ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලයිහි රාජිඋන්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


“ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලයිහි රාජිඋන්“ (Inna lillahi wa Inna ilayhi rajioon (إِنَّا لِلَّٰهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُون)) මෙය මුස්ලීම් සමාජය තුල නිතර ඇසෙන වදනකි. කිසියම් කම්පාසහගත විශේෂයෙන් මරණයක් පිලිබදව ආරංචියක් කන වැකුණු සැනින් මෙම වදන පැවසීම මුස්ලීම් සමාජ සම්ප්‍රදායේ වේ. අද මෙම ලිපිය තුලින් විමසා බලන්නේ එම “ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලයිහි රාජිඋන්“ යන සම්ප්‍රදායික වදනට ඇති ඉස්ලාම් ආගමික පසුබිම කුමක්ද? යන්නත්, එහි මහිමය කුමක්ද?යන්නත්, එය කාලීනව වැදගත් වන්නේ කෙසේද? යන්නත් මෙහි විමසා බැලීමට අදහස් කරමි.

ඉහතින් සදහන් “ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලයිහි රාජිඋන්“ යන පාඨය ඉස්ලාමීය මූලාශ්‍රය වූ අල්කුර්ආනයේ දෙවන පරිච්චේදයේ සදහන්ව ඇති පාඨයකි. එම වාක්‍යය මෙසේය,

ඔවුන් කවරෙක්ද යත් ඔවුන් වෙත යම් විපතක් ඇති වූ විට ඔවුහු “ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලයිහි රාජිඋන්” යැයි පවසති.

අල්කුර්ආනය 2:156

මුස්ලීම් සමාජය තුල ඇති වන කිසියම් ආකාරයක විපතක්, හානියක්, ඛේදවාචකයක්, කම්පාවක්... වැනි තත්වයන් හමුවේ ඔවුන් කටයුතු කලයුතු ආකාරය නොහොත් ඔඔවුන්ගේ ප්‍රතිපදාව කෙසේ වියයුතුද? යන්න ඉහත අල්කුර්ආන් 2-156 වාක්‍යයෙන් විස්තර කරයි. එනම්, කිසියම් ආකාරයක කම්පාසහගත සිද්ධියක් සිදු වූ විට හෝ පුවතක් මුස්ලීම්වරයෙකු කන වැකුණු විගස ඔහු කලබල නොවී ඉවසිලීවන්තව “ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලයිහි රාජිඋන්“ යනුවෙන් පැවසිය යුතු බව ඉස්ලාම් පවසයි. ෙමහි අරුථ පිලිබදව තරමක් ගැඹුරින් විමසා බලන්නේ නම්,

ඉහත “ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඋන් (Inna lillahi waInna ilayhi rajioon (إِنَّا لِلَّٰهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُون))“ යන්න වචන පහකින් සමන්විත වාක්‍යයක් වේ. එහි අරුථ වචනයෙන් වචනයට විමසා බලන්නේ නම්,

  • ඉනා :- නියත වශයෙන්ම (ඇත්ත වශයෙන්ම, නිසැකවම, සැබවින්ම),
  • ලිල්ලාහි :- අපි සර්වබලධාරී අල්ලාහ් (දෙවි)ට අයිතිය,
  • වා ඉනා :- නියත වශයෙන්ම අපි,
  • ඉලයිහි :- ඔහු වෙතම,
  • රාජියුන් :- නැවත පැමිණෙන්නෙමු.

මේ අනුව එහි සම්පූර්ණ අරුථ නියත වශයෙන්ම අපි සර්වබලධාරී අල්ලාහ් (දෙවි)ට අයිතිය නියත වශයෙන්ම අපි ඔහු වෙතම නැවත පැමිණෙන්නෙමු යන්නයි. මෙම යථාර්තය එනම්, “මේ සියල්ල අල්ලාහ් (දෙවි)ගේ දායදයන්ය. නැවත අප ඔහු හමුවට යන්නෙමු“ යන සත්‍යය අවබෝධ කොට ජීවත් වන්නේ නම්, එනම්,

"තවද අහස් හා පොළවෙහි උරුමය අල්ලාහ්ට හිමිය...."

අල්කුර්ආනය 3:180

“අහස හා මහපොළොව සහ ඒවායේ ඇති සියල්ලෙහි රාජ්‍යය අල්ලාහ්ට අයත් වේ. ඔහු සියලු දේ කෙරෙහි බලය ඇත. ” 

අල්කුර්ආනය 5:120

"කියන්න: 'නැගෙනහිර සහ බටහිර අල්ලාහ්ට අයිති..." 

අල්කුර්ආනය 2:142

මේ ආකාරයට විශ්වයේ සියල්ල අල්ලාහ් (දෙවි) අනසක යටතේ පවතින බවට වූ එම යථාර්තය අවබෝධ කරගෙන සහ එය පිලිගෙන කටයුතු කරන විට තම ජීවිතවල බොහෝ පසුතැවීම්, කම්පාවන් සහ දුක තුරන් වී යනවා නොඅනුමානය. නමුත් මෙම සත්‍යය අවබෝධ කරගැනීමට අපොහොසත්වීම තුල දුක, පසුතැවීම, කෝපය, වෛරය, නොඉවසිලීමත් බව... යනාදී බොහෝ දුර්ගුණාංග අප ජීවිතවලට එකතු වන අතර අවසානයේ දුක වේදනාව පමණක් එහි ඉතිරි වේ. අල්කුර්ආනය අවදාරණය කරන මෙම ප්‍රතිපදාව මුහම්මද් (සල්) තුමාණන් ද මුස්ලීම් සමාජයට අවස්ථා ගණනාවකදීම අවදාරණය කොට ඇත. එවැනි එක් අවවාදයක් මෙහි ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නේ නම්,

අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් (මුහම්මද් (සල්) තුමාණන්) පවසනු මම ඇසුවෙමි. යනුවෙන් උම්මු සලමා (රළි) තුමිය පවසයි. "යමෙකු විපතකින් පීඩා විඳිමින්, ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලයිහි රාජිඋන්. අල්ලාහුම්මා උජුර්නි ෆී මුසිබති, වක්ලුෆ්ලි හයිරන් මින්හා (අපි අයිති අල්ලාහ්ට සහ ඔහුටයි. නැවත පැමිණෙනු ඇත, අල්ලාහ්! මගේ විපතේදී හා පාඩුවේ දී මට යහපතක් දෙන්න, මගේ පාඩුවට වඩා හොඳ දෙයක් මට ලබා දෙන්න), යැයි පවසන විට අල්ලාහ් (දෙවි) නියත වශයෙන්ම ඔහුට විපාකයක් වෙනුවට හොඳ ආදේශකයක් ලබා දෙයි." උම්මු සලාමා (රළි) තුමිය මෙසේද පැවසූහ. අබු සලාමා (රළි) තුමා මිය ගිය විට, අල්ලාහ්ගේ දූතයාණන් (මුහම්මද් (සල්) තුමාණන්) තුමාණන් මට (ඉහත ප්‍රාර්ථනය කරන්නට) අණ කළේය. මම එම ආයාචනය නැවත නැවතත් කළෙමි. අල්ලාහ් (දෙවි) මට අබු සලාමා (රළි) තුමාට වඩා හොඳ ආදේශකයක් ලබා දුන්නේය (අබු සලාමා (රළි) තුමාගෙන් පසු ඇය විවාහ වූයේ අල්ලාහ්ගේ දූතයා වන මුහම්මද් (සල්) තුමාණන් සමඟය).

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලීම්

මුහම්මද් (සල්) තුමාණන් තම දිවිය තුල මුහුණදුන් දුක්බරම අවස්ථාවක් වූ තම එකම පුතු ඉබ්බ්‍රහීම් තුමා මියගිය මොහොතේ කටයුතු කල ආකාරය සහ එහි කල ඉහත ප්‍රාර්ථනය තවත් නිදසුනක් ලෙස මෙහි ඉදිරිපත් කලහැක. එනම්,

තම එකම පුතු ඉබ්‍රාහිම් තුමා මියගිය මොහොතේ නබි (සල්) තුමාණන්ගේ එකම වදන මෙසේ විය. “අපේ ඇස් කඳුළින් සහ හදවත් ශෝකයෙන් පිරී ඇත, නමුත් අපි අල්ලාහ් (දෙවි) සතුටු කරන දේ හැර තොල්වලින් කිසිවක් නොකියමු, “ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලයිහි රාජිඋන්“

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි

ඉහත හදීසයන් දෙක බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, එදා සහාභාවරුන් සහ නබිතුමාණන් තම දෛනික දිවිය තුල දුක, වේදනාව, අහිමිවීම... යනාදීය හමුවේ කොතරම් ඉවසිලීවන්තව සහ විශ්වාසයෙන් යුතුව ඉහත ප්‍රතිපදාව ආරක්ෂා කොට තිබේනවාද? යන්න පැහැදිලිව පෙනේ. මිනිස් දිවිය තුල දුක, පසුතැවීම, අහිමිවීම, වේදනාව... යනාදී අංගයන් නිරන්තරයෙන් උරුම වූ කාරණයක් යන්න අල්කුර්ආනීය ඉගෙන්වීමයි. එනම්,

තවද බියෙන් හා සාගින්නෙන්ද වස්තූන්, ජීවිත හා බෝග(වල) පරිහානියෙන්ද අපි නුඹලාව පරීක්ෂා කරන්නෙමු. (මෙම පරීක‍ෂණයන්හිදී නොසැළෙන) ඉවසිලිවන්තයින්ට (මුහම්මද්!) නුඹ ශුභ ආරාංච්ය දන්වා සිටිනු.

අල්කුර්ආනය 2:155

මෙම යථාර්තය තේරුම් ගෙන දහමේ ඉගෙන්වීමන්ට අනුකූලව කටයුතු කිරීමයි මුස්ලීම්වරයෙකු තුලින් ඉස්ලාම් දහම අපේක්ෂා කරන්නේ. නමුත් නූතන මුස්ලීම් සමාජයේ බහුතරයකගේ ක්‍රියාකලාපයන් කෙසේ වී ඇත්ද?. තම පවුලේ මරණයක්, අලාභයක්, අහිමිවීමක්... සිදු වූ විට අප එතැන කටයුතු කරන්නේ කද්ර්යත් අමතක කර දමමිනි. තවත් සමහරක් තම දෙවියන්ටත් බැණවදින ආකාරයට “මේක දෙවියන්ට පේන්නේ නැද්ද?“ යනාදී ලෙස ප්‍රකාශයන් සිදු කරමින් තම දුක, වේදනාව පිට කරන අවස්ථා ද අප දකින්නෙමු. නමුත් උම්මු සලමා තුමියගේ ස්වාමියා මියගොස් සිටියදී සහ මුහම්මද් (සල්) තුමාණන්ගේ එකම පුතු මරණයට පත්ව සිටියදී “අල්ලාහ් (දෙවි) සතුටු කරන දේ හැර තොල්වලින් කිසිවක් නොකියමු“ යන ප්‍රතිපදාවේ හිඳ “ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලයිහි රාජිඋන්“ යැයි ඔවුනට පැවසීමට හැකි වූයේ කෙසේද?. යන්න අප දැන්වත් විමසා බැලිය යුතු නොවේද?. ඒ ඔවුන් තුල දහම සහ අල්ලාහ් (දෙවි)ගේ උපකාරය කෙරෙහි තිබූ සැබෑ අචල විශ්වාසය හා බැදීම නිසා පමණි.

ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලයිහි රාජිඋන් යන්න මරණයක පුවතක් ඇසුනු විට එයට ප්‍රතිචාරයක් ලෙස පැවසිය යුතු සම්ප්‍රදායක පාඨයක් ලෙස වත්මන් බහුතර මුස්ලීම් සමාජය තේරුම් ගෙන ඇත. නමුත් ඉස්ලාම් දහම එම ප්‍රාර්ථනාව මරණයකට පමණක් සීමා කොට දේශනා කර හෝ මුහම්මද් (සල්) තුමාණන් ද එය එසේම සීමා කොට ආදර්ශ පෙන්වා නැත. මෙම ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලයිහි රාජිඋන් ප්‍රාර්ථනාව අතීතයේ විවිධ අවස්ථාවන් හි භාවිතා වූ ආකාරය බොහෝ ඉස්ලාමීය මූලාශ්‍රයන් හි දක්නට ලැබේ. එය කොතරම් සරල තත්වයන්වල පවා පාරායනය කර තිබේද? යන්නට නබිතුමාණන්ගේ ජීවිතය තුලින් ලද ආදර්ශයන් මඟින් ඔබට තවදුරටත් එය පැහැදිලි කරන්නේ නම්, මුහම්මද් (සල්) තුමාණන් අවස්ථා හතරකදී ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලයිහි රාජිඋන් යනුවෙන් පාරායනය කල බවට අල්හදීසයන් හි සදහන් වේ. එනම්,

  • එක්තරා අවස්ථාවක නබිතුමාණන් සිටී ස්ථානයක දල්වා තිබූ පහනක් නිවී ගිය මොහොතක නබිතුමාණන් ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලයිහි රාජිඋන් යනුවෙන් පැවසුවේය. එය සවන්දුන් කෙනෙකු “මෙයද යම් විපතක් හෝ දුකක් වේදැයි“ නබි (සල්) තුමාණන්ගෙන් විමසීය. එයට නබිතුමාණන් ඕනෑම දෙයකින් මුස්ලිම්වරයෙකුට යම් අපහසුතාවයක් ඇති වුවහොත් එය ඔහුට ඇති වූ පීඩාවක් ලෙස සැලකිය හැකි වේ යනුවෙන් පැවසුවේය.

මීට අමතරව

  • පාදයේ උලක් ඇනුණු අවස්ථාවක,
  • පාවහන් කැඩිගිය අවස්ථාවක,
  • මරණයක් සිදුවූ අවස්ථාවක,

එසේනම්, අපගේ දෛනික දිවිය තුල අප කොතරම් අපහසුතාවයට පත් කරවන, දුකක් පසුතැවිල්ලක් ගෙනදෙන පුවත් අසනවාද? එසේම එවැනි සිද්ධීන්වලට මුහුණ දෙනවාද?. මේ සියල්ල හමුවේ "ඇත්ත වශයෙන්ම, අපි අල්ලාහ්ට අයත් වන අතර අපට ඔහු වෙත ආපසු යාමට සිදුවනු ඇත ." යන යථාර්තය හඳවතින්ම තේරුම් ගෙන ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලයිහි රාජිඋන් යැයි පවසමින් සියල්ල සර්වබලධාරී දෙවියන්ටම බාර කොට “එම අයහපත තුලින් යහපතක් අපේක්ෂාවෙන්“ ඉවසිමෙන් කටයුතු කලයුතු නොවේද. මෙයයි සැබෑ මුස්ලීම්වරයෙකුගේ ප්‍රතිපදාව වන්නේ. එවැනි යහපත් පරිපූර්ණ මුස්ලීම්වරයෙකු වීමට අල්ලාහ් (දෙවි)ගේ ආශිර්වාදය අපට හිමිවේවා!, යන පැතුමින් මෙම සටහනට විරාමය තබමි.



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/03/14

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම