැතුමක් යන්නත් සාකච්චා කලෙමු. මිහිමත වෙසෙන සෑම කෙනෙකුටම අත්‍ය අවශ්‍ය “සාමය”, “ශාන්තිය” ප්‍රාර්ථනා කරන මෙම “අස්සලාමු අලෛකුම්” නම් වූ පැතුම පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් සහ එහි මහිමය කුමක්ද? යන්න මෙහි සාකච්චා කිරීමට අදහස් කරමි.

අරාබි බසින් “සලාම්” යන්නට “ශාන්තිය / සාමය” යන අරුථ ගෙනදේ. මෙම “සලාම්” යන වදන මූලික කරගෙනයි “ඉස්ලාම්”, “අස්සලාම්” යන වදන් නිර්මාණය වී ඇත්තේ. එපමණක් නොවේ සර්ව බලධාරී අල්ලාහ් (දෙවි)ගේ නම් (හෙවත් ගුණාංග) 100 අතුරින් 05 වැන්නද “අස්-සලාම්” යන්නයි. මෙය අල්කුර්ආනය මෙසේ පවසයි.

අල්ලාහ් හැර, නැමදුමට සුදුස්සෙකු වෙන නැත. (ඔහු සත්‍යය වූ) රජෙකි, පරිශුද්ධවන්තයෙකි, (අස්සලාම්) ශාන්තිය හා සමාදානය ලබා දෙන්නෙකි, අභයදායීයකි, ආරක්ෂකයෙකි, (සියල්ලන්ටම) බලසම්පන්නයෙකි. යටහත් කර පාලනය කරන්නෙකි, ආඩම්බරයට හිමි අයෙකි, මොවුන් පවසන සමානයන් හා (සහායයන්)ගෙන් ඈත්ව අල්ලාහ් ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. 

අල්කුර්ආනය 59-24

අල්ලහ් (දෙවි)ගේ ගුණාංග ගණනාවක් විස්තර කරන ඉහත අල්කුර්ආන් වාක්‍යය එහි “ඔහු අස්-සලාම්” යන්න ද තහවුරු කරයි. “සාමයේ උල්පත” යන අරුථ ගෙනදෙන මෙම “සලාමය” ලොව ප්‍රථම මිනිසා “ආදම් (අලෛ)” තුමා ස්වර්ගයේ දී (දේවදූතයන් වන) මලාඉකාවරුන් ඇමතු ප්‍රථම වදන ද වන බව අල්-හදීසයේ මෙසේ විස්තර කරයි.

මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ විස්තර කලේය,
අල්ලාහ් (දෙවි) විසින් ආදම් (අලෛ) තුමාව නිර්මාණය කළ පසු, (දෙවි) ඔහුට මෙසේ කීවේය:
“ඔබ ගොස් එහි වාඩි වී සිටින දේවදූත (මලක්) සමූහයාට සුබ පැතුම් පවසන්න. ඉන්පසු ඔබේ සුබ පැතුම් වලට පිළිතුරු වශයෙන් ඔවුන් පවසන දේට සවන් දෙන්න, එවිට ආදම් (අලෛ) තුමා දේවදූතයන්ට 'අස්සලාමු අලෛකුම් (ඔබට ශාන්තිය අත්වේවා)’ යනුවෙන් පැවසීය. එයට ඔවුන්  ‘අස්සලාමු අලෛයිකුම් වරහමතුල්ලාහ් (ඔබට ශාන්තිය සහ අල්ලාහ්ගේ දයාව ලැබේවා)’ යැයි පිළිතුරු දුන්නේය. මේ අනුව, ඔහුට පිළිතුරු වශයෙන් ලැබුණේ 'වරහ්මතුල්ලාහ් (අල්ලාහ්ගේ දයාව)' ඔහුගේ සුබ පැතුමට එක් කරමිනි.

මූලාශ්‍ර හදීස් ග‍්‍රන්ථ - බුහාරි

මෙම “අස්සලාමු අලෛකුම්” යන වදන පැතුම්කට එහා ගිය ප්‍රාර්ථනාවකි. එය තවත් කෙනෙකු වෙනුවෙන්, එනම්, ඔහුට “ශාන්තිය” හිමි කරදෙන මෙන් අල්ලාහ් (දෙවි) හමුවේ කරන ආයාචනයකි. මෙසේ කෙනෙකු “අස්සලාමු අලෛකුම්” යනුවෙන් සුබ පතන විට එයට පිලිතුරු වශයෙන් “වඅලෛකුම් සලාම්” යනුවෙන් පිලිතුරු දීම අනිවාර්‍ය බව ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. මෙහි අරුත නම්,

  • අස්සලාමු අලෛකුම් - ඔබට “සලාමය” (ශාන්තිය) අත්වේවා!,
  • වඅලෛකුම් සලාම් - ඔබටත් “සලාමය (ශාන්තිය) අත්වේවා!,

ඉහත පැතුමන් දෙක මොහොතක් බුද්ධිමත්ව සිතා බලන්න. දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර සිදුවන හමුවක දී ඔවුන් එකින් එකා අතර වූ පැතුම “ශාන්තිය හිමි වේවා!” යන්න නම්, එම ආයාචනය ද අවංක වූ එකක් නම්, එය අල්ලාහ් (දෙවි) පිලිගෙන අප අතර අතර “ශාන්තිය - සාමය” පහල කලේනම්, මේ පොළොව කොතරම් සාමකාමී එකක් වනු ඇත්ද?. එවන් වූ උතුම් “සලාමයේ” ප්‍රාර්ථනාව මුළු ලෝකයටම අල්ලාහ් (දෙවි)ගේ “ශාන්තිය” හිමි වීම පිණිසත්, එයින් මුළු ලෝකයම ආලෝකමත් වීම පිණිසත්, පැතිර වියයුතුව ඇත. එසේ වූ විට මෙම විශ්වය සැමදා සාමයේ උල්පත වනු ඇත. අල්ලාහ් (දෙවි)ගේ සාමය, දයාව සහ ආශිර්වාදය හිමි වූ එවන් සුන්දර විශ්වයක් බිහිවේවා! යන පැතුමින් මෙම සටහනට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/07/5

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම